ජනතාව මත බර නො පටවන්න – ඉන්ධන මිල ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

ජනතාව මත බර නො පටවන්න – ඉන්ධන මිල ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

*********************************************

ජනතාව මත බර නො පටවන්න – ඉන්ධන මිල ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

(12.10.2021 – 07:49 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල මේ මොහොතේ වැඩි නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (11) රාත්‍රියේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ගණන් විශාල ලෙස ඉහල යාම සහ ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන අලෙවියෙන් දැඩි අලාභයක් ලබන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඊයේ (11) මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මෙම ගැටලුව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.

ඒ අනුව ඉන්ධන මිල සම්බන්ධයෙන් ඔහු ඊයේ (11) අමාත්‍ය මණ්ඩලය හමුවේ කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, මේ මොහොතේ කිසිසේත්ම ඉන්ධන මිල වැඩි කිරීමටකට නොයා යුතු බවයි.

ජනතාව මත බර නොපටවා රජය එය දරා ගැනීමට කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

මේ අතර ඉන්ධන මිල ගණන් යළිත් වැඩි කළහොත් බස් ගාස්තු ද ඉහළ දැමිය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ඉන්ධන මිල ඉහළ දැමුවහොත් පාඩුව රජය දරාගෙන හෝ බස් ගාස්තුව ඉහළ නොදැමීමේ ක්‍රියාමාර්ගයකට යා යුතු බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මහනුවර දී ඊයේ (11) ප්‍රකාශ කළා.

එමෙන්ම, පොහොර අර්බුදය පිළිබදව ද ඊයේ (11) පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී අවධානයට ලක්ව තිබෙනවා. මීට අමතරව කොරෝනා අර්බුදයත් සමග දැනට වසා දමා ඇති පාසල් ආරම්භ කිරීම පිළිබදව ද එහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වී ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ ෴

******************************************

මුදල් වංචා කළ ජාවාරමක සුළමුල හෙළි වෙයි

(12.10.2021 – 07:39 +0530 – hirunews.lk/sinhala)

අකුණු සන්නායකයක් මිලට ගැනීමට යැයි පවසමින් දිවයිනේ ප්‍රදේශ රැසක පුද්ගලයින් රවටා රුපියල් කෝටි ගණනක මුදල් වංචා කිරීමේ ජාවාරමක නිරත වූ නව (9) දෙනෙකුගෙන් යුත් කල්ලියක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පිරිස අතර උපපොලිස් පරීක්ෂකවරයෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් මහනුවර, කැකිරාව, රත්මලාන සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් සිය ජංගම දුරකතනවලින් අකුණු සන්නායකයක ඡායාරූප පෙන්වමින් මෙරට පුද්ගලයින් මෙන්ම විදෙස්ගත පිරිස්ද රවටා මෙලෙස මුදල් වංචා කර ඇති බවට වාර්තා වනවා.

අදාළ අකුණු සන්නායකය රුපියල් කෝටි 30,000 ක මුදලකට මිල දී ගැනීමට සූදානමින් සිටින බවත් ඒ සඳහා තැන්පත්කරුවෙකු ගෙන් රුපියල් 520,000 ක මුදලක් ලබාදෙන ලෙසත් පවසමිනුයි මෙම ජාවාරම්කරුවන් ඇතැම් පුද්ගලයින්ගෙන් මුදල් වංචා කර ඇත්තේ.

අකුණු සන්නායකය යුක්රේනයට විකිණීමෙන් පසු රුපියල් ලක්ෂ 5 ක තැන්පතුවක් ලබාදෙන අයෙකුට රුපියල් කෝටි 100 ක ප්‍රතිලාභයක් හිමි වන බවට ද ජාවාරම්කරුවන් විසින් පවසා ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

සැකකරුවන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලින් පසු එලෙස වංචා කරන ලද මුදල්වලින් රුපියල් 1,33,60,000 ක මුදලක් සහ සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් (2) ද පොලිස් භාරයට ගෙන ඇති බව සදහන් ෴

******************************************

ගල් අඟුරු මිල ඉහළ යාමෙන්, විදුලි පිරිවැයත් ඉහළ යෑමෙන් අවදානමක්

(12.10.2021 – 07:54 +0530 – hirunews.lk/sinhala)

ලෝක වෙළදපොළේ ගල් අගුරු මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් විදුලි නිෂ්පාදන පිරිවැය ඉහළ යාමේ අවදානමක් මතුව තිබෙනවා.

මේ වන විට ගල් අගුරු මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 200 දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙරට විදුලියෙන් සියයට 40 ක ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරෙන්නේ ගල් අඟුරු උපයෝගී කර ගනිමින්.

කෙසේ නමුත් මෙම වසරට අවශ්‍ය ගල් අගුරු දැනටමත් මෙරටට ගෙන්වා ඇති අතර ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම්.ආර්. රණතුංග මහතා සඳහන් කළේ, මේ වන විට ලෝක වෙළඳපොළේ ගල් අඟුරු මිල ඉහළ යාම ලබන වසරේ නිෂ්පාදන පිරිවැය ඉහළ යාමට බලපා හැකි බවයි.

මේ හේතුවෙන් විදුලි ඒකකයක නිෂ්පාදන පිරිවැය රුපියල් 4 කින් පමණ ඉහළ යා හැකි බව ඔහු සදහන් කළා.

කොරෝනා හේතුවෙන් රුපියල් මිලියන 45,000 ක හිඟ බිල්පත් පවතින අතර පාරිභෝගිකයින් ඒවා ගෙවීමට තවදුරටත් මැලිකමක් දක්වන බවයි විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා පෙන්වා දුන්නේ ෴

******************************************

සුදුලූනු වංචාවට ඇල්ලූ තවත් 4 ක් අද (12) අධිකරණයට

(12.10.2021 – 07:57 +0530 – hirunews.lk/sinhala)

‘ලංකා සතොස’ ආයතනයේ සිදු වූ බව කියන සුදුලූනු වංචාවට අදාළව තවත් පුද්ගලයින් 4 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අද (12) වැලිසර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවටයි වාර්තා වන්නේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ‘ලංකා සතොසේ’ මිල දී ගැනීම් පිළිබද සහකාර සාමාන්‍යාධිකාරීවරියක්, ජ්‍යේෂ්ඨ සැපයුම් කළමනාකරුවෙක්, සැපයුම් කළමනාකාරවරයෙකු සහ තොග අලෙවිසැල් කළමනාකරුවෙකු බවයි වාර්තා වන්නේ.

මෙම සුදුලූනු වංචාව සම්බන්ධයෙන් ඒවා මිල දී ගත් බවට චෝදනා එල්ල වූ පුද්ගලයා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අත්අඩංගුවට ගත්තා.

පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 14 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කළේ.

සැකකරු බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා ෴

‘ලංකා සතොස’ ආයතනයේ සිදු වූ බව කියන සුදුලූනු වංචාවට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ ඊයේ (11) අත්අඩංගුවට ගත් සතොස ආයතනයේ 4 දෙනා මේ මස 14 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, ඔවුන් අද (12) වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ෴

******************************************

ගුරු – විදුහල්පතිවරුන් අද (12) අගමැති හමුවෙයි

(12.10.2021 – 08:03 +0530 – hirunews.lk/sinhala)

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම අදියර තුනකින් (3) සිදු කිරීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ (11) තීරණය කර තිබෙනවා.

මේ අතර වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද (12) අග්‍රාමාත්‍යවරයා හමුවීමටද නියමිතයි.

වැටුප් විෂමතා ගැටලුවක් මුල් කර ගනිමින් ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ආරම්භ කර ඔන්ලයින් පන්ති වර්ජනයට මේ වනවිට මාස 3 ක කාලයක් සම්පූර්ණ වනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලෙය්දී ඊයේ (11) රාත්‍රියේ පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල සාකච්ජාවේදී ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමේ නව යෝජනාව ලබන මස 12 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අයවැය ලේඛනයට ඇතුළත් කිරීමටද තීරණය කර ඇති බව සඳහන්.

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම අදියර 4 කින් සිදු කිරීමට රජය මීට පෙර තීරණය කර තිබූ අතර ගුරු හා විදුහල්පති වෘත්තිය සමිති ඊට විරෝධය පළ කර තිබුණා.

මේ අතර වැටුප් විෂමතා ගැටලුව පිළිබද සාකච්ඡා කිරීම සඳහා ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද (12) දහවල් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

මෙම සාකච්ජාවට වැටුප් විෂමතා ගැටලුව විසදීම සඳහා සොයා බැලීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ සාමාජිකයින් ද එක්වීමට නියමිතයි.

ගුරු-විදුහල්පති වෘත්තීය සමිති අගමැතිවරයා සමඟ අද (12) පැවති සාකච්ඡාව අවසන් එකඟතාවකින් තොරව අවසන් වූ බව වෘත්තීය සමිති පවසනවා ෴

******************************************

ප්‍රීමා තිරිඟු පිටි රුපියල් දහයකින් (10) ඉහළට

(12.10.2021 – 08:43 +0530 – hirunews.lk/sinhala)

ප්‍රීමා සමාගම ද තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10 කින් ඉහළ දමා තිබෙනවා.

ඊයේ (11) සිට බල පැවැත්වෙන පරිදි මෙම මිල ඉහළ දැමීම සිදු කර ඇති අතර, සෙරන්ඩිබ් ආයතනය ද ඊයේ (11) දිනයේ ප්‍රකාශ කළේ, තිරිඟු පිටි කිලෝවක් රුපියල් 10 කින් ඉහළ දැමීමට පියවර ගන්නා බවයි.

මේ හේතුවෙන් පාන් ගෙඩියක මිල ද රුපියල් 5 කින් ඉහළ දැමීමට බේකරි හිමියන්ගේ සංගමය ඊයේ (11) කටයුතු කළා ෴

******************************************

කෝටි 02 කට ආසන්න සිගරට් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(12.10.2021 – 09:02 +0530 – hirunews.lk/sinhala)

කැලණිය පොලිස් වසමේ ගෝනවල, කොහොල්විල මාර්ගයේ දී නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද දුම්වැටි 2,64,200 ක් සමඟ වත්තල හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවු. 21 ක පුද්ගලයෙකු විශේෂ කාර්‍ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව කැලණිය, ගෝනවල, කොහොල්විල මාර්ගයේ නිවසක් සෝදිසි කිරීමකට ලක් කර, නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද තවත් දුම්වැටි තොගයක් සමඟ එම නිවසේ පදිංචි වයස අවු. 48 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වෙන්නේ.

රජයේ අවවාදය සටහන් කර නොමැති මෙම නීති විරෝධී දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙකකට (2,00,00,000) ආසන්න ප්‍රමාණයක්.

සැකකරුවන් දෙදෙනා (2) වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කැලණිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර, ඉදිරි විමර්ශන කටයුතු කැලණිය පොලිසිය විසින් සිදු කරනු ඇති ෴

******************************************

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව සහ මුහුදුබත් වූ බහාලුම් ඉවත් කිරීම මේ මස අග

(12.10.2021 – 09:09 +0530 – hirunews.lk/sinhala)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව සහ එය ගිනි ගැනීමෙන් මුහුදුබත් වූ බහාලුම් ඉවත් කිරීමේ කටයුතු මෙම මස අවසානයේ හෝ ලබන මස මුල දී සිදු කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළා.

ඒ අනුව ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව හිමි සමාගම විසින් එම නෞකාව ඉවත් කිරීමේ කටයුතු සඳහා සිදු කළ ටෙන්ඩර් කැදවීම ද මේ වනවිටත් අවසන් කර තිබෙනවා.

සමාගම් 8 ක් විසින් ටෙන්ඩර් ලබා දී ඇති අතර, නෞකාව ඉවත් කිරීමට තෝරාගෙන ඇත්තේ ඉන් කුමන සමාගම ද යන්න පිළිබඳව එළඹෙන සිකුරාදා (15) වන විට ප්‍රකාශයට පත් කරන බවයි නෞකා සමාගම සදහන් කර ඇත්තේ.

එමෙන්ම, නෞකා භාරකාර සමාගම විසින් විශේෂිත යන්ත්‍ර භාවිතා කරමින් මුහුදු පත්ලේ ඇති බහලුම් පිළිබදව ද දැනටමත් විමර්ශන සිදුකරන බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහදපුර මහත්මිය ප්‍රකාශ කළේ ෴

******************************************

පෞද්ගලික අංශයේ සේවයෙහි නියුතු සේවකයින් විශ්‍රාම ගැන්වීමේ අවම වයස 60 තෙක් දීර්ඝ කෙරේ

(12.10.2021 – 10:28 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික අංශයේ සේවකයින් විශ්‍රාම ගැන්වීමේ දැනට පවතින අවම වයස් සීමාව සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා මෙම වසරේ මාර්තු මස 23 වැනි දින අනුමැතිය හිමිවුණා.

ඒ එදින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීයි.

ඒ අනුව සකස් කරන ලද මූලික කෙටුම්පත අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇති ඇඟලුම් කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත්‍රයට බලපාන ප්‍රතිපත්තිමය හා නෛතික කරුණු පිළිබඳ අධ්‍යයනය කිරීමේ කමිටුවේදී සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡා කෙරුණා.

එහිදී එළැඹි එකඟතාව මත සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම පනත ක්‍රියාත්මක දිනයේදී වයස අවුරුදු 52 හෝ ඊට වැඩි සේවකයින් ඔවුන්ගේ වයස අනුව කාණ්ඩ තුනකට (3) වර්ග කර, උපරිම වශයෙන් වයස අවුරුදු 59 තෙක් සේවයේ යෙදවීමට හැකි වන පරිදි විධිවිධාන ඇතුළත් කොට, නීති කෙටුම්පත් සම්පාදක විසින් එය සම්පාදනය කර තිබේ.

ඒ අනුව පෞද්ගලික අංශයේ සේවකයින් විශ්‍රාම ගැන්වීමේ අවම වයස පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා විසින් සිදු කරනු ලැබූ අතර, එහිදී ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා ෴

******************************************

ජාතික උරුම නිශ්චිත ව හඳුනාගැනීමට නව ක්‍රමවේදයක්

(12.10.2021 – 10:56 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ ජාතික උරුම නිශ්චිත ව හඳුනාගැණීමට හා තීරණය කිරීමට අවැසි නිශ්චිත ක්‍රමවේද හා නිර්ණායක මාලාවක් නොමැති වීම යන ගැටලුව පිළිබඳ ව අගමැතිවරයාගේ අවධානය යොමු වී තිබෙනවා.

ඒ සඳහා කමිටුවක් පත් කර අවශ්‍ය විධි විධාන සම්පාදනය කිරීම පිළිබඳ අගමැතිවරයා අමාත්‍ය මණ්ඩලය සමඟ සාකච්ඡා කළ බවයි වාර්තා වෙන්නේ.

එහි දී ශ්‍රී ලංකාවේ අනන්‍යතාව තහවුරු කෙරෙන ස්පර්ශනීය හා අසංස්පර්ශනීය ජාතික උරුම හඳුනාගැනීම සඳහා ජනතා මතය මෙන් ම විෂය පිළිබඳ ප්‍රාමාණික විද්වතුන්ගේ ද මතය ලබාගැනීමට නියමිතයි.

ඒ සඳහා කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමි වී ඇති අතර, එය 2021 නොවැම්බර් 16 දින රැස්වෙනු ඇති ෴

******************************************

සිතාසි නිකුත් කිරීම හා භාරදීම සඳහා නව සන්නිවේදන ක්‍රමෝපායන් භාවිතයට යෝජනාවක්

(12.10.2021 – 11:14 +0530 – hirunews.lk/sinhala)

සිතාසි නිකුත් කිරීම හා භාර දීම සඳහා දැනට පවතින විධිවිධාන සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් පිළිබඳ ව අධිකරණ අමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇති අතර, ඒ සඳහා අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ පිළිබඳ නිර්දේශ, දැනට අමාත්‍යවරයා පත් කර ඇති සිවිල් නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ කමිටුව මඟින් ඉදිරිපත් කර ඇති බව යි වාර්තා වන්නේ.

සංශෝධනය සඳහා යෝජනා වී ඇත්තේ, සිවිල් නඩු විධාන සංග්‍රහයේ 101 වැනි අධිකාරය යි.

මෙම සශෝධනය හරහා නඩුවක පාර්ශවකරුවන් වෙත සිතාසි යැවීමට ඊ-මේල් හා ජංගම දුරකතන පණිවිඩ වැනි නව තාක්ෂණික ක්‍රමවේදවල උපයෝගිතාව සැළකිල්ලට ගනු ඇති ෴

******************************************

දේශීය ලොකුලූනු කිලෝවක මිල රුපියල් 150 ක් දක්වා ඉහළට

(12.10.2021 – 11:24 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද (12) දේශීය ලොකුලූනු කිලෝවක තොග මිල රුපියල් 150 ක් දක්වා ඉහළ ගොස් ඇති බව එහි සිටින හිරු වාර්තාකරු සදහන් කළා.

ආනයනික ලොකුලූනු සඳහා රුපියල් 40 ක බද්දක් පැනවීමට රජය පසුගිය දා තීරණය කිරීමත් සමඟයි මෙලෙස දේශීය ලොකුලූනු සඳහා ඉහළ මිලක් හිමි වූයේ.

ඉදිරි සති කිහිපය තුළ දේශීය ලොකුලූනු කිලෝවක මිල රුපියල් 200 ඉක්මවනු ඇති බවයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමය සඳහන් කළේ ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

ඊයේ (11) තවත් ආසාදිතයින් 681 ක්

(12.10.2021 – 08:00 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 681 දෙනෙකු ඊයේ (11) වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,27,064 ක් දක්වා ඉහළ ගියා.

එසේම ඊයේ (11) දිනයේදී තවත් කොරෝනා මරණ 23 ක් වාර්තා වූ අතර, එය තුන්වන (3) කොරෝනා රැල්ලේ වාර්තා වූ අඩුම මරණ සංඛ්‍යාවයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 13,354 ක් වනවා.

රජය දැනුම් දෙන ඕනෑම අවස්ථාවක යළි ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට සූදානම් බව දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළා ෴

+++++++++++++++

තෙවැනි මාත්‍රාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

(12.10.2021 – 08:06 +0530 – hirunews.lk/sinhala)

පූර්ණ කොරෝනා එන්නත්කරණය ලැබූ වයස අවුරුදු 60 ඉක්ම වූවන්ට තුන්වන (3) වර්ධක මාත්‍රාවක් ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබෙනවා.

විශේෂයෙන් චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් සහ සිනොවැක් එන්නත් ලැබූවන්ට ෆයිසර් හෝ මොඩර්නා වැනි එන්නතක් තුන්වන (3) මාත්‍රාව ලෙස ලබාදිය යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ උපදේශ කමිටුව නිර්දේශ කර ඇත්තේ.

සයිනොෆාම් සහ සිනොවැක් කොරෝනා එන්නත් වයිරසය අඩපණ කර නිෂ්පාදනය කරන අතර, ෆයිසර් සහ මොඩර්නා එන්නත් නිපදවනු ලබන්නේ වයිරසයේ ක්‍රොමසෝම ආකෘතිය යොදා ගනිමින්.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් පෙන්වා දී ඇත්තේ, එලෙස වයිරසය අඩපණ කර නිපදවනුලැබූ එන්නත් ලැබූවන්ට ඩී.එන්.ඒ. හෝ ආර්.එන්.ඒ. වැනි ක්‍රොමසෝම එන්නතක් ලබාදීමෙන් ප්‍රතිශක්තිය ඉහළ නැංවිය හැකි බවයි.

මේ අතර, ප්‍රතිශක්තිකරණය දුර්වල පුද්ගලයින් සඳහා ද කොරෝනා එන්නත් තුන් වන (3) මාත්‍රාවක් ලබාදිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර තිබෙනවා.

විශේෂයෙන් එන්නත්කරණය ලැබූව ද ඩෙල්ටා වැනි ප්‍රභේද ආසාදනය වීමේ අවස්ථාවක් පැවතීම ඊට හේතුවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *