පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක්

පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක්

*********************************************

පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක්

(12.10.2021 – 11:40 +0530 – hirunews.lk/sinhala)

සුදුලූනු වංචාව පිළිබද පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා විසින් සිදු කළ ප්‍රකාශ ගැන වහා පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව ජාතික ආරක්ෂාව පිළිබද රාජ්‍ය අමාත්‍යවරයා වෙත ඒ පිළිබදව පරීක්ෂණයක් සිදු කරන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බවයි වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට අද (12) එක්වෙමින් ප්‍රකාශ කළේ.

මේ අතර, ලංකා සතොස ආයතනයේ සිදු වූ බව කියන සුදුලූනු වංචාවට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සතොස ආයතනයේ 4 දෙනා අද (12) පෙරවරුවේ වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

ලංකා සතොස ආයතනයේ සහකාර සාමාන්‍යාධිකාරීවරියක්, ජ්‍යේෂ්ඨ සැපයුම් කළමනාකරුවෙක්, සැපයුම් කළමනාකාරවරයෙකු සහ තොග අලෙවිසැල් කළමනාකරුවෙකු මෙලෙස ඊයේ (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබුවේ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා එම ඒකකයට කැද වූ අවස්ථාවේදියි.

දැනට මෙම සිද්ධියට අදාළව ලංකා සතොස මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකු, අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබෙනවා.

මීට අමතරව මෙම සුදුලූනු වංචාව සම්බන්ධයෙන් ඒවා මිල දී ගත් බවට චෝදනා එල්ල වූ පුද්ගලයා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අත්අඩංගුවට ගත්තා.

පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 14 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කළේ.

මේ අතර, සුදුලූනු වංචාව ඇතුළු තවත් කරුණු රැසක් පිළිබදව මාධ්‍ය වෙත තොරතුරු අනාවරණ කළ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතාගේ නිවස ආසන්නයේ සැක කටයුතු අන්දමින් සුදු පැහැති වෑන් රථයක් සැරි සැරීම පිළිබදව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පෙරේදා දිනයේදී සැක කටයුතු අන්දමින් වෑන් රථයක් සැරිසැරූ බවට අසල්වාසියෙකු විසින් හිටපු විධායක අධ්‍යක්ෂවරයාට කළ දැනුම් දීමකට අනුව ඒ පිළිබදව කිරුළපන පොලීසියට ද පැමිණිල්ලක් කළ බවයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

******************************************

ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමට සයිබර් ආරක්ෂණ නීති පැනවීම කෙරෙහි කැබිනට් මණ්ඩලයේ අවධානය

(12.10.2021 – 11:49 +0530 – hirunews.lk/sinhala)

තාක්ෂණයේ දියුණුවත් සමඟ විවිධ ත්‍රස්තවාදී කණ්ඩායම් සහ අපරාධකරුවන් විසින් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්, සංවිධානාත්මක අපරාධ සහ සමාජ විරෝධී ක්‍රියා සඳහා සයිබර් අවකාශය යොදා ගැනීමට යොමු වී තිබෙනවා.

මෙම තත්ත්වය ඕනෑම රටක ජාතික ආරක්ෂාවට සෘජු තර්ජනයක් බැවින් එය වළක්වා ගැනීමට ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සහය මෙන්ම අනෙකුත් නියෝජිත ආයතනවල සහය ද, සයිබර් අපරාධ වැළැක්වීමට ගත හැකි විධිමත් පියවර ලෙස ‘ආරක්ෂක සයිබර් විධාන පනත’නමින් පනතක් කෙටුම්පත් කිරීම කෙරෙහි ද රජයේ අවධානය යොමු වී තිබෙනවා.

මේ යටතේ සියලුම ආරක්ෂක ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි නීති සකස් කරමින් ඒ සඳහා වන නිසි ආයතනික ව්‍යූහයක් සැකසීමටයි කැබිනට් මණ්ඩලයේ තීරණය කර ඇත්තේ.

තාක්ෂණ අමාත්‍යාංශයේ විෂය පථයට අයත් මෙම ක්‍රියාවලියට අදාළ පනත් කෙටුම්පත් ‍යාන්ත්‍රණය සැකසීමට ආරක්ෂක අමාත්‍යාංශය, තාක්ෂණ අමාත්‍යාංශය සහ අනෙකුත් පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කොට, අදාළ නියාමන රාමුව සැකසීම සුදුසු බව යෝජනා වී තිබෙනවා.

මෙම නව සයිබර් ආරක්ෂණ යාන්ත්‍රණයේදී ජාතික ආරක්ෂාව තහවුරු කිරීම හැරුණුකොට, ජාතික තොරතුරු සහ සයිබර් ආරක්ෂණ නියෝජිතායතනය ස්ථාපිත කිරීම, රට තුළ තීරණාත්මක සහ අතිශය වැදගත් තොරතුරු සම්බන්ධ යටිතල පහසුකම් ආරක්ෂා කිරීම සඳහා නෛතික විධිවිධාන සැකසීම, සයිබර් ආරක්ෂාවට ඇතිවන අවදානම් සහිත ක්‍රියාකාරකම් වැළැක්වීම යන කරුණු කෙරෙහි ද අවධානය යොමු කර තිබෙනවා.

රට අභ්‍යන්තරයෙහි විධිමත් සයිබර් ආරක්ෂණ පරිසරයක් ගොඩනැඟීම වස් නව නීති හඳුන්වාදීමේ අවශ්‍යතාව පැන නැඟී ඇති හෙයින්, ආරක්ෂක අමාත්‍ය සහ තාක්ෂණ අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගෙන සයිබර් ආරක්ෂණ නීති පැනවීමට අදාළ පනත් කෙටුම්පත් ද්විත්වයක් සැකසීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා ෴

******************************************

කිසිදු පෙර දැනුම් දීමකින් තොරව ලංකා විදුලිබල මණ්ඩලය වැඩ වර්ජනයකට ගෙනියනවා – රංජන් ජයලාල්ගෙන් තර්ජනයක්

(12.10.2021 – 12:05 +0530 – hirunews.lk/sinhala)

මේ රජය ලංකා විදුලිබල මණ්ඩලයට අයත් දේපල ඇමරිකානු සමාගමක් සතු කිරීමට සැරසෙන බවට තොරතුරු ලැබී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පවසනවා.

ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ, ලැබී ඇති තොරතුරු අනුව රජය දේපල පැවරීමට සූදානම් වන ඇමරිකානු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා මේ වනවිටත් පෞද්ගලික ගුවන් යානාවකින් ශ්‍රී ලංකාව බලා පැමිණෙමින් සිටින බවයි.

අද (12) දිනය තුළ අදාළ ගනුදෙනු සම්බන්ධයෙන් සියලු කටයුතු නිම කිරීමට සැලසුම් කර ඇති බවත් මෙය පසුගිය මස 17 වැනි දා අත්සන් කළ ගිවිසුමේ ම දිගුවක් ලෙස අත්සන් කිරීමට සූදානම් වන්නක් බවටත් ඔහු චෝදනා කරනවා.

රටෙහි ජනතාවට සහ කැබිනට් මණ්ඩලයටත් හොර රහසේ සිදු කෙරෙන මෙම කූට ගිවිසුම් අත්සන් තැබීම සම්බන්ධයෙන් වහාම රටට හෙළි කළ යුතු බවත් එය එසේ නොවන්නේ නම් දින කාල වේලා සඳහන් කිරීමකින් තොරව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග කරා යොමු වීමට සිදු වන බවක් රන්ජන් ජයලාල් මහතා වැඩිදුරටත් පවසනවා.

ඔහු වැඩි දුරටත් කියා සිටින්නේ, අදාළ සැලසුම අකුලා නොගන්නේ නම් කිසිදු පෙර දැනුම් දීමකින් තොරව විදුලි බල මණ්ඩලය වැඩවර්ජන ක්‍රියාවලියකට යොමුවන බවයි.

******************************************

ඉන්දීය යුද හමුදාපති දිවයිනට

(12.10.2021 – 12:58 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය යුද හමුදාපති ජෙනරාල් මනෝජ් මුකුන්ද් නරවානේ පස්දින (5) නිල සංචාරයක් සඳහා අද (12) දහවල් දිවයිනට පැමිණියා.

චෙන්නායි සිට පැමිණි යූ.එල්. 122 දරන ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් ඔහු කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වූ බවයි හිරු ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.

ඔහු සමඟ ඉන්දීය ආරක්ෂක හමුදාවල උසස් නිලධාරීන් සිව් (4) දෙනෙකු පැමිණ තිබෙනවා.

ඔවුන් පිළිගැනීම සඳහා යුද හමුදා නිලධාරීන් කණ්ඩායමක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බව සඳහන්.

ඉන්දීය යුද හමුදාපති ජෙනරාල් මනෝජ් මුකුන්ද් නරවානේ, මෙරට ක්‍රියාත්මක ඉන්දු – ශ්‍රී ලංකා මිත්‍ර ශක්ති ඒකාබද්ධ යුද අභ්‍යාසය සඳහා එක්වීමට නියමිතයි.

එමෙන්ම ඔහු සිය සංචාරය අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරු ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් හමුවනු ඇති ෴

******************************************

පොහොර ඉල්ලා අදත් (12) ප්‍රදේශ රැසක ගොවි විරෝධතා

(12.10.2021 – 13:05 +0530 – hirunews.lk/sinhala)

පොහොර අර්බුදය මූලික කර ගනිමින් අදත් (12) ප්‍රදේශ රැසක ගොවිජනතාව විරෝධතා සංවිධාන කර තිබුණා.

එසේම ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා කොළඹ අද (12) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ, මූලික සංඝටක අඩංගු පොහොර වර්ග ලබන සතියේ සිට ගොවිජන මධ්‍යස්ථාන හරහා ගොවීන්ට ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බවයි.

ඇලහැර ප්‍රදේශයේ ගොවිජනතාව අදත් (12) විරෝධතා සංවිධාන කර තිබුණා.

******************************************

අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර කිරීම පිළිබඳ තීරණයට අතිවිශේෂ කැබිනට් අනුකාරක සභාව රැස් වේ

(12.10.2021 – 13:29 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේ බඳවා ගනු ලැබූ අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථීර කිරීම සඳහා වන අතිවිශේෂ කැබිනට් අනුකාරක සභාව ඊයේ (11) පෙරවරුවේ රැස් වුණා.

ඒ එහි සභාපති අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේදීයි.

මෙම කැබිනට් අනුකාරක සභාවේ දෙවන (2) රැස්වීම මෙය වන අතර, එහි සෙසු සාමාජිකයින් වශයෙන් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් එක්ව සිටියා.

අභ්‍යාසලාභී උපාධිධාරීන් අනුයුක්ත කර සිටින එක් එක් අමාත්‍යාංශවල එම උපාධිධාරීන් ස්ථිර කිරීමේ ප්‍රගතිය වැඩිදුරටත් සාකච්ඡා කිරීම මෙම විශේෂ සාකච්ඡාවේදී සිදු කෙරුණු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ෴

******************************************

ගෑස් මිල ඉහළ යෑම පිළිබඳ විරෝධතා

(12.10.2021 – 13:44 +0530 – hirunews.lk/sinhala)

ගෑස්, සිමෙන්ති ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාමත් සමඟ වෙළෙඳ පොළේ එම භාණ්ඩවල පැවති හිඟයද ක්‍රමයෙන් පහව යමින් තිබෙනවා.

නමුත් භාණ්ඩවල මිල ඉහළ යෑම පිළිබඳ ව පාදුක්ක ප්‍රදේශයේ ජනතාව විරෝධතාවක් සංවිධානය කර තිබුණා.

******************************************

වැලිමඩ දඹවින්න වැව හදා දෙන්නැ යි ජනතාවගෙන් ඉල්ලීමක්

(12.10.2021 – 13:52 +0530 – hirunews.lk/sinhala)

වැවක වටිනාකම හොඳ හැටි හඳුනන්නේ වාරි සංස්කෘතියකට හුරු වී කලක් තිස්සේ ජීවත් වන ජනතාවයි.

කෙසේ නමුත් කලට වේලාවට නිසි ලෙස නඩත්තු නොවීම නිසා ඉන් පීඩාවට පත් වී ඇති ගැමියන් පිරිසක් පිලිබඳවයි මේ අනාවරණය.

******************************************

ලෝක වෙළදපොළේ කිරිපිටි මිල වසර 7 කින් ඉහළම අගයට

(12.10.2021 – 14:00 +0530 – hirunews.lk/sinhala)

අසාමාන්‍ය ලෙස ගෝලීය නිෂ්පාදනය පහත වැටීම හේතුවෙන් ලෝක වෙළදපොළේ කිරිපිටි මිල 2014 වසරේ අගෝස්තු මාසයෙන් පසු ඉහළම අගයට පැමිණ තිබෙනවා.

විශේෂයෙන් කිරි නිෂ්පාදන අපනයනයේ ප්‍රමුඛයන් වන යුරෝපයේ සහ නවසීලන්තයේ නිෂ්පාදනය පහත වැටීම මෙලෙස මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවයි.

මේ නිසා කිරිපිටි ඇතුළු කිරි නිෂ්පාදන සඳහා ඇමරිකානු වෙළඳපොළ වෙත ඉල්ලුම ඉහළ ගොස් ඇති බව සඳහන්.

කිරි සඳහා මෙන්ම අනෙකුත් නිෂ්පාදන රැසක් සඳහා යොදා ගැනෙන පිටි කිරි පහසුවෙන්ම අපනයනය කළ හැකි කිරි නිෂ්පාදනය ලෙසයි සැලකෙන්නේ ෴

******************************************

පොහොර ගැටලුවට විසඳුම් දෙන බවට මහින්දානන්දගෙන් පොරොන්දුවක්

(12.10.2021 – 14:07 +0530 – hirunews.lk/sinhala)

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

අවුරුදු 12 ට වැඩි දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම අදත් (12)

(12.10.2021 – 13:03 +0530 – hirunews.lk/sinhala)

නිධන්ගත රෝගවලින් පෙළෙන සහ විශේෂ අවශ්‍යතා සහිත වයස අවුරුදු 12 ට වැඩි දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම අද (12) දිනයේ සිදුකෙරුණා.

එසේම විශ්වවිද්‍යාල සිසුන් සඳහා ද සිදු කරන එන්නත් කිරීමේ කටයුතු අද (12) සිදු කෙරුණේ දෙවන (2) දිනටයි.

දිවයිනට ලැබී ඇති කොරෝනා මර්දන එන්නත් කල් ඉකුත් වී ඇති බවට පසුගිය දින කිහිපයේ ප්‍රචාර දියත් වීම සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කොළඹ අද (12) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වා සිටියා.

ඒ, මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

පූර්ණ කොරෝනා එන්නත්කරණය ලැබූ වයස අවුරුදු 60 ඉක්ම වූවන්ට තුන්වන (3) වර්ධක මාත්‍රාවක් ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබෙනවා.

විශේෂයෙන් චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් සහ සිනොවැක් එන්නත් ලැබූවන්ට ෆයිසර් හෝ මොඩර්නා වැනි එන්නතක් තුන්වන (3) මාත්‍රාව ලෙස ලබාදිය යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ උපදේශ කමිටුව නිර්දේශ කර ඇත්තේ.

මේ අතර, අඩු අවදානමක් සහිත රටවල් 10 ක පූර්ණ එන්නත්කරණය ලැබූ සංචාරකයන් සඳහා තායිලන්තය ලබන 01 වැනි දා සිට විවෘත කරන බව එරට අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඕචා ප්‍රකාශ කළා. කොරෝනා වසංගතය හමුවේ බිඳ වැටී ඇති තායිලන්ත සංචාරක කර්මාන්තය ප්‍රකෘතිමත් කිරීම එහි අරමුණයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *