පළාත් සංචරණ සීමා 21 වනදා දක්වා දැඩි කෙරේ – ආසාදිතයන් වැඩි ප්‍රදේශ හුදෙකලා කරන්නත් ජනපතිගෙන් උපදෙස්

පළාත් සංචරණ සීමා 21 වනදා දක්වා දැඩි කෙරේ – ආසාදිතයන් වැඩි ප්‍රදේශ හුදෙකලා කරන්නත් ජනපතිගෙන් උපදෙස්

*********************************************

පළාත් සංචරණ සීමා 21 වනදා දක්වා දැඩි කෙරේ – ආසාදිතයන් වැඩි ප්‍රදේශ හුදෙකලා කරන්නත් ජනපතිගෙන් උපදෙස්

(15.10.2021 – 13:45 +0530 – hirunews.lk/sinhala)

දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා ලබන 21 වනදා දක්වා දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

ලබන 19 සහ 20 දිනවල යෙදී ඇති නිවාඩු දින සමග දීර්ඝ සති අන්තයක් යෙදී ඇති බැවින් සියලුම පළාත් මායිම්වලදී ගමනාගමන කටයුතු දැඩිව පරීක්ෂාවට ලක් කරන ලෙස ජනාධිපතිවරයා, ආරක්ෂක අංශ වෙත නියෝග කර ඇති බව ද එමගින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

අද පෙරවරුවේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති රැස්වීමකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර, අවුරුදු 18 ට 19 වයස් කාණ්ඩයේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් ළමයින් සඳහා ෆයිසර් එන්නත් ලබාදීම අද සිට ආරම්භ කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මෙහිදී කියා සිටියා.

එමෙන්ම, අනෙකුත් දිස්ත්‍රික්කවල මෙම වයස් කාණ්ඩයේ දරුවන්ට ලබන 21 වනදා සිට පාසල් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල මගින් එන්නත ලබාදීමට පියවර ගැනෙනවා.

පාසල් ළමයින් එන්නත් කිරීමෙන් පසු ප්‍රතිශක්ති වර්ධක 3 වන මාත්‍රාව ලබාදීමට සැලසුම් කර ඇති බවයි මෙහිදී ප්‍රකාශ වී ඇත්තේ.

ඒ සඳහා ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 6 ක් ලැබීමට නියමිත අතර, මේ වනවිට ඇණවුම් කර ඇති එන්නත් අඛන්ඩව ලැබෙමින් පවතින බව කොවිඩ් කමිටු සාමාජික විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මෙහිදී සඳහන් කර තිබෙනවා.

කොවිඩ් මරණ සංඛ්‍යාව තවදුරටත් අඩු කර ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අධ්‍යයනය කළ යුතු අතර තවදුරටත් රෝගීන් වාර්තාවන ප්‍රදේශ පිළිබඳ අවධානය යොමු කර අදාළ ස්ථාන හුදෙකලා කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

++++++++++++++++

කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ට එන්නත්කරණය ඇරඹේ

(15.10.2021 – 13:26 +0530 – hirunews.lk/sinhala)

කොළඹ දිස්ත්‍රික්කයේ සියලු‍ අධ්‍යාපන කලාපවල මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සහ එක් (1) වරක් පෙනී සිටි දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම අද (15) පෙරවරුවේ සිට ආරම්භ වුණා.

ඒ අනුව කොළඹ කලාපය, හෝමාගම කලාපය, පිළියන්දල කලාපය හා ශ්‍රී ජයවර්ධනපුර කලාපය යන කලාප හතරේ (4) තෝරාගත් පාසල්වල එන්නත් කිරීමේ වැඩසටහන දැන් ක්‍රියාත්මකයි.

එන්නත් ලබා ගැනීම සඳහා පැමිණෙන සිසුන් ජාතික හැඳුනුම්පත රැගෙන ඒම අනිවාර්ය වනවා.

එමෙන්ම, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා කියා සිටියේ, කොළඹ දිස්ත්‍රික්කයේ උසස් පෙළට පෙනි සිටින සිසුන්ට කොරෝනා එන්නත් ලබාදීමේ වැඩසටහන සාර්ථක ලෙස සිදු වන බවයි.

මේ අතර, විශ්වවිද්‍යාල සිසුන් සඳහා දැනට ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහන අදින් (15) අවසන් වීමට නියමිතයි.

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ගෙවුණු දිනයේදී (14) පළමු (1) සහ දෙවැනි (2) මාත්‍රා වශයෙන් ලබා දුන් එන්නත් මාත්‍රා ගණන 50,812 ක්.

ඊයේ (14) දිනයේදි ආසාදිතයින් 674 වාර්තා වු අතර, ඒ සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛයාව 5,29,755 ක් දක්වා ඉහළ ගියා.

මේ අතර දරුවන්ට වැළදෙන පශ්චාත් කොවිඩ් සංකූලතාවන් වැඩිවීමක් දක්නට ලැබෙනව බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා ප්‍රකාශ කළා.

මේ අතර ජනාධිපති කාර්යාලයේ කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්විම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට රැස් වී තිබෙනවා.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ කොවිඩ් කමිටු රැස්වීමෙන් අනතුරුව නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවයි.

+++++++++++++++++

තවත් 354 ක් සුවය ලබයි

(15.10.2021 – 16:15 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 354 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 4,91,958 ක් ලෙසටයි.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 5,29,755 ක් හඳුනාගෙන ඇති අතර ඉන් 24,368 ක් රෝහල්ගතව හෝ නිවෙස්වල ප්‍රතිකාර ලබමින් පසුවනවා.

මෙරට සිදුවූ මරණ සංඛ්‍යාව 13,429 ක් ෴

++++++++++++++++++

තවත් කොරෝනා මරණ 20 ක්

(15.10.2021 – 16:55 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 13,449 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද (15) දිනයේ තවත් මරණ 20 ක් වාර්තා කිරීමත් සමගයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (14) තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 9 ක් සහ පිරිමි පුද්ගලයන් 11 ක් වනවා.

වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ එක් (1) කාන්තාවක් ඊයේ (14) තහවුරු කළ මරණවලට අයත්. අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයේ පිරිමින් 03 ක් සහ කාන්තාවන් දෙදෙනෙකු (2) වනවා.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 14 ක් වාර්තා කර ඇති අතර ඒ කාන්තාවන් 6 ක් සහ පිරිමින් 8 ක් වශයෙන්.

මෙරටින් මේවන විට කොරෝනා වයිරස් ආසාදිතයන් 5,29,755 ක් වාර්තාවී ඇති අතර ඉන් 24,368 ක් රෝහල්ගතව හෝ නිවෙස්වල ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 4,91,958 ක් ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

බස්නාහිර පළාතේ පැය තුනක මෙහෙයුමකින් බීමත්ව රිය පැද වූ 134ක් අත්අඩංගුවට

(15.10.2021 – 13:36 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත ආවරණය වන පරිදි ඊයේ (14) රාත්‍රි අටේ (8) සිට 11 දක්වා සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී බීමත් රියදුරන් 134 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය නිවේදනය කළේ, එහිදී මාර්ග නීති උල්ලංඝනය කළ රියදුරන් 334 දෙනෙකුට නඩු පැවරීමට කටයුතු කළ බවයි.

එසේම අපරීක්ෂාකාරී ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් රියදුරන් 26 දෙනෙකුටද නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා ෴

******************************************

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පිළිබඳ ගම්මන්පිලගෙන් විශේෂ ප්‍රකාශයක්

(15.10.2021 – 13:58 +0530 – hirunews.lk/sinhala)

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබන පාඩුව සම්බන්ධයෙන් ලබන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීත් සහනයක් අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය පිළිබඳව මතුව ඇති තත්ත්වය පිළිබඳව ඛනිජ තෙල් වෘත්තිය සමිති නියෝජිතයන් සමග පැවති බලය විශේෂ සංවාදාත්මක වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඉන්ධන මිල ඉහළ යාමක් මේ සතිය තුළ අපේක්ෂා නොකරන බවයි.

+++++++

******************************************

නිසි මාර්ගයක් නොමැතිව හිරිඹුරාව ගම්වැසියන් අපහසුතාවයට

(15.10.2021 – 14:05 +0530 – hirunews.lk/sinhala)

ග්‍රාමීය මාර්ග සංවර්ධනය වැදගත්වන්නේ එය ග්‍රාමීය ජනතාවගේ දෛනික ජනජීවිතය හා බැඳී පවතින්නක් හේතුවෙන්.

මේ සිය බව බෝග නගරයට ගෙන යාම සඳහා නිසි මාර්ගයක් නො මැතිකමින් පීඩා විඳින හිරිඹුරාව ගම්වාසීන්ගේ මැසිවිල්ලයි.

******************************************

දිවි නැගුම නඩුවෙන් ඇමති බැසිල් නිදහස්

(15.10.2021 – 14:49 +0530 – hirunews.lk/sinhala)

දිවිනැගුම නඩුවෙන් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (15) නියෝග කළා.

ඒ ඔවුන්ට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනා නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන්.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේදී දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන තිස් හයකට (36) අධික අරමුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් ඔවුන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා.

නඩුව අද (15) කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිකරුවන්ට එරෙහිව දිවි නැගුම අරමුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් මීට පෙර ගොනුකර තිබූ තවත් නඩුවකින් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කර තිබූ බව සඳහන් කළා.

එම නඩුවේ කරුණු හා මෙම නඩුවේ කරුණු බොහෝ දුරට සමාන බැවින් මෙම නඩුව පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවට විත්ති පාර්ශවය විසින් නීතිපතිවරයා වෙත කරුණු දැක්වූ බවද ඔහු කියා සිටියා.

ඒ අනුව, අධිචෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගැනීමට ගැනීමට අවසර දෙන ලෙස නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර, එය පිළිගත් අධිකරණය ඔවුන් නිදහස් කිරීමට තීන්දු කළා ෴

******************************************

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ චෝදනාවලින් නිදහස් කිරිමට එරෙහි පෙත්සම අභියාචනාධිකරණයේදී සළකා බැලේ

(15.10.2021 – 15:02 +0530 – hirunews.lk/sinhala)

තරුණයින් 11 දෙනෙකු පැහැර ගත් සිද්ධියට අදාළ නඩුවේ විත්තිකරුවෙකු ලෙස නම් කළ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව ගොනුකර තිබු අධිචෝදනා නීතිපතිවරයා විසින් ඉවත් කිරීමට ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලමින් ගොනුකර තිබූ රීට් අඥා පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ අද (15) කැදවනු ලැබුවා.

එහිදි අධිකරණය අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වන නීතිපති සහ අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට ලබන 29 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කළා.

නඩුව සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අතර පෙත්සම ගොනුකර ඇත්තේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් සිව් දෙනෙකු (4) විසින් ෴

******************************************

දියේ ගිලීමෙන් ළමුන් දෙදෙනෙකු (2) මරුට

(15.10.2021 – 15:48 +0530 – hirunews.lk/sinhala)

දඹගල්ල උඩුමුල්ල, කහටගහපිටිය වැවේ දිය නෑමට ගිය පිරිමි ළමුන් දෙදෙනකු (2) අද (15) පස්වරුවේ දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, කොල්ලාදෙනිය, දඹගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ළමුන් දෙදෙනෙක් (2).

අද (15) දහවල් ඔවුන් දිය නෑමට ගිය අවස්ථාවේ නෙලුම් අල ගැලවීමට උත්සාහ කර ඇති අතර එහිදී මඩ සහිත ප්‍රදේශයක සිරවී තිබෙනවා.

අනතුරුව ළමුන් දෙදෙනා (2) බේරාගෙන මඩුල්ල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කරන විට මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෘත ශරීර මඩුල්ල ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර, දඹගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴

******************************************

හෙට (16) ප්‍රදේශ කිහිපයකට පැය 13 ක ජල කප්පාදුවක්

(15.10.2021 – 16:38 +0530 – hirunews.lk/sinhala)

හෙට (16) කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට ජලය සැපයීම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව හෙට (16) උදෑසන 8 සිට පැය 13 ක් (රාත්‍රී 9 දක්වා) කොළඹ 9, 10, 11, 12 සහ 13 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇති.

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් මීට හේතුවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *