කාදිනල් හිමිපාණන්ගෙන් රජයට යළි සිහිකැඳවීමක්

කාදිනල් හිමිපාණන්ගෙන් රජයට යළි සිහිකැඳවීමක්

*********************************************

කාදිනල් හිමිපාණන්ගෙන් රජයට යළි සිහිකැඳවීමක්

(17.10.2021 – 12:53 +0530 – hirunews.lk/sinhala)

පාස්කු කොමිසමේ නිර්දේශ බොහොමයක් මේ වනතෙක් රජය ක්‍රියාත්මක කර නොමැති බවට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් චෝදනා කරනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ‘පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම මැයෙන්’ ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් සමඟ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් සහ ගරු සිරිල් ගාමිණී පියතුමන්ද එක්වුණා.

ඊට ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් 300 ක් පමණ පමණ ද සම්බන්ධ වී තිබෙනවා.

+++++++

******************************************

සෞදියේ අතරමං වූ තවත් ලාංකික කාන්තාවක්

(17.10.2021 – 09:08 +0530 – hirunews.lk/sinhala)

සෞදි අරාබියේ තියාද් ප්‍රදේශයේ නිවසක හාම්පුතුන් විසින් බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකික කාන්තාවක මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ආරම්භ කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය මහතා හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ ඒ අනුව ඇය ගෘහ සේවය සඳහා එරටට යවන ලද විදේශ රැකියා ආයතනයට අදාළ නියෝග නිකුත් කර ඇති බවයි.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි විදේශ රැකියා ආයතනයකට මුදල් ලබා දී ගෘහ සේවය සඳහා සෞදි අරාබියට ගොස් ඇත්තේ 2017 වසරේ ඔක්තෝම්බර් මාසයේදීයි.

කෙසේ නමුත් එම නිවසේ හාම්පුතුන් විසින් ඇයව බලහත්කාරයෙන් සිරකර තබා ගෙන මේ දක්වා දැඩි වදහිංසා පමුණු වන බව සඳහන්.

ඒ පිළිබඳව අදාළ කාන්තාව එම නිවසේ හාම්පුතුන්ට රහසිගතව සෞදි අරාබියේ සිට හිරු ප්‍රවෘත්ති අංශයට දුරකථන ඇමතුමක් ලබා දෙමින් උපකාර ඉල්ලා සිටියා ෴

******************************************

බිරිඳට පහර දී, භූමිතෙල් දමා පුළුස්සා ඝාතනය කළ සැමියා අත්අඩංගුවට

(17.10.2021 – 11:31 +0530 – hirunews.lk/sinhala)

වව්නියාව පූවර්සන්කුලම්, කට්පගපුරම් ප්‍රදේශයේදී පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සැමියා විසින් සිය බිරිඳට පහර දී, භූමිතෙල් දමා ඝාතනය කර තිබෙනවා.

සැමියා සහ බිරිඳ අතර වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් සැමියා විසින් බිරිඳට පහරදී ඇති අතර, එහිදී එම කාන්තාව සිහිසුන්ව බිම වැටී ඇති බවයි පූවර්සන්කුලම් පොලීසිය පවසන්නේ.

ඉන් පසුව සැමියා විසින් ඇයගේ සිරුරට භූමිතෙල් දමා පුළුස්සා පලා ගොස් තිබෙනවා.

අනතුරුව අසල්වාසීන් විසින් කාන්තාවගේ සිරුරෙහි හටගත් ගින්න නිවා දැමීමට පියවර ගනු ලැබුව ද, ඒ වන විටත් දැඩි ලෙස පිලිස්සී සිටි අදාළ කාන්තාව රෝහල්ගත කිරීමට පෙර, එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව සිටි බවයි පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.

මෙලෙස පිලිස්සී මිය ගොස් ඇත්තේ, කට්පගපුරම් ප්‍රදේශයේ පදිංචි රාජේන්ද්‍රම් අනට්ට්‍රා නමැති 43 හැවිරිදි කාන්තාවක්.

පූවර්සන්කුලම් පොලීසිය විසින් ගිනිතැබීම සිදු කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාළ සැකකරු වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

******************************************

යාපනය සහ කිලිනොච්චියේ අනතුරුවලින් එක් (1) අයෙකු මරුට – දෙදෙනෙකුට (2) බරපතලයි

(17.10.2021 – 12:20 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ සහ කිලිනොච්චියේදී සිදු වූ රියඅනතුරුවලින් එක් (1) පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව පුද්ගලයින් දෙදෙනෙකු (2) බරපතල තුවාල ලබා තිබෙනවා.

යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ සහ කිලිනොච්චිය පලෛ පොලිස් බලප්‍රදේශයන්හි දී ඊයේ (16) දින මෙම රියඅනතුරු සිදු වී ඇති බවයි පලෙයි පොලීසිය පවසන්නේ.

යාපනය චාවකච්චේරි ප්‍රදේශයේදී ධාවනය වූ ටිපර් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසුව මියගිය බවට පොලීසිය පවසනවා.

යතුරුපැදියට තම අධික වේගය පාලනය කරගත නොහැකි වීම මෙම අනතුරට හේතුව බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ, චාවකච්චේරි ප්‍රදේශයේ පදිංචි නිරෝෂ් නමැති 24 හැවිරිදි තරුණයෙක්.

මේ අතර, පලෙයි පොලිස් බලප්‍රදේශයේ ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් අනතුරට ලක්වීමෙන් ත්‍රීරෝද රථයේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනෙකු (2) බරපතල තුවාල ලබා ඇති බවට පලෙයි පොලීසිය පවසනවා.

ත්‍රීරෝද රථය තවත් වාහනයක් පසුකර යාමට ගත් උත්සහයකදී, ඉදිරියෙන් පැමිණි විදුලි කණු පටවාගත් ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, එහිදී බරපතල තුවාල ලැබූ, ත්‍රීරෝද රථයේ ගමන්ගත් දෙදෙනා (2) පලෙයි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව, යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.

සිද්ධීන් සම්බන්ධයෙන් පලෙයි පොලීසිය වැඩිදුරටත් විමර්ශන සිදු කරනවා ෴

******************************************

කාබනික පොහොර යොදා වගාකරන වී වලට මහින්දානන්දගෙන් රුපියල් 70 ක මිලක්

(17.10.2021 – 12:41 +0530 – hirunews.lk/sinhala)

මේ මස අවසන් වීමට පෙර, අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියළු ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත අවශ්‍ය පොහොර ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුගමගේ මහතා පවසනවා.

අනුරාධපුර පැවති වැඩසටහනකට එක්වෙමින් අමත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ කාබනික පොහොර යොදා වගාකරන වී මිලදී ගැනීමේදී කිලෝග්‍රෑමයක මිල රුපියල් 70 ක් දක්වා ඉහළ නංවන බවයි.

පවතින පොහොර ගැටලුව සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ නියෝජනය කරන සියළු ප්‍රදේශීය සභා මන්ත්‍රීවරුන් අතර හමුවක් ඊයේ (16) පැවැත්වුනේ අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ නිවසේදියි.

******************************************

වෙන්දේසි වූ පොල් සංඛ්‍යාව පහත වැටෙයි

(17.10.2021 – 13:01 +0530 – hirunews.lk/sinhala)

පසුගිය සතියේ පැවති පොල් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරුණු පොල් ගෙඩි සංඛ්‍යාව 9,88,614 දක්වා පහත වැටී තිබෙනවා.

ඊට පෙර සතියේ ඒ සඳහා පොල්ගෙඩි 15,58,000 කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් කෙරුණා.

පසුගිය සතියේ පැවති පොල් වෙන්දේසියේ දී අලෙවි වී ඇත්තේ ද පොල් ගෙඩි 6,19,623 ක් පමණයි.

එහිදී පොල්ගෙඩියක් සඳහා හිමිවූ සාමාන්‍ය මිල රුපියල් 48.43 ක්.

මේ අතර, තේ වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරුණු තේ ප්‍රමාණය ද කිලෝග්‍රෑම් මිලියන 5.7 ක් ලෙස පහත වැටුණා.

තේ අපනයනකරුවන්ගේ සම්මේලනය සඳහන් කළේ ඊට පෙර සතියේ වෙන්දේසිය සඳහා තේ කිලෝග්‍රෑම් මිලියන 06 ක් ඉදිරිපත් කෙරුණු බවයි ෴

******************************************

රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(17.10.2021 – 13:24 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම සහ යාපනයේදී රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 39 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මන්නාරම මඩු ප්‍රදේශයේදී සහ යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේදී මෙම සැකකරුවන් ඊයේ (16) අත්අඩංගුවට ගැනුණේ, යාපනය පේදුරුතුඩුව පොලිස් වසමේ නිලධාරීන් පිරිසක් විසින් සක්කොට්ටෙයි මුහුදු තීරයේදී සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසයි.

එහිදී, බෝට්ටුවක් තුළ සඟවා තිබූ පාර්සල් 15 ක කේරළ ගංජා කිලෝග්‍රෑම් 35 ක් සොයාගත් අතර, එම කේරළ ගංජා රැගෙන ආ පුද්ගලයින් කවුරුන්ද යන කාරණය මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පේදුරුතුඩුව පොලීසිය පවසන්නේ.

මේ අතර, මන්නාරම මඩු පොලිස් වසමේ පොලිස් සහ යුද හමුදා මාර්ග බාධකයක දී කුඩා ප්‍රමාණයේ ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී, එහි සඟවා රැගෙන ගිය කේරළ ගංජා කිලෝග්‍රෑම් 04 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු (2) මඩු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් භාරයට ගත් කේරළ ගංජා තොගය මන්නාරමේ සිට වෙනත් ප්‍රදේශයකට රැගෙන යමින් සිටියදී මෙලෙස පොලීසිය විසින් සොයා ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවයි මඩු පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

IOC සමාගමත් මිල අර්බුදයක – තෙල් සංස්ථාව කඩිනම් විසඳුම් ඉල්ලයි

(17.10.2021 – 13:30 +0530 – hirunews.lk/sinhala)

ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඉහළම අගයකට පැමිණිමත් සමඟ කඩිනම් විසඳුමක් ලබාදෙන්නැයි තෙල් සංස්ථාව යළි භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඊයේ (16) දිනය වනවිට බොරතෙල් බැරලයක් ඩොලර් 85 ක ඉහළ මිලක් වාර්තා කළ අතර, පිරිපහදු කළ ඉන්ධන ශ්‍රී ලංකාව ලබා ගන්නේ ලීටරයක් ඩොලර් 92 ක මිලකටයි.

මෙම තත්ත්වය මත තවදුරටත් මිල ස්ථාවරය පවත්වාගෙන යාම දැඩි අර්බුදයක් වී ඇති බවයි තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේ.

පසුගිය සතියේ මාධ්‍ය හමුවක් කැඳවමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අඛන්ඩව ඉහළ යාමත් සමඟ මිල ඉහළ නැවීමක් අත්‍යාවශ්‍ය වී ඇති බවයි.

කෙසේ වෙතත්, භාණ්ඩාගාරය මගින් ලබාදෙන සහනය මත පදනම්ව එය තීරණය වන බවයි ඔහු ප්‍රකාශ කළේ.

අමාත්‍ය මණ්ඩලය හමුවූ අවස්ථාවේ මෙම යෝජනාව ඉදිරිපත් වී තිබූ අතර, බදු සහනයක් ලබාදිය හැකිදැයි එහිදී මුදල් අමාත්‍යවරයා නිෂ්චිත ස්ථාවරයක් සඳහන් කර තිබුණේ නැහැ.

මෙවැනි පසුබිමක් තිබියදී ඇමති උදය ගම්මන්පිල මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ජීවන වියදම ඉහළ යාමේ තත්ත්වයක් පවතින අවස්ථාවක ඉන්ධන මිල හැකිතාක් ඉහළ නැංවීමක් සිදුනොකර සිටීමට උත්සාහ කරන බවයි.

මේ අතර, ඉන්දීය ඔයිල් සමාගම පවසන්නේ ලෝක වෙළඳපොලේ පවතින මිල ඉහළ යාම හේතුවෙන් තමන්ට විශාල පාඩුවකට මුහුණදීමට සිදුව ඇති බවයි.

ජාත්‍යන්තර වෙළඳපොලේ පෙට්‍රල් සහ ඩීසල් බැරලයකට ඩොලර් 93 ත් 94 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, ඩීසල් ලීටරයකින් පමණක් සිදුවන පාඩුව රුපියල් 30 කට අධිකයි.

බොරතෙල් බැරලයක මිල පවා ඩොලර් 85 ඉක්මවා ඇති අතර, මීට මාස 04 කට පෙර බොරතෙල් බැරලයක් ඩොලර් 50 ත් 60 ත් අතර මිල සීමාවේ පැවති බව ද අයි.ඕ.සී. සභාපති මනෝජ් ගුප්තා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

මෙම තත්ත්වය යටතේ ඉන්ධන මිල සම්බන්ධයෙන් රජය සමග සමීපව අදහස් හුවමාරු කර ගනිමින් සිටින බවයි අයි.ඕ.සී. සභාපතිවරයා කියා සිටියේ.

සිය ඉන්ධන මිල වැඩි කිරීම සඳහා රජයේ අනුමැතියක් අවශ්‍ය නොවුව ද, ඒ සඳහා මෙරට ක්‍රියාත්මක පද්ධතීන් පිළිබඳව සංවේදීව කටයුතු කරන බව ද කියා සිටියා.

තෙල් මිල සම්බන්ධයෙන් තමන් මීට පෙර ද සාධාරණ ප්‍රතිපත්තියක් අනුගමනය කළ බව ඔහු සඳහන් කළා.

කෙසේ නමුත්, ලෝක වෙළඳපොළේ මිල ගණන්වලට සාපේක්ෂව සිය ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් අපේක්ෂාවෙන් පසුවන බවයි අයි.ඕ.සී. සභාපතිවරයා කියා සිටියේ.

ඒ සඳහා රජයේ පාර්ශවයෙන් යම් පියවරක් බලාපොරොත්තු වන බවත් එවැන්නක් සිදු නොවන්නේ නම් තම සමාගමට ඒ සම්බන්ධයෙන් තීරණයකට එළඹිමට සිදුවන බව ලංකා අයි.ඕ.සී. සභාපති මනෝජ් ගුප්තා අවධාරණය කළා.

******************************************

සංචාරක හෝටල්වල විදුලි බිල්පත් ගෙවීමට ලබා දුන් සහන කාලය දීර්ඝ කිරීම පිළිබඳ අවධානය

(17.10.2021 – 14:16 +0530 – hirunews.lk/sinhala)

සංචාරක හෝටල්වල විදුලි බිල්පත් ගෙවීම සඳහා ලබා දී ඇති සහන කාලය තවදුරටත් දීර්ඝ කිරීම පිළිබඳ රජයේ අවධානය යොමුව තිබෙනවා.

බිඳවැටී ඇති සංචාරක කර්මාන්තය යථා තත්වයට පත්වීමට තවත් මාස කිහිපයක් ගතවිය හැකි බැවින් තවදුරටත් අදාළ සහනය ලබාදෙන ලෙස හෝටල් හිමියන් කළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ඒ පිළිබදව අවදානය යොමු කරන බවයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ.

ඒ සඳහා විදුලිබල අමාත්‍යවරයා සමග ද ඉදිරියේ දී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ඔහු කියා සිටියා.

පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 45,413 ක්. මේ මස 01 වන දා සිට 13 වන දා දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 7096 ක් බවයි සංචාරක අමාත්‍යාංශය නිවේදනය කළේ.

පසුගිය ජනවාරි මාසයේ සිට ඉන්දියාව, කසකස්ථානය, ජර්මනිය, යුක්ක්‍රේනය, බ්‍රිතාන්‍ය, චීනය, කැනඩාව, ඇමරිකාව, ප්‍රංශය සහ රුසියාව යන රටවල සංචාරකයින් මෙරටට පැමිණ තිබෙනවා.

ක්‍රමානුකූලව සංචාරකයින් මෙරටට පැමිණීම ආරම්භ වීමත් සමග හික්කඩුව ප්‍රදේශයේ සංචාරක මධ්‍යස්ථාන සංචාරකයින් සඳහා විවෘත කිරීම අද (17) සිට ආරම්භ කෙරුණා.

සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ස්පාඤ්ඤ ජාතිකයින් යුවළක් මෙරට සංචාරක කර්මාන්තය පිළිබදව අදහස් පළ කළේ මෙලෙසයි.

“ශ්‍රී ලංකාව කියන්නේ හරි අපූරු තැනක්, අපි යාපනෙන් අපේ ගමන පටන් ගත්තේ මේ වෙනකොට අපි ගොඩක් තැන්වලට ගිහිල්ලා තියෙනවා.

අපි හෙට මාලදිවයිනටත් යනවා.

අපි හිතනවා ලංකාවට අයේත්, ඉක්මනින් සංචාරක කර්මාන්තයෙන් පෙර පැවති තත්වයට එන්න පුලුවන් වෙයි කියලා.

අපිට සංචාරක මගපෙන්වන්නා විදියට සහය දුන් කෙනාටත් ස්තූතියි, මේ රටේ තියන විවිධ ආගමික ස්ථාන වගේම සංස්කෘතික ස්ථාන අපිට පෙන්නුවට.

කොරෝනා නිසා ගොඩක් තැන් වහලා තියෙන්නේ. ප්‍රාර්ථනා කරනවා ඉක්මනට මේ තත්වෙන් ගොඩ එන්න පුළුවන් වෙයි කියලා.

සංචාරකයන් විදිහට අපි හිටපු කාලය තුළ දැනුනා අපිට ශ්‍රී ලංකාව ආරක්ෂිතයි කියලා” ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

ඊයේ (16) දිනයේදී 57,738 කට කොරෝනා එන්නත්

(17.10.2021 – 11:27 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (16) දිනයේදී මෙරට කොරෝනා එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 57,738 කට එන්නත් ලබාදී තිබෙනවා.

එහිදී සයිනොෆාම් දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 40,776 කට ලබාදී ඇති අතර, එහි පළමු (1) මාත්‍රාව ලබාදුන් සංඛ්‍යාව 4760 ක්.

කොවිෂීල්ඩ් එන්නතේ පළමු (1) මාත්‍රාව ද ඊයේ (16) දිනයේ 10 දෙනෙකුට ලබාදී තිබෙනවා.

ෆයිසර් එන්නතෙහි පළමු (1) මාත්‍රාව 4672 දෙනෙකුට ලබාදී ඇති අතර එහි දෙවන (2) මාත්‍රාව ද 1041 දෙනෙකුට ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේ.

ඊයේ (16) දිනයේ මොඩර්නා එන්නත් මාත්‍රා 81 ක් ද ලබාදී තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *