සෙරන්ඩිබ් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10 කින් ඉහළ දමයි

සෙරන්ඩිබ් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10 කින් ඉහළ දමයි

*********************************************

සෙරන්ඩිබ් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10 කින් ඉහළ දමයි

(11.10.2021 – 09:26 +0530 – hirunews.lk/sinhala)

අද (11) උදෑසන සිට ක්‍රියාත්මකවන පරිදි තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 10 කින් ඉහළ දමන බව සෙරන්ඩිබ් සමාගම පවසනවා.

එමෙන්ම කිලෝ පණහේ (50) සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 93 කින් ඊයේ (10) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර ඇති බව සංස්ථා සිමෙන්ති සමාගම ප්‍රකාශ කළා.

ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල වන්නේ රුපියල් 1,098 ක්.

මීට පෙර සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1,005 ක් ලෙස පැවතියා ෴

******************************************

මල්ලවපොර කළමණාකරුගේ අතුරුදන්වීම වංචා විමර්ශන ඒකකයට

(11.10.2021 – 08:09 +0530 – hirunews.lk/sinhala)

රටවල් 102 ක සහභාගීත්වයෙන් නෝර්වේ හි පැවැති ලෝක ශූරතා මල්ලව පොර තරගාවලිය අතරතුර අතුරුදන් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු ‘ඩොනල්ඩ් ඉන්ද්‍රවංශ’ සම්බන්ධයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ස්ථාපිත කර ඇති වංචා විමර්ශන අංශයට පැමිණිලි කර තිබෙනවා.

ශ්‍රී ලංකා මල්ලව පොර සම්මේලනයේ සභාපති සරත් හේවාවිතාරණ මහතා කියා සිටියේ ඔහු තරගාවලිය සඳහා සහභාගිවීමට අදාළ කටයුතුවලට ලබාදුන් මුදල් රැගෙන ගොස් ඇත් ද යන්න සම්බන්ධයෙන් ද මේ වනවිට විමර්ශන සිදුකරමින් පවතින බවයි.

පසුගිය දෙවනදා (02) සිට හයවනදා (06) දක්වා නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ අගනුවරදී ලෝක ශූරතා මල්ලව පොර තරගාවලිය පැවැත්වුණා.

සැප්තැම්බර් 30 වනදා ලෝක ශූරතා මල්ලව පොර තරගාවලියට සහභාගිවීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය අටවනදා (08) දිවයිනට පැමිණ තිබුණා.

ශ්‍රී ලංකා මල්ලව පොර සම්මේලනයේ සභාපති සරත් හේවාවිතාරණ මහතා කියා සිටියේ ශ්‍රී ලංකා මල්ලව පොර තරග ඉතිහාසය තුළ ජාත්‍යන්තර තරග සඳහා සහභාගිවීමට විදේශ රටවල් වෙත ගිය මල්ලවපොර ක්‍රීඩකයන් සහ නිලධාරීන් 44 දෙනෙකු යළි දිවයිනට පැමිණ නොමැති බවයි ෴

******************************************

කාබනික පොහොර භාවිතය ගැන ආණ්ඩුවට යෝජනාවක්

(11.10.2021 – 08:01 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 25 ක පමණක් නියමු ව්‍යාපෘතියක් ලෙස කාබනික පොහොර භාවිතය සිදුකළ යුතු බවට ආණ්ඩුවට යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා.

ඒ පසුගියදා පොහොර ගැටළුව සම්බන්ධයෙන් පැවති රජයේ අභ්‍යන්තර සාකච්ඡාවකදියි.

මේ වනවිට රසායනික පොහොර භාවිතයෙන් ඉවත්වීමත් සමඟ විවිධ පාර්ශවවලින් එල්ලවී ඇති චෝදනා සැළකිල්ලට ගනිමිනුයි මෙම යෝජනාව ඉදිරිපත්ව ඇත්තේ.

වසරක කාලසීමාවක් එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 25 නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර එහි සාර්ථකත්වය මත දිවයින පුරා කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීම යෝජිත බවයි අදාළ යෝජනාවේ දැක්වෙන්නේ.

මේ අතර වී සහ එළවලු සඳහා යළි රසායනික පොහොර ලබාදෙන ලෙස ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් රජයට ලිපියක් ඉදිරිපත් කර ඇති බව ජාතික පුවත්පත් අද (11) වාර්තා කර තිබුණා ෴

******************************************

ජේතවනාරාම පුදබිමට හානි වූ බවට පළ වන වාර්තා අසත්‍යයයි

(11.10.2021 – 07:33 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර ජේතවනාරාම පුදබිමේ උතුරු දොරටුවට පිවිසෙන මාර්ගයේ දියත් කළ සංවර්ධන ව්‍යාපෘතියක් මඟින් පුදබිමේ පුරාවිද්‍යාත්මක ස්මාරක වලට හානි සිදුව ඇති බවට පල වන වාර්තා වල සත්‍යතාවයක් නොමැති බව ජේතවනාරාම රජමහා විහාරාධිපති පූජ්‍ය ඉහළ හල්මිල්ලෑවේ රතනපාල හිමියන් ප්‍රකාශ කළා.

උන්වහන්සේ කියා සිටියේ අදාළ සංවර්ධන ව්‍යාපෘතිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහ ඍජු අධීක්ෂණය යටතේ සිදු වූ බවයි.

ජේතවනාරාමයට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා මාර්ගය පුළුල් කරමින් රථ වාහන ගාල් කිරීමට ස්ථානයක් සකස් කිරීමේ කටයුතු පසුගියදා සිදු කරනු ලැබුවේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින්.

කෙසේ වෙතත් අනුරාධපුර ජේතවනාරාම පුදබිමේ උතුරු දොරටුව ආශ්‍රිතව බැකෝ යන්ත්‍ර යොදා පස් ඉවත් කරමින් ඩෝසර් කිරීමේ කටයුත්තක් සිදුවන බවටයි සමාජ මාධ්‍ය තුළ වාර්තා පළ වුණේ.

ගඩොල්වලින් කරන ලද ලොව විශාලතම ස්තූපය ලෙස ප්‍රකට ජේතවනාරාමය යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් ලෙස ද ප්‍රකාශයට පත් කර තිබෙනවා ෴

******************************************

සුඛෝපභෝගී මෝටර් රථයක් ලොරි රථයක ගැටී රථ දෙකම අළුවෙයි

(11.10.2021 – 06:57 +0530 – hirunews.lk/sinhala)

භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක පිටුපස මෝටර් රථයක් ගැටී එම රථ දෙක ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.

හයිලෙවල් මාර්ගයේ දෙල්කඳ හංදිය ආසන්නයේ දී ඊයේ (10) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

පෞද්ගලික රූපවාහිනී ආයතනයකට අයත් භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථයක් සහ අධි සුඛෝපභෝගී මෝටර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම අනතුරෙන් කිසිවකුටත් බරපතළ හානි සිදු වී නොමැති අතර ගිනි ගැනීමෙන් ලොරි රථයට සහ මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.

ඇති වූ ගින්න පාලනය සඳහා ගිනි නිවීමේ රථ 03 ක් යොදවා තිබුණු අතර අනතුරෙන් එම මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ල වී තිබුණා.

******************************************

කිඹුලා ඇදගෙන ගිය මළ සිරුරේ අනන්‍යතාව හෙළිවෙයි..

(10.10.2021 – newsfirst.lk/sinhala)

දියවන්නාවේ කිඹුලෙකු ඇදගෙන ගොස් අතහැරි පුද්ගලයා පවුලේ සාමාජිකයින් විසින් අද(10) හඳුනා ගනු ලැබ තිබේ.

ඊයේ(09) පස්වරු 05:45 ට පමණ මෙය සිදුව තිබුණේ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කිඹුලාවල ප්‍රදේශයේදී ය.

නාවික හමුදා නිලධාරීන් මේ පුද්ගලයාගේ සිරුරු ගොඩගෙන කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන ගොස් තිබුණි.

අද (10) එහි පැමිණි ඥාතීන් හඳුනාගත් ආකාරයට මොහු තලවතුගොඩ , ශාන්තිපුර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 80 ක පුද්ගලයෙකි.

මොහු පසුගිය 08 වැනිදා සිට අතුරුදන්ව සිටි බවට ඥාතීන් පොලීසියට ද පැමිණිලි කර තිබුණි.

කෙසේ වෙතත් මේ පුද්ගලයා කිඹුලාට ගොඳුරු වූයේ කෙසේදැයි නිශ්චිතව අනාවරණය වන්නේ නැහැ.

******************************************

ලෝකයේ වැඩියෙන්ම වස කන රටවල් අතර අපි ඉදිරියටම ආවේ මෙහෙමයි – වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය හෙලිකරයි (07.10.2021)

https://www.youtube.com/watch?v=W7jkCHsiuZ4

******************************************

පළාත් 04 කට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි

(11.10.2021 – 10:26 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි පැය 24 තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත් වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරුද සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර මධ්‍යම කඳුකරයට ඇද හැලෙන වර්ෂාවත් සමඟ නෝටන්බ්‍රිජ් – විමලසුරේන්ද්‍ර ජලාශයේ වාන් දොරටු හයක් (6), මාවුස්සාකැලේ වාන් දොරටු තුනක් (3), ඉහළ කොත්මලේ සහ ලක්ෂපාන වාන් දොරටු දෙක (2) බැගින් සහ කැනියොන් ජලාශයෙන් එක් (1) වාන් දොරටුවක්ද විවෘත කෙරුණා.

කාසල්රි ජලාශයේ ජල මට්ටම මේ වනවිට පිටාර මට්ටමට ළඟාවී තිබෙනවා.

මේ අතර දිවයිනට දකුණු සහ ගිනිකොන දිශාවෙන් පවතින මුහුදු ප්‍රදේශ සහ නිරිත දිග බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 70 දක්වා වැඩි විය හැකි බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

******************************************

ඉන්ධන මිලත් ඉහළ යන ලකුණු ?

(11.10.2021 – 12:01 +0530 – hirunews.lk/sinhala)

පවතින තත්වය හමුවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබමින් පවතින බව එහි සභාපතිවරයා ප්‍රකාශ කළා.

ඒ, කොළඹ අද (11) පැවති මාධ්‍ය හමුවකදියි.

ඊට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ද එක්ව සිටි අතර, ඔහු කියා සිටියේ යම්කිසි සහනයක් ලබාදීමට භාණ්ඩාගාරය කටයුතු නොකරන්නේ නම් ඉන්ධන මිල ඉහළ දැමීමට හෝ සිදුවන බවයි.

ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යාම හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විශාල වශයෙන් පාඩු ලබන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ.

මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා සදහන් කළේ ලෝක වෙළඳපොලේ මිල ඉහළ යාමත් සමඟ මෙරට ඉන්ධන මිල ද ඉහළ දැමිය යුතු බවයි.

******************************************

බත්, කොත්තු සහ කිරි තේ මිලත් ඉහළ දමයි

(11.10.2021 – 12:19 +0530 – hirunews.lk/sinhala)

බත් පැකට්ටුවක්, කොත්තු, ෆ්‍රයිඩ් රයිස් සහ කිරි තේ එකක මිල රුපියල් 10 කින් ඉහළ නංවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

තිරිඟු පිටි, කිරිපිටි සහ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එහි කැඳවුම්කරු අසේල සම්පත් මහතා කියා සිටියේ.

ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් ගෘහස්ථ ගෑස් මිල ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමනු ලැබුවා.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

ඊයේ තවත් 42,639 දෙනෙකුට කොරෝනා එන්නත්

(11.10.2021 – 09:04 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ (10) පුද්ගලයින් 42,639 දෙනෙකුට එන්නත් ලබාදී තිබෙනවා.

ඒ අනුව, සයිනොෆාම් එන්නතේ දෙවන (2) මාත්‍රාව 24,309 දෙනෙකුට ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

ෆයිසර් එන්නතේ දෙවන (2) මාත්‍රාවද 9,073 දෙනෙකුට ලබාදී ඇති අතර, කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාවද 4,115 දෙනෙකුට ලබාදී තිබෙනවා.

ඒ අනුව මේ දක්වා දෙවන (2) මාත්‍රාව ද ලබාගෙන එන්නත්කරණය සම්පූර්ණ කර ඇති සංඛ්‍යාව 1,23,98,451 ක්.

++++++++++++++++++

සරසවි සිසුන්ට අද (11) සිට එන්නත් – දිනකට 3,000 ක් පමණ ගුවන් මගීන් පිරිසක් දිවයිනට

(11.10.2021 – 07:43 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 20 ත් 30 ත් අතර සරසවි සිසුන්ට අද (11) සිට ලබන සිකුරාදා (15) දක්වා තමාට ළඟම පිහිටි විශ්වවිද්‍යාලයට ගොස් කොරෝනා මර්ධන එන්නත ලබා ගත හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව සඳහන් කළා.

එසේම නව කොරෝනා ආසාදිතයින් 720 දෙනෙකු ඊයේ (10) හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,26,383 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ (10) හඳුනාගත් නව ආසාදිතයන් 720 දෙනාම අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව මෙරට සක්‍රිය ආසාදිතයන් සංඛ්‍යාව 32,955 ක්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා සිදුවූ බවට ඊයේ (10) තහවුරු කළ නව මරණ 35 ත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,331 ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම නිදන්ගත රෝගවලන් පෙළන සහ විශේෂ අවශ්‍යතා සහිත වයස අවුරුදු 12 ට වැඩි දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම අදත් දිවයින පුරා ක්‍රියාත්මක වනු ලබනවා.

මේ අතර කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මෙරටට පැමිණෙන ගුවන් යානයක රැගෙන ආ හැකි උපරිම ගුවන් මගීන් සංඛ්‍යාව 75 ක් විය යුතු බවට පනවා තිබූ සීමාව ඉවත් කිරීමත් සමඟ මේ වනවිට දිනකට 3,000 ක පමණ ගුවන් මගීන් සංඛ්‍යාවක් දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් එන්නත්කරණය සම්පූර්ණ නොකළ පුද්ගලයන් තවදුරටත් දින 14 ක නිරෝධායනයට යටත් බවයි ඔහු කියා සිටියේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *