අගමැති ගෙන් ගුරු-විදුහල්පතිවරුන්ට යෝජනාවක්

අගමැති ගෙන් ගුරු-විදුහල්පතිවරුන්ට යෝජනාවක්

*********************************************

අගමැති ගෙන් ගුරු-විදුහල්පතිවරුන්ට යෝජනාවක්

(12.10.2021 – 21:28 +0530 – hirunews.lk/sinhala)

වැටුප් විෂමතා ගැටළුව පිළිබද සාකච්ඡා කිරීම සඳහා ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද (12) දහවල් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාව අවසන් කෙරුණේ විසඳුමකින් තොරවයි.

පැය 3 කට අධික කාලයක් පැවැත්වුණු මෙම සාකච්ජාවට වැටුප් විෂමතා ගැටලුව විසදීම සඳහා සොයා බැලීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ සාමාජිකයින් , අධ්‍යාපන අමාත්‍යවරයා සහ ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුලු පිරිසක් එක්ව සිටියා.

එම සාකච්ඡාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේ අමාත්‍ය අනු කමිටුවේ යෝජනාව පරිදි කොටස් තුනකින් (3) වැඩි කිරීමට යෝජිත වැටුප පළමු අදියර සදහා 2022 වර්ෂයේ අයවැය මගින් සහ ඉතිරි කොටස් දෙක 2023 අයවැය මගින් ලබාදීමට අග්‍රාමාත්‍යවරයා යෝජනා කළ බවයි.

කොවිඩ් වසංගතය හමුවේ මහභාණ්ඩාගාරයට මුදල් ලැබීම් සීමාවීම හේතුවෙන් එකවර මෙම ඉල්ලීම් ලබාදීමට නොහැකි බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ දරුවන්ගේ අධ්‍යාපනය තවදුරටත් බාධාවකින් තොරව කරගෙන යාමේ අවශ්‍යතාව මත රජය මෙම යෝජනාව ඉදිරිපත් කරන බවයි.

******************************************

වාහන ආනයනයට යෝජනා දුන්නත් ප්‍රතිචාරයක් නෑ

(12.10.2021 – 22:36 +0530 – hirunews.lk/sinhala)

වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් වාහන ආනයනකරුවන්ගේ සංගමය විසින් විවිධ යෝජනා ඉදිරිපත් කළ ද ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා ප්‍රකාශ කළා.

අද (12) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙවර අයවැය සැකසීමේ දී සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන් කිසිවෙකුගේ අදහස් නොවිමසූ බවයි.

******************************************

ලංකාවේ නම ලෝකෙටම අරන් ගිය යොහානි නැවතත් මව්බිමට

(12.10.2021 – 22:09 +0530 – hirunews.lk/sinhala)

ලංකාවේ නම ලෝකෙටම අරන් ගිය යොහානි, ඉන්දියානු සංචාරයෙන් අනතුරුව මේ වන විට කටුනායක ගුවන් තොටුපළට පැමිණ සිටිනවා.

පසුගිය දවසක ඇය ඉන්දියාව බලා පිටත්ව ගියෙත් ‘මැණිකේ මගේ හිතේ’ ගීතය නිසාම ලැබුණු ජනප්‍රියත්වය නිසයි.

ඒ විදිහට ඉන්දියාවට ගිය ඇයට ලාංකීය සම්භවයක් උරුම සුරූපී නිළි ජැක්ලින් සහ සුපිරි බොලිවුඩ් නළුවෙකු වන සල්මන් ඛාන් මුණ ගැසීමට ද වාසනාව හිමි වුණා.

ශ්‍රී ලංකා ගුවන් සමාගම ඇයව පිළිගනු ලැබුවේ මෙලෙසිනු යි.

++++++

13-10-2021

++++++++

(Over 150,919,000 views)

++++++++

Title track from the upcoming movie ‘Shiddat’
29-09-2021

******************************************

ඔන්ලයින් ඛේදවාචකය : වැඳලා ඉල්ලන්නේ, ළමයින්ට ෆෝන් නම් දෙන්න එපා !

(12.10.2021 – 17:06 +0530 – sinhala.adaderana.lk)

“ඔන්ලයින් කරන්න කියලා ෆෝන් එකක් අරන් දුන්නා. අන්තිමට ඔන්ලයිනුත් නැති වුණා. ළමයා ඊට පස්සේ ගේම් ගහන්න පුරුදු වෙලා. අනේ දෙයියනේ, අම්මලා තාත්තලාගෙන් වැඳලා ඉල්ලන්නේ, ළමයින්ට ෆෝන් නම් දෙන්න එපා…” යැයි සිය එකම දරුවාගේ වියෝව දරාගත නොහැකිව වු පියෙක් හඬා වැලපෙමින් කීය.

බණ්ඩාරගම, රයිගම, ගුන්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඉසුරු අශේන් සිසුවාගේ මළ සිරුර ඔහු පදිංචි නිවසේ මුළුතැන්ගෙයි කොන්ක්‍රීට් කණුවක එල්ලෙමින් තිබියදී ඊයේ (11) සොයාගැනීමෙන් අනතුරුව අශේන් ගේ පියා හඬා වැලපෙමින් එසේ ආයාචනා කළේය.

ඔහු මහන්සි වී බුලත්විට විකිණීමෙන් උපයාගත් මුදලින් කොටස් වශයෙන් ගෙවීමට තම පුතුගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ස්මාර්ට් ජංගම දුරකථනයක් මිලදී ගත්තේ අශේන් ගේ අනාගතය සාර්ථක කිරීමේ බලාපොරොත්තුවෙනි.

නමුත් ඔහුට අද හිමිව ඇත්තේ දුක සහ ශෝකයයි.

46 හැවිරිදි මෝලි වික්‍රමාරච්චි 43 හැවිරිදි අශෝකා රංජනී යන දෙපළගේ එකම පුතු වූ ඉසුරු අශේන් බණ්ඩාරගම රයිගම පතහවත්ත ශ්‍රී ස්වර්ණජෝති මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ දීප්තිමත් සිසුවෙකි.

අධ්‍යාපනයට මෙන්ම නර්ථනයටද එකසේ හපන්කම් දැක්වූ අශේන් මියයන විට 11 වසරේ ඉගෙනුම ලබමින් සිටියේය.

මව්පිය දෙපළට ඇස් දෙක ලෙස සිටි අශේන් ඔවුන්ගේ ආදරය මෙන්න අසල්වාසීන්ගේ හා ඥාතීන්ගේ ද ආදරය නොමඳව දිනාගනිමින් කෙළිදෙලෙන් කල්ගෙවූ දරුවෙක් බව අසල්වාසීන් අප සමග පැවසීය.

අශේන්ගේ පියා හැඬ කඳුළින් අප සමඟ පවසා සිටියේ මෙවන් දෙයකි.

“දවල් 02:45 ට විතර පහළ කඩෙන් මට කෝල් එකක් ආවා විට එකක්වත් නෑ ගේන්න කියලා. මම ඒ එක්කම පුතේ කිව්වා. පුතා ටක් ගාලා ආවා. ඒ එක්කම මම පුතාට කිව්වා පුතේ විට ටික ඉක්මනට ඔතන්න ඕනෙයි කියලා. අනේ ඒ වෙලා අපේ පුතා මට කිව්වා තාත්තා පුවක් ටික පළල දෙන්න මම ඉක්මනට ඔතන්නම් කියලා. මම බුලත් විට ටික බෑග් එකට දාගෙන ඉස්සරහට එතකොට පුතත් මගේ පස්සෙන්ම ආවා. පස්සෙ මම ත්‍රීවිල් එකක් අරං කඩේට යන්න ගියා. පැයකට විතර පස්සේ මම ගෙදර ඇවිල්ලා පුතේ කියලා කතා කලත් එයා කතා කරේ නැහැ. පුතාගේ පුරුද්දක් තිබ්බා මම කොහේ හරි ඉඳලා එක පාරක් කතා කලත් ‘ඇයි තාත්තා’ කියලා අහනවා. මම කාමරයේ බැලුවා ඒත් පුතා පේන්න හිටියේ නැහැ. මම හිතුවා එයා බත් කන්න කුස්සියට යන්න ඇති කියලා. මම කුස්සියට ගිහින් බලනකොට පුතා කොන්ක්‍රීට් එකේ එල්ලිලා ඉන්නවා දැක්කා. මම පැනපු ගමන් පුතාව අල්ලගෙන උඩට ඉස්සුවා. පුතාගේ බෙල්ලෙ තිබෙන ගැටය ලියන්න උත්සහ කරත් මට ඒක කරන්න බැරි වුණා. විනාඩි 5 ක පමණ කාලයකදී හොරණ ඉස්පිරිතාලෙට ගියත් මගේ පුතාගේ ජීවිතේ නැතිවෙලා. අනේ අයියෝ.”

දරුවාගේ හදිසි මරණය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන නිලධාරීන් පැමිණ පරීක්ෂණ පැවැත්වීමේදී දරුවාගේ කාමරය තුළ තැන තැන සඟවා තිබූ පාවිච්චි කරන ලද විවිධ මිල ගණන් සඳහන් ඩේටා කාඩ් 50 කට ආසන්න ප්‍රමාණයක් මෙන්ම ජංගම දුරකථනයෙන් ගේම් ගැසීම සඳහාම උපයෝගී කරගන්නා මාපට ඇඟිලි ආවරණ තුනක් සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.

තවද ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී එහි තිබූ ඡායාරූප පන්සියයකට (500) ආසන්න ප්‍රමාණයෙන් 99% ක් පමණ (විවිධ ක්‍රීඩා) ගේම් ඡායාරූප මෙන්ම ඊට අදාළ වැකි සටහන්ව තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඒ අනුව එම දරුවා දැඩිව ගේම් ගැසීම සඳහා ඇබ්බැහි වී සිටි අයෙකු බවට අනාවරණය වී ඇතැයි ද පොලීසිය සඳහන් කළේය.

දරුවාගේ මළ සිරුර හොරණ මුලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පීසීආර් පරීක්ෂණයකින් අනතුරුව මරණ පරීක්ෂණය හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණවර්ධන මහතා ඉදිරියේ පැවැත්වීමට නියමිතය.

******************************************

Derana 360 : බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා (11.10.2021)

ලංකා මුහුදු පත්තේ ගෑස් ඝන අඩි ට්‍රිලියන 9 ක්, බොරතෙල් බැරල් බිලියන 2 ක් වටිනාකම ඩොලර් බිලියන 280 ක්..

******************************************

ඉන්ස්ට්‍රග්‍රෑම් කණ්ඩායමක් අනුන්ගේ බැංකු ගිණුම්වල මුදල් අදියි

(13.10.2021 – 06:31 +0530 – aruna.lk)

අනුන්ගේ බැංකු කාඩ්වල අංක සෙල්ලමෙන් ඔන්ලයින් ජාවාරමක්

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදී ගැනීමට වෙනත් අයගේ බැංකු කාඩ්වල අංක යොදා ගනිමින් සිදුකළ සංවිධානාත්මක ජාවාරමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත.

රාජ්‍ය බැංකුවක කාඩ්පත් අංශයේ ප්‍රධාන කළමනාකරුවකුගේ පැමිණිල්ලක් මත කළ දීර්ඝ විමර්ශනයකින් මේ බව අනාවරණය වී තිබේ.

මෙම ජාවාරම සම්බන්ධව කුරුණෑගල දම්බොක්ක ප්‍රදේශයේ කොහු මෝලක අංශ ප්‍රධානියකු ලෙස කටයුතු කළ 23 හැවිරිදි තරුණයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ඉන්ස්ට්‍රග්‍රෑම් කණ්ඩායමක සහයෙන් දින තුනකදී බැංකු ගිණුම් 29 කට අයත් අනුන්ගේ කාඩ්පත්වලින් 114 වතාවක් අන්තර්ජාලයෙන් මුදල් ගෙවා භාණ්ඩ මිලදී ගෙන ඇතැයිද අනාවරණය වේ.

රුපියල් අටලක්ෂ හතළිස් එක්දහසක් (8,41,000) දින තුනකදී (3) වංචාකර ඇති මෙම පුද්ගලයා රට පුරා බැංකු ගිණුම්වලට රාත්‍රි කාලයේදී සූක්ෂම ලෙස ඇතුළු වී මෙම ජාවාරම සිදුකර ඇත.

මෙම විමර්ශනවලට අනුව ඉන්ස්ට්‍රග්‍රෑම් යෙදුම ඔස්සේ ක්‍රියාත්මක කණ්ඩායමක් බැංකු ගිණුම්වල මුදල් අදින ජාවාරම කරගෙන ගොස් ඇත.

මෙම කණ්ඩායමේ සියලුදෙනා කිසිවකුගේ අනන්‍යතාවය හෙළි නොවන සේ කටයුතු කර තිබේ. බැංකු කාඩ්වල අංක යොදා සිදුකරන මෙම වංචාව එහි එක් සාමාජිකයකු මුළු කණ්ඩායමට උපදෙස් දී ඇත.

ඔහු විසින් රාජ්‍ය බැංකුවක තමාට හිමි ගිණුමේ මුල් අංක හා කාඩ්පත් කල් ඉකුත්වන දිනය පමණක් කෙටි පණිවුඩයක් ලබාදී අවසාන අංකයට සැසඳෙන අංක එකින් එක යොදමින් මුදල් ඇති ගිණුම් සොයා ගන්නා ලෙස උපදෙස් දී ඇත.

බැංකු කාඩ්පත්වල පිටුපස ඇති අවසාන අංක කිහිපය සසඳමින් මෙම වංචාව කරන ලෙස වංචනික කණ්ඩායමට උපදෙස් ලැබී ඇත.

ඒ අනුව අත්අඩංගුවට පත් වූ තරුණයා සේවය නිම වී පැමිණ මවට නින්දට යන බව හඟවා නිවසේ පරිගණකයෙන් අලුයම 03:00 පමණ වනතුරු දිනපතා මෙම වංචාවේ නිරතවී තිබේ.

ඇඳුම්, සපත්තුවල සිට පරිගණක යන්ත්‍ර, ටැබ්, දුරකථන, ලැප්ටොප් පරිගණක උපාංග ඇතුළු අන්තර්ජාලය ඔස්සේ මිලදී ගත් භාණ්ඩ සැකකරුගේ නිවසේ තිබී සොයාගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දම්බොක්කේ තරුණයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රාජ්‍ය බැංකුවක ගිණුම් යොදාගෙන මිලදී ගත් විවිධ භාණ්ඩ කුරියර් ආයතනය මගින් ඔහුගේ නිවසට රැගෙනවිත් තිබේ.

මෙම ඉන්ස්ට්‍රග්‍රෑම් කල්ලියේ සාමාජිකයන් දෙස් විදෙස් බැංකු ගිණුම්වලින් මුදල් වංචා කරන බවට හෙළිවීම නිසා එම ඉන්ස්ට්‍රග්‍රෑම් කණ්ඩායම සොයා පුළුල් විමර්ශනයක් අරඹා ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්නගේ උපදෙස් මත පරිගණක අපරාධ විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක කැලුම් කරුණාරත්න, උප පොලිස් පරීක්ෂක ජී.එම්. චතුරංග, උප පොලිස් පරීක්ෂක එච්. දිල්ශානි, සැරයන්වරුන් වන බුද්ධික (40238), ජයලාල් (54825), කොස්තාපල්වරුන් වන දේවින්ද (94502), මානගේ (78158), ඇන්තනි (94001) යන කණ්ඩායම විමර්ශන මෙහෙයවයි.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා

******************************************

හොර බඩු ගුවන්තොටුපොළෙන් පැන්නූ හැටි හොයන්න රේගුවෙන් පරික්ෂණයක්

(13.10.2021 – am.lk)

ගුවන් මගියකු ඉන්දියාවේ සිට නීති විරෝධීව රැගෙන ආ කරදමුංගු, කහ තොගයක් කටුනායක ගුවන්තොටුපලෙන් පිට කිරීමට රේගු නිලධාරියෙක් සහාය දැක්වූ වාද යන්න සොයා බැලීමට රේගු පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පවසනවා.

මේ සදහා ගුවන්තොටුපළ සීසීටීවී දර්ශන පරීක්ෂාවට ලක් කෙරෙන බවත් එම පරීක්ෂණය ගුවන්තොටුපළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ වරයෙක් යටතේ විමර්ශන සිදු කරන බවත් හෙතෙම සඳහන් කළා.

අදාළ ගුවන් මගියා සිය ගමන් මල්ලේ සම්පූර්ණයෙන්ම කරදමුංගු සහ කහ ගබඩා කරගෙන පැමිණ ඇති බවත් චෝදනා ලාභී රේගු නිලධාරියාගේ සහයෙන් ගුවන් තොටුපලෙන් පිටවී ඇති බවත් වාර්තා වන අතර එම සිද්ධිය සත්‍යදැයි සොයා බැලීමට විමර්ශන සිදු කරනවා.

ඔහු ගුවන් තොටුපලෙන් පිටවීමෙන් පසුව වෙනත් රේගු නිලධාරීන් කණ්ඩායමකට ඇති වූ සැකය මත කළ පරීක්‍ෂාවකදී ගමන් මල්ලේ තිබී කරමුංගු කිලෝ හයක් (6) සහ ඉන්දියාවේ නම ගිය කහ වර්ගයක පැකට් 88 ක් සොයාගෙන ඇති අතර රේගු පරිශ්‍රයෙන් පිටව ගොස් ඇති ගුවන් මගියා පිටත අසුන් ගෙන සිටියදී රේගු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *