පාස්කු සැකකරුවන්ගේ ගෙවල්වලින් කප්පම් ගත් අපරාධකරු අත්අඩංගුවට

පාස්කු සැකකරුවන්ගේ ගෙවල්වලින් කප්පම් ගත් අපරාධකරු අත්අඩංගුවට

*********************************************

පාස්කු සැකකරුවන්ගේ ගෙවල්වලින් කප්පම් ගත් අපරාධකරු අත්අඩංගුවට

(17.10.2021 – 19:15 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන නව්ෆර් මව්ලවි ඇතුළු තවත් සැකකරුවන් තිදෙනෙකු (3) මුදාහරින බවට පවසා ඔවුන්ගේ ඥාතීන්ගෙන් මුදල් ලබාගත් පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු, ගෙපලමුල්ගෝල, උහුමීය ප්‍රදේශයේ පදිංචි ගෝනදූවගේ දොන් සමන් බුද්ධික නම් 42 හැවිරිදි මෙරට ලියාපදිංචි අපරාධකරුවෙකු වන අතර ඔහු මීට පෙරද මුදල් වංචා සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති අයෙකි.

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් එම පුද්ගලයාව පසුගිය 14 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ ගල්ගමුව, තේක්ක වත්ත ප්‍රදේශයේදීය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින මොහොමඩ් ඊබ්‍රහිම් මොහොමඩ් නව්ෆර් නොහොත් නව්ෆර් මව්ලවි සැලකෙන්නේ සහරාන් හෂිම්ගේ න්‍යායාචාර්යවරයා ලෙසය.

සැකකරු ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකයෙකු ලෙස පෙනී සිටිමින් නව්ෆර් මව්ලවිගේ බිරිඳගෙන්, ඇයගේ සැමියා සහ මොහොමඩ් ඊබ්‍රහිම් අබ්දුල්ලා නම් සැකකරු නිදහස්කරන බවට පවසමින් අවස්ථා කිහිපයකදී මුදල් ලබාගෙන තිබූ බව අනාවරණය වී තිබේ.

එලෙස ලබාගත් මුදල රුපියල් 18,10,000 කි.

එමෙන්ම සැකකරු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත විමර්ශන සිදුකරන ලද ෆාතිමා රිකාසා නම් සැකකාරිය නිදහස් කරන බවට පවසමින් ඇයගේ ඥාතියෙකුගෙන් ද රු. 3,18,000 ක මුදලක් ලබාගෙන තිබේ.

එමෙන්ම පාස්කු ප්‍රහාර සිද්ධියට අදාළව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටි සැකකරුවෙකු වන මොහොමඩ් සියාම් මොහොමඩ් ශිම්ෂාඩ් යන පුද්ගලයාව මුදවා හැරීම සඳහා එම සැකකරුගේ බිරිඳගේ සහෝදරයා වන මොහොමඩ් සිෆ්රාන් මොහොම්මදු සියාම් යන අයගෙන් ද රුපියල් ලක්ෂ 15 ක් ඉල්ලා පසුව ලක්ෂ 12 කට එකඟ වී ඉන් රුපියල් ලක්ෂ 04 ක් ලබාගෙන ඇත.

සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ මුදල ලබාදුන් මොහොම්මදු සියාම් යන පුද්ගලයා විසින් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයේදීය.

සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, තමා පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ගේ ඥාතීන්ගේ තොරතුරු ලබාගත්තේ රක්ෂිත බන්ධනාගාරගතව සිටි පුද්ගලයෙකුගෙන් බවය.

රිමාන්ඩ් භාරයෙන් නිදහස් වූ එම පුද්ගලයා පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ගේ ඥාතීන් වෙත තමන්ව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරියෙකු ලෙස හඳුන්වාදී තිබේ.

ඒ හරහා රක්ෂිත බන්ධනාගාරගත වුවන් නිදහස් කිරීමට හැකියැයි පවසා ඔවුන්ගේ ඥාතින්ගෙන් මුදල් ලබාගත් බව අත්අඩංගුවේ සිටින සැකකරු පවසා ඇත.

ඒ අනුව මේ වනවිට තොරතුරු ලබාදුන් අදාළ පුද්ගලයා සොයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විමර්ශන ආරම්භ කර තිබේ.

******************************************

සුෆි මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර වහබ්වාදීන් එල්ලකරන ප්‍රහාර සම්බන්ධව පොලිස්පතිට ලිපියක්

(18.10.2021 – 06:45 +0530 – truenews.lk)

සම්ප්‍රදායිකව අල්ලා දෙවියන් නමදින සුෆි මුස්ලිම් ජනතාවට අල්ලා වැදීම ප්‍රතික්ෂේප කරන වහබ්වාදීන් ගෙන් දිගින් දිගටම මාරාන්තික ප්‍රහාර එල්ල වෙමින් පවතී.

ඒ අනුව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර ඇත. එම ලිපිය මෙසේයි :

පොලිස්පති තුමා,
පොලිස් මුලස්ථානය,
කොළඹ.

නබි තුමාගේ ජන්ම දිනය සමරන සුෆි මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර වහබ්වාදීන් එල්ලකරන ප්‍රහාර සම්බන්ධවයි.

නබි තුමාගේ ජන්ම දිනය වෙනුවෙන් මෙ මාසයේදී මෙරට සුෆි මුස්ලිම් ප්‍රජාව විසින් සිදුකරන සැමරීමේ අවස්ථා ඉලක්ක කර වහබ්වාදී කණ්ඩායම් විසින් නොයෙක් කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකරන ආකරයක් නිරීක්ෂණය වෙයි. ඒ අතර බැනවැදීම්, තර්ජනය කිරීම් පසුගිය සති කිහිපය පුරා වාර්තා වෙමින් තිබුණු අතර එහි උච්චතම අවස්ථාව ලෙස පුත්තලම මන්නාරම පාරේ පිහිටි අම්බලම් මොහාදීන් මුස්ලිම් පල්ලියේ ‘සුබ්හානු මව්ලුත් පරායනය’ සිදුකරමින් සිටි සුෆි බැතිමතුන් කිහිප දෙනෙකු ඉලක්ක කරගෙන වහබ්වාදීන් විසින් පිහි ප්‍රහාරයක් එල්ලකර ඇති බව වාර්තා විය.

අල්ලාහ් දෙවියන්ගේ පණිවුඩ කරු ලෙස ඉස්ලාමයේ සඳහන් වන නබි තුමාට වැඳීම හෝ වතාවත් කිරීම වහබ්වදීන් ප්‍රතික්ෂේප කරන අතර ඔවුන්ගේ මතය වන්නේ වැඳුම් ලැබීමට එකම සුදුස්සා වන්නේ අල්ලාහ් දෙවියන් පමණක්ම වන බවයි. කෙසේ වෙතත් මෙරට සුෆි මුස්ලිම් ප්‍රජාව නබි තුමාගේ ජන්ම දිනය සැමරීම ඇතුළු වතාවත් සිදුකරන අතර එනිසා ඔවුන් නිරන්තරයෙන් වහබ්වාදීන්ගේ ඉලක්ක බවට පත්වෙමින් තිබේ.

එම නිසා මෙම මාසය තුල නබි තුමාගේ ජන්ම දිනය සමරන ශ්‍රී ලංකාවේ සුෆි මුස්ලිම් ප්‍රජාවේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.

තෙරුවන් සරණයි.

රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි.
මහ ලේකම්
බොදු බල සේනා

******************************************

සහල් මිල තවත් වැඩිවන ලකුණු

(18.10.2021 – 07:16 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේ දී සහල් කිලෝවක් තවත් රුපියල් 25 කින් පමණ ඉහළ යා හැකි බැවින් රජය සහල් සඳහා පාලන මිලක් ගෙන ආ යුතු බව ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

මේ අතර උසි ගැන්වීම්වලට හසු නොවී කුඹුරට බැස වගා කටයුතු සඳහා එක්වන ලෙස ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

වෙළඳපොළේ සහල් මිල මේ වනවිට ජනතාවට දැරිය නොහැකි මට්ටමක පවතිනවා.

සෑම වර්ගයකම සහල් කිලෝවක මිල රුපියල් 100 ඉක්මවා ඇති අතර, එවන් තත්වයක් මත ඉදිරියේ දී සහල් මිල තවත් ඉහළ යා හැකි බවයි ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සුරාජ් ජයවික්‍රම මහතා පොළොන්නරුවේදී ඊයේ (17) මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ ෴

******************************************

මාස පහක (5) සිට රුපියල් කෝටි 100 ක් සීනි වරායේ සිරවෙයි

(18.10.2021 – 07:28 +0530 – hirunews.lk/sinhala)

මාස පහකට (5) පෙර මෙරටට ගෙන් වූ රුපියල් කෝටි 100 කට වැඩි වටිනාකමකින් යුත් සීනි තොගයක් වරායේ සිර වී ඇති බව ආනයනකරුවන් පවසනවා.

කන්ටේනර් 300 ක පමණ සීනි මෙට්‍රික් ටොන් 7,000 කට වැඩි ප්‍රමාණයක් මෙලෙස වරායේ ඇති බවයි සීනි ආනයනකරුවන්ගේ සංගමයේ උපසභාපති නිහාල් සෙනෙවිරත්න මහතා කියා සිටියේ. (#1)

ප්‍රමාද ගාස්තු ලෙස විශාල මුදලක් ගෙවීමට සිදුව තිබීම මෙම සීනි තොගය නිදහස් කිරීම ප්‍රමාදවීමට හේතු වී තිබෙනවා.

ආනයනකරුවන් පස් දෙනෙකු (5) විසින් මීට මාස පහකට (5) පමණ පෙර බහලුම් 400 ක සීනි මෙට්‍රික් ටොන් 12,000 ක් පමණ මෙරටට ගෙන්වා තිබුණා.

කෙසේ වෙතත් රජය මඟින් සීනි ආනයනය සීමා කිරීමට ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණය සහ ඩොලර් හිඟය හේතුවෙන් මෙම සීනි තොගය වරායෙන් නිදහස් කරගැනීම ප්‍රමාද වී තිබුණා.

ඒ පිළිබඳව සීනි ආනයනකරුවන් වෙළඳ අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එහි ප්‍රතිඵලයක් ලෙස මෙම සීනි තොගය සතොස අලෙවිසැල් ජාලය වෙත ලබාදීමට එකඟතාවකට පැමිණියා.

(#2) ඒ අනුවයි මීට සති කිහිපයකට පෙර සීනි මෙට්‍රික් ටොන් 5,000 ක් නිදහස් කර තිබුණේ ෴

[ #1 සහ #2 ? ]

******************************************

20 වැනි දා සිට ලංකාවෙන් කුසිනාරාවට ගුවන් ගමන්

(18.10.2021 – 07:36 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ කුෂි නගර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අනිද්දා (20) විවෘත වන අතර, ප්‍රථම ගුවන් යානය ශ්‍රී ලංකාවේ සිට පිටත්ව යාමට නියමිතයි.

සංඝයා වහන්සේ 100 නමක් ඇතුළු පිරිසක් පළමු ගුවන් ගමන සඳහා එක්වනු ඇති.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් කුෂි නගර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විවෘත වනවා.

කුෂි නගර් යනු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි ඓතිහාසික කුසිනාරා නගරයයි.

එහි බෞද්ධ ජනතාවගේ වන්දනීය ස්ථාන රැසක් පිහිටා තිබෙනවා.

ඒ අතර බුදුරජාන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වූ භූමියද වනවා ෴

******************************************

ජනවාරි මාසයේ සිට 50,000 කට ආසන්න සංචාරකයින් දිවයිනට

(18.10.2021 – 08:40 +0530 – hirunews.lk/sinhala)

පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා සංචාරකයින් 45,413 ක් මෙරටට පැමිණ තිබෙනවා.

මේ මස 01 වැනි දා සිට 13 වැනි දා දක්වා කාලය තුළ පමණක් මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 7096 ක් බවයි සංචාරක අමාත්‍යාංශය නිවේදනය කළේ.

පසුගිය ජනවාරි මාසයේ සිට ඉන්දියාව, කසකස්ථානය, ජර්මනිය, යුක්ක්‍රේනය, බ්‍රිතාන්‍ය, චීනය, කැනඩාව, ඇමරිකාව, ප්‍රංශය සහ රුසියාව යන රටවල සංචාරකයින් මෙලෙස පැමිණ තිබෙනවා.

ක්‍රමානුකූලව සංචාරකයින් මෙරටට පැමිණීම ආරම්භ වීමත් සමග හික්කඩුව ප්‍රදේශයේ සංචාරක මධ්‍යස්ථාන සංචාරකයින් සඳහා විවෘත කිරීම ඊයේ (17) සිට ආරම්භ කෙරුණා.

මේ අතර, සංචාරක හෝටල්වල විදුලි බිල්පත් ගෙවීම සඳහා ලබා දී ඇති සහන කාලය තවදුරටත් දීර්ඝ කිරීම පිළිබඳ රජයේ අවධානය යොමුව තිබෙනවා.

බිඳවැටී ඇති සංචාරක කර්මාන්තය යථා තත්වයට පත්වීමට තවත් මාස කිහිපයක් ගතවිය හැකි බැවින් තවදුරටත් අදාළ සහනය ලබාදෙන ලෙස හෝටල් හිමියන් කළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ඒ පිළිබදව අවදානය යොමු කරන බවයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාසදහන් කළේ.

ඒ සඳහා විදුලිබල අමාත්‍යවරයා සමඟ ද ඉදිරියේ දී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ඔහු කියා සිටියා ෴

******************************************

වල්ලපට්ටා තෙල් සිඳින ස්ථානයක් වටලා සැකකාරියක් අත්අඩංගුවට

(18.10.2021 – 09:19 +0530 – hirunews.lk/sinhala)

කනංකේ ගල්වල ප්‍රදේශයේ නිවසක නීති විරෝධීව පවත්වාගෙන ගිය වල්ලපට්ටා තෙල් සිදීමේ ස්ථානයක් වටලා, එහි තිබුණු වල්ලපට්ට ශාකවල කොටස් තොගයක් හා සිඳින ලද තෙල් හා උපකරණ සමඟ සැකකාරියක් (17) දින පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් විශේෂ කාර්යය බලකා රත්ගම කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින්.

වල්ලපට්ටා කිලෝ ග්‍රෑම් 264 ක් වල්ලපට්ට තෙල් මිලි ලිටර් 70 ක් සහ වල්ලපට්ට කැබලි කුඩු කරන යන්ත්‍රයක් ඇතුළු භාණ්ඩ රැසක්ද මෙහි දී පොලිස් භාරයට ගෙන තිබෙනව බව වාර්තා වෙනවා.

දීර්ඝ කාලයක සිට මෙම ස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවත් ලෝක උරුමයක් ලෙස සදහන් සිංහරාජය රක්ෂිතයට අනවසරයෙන් ඇතුළුවි මෙම වල්ල පට්ට ශාක කොටස් කපා ඇති බව මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව අකුරැස්ස අඩවි වන කාර්යාලය වෙත භාර දී ඇති අතර, අකුරැස්ස අඩවි වන කාර්‍යාලය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ඇති.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

මෙතෙක් එන්නත් ලබානොගත් උසස් පෙළ දරුවන් ට පණිවුඩයක්

(17.10.2021 – 17:11 +0530 – sinhala.adaderana.lk)

වයස අවුරුදු 18 ත් 19 ත් අතර පාසල් ළමුන්ට කොවිඩ් මර්දන එන්නත්කරණය ඉතා සාර්ථකව සිදුවෙන බව මාතෘ හා ළමා සෞඛ්‍ය, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පවසන්නීය.

ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළේ, කොළඹට පැමිණීමට නොහැකි වූ දරුවන්ට එන්නත ලබාගැනීම සඳහා ද මේ වනවිට වැඩපිළිවෙලක් සකස්කර ඇති බවය.

“පාසල්වලට සමහර දරුවන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණා. දුර පළාත්වල ළමයි පාසල් අධ්‍යාපන ලබනවා. පළාත් අතර පවතින සංචරණ සීමා නිසා එවැනි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. කොළඹට පැමිණීමේ නොහැකියාවක් ඔවුන්ට ඇති. ඒ නිසා අපි තීරණය කළා සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයකම තිබෙන මධ්‍ය සායන හරහා මෙම එන්නත්කරණය ලබන සෙනසුරාදා (23) සිදුකරන්න. සියලු වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා එම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. එවිට එන්නත ලබාගන්න නොහැකිවූ දරුවන්ට එම කාර්යාලවලට ගොස් එන්නත ලබාගන්න පුළුවන්. 21 වනදා දිවයින පුරාම එන්නත්කරණය ආරම්භ කළාට පස්සේ තමන්ගේ පදිංචි ප්‍රදේශයෙන් වුණත් අදාළ අධ්‍යාපන හැඳුනුම්පත පෙන්නලා මේ දරුවන්ට එන්නත ලබාගන්න පුළුවන්.”

අවුරුදු 18-19 වයස් කාණ්ඩයේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් සඳහා එන්නත ලබාදීම ඉකුත් 15 වනදා ආරම්භ කර තිබුණි.

කොළඹ දිස්ත්‍රික්කයට අමතරව අනෙකුත් දිස්ත්‍රික්කවල අවුරුදු 18-19 වයස් කාණ්ඩයේ පාසල් ළමුන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම ලබන 21 වනදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

මේ අතර පවතින සංචරණ සීමා උල්ලංඝනය කරමින් දරුවන් ව ගමන් බිමන් රැගෙන නොයන ලෙස දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරන බවද ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළාය.

ඇය පෙන්වා දෙන්නේ පාසල් නැවත ආරම්භ කිරීමට මේ වනවිට සැලසුම් කර ඇති බැවින් දරුවන් ආසාදිත වුවහොත් එම වැඩපිළිවෙලට බාධා විය හැකි බවය.

++++++++++++++++++

ෆයිසර් හයලක්ෂ අටදහසක් අද (18) අලුයම දිවයිනට

(18.10.2021 – 06:08 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව විසින් මිල දී ගත් ෆයිසර් එන්නත් මාත්‍රා 6,08,000 ක් අද (18) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබෙනවා.

ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී වෛද්‍ය දිනූෂ දසනායක මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාව මිල දී ගනු ලැබූ ෆයිසර් එන්නත් තොගයෙන් මිලියන 1.7 ක ප්‍රමාණයක් මේ වනවිට මෙරටට ලැබී ඇති බවයි.

ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී වෛද්‍ය දිනූෂ දසනායක මහතා කියා සිටියේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ අටක් (8,00,000) මේ වනවිට මෙරටට ලැබී ඇති බවයි.

අද (18) අලුයම රැගෙන ආ එන්නත් තොගය කිලෝ 1,817 යි ග්‍රෑම් 800 ක බරින් යුක්ත අතර, එය පෙට්ටි 53 ක අසුරා තිබුණා.

මේ අතර ඊයේ (17) දිනයේ නව ආසාදිතයින් 578 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,31,648 ක් දක්වා ඉහළ ගියා.

තවදුරටත් මෙරට සක්‍රිය ආසාදිතයන් සංඛ්‍යාව 25,543 ක් වන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 4,92,621 ක්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා (16) සිදු වූ බවට ඊයේ (17) තහවුරු කරන ලද මරණ 12 ත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,484 ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම කොරෝනා පාලනය සඳහා ඇමරිකාවේ මර්ක් සමාගම විසින් නිපදවා ඇති මොනුපිරවියර් ප්‍රතිවෛරස් ඖෂධ කරලේ සාර්ථකත්වය පිළිබදව පළව ඇති වාර්තා හේතුවෙන් ආසියා පැසිෆික් කලාපයේ රටවල් රැසක් දැනටමත් ඇණවුම් ලබාදීම සඳහා සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කළේ, එන්නත්කරණය ප්‍රමාද වී ආරම්භ කළ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු කොරියාව වැනි රටවල් ඒ අතර වන බවයි.

අදාළ ඖෂධය සඳහා ඇමරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය තවමත් ලැබී නැතත් කොරෝනා පාලනය සඳහා යොදා ගත හැකි ප්‍රබලම ඖෂධයක් ලෙස මර්ක් සමාගමේ ප්‍රති වෛරස් ඖෂධය හඳුන්වා දීමත් සමඟ මෙලෙස ලොව බොහෝ රටවල් එම ඖෂධය ඇණවුම් කිරීමට පෙළඹී තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම තත්ත්වය හමුවේ කොරෝනා පාලනය දැඩි අර්බුදයක් බවට පත්ව ඇති සංවර්ධනය වෙමින් පවතින රටවල් තවදුරටත් අර්බුදයට ලක්විය හැකි බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *