විභාග දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් තොරව සහතික පත්‍ර ලබාගැනීමට ක්‍රමවේද කිහිපයක්

විභාග දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් තොරව සහතික පත්‍ර ලබාගැනීමට ක්‍රමවේද කිහිපයක්

*********************************************

විභාග දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් තොරව සහතික පත්‍ර ලබාගැනීමට ක්‍රමවේද කිහිපයක්

(08.10.2021 – 16:53 +0530 – hirunews.lk/sinhala)

පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ විභාග දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් තොරව සහතික පත්‍ර ලබාගැනීම සඳහා ක්‍රමවේද කිහිපයක් එම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වාදී තිබෙනවා.

ඒ සඳහා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ නිල ජංගම දුරකථන යෙදවුම වන DoE වෙත පිවිසෙන ලෙසටයි දැනුම්දෙන්නේ.

++++++++++++++++

සබරගමුවත් කල් ඉකුත් වූ රථ වාහන බලපත්‍ර දඩ අත්හිටුවයි

(08.10.2021 – 17:07 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ අගෝස්තු 16 වනදා සිට ඔක්තෝම්බර් 29 දක්වා කාලය තුල කල් ඉකුත් වන වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී දඩ මුදල් අය නොකිරීමට සබරගමුව පළාත් සභාව තීරණය කර තිබෙනවා.

සබරගමුව පළාත් සභාවේ ප්‍රධාන කාර්යාලය හා සියලු ප්‍රාදේශිය ලේකම් කාර්යාල වල වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම පසුගිය පළමුවනදා (01) සිට ආරම්භ කෙරුණා.

එසේම, වායු විමෝචන සහතික, යෝග්‍යතා සහතික මෙන්ම රක්ෂණ සහතික සම්බන්ධයෙන් පවතින කාලසීමාවන් ද දීර්ඝ කර ඇති බවයි සබරගමුව පළාත් සභාව ප්‍රකාශ කළේ ෴

+++++++++++++++++

ඌව පළාතේ පෞද්ගලික බස් රථ හිමියන්ට සහන වවුචර් පිරිනැමේ

(08.10.2021 – 17:14 +0530 – hirunews.lk/sinhala)

ඌව පළාතේ පෞද්ගලික බස් රථ හිමියන් සඳහා සහන වවුචර් පත් ප්‍රදානය කිරීම අද (08) සිදුකෙරුණා.

ඒ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සහ ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතාගේ ප්‍රධානත්වයෙන් ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේදීයි.

පෞද්ගලික බස් රථ යලි ධාවනයට එකතු කරලීම සඳහා ඒවායේ නඩත්තු කටයුතු සිදුකර ගැනීමට යම් සහනයක් ලබාදෙන ලෙස සිදුකළ ඉල්ලීමට අනුව මෙම සහන වවුචර් පිරිනමා තිබෙනවා.

ඌව පළාතේ මෙම හිමිකම ලබන බස් රථ හිමියන් 1064 ක් සිටින අතර අද (08) දිනයේදී පළාත් අතර ධාවනය කෙරෙන බස් රථ සේවකයන් 300 දෙනෙකුට සහ අන්තර් පළාත් ධාවකයන් 150 දෙනෙකුට වව්චර් පත් ලබාදී තිබෙනවා.

ඉතිරි වව්චර් පත් ඉදිරියේදී ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ. මේ අතර මෙම අවස්ථාවට එක්වෙමින් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ ලබන 21 වනදා වන විට පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරීමට හැකිවෙතැයි අපේක්ෂා කරන බවයි.

ඔහු මෙහිදී කියාසිටියේ පෞද්ගලික බස් රථ ධාවනයේ අඩුවක් මේවන විට දක්නට ලැබෙන බවයි.

බස්නාහිර පළාතේ බස් රථ 8000 ක් ධාවනය වීමට තිබුණ ද මේවන විට ධාවනය වෙමින් පවතින්නේ බස් රථ 900 ක ප්‍රමාණයක් පමණක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

බස් රථ අලුත්වැඩියා කිරීමට සිදුව තිබීම මෙන්ම බස් රථ සේවකයන් වෙනත් රැකියාවලට යොමුවී සිටීම ඊට හේතුව බවයි ඔහු සඳහන් කළේ.

දැනට නිරතවන රැකියාව අත්හැර යළිත් බස් සේවයට පැමිණීමෙන් අනතුරුව සංචරණ සීමා පැනවුවහොත් යළිත් තමන්ට රැකියාවක් නොමැති වනු ඇතැයි බියක් ඔවුන් තුල පවතින බව ද රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියාසිටියා.

++++++++++++++++++

තවත් කොරෝනා ආසාදිතයන් 528 ක් හමුවෙයි

(08.10.2021 – 18:20 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 528 ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,24,719 ක් ලෙසටයි.

මේ දක්වා හමුවී ඇති කොරෝනා ආසාදිතයන්ගෙන් 31,780 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 4,79,182 ක්.

මෙරටින් කොරෝනා මරණ 13,229 ක් ද වාර්තාවී තිබෙනවා ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

අඹන්පොල ග්‍රාම නිලධාරිවරයා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු 18 දක්වා රිමාන්ඩ්

(08.10.2021 – 16:35 +0530 – hirunews.lk/sinhala)

පියා සතු සියලු දේපළ තනිව භුක්ති විඳීමේ අරමුණින් වැල්ලවත්ත ප්‍රදේශයේදී, සමීර් ගුලාම් හුසේන් නැමැති කෝටිපති ව්‍යාපාරිකයා ඝතනය කල බවට චෝදනා එල්ල වී සිටින සැකකාර ව්‍යාපාරික පුත්‍රයා ලබන 15 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ එම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී ද සිල්වා හමුවේ අද (08) කැඳවූ අවස්ථාවේදීයි.

සැකකරු යටතේ සේවය කල කළමනාකරුවකු ලවා සකස් කර ගත් පලංචි ගැටයක් සහිත ටයි පටියක් අදාළ ඝාතනය සඳහා යොදා ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට පෙන්වා දුන්නා.

එම දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේ එම කළමනාකාරවරයා ලබා දී ඇති ප්‍රකාශ මගින් ඒ බව තහවුරු වී ඇති බවයි.

ඒ අනුව සැකකරු තම පියාගේ කාර්යාලයට ගිය පසු ඇසුණු කෑගැසීම කුමක්දැයි සොයා බැලීමට එම කාර්යාලයට ගිය අවස්ථාවේ ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයා බිම වැටී සිටි බවත්, පුතු ඝාතනයට ලක්වූ පියාගේ ගෙල සිරකර තිබූ ටයි පටිය ගලවමින් සිටි බව තමා සියැසින් දුටු බවටත් කළමනාකාරවරයා සඳහන් කර ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේ.

එමෙන්ම, අදාළ ටයි පටිය සැකකරුගේ ඉල්ලීම මත තමා විසින් සකස් කර දුන් පලංචි ගැටය සහිත ටයි පටිය බවට කළමනාකාරවරයා හඳුනාගෙන තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ වැඩිදුරටත් පෙන්වා දුන්නේ, ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයාගේ මල සිරුර නැවත ගොඩගෙන සිදු කල විශේෂඥ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් එම මරණය ගෙල සිරකිරීමෙන් අස්ථි බිඳී සිදු වූවක් බවට තහවුරු වී ඇති බවයි.

මේ අතර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ලබන 14 වනදා දක්වා අද (08) යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවේ එම නඩුව කැඳවූ අවස්ථාවේදීයි.

එසේම, මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිමවලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් 16 දෙනෙකු නොවැම්බර් 16 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර කිරීමට කෑගල්ල පළාත්බද මහාධිකරණය අද (08) නියෝග කළා.

අඹන්පොල දකුණ ග්‍රාම නිලධාරිවරයාට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

එසේම, මීගමුව කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ මරණය පිළිබඳ සැක පිට පොලීසිය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඔහුගේ බිරිඳ සහ නිවසේ සේවකයෙකු නිදහස් කරන්නැයි මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අද (08) නියෝග කලේ එම මරණය ස්වභාවික මරණයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වීම හේතුවෙන් ෴

******************************************

රාගල නිවසේ ගින්නට සැක පිට මියගිය දරුවන්ගේ පියා අත්අඩංගුවට

(08.10.2021 – 18:02 +0530 – hirunews.lk/sinhala)

රාගල ප්‍රදේශයේ නිවසක් ගිනිගෙන කුඩා දරුවන් ඇතුලු 5 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව සැකපිට පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මෙම සිද්ධියෙන් මියගිය දරුවන්ගේ පියා බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම ගින්න සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාවක් ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබෙනවා.

නුවරඑළිය රාගල වත්තේ මැද කොටසේ පිහිටි නිවසක් ඊයේ (07) රාත්‍රියේ මෙලෙස ගිනි ගැනීමට ලක්වුණා.

එම සිද්ධියෙන් මියගිය පස්දෙනාගේ (5) සිරුරු නුවරඑළිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසටයි මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර ඇත්තේ.

මෙම සිද්ධියෙන් එකම පවුලේ දරුවන් දෙදෙනෙකු (2) එම දරුවන්ගේ මව සීයා සහ මිත්තණිය මරණයට පත්වුනා.

ඊයේ (07) රාත්‍රී එම නිවසේදී මියගොස් ඇති අවුරුදු 1 ක් වයසැති දරුවාගේ උපන්දින සාදය පවත්වා ඇති අතර රාත්‍රී 10:30 ට පමණ ගින්න හටගෙන ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙම ගින්නට හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.

ඊයේ (07) රාත්‍රී 10:15 ට පමණ ගිනිගැනීමට ලක්වූ නිවස පිහිටි ප්‍රදේශයෙන් පුද්ගලයෙකු කෑගසන හඬ ප්‍රදේශවාසීන්ට ඇසී තිබුණා.

ඒ අනුව ප්‍ර දේශවාසීන් ඒ පිළිබඳව සිදුකළ සොයාබැලීමකදී දැකගැනීමට ලැබී ඇත්තේ අදාළ නිවස ගිනිගනිමින් තිබෙන ආකාරයයි.

ගින්න පාලනය කිරීමට ප්‍රදේශවාසීන් උත්සාහ කළද ඒවන විටත් ගින්න නිවස පුරාම පැතිරීගොස් තිබුණා.

ප්‍රදේශවාසීන් මේ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇත්තේ ඉන් පසුවයි.

පසුව සිදුකළ සොයාබැලීමකදී අනාවරණ වී ඇත්තේ එම නිවසේ පදිංචිව සිටි මව පියා, ඔවුන්ගේ දියණියක් සහ එම දියණියගේ දරුවන් දෙදෙනා (2) ගින්නෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

59 හැවිරිදි රාමයියා තංගයියා, 54 හැවිරිදි සිවනුමුත්තු ලෙච්චමී, 32 හැවිරිදි ජෙයකුමාර් නදියා, 11 හැවිරිදි සහ අවුරුද්දක් වයසැති දරුවන් දෙදෙනා (2) මෙම සිද්ධියෙන් මියගියා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රාගල පොලිසිය විශේෂ විමර්ශනයක් සිදුකරන අතර, රජයේ රස පරීක්ෂකවරයාද ස්ථානීය පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතයි.

******************************************

කොරෝනා ආක්‍රමණයෙන් පසු වැඩිම සංචාරකයන් සැප්තැම්බර් මාසයේ

(08.10.2021 – 18:49 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස වසංගතය ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමෙන් අනතුරුව 2020 මාර්තු මාසයෙන් පසු මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව පසුගිය සැප්තැම්බර් මාසයේදී වාර්තාවී තිබෙනවා.

සැප්තැම්බර් මාසය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 13547ක්.

මේ අතුරින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙන්.

ඉන්දියාවෙන් සැප්තැම්බර් මාසය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 8,251ක්.

මීට අමතරව ජර්මානු සංචාරකයන් 466ක් මෙරට සංචාරය කර ඇති අතර එක්සත් ජනපදයෙන් මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 309ක්.

සැප්තැම්බර් මාසය තුලදී ලොව රටවල් 19ක සංචාරකයින් මෙරට සංචාරය කර තිබෙනවා.

කොරෝනා වසංගතය මෙරට ආක්‍රමණය කිරීමත් සමග 2020 අප්‍රේල් මාසයේදී රට සහමුලින් වසා දැමුණු අතර එතැන් පටන් නොවැම්බර් මාසය දක්වා මාස අටක කාලයක් තුළ කිසිදු සංචාරකයෙක් මෙරටට පැමිණ නැහැ.

මේ වසරේ ජනවාරි මාසයේ සිට සංචාරකයින් යම් ප්‍රමාණයක් මෙරටට පැමිණියද වැඩිම සංචාරකයින් සංඛ්‍යාව වාර්තා වන්නේ සැප්තැම්බර් මාසය තුළයි.

එමෙන්ම පසුගිය අගෝස්තු මාසයේ ද මෙරටට සංචාරකයින් 5040ක් පැමිණ තිබෙනවා.

මේ දක්වා මේ වසර තුළ පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 37924ක්.

2020 වසරේ පළමු මාස තුන ඇතුළත පමණක් මෙරටට සංචාරකයින් 507,311ක් පැමිණ ඇති බවයි සංචාරක මණ්ඩල සංඛ්‍යා ලේඛන සටහන් කරන්නේ ෴

******************************************

පාලන මිල ඉවත් කළ ගැසට් පත්‍රය නිකුත් කළ පසු නව මිල කියන බව කිරිපිටි ආනයනකරුවන් කියයි

(08.10.2021 – 19:34 +0530 – hirunews.lk/sinhala)

තිරිඟු‍ පිටි, කිරි පිටි, ගෑස් සහ සිමෙන්ති සඳහා මෙතෙක් පැවති පාලන මිල ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ පසු කිරිපිටි මිළ ගණන් සංශෝධනය කිරිමට කටයුතු කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එහි සාමාජික ලක්ෂ්මන් වීරසුරිය මහතා මේ බව කියා සිටියේ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සමඟ අද (08) පස්වරුවේ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඊයේ (07) ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය අතර පැවති විශේෂ සාකච්ජාවේදී තිරිඟු‍ පිටි, කිරි පිටි, ගෑස් සහ සිමෙන්ති සඳහා මෙතෙක් පැවති පාලන මිල ඉවත් කිරීමට තීරණය කෙරුණා.

එහිදි ජනාධිපතිවරයා උපදෙස් ලබා දි ඇත්තේ පාලන මිල ඉවත් කළද පාරිභෝක ජනතාව පීඩාවට පත්වන අයුරින් එම භාණ්ඩවල මිල අසාධාරණ ලෙස ඉහළ නැංවීමට ඉඩ ලබා නොදෙන ලෙසටයි.

අද (08) පෙරවරුවේ කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය රාජ්‍ය අමාත්‍යවරයා හමුවි සිදු කළ සාකච්ජාවේදී ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 1300 ක උපරිමයකටත්, ග්‍රෑම් 400 ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 520 කට අලෙවි කිරීමට යෝජනා කර තිබෙනවා.

කිරිපිටි කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 945 ක පාලන මිලක් පැවති අතර ආනයනකරුවන් මිල ඉහල දැමිමට යෝජනා කර ඇත්තේ එය රුපියල් 1300 ක් දක්වායි.

ඒ අනුව කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 355 කින් යළි ඉහළ යනු ඇති. ග්‍රෑම් 400 ක කිරිපිටි පැකට්ටුවක් උපරිම මිල රුපියල් 380 ක් ලෙස පැවති අතර, නව මිළ සංශෝධන යෝජනාව වන්නේ එය රුපියල් 520 දක්වා ඉහළ දැමීමටයි. එම වැඩිවීම රුපියල් 140 ක්.

මේ අතර තිරිඟු‍ පිටි සැපයුම්කරුවන් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා හමු වී යෝජනා කර ඇත්තේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 20 කින් ඉහළ දැමීමට කටයුතු කරන ලෙසයි. තිරිඟු‍ පිටි කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 87 ක පාලන මිලක් පැවතියා.

කෙසේ වෙතත්, ප්‍රීමා සමාගමේ උසස් නිළධාරියෙකු සඳහන් කලේ උපරිම මිල අහෝසි කිරිමේ ගැසට් පත්‍රය රජය නිකුත් කිරිමෙන් පසු තම මිල ගණන් සංශෝධනය කරන බවයි.

එසේම, සිමෙන්ති සැපයුම්කරුවන්ද තම මිල සංශෝධනයන් සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා හමුවී සිය යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

මේ අතර ‘ලංකා සතොස’ ආයතනයේ සිදුවූ බව කියන සුදු ලූනු වංචාවට අදාළව ප්‍රකාශයක් සිදුකළ පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවා තිබුණා.

******************************************

තිරු නඩේෂන් ගෙන් පැය 3 ක ප්‍රකාශයක්

(08.10.2021 – 19:29 +0530 – hirunews.lk/sinhala)

ආන්දෝලනාත්මක පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂගේ සැමියා වන තිරුකුමරන් නඩේෂන් අද (08) අල්ලස් කොමිසම වෙත පැමිණ පැය 03 ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබා දුන්නා.

ඒ, එම කොමිසම සිදුකළ කැඳවීමකට අනුවයි. පෙරවරු 10 ට පමණ එහි පැමිණි තිරුකුමාරන් නඩේෂන් පස්වරු 01 ට පමණ එම කොමිසමෙන් පිටව ගියා.

අල්ලස් කොමිසමේ ලේකම් අප්සරා කල්දේරා කියා සිටියේ වැඩිදුර ප්‍රකාශයක් ලබාගැනීම සඳහා යළිත් ලබන සිකුරාදා කොමිසම හමුවේ යළි පෙනී සිටින ලෙස තිරුකුමරන් නඩේෂන්ට දැනුම් දුන් බවයි.

මේ අතර, විදෙස් මාධ්‍ය වාර්තා කළේ තිරුකුමාරන් නඩේෂන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ පිහිටි ‘සිටි ටවර්’ නමැති ගොඩනැගිල්ලේ සුඛෝපභෝගී මහල් නිවාස දෙකක් (2) මිලදී ගෙන ඇති බවයි.

අදාළ මහල් නිවාස දෙකෙහි හිමිකාරිත්වය සැඟවීමට සැමෝවාහි සමාගමක් හරහා කටයුතු කර ඇති බවද එම මාධ්‍ය තවදුරටත් වාර්තා කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *