පිළිකා රෝගීන් වෙනුවෙන් ළඟදීම වෙළෙඳපොළට එන පිලිකා නාශක ඖෂධ !

පිළිකා රෝගීන් වෙනුවෙන් ළඟදීම වෙළෙඳපොළට එන පිලිකා නාශක ඖෂධ !

*********************************************

පිළිකා රෝගීන් වෙනුවෙන් ළඟදීම වෙළෙඳපොළට එන පිලිකා නාශක ඖෂධ !

(13.10.2021 – 15:00 +0530 – aruna.lk)

පිළිකා සෛල විනාශ කළ හැකි පෝෂක ඖෂධ කීපයක් ළගදීම වෙළෙදපොළට නිකුත් කරන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන, අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ ආචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා පවසයි.

ඉහළ කීර්ති නාමයක් හිමි කරගෙන ඇති ඖෂධීය තේ නිෂ්පාදිත සමාගමක් හා එක්ව මෙම පෝෂක ඖෂධ වෙළෙදපොළට නිකුත් කිරීමට ගිවිසුම් අත්සන් තැබූ බව ඔහු පවසයි.

ස්වාභාවික ඖෂධවලින් ප්‍රති පිළිකාකාරක සෙවීම සදහා වසර ගණනාවක් තිස්සේ පර්යේෂණවල නියැළීමේ ප්‍රතිඵලයක් ලෙස මෙය නිපදවීමට හැකියාව ලැබී ඇති අතර පිළිකාවලින් පෙලෙන සහ ඉදිරියේදී පිළිකා ඇතිවීමට අවදානමක් ඇති පිරිස් සදහා භාවිතයට ගත හැකි වන පරිදි මෙම පෝෂක ඖෂධය නිපදවා තිබේ.

“අපි වසර ගණනාවක් තිස්සේ ප්‍රති පිළිකාකාරක සෙවීමේ පර්යේෂණවල නිතරව සිටිනවා. ඒ අනුව ස්වාභාවික ආහාර වර්ග අලලා සිදුකළ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස මෙම පෝෂක ඖෂධ සොයාගැනීමට අපට හැකිවුණා. එමෙන්ම එම ඖෂධ උපයෝගීකරගෙන සිදුකළ පර්යේෂණවල සාර්ථක ප්‍රතිඵල ලැබී තිබෙනවා. ඒ අනුව මෙම පෝෂක ඖෂධ සුවහසක් පිළිකා රෝගීන් වෙනුවෙන් වෙළෙදපොළට රැගෙන ඒමට අපට හැකිවුණා.

මෙම පෝෂක ඖෂධ මගින් පිළිකා රෝගීන්ගේ ජිවන මට්ටම ඉහළින් පවත්වා ගැනීමට සහ පිළිකා සෛලවල සිදුවන සීග්‍ර වර්ධනය යම් පමණින් හෝ අඩාල කිරීමට හැකියාව තියෙනවා.” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ ෴

******************************************

මිල වැඩි නොකළ හයිලන්ඩ් කිරිපිටි නුවරඑලියේ

(13.10.2021 – 11:30 +0530 – aruna.lk)

නුවරඑලිය අඹේවෙල ප්‍රදේශයේ පිහිටි දේශිය කිරිපිටි කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය කරනු ලබන කිරිපිටි පැකට් මිල වැඩි නොකර රු 380 වැනි මිලකට පාරිභෝගිකයන් වෙත අලෙවි කරනු ලබයි.

ආනයනය කරනු ලබන කිරිපිටි මිල වැඩි කිරිම සදහා රජය මගින් අවසර ලබා දි තිබුණද තවමත් වෙලදපොලට කිරිපිටි තොග නොලැබිම නිසා පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත් වි ඇත.

නුවරඑලිය නගරයේ පිහිටි රාජ්‍ය ආයතනයක පහල මහලේ පවත්වාගෙන යන දේශිය කිරිපිටි කර්මාන්ත ශාලාවක අලෙවිසැලෙන් ඊයේ (12) දින කිරිපිටි මිල දි ගැනිමට විශාල පිරිසක් පැමිණ සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.

කිරිපිටි මිල දි ගැනිමට පැමිණෙන සැම පාරිභෝගිකයෙකුටම එක් කිරිපිටි පැකට්ටුව (1) බැගින් ලබා දිමට එම කිරිපිටි අලෙවි වෙළඳසැලේ කලමණාකාරිත්වය කටයුතු කර ඇත.

එම අලෙවිසැල මගින් දින තුනකට (3) වතාවක් නුවරඑලිය ප්‍රදේශවාසින් සදහා කිරිපිටි පැකට් නිකුත් කරනු ලබයි.

******************************************

ජනාකීර්ණ ප්‍රදේශවල භූමිතෙල් ලිප් අලෙවිය ඉහළට

(13.10.2021 – 07:39 +0530 – hirunews.lk/sinhala)

වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යෑමත් සමඟ පිටකොටුව ඇතුළු ජනාකීර්ණ නගරවල වෙළඳසැල්වලින් භූමිතෙල් ලිප් මිල දී ගැනීම ඉහළ ගොස් ඇති බවට වාර්තා වනවා.

ගෑස් මිල ඉහළ යෑමත් සමඟ සමාජයේ සහ සමාජ මාධ්‍ය ඔස්සේ භූමිතෙල් ලිපට යොමුවන ලෙසට පළ වන සටහන්ද වැඩි වශයෙන් දක්නට ලැබීම විශේෂත්වයක්.

එවන් පසුබිමක පසුගිය දෙදින තුළ පිටකොටුවේ වෙළඳසැල්වල භූමිතෙල් ලිප් අලෙවිය ඉහළ ගොස් ඇති බවයි පිටකොටුව එක්සත් ජාතික ස්වයං රැකියා වෙළඳ ව්‍යාපාරිකයින්ගේ සංගමය සඳහන් කළේ.

එහි සභාපති ප්‍රදීප් චාර්ල්ස් මහතා කියා සිටියේ, භූමිතෙල් ලිප්වලට අමතරව විදුලි උඳුන් අලෙවියද ඉහළ ගොස් ඇති බවයි.

එමෙන්ම, දර ලිප් සඳහා යොමු විය යුතු බවට ද සමාජ මාධ්‍ය තුළ පසුගිය දින කිහිපයේ විවිධ අදහස් හුවමාරු වී තිබුණා.

මේ අතර, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිමෙන්තිවලට අමතරව ඒ සඳහා යොදා ගැනෙන අනෙකුත් භාණ්ඩ සහ උපකරණවල මිල ගණන්ද ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවට වාර්තා වනවා.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් කොළඹදී ඊයේ (12) මාධ්‍ය හමුවක් කැඳවමින් ඉල්ලා සිටියේ, ඉදිරි අයවැය යෝජනා සකස් කිරීමේදී තම අදහස්ද ඊට ලබා ගන්නා ලෙසයි.

******************************************

මහපොළට ලලිත් ඇතුළත්මුදලි ශ්‍රීමතාණන්ගේ නම

(13.10.2021 – 07:41 +0530 – hirunews.lk/sinhala)

මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ නම ‘ලලිත් ඇතුළත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදල’ ලෙස වෙනස් කර තිබෙනවා.

ඊට අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමි වී ඇති අතර, දිවංගත වෙළඳ අමාත්‍ය ලලිත් ඇතුළත්මුදලි ශ්‍රීමතාණන්ට දක්වන උපහාරයක් ලෙස මෙලෙස අරමුදලේ නම වෙනස් කරන බවයි වෙළඳ අමාත්‍ය, බන්දුල ගුණවර්ධන සඳහන් කළේ ෴

******************************************

‘එක්ස්ප්‍රස් පර්ල්’ ගැන පරිසරවේදීන් අනතුරු අඟවයි

(13.10.2021 – 07:48 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායට ආසන්න මුහුදු කලාපයේදී ගිනි ගැනීමට ලක්ව ගිලී පවතින ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් මෙරට පරිසර පද්ධතියට දැඩි අවදානමක් පවතින බව පරිසර සංවිධාන පෙන්වා දෙනවා.

මේ පිලිබඳව අදහස් දක්වමින් පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යේෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ මහතා සඳහන් කළේ, නෞකාවෙන් සිදු වූ පරිසර හානියට වන්දි ලබා ගැනීමේ කටයුතු සහ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු විධිමත් කළමනාකාරීත්වයකින් සිදු නොවන බවයි.

මේ අතර, පරිසර සංවිධාන සහ ධිවර ජනතාව එක්ව මීගමුව සරක්කුව වෙරළේ ඊයේ (12) විරෝධතාවක් සංවිධාන කර තිබුණා ෴

******************************************

මහ කන්නයේ පොහොර බෙදීම අද (13) සිට

(13.10.2021 – 07:55 +0530 – hirunews.lk/sinhala)

මෙවර මහ කන්නයේ වී ගොවීන් සඳහා අවශ්‍ය කාබනික පොහොර බෙදා හැරීමේ වැඩපිලිවෙළ අදින් ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සමඟ ගොවිජන සේවා නියෝජ්‍ය කොමසාරිස්වරුන්, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂවරුන් සහ පොහොර නිලධාරීන් ඇතුළු පිරිසක් පසුගිය දා ඊට අදාළ සාකච්ඡාවක් පවත්වා ඇති අතර, එහිදීයි මෙම තීරණය ගනු ලැබුවේ.

ඒ අනුව අම්පාර දිස්ත්‍රික්කයෙන් පොහොර බෙදාහැරීම ආරම්භ කෙරෙන අතර, ඊට සමගාමීව අනෙක් ප්‍රදේශවලද පොහොර බෙදාහැරීමට මෙම සාකච්ඡාවේදී තීරණය වී තිබෙනවා.

අම්පාර, අනුරාධපුරය, පොලොන්නරුව, මොණරාගල, ත්‍රිකුණාමලය, මඩකලපුව, හම්බන්තොට, කුරුණෑගල සහ පුත්තලම යන වී වගාව බහුලව සිදු කරන දිස්ත්‍රික්ක සඳහා කාබනික පොහොර බෙදාහැරීමේදී ප්‍රමුඛතාව ලබාදීමටද මෙහිදී තීරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය දින කිහිපය තුළම ගොවි ජනතාව විරෝධතා දක්වමින් චෝදනා කළේ, තමන්ට රසායනික පොහොර ලබා දෙන ලෙසටයි.

******************************************

හැකරැල්ලන් විශේෂයක් නිසා හබරන – ඉඳිගස්වැව ප්‍රදේශවාසීන් අසීරුතාවක

(13.10.2021 – 08:33 +0530 – hirunews.lk/sinhala)

සුදු පැහැති හැකරැල්ලන් විශේෂයක් හේතුවෙන් හබරන – හිරිවඩුන්න – ඉඳිගස්වැව ගම්වාසීන් අපහසුතාවට පත්ව තිබෙනවා.

මීට දින කිහිපයකට පෙර සිට සුළු වශයෙන් මාර්ගවල සහ නිවෙස් ආශ්‍රිතව දැකගත හැකි වූ මෙම හැකරැල්ලන් විශේෂය මේ වනවිට විශාල වශයෙන් ගම්මානයේ සෑම තැනකම ව්‍යාප්තව ඇති බවයි ගම්වාසීන් පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් ඇතැම් ගම්වාසීන් සිය දරුවන් වෙනත් ප්‍රදේශවල පිහිටි ඥාති නිවෙස්වල රැඳවීමට පියවර ගෙන ඇති අතර, හැකරැල්ලන් ගම්මානයේ පිහිටි ළිංවල සහ වගා භූමිවලද දැකගත හැකියි ෴

******************************************

අයියාගේ පිහි ඇනුමෙන් මල්ලී මරුට

(13.10.2021 – 08:47 +0530 – hirunews.lk/sinhala)

මාතලේ පොලිස් වසමේ කළුදෑවල ප්‍රදේශයේ දී එක ම පවුලේ වැඩිමල් සහෝදරයා විසින් බාල සොහොයුරාට පිහියෙන් ඇන ඝාතනය කල සිදුවීමක් වාර්තා වෙනවා.

පිහි ඇනුමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර පිණිස මාතලේ රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 31 ක් වූ කළුදෑවල – මාතලේ පදිකංචිකරුවෙක්.

පවුල් ආරවුලක් නිසා මෙම ඝාතනය සිදු කර ඇති අතර, ඝාතකයා මේ වෙනවිටත් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෘත ශරීරය මාතලේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිදුවීම සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ මාතලේ පොලිසිය විසින් සිදු කරනු ඇති ෴

******************************************

භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය වාර්තාගත ආදායමක් ලබයි

(13.10.2021 – 09:24 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ අගෝස්තු මාසය අවසන් වන විට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය රුපියල් මිලියන 2028 ක ආදායමක් උපයා තිබෙනවා.

එය පසුගිය වසරට සාපේක්ෂව 74% ක වර්ධනයක් බවයි පරිසර අමාත්‍යාංශය සදහන් කළේ.

වැලි, කළුගල්, පස් හා බොරලු කැනීම් හා ප්‍රවාහන බලපත්‍ර ලබාදීම, ඛනිජ සම්පත් අපනයන බලපත් ලබාදීම සහ වෙනත් භූ සමීක්ෂණ සේවාවන් මඟින් මෙම ආදායම් උපයා තිබෙනවා.

ගවේෂණ බලපත්‍ර 12 ක්, කාර්මික බලපත්‍ර 1856 ක්, වෙළද බලපත්‍ර 281 ක් වැලි, කළු ගල්, බොරලු ප්‍රවාහන බලපත්‍ර 777,000 ක් මෙන්ම අපනයන බලපත්‍ර 374 ක් මේ වසරේ ගත වූ කාලසීමාව තුළ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මඟින් නිකුත් කර ඇති බව පරිසර අමාත්‍යාංශ නිවේදනයේ වැඩිදුරටත් සදහන් ෴

******************************************

බැංකු පද්ධතිය බරපතල අවදානමක.. – ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය

(13.10.2021 – 14:10 +0530 – lankacnews.com)

අද වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතා අයහපත් බව ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය කියා සිටියි.

එහි සභාපති ලක්ෂ්මන් සිල්වා මහතා පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් රටේ බැංකු පද්ධතිය බරපතළ අවදානමකට පත්ව ඇති බවයි.

රට තුළ විදේශ විනිමය ද දැවැන්ත අර්බුදයකට පත්ව ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඔහු මෙම අදහස් පළ කර ඇත.

******************************************

අක්කරෙයිපත්තුව කර්මාන්තශාලාවක ගින්නක්

(13.10.2021 – 09:30 +0530 – hirunews.lk/sinhala)

අක්කරෙයිපත්තු – පාලමුන ප්‍රදේශයේ කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා.

පැරණි ටයර් උපයෝගී කර ගනිමින් තෙල් ප්‍රතිනිෂ්පාදනය කරනු ලබන කර්මාන්තශාලාවකයි ඊයේ (12) මෙම ගින්න හටගෙන ඇත්තේ.

ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර, අක්කරෙයිපත්තුව මහනගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එක්ව ගින්න මැඩ පවත්වා තිබෙනවා ෴

******************************************

ගුවනින් බීජ හෙලීමේ ව්‍යාපෘතියේ 5 වන අදියර අවසන්

(13.10.2021 – 10:02 +0530 – hirunews.lk/sinhala)

ගුවනින් බීජ හෙලීමේ ව්‍යාපෘතියේ 5 වැනි අදියර සාර්ථකව නිමාවට පත් වී තිබෙනවා.

ගුවන් හමුදාවේ අංක 6 ප්‍රවාහන හෙලිකොප්ටර් බල ගණයට අයත් එම්.අයි. 17 වර්ගයේ හෙලිකොප්ටර් යානාව මඟින් අවස්ථා 3 කදී මෙලෙස ගුවනින් බීජ හෙලීම සිදුකරනු ලැබුවා.

ඒ, සියඹලාණ්ඩුව ප්‍රාදේශීය කොට්ඨාශයට අයත් වත්තේගම, කැබිලිත්ත වන රක්ෂිතයේ අක්කර 75 ක භූමි ප්‍රමාණයක් ආවරණය වන පරිදියි.

ඇහැල, මී, කරඳ, සියඹලා සහ කුඹුක් ආදී බීජ 80,000 ක් මෙලෙස ගුවනින් ඉසීම සිදුකර ඇති බව සඳහන්.

මෙරට තිරසාර සංවර්ධන ඉලක්කයක් වන 2030 වසර වන විට හරිත ආවරණය 32% දක්වා වර්ධනය කිරීමේ අරමුණෙනුයි ගුවනින් බීජ හෙලීමේ ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබුවේ ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

වසංගතය නිසා පාසල් වසා දැමීමෙන්, දරුවන්ට ශාරීරික – මානසික බලපෑම් – කෙහෙළිය පවසයි

(13.10.2021 – 07:36 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා ආසාදිතයින් 671 දෙනෙකු ඊයේ (12) හඳුනා ගැනීමත් සමඟ දැනට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,27,735 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ (12) වාර්තා වූ නව ආසාදිතයන් සියලු දෙනා අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර, ඒ අනුව තවදුරටත් මෙරට සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 23,558 ක්.

පෙරේදා සිදු වූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (12) තහවුරු කරන ලද මරණ 23 ත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,377 ක් දක්වා ඉහළ ගියා.

මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 4,90,800 ක්.

මේ අතර, කොරෝනා වසංගතය හේතුවෙන් පාසල් වසා දැමීම නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයට ඇති වූ බාධාවන් ඔස්සේ දරුවන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යයටද බලපෑම් එල්ල කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු හා අග්නිදිග ආසියානු කලාපීය රටවල්වල පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳව සූම් තාක්ෂණයෙන් ඔස්සේ ඊයේ (12) ආරම්භ වූ සමුළුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ ෴

+++++++++++++++++

https://www.youtube.com/watch?v=dNYdhDAXJTk
13-10-2021
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *