මේ මස 21 වනදා පාසල් ආරම්භ කිරීම – අභ්‍යාසලාභි උපාධිධාරීන් 21 සිට පාසල්වලට

මේ මස 21 වනදා පාසල් ආරම්භ කිරීම – අභ්‍යාසලාභි උපාධිධාරීන් 21 සිට පාසල්වලට

*********************************************

මේ මස 21 වනදා පාසල් ආරම්භ කිරීම – අභ්‍යාසලාභි උපාධිධාරීන් 21 සිට පාසල්වලට

(17.10.2021 – 19:37 +0530 – hirunews.lk/sinhala)

මේ මස 21 වනදා පාසල් ආරම්භ කිරීමේදී රජය විසින් පත්වීම් ලබාදුන් උපාධිධාරීන් 60,000 ගෙන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කළ අය ඉගැන්වීම් කටයුතු සඳහා යොදවා ගන්නා බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, 21 වැනිදා පාසල් ආරම්භ කළ ද රාජකාරි කටයුතු සඳහා සහභාගිවන්නේ ද නැද්ද යන්න පිළිබදව අවසන් තීන්දුවට හෙට (18) එළඹෙන බවයි ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කළේ.

එසේම ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය අනුරාධපුරයේදී මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ 21 වන දා පාසල් විවෘත කිරීමේදී ඔවුන්ගේ සියළු ගුරුවරුන් සහභාගි වී අධ්‍යයන කටයුතු සිදුකරන බවයි.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ද හාලිඇල ප්‍රදේශයේදී අද (17) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගුරු – විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සමිති අරගලයට විරෝධය පළ කළා.

එසේම, වැලිමඩ ඌව පරණගම ගුරු එකමුතුවද අද (17) මාධ්‍ය හමුවක් කැඳවා තිබු අතර ඊට එක්ව සිටි ගුරුවරුන් ඉල්ලා සිටියේ වර්ජනයේ නිරත ගුරුවරුන්ට 21 වනදා සිට පාසල් වලට පැමිණ ඉගැන්වීම් කටයුතු සිදුකරන ලෙසටයි.

මේ අතර, ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගට සිය සංගමය කොන්දේසි විරහිතව සහය දක්වන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ රජය බිය ගැන්වීම් සහ අවස්ථාවාදී තෙවන පාර්ශවයන්ගේ මැදිහත්වීම් වැනි වංචනික උපක්‍රම තුළින් ගුරු – විදුහල්පති අරගලය බිද දැමීමට ගන්නා උත්සාහය හෙළා දකින බවයි.

******************************************

බණ්ඩාරවෙල – මිනුවන්වැවෙහි ප්‍රතිසංස්කරණය හේතුවෙන් ජනතාවට පීඩා

(17.10.2021 – 14:20 +0530 – hirunews.lk/sinhala)

බණ්ඩාරවෙල – කොන්තෙහෙල ග්‍රාම නිලධාරී වසමට අයත් මිනුවන්වැවෙහි සිදුකර ඇති ප්‍රතිසංස්කරණය හේතුවෙන් වැව ආශ්‍රිතව ජලය ලබා ගන්නා ප්‍රදේශවාසීන් ජලය නොමැතිකමින් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

වැව වටා මාර්ගයක් ඉදිකිරීම නිසා වැවේ පෙර පැවති ජල ධාරිතාවය අඩු වීමෙන් මෙම තත්වය උද්ගතව ඇති බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

රුපියල් ලක්ෂ 140 ක් පමණ වියදම් කරමින් මෙම වැව ප්‍රතිසංස්කරණය කළ ද ඒ අවට ළිං සිඳී යාමත් සමඟ පවුල් 150 ක් පමණ ජල නෙමැතිකමින් පීඩා විදිනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ මෙම වැව පැවති ආකාරයෙන් සකසා දෙන ලෙසයි ෴

******************************************

බන්ධනාගාර නිලධාරියෙකු සහ ඔහුගේ පුත්‍රයා දැලි පිහියකින් කැපූ දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(17.10.2021 – 14:25 +0530 – hirunews.lk/sinhala)

කටුගස්තොට ප්‍රාදේශයේ දී බන්ධනාගාර නිලධාරිවරයෙකු සහ ඔහුගේ පුත්‍රයා දැලි පිහියකින් කපා බරපතල තුවාල සිදු කළ බව කියන සැකකරුවන් දෙදෙනෙකු (2) පොලිසිය අද (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෞද්ගලික සිද්ධියක් මත ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරිවරයා සහ ඔහුගේ පුත්‍රයා පේරාදෙණිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (18) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

******************************************

ඉරාන ජාතිකයන් දෙදෙනාගේ (2) සිරුරු ඥාතීන් ගෙන්වා ගන්නා තෙක් සුරක්ෂිතව තබන්නැයි දැනුම්දීමක්

(17.10.2021 – 16:05 +0530 – hirunews.lk/sinhala)

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේදී දෑත් පිරිසිදුකාරක දියර පානය කිරීමෙන් මිය ගිය ඉරාන ජාතිකයන් දෙදෙනාගේ (2) මෘත දේහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන් සතියක් තුළ ගෙන්වා ගැනීමට කටයුතු කරන බැවින් එතෙක් සුරක්ෂිතව තබන ලෙස ඉරාන තානාපති කාර්යාලය දැනුම් දී තිබෙනවා.

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා මත බන්ධනාගාර ගත කර සිටි ඉරාන ජාතිකයන් පිරිසක් පසුගිය 14 වන දා දෑත් පිරිසිදු කාරක දියර පානය කර ඇති අතර ඉන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්වුණා.

එක් (1) මෘතදේහයක් කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ ද, අනෙක් (1) දේහය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෘත ශරීරාගාරයේ ද තබා ඇති බව සඳහන්.

මෙම මෘත දේහවල මරණ පරීක්ෂණ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය යටතේ සිදුකිරීමට නියමිතයි ෴

******************************************

අන්තර් පළාත් දැඩි සංචරණ සීමා මැද නුවරඑළියට දේශීය සංචාරකයින් පැමිණීමේ ඉහළ යාමක්

(17.10.2021 – 17:39 +0530 – hirunews.lk/sinhala)

පළාත් අතර දැඩි සංචරණ සීමා පනවා තිබියදීත්, සතිඅන්තයේ නුවරඑළියට දේශීය සංචාරකයින්ගේ පැමිණීමේ වැඩිවීමක් දක්නට ලැබෙනවා.

කෙසේවෙතත් තවත් පිරිසක් තම වෙන්කර ගැනීම් අවලංගු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

දීර්ඝ නිවාඩුවත් සමග නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි සංචාරක නිකේතන සහ නවාතැන් පහසුකම් ලබාදෙන නිවාඩු නිකේතන ඇතුළු නිවාස රැසක් දේශීය සංචාරකයින් විසින් කලින් වෙන් කරගනු ලැබුවා.

පළාත් අතර, සංචරණ සීමා දැඩි කිරීමත් සමග ඇතැමුන් ඒවා අවලංගු කරගෙන ඇති බවයි නුවරඑළිය සංචාරක හෝටල් හිමියන් පැවසුවේ.

පළාත් අතර සංචරණ සීමා දැඩි කළ ද, ඇතැම් දේශීය සංචාරකයින් පැමිණ සිය නිවාඩුව ගත කරමින් සිටින අතර එම සංචාරකයින්ට නිරෝධායන උපදෙස්වලට අනුකුලව පහසුකම් සලසා දී ඇති බව, නුවරඑළිය සංචාරක හෝටල් හිමියන් ප්‍රකාශ කළා.

මේ අතර, මෙම සති අන්තයේ යෙදෙන දීර්ඝ නිවාඩුව හමුවේ පොලීසිය නිරෝධායන නීති උල්ලංඝනය කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව මාර්ග බාධක යොදා වාහන පරික්ෂා කිරීම, නිරෝධායන නීති උල්ලංඝනය කරන්නන් සොයා මෙහෙයුම් සිදු කිරීම හා සති අන්තයේදී ද පළාත් සංචරණ සීමා ක්‍රියාත්මක කිරීම සිදු කෙරෙනු ඇති ෴

******************************************

තරුණයෙකු සහ තරුණියක අනවසර විදුලි රැහැනක පැටලී ජීවිතක්ෂයට

(17.10.2021 – 18:19 +0530 – hirunews.lk/sinhala)

කොලොන්න පිටවෙල ප්‍රදේශයේ තරුණයෙකු සහ තරුණියක අනවසර විදුලි රැහැනක පැටලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, වඩුමඩුව දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකු සහ කොළොන්න පිටවෙල පදිංචි 17 හැවිරිදි තරුණියක්.

ඔවුන් මෙම අනතුරට මුහුණදී ඇත්තේ, ජීවිතක්ෂයට පත් තරුණියගේ ඥාතියෙකුට අයත් කුරුඳු ඉඩමකදීයි.

මෙම කුරුඳු ඉඩම වටා, කම්බි යොදා එයට අනවසරයෙන් විදුලිය සම්බන්ධ කර තිබී ඇති අතර, ඔවුන් මියගොස් ඇත්තේ, එම විදුලි කම්බිවල පැටලීමෙන්.

වන සතුන්ගෙන් සිය වගා ආරක්ෂා කර ගැනීම සඳහා මෙලෙස කුරුඳු ඉඩම වටා කම්බි වැටක් සවි කර, ඊට (නීති විරෝධීව) විදුලිය සම්බන්ධ කර ඇති බවයි පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.

ජීවිතක්ෂයට පත් දෙදෙනා (2) අන්තර්ජාලය ඔස්සේ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, මෙම සිදුවීම සිදු වූ දින දික්වැල්ලේ සිට මෙම තරුණයා අදාළ තරුණිය හමුවීමට පැමිණ තිබෙනවා.

තරුණියගේ නිවස ආසන්නයේ තරුණයා පැමිණි යතුරුපැදිය නතර කර, තරුණිය සමග කතාබස් කරමින් සිට ඇති අතර, නිවැසියන් මේ බව දැක ඇති බවයි වාර්තා වන්නේ.

එයින් කලබල වූ මොවුන් දෙදෙනා (2) පලා ගොස් ඇති අතර, නිවසට යාබදව මීටර් 500 ක් පමණ දුරින් පිහිටි අක්කර 5 ක පමණ කුරුඳු වත්තක විදුලි සැර වැදී වැටී ජීවිතක්ෂයට පත්ව සිටියදී මොවුන්ගේ සිරුරු සොයා ගැනුණා.

ඒ අද (17) පෙරවරුවේදීයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය ස්ථානීය අපරාධ ඒකකය සහ කොළොන්න පොලීසිය එක්ව පරික්ෂණ පවත්වන අතර, අනවසරයෙන් කුරුඳු ඉඩමට විදුලිය යෙදූ එම ඉඩමේ හිමිකරු ද පොලිස් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පොලිස් පරික්ෂණ පැවැත්වෙනවා ෴

******************************************

බණ්ඩාරගමදී තරුණයින් දෙදෙනෙකුගේ (2) දෑත් කපයි

(17.10.2021 – 19:27 +0530 – hirunews.lk/sinhala)

බණ්ඩාරගම – වල්ගම – සුනාමි නිවාස සංකීර්ණය ආසන්නයේදී තරුණයින් දෙදෙනෙකුට (2) කිසියම් පුද්ගලයෙකු අද (17) තියුණු ආයුධවලින් පහර දීම හේතුවෙන් එක් (1) තරුණයෙකුගේ දෑත්වලට බරපතල තුවාල සිදුව තිබෙනවා.

එමෙන්ම අනෙක් තරුණයාගේ ද එක් (1) අතකට තියුණු ආයුධවලින් පහර දී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. තරුණයින් දෙදෙනා (2) ත්‍රිරෝද රථයක රැදී සිටි අවස්ථාවකදී එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු විසිනුයි මෙලෙස තියුණු ආයුධවලින් පහර දී ඇත්තේ.

පහරකෑමට ලක්වූ තරුණයින් දෙදෙනා (2) ප්‍රතිකාර සඳහා හොරණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරමක් මුල් කර ගනිමින් මෙම ආරවුල සිදුව ඇති අතර, තරුණයින් දෙදෙනා (2) රැදී සිටි ත්‍රිරෝද රථයේ තිබී තියුණු ආයුධ හමුවී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, කටුගස්තොට ප්‍රදේශයේදී බන්ධනාගාර නිලධාරියෙකුට සහ ඔහුගේ පුත්‍රයාට දැලි පිහියකින් පහර දී බරපතල තුවාල සිදු කළ බව කියන දෙදෙනෙකු (2) පොලිසිය අද (17) අත්අඩංගුවට ගත්තා.

පෞද්ගලික ආරවුලක් මත ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරිවරයා සහ ඔහුගේ පුත්‍රයා පේරාදෙණිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

******************************************

කෘෂි ඇමති මහින්දානන්දට, විපක්ෂයෙන් විශ්වාසභංගයක්

(17.10.2021 – 19:52 +0530 – hirunews.lk/sinhala)

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සමගි ජනබලවේගය තීරණය කර තිබෙනවා.

පොහොර ගැටළුව විසදීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරන බවයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහනුවර – ගලගෙදර දී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.

මේ අතර, අදත් පොහොර ගැටළුව මුල් කර ගනිමින් ප්‍රදේශ රැසක ගොවි විරෝධතා පැවැත්වුණා.

ගොවි ජනතාව චෝදනා කළේ තමන්ට මහ කන්නයේ වී වගාව සඳහා පොහොර නොලැබීම හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි.

ප්‍රදේශ රැසක අද දිනයේදීත් ගොවි විරෝධතා පැවති අතර එහිදී ගොවීන් මෙලෙස අදහස් දක්වා සිටියා.

කෙසේ වෙතත්, මේ මස අවසන් වීමට පෙර, අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියළු ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත අවශ්‍ය පොහොර ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළා.

ඒ පොහොර ගැටලුව සම්බන්ධයෙන් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනගේ නිවසේ ඊයේ පැවති සාකච්ජාවකට එක්වෙමින්.

අදාල සාකච්ඡාව සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ නියෝජනය කරන සියළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් එක්ව සිටියා.

******************************************

රතන හිමි ඉවත් කිරීමට ගත් ක්‍රියාමාර්ග නීත්‍යානුකූල නොවන බව විජයධරණී ජාතික සභාව කියයි

(17.10.2021 – 19:57 +0530 – hirunews.lk/sinhala)

විනය ක්‍රියාමාර්ග ගත් බවට පවසමින් පක්ෂ සාමාජිකත්වයෙන් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඉවත් කිරීමට ‘අපේ ජන බල පක්ෂය’ ගත්ක්‍රියාමාර්ග නීත්‍යානුකූල නොවන බව ‘විජයධරණී ජාතික සභාව’ පවසනවා.

කෙසේ වෙතත් අපේ ජන බල පක්ෂයේ ජාතික සංවිධායක සුසන්ත කොඩිතුවක්කු මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ජීවන් චතුරංග නැමැත්තා ‘අපේ ජන බල පක්ෂයේ’ දේශපාලන බල මණ්ඩල සාමාජිකයෙකු හෝ මධ්‍යම කාරක සභා සාමාජිකයෙකු නොවන බවයි.

මේ අතර, ‘අපේ ජනබල පක්ෂයේ’ මාධ්‍ය ප්‍රකාශක ඩෑන් ප්‍රියසාද් මහතා කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් එම පක්ෂයට සාධාරණයක් සිදුනොකිරීම හේතුවෙන් උන්වහන්සේව පක්ෂයෙන් ඉවත් කිරීමට තීරණය කළ බවයි.

++++++

“රතන හාමුදුරුවන්ගේ දේශපාලන ‘ගේම්’ චමුදිත ඔයා දන්නේ නැත්නම් අපි කියන්නම්” (17.10.2021)

******************************************

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පාලම මත ඇදවැටෙයි

(17.10.2021 – 22:19 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා, වසර ගණනක් තිස්සේ ප්‍රතිසංස්කරණය නොකෙරුණු ඉතා පැරණි පාලමක් වන ඌව පරණගම – හාලිඇල යා කරන හලාඹ පාලම නිරීක්ෂණයට අද (17) එක වුණා.

එහිදී මන්ත්‍රීවරයා පාලම මත පිරිසක් සමඟ ඇවිද යමින් සිටියදී පාලමේ අබලම් කොටසකට පාදය තබනවාත් සමගම ඇදවැටුණා.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

තවත් ආසාදිතයින් 316 දෙනෙකු සුවය ලබයි

(17.10.2021 – 14:27 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ආසාදිතව සිටි තවත් 316 දෙනෙකු අද (17) දිනයේදී සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව, සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 4,92,621 දක්වා ඉහළ ගිය බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

මෙරට සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 24,977 දක්වා පහත බැස තිබෙනවා ෴

තවත් කොරෝනා මරණ 12 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඊයේ (16) දින තහවුරු කර ඇති එම මරණ 12 ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,484 ක්. එම මරණ අතරට කාන්තාවන් 4 ක් සහ පිරිමින් 8 ක් අයත් ෴

තවත් කොරෝනා ආසාදිතයින් 453 දෙනෙකු මෙරටින් හමු වී තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,31,523 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ ෴

තවත් කොරෝනා ආසාදිතයින් 125 ක් මෙරටින් හමු වී තිබෙනවා. ඒ අනුව අද හමු වූ මුළු ආසාදිතයින් ගණන 578 ක් වන අතර මෙරට මුළු ආසාදිතයින් ගණන 5,31,648 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *