සීනි වංචාවක් ගැන අනාවරණයට ගිය හිරු මාධ්‍යවේදියාට හිරියාල සමූපකාරයෙන් මැර ප්‍රහාරයක්

සීනි වංචාවක් ගැන අනාවරණයට ගිය හිරු මාධ්‍යවේදියාට හිරියාල සමූපකාරයෙන් මැර ප්‍රහාරයක්

*********************************************

සීනි වංචාවක් ගැන අනාවරණයට ගිය හිරු මාධ්‍යවේදියාට හිරියාල සමූපකාරයෙන් මැර ප්‍රහාරයක්

(08.10.2021 – 19:23 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල – හිරියාල සමුපකාරයේ වැඩි මිලට සීනි අලෙවි කිරීමේ ජාවාරමක් අනාවරණය කිරීමට ගිය හිරු ප්‍රාදේශීය මාධ්‍යවේදියාට එහි සභාපතිවරයා ඇතුළු පිරිසක් පහර දී කැමරාවට හානි සිදුකර තිබෙනවා.

කෘතීම ලෙස සීනි මිල ඉහළ දැමීම සඳහා පසුගිය කාලයේ ව්‍යාපාරිකයින් සීනි තොග සඟවා තැබීමත් සමඟ සීනි මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියා.

නමුත්, හිරු ප්‍රවෘත්ති ඔස්සේ එම වංචනික ක්‍රියා හෙළිකිරීමත් සමඟ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එම සීනි තොග සඟවා තිබු ගබඩා වටලනු ලැබුවා.

අනතුරුව, එම සීනි තොග සමුපකාර සහ සතොස ඇතුළු ආයතන වෙත මුදා හැරියේ රුපියල් 122 සිට 128 දක්වා වූ උපරිම සිල්ලර මිල ගණන් යටතේ අලෙවි කිරීම සඳහායි.

මෙවැනි පසුබිමක කුරුණෑගල – හිරියාල සමූපකාරයේ නීති විරෝධීව සීනි රුපියල් 122 බැගින් තොග මිලට අලෙවි කරන බවට තොරතුරු වාර්තා වී තිබුණා.

වංචනික ලෙස වැඩි මිලට සීනි තොග අලෙවි කරන හිරියාල සමූපකාරය වටලන ලෙස පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට තොරතුරු ලබා දුන්නත් ඔවුන් එය මඟහැරීමටයි කටයුතු කළේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් එලෙස වැටලීමට පසුබැස්ස ද, මෙම වංචාව රටට හෙළිකිරීම සඳහා හිරු මාධ්‍යවේදියා හිරියාල සමූපකාරයට ළඟා වුණා.

එහිදී සීනි මිටියක් සඳහා මුදල් ගෙවූව ද ඔවුන් ඒ සඳහා බිල් පතක් ලබාදීම ප්‍රතික්ෂේප කර සිටියා.

මෙම වංචාවට විරුද්ධව පොලිසියට පැමිණිලි කිරීම සඳහා හිරු මාධ්‍යවේදියාට එම ස්ථානයෙන් පිටවීමට ඉඩ ලබා නොදුන් හිරියාල සමුපකාරයේ සභාපතිවරයා ඇතුළු පිරිසක් ඔහුට පහර දී කැමරාවට හානිසිදුකර තිබුණා.

මෙම පහරදීම හා කැමරාවට කළ අලාභය සම්බන්ධයෙන් හිරු මාධ්‍යවේදියා ගොකරැල්ල පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් සිදුකළා.

සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් වූ වහාම හිරු ප්‍රවෘත්ති අංශයට දුරකථන ඇමතුමක් ලබාදුන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සිද්ධිය සම්බන්ධයෙන් සමාව අයැද සිටියා.

අමාත්‍යවරයා පැවසූ පරිදි නිසි ලෙස මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුවේදැයි හිරු ප්‍රවෘත්ති අංශය අවධානයෙන්.

******************************************

ඉතිහාසයේ සිටි දුර්වලම නායකයින් දෙදෙනා ගැන ෆොන්සේකා කියයි

(08.10.2021 – 19:20 +0530 – hirunews.lk/sinhala)

යහපාලන රජය සමයේ සිටි නායකයන් දෙදෙනා (2) ඉතිහාසයේ සිටි දුර්වලම නායකයින් දෙදෙනෙකු (2) බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

******************************************

විදේශ ප්‍රේෂණ පහසු කිරීම සඳහා ‘SL-Remit’ ජංගම යෙදුම ක්‍රියාත්මක කිරීමට පියවර

(08.10.2021 – cbsl.gov.lk)

විදේශ ප්‍රේෂණ ප්‍රවාහ වැඩි කිරීම සඳහා මෙන් ම අවිධිමත් ක්‍රමවේද අධෛර්යමත් කිරීමේ අවශ්‍යතාව හඳුනා ගත් ශ්‍රී ලංකා මහ බැංකුව, නව ප්‍රේෂණ ක්‍රමවේද අධ්‍යයනය කරමින් ශ්‍රී ලංකාවට අඩු පිරිවැයක් සහිත ව විදේශ ප්‍රේෂණ එවීමේ ක්‍රමවේද පිළිබඳ නිර්දේශ සහ යෝජනා ඉදිරිපත් කිරීමට ක්‍රියාකාරී කමිටුවක් පත් කරනු ලැබී ය.

මෙම ක්‍රියාකාරී කමිටුව ලංකා බැංකුව, මහජන බැංකුව, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, හොංකොං සහ ෂැංහයි බැංකුව, කාගිල්ස් බැංකුව, ඩයලොග් ආසියාටා, මොබිටෙල් (පුද්ගලික) සමාගම සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ පළපුරුදු වෘත්තිකයන්ගෙන් සමන්විත විය.

ක්‍රියාකාරී කමිටුව විසින් ශ්‍රී ලංකාවට වැඩි ප්‍රේෂණ ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීම සඳහා ‘SL-Remit’ නමින් ජාතික ප්‍රේෂණ ජංගම යෙදුමක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති අතර මෙහි ස්වයං පරිශීලක ලියාපදිංචිය, ගෝලීය මුදල් හුවමාරු ක්‍රියාකරුවන්ට හා ගෝලීය මූල්‍ය තාක්ෂණ සේවා සැපයුම්කරුවන්ට සම්බන්ධ වී ඕනෑ ම රටක සිට මුදල් එවීමට පහසුකම් සැලසීම, ශ්‍රී ලංකාව තුළ ඕනෑ ම බැංකු ගිණුමකට / ජංගම පසුම්බියකට ක්ෂණික ව අරමුදල් මාරු කිරීම වැනි විශේෂාංග ඇතුළත් ව තිබේ. මෙයට අමතර ව ආකර්ශණීය විදේශ විනිමය අනුපාත ඉදිරිපත් කිරීම, අඩු ගනුදෙනු ගාස්තු සහිත වීම සහ සෘජු බිල්පත් ගෙවීමේ පහසුකම වැනි වටිනාකම් එකතු කළ සේවාවන් රැසක් ද මෙම යෙදුමට ඇතුළත් වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව, මෙම ‘SL-Remit’ ජංගම යෙදුම මුදල් අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ලංකා ක්ලියර් (පුද්ගලික) සමාගම වැනි පාර්ශ්වකරුවන්ගේ සහාය ඇති ව ක්‍රියාත්මක කරනු ලබයි ෴

******************************************

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමට සහන කාලයක්

(08.10.2021 – 20:42 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම සඳහා සහන කාලයක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ ආදායම් බලපත්‍ර නිකුත් කරනු ලබන පරිගණක පද්ධතිය වරින් වර බිඳවැටීම හේතුවෙන්.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික නියෝජිතායතනය විසින් පද්ධති පරිපාලකත්වය දරන වාහන ආයාදයම් බලපත්‍ර නිකුත් කරන පරිගණක පද්ධතියේ ධාරිතාව ඉක්මවා ඇති බවයි බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරිය නිවේදනය කළේ.

මේ හේතුවෙන් එම පරිගණක පද්ධතිය වරින් වර බිඳවැටීම හේතුවෙන් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ යම් ප්‍රමාදයක් සිදුවුව ද පද්ධතිය ක්‍රියාත්මක වන සෑම අවස්ථාවකදීම මහජනතාවට බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරනු ලබනවා.

ඉදිරියේදී පරිගණක පද්ධතිය යථාවත් කිරීමට විධිමත් ක්‍රියාමාර්ග ගන්නා තෙක් ලබන අඟහරුවාදා (12) සිට 31 වනදා දක්වා කල් ඉකුත් වන බස්නාහිර පළාතේ වාහන සඳහා නොවැම්බර් මස 30 වන දින දක්වා දඩ අය කිරීමකින් තොරව ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සහන කාලයක් ලබාදීමටයි තීරණය වී ඇත්තේ.

******************************************

පාලන මිල ඉවත් කළ භාණ්ඩ නිෂ්පාදන සමාගම්වලට දැනුම්දීමක්

(08.10.2021 – 21:52 +0530 – hirunews.lk/sinhala)

භාණ්ඩ වර්ග 4 ක පාලන මිල ඉවත් කළ ද ඉදිරියේදී ලෝක වෙළඳපොලේ යම් මිල අඩු කිරීමක් සිදුකළ හොත් එයට සාපේක්ෂව භාණ්ඩ මිල අඩු කිරීමක් සිදු කළ යුතු බවට සමාගම්වලට දන්වා ඇතැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය කියාසිටියේ ලබාදී තිබෙන නිදහසින් අයුතු ප්‍රයෝජන ගෙන අසාධාරණ ලෙසට මිල වැඩි කිරීමක් සිදු කළහොත් නැවත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් මිල පාලනය කිරීමට සිදුවන බවට ද සමාගම්වලට දන්වා ඇති බවයි.

ඊයේ (07) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී සාකච්ඡා කර කිරිපිටි තිරිඟු පිටි, සිමෙන්ති සහ ගෑස් වෙනුවෙන් පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට තීරණය කෙරුණා.

කෙසේවෙතත් පාලන මිල ඉවත් කරන ලද භාණ්ඩ සම්බන්ධයෙන් අසාධාරණ, අධික මිල වැඩි කිරීමක් සිදු නොකිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසටයි ජනාධිපතිවරයා සහ වෙළඳ අමාත්‍යවරයා විසින් අදාළ සමාගම්වලට දන්වා ඇත්තේ.

ඒ අනුව අද (08) දිනයේ අදාළ සියලු සමාගම් කැඳවා මේ පිළිබඳ දැනුවත් කර තිබෙනවා.

ඉතා කඩිනමින් භාණ්ඩ නිෂ්පාදනය වැඩි කර භාණ්ඩ සුලබ කිරීමට ද කටයුතු කරන ලෙසටයි ඔවුන්ට උපදෙස් ලබාදී ඇත්තේ.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය සිය නිවේදනයේ දක්වා ඇත්තේ පසුගිය මාස 6 කට ආසන්න කාලයක් තිස්සේ මෙම භාණ්ඩවල ලෝක වෙළඳපොලේ මිල සීඝ්‍ර වැඩිවීමකට ලක්වී තිබුණ ද රජය ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගෙන එම බර පාරිභෝගිකයාට ලබා නොදීමට කටයුතු කළ බවයි.

එමෙන්ම අයකරනු ලබන බදු අඩු කරමින් මිල පෙර මට්මේම පවත්වාගෙන යාම සඳහා කටයුතු කළ බව ද එම අමාත්‍යංශය පෙන්වා දෙනවා.

භාණ්ඩ කිහිපයක පාලන මිල ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

(08.10.2021 – 23:30 +0530 – hirunews.lk/sinhala)

කිරිපිටි, තිරිඟු පිටි, ගෑස් සහ සිමෙන්තිවල පාලන මිල ඉවත් කිරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

තිරිඟු පිටි, කිරි පිටි, ගෑස් සහ සිමෙන්ති සඳහා මෙතෙක් පැවති පාලන මිල ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය සහ ජනාධිපතිවරයා අතර ඊයේ (07) පැවති විශේෂ රැස්වීමේදී තීරණය කෙරුණා.

ඒ අනුව, නව භාණ්ඩවල මිල ගණන් තීරණ කිරීම සඳහා භාණ්ඩ සැපයුම්කරුවන් පාරිභෝගික ආරක්ෂන රාජ්‍ය අමාත්‍යවරයා හමුවී සාකච්ජා සිදුකළා.

ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය අතර ඊයේ (07) පස්වරුවේ පැවති විශේෂ සාකච්ජාවේදී තිරිඟු පිටි, කිරිපිටි, ගෑස් සහ සිමෙන්ති සඳහා මෙතෙක් පැවති පාලන මිල ඉවත් කිරීමට තීරණය කෙරුණා.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසුවේ පාලන මිල ඉවත් කළද පාරිභෝගික ජනතාව පීඩාවට පත්වන අයුරින් එම භාණ්ඩවල මිල අසාධාරණ ලෙස ඉහළ නැංවීමට ඉඩ නොදෙන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බවයි.

ඒ අනුව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය රාජ්‍ය අමාත්‍යවරයා සමඟ අද (08) පෙරවරුවේ සිදුකල සාකච්ජාවේදී ආනයනකරුවන් යෝජනා කර ඇත්තේ ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 1300 ක උපරිමයකටත්, ග්‍රෑම් 400 ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 520 කටත් අලෙවි කිරීමටයි.

කිරිපිටි කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 945 ක පාලන මිලක් පැවති අතර ආනයනකරුවන් මිල ඉහල දැමිමට යෝජනා කර ඇත්තේ එය රුපියල් 1300 ක් දක්වායි. ඒ අනුව කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 355 කින් ඉහළ යනු ඇති.

උපරිම මිල රුලියල් 380 ක් ලෙස පැවති ග්‍රෑම් 400 ක කිරිපිටි පැකට්ටුවක් මිල ඉහල දැමිමට යෝජනා කර ඇත්තේ රුපියල් 520 ක් දක්වායි. ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල 140 කින් ඉහල යනු ඇති.

මේ අතර සිමෙන්ති සැපයුම්කරුවන් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා හමුවි ඔවුන්ගේ මිල යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. කිලෝග්‍රෑම් 50 ක සිමෙන්ති මිටියක් සඳහා පැවති උපරිම මිල රුපියල් 1005 ක් වූ අතර සැපයුම්කරුවන් මිල ඉහල දැමිමට යෝජනා කර ඇත්තේ රුපියල් 1205ක් දක්වායි. ඒ අනුව සිමෙන්ති මිටියක් රුපියල් 200කින් ඉහල යනු ඇති.

මේ අතර තිරිඟු පිටි සැපයුම්කරුවන්ද පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා හමුවී ඔවුන්ගේ මිල යෝජනා ඉදිරිපත් කළා. තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 87 ක පාලන මිලක් පැවති අතර සැපයුම්කරුවන් මිල ඉහල දැමිමට යෝජනා කර ඇත්තේ රුපියල් 107 ක් දක්වායි. ඒ අනුව තිරුඟු පිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 20 කින් ඉහල යනු ඇති.

මේ අතර ප්‍රීමා සමාගමේ උසස් නිළදාරියෙකු සඳහන් කලේ උපරිම මිල අහෝසි කිරිමේ ගැසට් පත්‍රය රජය නිකුත් කිරිමෙන් පසු තම මිල ගණන් ඉදිරිපත් කරන බවයි.

මේ අතර, ගෑස් සැපයුම්කරුවන්ද පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා හමුවී ඔවුන්ගේ මිල යෝජනා ඉදිරිපත් කළා.

******************************************

පළාත් සභා මැතිවරණය ගැන රජයේ තීරණය මුදල් ඇමති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට දන්වයි

(08.10.2021 – 22:26 +0530 – hirunews.lk/sinhala)

පැරණි මැතිවරණ ක්‍රමය යටතේ හෝ පළාත් සභා මැතිවරණය පැවැත්වීම රජයේ තීරණය බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිවරණ ප්‍රතිසංස්කරණ සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට අද දැනුම් දී තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය සංශෝධන ගෙන ඒමේදී සහය ලබාදෙන බව විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයින් සඳහන් කළා.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

මෑත කාලීනව දිනකදී වාර්තා කළ අඩුම කොවිඩ් මරණ අද (08)

(08.10.2021 – 20:09 +0530 – hirunews.lk/sinhala)

අද (08) සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් මරණ 38 ක් තහවුරු කරනු ලැබුවා.

එය මෑත කාලීනව දිනකදී වාර්තා වූ අඩුම කොවිඩ් මරණ සංඛ්‍යාවයි.

මීට මාස 3 කට පෙර එනම් ජුලි මස 07 වනදා වාර්තා වී ඇත්තේ මරණ 38 ක් වීම විශේෂත්වයක්.

ජුලි මස මරණ 38 වාර්තා වන කාල වකවානුව එළැඹෙද්දී දිනක වාර්තා වන මරණ ක්‍රම ක්‍රමයෙන් ඉහළ යන ප්‍රවණතාවක් දක්නට ලැබුණු අතර අද (08) දින එම මරණ සංඛ්‍යාවම වාර්තා කෙරෙන්නේ දිනකදී වාර්තා වන මරණ ක්‍රමයෙන් පහළ අගයක් ගන්නා සමයකයි.

අද (08) වාර්තා කළ මරණ 38 ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 13,267 ක් ලෙසටයි.

මෙම මරණ අතරට කාන්තාවන් 18 ක් සහ පිරිමින් 20 ක් අයත්.

අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් ඊයේ (07) තහවුරු කළ මරණ අතර නැහැ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (07) තහවුරු කළ මෙම මරණ අතර වයස අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයේ මරණ 12 ක් වනවා.

ඒ පිරිමි 5 ක් සහ කාන්තාවන් 7 ක් වශයෙන්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ කාන්තාවන් 11 ක් සහ පිරිමි පුද්ගලයන් 15 ක් වශයෙන් මරණ 26 ක් සිදුව තිබෙනවා ෴

+++++++++++++++++

තවත් කොරෝනා ආසාදිතයන් 218 ක්

(08.10.2021 – 20:31 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 218 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

අද (08) දිනයේ හමුවූ සමස්ත ආසාදිතයන් ගණන 746 ක්. මෙරටින් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 5,24,937 ක් හඳුනාගෙන තිබෙනවා.

ඉන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 32,488 ක්.

1,79,182 ක් සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 13,267 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *