හම්බන්තොට දිසාපතිවරයා හා වන සංරක්ෂණ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක්

හම්බන්තොට දිසාපතිවරයා හා වන සංරක්ෂණ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක්

*********************************************

හම්බන්තොට දිසාපතිවරයා හා වන සංරක්ෂණ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක්

(12.10.2021 – 14:12 +0530 – hirunews.lk/sinhala)

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආසන්නයේ සිදු වන ඉඩම් කොල්ලයක් සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය හම්බන්තොට දිසාපතිවරයා හා වන සංරක්ෂණ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

දිසාපතිවරයා එහි දී නිරීක්ෂණය කළේ, වන භුමියෙන් විශාල ප්‍රමාණයක් විනාශයට පත්කර ඇති අයුරුයි.

******************************************

ඇවිදින මංතීරුවක් නිසා නාවලපිටිය නගර සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර ගැටුමක්

(12.10.2021 – 15:11 +0530 – hirunews.lk/sinhala)

නාවලපිටිය නගර සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් දෙපිරිසක් අතර අද (12) ගුටිබැට හුවමාරුවක් සිදුව තිබෙනවා.

ඒ, නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ ඉදිවන ඇවිදින මංතීරුව සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා එම නගර සභාවේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම සමගි ජනබලවේගයේ නාගරික මන්ත්‍රී සසංක සම්පත් සහ තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු (2) ආධාරකරුවන්ද සමඟ පැමිණීමත් සමඟයි.

ක්‍රීඩාංගණයේ පිවිසුම වෙත පැමිණි අවස්ථාවේදී ප්‍රධාන ගේට්ටුව නගර සභාව විසින් වසා දමා තිබීමත් සමඟ එම ස්ථානයට නාවලපිටිය නගර සභාවේ සභාපති අමල් ප්‍රියංකර ඇතුලු නාගරික මන්ත්‍රිවරුන් පිරිසක් පැමිණ තිබෙනවා.

එහිදී ඔවුන් දෙපිරිස අතර වචන හුවමාරුවකින් පසු ගුටිබැට හුවමාරුවක්ද සිදුව ඇති බවයි වාර්තාවන්නේ. එම තත්වය පාලනය කිරීම සඳහා පොලීසියද පැමිණ ඇති අතර, දෙපාර්ශවය විසින්ම ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

එහිදී තුවාල ලැබූ තුන්දෙනෙකු (3) නාවලපිටිය මහ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බව සඳහන්.

******************************************

මුහුදෙන් නවසීලන්තයට යෑමට තැත්කළ 63 ක් ත්‍රිකුණාමලයේදී අත්අඩංගුවට

(12.10.2021 – 17:13 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී අයුරින් නවසීලන්තය බලා මුහුදු මාර්ගයෙන් යෑමට තැත්කළ පුද්ගලයින් 63 දෙනෙකු ත්‍රිකුණාමලය – ඕර්ස්හිල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් මුලතිව්, කිලිනොච්චිය, වවුනියාව සහ යාපනය ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ ෴

******************************************

ඖෂධ අධිකාරියේ කටයුතු සෙවූ කමිටුව අතුරු වාර්තාවක් භාරදෙයි

(12.10.2021 – 17:21 +0530 – hirunews.lk/sinhala)

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සොයා බැලීමට පත්කළ විශේෂ විමර්ශන කමිටුවේ අතුරු වාර්තාව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත භාර දී තිබෙනවා.

2015 ජූලි 01 වැනිදා සිට මේ වසරේ මාර්තු 17 වැනිදා දක්වා කාලයට අදාළවයි අදාළ විමර්ශන සිදු කෙරෙන්නේ ෴

******************************************

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සති දෙකකට (2) අත්හිටුවයි

(12.10.2021 – 18:19 +0530 – hirunews.lk/sinhala)

පරිඝණක පද්ධතියේ බිඳවැටීම් හේතුවෙන් බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෙට (13) සිට සති දෙකකට (2) අත්හිටුවා තිබෙනවා.

******************************************

දෙමටගොඩ පොලීසියේ නොගැලපෙන ත්‍රස්ත වැඩ

(12.10.2021 – 18:54 +0530 – hirunews.lk/sinhala)

දෙමටගොඩ කැටවලමුල්ල ප්‍රදේශයේ ආහාරපාන සැකසුම් ආයතනයක රාත්‍රීයේ නවාතැන් ගෙන සිටින සේවකයෙකුට දෙමටගොඩ පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පිරිසක් පැමිණ පහර දෙන සිද්ධියක සි.සි.ටි.වි. දර්ශන මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්, පහර කෑමට ලක්වන සේවකයා සේවය කළ ආහාරපාන සැකසුම් ආයතනයේ හිමිකරුගෙන් සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙය සිය ව්‍යාපාරික ස්ථානය පවත්වාගෙන යන ඉඩම් කැබැල්ලේ පෙර හිමිකරුගේ අනුදදැනුම මත සිදුවන ක්‍රියාවලියක් බවයි.

වැඩිදුරටත් හිරු ප්‍රවෘත්ති සමඟ අදහස් දැක්වූ ඔහු කියා සිටියේ සිය ව්‍යාපාරික ස්ථානය පවත්වාගෙන යනු ලබන ඉඩම් කොටස 2011 වසරේදී රුපියල් ලක්ෂ 150 ක් ලබා දී මිළට ගත් එකක් බවයි.

කෙසේ වෙතත් පසුව ඉඩම අලෙවි කළ පුද්ගලයා දෙමටගොඩ පොලිසිය හා එක්ව වරින්වර සිය ව්‍යාපාරයට සහ ව්‍යාපාරික ස්ථානයට දිගින් දිගටම බාධා හිරිහැර කරන බවටයි ඔහු චෝදනා කර සිටියේ.

දෙමටගොඩ පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස කටයුතු කළ, පසු ගිය සතියේ සහකාර පොලිස් අධිකාරී නිලයට උසස් කෙරුණු පොලිස් ස්ථානාධිපතිවරයා ද මෙම සිදුවීම් වලට බරපතළ ලෙස මැදිහත් වූ බව අදාල ව්‍යාපාරිකයා චෝදනා කළා.

දිගින් දිගටම තමන්ට විඳින්නට සිදුව ඇති අසාධාරණකම් සම්බන්ධයෙන් දෙමටගොඩ පොලීසියට පැමිණිලි කළ ද ඔවුන් ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගන්නා බවයි මෙම ව්‍යාපාරිකයා සඳහන් කරන්නේ.

******************************************

පිටකොටුව තොග වෙළඳාම අඩුවෙයි – ‘ලංකා අයි.ඕ.සී.’ මිල වැඩිවීමක් අපේක්ෂාවෙන්

(12.10.2021 – 19:33 +0530 – hirunews.lk/sinhala)

භාණ්ඩ මිල ගණන් ඉහළ යාමත් සමඟ පිටකොටුව ඇතුලු අනෙකුත් තොග අලෙවිසැල්වල භාණ්ඩ අලෙවිය සියයට 40 දක්වා පහත බැස ඇති බවට තොරතුරු වාර්තාවනවා.

මේ හේතුවෙන් තොග වෙළඳුන්ගේ දෛනික ආදායම ද රුපියල් මිලියන 15 දක්වා පහත බැස ඇති බවටයි වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළේ.

සාමාන්‍ය දිනවල පිටකොටුවේ තොග වෙළඳසැලක දෛනික ආදායම රුපියල් මිලියන 25 ක අගයක් ගනු ලබනවා.

කෙසේ වෙතත් පසුගිය දින කිහිපය තුළ ගෑස්, කිරිපිටි, තිරිඟු පිටි ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් ඉහළ යෑම ඇතුලු අනෙකුත් කරුණු සමඟ තොග වෙළඳාම මෙලෙස පහත වැටී ඇති බවයි වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර ගෑස්, කිරිපිටි, තිරිඟු පිටි සහ සිමෙන්ති ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාමත් සමඟ වෙළඳපොලේ එම භාණ්ඩවල පැවති හිඟය මේ වනවිට අඩුවෙමින් පවතින බව වාර්තාවනවා.

පාරිභෝගිකයන් පවසන්නේ භාණ්ඩ මිල ඉහළ යාමත් සමඟ වෙළඳපලේ පසුගිය දිනවල හිඟව පැවති භාණ්ඩ මේ වනවිට දක්නට ලැබීම විමතියට කරුණක් බවයි.

භාණ්ඩ මිල ඉහළ යාම තමන්ට දරාගැනීමට අපහසු බවටද ඔවුන් චෝදනා කළා.

මේ අතර භාණ්ඩ මිල ඉහළ යෑමට විරෝධය පළ කරමින් අද කොළඹ ඇතුලු ප්‍රදේශ කිහිපයක විරෝධතා ද පැවැත්වුණා.

මේ අතර අසාමාන්‍ය ලෙස ගෝලීය නිෂ්පාදනය පහත වැටීම හේතුවෙන් ලෝක වෙළදපළේ කිරිපිටි මිල 2014 වසරේ අගෝස්තු මාසයෙන් පසු ඉහළම අගයට පැමිණ තිබෙනවා.

විශේෂයෙන් කිරි නිෂ්පාදන අපනයනයේ ප්‍රමුඛයන් වන යුරෝපයේ සහ නවසීලන්තයේ නිෂ්පාදනය පහත වැටීම මෙලෙස මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවයි.

අදත් මෙරට වෙළඳපලේ ප්‍රමාණවත් පරිදි කිරිපිටි නොමැති නිසා ඒවා මිලදී ගැනීම සඳහා දිගු පෝලිම් දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

මේ අතර ඉදිරියේදී ඉන්ධන මිල ද වැඩිවීමක් සිදුවිය හැකි බවත්, ඒ පිළිබඳව මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කිරීමෙන් පසු තීරණය කරනු ඇති බවත් අද (12) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

එවන් පසුබිමක ඉන්ධන මිල ඉහළ දැමීමට අපේක්ෂා කරන බව ‘ලංකා අයි.ඕ.සී.’ සමාගම පවසනවා.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ ඩීසල් ලීටරයක් රුපියල් 25 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 15 කින් වැඩි කිරීමට අපේක්ෂා කර ඇතත්, මෙතෙක් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

භාණ්ඩ හිඟය සහ භාණ්ඩ පෝලිම් රටේ විවිධ ප්‍රදේශවල පවතිද්දී මේ වනවිට කොළඹ – කොටුවේ දිනපතා පෙරවරු කාලයේ තවත් පෝලිමක් දක්නට ලැබෙනවා.

ඒ, විදේශ රැකියා සඳහා පිටත්ව යෑමේ අපේක්ෂාවෙන් ඊට අදාළ අයදුම්පත් ලබාගැනීම සඳහා පැමිණෙන පිරිස හේතුවෙන් ෴

******************************************

‘ලංකා සතොස’ ආයතනයේ සිදුවූ සුදුලූණු වංචාවට අත්අඩංගුවට ගත් හතරදෙනා (4) රිමාන්ඩ්

(12.10.2021 – 19:45 +0530 – hirunews.lk/sinhala)

‘ලංකා සතොස’ ආයතනයේ සිදුවූ බව කියන සුදුලූණු වංචාවට ආධාර අනුබල දීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි නිලධාරීන් සිව්දෙනා (4) අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ඔවුන් අද (12) වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සතොස අලෙවි සැල් ජාලය වෙත වරාය අධිකාරිය විසින් නිකුත් කළ සුදුලූණු කිලෝ 54,860 ක් අන්තර්ගත බහලුම් දෙකක් (2), රුපියල් ලක්ෂ හැත්තෑ හතරකට (74,00,000) අවසරයකින් තොරව තුන්වන (3) පාර්ශවයක් වෙත අලෙවි කිරීමේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදුකරනවා.

ඒ අනුව ‘ලංකා සතොස’ ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – මිලදීගැනීම් චමිලා ජයන්ති අසුරුමාන්න, ජ්‍යෙෂ්ඨ කළමනාකරු – සැපයුම් රණසිංහගේ සිරිමල් ප්‍රනාන්දු, කළමනාකරණ සැපයුම් එච්.ඩබ්ලිව්. සමීර එරන්ජිත් සහ වැලිසර අලෙවිසැල් කළමනාකරු නුවන් ලක්මාල් ඊයේ (11) අත්අඩංගුවට ගැනීමටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළේ.

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කැදවූ අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරුවන් අද (12) වත්තල මහේස්ත්‍රාත් හේෂාන් ද මෙල් හමුවට ඉදිරිපත් කෙරුණා.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බැවින් හා අදාළ පරීක්ෂණවලට බලපෑමක් එල්ලවිය හැකි බැවින් මෙන්ම මහජන කැළඹීමක් ඇතිවිය හැකි බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි.

තම සේවා දායකයින් සුදුසු ඇපයක් මත නිදහස් කරන ලෙස සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මණ්ඩලය එහිදී ඉල්ලා තිබෙනවා.

කෙසේ වෙතත් සැකකරුවන් අනිද්දා (14) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කළේ.

මෙම සිද්ධියට අදාළව මේ වනවිට ලංකා සතොස ආයතනයේ අත්අඩංගුවට ගෙන ඇති නිලධාරීන් සංඛ්‍යාව 5 ක්.

එසේම මෙම වංචාවට සම්බන්ධ, සුදුලූණු මිලදී ගත් බවට චෝදනා එල්ල වූ පුද්ගලයා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අත්අඩංගුවට ගත්තා.

පසුව ඔහුද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 14 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.

‘ලංකා සතොස’ මූල්‍ය අංශයේ සාමානාධිකාරීවරයෙකු වන සුසිරි පෙරේරා මෙම සිද්ධියට අදාළව මීට පෙර අත්අඩංගුවට ගත් අතර, පසුව ඔහු ඇප මත මුදාහරිනු ලැබුවා.

තවත් දෙදෙනෙකු (2) ද අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔවුන් දෙදෙනා සුදු ලූණු මිලදී ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයාගේ සහයකයින් බවටයි අනාවරණ වුණේ.

මේ අතර සුදුලූණු වංචාව පිළිබඳ, පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා විසින් සිදුකළ ප්‍රකාශ ගැන වහා පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතික ආරක්ෂාව පිළිබද රාජ්‍ය අමාත්‍යවරයා වෙත උපදෙස් ලබාදී තිබෙනවා ෴

******************************************

පූසාරි බෑණා, කුඹුරෙන් වී ගත් මාමාගේ අත කපයි

(12.10.2021 – 19:53 +0530 – hirunews.lk/sinhala)

කිලිනොච්චිය, කන්ඩාවලෙයි ප්‍රදේශයේදී සිය මාමණ්ඩියගේ අතක් සිරුරෙන් වෙන්වන සේ කපා දමා වදහිංසා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැනට පූසාරිවරයෙකු ලෙස කටයුතු කරන හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු වූ ඔහුගේ බෑනනුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කලේ සැකකරු විසින් වැපූරූ කුඹුරෙන් මාමණ්ඩිය වී ලබා ගැනීම හේතුවෙන් ඊයේ (11) පස්වරුවේ ඔහු සිය මාමණ්ඩියගේ අත එලෙස කපා දමා ඇති බවයි.

කපා දැමූ අත කොටස සැකකරු විසින් කිඹුලන් සිටින වතුර වලකට දමා ඇති අතර ඒ අනුව එය කිඹුලන්ගේ ග්‍රහණයට ලක්ව තිබෙනවා.

බරපතල තුවාල ලැබූ 57 හැවිරිදි මාමණ්ඩිය මේ වන විට කිලිනොච්චිය රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

අත්අඩංගුවට ගත් 40 හැවිරිදි සැකකරු අද කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

ඉන්දීය කොවැක්සීන් එන්නත වයස අවුරුදු දෙකත් දහ අටත් (2-18) අතර ළමයින්ට ලබාදීමට අනුමැතිය

(12.10.2021 – 15:14 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ භාරත් බයෝටෙක් ආයතනය මගින් නිෂ්පාදනය කළ කොවැක්සීන් කොරෝනා එන්නත වයස අවුරුදු දෙකත් දහ අටත් (2-18) අතර ළමයින්ට ලබාදීමට ඉන්දීය රජයේ විද්වත් කමිටුවක් මගින් නිර්දේශ කර තිබෙනවා.

ඒ අනුව එහි අවසන් අනුමැතිය එරට ඖෂධ පාලක ජනරාල්වරයා විසින් නිකුත් කිරීමට නියමිතයි. කොවැක්සීන් ඉන්දීය ළමයින් සඳහා අනුමත කළ දෙවන (2) කොරෝනා එන්නතයි.

මීට පෙර ඉන්දීය ‘සයිඩස් කැඩිලා’ ආයතනය මගින් නිෂ්පාදිත මාත්‍රා 3 කින් යුත් ඩී.එන්.ඒ. කොරෝනා එන්නත ද වයස අවුරුදු 12 න් ඉහළ ළමයින් සඳහා එන්නත් කිරීමට අනුමැතිය හිමිවුණා.

‘සීරම්’ ආයතනයේ ‘නොවැවැක්ස්’ එන්නත සහ ‘බයොලොජිකල් ඊ’ ආයතනයේ ‘කෝබේවැක්ස්’ කොරෝනා එන්නතද ළමයින් සඳහා එන්නත් කිරීමේ අනුමැතියට ඉදිරිපත් කර තිබෙනවා. ඉන්දියාව මේ වනවිට එරට වැඩිහිටි ජනගහණයට කෝටි 96 ඉක්මවූ එන්නත් මාත්‍රා ලබාදී ඇති අතර, දැන් අවධානය යොමු කරන්නේ එරට ළමයින් එන්නත් කිරීමටයි.

කෙසේ නමුත් කෝටි 130 ඉක්මවූ ඉන්දීය ජනගහණයෙන් මෙතෙක් පූර්ණ එන්නත්කරණය ලැබූ සංඛ්‍යාව කෝටි 30 ඉක්මවන්නේ නැහැ ෴

++++++++++++++++++

ආසාදිතයන් 10,301 ක් සුවය ලබයි

(12.10.2021 – 15:56 +0530 – hirunews.lk/sinhala)

තවත් ආසාදිතයන් 10,301 ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 4,90,800 ක් ෴

තවත් කොරෝනා ආසාදිතයින් 520 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 5,27,584 ක් ෴

තවත් කොරෝනා ආසාදිත මරණ 23 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 13,377 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *