දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව 29 දක්වා පහළට

දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව 29 දක්වා පහළට

*********************************************

දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව 29 දක්වා පහළට

(09.10.2021 – 16:04 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (08) තහවුරු කරන ලද කොරෝනා මරණ 29 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (09) වාර්තා කර තිබුණා.

මෙම මරණ 29 අතර අවුරුදු 30 ත් 59 ත් අතර පිරිමින් 4 ක් සහ කාන්තාවන් 2 ක් සිටිනවා.

වයස අවුරුදු 60 ට වැඩි පිරිමින් 14 ක් සහ කාන්තාවන් 9 දෙනෙකු ද මෙම මරණ 29 ට අයත් වනවා.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදනය වී මියගිය සංඛ්‍යාව 13,296 දක්වා ඉහළ යනවා ෴

කොවිඩ් ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි 447 දෙනෙකු සුවය ලබා අද (09) දිනයේ රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 4,79,629 ක් දක්වා ඉහළ ගියා ෴

තවත් කොරෝනා ආසාදිතයින් 184 ක් මෙරටින් හමු වී තිබෙනවා. අද (09) දිනයේ හමු වූ මුළු කොරෝනා ආසාදිතයින් ගණන 726 ක්. ඒ අනුව මෙරට මුළු මුළු කොරෝනා ආසාදිතයින් ගණන 5,25,663 ක් වනවා ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

වැඩි මිලට සීනි අලෙවි කිරීමේ ජාවාරමක් අනාවරණය කිරීමට ගිය හිරු ප්‍රාදේශීය මාධ්‍යවේදියාට ප්‍රහාරයක්

(09.10.2021 – 21:36 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල හිරියාල සමුපකාරයේ වැඩි මිලට සීනි අලෙවි කිරීමේ ජාවාරමක් අනාවරණය කිරීමට ගිය හිරු ප්‍රාදේශීය මාධ්‍යවේදියාට පහරදී හානි සිදුකරන ලද ඔහුගේ කැමරාවේ සහ ජංගම දුරකථනයේ දත්ත ගබඩා මෙතෙක් සොයාගැනීමට පොලිසියට හැකිව නැහැ.

පොලිස් පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ මෙම පහරදීම සිදුවන අවස්ථාවේ අදාළ ස්ථානයේ සී.සී.ටී.වී. කැමරා අක්‍රීයව තිබී ඇති බවයි.

හිරු ප්‍රාදේශීය මාධ්‍යවේදී බිමල් රුහුණගේ මහතා මෙම මැර ප්‍රහාරයට ලක්වන්නේ කුරුණෑගල – හිරියාල සමූපකාර තොග ගබඩාවේ සිදුවන සීනි වැඩි මිලට විකිණීමේ ජාවාරමක් අනාවරණය කිරීමට ගිය අවස්ථාවේදියි.

එහිදී සීනි කිලෝග්‍රෑමක තොග මිල රුපියල් 122 බැගින් ගණනය කරමින් කිලෝග්‍රෑම් 50 ක සීනි මිටියක් සඳහා රුපියල් 6100 ක් අයකර තිබුණා.

ඊට අදාළ බිල්පතක් ඉල්ලා සිටි අවස්ථාවේ එය ලබා නොදී එම සමූපකාරයේ සභාපති ඔහුගේ මැර පිරිසක් සමඟ පැමිණ මාධ්‍යවේදියාට පහර දී කැමරාවට හානි සිදුකර තිබුණා.

ඊට අමතරව පහරදීම අතරතුර සමූපකාරයේ සභාපති අනුර බන්නැහැක නම් මෙම පුද්ගලයා හිරු මාධ්‍යවේදියාගේ ජංගම දුරකථනයේ හා කැමරාවේ දත්ත ගබඩා කොල්ල කෑමටයි කටයුතු කර තිබුණේ.

පැය 2 ක පමණ කාලයක් මාධ්‍යවේදියා අයථා ලෙස රඳවා ගෙන විවිධ හිංසා සිදුකිරීම සම්බන්ධයෙන් සභාපතිවරයා පමණක් අත්අඩංගුවට ගෙන තිබූ ගොඩකරැල්ල පොලිසිය සැණෙකින් ඔහු අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

පොලිසිය සිදුකළ කරුණු දැක්වීම අනුව එහිදී ඔහු ඇපමත මුදා හැර තිබෙනවා.

කෙසේවෙතත්, මේ දක්වා ජංගම දුරකථනයේ හා කැමරාවේ දත්ත සොයා ගැනීමට ගොකරැල්ල පොලිසියට හැකිවී නැහැ.

පසුගිය දිනවල කුරුණෑගල අවට සිදුකළ ගවේෂණාත්මක පුවත් ගණනාවක වීඩියෝ දර්ශන එම දත්ත ගබඩාවල අන්තර්ගත වනවා.

එම දත්ත ගබඩා කොල්ලය හරහා සමූපකාර සභාපතිවරයා කටයුතු කරන්නේ එම මහා පරිමාණ දූෂණ වංචා සැඟවීමට ද?

සමූපකාර සභාපති අනුර බන්නැහැක මෙම ප්‍රවෘත්තිවලට අදාළ දර්ශන කොල්ලකන්නේ කාගේ අවශ්‍යතාවකටද?

පොලිසිය පවසන්නේ මෙම සිදුවීම වන අවස්ථාවේ සමූපකාර ගබඩාවේ CCTV පද්ධතිය ද ක්‍රියා විරහිතව පැවති බව සිදුකළ පරීක්ෂණවලදී හෙළිවූ බවයි.

ඒ අනුව හිරු මාධ්‍යවේදියාගේ දත්ත ගබඩා කොල්ලය සැලසුම් සහගතව සිදුකරන ලද්දක් බව පැහැදිලිව පෙනී යන කරුණක්.

මේ පිළිබඳ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් ඉදිරියේදී ක්‍රියාත්මක වන ආකාරය හෙළි කිරීමටත් හිරු CIA සූදානම්.

******************************************

මෙරට විදේශ සංචිතය ඩොලර් බිලියන 2.5 දක්වා පහත වැටේ

(09.10.2021 – 14:14 +0530 – hirunews.lk/sinhala)

සැප්තැම්බර් මාසය තුළ මෙරට විදේශ සංචිතය ඩොලර් මිලියන 2581.3 ක් එනම්, ඩොලර් බිලියන 2.5 ක් දක්වා පහත වැටී ඇති බව නිල දත්ත මඟින් ප්‍රකාශ වනවා.

අගෝස්තු මාසයේ දී විදේශ සංචිතය ඩොලර් මිලියන 3.5 ක් ලෙස පැවතුණා.

2020 වසරේ මෙරට ඩොලර් බිලියන 2.3 ක ගෙවුම් ශේෂයක් පැවති අතර, මේ වසරේ මේ දක්වා ගෙවුම් ශේෂය ඩොලර් බිලියන 2.7 ක් ෴

******************************************

යොහානි ඉන්දීය රියැලිටි ටෙලිවිෂන් තිරයට

(09.10.2021 – 16:13 +0530 – hirunews.lk/sinhala)

‘මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් ලොව පුරා මිලියන සංඛ්‍යාත රසික හදවත් දිනූ ශ්‍රී ලාංකික යොවුන් ගායිකා යොහානි ඉන්දීය ‘රියැලිටි’ තිරයට ද පිවිසෙනවා.

ඒ ඉන්දියාවේ අතිශතය ජනප්‍රිය ‘රියැලිටි’ ටෙලිවිෂන් වැඩසටහනක් වන ‘බිග්බොස්’ නවතම කලාපයට විශේෂ ආරාධනාවක් ලැබ එක්වීමෙන්.

‘බිග්බොස් රියලිටි’ වැඩසටහනේ 15 වන කලාපය දැන් දිගහැරෙන්නේ බොලිවූඩ් නළු ‘සල්මාන් ඛාන්’ සමගයි.

මේ සති අන්තයේ යොහානි එම වැඩසටහනට එක්වන අතර, ඇය ‘සල්මාන් ඛාන්’ සමග ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ගායනා කිරීමට උත්සාහ කරන ප්‍රවර්ධන වීඩියෝවක් ද ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

යොහානිගේ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය මේ වනවිට යූ ටියුබ් නාලිකාවේ නැරඹුම්වාර 14,64,65,000 ඉක්මවා තිබෙනවා.

******************************************

දියේ ගිලී මියගිය පුද්ගලයාට කොවිඩ් – දේහය බලන්න විශාල ජනතාවක් රැස් වෙලා

(09.10.2021 – 17:14 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් ඇල්ලවල දියඇල්ලේ දිය නෑමට ගිය පුද්ගලයකු පසුගිය හත් වන දා (07) පස්වරුවේ දී දියේ ගිලී මියගොස් තිබෙනවා.

එසේ මියගිය පුද්ගලයාගේ මල සිරුර ඊයේ (08) දින සොයා ගැනීමට ඇල්ලවල ගම්මානයේ තරුණයන් පිරිසක් සමත් වුණා.

පසුව මල සිරුර සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කිරීමට මල සිරුර වැල්ලවායමූලික රෝහලට ගෙන ගොස් ඇති අතර එහිදී සිදු කල පී.සී.ආර්. පරීක්ෂණය කදී මියගිය පුද්ගලයා ට කොවිඩ් ආසාදිත වී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මෙම මල සිරුර සොයාගන්නා අවස්ථාවේ දී එම සිදු වීම දැකබලා ගැනීමට ප්‍රදේශයේ ජනතාව විශාල වශයෙන් කුඩා දරුවන් ද රැගෙන කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය නොකර එම ස්ථානයට පැමින සිටින ආකාරය දක්නට ලැබුනා.

මෙසේ මියගොස් ඇත්තේ මාගොඩ කදාන ලිපිනයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.

******************************************

මධූෂ්ගේ ගෝලයෙකු 23 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

(09.10.2021 – 17:38 +0530 – hirunews.lk/sinhala)

ආයුධ කිහිපයක් සමග අත්අඩංගුවට ගත් මාකඳුරේ මධූෂ්ගේ ප්‍රධාන ගෝලයෙකු වන පොඩි පැටී නමැත්තා ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ සැකකරු අද මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අලුත්ගම – මීගම ප්‍රදේශයේදී සැකකරු අද අලුයම පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණේ ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 5 ක් සහ අත්බෝම්බයක් ද සමගයි.

මොහු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියොමාල් රංගජීව ඇතුළු පොලිස් නිලධාරින්ට පිලියන්දලදී වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ අයෙකු ද වනවා.

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරු ලද්දූවහේවගේ සුජීව රුවන් කුමාර හෙවත් පොඩි පැටී නමැති 29 හැවිරිදි පුද්ගලයෙක්.

මේ අතර, ගාල්ල – පෝද්දල පොලීසියේ කොස්තාපල්වරයෙකුගේ ගිනි අවියක් පොලීසිය තුලදී ඊයේ රාත්‍රියේ අත්වැරදීමකින් ක්‍රියාත්මක වීම නිසා පොලිස් සිරමැදිරියේ සිටි සැකකරුවෙකුට සුළු තුවාල සිදුව තිබෙනවා.

රාජකාරි කටයුත්තකට ගොස් යළි පැමිණි පොලිස් නිලධාරියෙකු ගිනි අවිය භාරදීම සඳහා එය බිමට හරවා පතොරම් ඉවත් කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ ෴

******************************************

කිලෝ 22 ක ඉපැරණි බුද්ධ ප්‍රතිමාවක් විකිණීමට තැත්කළ 03 ක් අත්අඩංගුවට

(10.10.2021 – 08:37 +0530 – hirunews.lk/sinhala)

ඉපැරණි වටිනාකමකින් යුත් කිලෝග්‍රෑම් 22 ක් පමණ බරැති බුදු පිළිමයක් රුපියල් ලක්ෂ 60 ක මුදලකට අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයින් 03 දෙනෙකු කහටගස්දිගිලිය – දිවුල්වැව – කෝමාරිකාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ බුදු පිළිමය ථූපාරාම දාගැබෙන් ලබාගත් එකක් බවට පවසමිනුයි ඔවුන් මෙලෙස අලෙවි කිරීමට උත්සාහ කර ඇත්තේ.

පොලිසිය උපාය දූතයින් යොදවා මෙලෙස ඊයේ (09) අත්අඩංගුවට ගත් සැකකරුවන් අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.

සංවිධානාත්මක කණ්ඩායමක් ඉතා සූක්ෂම ලෙස නිධන්වලින් ලබාගත් බව කියන බුදු පිළිම අලෙවි කරන බවටයි පොලිසියට තොරතුරක් ලැබී ඇත්තේ.

ඒ අනුව පොලිසිය ගැනුම්කරුවන් ලෙසට පෙනී සිටිමින් දින ගණනාවක් පුරා මිල ගණන් සාකච්ඡා කර දින වෙන්කරගෙන වැටලීම සිදුකර තිබෙනවා.

සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලදී ප්‍රකාශකර ඇත්තේ මෙය ථූපාරාම දාගැබෙන් ලබාගත් එකක් නොව වෙනත් පුද්ගලයෙකු මාර්ගයෙන් ලබාගත් පිළිමයක් බවයි.

අවුරුදු 40 43 සහ 45 වයස්වල පසුවන සැකකරුවන් අද (10) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

******************************************

දඹුල්ලේ නිවසකින් 14 හැවිරිදි දැරියකගේ මළසිරුරක් හමුවීම ගැන විමර්ශන

(10.10.2021 – 08:57 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල බකමුණ පාරේ කලවගහා ඇල ප්‍රදේශයේ නිවසක තිබී 14 හැවිරිදි දැරියකගේ මළසිරුරක් හමුවී තිබෙනවා.

පවුලේ හිතවතෙකු විසින් ඔහුගේ දරුවාට ගණිතය ඉගැන්වීමට යැයි පවසමින් පසුගිය 6 වැනිදා දැරිය රැගෙන ගොස් ඇති අතර, ඇය නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් දැරියගේ මව දඹුල්ල පොලිසියට කළ පැමිණිල්ලක් මතයි විමර්ශන ආරම්භ කර ඇත්තේ.

අනතුරුව ඔවුන් නැවතී සිටි කුලී නිවස පරීක්ෂා කිරීමේදී එහි ඇඳක් මත තිබී දැරියගේ මෘත ශරීරය හමුවී තිබෙනවා.

පසුව අනාවරණ වී ඇත්තේ දැරිය රැගෙන ගිය පුද්ගලයා ඇගේ බිරිඳ සහ දරුවාද සමඟ ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි.

නිවසින් පළාගිය අඹුසැමි යුවළ අත්අඩංගුවට ගැනීම සඳහා දඹුල්ල පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.

(10.10.2021 – 08:40 +0530 – sinhala.adaderana.lk)

මල්වතුහිරිපිටිය පිටුවල්ගොඩ ප්‍රදේශයේ නිවසකට ඇතුළුවු කොල්ලකරුවන් දෙදෙනෙක් (2) නිවසේ සිටි කාන්තාවන් දෙදෙනෙකුට (2) කළ පහර දීමකින් එක් කාන්තාවක් මිය ගොස් ඇත.

ඊයේ (09) අලුයම එම කොල්ලකරුවන් දෙදෙනා (2) නිවසට ඇතුළු වී නිවසේ සිටි කාන්තාවන් දෙදෙනාට (2) පහර දී, අත් පා බැඳ දමා නිවසේ තිබු දේපළ කොල්ලකෑමට තැත් කර තිබේ.

කොල්ලකරුවන් නිවසෙන් පිටව ගිය පසුව 119 දුරකථන අංකය ඔස්සේ පොලිස් තොරතුරු මධ්‍යස්ථානයට කළ දැනුම් දීමෙන් අනතුරුව මල්වතුහිරිපිටිය පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

පහරදීම හේතුවෙන් සිහිසුන් වු එක් කාන්තාවක් ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ.

එලෙස මිය ගොස් ඇත්තේ 77 හැවිරිදි පිටුවල්ගොඩ යක්කල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

සැකකරුවන් අත්අඩගුවට ගැනීම සඳහා මල්වතුහිරිපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴

******************************************

පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

(10.10.2021 – 08:05 +0530 – sinhala.adaderana.lk)

නීතිවිරෝධී අයුරුන් ගබඩා කර තිබු පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බළකායට ලද බුද්ධි තොරතුරක් මත ඊයේ (09) දින මීරිගම ස්ථාන දෙකක (2) බලපත්‍ර නොමැතිව, නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබු එම පුපුරණ ද්‍රව්‍ය සමග 39 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී ව්‍යාජ කරුණු ඉදිරිපත් කර එම පුපුරණ ද්‍රව්‍ය ලබාගෙන වෙනත් පාර්ශවයන්ට මුදලට අලෙවි කරන බව අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය අතර, ග්‍රෑම් 130 කට ආසන්න වොටර් ජෙල් කූරු 81 ක්, ඇමෝනියා නයිට්ට්‍රේට් කිලෝ ග්‍රෑම් 75 ක්, විදුලිමය නොවන ඩෙටනේටර් 107 ක් හා සේවා නූල් මීටර් 360 ක් ද වන බව විශේෂ කාර්ය බළකාය පවසයි.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මීරිගම පොලීසිය විසින් සිදුකරනු ලබයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *