ඔක්තෝබර් 25 වනදා සිට ගුරුවරු පාසල් එයි

ඔක්තෝබර් 25 වනදා සිට ගුරුවරු පාසල් එයි

*********************************************

ඔක්තෝබර් 25 වනදා සිට ගුරුවරු පාසල් එයි

(18.10.2021 – 11:47 +0530 – hirunews.lk/sinhala)

ඔක්තෝබර් 25 වනදා සිට සේවයට වාර්තා කරන බව ගුරු – විදුහල්පති වෘත්තීය සන්ධානය පවසනවා.

කෙසේ වෙතත් 25 වනදා සඳුදා සිට සේවයට වාර්තා කරමින් විවිධ ක්‍රියාමාර්ගවල නිරතවීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.

වැටුප් විෂමතා ගැටළුව මුල් කරගෙන ගුරු – විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය ආරම්භ කළ ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයට අදට (18) දින 99 ක්.

ළමයින් 200 ට අඩු පාසල් ලබන 21 වනදා සිට ආරම්භ කිරීමට රජය මේ වනවිට සැළසුම් කර ඇති අතර, ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය නියෝජනය කරන ගුරු විදුහල්පති වෘත්තිය සමිති අද (18) උදෑසන කොළඹට රැස්වී විශේෂ සාකච්ඡාවක නිරතවුණා.

කෙසේ වෙතත් ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සඳහන් කළේ ලබන 21 වනදා සිට තම සංගමය අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බවයි.

මේ අතර ලබන 21 වනදා සිට විවෘත කිරීමට නියමිත පාසල් පිරිසිදු කිරීමේ කටයුතු මව්පියන්ගේ සහභාගීත්වයෙන් මේ දිනවල සිදු කෙරෙනවා.

කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජී.එන්. සිල්වා මහතා සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික්කයේ සිසුන් 200 ට අඩු පාසල් 26 ම ලබන 21 වනදා සිට විවෘත කිරීම සඳහා සූදානම් බවයි ෴

+++++

******************************************

තරුණ යුවළට මරු වැලක් වූ අනවසර විදුලි රැහැන ඇද්ද පුද්ගලයා අද (18) අධිකරණයට

(18.10.2021 – 09:42 +0530 – hirunews.lk/sinhala)

ඇඹිලිපිටිය, කොලොන්න, පිටවෙලගම ප්‍රදේශයේ දී අනවසරෙන් ඇද තිබූ විදුලි රැහැනක පැටලී තරුණ යුවලක් මිය යාමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (18) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළා.

පසුගිය 16 වනදා රාත්‍රියේ මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ පා ඇත්තේ 26 හැවිරිදි තරුණයෙක් සහ 17 හැවිරිදි තරුණියක් බවයි වාර්තා වුණේ.

මියගිය තරුණයා මාතර, දික්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර තරුණිය කොලොන්න ප්‍රදේශයේ ම පදිංචිකාරිණියක්.

මොවුන් දෙදෙනා (2) මුහුණු පොත ඔස්සේ දැන හැඳිනගෙන කලක සිට ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බවටයි හෙළි වී ඇත්තේ.

මෙම සිදුවීම සිදු වූ දින දික්වැල්ල ප්‍රදේශයේ සිට මෙම තරුණයා, තරුණිය හමුවීමට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

එදින රාත්‍රියේ තරුණියගේ නිවස අසලට පැමිණි තරුණයා ඇය සමඟ කතාබස් කරමින් සිටින අතරතුර නිවැසියන් මේ බව දැක තිබෙනවා.

එම අවස්ථාවේ බිය වූ ඔවුන් දෙදෙනා (2) දිව යාමට තැත්කර ඇති අතර එහිදී අසල ඉඩමකට අනවසරෙන් ඇද තිබූ විදුලි රැහැනක පැටලී මොවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

විදුලි සැර වැදී මියගිය යුවළගේ සිරුරු ඊයේ (17) උදෑසන සොයාගෙන ඇති අතර ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා සිරුරු ඇඹිලිපිටිය රෝහලවෙත යොමු කෙරුණා.

එහිදී මළ සිරුරුවල පී.සී.ආර්. සාම්පල ලබාගෙන පරීක්ෂණ සඳහා රත්නපුර රෝහල වෙත යවා ඇති අතර එම සාම්පලවල ප්‍රතිඵල අද (18) දිනයේ දී ලැබීමෙන් අනතුරුව දේහයන් පවුලේ ඥාතීන් වෙත භාරදීමට කටයුතු කරන බවයි පොලිසිය වැඩිදුරටත් පවසා සිටියේ ෴

******************************************

නිවසකට පැන භාණ්ඩ සොරාගත් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(18.10.2021 – 09:49 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකාවේ පදිංචි යුවළකට අයත් රාජගිරිය නාවල ප්‍රදේශයේ නිවසකින් ලක්ෂ හතකට (7) ආසන්න භාණ්ඩ තොගයක් සොරා ගත් පුද්ගලයින් දෙදෙනකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් භාරයට ගත් භාණ්ඩ අතර රූපවාහිනී යන්ත්‍ර, පරිගණක, පිත්තල සෙම්බු, පිත්තල බන්දේසි, පිත්තල පහන්, ග්‍රයින්ඩර් ඇතුළු භාණ්ඩ තොගයක් ඇතුළත්.

මෙම භාණ්ඩ විකුණා ලබාගත් මුදලින් සැකකරුවන් හෙරොයින්, අයිස් පානය කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඒ අතර තිබූ ලක්ෂ තුනකට (3) ආසන්න භාණ්ඩ තොගයක් රුපියල් 4000 කට විකුණා තිබෙනවා.

රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනා (2) අළුත්කඩේ අංක හතර (4) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වැලිකඩ පොලිසිය විසින් පරීක්ෂණ පවත්වනු ඇති ෴

******************************************

සිසුවියකගේ අඩනිරුවත් ඡායාරූප ලබාගෙන මුදල් ඉල්ලා තර්ජනය කළ තරුණයෙකු අත්අඩංගුවට

(18.10.2021 – 09:55 +0530 – hirunews.lk/sinhala)

පාසල් සිසුවියක රවටා අඩනිරුවත් ඡායාරූප ලබාගෙන ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කරමින් මුදල් ලබාගැනීමට තැත් කළ තරුණයෙකු දඹුල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.

දඹුල්ල ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියක රවටා ඇයගේ අඩනිරුවත් ඡායාරූප ලබාගෙන පසුව රුපියල් 45,000 ක් ලබාදෙන ලෙසට මොහු තර්ජනය කර තිබෙනවා.

එහි දී අදාළ සිසුවියගේ මව, දඹුල්ල පොලිසියට කළ පැමිණිල්ලක් අනුවයි පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ.

ඒ අනුව මෙම පාසල් සිසුවිය මාර්ගයෙන් සැකකරු දඹුල්ල ප්‍රදේශයට කැඳවා, පෙරේදා අත්අඩංගුවට ගෙන තිබුණා.

අදාළ තරුණයාගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී ඔහු තවත් තරුණියන් සමඟ ලබාගත් ඡායාරූප විශාල ප්‍රමාණයක් එහි තිබූ බවටයි අනාවරණ වී ඇත්තේ ෴

******************************************

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වෙයි

(18.10.2021 – 10:23 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා වන බන්දුල වර්ණපුර මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද (18) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යනවිට 68 වන වියේ පසුවූ ඔහු, පසුගිය 06 වනදා පෞද්ගලික රෝහලට ඇතුළත් කෙරුණේ හදිසි හෘදයාබාධයක් හේතුවෙන්.

එහිදී ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අතර රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ඔහුගේ දකුණු පාදය ඉවත් කිරීමට ද වෛද්‍යවරුන්ට සිදු වූ බවයි.

ටෙස්ට් තරග හතරකට (4) සහ ජාත්‍යන්තර එක්දින තරග 12 කට ක්‍රීඩා කර ඇති බන්දුල වර්ණපුර මහතා 1982 – 1983 දකුණු අප්‍රිකාව සමඟ තරගයකට සහභාගිවීම හේතුවෙන් ජීවිතාන්තය දක්වා තරග තහනමකට ලක්වුණා.

1979 ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පළමු ජයග්‍රහණය ලබාගත් අවස්ථාවේ සිය කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ ද බන්දුල වර්ණපුර මහතායි.

ජාත්‍යන්තර ක්‍රිකට් තීරකවරයෙකු, ක්‍රිකට් පුහුණුකරුවෙකු මෙන්ම විස්තර විචාරකයෙකු ලෙස ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙනදුන් නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකු වන බන්දුල වර්ණපුර මහතා තිදරු පියෙක්.

දිවි සැරියට සමුදුන්න ද බන්දුල වර්ණපුර මහතා මෙරට ක්‍රීඩා වංශ කතාවට තැබූ මතකයන් කිසි දිනෙක මැකී නොයනු ඇති ෴

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා ලෙස කටයුතු කළ, බන්දුල වර්ණපුර මහතාගේ අභාවය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත්කල [ ශෝක පණිවිඩය ]

******************************************

NMRA දත්ත මකා දැමීමේ සිද්ධියට ඉංජිනේරුවරයා යළි රිමාන්ඩ්

(18.10.2021 – 10:41 +0530 – hirunews.lk/sinhala)

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත ගබඩාව මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින එම දත්ත ගබඩාව පවත්වාගෙන ගිය ‘එපික් ලංකා ටෙක්නොලොජි පෞද්ගලික සමාගමේ’ පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයා මේ මස 25 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

ඒ, මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල හමුවේ අද (18) කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

එහිදී විමර්ශණ සිදු කරන අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ජයනි වෑගොඩපොළ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී ලැප්ටොප් දෙකක් (2), ටැබ් යන්ත්‍රයක් (1), ජංගම දුරකතන තුනක් (3) සහ දත්ත බහාලුම් දෙකක් (2) සොයාගත් බව සඳහන් කළා.

මෙම උපකරණ සියල්ල රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික පරීක්ෂණාගාරය වෙත යොමුකර විමර්ශනයක් සිදු කොට වාර්තාවක් කැඳවීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසයි රජයේ නීතිඥවරිය ඉල්ලා සිටියේ.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා අදාළ උපකරණ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට ද නියෝග කළා.

එමෙන්ම රිමාන්ඩ් බාරයට පත් කර සිටින මෙම සැකකරුගෙන් තවදුරටත් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍යව තිබෙන බවත් ඒ සඳහා මේ මස 21 වැනි දා සිට 23 වැනි දා අතර කාලසීමාව තුළ බන්ධනාගරය තුළ දී එම ප්‍රකාශය සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ට අවසර දෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි රජයේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා අදාළ ප්‍රකාශය සටහන් කර ගැනීමට ඉඩ දෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළා.

මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා ඇප මත මුදා හරින්නැයි ඉල්ලීමක් කළා.

අනතුරුව මහේස්ත්‍රාත්වරයා විත්ති පාර්ශවයේ නීතිඥවරයාට නියම කළේ, එම ඉල්ලීම ලිඛිතව මේ මස 25 වැනි දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

අනතුරුව තමන්ගේ ස්ථාවරය අධිකරණයට ලිඛිතව ඉදිරිපත් කරන බව රජයේ නීතිඥවරිය ප්‍රකාශ කළා ෴

******************************************

රිය අනතුරකින් දෙදෙනෙකු (2) මරුට

(18.10.2021 – 10:45 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල ආසන්නයේ ඊයේ (17) රාත්‍රී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු (2) මියගොස් තවත් අයෙකු (1) බරපතළ තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කෙරුණා.

ගාල්ලේ සිට කොළඹ දෙසට පැමිණි මෝටර් රථයක් සහ ප්‍රතිවිරුද්ධ දෙසින් ආ ටිපර් රථයක් මුහුණ මුහුණ ලා ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

එහිදී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, මෝටර් රථයේ සිටි අම්බලන්ගොඩ – වතුගෙදර ප්‍රදේශයේ පදිංචි 35 සහ 37 යන වයස්වල පසුවන පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් (2).

පොලීසිය සඳහන් කළේ මෝටර් රථයේ පැමිණි පිරිස් බීමතින් සිට ඇති බවට මූලික පරීක්ෂණවලින් අනාවරණ වූ බවයි ෴

******************************************

ටිපර් රථයක් අනතුරට ලක්ව කොළඹ – මීගමුව මාර්ගයේ වාහන ධාවනයට බාධා

(18.10.2021 – 11:14 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – මීගමුව මාර්ගයේ, පස් රැගෙන යමින් තිබූ ටිපර් රථයක් අනතුර ලක් වී තිබෙනවා.

අනතුර හේතුවෙන් එම මාර්ගයේ වැලිසර, මස්කඩේ හංදිය අසල කොටසේ වාහන ධාවනය එක් මංතීරුවකට පමණක් සීමා වී ඇති බවයි වාර්තා වන්නේ.

******************************************

දියර පොහොර ලීටර ලක්ෂ 31 ක් ආනයනය කෙරේ

(18.10.2021 – 11:25 +0530 – hirunews.lk/sinhala)

වී ඇතුළු සියලු වගාවන්ට යොදා ගත හැකි ‘නැනෝ නයිට්‍රජන් දියර පොහොර’ ලීටර් තිස් එක් ලක්ෂයක් (31,00,000) ඉන්දියාවෙන් ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඉන් පළමු ලීටර් ලක්ෂයක (1,00,000) තොගය හෙට (19) ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ සිට මෙරටට ගුවනින් රැගෙන ඒමට නියමිතයි.

මේ අතර, පොහොර ගැටලුව මුල් කරගනිමින් අදත් (18) දිවයිනේ ප්‍රදේශ රැසක ගොවීන් විරෝධතාවල නිරත වුණා.

හාලිඇල – උඩුවර ප්‍රදේශයේ ගොවීන් සඳහන් කළේ, කෘෂි රසායන හා පොහොර නොමැති වීමෙන් අස්වැන්න අවම වී ඇති බවයි.

ඇළහැර – යාය 28 ප්‍රදේශයේ ගොවීන් පවසන්නේ කෘමිනාශක නොමැති වීමෙන් සිය කව්පි වගාවන් විනාශ කිරීමට සිදු වූ බවයි.

එමෙන්ම, ඌවපරණගම ගොවීන් ප්‍රදේශයේ ගල් පර්වතයක් මත නැගී විරෝධය පළ කළා.

මේ අතර ආක්‍රමණශීලී ශාක නිසා වසර ගණනක් පුරන්ව පැවති අක්මීමන – යක්ගහයාය කුඹුරක් අස්වැද්දීමට වගා සුරැකීමේ සංවිධානය පියවර ගෙන ඇත්තේ කාබනික පොහොර යොදා ගනිමින් ෴

******************************************

වවුනියාවේ සිදු වූ රි‍ය අනතුරකින් දරුවෙකු ජීවිතක්ෂයට

(18.10.2021 – 12:11 +0530 – hirunews.lk/sinhala)

වවුනියාව, පෙරියඋළුක්කුලම ප්‍රදේශයේ සිදු වු රියඅනතුරකින් අවුරුදු 16 ක පාසල් දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ, ඊයේ(17) රාත්‍රියේ සිදු වූ මෙම අනතුරින් යතුරුපැදියක ගමන්ගත් අදාළ දරුවා තවත් යතුරුපැදියක ගැටීමෙන් අනතුරුව මාර්ගයේ ගමන්ගත් ලොරි රථයක රෝදයකට යට වී, ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් මෙම දරුවා, වවුනියාව සිරිසුමන මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිට ඇති බවයි උළුක්කුලම පොලීසිය පවසන්නේ.

අනතුර සිදු කළ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ජීවිතක්ෂයට පත් වූ දරුවාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා වවුනියාව රෝහලේ මෘත ශරීරාගාරයට යොමුකොට තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් උළුක්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා ෴

******************************************

තමිල්නාඩු පොලීසිය ඉන්දීය ධීවරයින්ට අනතුරු අඟවයි

(18.10.2021 – 12:46 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා මුහුදේ මසුන් අල්ලන ඉන්දීය ධීවරයින්ට ප්‍රහාර එල්ලවිය හැකි බවට තමිල්නාඩු පොලීසිය, අනතුරු අඟවා තිබෙනවා.

කච්චතිව් දූපත අවට මුහුදු ප්‍රදේශයේ මසුන් ඇල්ලීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා රාමේෂ්වරම් හි ධීවරයන් සතියක කාලයක් තිස්සේ විරෝධතාවල නිරතවුණා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ අත්අඩංගුවට පත්වන ඉන්දීය ධීවර යාත්‍රා සඳහා වන්දි ලබා දෙන ලෙසද ඔවුන් ඉල්ලා ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.

කෙසේ වෙතත් පෝක් සමුද්‍ර සන්ධියේ පිහිටා ඇති කච්චතිව් දූපතේ පාලනය පවතින්නේ ශ්‍රී ලංකා රජය යටතේයි.

එහි අයිතිය සම්බන්ධයෙන් දීර්ඝ කාලීනව මතභේදාත්මක තත්වයන් පැවතියද, 1974 දී එවකට ඉන්දීය අග්‍රාමාත්‍යවරිය වූ ඉන්දිරා ගාන්ධි සහ හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය අතර එළඹි ගිවිසුමක් අනුව කච්චතිව් ඉන්දියාවේ කොටසක් සේ සළකන ලෙස කරනු ලබන ඉල්ලීම් එතැන් පටන් අවසන් බවට ප්‍රකාශ කෙරුණා.

එමෙන්ම එය ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයට අයත් කොටසක් ලෙස පිළිගන්නා බවයි අදාළ ගිවිසුමෙන් සඳහන් කෙරුණේ.

මේ අතර උතුරු නැගෙනහිර ධීවරයින් ඊයේ (17) ගැඹුරු මුහුදේ කළු කොඩි ඔසවා ධීවර යාත්‍රාවල සිට විරෝධතාවක නිරතවුණේ තම මත්ස්‍ය සම්පත් ඉන්දීය ධීවරයින් විසින් කොල්ලකන බවට චෝදනා කරමින්.

එමෙන්ම ඉන්දු – ලංකා ධීවර ගැටළුව විසඳීමට ප්‍රමාණවත් මැදිහත්වීමක් සිදු නොකරන බවට ඔවුන් එහිදී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දාට චෝදනා කළා.

මේ අතර මන්නාරම සිට ඉන්දියාවේ රාමේෂ්වරම් දක්වා මුහුදු ප්‍රදේශය, අධිසංවේදී සාගර පරිසර කලාපයක් ලෙස නම් කළ යුතු බවට වන යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට පරිසර අමාත්‍යාංශය සූදානම් වනවා.

ඒ සඳහා මහාචාර්ය සෙව්වන්දි ජයකොඩි මහත්මිය විසින් සකස් කරන ලද ඇගයීම් වාර්තාව ඉකුත් සතියේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත භාරදෙනු ලැබුවා.

ඩොල්ෆින්, නිල් තල්මසුන් සහ කැස්බෑවන් වැනි ආරක්ෂිත මුහුදු ජීවීන් රැසක් මෙම කලාපයේ සංක්‍රමණය වන අතර, මෙරට මුහුදු තීරයේ මත්ස්‍ය ගහණය බෝවීම සඳහා මෙම කලාපය අතිශය වැදගත් බවයි පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *