ලිට්‍රෝ ගෑස් මිලේ නැවත සංශෝධනයක්

ලිට්‍රෝ ගෑස් මිලේ නැවත සංශෝධනයක්

*********************************************

ලිට්‍රෝ ගෑස් මිලේ නැවත සංශෝධනයක්

(11.10.2021 – 13:32 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට මිල වැඩි කළ ලිට්‍රෝ සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ගණන් යළි සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 75 කින් පහත දමා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එහි නව මිල සටහන් වන්නේ රුපියල් 2,675 ක් ලෙසයි.

කිලෝග්‍රෑම් පහ (5) ගෑස් සිලින්ඩරයක් රුපියල් 503 කින් ඊයේ (10) රාත්‍රියේ ඉහළ දැමූ අතර, එය, රුපියල් 30 කින් යළි පහත දමා තිබෙනවා.

ඒ අනුව රුපියල් 1,071 ක් ලෙසට එහි නව මිල දැක්වෙනවා.

කිලෝග්‍රෑම් 2.5 ක කුඩා සිලින්ඩරයක්ද රුපියල් 231 කින් ඊයේ (10) රාත්‍රියේ මිල ඉහළ දමනු ලැබූ අතර, යළි එය රුපියල් 14 කින් පහත දමා තිබෙනවා.

ඒ අනුව එහි නව මිල රුපියල් 506 ක්.

කෙසේ නමුත් එලෙස මිල පහත දැමීම සම්බන්ධයෙන් ලාෆ් ගෑස් සමාගම මෙතෙක් තීරණයකට එළඹී නැහැ ෴

******************************************

පොහොර ගැටළුවට විසඳුම් ඉල්ලා ප්‍රදේශ කිහිපයක අදත් විරෝධතා

(11.10.2021 – 13:19 +0530 – hirunews.lk/sinhala)

පොහොර ගැටළුවට විසඳුම් ඉල්ලා ප්‍රදේශ කිහිපයක අදත් (11) විරෝධතා පැවැත්වුණා.

හිඟුරක්ගොඩ – හතමුණ ප්‍රදේශයේ ගොවි ජනතාව විරෝධතාවක නිරතවුණේ තම වගාවන්ට අවශ්‍ය රසායනික පොහොර ලබාදෙන ලෙසට බල කරමින්.

මේ අතර මැදවච්චිය – රළපනාගම ප්‍රදේශයේ බඩඉරිඟු ඇතුලු බෝග වගාවන්හි නිරත ගොවීන් ද සිය වගාබිම්වල සිට උද්ඝෝෂණයක නිරතවුණා.

ඔවුන් ද චෝදනා කර සිටියේ රසායනික පොහොර නොමැතිවීම හේතුවෙන් තම වගාවන්හි ඵලදාව අඩුවී ඇති බවයි.

මේ අතර ගලෙන්බිඳුණුවැව ප්‍රදේශ කිහිපයක ගොවීන් පොහොර නොමැතිවීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා.

තම වගා බිම් අස්වැද්දීම සඳහා සකස් කළද රසායනික පොහොර නිසි කළට ලැබීම සම්බන්ධයෙන් ඔවුන් පසුවන්නේ දෙගිඩියාවකින්.

පුත්තලම – කිවුල ගොවි ජනපදයට අයත් කිවුල අංක හතර ප්‍රදේශයේ මහා පරිමාණ බුලත් වගාවකට දිලීර රෝගයක් වැළඳීම හේතුවෙන් එම බුලත් වගාව සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

ගොවීන් පෙන්වා දෙන්නේ රසායනික පොහොර නොමැතිවීම මීට හේතුවී ඇති බවයි.

******************************************

ටොන් 5,000 ක් සහල් ඉන්දියාවෙන් නැව් ගත කෙරේ

(11.10.2021 – 13:40 +0530 – hirunews.lk/sinhala)

සහල් මිල පාලනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණයට අනුව ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරනු ලැබූ පළමු (1) සහල් තොගය හෙට (12) පෙරවරුවේ මෙරටට ලඟා වීමට නියමිතයි.

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ සහල් මෙට්‍රික් ටොන් 5000 ක් පළමු (1) තොගය ලෙස මෙලෙස රැගෙන එන අතර හෙට (12) පස්වරුවේම සතොස අලෙවිසැල් වෙත ඒවා බෙදා හැරීමට කටයුතු කරන බවයි.

අදාළ සහල් තොගය මේ වනවිටත් නැව්ගත කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴

******************************************

පළාත් සභා ඡන්දය කඩිනමින් පැවැත්විය යුතුයි – ඇමති බැසිල් කියයි

(11.10.2021 – 13:45 +0530 – hirunews.lk/sinhala)

පළාත් සභා වසර තුනකට අධික කාලයක් අක්‍රියව පැවතීම හේතුවෙන් මේ වනවිට රට තුළ ගැටළු රැසක් නිර්මාණය වී ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඒ හේතුවෙන් පළාත් සභා ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීමට කටයුතු කළ යුතු බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ඔහු මෙම අදහස් පළ කළා.

මෙම සාකච්ඡාවට නීතිපති දෙපාර්තමේන්තුව, සීමානිර්ණය කොමිසන් සභාව ඇතුලු රාජ්‍ය ආයතන කිහිපයක නිලධාරීන්ද එක්ව සිටියා.

******************************************

ප්‍රදේශ රැසකට තද වැසි – ජලාශ රැසක වාන් දොරටු විවෘතයි

(11.10.2021 – 13:55 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි පැය විසි හතර (24) තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මෙලෙස වැසි ඇතිවිය හැකියි.

අද (11) උදෑසන 06:30 න් අවසන් වූ පැය විසි හතර (24) තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර 87 ලක්ෂපාන ප්‍රදේශයෙන් වාර්තාවී තිබෙනවා.

ඊට අමතරව හපුගස්තැන්න වත්ත ප්‍රදේශයට මිලිමීටර 70 ක් ද, ඇහැලියගොඩට මිලිමීටර 65 ක වර්ෂාපතනයක්ද ලැබී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මධ්‍යම කඳුකරයට ඇද හැලෙන වර්ෂාවත් සමඟ නෝටන්බ්‍රිජ් – විමලසුරේන්ද්‍ර ජලාශයේ වාන් දොරටු හයක් (6), මාවුස්සාකැලේ වාන් දොරටු තුනක් (3), ඉහළ කොත්මලේ සහ ලක්ෂපාන වාන් දොරටු දෙක (2) බැගින් සහ කැනියොන් ජලාශයෙන් එක් (1) වාන් දොරටුවක්ද විවෘත කෙරුණා.

කාසල්රි ජලාශයේ ජල මට්ටම මේ වනවිට පිටාර මට්ටමට ළඟාවී තිබෙනවා.

වර්ෂාවත් සමඟ බොහෝ ප්‍රදේශවලට තද සුළං ද පවතින අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරුමැද හා දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය පැයට කිලෝමීටර 50 දක්වා ඉහළ යා හැකි බවයි.

එසේම දිවයිනට දකුණින් සහ ගිණිකොණ දිශාවෙන් පවතින මුහුදු ප්‍රදේශවල සහ නිරිතදිග බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ද පැයට කිලෝමීටර 70 දක්වා ඉහළ යා හැකියි.

එම මුහුදු ප්‍රදේශවල රළ මීටර 2.5 ත් 3 ක් පමණ ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

******************************************

පාන් මිලත් වැඩි කරයි

(11.10.2021 – 14:01 +0530 – hirunews.lk/sinhala)

ගෑස් සහ තිරිඟු පිටි මිල ඉහළ දැමීමත් සමඟ බේකරි නිෂ්පාදනවල මිල ගණන් සංශෝධනය කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් පහකින් (5) මිල ඉහළ දමන බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ.

මේ අතර ආපනශාලාවල අලෙවිකරණ ආහාර ද්‍රව්‍යවල මෙන්ම තේ කෝප්පයක මිල ද ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

පාලන මිල ඉවත් කිරීමත් සමඟ අද සිට රුපියල් 10 කින් තිරිඟු පිටි මිල ඉහල දැමූ බව සෙරන්ඩිබ් සමාගමේ අලෙවි සහ සන්නිවේදන අංශ ප්‍රධානී කාලිංග විජේසේකර මහතා ප්‍රකාශ කළා.

එහෙත් ප්‍රීමා සමාගම තිරිගු පිටි මිල ගණන් ඉහළ දමන ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් නිල දැනුම් දීමක් සිදු කර නැහැ.

කෙසේ වෙතත් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එම සමාගමේ බෙදාහැරීම් අංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ රුපියල් 10 කින් පමණ මිල ඉහල දැමීමට සිය සමාගමද තීරණය කර ඇති බවයි ෴

******************************************

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉල්ලා මිලානෝ නගරයේ උද්ඝෝෂණයක්

(11.10.2021 – 14:19 +0530 – hirunews.lk/sinhala)

ඉතාලියේ මිලානෝ නගරයේදී ශ්‍රී ලාංකිකයින් පිරිසක් උද්ඝෝෂණයක නිරත වුණා.

ඒ, පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට තවමත් සාධාරණයක් ඉටු වී නොමැති බවට චෝදනා කරමින්.

******************************************

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්

(11.10.2021 – 17:57 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (11) පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.

බිම් මහලෙහි ඇති වූ මෙම ගින්න නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවකයින් එක්ව නිවා දැමූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර විදුලි පරිපථ පද්ධතියේ ඇති වූ විදුලි කාන්දුවක් ගින්නට හේතු වී තිබෙනවා ෴

******************************************

හුස්ම ඉල්ලූ තාත්තා දියණිය විසින් මහ පාරේ දමා යයි

(11.10.2021 – 18:08 +0530 – hirunews.lk/sinhala)

ශ්වසන අපහසුතාවකින් පෙළෙන රෝගී පියෙකු මහමග දමා ගිය පුවතක් ඇහැළියගොඩ – ඉඩංගොඩ මාර්ගයේ මාටුවාගල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඔහුගේ දියණිය විසින් මෙලෙස එම පියා මහමග දමා ගොස් ඇති බවයි මේ වනවිට අනාවරණ වී ඇත්තේ.

එම පුද්ගලයා පවසා ඇත්තේ තමන්ට දියණියක් සහ පුතෙකු සිටින බවත් දියණිය තමන් සමඟ පැමිණ ඉන්ධන අවසන් බව පවසා රැගෙන ඒමට ගිය බවයි.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ තමන් බලංගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බවයි.

අද (11) පස්වරුවේ මාර්ගය අසල සිටි මෙම පුද්ගලයා දැක ප්‍රදේශවාසී කාන්තාවක් විසින් පොලිසියට කළ දැනුම්දීමකට අනුව 1990 ගිලන් රථයක් මගින් ඔහු රෝහල්ගතකිරීමට පියවර ගෙන තිබෙනවා.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

යළි කොරෝනා පොකුරු හටගැනීමක් ගැන අනතුරු ඇඟවීමක්

(11.10.2021 – 13:24 +0530 – hirunews.lk/sinhala)

එන්නත්කරණය අතින් ලොව පළමු රටවල් හතර (4) අතරට ශ්‍රී ලංකාව මේ වනවිට පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

මේ අතර වයස අවුරුදු 20 ත් 30 ත් අතර සරසවි සිසුන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

නව කොරෝනා ආසාදිතයින් 720 දෙනෙකු ඊයේ (10) හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට පන් ලක්ෂ විසි හය දහස් තුන්සිය අසූ තුනක් (5,26,383) දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එසේම මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 13,331 ක් ලෙසින්.

මහනුවර ඊයේ (10) පැවති උත්සවයකදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ මෙරට සිදුව ඇති කොරෝනා මරණවලින් සියයට 74 ක පමණ ප්‍රතිශතයක් කිසිදු එන්නත් මාත්‍රාවක් ලබා නොගත් පුද්ගලයින් බවට අනාවරණ වී ඇති බවයි.

කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (10) දිනයේ පළමු (1) සහ දෙවන (2) මාත්‍රා ලෙස එන්නත් මාත්‍රා 46,639 ක් ලබාදී තිබෙනවා.

මේ අතර ආගමික ස්ථාන ඇතුලු වෙනත් ස්ථානවල ජනතාව එක්රැස්වීමෙන් යළිත් වරක් කොරෝනා පොකුරු හටගැනීමේ අවදානමක් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

එබැවින් ආගමික වතාවත්වල නිරතවීමේදී සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිපදින ලෙසයි කොළඹ අද (11) පැවති මාධ්‍ය හමුවකදි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඉල්ලා සිටියේ.

මේ අතර අවුරුදු විස්සත් තිහත් (20-30) අතර සරසවි සිසුන්ට සහ විශ්වවිද්‍යාල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට කොරෝනා එන්නත් ලබාදීම මේ වනවිට සිදුවනවා.

මේ අතර කොරෝනා වසංගතය හේතුවෙන් අත්හිටවූ කොළඹ සහ යාපනය අතර ගුවන් ගමන් යළි ආරම්භ කරන ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව ලබන මස මැදදී එම ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බවයි සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

++++++++++++++++++

කොරෝනා ආසාදිතයින් 402 දෙනෙකු සුවය ලබයි

(11.10.2021 – 14:59 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ආසාදිතයින් 402 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 4,80,499 දක්වා ඉහළ යනු ලබනවා. දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 32,553 ක් ෴

තවත් කොරෝනා ආසාදිතයින් 490 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 5,26,873 ක් ෴

++++++++++++++++++

එන්නත්කරණයෙන් ඩෙල්ටා ප්‍රභේදයද වළක්වන බව නව අධ්‍යයනයකින් තහවුරු වෙයි

(11.10.2021 – 15:52 +0530 – hirunews.lk/sinhala)

ඉහළ ක්‍රියාකාරීත්වයක් සහ වැඩි සම්ප්‍රේෂණ හැකියාවක් සහිත ඩෙල්ටා ප්‍රභේදය ඇතුලු කොරෝනා වෛරස් ආසාදනයෙන් දැඩි රෝගී තත්වයට පත්වීම, එන්නත්කරණය මගින් කාර්යක්ෂම ලෙස වළක්වන බව නව අධ්‍යයනයකින් තහවුරු වී තිබෙනවා.

ප්‍රංශයේ සිදුකළ එම අධ්‍යයනය සඳහා වයස අවුරුදු 50 ඉක්මවූ පුද්ගලයන් මිලියන 22 ක දත්ත විශ්ලේෂණය කර ඇති බවයි ප්‍රංශ පුවත් සේවය ප්‍රකාශ කළේ.

ඉන් මිලියන 11 ක් එන්නත් ලැබූ පුද්ගලයන් වන අතර, තවත් මිලියන 11 ක් එන්නත් නොලැබූ අයයි.

එහිදී අනාවරණ වී ඇත්තේ කොරෝනා එන්නත් මාත්‍රා දෙකම (2) ලැබූ පුද්ගලයන් රෝහල් ගතකිරීම හෝ මියයාම සියයට 90 කින් පමණ වළක්වන බවයි.

ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය සහ ඊශ්‍රායලයේ සිදුකළ අධ්‍යයනයන්ගෙන්ද එන්නත්කරණයේ ශක්‍යතාව තහවුරු වුවද ප්‍රංශයේ සිදුකර ඇත්තේ එවැනි විශාලතම පර්යේෂණාත්මක අධ්‍යයනයයි.

එහිදී වයස අවුරුදු 75 ඉක්මවූවන්ට කොරෝනා රෝගය උත්සන්නවීම හෝ මරුමුවට පත්වීම එන්නත්කරණයෙන් සියයට 84 කින් වළක්වන බවත්, අවුරුදු 50 ත් 75 ත් අතර අයට එලෙස රෝගය වැළැක්වීමේ ශක්‍යතාව සියයට 92 ක් බවත් අධ්‍යයනයෙන් හෙළිවී ඇති කරුණක් ෴

+++++++++++++++++

තවත් කොරෝනා මරණ 23 ක්

(11.10.2021 – 18:07 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා මරණ 23 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව කොරෝනා හේතුවෙන් මෙරට මිය ගිය මුළු ගණන 13,354 ක්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *