හයිලන්ඩ් සහ පැල්වත්ත කිරිපිටි මිලත් ඉහළට

හයිලන්ඩ් සහ පැල්වත්ත කිරිපිටි මිලත් ඉහළට

*********************************************

හයිලන්ඩ් සහ පැල්වත්ත කිරිපිටි මිලත් ඉහළට

(15.10.2021 – 11:22 +0530 – hirunews.lk/sinhala)

හයිලන්ඩ් කිරිපිටි මිලද ඉහළ නැංවීමට මිල්කෝ සමාගම තීරණය කර තිබෙනවා.

එහි සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ග්‍රෑම් 400 යේ හයිලන්ඩ් කිරිපිටි පැකට්ටුවක මිල අද (15) සිට රුපියල් 470 දක්වා ඉහළ නංවා ඇති බවයි.

ඒ අනුව රුපියල් 380 ක් ව පැවති හයිලන්ඩ් ග්‍රෑම් 400 යේ පැකට්ටුවක මිල රුපියල් 90 කින් ඉහළ යනවා.

එමෙන්ම හයිලන්ඩ් කිරිපිටි කිලෝග්‍රෑමයේ පැකට්ටුවක මිලද රුපියල් 945 සිට රුපියල් 1,170 දක්වා රුපියල් 225 කින් ඉහළ නංවා තිබෙනවා.

තවත් දේශීය කිරිපිටි නිෂ්පාදකයෙකු වන පැල්වත්ත සමාගමද දැනටමත් කිරිපිටි මිල ඉහළ නංවා අවසන්.

ඒ, රුපියල් 380 ක්ව පැවති ග්‍රෑම් 400 යේ පැල්වත්ත කිරිපිටි පැකට්ටුවක් රුපියල් 460 ක් ලෙස මිල නියම කරමින්.

ඩොලර් අර්බුදය හමුවේ ආනයනික කිරිපිටි සමාගම් පසුගිය 09 වැනි දා සිට කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 කින් ඉහළ දැමුණු අතර, එහි නව මිල සටහන් වූයේ රුපියල් 1,195 ක් ලෙසයි.

ග්‍රෑම් හාරසියයේ (400) කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 100 කින් ඉහළ දැමුණු අතර, එහි නව මිල රුපියල් 480 ක් ලෙස සටහන් වුණා.

******************************************

කාන්තාවකට සිදු කළ අමානුෂික පහරදීම සී.සී.ටී.වී. කැමරාවේ

(15.10.2021 – 08:43 +0530 – hirunews.lk/sinhala)

මීගමුවේදී පුද්ගලයෙකු විසින් කළ පහරදීමෙන් කාන්තාවක් තුවාල ලබා තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ මීගමුව කිඹුලපිටිය ප්‍රදේශයෙන්. අසල්වැසි නිවෙස් දෙකක (2) ඇතිවූ පුද්ගලික ආරවුලක් මුල්කර ගනිමින් මෙම පහරදීම සිදුව ඇති බවටයි වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ.

පහරදීම හේතුවෙන් තුවාල ලැබූ කාන්තාව මේ වනවිට මීගමුව රෝහලට ඇතුලත් කර තිබෙනවා.

එම පහරදීම සී.සී.ටී.වී කැමරාවක සටහන්ව තිබූ අතර එම දර්ශන පහතින් :

******************************************

ව්‍යාජ ලිපි ලේඛණ සැකසූ තුන්දෙනෙකු (3) අත්අඩංගුවට

(15.10.2021 – 09:14 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර – වේවැල්වත්ත – බටේපොල ප්‍රදේශයේදී ව්‍යාජ ලෙස රියදුරු බලපත්‍ර සකස් කළ පුද්ගලයින් තුන් දෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසියට ලද තොරතුරක් මත ඊයේ (14) අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් තුන්දෙනා (3) අතර, ව්‍යාජ ලේඛන සකස් කිරීම සඳහා ආධාර අනුබලදුන් පුද්ගලයාද සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් අවුරුදු 34, 42 සහ 44 යන වයස්වල පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන්.

ඔවුන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රත්නපුර විශේෂ අපරාධ අංශය වෙත භාර දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ෴

******************************************

මහවැලි ගඟේ වැලි ගොඩ දැමීමේ කටයුතුවල නිරත කම්කරුවන්ට සහන රැසක්

(15.10.2021 – 10:08 +0530 – hirunews.lk/sinhala)

මහවැලි ගඟෙහි වැලි ගොඩ දැමීමේ කාර්යයේ නියුතු කම්කරුවන්ට සහන රැසක් ලබාදීමට පරිසර අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මරණයකදී රුපියල් මිලියනයක්, තාවකාලික හා නිත්‍ය ආබාධිත තත්ත්වයට පත් වන අවස්ථාවලදී රුපියල් 5,50,000 බැගින් වූ රක්ෂණ වන්දි ලබා දීමටයි යෝජනා වී ඇත්තේ.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) පරිසර අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන තිබෙනවා.

මීට අමතරව පහ (5) වසර ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමත්වන මෙම ක්ෂේත්‍රයේ නියුතු කම්කරුවෙකුගේ දරුවෙකුට සිය අධ්‍යාපන කටයුතු අවසන් වන තෙක් ශිෂ්‍යත්ව පිරිනැමීමට ද එහිදී යෝජනා කෙරුණා ෴

******************************************

තහනම් වල් නාශක විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට

(15.10.2021 – 10:21 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකාය විසින් 14 වැනි දින අගුණකොළපැලැස්ස පොලිස් වසමේ අගුණකොළපැලැස්ස නගරයේ, වෙළදසැල් දෙකක් (2) තුළ දී වැටලීම් දෙකක් (2) සිදු කළා.

එහි දී තහනම් වල් නාශකයක් වන ග්ලයිෆෝසේට් ග්‍රෑම් 100 පැකට් 125 ක් අලෙවිය සඳහා වෙළෙදසැල තුළ ගබඩා කරගෙන සිටි අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ පදිංච් වයස අවුරුදු 58 ක් වන පුද්ගලයෙකු සහ වයස අවුරුදු 53 ක් වන කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු හම්බන්තොට පරිපාලන සංකීර්ණය විසින් සිදු කරන බවයි වාර්තා වෙන්නේ ෴

******************************************

පැන්ඩෝරා සිද්ධියට ප්‍රකාශයක් දීමට තිරුකුමරන් නඩේසන් අදත් (15) අල්ලස් කොමිසමට

(15.10.2021 – 12:28 +0530 – hirunews.lk/sinhala)

ආන්දෝලනාත්මක පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂගේ සැමියා වන තිරුකුමරන් නඩේෂන් අද (15) යළිත් අල්ලස් කොමිසම වෙත පැමිණියා.

ඒ, එම කොමිසම සිදුකළ කැඳවීමකට අනුවයි.

අද (15) පෙරවරුවේ තිරුකුමාර් නඩේෂන් මෙලෙස අල්ලස් කොමිසම වෙත පැමිණි බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

පසුගිය සිකුරාදා (08) තිරුකුමාර් නඩේෂන් පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් පළමුවරට (1) අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අතර, එදින ඔහු පැය තුනක (3) ප්‍රකාශයක් ලබාදුන්නා ෴

ආන්දෝලනාත්මක පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂගේ සැමියා වන තිරුකුමරන් නඩේෂන් අද (15) යළිත් අල්ලස් කොමිසම වෙත පැමිණියා ෴

ආන්දෝලනාත්මක පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි හිටපු අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂගේ සැමියා වන තිරුකුමරන් නඩේෂන් අල්ලස් කොමිසමෙන් පිටව ගොස් තිබෙනවා.

අද (15) උදෑසන 11 ට පමණ ඔහු කොමිසම හමුවට පැමිණි අතර පැය 2 කට පමණ පසු ඔහු ඉන් පිටව ගිය බවයි එහි ප්‍රකාශිකාවක සඳහන් කළේ.

පසුගිය සිකුරාදා (08) තිරුකුමාර් නඩේෂන් පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් පළමුවරට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අතර, එදින ඔහු පැය තුනක (3) ප්‍රකාශයක් ලබාදුන්නා ෴

******************************************

ගුරු-විදුහල්පති වැඩ වර්ජනය ගැන කතාකරන්න සියලු වෘත්තීය සංගම් එකට එක්වෙයි

(15.10.2021 – 12:36 +0530 – hirunews.lk/sinhala)

දැනට ක්‍රියාත්මක ගුරු විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගැන විශේෂ සාකච්ඡාවක් අද (15) පස්වරුවේ එම සියලු වෘත්තීය සංගම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

මේ අතර, එළැඹෙන 21 වැනිදා ගුරු විදුහල්පතිවරුන් පාසල් නොපැමිණියහොත් දැඩි තීන්දුවක් ගන්නා බව මව්පියන් පිරිසක් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා වෙත අද (15) සංදේශයක් භාරදුන්නා.

වැටුප් විෂමතා ගැටලු මුල් කර ගනිමින් ගුරු – විදුහල්පතිවරුන් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අදට (15) දින 96 ක්.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නවතා දමා සේවයට වාර්තා කරන ලෙස ගුරු විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා වෙත දෙමාපිය පිරිසක් අද (15) පෙරවරුවේ සංදේශයක් භාරදීමට පැමිණියේ මෙලෙසයි.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ එම දිනයේ පාසල් පැමිණෙන ගුරුවරුන්ට කවුරුන් හෝ බාධා කළහොත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ යුතු බවයි.

මේ අතර, අනධ්‍යයන සේවකයින්ගේ සේවය ලබා ගැනීම සඳහා පාසල් විවෘත කිරීමට නියමිතව ඇති 21 වනදාට පෙර සිය ගැටලුවලට විසඳුම් නොලැබුණහොත් තමන් ද එදිනට සේවයට වාර්තා නොකරන බවයි අනධ්‍යයන සේවක සංගමයේ සභාපති අජිත්.කේ. තිලකරත්න ප්‍රකාශ කළේ.

******************************************

ඩාලි පාරේ ඉඩම ගැන පෙත්සම යළි කැඳවීම ලබන සඳුදා (18)

(15.10.2021 – 13:09 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික සමාගමක් විසින් නීතිවිරෝධී ලෙස පරිහරණය කරමින් සිටියදී ජාතික නිවාස සංවර්ධන අධිකාරිය භාරයට ගත් කොළඹ 10, ඩාර්ලි පාරේ ඉඩම සම්බන්ධයෙන් අදාළ පෞද්ගලික සමාගම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම සළකා බැලීම සඳහා ලබන සඳුදා (18) කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

ඒ, මෙම පෙත්සම එල්.ටී.බී. දෙහිදෙණිය, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද (15) කැඳවනු ලැබූ අවස්ථාවේදියි.

එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නවීන් මාරපන මෙම පෙත්සම ඉක්මන් දිනයකදී සළකා බලන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුවයි විනිසුරු මඩුල්ල පෙත්සම ලබන 18 වැනි දා සළකා බැලීමට නියම කළේ.

මෙම ඉඩම සංවර්ධනය කිරීම සඳහා පෞද්ගලික සමාගමකට පවරා දීමෙන් පසුව එම සමාගම විසින් නීතිවිරෝධි ලෙසට තවත් පෞද්ගලික සමාගමකට ලබා දී තිබියදියි නිවාස සංවර්ධන අධිකාරිය පසුගියදා තමන්ට අයත් මෙම ඉඩම සිය භාරයට ගනු ලැබුවේ ෴

******************************************

යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල් පක්ෂ අතර තවත් හමුවක්

(15.10.2021 – 13:12 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල තවත් සාකච්ඡා වටයක් කොළඹදී පවත්වා තිබෙනවා.

පෙරේදා (13) පැවති එම හමුව සඳහා ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 10 ක නියෝජිතයන් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

එහිදී රටේ වත්මන් දේශපාලන තත්වය මෙන්ම බඩු මිල ඉහළ යෑම සහ ජීවන වියදම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ඇති බව සඳහන්.

තවද කෙරවලපිටිය සහ යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන්ද මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

කෙරවලපිටිය බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් මීට පෙරද ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අතර සාකච්ඡා වට තුනක් (3) පැවැත්වුණා.

ඉන් අනතුරුව එම පක්ෂ, අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා හමු වී සාකච්ඡා කළ අතර, ජනාධිපතිවරයා වෙත ලිපියක් ද යොමු කළා.

ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්, මහාචාර්ය තිස්ස විතාරණ මහතා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ ජනාධිපතිවරයා ගෙන් සාකච්ඡාවක් සඳහා දිනයක් අපේක්ෂාවෙන් සිටින බවයි.

එමෙන්ම ලබන සතියෙන් පසු හවුල්කාර පක්ෂ අතර තවත් හමුවක් පැවැත්වීමටද තීරණය වී තිබෙනවා ෴

******************************************

අදත් (15) ප්‍රදේශ රැසක පොහොර ඉල්ලා විරෝධතා

(15.10.2021 – 13:22 +0530 – hirunews.lk/sinhala)

ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරිමට ජාතික සමගි ජන බලවේගය මේ වනවිට කටයුතු කරමින් සිටින බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

අම්බලංගොඩ – මීටියාගොඩ ප්‍රදේශයේ කුරුඳු ගොවින් පැවැත් වූ විරෝධතාවකට එක්වෙමිනුයි විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ.

මේ අතර, ගාල්ල – කොට්ටව ප්‍රදේශයේ ද තේ වගා ගොවින් විරෝධතාවක නිරත වුණේ, තම වගාවන්ට අවශ්‍ය පොහොර නොමැති බවට චෝදනා කරමින්.

මේ අතර, මහ කන්නය සඳහා ප්‍රධාන ජලාශවල ජලය නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ ඩී. අබේසිරිවර්ධන මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, පොහොර සහ වල් නාශක නොමැතිවීම නිසා මෙම කන්නයේදී තමන් වී වගාවෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව ලුණුගම්වෙහෙර – වම්ඉවුර ඩී.සි. යාය 1 සහ යාය 2 ගොවි සංවිධානය ප්‍රකාශ කළා.

ඒ රන්මිනිතැන්න ප්‍රදේශයේ පැවති ගොවි රැස්වීමක් අතරතුරයි.

මෙම සාකච්ඡාව සඳහා ප්‍රාදේශීය කෘෂිකර්ම කළමනාකාරවරයාට සහ වාරිමාර්ග ඉංජිනේරුවරයාට ද ආරාධනා කර තිබුණ ද ඔවුන් කිසිවෙකු පැමිණ නොතිබූ අතර, සහභාගි වී තිබුණේ කෘෂි පර්යේෂණ නිලධාරියෙකු පමණයි.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

ඊයේ (14) දිනයේත් පුද්ගලයින් 50,000 කට වැඩි පිරිසකට කොරෝනා එන්නත්

(15.10.2021 – 11:00 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ (14) දිනයේදී පුද්ගලයින් 50,812 දෙනෙකුට එන්නත් ලබා දී තිබෙනවා.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 8,194 දෙනෙකුටත්, එහි දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 35,155 දෙනෙකුටත් ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබා දී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 6,047 ක්.

මේ වනවිට මෙරට පුද්ගලයින් 1,40,54,334 කට කුමන හෝ එන්නතක පළමු (1) මාත්‍රාව ලබා දී ඇති අතර, මාත්‍ර දෙක (2) ම ලබා දුන් පුද්ගලයින් සංඛ්‍යාව 1,26,57,989 ක් වනවා ෴

+++++++++++++++++++

දරුවන්ට වැළඳෙන පශ්චාත් කොවිඩ් සංකූලතාවන් වැඩිවෙයි

(15.10.2021 – 12:40 +0530 – hirunews.lk/sinhala)

දරුවන්ට වැලඳෙන පශ්චාත් කොවිඩ් සංකූලතාවන් වැඩිවීමක් දක්නට ලැබෙනව බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පවසනවා.

මේ අතර මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සහ එක්වරක් (1) පෙනී සිටි දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම කොළඹ දිස්ත්‍රික්කයේ සියලු අධ්‍යාපන කලාප කේන්ද්‍ර කරගනිමින් අද (15) පෙරවරුවේ සිට ආරම්භ වුණා.

ඒ අනුව කොළඹ කලාපය, හෝමාගම කලාපය, පිළියන්දල කලාපය හා ශ්‍රී ජයර්ධනපුර කලාපය යන කලාප හතරේ (4) තෝරාගත් පාසල්වල එන්නත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මකයි.

මේ අතර, විශ්වවිද්‍යාල සිසුන් සඳහා දැනට ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහන අදින් (15) අවසන් වීමට නියමිතයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ වෛද්‍ය පීඨ සහ සම සෞඛ්‍ය පීඨවල සිසුන් දැනටමත් එන්නත්කරණයට ලක්කර අවසන් බවයි.

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ගෙවුණු දිනයේදී (14) පළමු (1) සහ දෙවැනි (2) මාත්‍රා වශයෙන් ලබා දුන් එන්නත් මාත්‍රා ගණන 50,812 ක්.

ගෙවුණු දිනයේ (14) කොවිඩ් ආසාදිතයින් 674 දෙනෙකු වාර්තා වුණා.

ඒ සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛයාව 5,29,755 ක් දක්වා ඉහළ ගියා.

පසුගිය 13 වැනිදා සිදු වූ කොවිඩ් මරණ 21 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (14) තහවුරු කළ අතර ඒ සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,429 ක් දක්වා ඉහළ ගියා.

මේ අතර නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් අනතුරුව පැනවූ නව සෞඛ්‍ය මාර්ගෝපදේශමාලාවට අනුව යම් සීමාවන්ට යටත්ව විවාහ මංගල උත්සව පැවැත්වීමට හෙට (16) සිට අවසර හිමි ව තිබෙනවා.

ඒ අනුව ශාලාවට ඇතුළු කරගත හැකි පුද්ගලයින් ගණනින් සියයට 25 ක් වන පරිදි උපරිම පුද්ගලයින් 50 කට පමණක් සීමා කරමින් විවාහ මංගල උත්සව පැවැත්වීම සඳහා අවසර ලබාදීමට නියමිතයි.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මේ දක්වා අවසර ලබාදී තිබුණේ විවාහ, ලියාපදිංචි කිරීම්වලට පමණයි.

මේ අතර අවමංගල්‍ය අවස්ථාවක දී ද එක් (1) වරක දී සහභාගී විය හැකි පුද්ගලයින්සං ඛ්‍යාව හෙටින් පසු 15 දෙනෙකු දක්වා ඉහළ නැංවෙනවා.

හෙට (16) සිට අවන්හල්වල ආසන ධාරිතාවයෙන් සියයට 30 ක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කරගැනීමට අවසර හිමිවනවා.

කෙසේ වෙතත් තවදුරටත් අවන්හල් තුළ මත්පැන් භාවිතය තහනම් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *