මුදල් අමාත්‍යාංශයෙන් සහනයක් නොලැබු‍නොත් ඉන්ධන මිල ඉහළට

මුදල් අමාත්‍යාංශයෙන් සහනයක් නොලැබු‍නොත් ඉන්ධන මිල ඉහළට

*********************************************

මුදල් අමාත්‍යාංශයෙන් සහනයක් නොලැබු‍නොත් ඉන්ධන මිල ඉහළට

(13.10.2021 – 20:03 +0530 – hirunews.lk/sinhala)

මුදල් අමාත්‍යාංශයෙන් සහනයක් නොලැබු‍නොත් ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඔහු පැවසූවේ අයි.ඕ.සී. සමාගම පෙට්‍රල් ලීටරයක් රුපියල් 15 කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 20 කින් ඉහළ දමන ලෙස ඉල්ලා ඇති බවයි.

මීට අමතරව ඛනිජතෙල් නීතිගත සංස්ථාවද ඉන්ධන මිල ඉහළ දමන ලෙස ඉල්ලීමක් කර ඇති බව පෙන්වා දුන් බලශක්ති අමාත්‍යවරයා, ඊට භාණ්ඩාගාරයෙන් ලැබෙන සහනය පිළිබඳව මෙතෙක් දැනුම්දීමක් කර නොමැති බවද ප්‍රකාශ කළා.

මේ අතර ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තවත් අමුද්‍රව්‍ය රැසක මිල ද මේ වනවිට බොහෝ සෙයින් ඉහළ ගොස් ඇති අතර, වෙළෙඳුන් සහ පාරිභෝගිකයන් පවසන්නේ එම භාණ්ඩවල හිඟයක් ද දක්නට ලැබෙන බවයි.

******************************************

උද්ධමනය පාලනය කර ගැනීමට නම් මහබැංකුව මුදල් අච්චු ගැසීමෙන් වැලකී සිටිය යුතුමයි – ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන

(13.10.2021 – 19:17 +0530 – hirunews.lk/sinhala)

මිල පාලන ගැසට් ඉවත් කර ගැනීමත් සමග මර්ධිත උද්ධමනය විවෘත උද්ධමනයක් බවට පත් වී ඇති බවත් එය එක්වරක් පමණක් සිදුවන මිල වැඩිවීමක් ලෙස සීමා කරගැනීමට නම් මහබැංකුව මුදල් අච්චු ගැසීමෙන් වැලකී සිටිය යුතු බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති, ආචාර්ය ඩබ්.ඒ. විජේවර්ධන මහතා පවසනවා.

පවතින උද්ධමනකාරී ආර්ථික පරිසරය පිළිබඳ විග්‍රහයක නිරත වෙමින් ආචාර්‍ය විජේවර්ධන මහතා වැඩිදුරටත් පවසන්නේ මහ බැංකුව තව දුරටත් මුදල් අච්චු ගැසීම කර ගෙන ගියහොත් එය අධි උද්ධමනයක් බවට පත් වීම නොවැලැක්විය හැකි බවයි.

එසේම විනිමය අනුපාතය පිළිබඳවත් එය එසේම ආදාළ වන බවයි ආචාර්ය විජේවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ.

“අද ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ තුළ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගණන් ඉහළ යාම සහ එමගින් ඇතිවිය හැකි උද්ධමනකාරී බලවේගය අපට හඳුන්වන්න පුළුවන් මර්ධිත උද්ධමනයක් ඉවත් කළ පසු පැන නැගුනු තත්ත්වයක් හැටියට. මෙතෙක් කල් රජය ක්‍රියාත්මක කළේ ගැසට් මගින් උපරිම සිල්ලර මිලක් නියම කරලා, ඒ මගින් වෙළෙඳපොළ මර්ධනය කිරීමයි. නමුත් රජයට තවදුරටත් එම කටයුත්ත කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ, වෙළෙඳපොළ තුළ භාණ්ඩ හිඟයක් පවතින නිසා.”

“මේ නිසා මේ ගැසට් ඉවත්කර ගත් පසුව ‘ප්‍රෙෂර් කුකර්’ එක ඇතුලේ වැඩිදියුණු වෙලා තිබෙන ‘ප්‍රෙෂර්’ එක ‘සේෆ්ටි වෑල්ව්’ එක හරහා එලියට පනිනවා වගේ අද වෙළෙඳපොළ තුළ එළියට පැනලා තිබෙන්නේ. මෙහිදී ඇතිවෙන උද්ධමනකාරී බලවේගය අපට එකවරක් ඇතිවන මිල වැඩිවීමකට සීමා කරගන්න පුළුවන්, මහ බැංකුව නැවත වරක් මුදල් නෝට්ටු මුද්‍රණය කරලා, මේ උද්ධමනයට තව බලයක් සැපයූවේ නැත්නම්. නමුත් මහ බැංකුව මුදල් නෝට්ටු මුද්‍රණය කරලා මේ ඇතිවෙච්ච මිල වැඩිවීමට බලයක් සැපයූවහොත් ඇත්තවශයෙන්ම සිදුවන්නේ එකවරක් පමණක් වැඩිවුණු මිල වැඩිවීම සදාකාලික මිල වැඩිවීමක් බවට පත්වෙලා අධි උද්ධමනයක් බවට පත් වීමයි.

“අපේ විනිමය අනුපාතිකයත් අද තියෙන්නේ මෙන්න මේ තත්ත්වයේ. විනිමය අනුපාතිකයේ වටිනාකම මහ බැංකුව විසින් ඇමරිකන් ඩොලරය රු. 203 කට නියම කරලා තියෙන එක අපිට හඳුන්වන්න පුළුවන් MRP (Maximum Retail Price) එකක් නියම කරපු එකක් හැටියට. නමුත් ඒ ප්‍රමාණයට අද වෙළෙඳපොළේ ඩොලර් ලැබෙන්නේ නැහැ. යම්කිසි අවස්ථාවක දී මේ MRP එක ඉවත් කරපු ගමන්ම විනිමය අනුපාතිකයත් මේ වගේම උඩට පැනලා මහා භයානක විදියට ශ්‍රී ලංකාවේ රුපියල අඩුවෙන්න පුළුවන්. මේ නිසා මේ තත්ත්වය තේරුම් අරගෙන මහබැංකුව සහ රජය කටයුතු කළොත් වඩා සුදුසුයි” ෴

******************************************

තවමත් ලිට්රෝ සමාගමට පාඩු බව පාරිභෝගික ඇමති කියයි

(13.10.2021 – 19:26 +0530 – hirunews.lk/sinhala)

ගෑස් මිල ඉහළ දැමුව ද ලිට්රෝ සමාගම තවදුරටත් අලාභ ලබමින් ගෑස් සිලින්ඩරයක් අලෙවි කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ සංවාදයකදීයි ඔහු මේ බව සඳහන් කළේ.

******************************************

එකවර වැටුප් වැඩි කරනතුරු වර්ජනය අඛන්ඩව – ආණ්ඩුවට තවත් සතියක් ඇති බව ගුරු සංගම් කියයි

(13.10.2021 – 19:31 +0530 – hirunews.lk/sinhala)

ගුරුවරුන් සියලුදෙනා යළි දරුවන්ට ඉගැන්වීමේ කටයුතු ආරම්භ කළ යුතු බව කෝට්ටේ ශ්‍රී කළ්‍යානි, සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක, අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානාහිමියන් ප්‍රකාශ කළා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ 137 වන ජන්ම දිනය නිමිත්තෙන් මතුගම – ලුල්බද්දූවේ පිහිටි කන්නන්ගර පිලිරුවට පුෂ්පෝපහාර දැක්වීමේ අවස්ථාවකට අද එක්වෙමින්.

මේ අතර, අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී නිසි විසදුමක් නොලැබීම හේතුවෙන් ඔන්ලයින් ඉගැන්වීම් වර්ජනය අඛණ්ඩව සිදුකරගෙන යාමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති අද (13) තීරණය කළා.

අද (13) පෙරවරුවේ වර්ජනයේ නිරත වෘත්තීය සමිති 31 ක් කොළඹට රැස්වී සාකච්ඡා කර එම තීරණයට එළඹුණා.

කෙසේ වෙතත්, පාසල් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති ලබන 21 වන දාට පෙර වැටුප් විෂමතාවට විසදුමක් ලබා නොදුනහොත් වර්ජනය අඛණ්ඩව දියත් කරන බවයි එම සාකච්ඡාවෙන් පසු පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ ප්‍රකාශ කළේ.

ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුපට එකතු කළ යුතු මුදල තුනකට බෙදා ඉන් එක් කොටසක් 2022 ජනවාරියේදී ලබාදීමටත්, ඉතිරි කොටස් දෙක 2023 ජනවාරියේදී එකවර ලබාදීමටත් රජයේ පාර්ශවයේ අවසන් විසඳුම ලෙස ඊයේ (12) අග්‍රාමාත්‍යවරයා යෝජනා කර තිබුණා.

එහෙත් ගුරු සංගම් පවසන්නේ එකවර අදාළ වැටුප් වැඩිවීම ලබාදිය යුතු බවයි.

******************************************

පොහොර ලබා දෙන ලෙස ඉල්ලමින් අදත් විරෝධතා

(13.10.2021 – 19:35 +0530 – hirunews.lk/sinhala)

රජයේ සමාගම් විසින් මිලදී ගත් පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 30,000 ක් රැගත් නෞකාවක් යුරෝපයේ සිට අද (13) කොළඹ වරාය වෙත ළගාවූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා.

මේ අතර, මහ කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර බෙදා හැරීම අද (13) සිට ආරම්භ කරන බවට කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කලත් අද (13) එය සිදු නොවූ බවයි දිවයිනේ විවිධ ප්‍රදේශ වල ගොවීන් ප්‍රකාශ කළේ.

ඒ අනුව වගාවන් සිදු කිරීමට අවශ්‍ය පොහොර ලබා දෙන ලෙස ඉල්ලමින් අද අම්පාර – දමන, මාදුරුඔය – ඉහළ ඇල්ලෑවැව, ඇළහැර – බකමූණ, පොළොන්නරුව – වැලිකන්ද සහ මහියංගනය යන ප්‍රදේශ වල විරෝධතා පැවැත්වුණා.

මේ අතර, ගොවි ජනතාවගේ ගැටලු විමසා බැලෙන විපක්ෂ නායකවරයාගේ ගොවි හද ගැස්ම වැඩසටහන අද (13) ක්‍රියාත්මක වුනේ ගාල්ල – බද්දේගම – වඳුරඹ ප්‍රදේශයේ දීයි.

******************************************

ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙකු (1) හා සැකකාරියන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(14.10.2021 – 07:27 +0530 – hirunews.lk/sinhala)

ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් දෙදෙනෙකු (2) හා එක් සැකකරුවෙකු (1) අත්අඩංගුවට ගැනීමට මීගමුව පොලිසිය සමත් වී තිබෙනවා.

ඒ මීගමුව – කුඩාපාඩුව ප්‍රදේශයේ දී.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 47, 40 හා 21 යන වයස්වල පසුවෙන මීගමුව, දොඩම්පේ හා හලුගම්මුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්.

සැකකරු (1) හා සැකකාරියන් දෙදෙනා (2), 14 වන දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, වැඩිදුර පරීක්ෂණ මීගමුව පොලිසිය විසින් සිදු කරනු ඇති ෴

******************************************

ජාතික ඖෂධ නියාමන පනත සංශෝධනය කළ යුතුයි – රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න

(14.10.2021 – 07:30 +0530 – hirunews.lk/sinhala)

ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත කඩිනමින් සංශෝධනය කළ යුතු බවට, එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කළ පංච (5) පුද්ගල කමිටුවේ අතුරු වාර්තාවෙන් නිර්දේශ කර ඇති බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

කොළඹ ඊයේ (13) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ඉදිරියේදී එම අතුරු වාර්තාවේ පිටපතක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමටද පියවර ගන්නා බවයි ෴

******************************************

ලිතුවේනියාවෙන් ගෙනා පොහොර බෙදා හැරීම ඇරඹේ

(14.10.2021 – 07:33 +0530 – hirunews.lk/sinhala)

රජයේ සමාගම් විසින් මිල දී ගත් පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර තොගය ඊයේ (13) රාත්‍රියේම දිස්ත්‍රික් කිහිපයක් වෙත බෙදාහැරීම සඳහා යොමුකර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ අම්පාර, මඩකලපුව, අනුරාධපුරය, කුරුණෑගල, පුත්තලම, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්වල පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත මේවා පිටත්කර යැවූ බවයි.

පොහොර මෙට්‍රික් ටොන් 30,000 ක් ඊයේ (13) ලිතුවේනියාවේ සිට ‘වෙගොරස්’ නම් නෞකාවෙන් කොළඹ වරාය වෙත රැගෙන එනු ලැබුවා.

මහ කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර බෙදා හැරීම ඊයේ (13) උදෑසන සිට ආරම්භ කරන බවට කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කළත් ඊයේ (13) එය සිදු නොවූ බවයි දිවයිනේ විවිධ ප්‍රදේශවල ගොවීන් ප්‍රකාශ කළේ.

ඒ අනුව වගාවන් සිදු කිරීමට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස ඉල්ලමින් ඊයේ (13) අම්පාර – දමන, මාදුරුඔය – ඉහළ ඇල්ලෑවැව, ඇළහැර – බකමූණ, පොළොන්නරුව – වැලිකන්ද සහ මහියංගනය යන ප්‍රදේශවල විරෝධතා පැවැත්වුණා ෴

******************************************

‘එක්ස්ප්‍රස් පර්ල්’ අබලි ද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩපිළිවෙළ අද

(14.10.2021 – 07:51 +0530 – hirunews.lk/sinhala)

ගිනිගෙන මුහුදුබත් වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ අබලි ද්‍රව්‍ය ඉවත් කිරීමේ ටෙන්ඩර් වැඩපිළිවෙළ අදාළ සමාගම විසින් අද (14) දිනයේදී තමන්ට දැනුම්දීමට නියමිත බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළා.

කොළඹදී ඊයේ (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම අධිකාරියේ සභාපති, නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය මේ බව කියා සිටියා ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

කොරෝනා පාලන කරලක් ගෙන්වීමට නිර්දේශ ඉල්ලයි

(13.10.2021 – 19:40 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මර්දනය සඳහා ලෝකයේ රටවල් කිහිපයක මේ වනවිට භාවිතයට ගැනෙන, ‘මර්ක්’ ඖෂධ නිෂ්පාදන සමාගමේ ඖෂධ කරලක් මෙරට භාවිතයට ගැනීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබාදෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කළ බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

මේ අතර, කොළඹ දිස්ත්‍රික්කයේ සියලු අධ්‍යාපන කලාපවල මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සහ එක්වරක් පෙනී සිටි දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම ලබන 15 වනදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිලිබඳ අතිරේක ලේකම් එල්.එම්.ඩී. ධර්මසේන මහතා කියා සිටියේ එන්නත් ලබා ගැනීම සඳහා ජාතික හැඳුනුම්පත රැගෙන ඒම අනිවාර්ය වන බවයි.

පාසල් මට්ටමින් ක්‍රියාත්මක එන්නත් මධ්‍යස්ථාන පිලිබඳව සෞඛ්‍ය සහ අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවි හරහා සිසුන් දැනුවත් කෙරෙනු ඇති.

ඇතැම් ස්ථානවල පාසල් කිහිපයකට අදාළව එක් පාසලක්, එන්නත් මධ්‍යස්ථානයක් ලෙස නම් කර තිබීම ඊට හේතුවයි.

+++++++++++++++

තවත් කොරෝනා ආසාදිතයින් 166 ක්

(13.10.2021 – 20:40 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 166 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව අද (13) දිනයේදී හමු වූ මුළු ආසාදිතයින් ගණන 679 ක්.

මෙරට මේ දක්වා හමු වූ මුළු ආසාදිතයින් ගණන 528,414 ක් වනවා ෴

+++++++++++++++++

උත්සවවල දී සීමා රකින්නැ යි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යළි අවධාරණය කරයි

(14.10.2021 – 07:36 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මර්දනයට පනවා ඇති සීමා උල්ලංඝනය කරමින් උත්සව සංවිධාන කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

මේ අතර, නව කොරෝනා ආසාදිතයින් 680 දෙනෙකු ඊයේ (13) හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 58,28,415 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ (13) වාර්තා වූ නව ආසාදිතයන්ගෙන් 679 දෙනෙකු ‘අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ’ ආසාදිතයින් වන අතර, විදේශයන් සිට පැමිණි එක් (1) අයෙකු ද ආසාදිතයෙකු ලෙස හදුනා ගැනුණා.

ඒ අනුව මෙරට සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 23,769 ක් වන අතර සුවය ලැබූ මුළු සංඛ්‍යාව 4,91,238 ක්.

පෙරේදා (12) සිදු වූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (13) තහවුරු කරන ලද කොරෝනා මරණ 31 ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,408 ක් දක්වා ඉහළ ගියා.

විශ්වවිද්‍යාල සිසුන් සඳහා දැනට ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහනට එක්වීමේ ප්‍රවණතාවයේ අඩුවක් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

කොළඹ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සියලු විශ්වවිද්‍යාල සිසුන්ගෙන් ඉල්ලා සිටියේ දැනට ලබාදෙන සයිනොෆාම් එන්නත ලබාගන්නා ලෙසටයි.

එමෙන්ම, දුම්වැටි භාවිතය හේතුවෙන් පසු කොරෝනා තත්ත්වයන් දීර්ඝ කාලීනව පැවතිය හැකි බව කොළඹ ජාතික අක්ෂි රෝහලේ, කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා කොළඹ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *