කොරෝනා ආසාදිත ගර්භණී මව්වරුන් රෝහල් ගතවීම අනිවාර්යයි

කොරෝනා ආසාදිත ගර්භණී මව්වරුන් රෝහල් ගතවීම අනිවාර්යයි

*********************************************

කොරෝනා ආසාදිත ගර්භණී මව්වරුන් රෝහල් ගතවීම අනිවාර්යයි

(10.10.2021 – 13:37 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිත සෑම ගර්භණී මවක්ම රෝහල් ගත කිරීමට පවුල් සෞඛ්‍ය කාර්යාංශය තීරණය කර තිබෙනවා.

එම කාර්යාංශයේ අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළේ ඉදිරියේදී ගර්භණී මව්වරුන් නිවෙස් ගත ප්‍රතිකාර සේවාවාට යොමු නොකරන බවයි.

ගර්භණී මව්වරුන් 8500 දෙනෙකුට පමණ මේ දක්වා කාලය තුළ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ප්‍රකාශ කළා.

ඇය කියා සිටියේ එම පිරිස අතරින් 56 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ගර්භණී මව්වරුන් අතරින් 95% ක්ම පමණ කොරෝනා එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති බව සඳහන් කළ ඇය කියා සිටියේ මේ වනවිට කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබන ගර්භණී මව්වරුන් සංඛ්‍යාව පහත වැටී ඇති බවයි.

මේ අතර, මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ (09) දිනයේදී පුද්ගලයින් 1,17,587 දෙනෙකුට එන්නත් ලබාදී තිබෙනවා.

එහිදී පුද්ගලයින් 12,995 ක් පළමු (1) මාත්‍රාවත්, පුද්ගලයින් 1,04,592 ක් දෙවැනි (2) මාත්‍රාවත් ලබා ගෙන ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

ඒ අනුව මෙරට ජනගහනයෙන් 68% ක් කොරෝනා එන්නතක එක් (1) මාත්‍රාවක් හෝ මේ වනවිට ලබාගෙන ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.

නිදන්ගත රෝගවලන් පෙළන සහ විශේෂ අවශ්‍යතා සහිත වයස අවුරුදු 12 ට වැඩි දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම අදත් (10) දිවයින පුරා ක්‍රියාත්මකයි.

මේ අතර, දැනට පවතින පළාත් අතර සංචරණ සීමා හේතුවෙන් ඇතැම් බස් රථ සේවකයින් මගීන්ගෙන් වැඩි මුදලක් අයකිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය චෝදනා කරනවා.

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

කොළඹ අවට සොරකම් රැසකට සම්බන්ධ ලියාපදිංචි අපරාධකරුවෙක් අත්අඩංගුවට

(10.10.2021 – 10:30 +0530 – hirunews.lk/sinhala)

කොළඹ අවට ප්‍රදේශ රැසක සොරකම් සහ කොල්ලකෑම්වලට සම්බන්ධ ලියාපදිංචි අපරාධකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව ඊයේ (09) රාත්‍රියේ කොලොන්න කෝප්පකන්ද ප්‍රදේශයේ කළ වැටලීමකදීයි සැකකරු අත්අඩංගුවට පත්වී ඇත්තේ.

මෙම පුද්ගලයා බොරලැස්ගමුව, මහරගම, තලංගම, නවගමුව, හෝමාගම, දෙහිවල, කහතුඩුව, මොරටුව, පිළියන්දල, ජාඇල, කඩවත, කිරිබත්ගොඩ, කොල්ලපිටිය, පානදුර දකුණ, කඳාන, අවිස්සාවේල්ල මෙන්ම වලස්මුල්ල ප්‍රදේශවල රාත්‍රී කාලයේ වෙළඳසැල් හා මූල්‍ය ආයතන බිඳ මුදල් සහ දේපළ සොරකම් කිරීමට සම්බන්ධ බවට අනාවරණ කර තිබෙනවා.

ඒ සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදීයි.

2020 වසරේ මෙම පුද්ගලයා දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු බවට ලියාපදිංචි කර ඇතැයි සඳහන්.

ඕමල්පේ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි සැකකරු අද (10) කඩුවෙල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය මෙම සැකකරු පිළිබඳ වැඩිදුර විමර්ශණ සිදුකරමින් පවතිනවා ෴

******************************************

ඓතිහාසික ගල් බංකුවක් මත පිළිස්සී මියගිය පුද්ගල සිරුරක්

(10.10.2021 – 11:11 +0530 – hirunews.lk/sinhala)

හංවැල්ල තානායම් භූමියේ පිහිටි ගල් බංකුවක් මත තිබී පිලිස්සී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා.

ඊයේ (09) සවස මෙම පුද්ගලයා තානායමේ නවාතැන් ගෙන ඇති අතර අද (10) අලුයම 1 පමණ වන තෙක් මත්පැන් පානය කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

ඔහු සාලාව ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි අයෙක් බවට ජාතික හැඳුනුම්පත අනුව හඳුනාගෙන තිබෙනවා.

නුගේගොඩ අපරාධ පරීක්ෂණ ඒකකයේ නිලධාරීන් සහ හංවැල්ල පොලිසිය මගින් මෙම මරණය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම පුද්ගලයාට ගිනි ඇවිලුනේ කෙලෙස ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

ඔහු පිළිස්සී මියගොස් ඇත්තේ වසර 1875 දී මෙරටට පැමිණි වේල්සයේ කුමරු ලෙසට හැඳින්වෙන 7 වන එඩ්වඩ් කුමරු විසින් පරිහරණය කළ ගල් බංකුවක් මත බව සඳහන්.

එඩ්වඩ් කුමරු ශ්‍රී ලංකාවට පැමිණීම සනිටුහන් කිරීම වෙනුවෙන් එම ස්ථානයේ කොස් ගසක් ද රෝපණය කර තිබෙනවා.

හංවැල්ල තානායම් භූමිය පිහිටා ඇත්තේ ඓතිහාසික ඕලන්ද බලකොටුව පිහිටි පුරාවිද්‍යා භූමියේයි.

******************************************

ජනපති සමස්ත රට වැසියන්ගෙන් ඉල්ලීමක් කරයි – පොරොන්දු වූ පරිදි නව ව්‍යවස්ථාවක් සහ ඡන්ද ක්‍රමයක් ගෙන එන බවත් කියයි

(10.10.2021 – 12:44 +0530 – hirunews.lk/sinhala)

නිදහසට කරුණු නොකියන අතර එක නීතියක්, එක රටක් යටතේ දූෂණයෙන් තොරව, නිවැරදිව ඉදිරියට යාමට සහාය දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමස්ත රට වැසියන්ගෙන් ඉල්ලීමක් කරනවා.

කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථිකය පහළ බැසීමට ලක්වුව ද අදාළ කාලසීමාව තුළදී විශාල වැඩ කොටසක් ජනතාව වෙනුවෙන් සිදු කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ලෝකයේ හමුදාවන්, යුද්ධයට පමණක් නොව ජාතිය ගොඩනැගීමටත් කැප වී සිටින අතර මෙරට ත්‍රිවිධ හමුදාව නිරෝධායනයේ දී සහ එන්නත්කරණයේ දී සෞඛ්‍ය අංශවලට සහාය වෙමින් කොවිඩ් පාලනයට එක්වූ බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

ඒ සඳහා කළ කැපකිරීමට සියලු දෙනාට තම ස්තූතිය පළ කරන බවයි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සරය වෙනුවෙන් අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පැවති සම්මාන පෙළපාලිය පිළිගනිමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සරය අද (10) දිනට යෙදී තිබෙනවා.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව 1949 අංක 17 දරණ යුද්ධ හමුදා පනතට අනුව ස්ථාපිත කෙරුණා.

රටේ ආරක්ෂාව උදෙසා විශාල කාර්යභාරයක් ඉටුකළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පාබල, ආධාරක සහ සේවා රෙජිමේන්තු 25කින් සමන්විත වනවා.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව සංවිධාන කෙරුණු යුද හමුදා සැමරුම් උළෙලට පැමිණි ජනාධිපතිවරයා සාලියපුර ගජබා රෙජිමේන්තු කඳවුරේ අභිනවයෙන් ඉදිකෙරුණු සරඹ භූමිය විවෘත කර රණවිරු අයිතියට පත් කළා.

අනතුරුව ඔහු උත්තමාචාර පෙළපාලිය නිරීක්ෂණයට එක්වුණා.

ත්‍රිවිධ හමුදාවේ සහ බුද්ධි අංශවල මානසිකත්වය ඉහළ නංවාලමින්, රාජකාරී බලතල නිසි අයුරින් පවරමින් පසුගිය දෙවසර තුළ ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දී කටයුතු කළ අතර යළිත් ත්‍රස්තවාදයක් හෝ ආගමික අන්තවාදී ක්‍රියාවන් ඇති නොවන ආකාරයෙන් රට ආරක්ෂා කරගැනීමට කැපවී සිටින බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේ.

ජනතාවට පොරොන්දු වූ ආකාරයට නව ව්‍යවස්ථා සංශෝධනයක් සහ නව ඡන්ද ක්‍රමයක් ඇති කිරීමට කටයුතු කරන බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

දූෂණයට, වංචාවට ඉඩ නොතබන අතර ඒ සඳහා කැපවෙමින් සියලුම නිලධාරීන් ජනතාව වෙනුවෙන් වැඩ කළ යුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ ෴

******************************************

අගමැති සහ ගුරු සංගම් අතර සාකච්ඡාව කල් යයි

(10.10.2021 – 13:18 +0530 – hirunews.lk/sinhala)

ඔන්ලයින් ඉගැන්වීම් වර්ජනයේ නිරත ගුරු විදුහල්පති වෘත්තීය සමිති සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හෙට (11) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව තාවකාලිකව කල් දමා තිබෙනවා.

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් මුල් කරගෙන ගුරු විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කර ඇති වර්ජනයට අදට දින 91 ක් ගතවනවා.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශෆ් ස්ටාලින් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ වෘත්තීය සමිති අග්‍රාමාත්‍යවරයා සමග කඩිනමින් සාකච්ඡාවක් අපේක්ෂා කරන බවයි ෴

******************************************

ගෑස් මිල ගැන අවසන් තීරණයකට ලිට්රෝ සහ ලාෆ්ස් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වේ

(10.10.2021 – 13:24 +0530 – hirunews.lk/sinhala)

ගෑස් මිල සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ප්‍රධාන සමාගම් දෙකෙහි (2) අධ්‍යක්ෂ මණ්ඩල අද (10) රැස්වීමට නියමිතයි.

ඒ අනුව, ලාෆ්ස් සහ ලිට්රෝ සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල අද (10) දිනයේදී වෙන් වෙන්ව රැස්වනවා. පසුව ගෑස් සිලින්ඩර වල නව මිල හෙට (11) දිනයේදි ප්‍රකාශයට පත් කරන බවයි එම සමාගම්වල සභාපතිවරුන් සඳහන් කළේ.

ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල මේ වනවිට රුපියල් 1,493 ක් ලෙස සටහන් වන නමුදු ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල පසුගිය අගෝස්තු 13 වැනිදා සිට රුපියල් 363 කින් ඉහළ නැංවීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ අනුමැතිය හිමිවුණා.

ඒ අනුව, ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල මේ වනවිට සටහන් වන්නේ රුපියල් 1856 ක් ලෙසයි.

මේ අතර, වරායෙන් නිදහස් කරන ලද ආනයනික කිරිපිටි හෙට (11) සිට වෙළඳපොළට නිකුත් කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා කියා සිටියේ මේ වනවිට අදාළ කිරිපිටි තොග ඇසුරුම් කරමින් සිටින බවයි.

රුපියල් 250 කින් ඉහළ නැංවෙන කිරිපිටි කිලෝග්‍රෑමයක නව මිල වන්නේ රුපියල් 1195 ක්.

ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 100 කින් ඉහළ ගිය අතර, එහි නව මිල රුපියල් 480 ක් වනවා.

එමෙන්ම, තිරිඟු සහ සිමෙන්ති පිටි මිල නව මිල ගණන් ද හෙට (11) දිනයේදි ප්‍රකාශයට පත් කිරිමට නියමිතයි.

පාලන මිල ඉවත් කිරිමත් සමඟ සිමෙන්ති කිලෝග්‍රෑම් 50 ක මිටියක් රුපියල් 97 කින් ඉදිරියේදී ඉහළ යනු ඇති බවටයි වාර්තා වන්නේ.

තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10 ත් 12 ත් අතර මිලකට ඉදිරියේදී ඉහළ යාමට නියමිතයි.

මේ අතර, මෙරටට ආනයනය කිරීමට නියමිත හාල් මෙට්‍රික් ටොන් ලක්ෂයෙන් කොටසක් රැගත් නෞකාවක් අද (10) දිනයේදී කොළඹ වරාය වෙත පැමිණීමට නියමිත බව වෙළඳ අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළා.

එමෙන්ම, ලබන සිකුරාදා තවත් නෞකා දෙකක් (2) සහල් තොග රැගෙන දිවයිනට පැමිණීමට නියමිතයි.

******************************************

මීරිගමින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනී

(10.10.2021 – 13:45 +0530 – hirunews.lk/sinhala)

මීරිගම ප්‍රදේශයේ නීතිවිරෝධී අයුරින් ගබඩා කර තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ එහි තිබී ග්‍රෑම් 130 ක බරකින් යුත් ‘වෝටර් ජෙල්’ කූරු 81 ක්, ඇමෝනියම් නයිට්ට්‍රේට් කිලෝග්‍රෑම් 75 ක්, විදුලිමය නොවන ඩෙටනේටර් 107 ක් සහ සේවා නූල් මීටර් 360 ක් හමුවූ බවයි.

අත්අඩංගුවට ගත් 39 හැවිරිදි සැකකරු මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර, කැකිරාව – ඉපලෝගම ප්‍රදේශයේදී ගිණි අවි, පුපරණ ද්‍රව්‍ය සහ නීති විරෝධි මත්පැන් තොගයක් සමග විශ්‍රාමික හමුදා සෙබලෙකු ඇතුලු දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඉපලෝගම පොලීස් විශේෂ කාර්යංශය වෙත ලද බුද්ධි තොරතුරක් මත සිදුකල ක්ෂණික මෙහෙයුමකදීයි.

පොලීසිය සඳහන් කළේ 54 හැවිරිදි මෙම විශ්‍රාමික හමුදා සෙබලා සතුව තිබී විදේශීය රටක නිෂ්පාදිත, අංකය විකෘති කරන ලද බෝර 12 වර්ගයේ ගිනි අවියක්, මෙරට නිෂ්පාදනය කල ගිණි අවි 5 ක්, වන සතුන් දඩයම් කිරීමට යොදා ගන්නා හක්කපටස් 2 ක් සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවූ බවයි.

එමෙන්ම නීති විරෝධි මත්පැන් ලීටර 6 ක් සහ ඒවා පෙරීමට යොදා ගන්නා ගෝඩා ලීටර 195 ක්ද හමුවී තිබෙනවා.

ඒවා සෙබලාට අයත් බව කියන ඉපලෝගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක තැනූ පැලක සඟවා තිබූ බව පොලීසිය ප්‍රකාශ කළා.

ඒ, සැකකරුගෙන් ලද තොරතුරු අනුව හක්කපටස් නිෂ්පාදනය කළ බව කියන තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අද කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

******************************************

කොළඹ වරාය නගරය වසර අවසානයේ ජනතාව සඳහා විවෘත කිරීමට සැලසුම්

(10.10.2021 – 14:10 +0530 – hirunews.lk/sinhala)

දකුණු ආසියාවේ ජගත් මුවදොර, කොළඹ වරාය නගරය මේ වසරේ දෙසැම්බරයේදී ජනතාව සඳහා විවෘත කිරිමට සැලසුම් කෙරෙනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථික සමෘද්ධිය මෙන්ම ලෝක ආර්ථිකය තුල තරගකාදී ලෙස ඉදිරියට පැමිණිම සඳහා සැලසුම් කෙරුණු කොළඹ වරාය නගරය මුහුද ගොඩකර තැනුනු හෙක්ටයාර 269 ක නව බිම් ප්‍රදේශයකින් සමන්විතයි.

දකුණු ආසියාවේ ඉන්දිය සාගරයට මුහුණලා පිහිටි වඩාත් ආකර්ශනීය නිවහන් සහ ව්‍යාපාරික මධ්‍යස්ථානයක් ලෙස මෙහි සංවර්ධන කටයුතු සිදුකෙරෙනවා.

‘චයිනා හාබර් ඉංජිනියරින් කම්පැනි’ එහි ඉදිරි කටයුතු සිදුකරන අතර මේ වනවිට පළමු (1) අදියරේ කටයුතු සියයට 99 කින් අවසන් වී ඇති බවයි වරාය නගර වෙබ් අඩවියේ සඳහන්.

******************************************

ඇළකට වැටී සය අවුරුදු දරුවෙකු මියයයි

(10.10.2021 – 14:28 +0530 – hirunews.lk/sinhala)

යාපනය – සංගානි ප්‍රදේශයේ ඇළකට වැටීමෙන් කුඩා දරුවෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

සය (6) හැවිරිදි මෙම දරුවා ඊයේ (09) අසල නිවසක දරුවන් සමග සෙල්ලම් කරමින් සිටි අවස්ථාවේදී කුඹුරුවලට ජලය රැගෙන යන ඇලකට වැටී ඇති බව සඳහන්.

පසුව ප්‍රදේශවාසීන් එක්ව දරුවා ගොඩට ගෙන ඇති අතර, එම අවස්ථාවේදී ඔහු ජිවිතක්ෂයට පත්වී සිටි බවයි පොලීසිය සඳහන් කළේ ෴

******************************************

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සේවා තවදුරටත් පුළුල් කෙරේ

(10.10.2021 – 16:04 +0530 – hirunews.lk/sinhala)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන සේවා ප්‍රමාදයකින් තොරව පහසුව කර ගැනීම සඳහා එම කටයුතු තවදුරටත් පුළුල් කරන ලෙස ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අදාළ නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව වාහන ලියාපදිංචිය නිකුත් කිරීම, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම හා වාහන පැවරීම වැනි එක්දින සේවා තවදුරටත් ව්‍යාප්ත කරන ලෙසටයි අමාත්‍යවරිය දැනුම් දී ඇත්තේ.

මේ වනවිට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවා හා මාර්ගගත ක්‍රමය යටතේ සේවා සැපයීම මෝටර් රථ දෙපාර්තමේන්තුව් වේරහැර ඇතුළු කාර්යාල කිහිපයක පමණක් ක්‍රියාත්මක වනවා.

එම සේවා තවදුරටත් පුළුල් කරමින් දිවයින පුරා දිස්ත්‍රික්ක 25 තුලම පිහිටුවා ඇති ශාඛා කාර්යාල තුලින් ජනතාවට එම සේවා ඉටු කර ගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදෙන ලෙසයි පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය දන්වා ඇත්තේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *