කොළඹ අධ්‍යාපන කලාපයේ දරුවන් 24,000 කට හෙට (15) සිට එන්නත්

කොළඹ අධ්‍යාපන කලාපයේ දරුවන් 24,000 කට හෙට (15) සිට එන්නත්

*********************************************

කොළඹ අධ්‍යාපන කලාපයේ දරුවන් 24,000 කට හෙට (15) සිට එන්නත්

(14.10.2021 – 13:24 +0530 – hirunews.lk/sinhala)

කොළඹ අධ්‍යාපන කලාපයේ දරුවන් 24,000 කට හෙට (15) සිට ෆයිසර් එන්නත ලබාදීම ආරම්භ කරන බව කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජී.එන්. සිල්වා මහතා පවසනවා.

ඒ අනුව හෙට (15) දිනයේදී විශාකා, තර්ස්ටන්, සෙන් බෙනඩික් සහ විවේකානන්ද යන විද්‍යාලවලදී එන්නත්කරණ කටයුතු ආරම්භ කරන බවයි ඔහු කියා සිටියේ.

කොළඹ දිස්ත්‍රික්කයේ සියලු අධ්‍යාපන කලාපවල මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සහ එක්වරක් පෙනී සිටි දරුවන්ට එන්නත්කරණ කටයුතු හෙට (15) ආරම්භ කෙරෙන අතර, එන්නත ලබාගැනීම සඳහා පැමිණෙන දරුවන් ජාතික හැඳුනුම්පත රැගෙන ආ යුතු වනවා.

කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජී.එන්. සිල්වා මහතා අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ දින 21 ක් ඇතුළත කලාපයේ දරුවන්ට එන්නත් ලබාදී අවසන් කිරීමට සැලසුම් කර ඇති බවයි.

මේ අතර, මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ (13) පුද්ගලයින් 69,902 දෙනෙකුට එන්නත් ලබා දී තිබෙනවා.

මේ වනවිට පූර්ණ එන්නත්කරණයට ලක්වූ මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 1,26,00,000 ඉක්මවා ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

එසේම, නිධන්ගත රෝග සහ වෙනත් ආබාධ සහිත වයස අවුරුදු 12 ට වැඩි දරුවන් එන්නත් කිරීමේ කටයුතුද තවදුරටත් ක්‍රියාත්මකයි.

මේ අතර, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා බව පවසමින් නගරයේ වෙළඳසැල්වලට දුරකතනයෙන් අමතා කප්පම් මුදල් ඉල්ලා සිටින පිරිසක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ බව ජාඇල මහජන සෞඛ්‍ය පරීක්ෂක ධනංජය හේරත් මහතා පවසනවා.

ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ එවැනි ඇමතුම් ලැබුනහොත් ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසයි.

++++++++++++++++++

තවත් කොරෝනා ආසාදිතයින් 366 ක් සුවය ලබයි

(14.10.2021 – 15:09 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 366 ක් සුවය ලබා තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 4,91,604 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරන්නේ ෴

++++++++++++++++++++

කඨින පූජෝත්සවයට සෞඛ්‍ය මාර්ගෝපදේශ

(14.10.2021 – 15:38 +0530 – hirunews.lk/sinhala)

පවතින කොවිඩ්-19 වසංගත තත්වය මත මෙම වසරේ ද කඨින චීවර පූජාව පැවැත්වීමේදී සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ යටතේ පැවැත්වීමට කටයුතු කරන ලෙසට බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව කඨින පෙරහර සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව අවසර ලබාදිය නොහැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කඨින චීවර පූජාව සහ දහවල් දානමය පිංකම උපරිම සැදැහැවතුන් 20 දෙනෙකු පමණ සහභාගී කරවාගෙන සිදු කිරීමට හැකියාව පවතිනවා.

එමෙන්ම කඨිනානිසංස ධර්ම දේශනය පැවැත්වීම ද උපරිම සැදැහැවතුන් 20 දෙනෙකු පමණක් සහභාගී කරවාගෙන සිදු කිරීමට හැකියාව පවතින බවයි බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව කියාසිටියේ ෴

+++++++++++++++++

කොරෝනා වැළඳී නිවසේ ප්‍රතිකාර ලබන රජයේ සේවකයින්ට අග්‍රහාර රක්ෂණ වන්දි දෙන්නැයි අගමැතිගෙන් උපදෙස්

(14.10.2021 – 15:40 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වයිරසය හේතුවෙන් රෝගාතුරව නිවසේ ප්‍රතිකාර ලබන රාජ්‍ය සේවකයන්ටත් ‘අග්‍රහාර රක්ෂණ අරමුදලෙන්’ වන්දි ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති සහ ඒකාබද්ධ වෘත්තීය සමිති නියෝජිතයින් සමග අරලියගහ මන්දිරයේ ඊයේ (13) පැවති සාකච්ඡාවකදීයි අග්‍රාමාත්‍යවරයා මේ බව දැනුම් දී ඇත්තේ.

රාජ්‍ය සේවකයින් කොරෝනා වැළඳී ජිවිත අහිමිවීම හා රෝහල් ගතව ප්‍රතිකාර ගැනීමේදී අග්‍රහාර රක්ෂණ වන්දි ගෙවීමේ ක්‍රමය මේ වසරේ අයවැය යෝජනා මගින් ක්‍රියාත්මක කිරීමට එවකට මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයා පියවර ගෙන තිබුණා ෴

++++++++++++++++++

සියලු කෞතුකාගාර විවෘත වේ

(14.10.2021 – 16:23 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සියලු කෞතුකාගාර දෙස්-විදෙස් සංචාරකයින් වෙනුවෙන් විවෘත කරන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

ඇෆ්ගනිස්ථානයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ සඳහා මෙරට ආරක්ෂක සහාය

(14.10.2021 – 13:16 +0530 – hirunews.lk/sinhala)

ඇෆ්ගනිස්ථානයේ සිට සිදු කරන මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ පරීක්ෂණ සඳහා මෙරට ආරක්ෂක අංශවල පූර්ණ සහයෝගය ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය ද මෙම පරීක්ෂණ සඳහා සහයෝගය ලබාදීමට එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, පාකිස්තාන මත්ද්‍රව්‍ය ජාවාරමේ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මෙරට අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහයෝගය දැක්වීමට සූදානමින් සිටින බවයි.

පසුගිය මාර්තු මාසයේ දී පාකිස්තානයේ සිට මෙරටට පැමිණි ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගනු ලැබුවේ, හෙරොයින් මත්කුඩු සමඟයි.

මෙහිදී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු ද පොලිස් භාරයට පත්වුණා.

වැඩිදුර පරීක්ෂණවලදී හෙළි වූයේ හිටපු එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ සාමාජිකයින් සමග තවත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු (2) ද මෙම අත්අඩංගුවට ගත් පිරිස අතර වන බවටයි ෴

******************************************

හබරණ – පොළොන්නරුව මඟ හරස් කරමින් ගොවීන් විරෝධතාවයේ

(14.10.2021 – 13:22 +0530 – hirunews.lk/sinhala)

සිය වගාවන් සඳහා පොහොර ලබාදෙන ලෙස ඉල්ලා අදත් (14) ප්‍රදේශ රැසක ගොවි විරෝධතා පැවැත්වුණා.

මේ අතර රජයේ සමාගම් විසින් මිල දී ගත් පොටෑසියම් ක්ලෝරයිඩ් පොහොර තොගය කාබනික පොහොර නොවන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ප්‍රකාශ කළේ.

එහි ජාතික සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න කියා සිටියේ, ආණ්ඩුව ගොවීන් රවටා ඇති බවයි.

පොහොර මෙට්‍රික් ටොන් 30,000 ක් ඊයේ (13) ලිතුවේනියාවේ සිට ‘වෙගොරස්’ නම් නෞකාවෙන් කොළඹ වරාය වෙත රැගෙන එනු ලැබුවා.

රජයේ සමාගම් විසින් මිල දී ගත් පොටෑසියම් ක්ලෝරයිඩ් පොහොර තොගය ඊයේ (13) රාත්‍රියේම අම්පාර, මඩකලපුව, අනුරාධපුරය, කුරුණෑගල, පුත්තලම, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත යොමු කර තිබුණා.

එමෙන්ම පොහොර ඉල්ලා පරාක්‍රම සමුද්‍රය, නොනාගම – හතේඇල ප්‍රදේශයේ ගොවීන් ද අද (14) විරෝධතාවක නිරත වුණා.

******************************************

ගාල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය යයි

(14.10.2021 – 13:40 +0530 – hirunews.lk/sinhala)

හබරාදුව – පිංවත්ත ප්‍රදේශයේදී අද (14) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් 44 හැවිරිදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ උණවටුන, දලවැල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඔහු යුද හමුදාවේ සේවය කර පසුව ඉන් ඉවත් වී මුදල් පොලියට ලබාදීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය අයෙක්.

මියගිය පුද්ගලයා ඔහුට හිමි වෙළඳසැලක් ඉදිරිපිට රැදී සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් මෙම වෙඩි තැබීම් සිදුකර පලාගොස් තිබුණා.

සැකකරුවන් මෙතෙක් හඳුනා ගෙන නැහැ.

******************************************

රිෂාඩ් බදියුදීන් ඇපමත නිදහස්

(14.10.2021 – 13:42 +0530 – hirunews.lk/sinhala)

මාස 6 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අද (14) ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඔහුට නිවසේ සිටි මෙහෙකාර දැරිය පිළිස්සී මියයාමේ සිද්ධියටද චෝදනා එල්ල වුණා.

ඒ අනුවයි, නඩු දෙකකට (2) අදාළව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණේ.

ඔහුගේ නිවසේ සේවය කළ හිෂාලිනි නමැති 16 හැවිරිදි දැරිය පිලිස්සී මියයාමේ සිද්ධියට අදාළව නඩුව අද (14) දින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළව විමර්ශන කටයුතු බොහෝදුරට අවසන් වී ඇති හෙයින් සැකකරු ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොදක්වන බවයි.

ඒ අනුව, රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුට විදෙස් ගමන් තහනම් කළා. වැඩිදුර නඩු විභාගය ලබන වසරේ පෙබරවාරි මස 18 වනදා කැඳවීමටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ.

පාස්කු ප්‍රහාරයට අදාළව ද පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට චෝදනා එල්ල වී ඇති අතර, ඒ අනුව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පසුගිය අප්‍රේල් මස 24 වනදා ඔහු අත්අඩංගුවට ගෙන මේ දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා.

ඊට අදාළ නඩුව අද (14) කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවේ කැඳවූ අතර එහිදී ද මන්ත්‍රීවරයා ඇප මත මුදා හැරීමටයි නියෝග කළේ.

ඒ අනුව, රුපියල් ලක්ෂ 50 ක ශරීර ඇප දෙකක් (2) මත ඔහු මුදා හැරුණු අතර, සති දෙකකට (2) වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ද නියෝග කෙරුණා.

******************************************

වත්මන් දේශපාලන හා අර්ථික තත්ත්වය පිළිබඳ පක්ෂ විපක්ෂ අදහස්

(14.10.2021 – 14:07 +0530 – hirunews.lk/sinhala)

භාණ්ඩ මිල ඉහළ යාම ඇතුළු මේ දිනවල දේශපාලන කරළිය උණුසුම් කළ විවිධ මාතෘකා සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත් අදහස් පළ කළා.

******************************************

අබලන් වී වැසී යන මැදිරිගිරියේ පාසල

(14.10.2021 – 14:11 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට පාසල් දරුවන්ට වසරකටත් අධික කාලයක් පාසල් යාමට හැකිවුණේ නැහැ.

නමුත් දැන් දරුවන් 200 ට අඩු පාසල් යළි විවෘත කිරීමටයි අවධානය යොමුව ඇත්තේ.

එවන් පසුබිමක හෝ විවෘත කිරීමට නොහැකි තත්ත්වයක පවතින පාසලක් ගැන මැදිරිගිරිය ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා.

******************************************

මොරවක ප්‍රදේශයේ ඇළක තිබී පුද්ගල මළ සිරුරක් හමුවේ

(14.10.2021 – 16:10 +0530 – hirunews.lk/sinhala)

මොරවක – පරණවත්ත රඹුකන ප්‍රදේශයේ ඇළක තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ රඹුකන ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවට අනාවරණ වී ඇති බවයි.

මෙම පුද්ගලයා ඊයේ (13) දිනයේදී සේවා කටයුතු නිමවා නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් සිදුකළ සොයා බැලීමකදීයි ඔහුගේ සිරුර අද (14) උදෑසන ඇළ මාර්ගයක තිබී මෙලෙස හමුවී ඇත්තේ ෴

******************************************

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉරාන ජාතිකයින් 12 දෙනෙකු විෂබීජ නාශක පානය කරයි – දෙදෙනෙකු (2) මරුට

(14.10.2021 – 17:12 +0530 – hirunews.lk/sinhala)

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි ඉරාන ජාතිකයින් 12 දෙනෙකු විෂබීජ නාශක දියර පානය කර තිබෙනවා.

ඉන් දෙදෙනෙකු (2) ජිවිතක්ෂයට පත්ව ඇති අතර, සෙසු දසදෙනා (10) ප්‍රතිකාර සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් චන්දන ඒකනායක සඳහන් කළේ.

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මෙම පිරිස බන්ධනාගාර ගත කර සිට තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *