කිලෝවක් ලක්ෂ අටයි (8) … අපේ විද්‍යාඥයින්ගේ ග්‍රැෆීන් ව්‍යාපෘතිය මෙන්න …

කිලෝවක් ලක්ෂ අටයි (8) … අපේ විද්‍යාඥයින්ගේ ග්‍රැෆීන් ව්‍යාපෘතිය මෙන්න …

*********************************************

කිලෝවක් ලක්ෂ අටයි (8) … අපේ විද්‍යාඥයින්ගේ ග්‍රැෆීන් ව්‍යාපෘතිය මෙන්න …

(09.10.2021 – 11:20 +0530 – lankacnews.com)

ශ්‍රී ලංකාවේ ණයබර පවා මුළුමනින්ම ගෙවා දැමිය හැකි ඛනිජ සම්පත් රැසක් මෙරට පිහිටා තිබේ. ඒවායේ වටිනාකම නිසි පරිදි ලබාගැනීමට නොහැකිවීමේ කරුමයකට මේ රට මුහුණ පා සිටී.

ග්‍රැෆීන් යනු එවැනි කතාවකි. ලෝකයේ ග්‍රැෆීන් හඳුන්වන්නේ ‘වොන්ඩර් මෙටීරියල්’ කියායි.

ශ්‍රී ලංකාවේ පිරිසිදු මිනිරන් වලින් ග්‍රැෆීන් නිෂ්පාදනය කර ගෝලීය වෙළෙඳපොළට අලෙවිකිරීම සඳහා ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ තරුණ විද්‍යාඥයින් කණ්ඩායමක් එක්ව සිදුකරන ව්‍යාපෘතිය මේ වනවිට සාර්ථක අදියරකට පැමිණ තිබේ.

මේ ආකාරයෙන් එක් ග්‍රැෆීන් කිලෝවක් අලෙවි කිරීමෙන් රුපියල් ලක්ෂ 08 ක් පමණ උපයාගත හැකියැයි අනාවරණය වේ.

මේ නිසා, සියවස් ගණනාවක් තුට්ටුවට දෙකට අලෙවිකළ ශ්‍රී ලංකාවේ මිනිරන් අති දැවැන්ත මුදලකට ගෝලීය වෙළෙඳපොළට අලෙවි කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.

මෙම ව්‍යාපෘතිය පිළිබඳව ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ තරුණ විද්‍යාඥයින් අන්තර්ජාල නාලිකාවක් සමග පැවැත්වූ සාකච්ඡාව මෙහි දැක්වෙයි.

******************************************

සුදුළූණු වංචාවේ දත්ත මකා දැමීමක්.. ඇමති පුත‍්‍රයෙකුත් පැටලෙයි.. ෂොපින් බෑග් ටෙන්ඩරය කෝටි 27 ක්..

(08.10.2021 – 22:00 +0530 – lankacnews.com)

‘ලක් සතොස’ ආයතනයේ සිදුව ඇති සුදුළූණු වංචාවට අදාළ සියලු දත්ත දැන් මකා දමමින් සිටින බව එහි හිටපු හිටපු විධායක අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

දැනට විෂයභාර අමාත්‍යවරුන් එම ධුරයන්හි තබාගෙන සිදුකරන පරීක්ෂණ පලක් නැති බවද ඒ මහතා කියයි.

පසුගිය යහපාලන රජයේ හිටපු ඇමතිවරයකුගේ ඥාති පුත්‍රයෙකුට ‘ලක් සතොස’ ෂොපින් බෑග් කොන්ත්‍රාත්තුව ලබා දී ඇති බවත් එය මිලියන 270 ක වටිනාකමක් ඇති බවත් ඒ මහතා පැවසීය.

‘ලක් සතොසේ’ තේපැන් වියදම පමණක් රුපියල් මිලියන 29 ක් යැයිද ඔහු පවසයි.

අද සතොස ආයතනයේ සංචාරක බංගලා පාවිච්චි කරන්නේ අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ අය බවත් සතොස වාහන තිබියදී කුලී වාහන වලට අසාමාන්‍ය ලෙස මුදල් ගෙවමින් සිටින බවත් ඔහු කියා සිටී.

සියලු දූෂණ හෙළි කිරීමට තමන් ජනාධිපතිතුමා මුණගැසීම සඳහා වෙලාවක් ඉල්ලා ඇති බවත් කතාව ඇසූ ගමන් එතුමා සතොස වසා දමනු ඇති බවත් ඔහු කියයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේය.

07-10-2021

******************************************

බුලත්සිංහල දී මනුෂ්‍ය ඝාතනයක්

(09.10.2021 – 06:41 +0530 – hirunews.lk/sinhala)

බුලත්සිංහල පොලිස් වසමේ අක්කර තුන ප්‍රදේශයේ දී ඊයේ (08) වැනි දින මනුෂ්‍ය ඝාතනයක් සිදු වී තිබෙනවා.

සිය නිවස තුළ මෙසේ ඝාතනය කර තිබුණේ ,වයස අවුරුදු 54 ක බුලත්සිංහල – ගෝවින්න ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු ව මෘත ශරීරය හොරණ මූලික රෝහලේ තබා ඇති අතර, ඝාතනය පිළිබඳ ව මිය ගිය කාන්තාවගේ අනියම් සැමියාව සැකපිට අත් අඩංගුවට ගත් බව වාර්තා වෙනවා.

සිද්ධිය සම්බන්ධ ව වැඩිදුර පරීක්ෂණ බුලත්සිංහල පොලිසිය විසින් සිදු කරනු ඇති ෴

******************************************

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 63 දක්වා ඉහළට

(09.10.2021 – 06:57 +0530 – hirunews.lk/sinhala)

රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව වයස අවුරුදු 63 ක් බවට ප්‍රකාශයට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එය ක්‍රියාත්මක වන්නේ අගෝස්තු මස 02 වැනි දා සිටයි.

සංශෝධිත විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයට අනුව අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව සංශෝධනය කිරීමේ වගුවට මෙලෙස රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන්ද ඇතුළත් කරන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් නිකුත් කළ මෙම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

******************************************

පුරාවස්තු ලබාගැනීමේ අරමුණෙන් කැණීම් කළ පිරිසක් අත්අඩංගුවට

(09.10.2021 – 07:01 +0530 – hirunews.lk/sinhala)

වැලිකන්ද පොලිස් වසමේ නිලධාරින් විසින් සිදු කළ වැටලීමකින් වැලිකන්ද – අසේලපුර ප්‍රදේශයේ නීති විරෝධී කැණීම් කටයුතු සිදු කළ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහි දී අත්අඩංගුවට ගෙන ඇත්තේ, 20, 23, 29, 33, 37 හා 59 යන වයස්වල පසුවෙන වැලිකන්ද හා කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.

අදාළ සැකකරුවන් පිරිස අද (09) දින මනම්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, වැලිකන්ද පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ඇති.

මේ අතර, මුලතිව් විශේෂ කාර්‍ය බලකා නිලධාරින් විසින් සිදු කළ වැටලීමකින් විකිණීමට ගජමුතු රැගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වව්නියාව ප්‍රදේශයේ දී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 29 හා 53 වයස්වල පසුවන නිකවැරටිය හා මහව
ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් (2) ෴

******************************************

ගුරු සංගම්වලට අයවැයට පෙර තවත් සාකච්ඡාවක්

(09.10.2021 – 07:31 +0530 – hirunews.lk/sinhala)

අයවැයට පෙර, ගුරු වෘත්තීය සමිතිවලට අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡාවකට අවස්ථාවක් ලබාදීමට බලාපොරොත්තු වන බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමිනුයි දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ෴

******************************************

කැනඩාවේ පනතක් ගැන ශ්‍රී ලංකාව අවධානයෙන්

(09.10.2021 – 07:34 +0530 – hirunews.lk/sinhala)

කැනඩාවේ ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායක සභාවේ සම්මත කළ පොදු පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන් සිටින බව විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා කැනඩා රජය වෙත අවධාරණය කර තිබෙනවා.

ඒ මෙරට කැනේඩියානු මහකොමසාරිස් ඩේවිඩ් මැකිනන් හමු වූ අවස්ථාවේදීයි.

ශ්‍රී ලංකාවේ යුද්ධය ගැන සඳහන් කරමිනුයි මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණේ.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විරෝධය පළ කරන බව ද සඳහන් කර ඇති විදේශ අමාත්‍යවරයා ඔන්ටාරියෝ උත්තරීතර අධිකරණයේදී එය අභියෝගයට ලක් කරන බව ද ප්‍රකාශ කර තිබෙනවා.

එල්.ටී.ටී.ඊ. සංවිධානය කැනඩාවේ තහනම් සංවිධානයක් බව ද මෙහිදී අවධාරණය කෙරුණා.

මහකොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇත්තේ මෙය ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායක සභාව විසින් ගනු ලැබූ තීරණයක් වන බැවින් ඊට අදාළව අධිකරණ ක්‍රියාවලියක් පවතින බවයි.

පවතින ප්‍රවණතා පිළිබඳ දැනුවත් කිරීමට ද මහකොමසාරිස්වරයා එකඟතාව පළ කළ බව විදේශ අමාත්‍යාංශය නිවේදනය කළා ෴

******************************************

දැව ප්‍රමිතියත් සහතික වෙයි

(09.10.2021 – 07:39 +0530 – hirunews.lk/sinhala)

ඉතිහාසයේ ප්‍රථම වරට මෙරට භාවිතයට ගැනෙන දැවවල ප්‍රමිතිය සහතික කිරීම සඳහා කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ, වේවැල්, පිත්තල, මැටි, ලී බඩු, ග්‍රාමීය කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීමෙන්.

එහි ලේකම් විජිත බණ්ඩාරනායක මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ, මෙරට දැව අපනයනයේදී දැව ව්‍යාපාරිකයින් මුහුණ දෙන දුෂ්කරතා සහ ආනයනික දැව මෙන්ම මෙරට දැව භාවිතයේදී පාරිභෝගිකයින් මුහුණ දෙන අපහසුතා සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බවයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විශේෂඥ කණ්ඩායමක් විසින් එම ප්‍රමිතිකරණ කටයුතු සිදු කරන අතර ඊට අදාළ පර්යේෂණාගාරය සඳහා අවශ්‍ය සියලු උපකරණ මේ වන විට මිල දී ගෙන තිබෙනවා.

ඒ අනුව වහල සඳහා යොදා ගැනෙන දැව, ගෘහ භාණ්ඩ ඇතුළු සියලු ආනයනික හා දේශීය දැව නිෂ්පාදන මේ යටතේ ප්‍රමිතීකරණයකට ලක් වෙනු ඇති ෴

******************************************

‘එක්ස්ප්‍රස් පර්ල්’ ගැන ඉදිරි පියවර මාර්ගෝපදේශ ලැබීමෙන් පසු

(09.10.2021 – 07:45 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායට ආසන්න මෙරට මුහුදු කලාපයේදී ගිනිබත් වී ගිලී ගිය ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව අත්අඩංගුවට ගැනීමට අදාළ දැනුම් දීමි, උපදෙස් සහ මාර්ගෝපදේශ තමාට නිල වශයෙන් ලැබීමෙන් අනතුරුව ඊට අදාල පියවර ගන්නා බව හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා මහතා පවසනවා.

හිරු ප්‍රවෘත්තී අංශය කල විමසීකදී ඔහු කියා සිටියේ, අදාළ නෞකාව අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය උපදෙස් තමන්ට මෙතෙක් නිල වශයෙන් ලැබී නොමැති බවයි.

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ වානිජ මහාධිකරණය පසුගිය 07 වැනි දා වරෙන්තුවක් නිකුත් කර තිබුණා.

මේ අතර නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ, මීට පෙර ලැබුණු අධිකරණ නියෝගයට අනුව ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවට ආරක්ෂාව සැපයීමේ කටයුතු තවදුරටත් අඛණ්ඩව සිදු කෙරෙන බවයි.

ඒ අනුව දෛනිකව නෞකාව දක්වා නාවික මුර සංචාර සිදු කරන බවත් නෞකාව ආශ්‍රිතව නාවික කණ්ඩායම් යෙදවීමට පියවර ගෙන ඇති බවත් ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ කොන්දේසි හා නියමයන්ට යටත්ව මුහුදු පතුළේ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු මෙ මස අවසානයේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

මේ අතර ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනි ගැනීමෙන් සිදුවූ පරිසර හානිය ගණනය කිරීමේදී එම හානිය නැවත ප්‍රතිස්ථාපනය කිරීම සඳහා යන වියදම් ද ඇතුළත් කර ගණනය කිරීම් සිදු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා සමූද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට උපදෙස් ලබා දුන්නා ෴

******************************************

ඇල්පිටියේ ලඳු කැලෑවකින් පුද්ගලයෙකුගේ ශරීර කොටස් හමුවෙයි

(09.10.2021 – 08:59 +0530 – hirunews.lk/sinhala)

ඇල්පිටිය, පිටුවල පහළවාදී වත්ත, දෙකේ කණුව ප්‍රදේශයේ ලඳු කැලෑවක තිබී පුද්ගලයෙකුගේ ශරීර කොටස් කිහිපයක් ඊයේ (08) රාත්‍රියේ ඇල්පිටිය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයක දී මෙම ශරීර කොටස් සොයාගෙන ඇති අතර ඒ අසල තිබී ඇඳුම් කැබලි කිහිපයක් ද සොයා ගැනීමට පොලිසියට හැකිව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අස්ථි කොටස් සොයාගත් ස්ථානය ඊයේ (08) රාත්‍රියේ ම මහේස්ත්‍රාත්වරයා පරීක්ෂාවට ලක්කර ඇති අතර වැඩිදුර පරික්ෂණ සඳහා අදාල ශරීර කොටස් ඇල්පිටිය රෝහල වෙත යොමුකර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

WHO අනුමත කොවිඩ් එන්නත් ලබාගත් විදෙස් සංචාරකයින්ට ඇමරිකාවේ දොර ඇරේ

(09.10.2021 – 06:56 +0530 – hirunews.lk/sinhala)

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි භාවිතය සඳහා අනුමත කළ ඕනෑම කොරෝනා එන්නතක් ලැබූ ජාත්‍යන්තර සංචාරකයින්ට අමෙරිකාවට ඇතුළුවීමට අවස්ථාව හිමිවන බව සී.ඩී.සී. හෙවත් එරට රෝග පාලන හා වැළැක්වීමේ ආයතනය ප්‍රකාශ කළා.

අමෙරිකානු සී.ඩී.සී. ආයතනය මගින් අනුමත කළ කොරෝනා එන්නත් ලැබූවන්ටද එලෙස එරටට ඇතුළුවීමට අවස්ථාව හිමිවනු ඇති.

චීනය, ඉන්දියාව, බ්‍රසීලය සහ යුරෝපීය රටවල් රැසක් ඇතුළු රටවල් 33 කට පනවා තිබූ සංචාරක තහනම ඉවත් කරන බව අමෙරිකාව පසුගිය සැප්තැම්බර් 20 වැනිදා නිවේදනය කළා.

ඒ, පූර්ණ කොරෝනා එන්නත්කරණය ලැබූවන්ටයි.

එහෙත් එහිදී අමෙරිකාව විසින් පිළිගන්නා කොරෝනා එන්නත් නිවේදනය කෙරුණේ නැහැ.

එය ඉදිරියේදී දැනුම්දෙන බව එහිදී ප්‍රකාශ කෙරුණා. ඒ අනුවයි සී.ඩී.සී. ආයතනය තමන් පිළිගන්නා කොරෝනා එන්නත් ප්‍රකාශයට පත්කර ඇත්තේ.

අමෙරිකානු සෞඛ්‍ය බලධාරීන් හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත් කොරෝනා එන්නත් 06 ක් පූර්ණ වශයෙන් ලැබූවන්ට මේ අනුව අමෙරිකාවට ඇතුළුවීමට අවස්ථාව හිමිවනු ඇති.

ඒ අනුව ෆයිසර්, මොඩර්නා, ජැන්සන්, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා, සයිනොෆාම් සහ සිනොවැක් කොරෝනා එන්නත් ලැබූවන්ට අමෙරිකාවේ සංචාර සඳහා අවස්ථාව හිමිවනවා ෴

+++++++++++++++

ප්‍රතිශක්තීකරණය අඩු අයට තෙවැනි (3) මාත්‍රාවක්

(09.10.2021 – 07:52 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා ආසාදිතයින් 746 දෙනෙකු ඊයේ (08) හඳුනාගනු ලැබුවා.

ඒ අනුව පසුගිය සැප්තැම්බර් 23 සිට 30 දක්වා ප්‍රමාද වි වාර්තා වූ ආසාදිතයින් 641 දෙනෙකු සහ ඊයේ (08) වාර්තා වූ නව අසාදිතයින් සමඟ මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 5,24,937 දක්වා ඉහළ ගියා.

පසුගිය 07 වැනි දා සිදු වූ තවත් කොරෝනා ආසාදිත මරණ 38 ක්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (08) තහවුරු කළා.

ඒ සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 13,267 ක් ලෙසයි.

ඊයේ (08) වාර්තා වූ මරණ ගණන මාස තුනකට (3) පසු වාර්තා වූ අඩුම මරණ සංඛ්‍යාව වන අතර පසුගිය ජූලි මස 07 වැනිදා මරණ 38 ක් වාර්තා වුණා.

ඊට පිරිමින් 20 ක් සහ කාන්තාවන් 18 ක් ඇතුළත්.

මියගිය පිරිස අතර, 26 දෙනෙක් අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් වන අතර, ඊට පිරිමින් 15 ක් ඇතුළත්.

අවුරුදු 30 ත් 59 ත් අතර පුද්ගලයන් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එහි කාන්තාවන් 07 දෙනෙකුද සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 13,267 ක් ලෙසින්.

මේ අතර, පාසල් ළමයින් සඳහා සිදු කරන එන්නකරණ වැඩසටහන අවසන් වූ විට ප්‍රතිශක්තිකරණය නොමැති බෝ නොවන රෝග ඇති පුද්ගලයින්ට තුන්වන (3) මාත්‍රාව ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඊයේ (08) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ, රාත්‍රි 10 සිට අලුයම 04 දක්වා මේ වනවිට පවතින සංචරණ සීමා අඛණ්ඩව පවත්වා ගෙන යාමට කටයුතු කරන බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *