ආනයනික කිරිපිටි මිල ගණන්වල වෙනසක්

ආනයනික කිරිපිටි මිල ගණන්වල වෙනසක්

*********************************************

ආනයනික කිරිපිටි මිල ගණන්වල වෙනසක්

(08.10.2021 – 09:59 +0530 – hirunews.lk/sinhala)

ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 1300 ක උපරිමයකටත්, ග්‍රෑම් 400 ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 520 කටත්, අලෙවි කිරීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබෙනවා.

එම යෝජනාව පිළිබඳව පාරිභෝගික අධිකාරියට දැනුම් දීමට කටයුතු කරන බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ආනයනික කිරිපිටි මිල ඉහළ නැංවීමට අවසර නොලැබීම නිසා කිරිපිටි ආනයනය අත්හිටුවීමට ආනයනකරුවන් තීරණය කර තිබුණා.

එමෙන්ම, වානිජ බැංකු හරහා ඩොලර් නිකුත් නොකිරීම නිසා ඔවුන් ගෙන් වූ කිරිපිටි තොග වරායෙන් නිදහස් කර ගැනීම ද පමා වුණා.

එහෙත්, අදාළ විනිමය ලැබීමෙන් පසු එම කිරිපිටි තොග ලබන සඳුදා (11) වරායෙන් නිදහස් කර ගැනීමට කටයුතු කරන බවයි ආනයනකරුවන් ප්‍රකාශ කළේ.

මේ අතර, ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය අතර ඊයේ (07) පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවේදී කිරිපිටිවලට අමතරව, තිරිඟු‍ පිටි, ගෑස් සහ සිමෙන්ති සඳහා මෙතෙක් පැවති පාලන මිල ඉවත් කිරීමට තීරණය කර තිබුණා.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසුවේ, පාලන මිල ඉවත් කළද පාරිභෝගික ජනතාව පීඩාවට පත්වන අයුරින් එම භාණ්ඩවල මිල අසාධාරණ ලෙස ඉහළ නැංවීමට ඉඩ නොදෙන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බවයි.

******************************************

කොරෝනා සීමා නිසා ඇල්ලේ ජනතාව තවමත් අසරණයි

(08.10.2021 – 07:18 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය පාලනයට පනවා ඇති සීමා සමග සංචාරකයන් නොපැමිණීමත් සමඟ සිය ආදායම් මාර්ග අහිමි වීමෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව ඇල්ල සංචාරක ප්‍රදේශයේ සුළු වෙළඳුන් පවසනවා.

ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, රට යලි විවෘත කර ඇති පසුබිමක එම ප්‍රදේශය ද සංචාරකයන් සඳහා විවෘත කරන ලෙසයි.

එමෙන්ම ඇල්ල ප්‍රදේශයේ කුඩා පරිමාණ නවාතැන් සපයන්නන් සහ කුඩා ලැගුම්හල් පවත්වාගෙන යන පිරිස්ද සංචාරකයන් නොපැමිණීම හේතුවෙන් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිනවා.

ඔවුන් සඳහන් කළේ, තමන් ලබාගෙන ඇති ණය ගෙවීම සඳහා රජය මගින් ලබා දුන් සහන මේ වන විට නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවයි.

මේ අතර ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයන් සඳහා සියලු පුරාවිද්‍යා ස්ථාන නැරඹීමට මාර්ගගත ක්‍රමයට එක් ප්‍රවේශ පත්‍රයක් නිකුත් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

සංචාරක මණ්ඩලය සමග සාකච්ඡා කර ඒ පිළිබඳ අවසන් තීරණයකට එළඹෙන ලෙසයි අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ පංච (5) පුද්ගල කමිටුව එහි වාර්තාව ඊයේ (07) අග්‍රාමාත්‍යවරයාට භාර දුන් අවස්ථාවේදීයි.

එහි නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී නිලධාරින්ට උපදෙස් ලබා දුන්නා ෴

******************************************

ෆොස්පේට් බෙදාහැරීම, රාජ්‍ය පොහොර සමාගම්වලට පැවරීමේ තීරණයක්

(08.10.2021 – 07:23 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය පොහොර සමාගම්වලට ෆොස්පේට් පොහොර බෙදාහැරීමේ බලය ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එම අමාත්‍යාංශය නිවේදනය කළේ ෆොස්පේට් සමාගමේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් මෙම උපදෙස් ලබාදී ඇති බවයි.

ෆොස්පේට් පොහොර බෙදා හැරීමේ නිල ඒජන්තවරුන් ලෙස රාජ්‍ය පොහොර සමාගම් දෙක (2) යොදාගෙන ගොවි ජනතාවට සාධාරණ මිලකට පොහොර ලබාදීමේ වැඩසටහනක් සකස් කරන ලෙසට අමාත්‍යවරයා විසින් සමාගමේ කළමනාකාරිත්වයට උපදෙස් ලබා දී තිබෙනවා.

නව ක්‍රමෝපායන් අනුගමනය කරමින් සමාගමේ ආදායම වැඩිකර ගැනීම පිළිබඳවයි එහිදී අවධානය යොමුව ඇත්තේ.

ඒ අනුව, දැනට අක්‍රියව ඇති වාරියපොළ පොහොර බෙදා හැරීමේ ආයතනයේ සේවකයින් ප්‍රධාන පොහොර නිෂ්පාදනාගාරයට අනුයුක්ත කර එහි කටයුතු කාර්යක්ෂම පවත්වා ගැනීමෙන් වැඩි ආදායමක් ඉපයිය හැකි බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇත්තේ ෴

******************************************

වෘත්තීය සමිති සහ හවුල් පක්ෂ අතර හමුවක්

(08.10.2021 – 07:29 +0530 – hirunews.lk/sinhala)

මෙරට ජාතික සම්පත් විදෙස් සමාගම්වලට ලබාදෙන බවට තෙල්, වරාය, සහ විදුලි වෘත්තීය සමිති ඉදිරිපත් කරන චෝදනා සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල්, වරාය, සහ විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (08) පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සෙසු දේශපාලන පක්ෂ කිහිපයක සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාව ඊයේ (07) පස්වරුවේ පැවැත්වුණේ එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.

ඒ සඳහා පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් අමාත්‍ය වාසුදේව නානායක්කාර, ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරු සහ අපේ ජනබල පක්ෂය වෙනුවෙන් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

එම සාකච්ඡාව පැවැත්වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, එහි ජාතික සංවිධායක රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක සහ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන්ගේද සහභාගීත්වයෙන් ෴

******************************************

දුම්වැටිවලටත් මිල සූත්‍රයක්

(08.10.2021 – 07:34 +0530 – hirunews.lk/sinhala)

මෙරට දුම්වැටියක මිල වසරකට වරක් අනිවාර්යයෙන් ඉහළ දැමීමට අදාළ දුම්වැටි මිල සූත්‍රයේ ආකෘතිය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත භාර දී තිබෙනවා.

ඒ, දුම්වැටි හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින්.

එම අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ මෙරට දුම්වැටි භාවිතය අවම කරවීම සඳහා විද්‍යානුකූල හා ගණිතමය ක්‍රමයකට දුම්වැටිවල මිල ඉහළ දැමීම සඳහා මෙම දුම්වැටි මිල සූත්‍රය සකස් කළ බවයි.

මෙම දුම්වැටි මිල සූත්‍රය ක්‍රියාත්මක වීමෙන් 2022 සිට 2026 වසර දක්වා රජයට හිමිවන ආදායම රුපියල් බිලියන 124.6 ක් ලෙස ගණන් බලා තිබෙනවා.

ඒ අනුව මෙම මිල සූත්‍රය ක්‍රියාත්මක වීමෙන් සෑම වසරකදීම රජයේ ආදායම 6% කින් ඉහළ යනු ඇති.

මෙම මිල සූත්‍රයේ ආකෘතිය සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඉන් අනතුරුව එය මෙවර අයවැය වාර්තාවට ඇතුලත් කිරීම සඳහා යොමු කෙරෙනු ඇති.

මේ අතර සක්‍රීය හා අක්‍රීය දුම් පානය හේතුවෙන් මෙරට තුළ දිනකට පුද්ගලයන් 60 දෙනෙකු පමණ මිය යන බව දුම්වැටි හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ප්‍රකාශ කළා.

එම අධිකාරිය සඳහන් කළේ, ඒ අනුව වසරකට පුද්ගලයන් 22,000 ක් පමණ දුම් පානය මුල් කර ගෙන ඇති වන රෝගාබාධ හේතුවෙන් මිය යන බවයි.

එමෙන්ම, දුම්පානය කරන පුද්ගලයකුගේ ආයු කාලය වසර 10 කින් පමණ අඩු වන බව නවතම සමීක්ෂණ මඟින් හෙළි වී තිබෙනවා.

මේ වන විට මෙරට වයස අවුරුදු 40 ට වැඩි පුද්ගලයන් දුම්වැටි භාවිතයට වැඩි නැඹුරුවක් පෙන්නුම් කරන බවයි දුම්වැටි හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සඳහන් කළේ.

එමෙන්ම තරුණ ප්‍රජාව දුම්වැටි භාවිතයෙන් ඉවත් වී තිබීමේ තත්වයක් නවතම වාර්තා මඟින් කැපී පෙනෙන ලෙස නිරීක්ෂණය වන බව දුම්වැටි හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴

******************************************

කොටස් වෙළඳපොළ මිල දර්ශක යළි ඉහළට

(08.10.2021 – 07:49 +0530 – hirunews.lk/sinhala)

කොළඹ කොටස් වෙළඳපොළේ සමස්ත මිල දර්ශකය ඊයේ (07) නැවතත් ඉතිහාසයේ ඉහළම අගය සලකුණු කළා.

එය ඊයේ (07) 9671 ක් ලෙස සටහන් වූයේ බදාදා අත්කර ගත් 9626.45 ක වාර්තාව අභිබවමින්.

ඊට පෙර සමස්ත දර්ශකය පසුගිය සඳුදා ප්‍රථමවරට 9500 සීමාව ඉක්මූවා.

ප්‍රධාන පෙළේ සමාගම් විස්ස (20) නියෝජනය කරන ‘එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා දර්ශකය’ ද ඊයේ 3616.95 ක් දක්වා ඉහළ ගියා.

කොටස් වෙළඳපොළේ ඊයේ (07) දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 3.9 ක් ෴

******************************************

ශ්‍රී ලංකා පළමු ටෙස්ට් නායකයා බන්දුල වර්ණපුරට පාදයක් අහිමි වෙයි

(08.10.2021 – 08:19 +0530 – hirunews.lk/sinhala)

මීට දින කිහිපයකට පෙර හදිසි හෘදයාබාධයකට ලක්වීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කෙරුණු පළමු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් නායකයා වන බන්දුල වර්ණපුර මහතාගේ එක් පාදයක් ඉවත් කර ඇති බව වාර්තා වනවා.

පසුගිය 06 වනදා උදෑසන ඇති වූ හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කෙරුණු 68 හැවිරිදි හිටපු ක්‍රිකට් නායකයා මේ වනවිට රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ රුධිරයේ සීනි මට්ටම ද ඉතා අධික බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ෴

******************************************

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 225 කට උසස් වීම්

(08.10.2021 – 08:24 +0530 – hirunews.lk/sinhala)

2014 වසරේ සිට උසස් වීම් සඳහා සුදුසුකම් ලැබ සිරව තිබූ සහකාර පොලිස් අධිකාරී තනතුරු 225 පූරණය කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2014 සිට උසස්වීම් බලාපොරොත්තුව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුන් 225 කට වහාම ක්‍රියාත්මක වන පරිදි සහකාර පොලිස් අධිකාරී තනතුරු ප්‍රධානය කරන බව පොලිස් හා මහජන ආරක්ශාව භාර අමාත්‍ය විශ්‍රාමික අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා.

මෙලෙස මෙතරම් විශාල පිරිසකට එක්වර සහකාර පොලිස් අධිකාරී තනතුරු ප්‍රධානය කෙරෙන්නේ ඉතිහාසයේ පලමු වරටයි.

මේ සමගම ඊට පහළ ශ්‍රේණීන් සඳහාද සිරවී ඇති උසස්වීම් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි අමාත්‍ය වරයා වැඩිදුරටත් කියා සිටියේ ෴

දිවයින පුරා විසිරී ඇති පොලිස් ස්ථානවල සේවය කරනු ලබන සුදුසුකම් ඇති කාන්තා පොලිස් නිලධාරිනියන් පුරප්පාඩු අනුව පොලිස් ස්ථානාධිපති තනතුරු සඳහා නිර්දේශ කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසනවා.

මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, පොලිස් දෙපාර්තමේන්තුව තුළ සහකාර පොලිස් අධිකාරිවරුන්ගේ දැඩි හිඟයක් තිබූ බවයි.

ලබාදුන් උසස් වීම් හරහා එම හිඟය බොහෝ දුරට මගහැරී යන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

මේ වන විට දිවයින පුරා සක්‍රීය පොලිස් ස්ථාන 560 ක් ඇති අතර, උසස්වීම් ලැබූ සහකාර පොලිස් අධිකාරිවරුන් පුරප්පාඩු ඇති පොලිස් කොට්ඨාසවලට අනියුක්ත කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මෙහිදී සඳහන් කළ යුතු සුවිශේෂී කාරණය වන්නේ, ඉතිහාසයේ කිසිඳු අවස්ථාවක පොලිස් ස්ථානයක ස්ථානාධිපති තනතුර කාන්තාවක් විසින් මෙහෙයවා නො තීබීමයි ෴

******************************************

‘එක්ස්ප්‍රස් පර්ල්’ පාරිසරික හානිය ගණනය කිරීමට අගමැතිගෙන් උපදෙස්

(08.10.2021 – 09:07 +0530 – hirunews.lk/sinhala)

මෙරට මුහුදු සීමාවේදී අනතුරට ලක්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් සිදු වූ පරිසර හානිය ගණනය කිරීමේදී, එම හානිය නැවත ප්‍රතිස්ථාපනය කිරීම සඳහා යන වියදම් ද ඇතුළත් කර ගණනය කිරීම් සිදුකරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට උපදෙස් ලබාදී තිබෙනවා.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරයේ සභාපතිනි නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය වෙත එලෙස ලබාදී ඇති උපදෙස් අනුව අදාළ පරිසර හානිය ගණය කිරීම මේ වනවිටත් සිදුකරමින් පවතින බවයි එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම මුහුදු පතුලේ සුන්බුන් ඉවත් කිරීම, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ කොන්දේසි හා නියමන්ට යටත්ව සිදුකිරීම ඔක්තෝම්බර් මස අවසන් සතියේ හෝ නොවැම්බර් මස පළමු සතියේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

ඊයේ (07) දිනයේත් කොරෝනා ආසාදිතයින් 772 ක්

(08.10.2021 – 07:43 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා ආසාදිතයින් 772 දෙනෙකු ඊයේ (07) හමුවීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 5,23,550 දක්වා ඉහළ ගියා.

පසුගිය 06 වැනිදා සිදු වූ තවත් කොරෝනා ආසාදිත මරණ 44 ක්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (07) තහවුරු කළා.

ඊට පිරිමි න් 25 ක් සහ කාන්තාවන් 19 ක් ඇතුළත්.

මියගිය 39 දෙනෙක් අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් වන අතර, පිරිමින් 24 ක්ද ඊට ඇතුළත් වනවා.

අවුරුදු 30 ත් 59 ත් අතර පුද්ගලයන් 04 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එහි කාන්තාවන් 03 දෙනෙක් සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 13,229 ක් ලෙසින්.

මේ අතර, අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ වන විට පවතින පුරප්පාඩු පිරවීමට අවශ්‍ය අනුමැතිය ලබා දෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශය මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලිමක් කර තිබෙනවා.

සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 22 ක නියෝජිතයන් සමඟ අමාත්‍යාංශයේ ඊයේ (07) පැවති සාකච්ඡාවකදී විෂය භාර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ එම ඉල්ලිම සඳහා මේ වනවිට සාධනීය අවධානයක් යොමුව ඇති බවයි ෴

++++++++++++++++++

පාසල්වල සියලුම ශ්‍රේණි නොවැම්බර් ඇරඹේ

(08.10.2021 – 11:32 +0530 – hirunews.lk/sinhala)

නොවැම්බර් මාසය වනවිට පාසල්වල සියලුම ශ්‍රේණි ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව අදියර 4 ක් යටතේ ලබන 21 වනදා සිට ආරම්භ කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අනතුරුව දරුවන්ට විභාග සඳහා සූදානම් වීම සඳහා යම් කාලයක් ලබාදිය යුතු බවයි ඔහු පැවසුවේ.

පාසල් විවෘතව තිබූ කාලසීමාව තුළ කොතෙක් දුරට විෂය මාලාව ආවරණය වී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා මේ වනවිට තක්සේරුවක් සිදුකරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

කෙසේ වෙතත් විවිධ ඉල්ලීම් ලැබුන ද විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වූ උසස්පෙළ විභාගයේ ප්‍රමිතියේ කිසිදු වෙනසක් සිදු නොකෙරෙනු ඇති ෴

+++++++++++++++++

වයස අවුරුදු 18 ත් 19 ත් අතර සිසු දරුවන්ට ෆයිසර් එන්නත දෙන්නැයි ජනපතිගෙන් උපදෙස්

(08.10.2021 – 11:50 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන 21 වනදා සිට වයස අවුරුදු 18 ත් 19 ත් අතර පාසල් සිසුන්ට ෆයිසර් එන්නත ලබාදෙන ලෙස ජනාධිපතිවරයා විසින් බලධාරීන්ට උපදෙස් දී ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

මෙම වයස් ඛාණ්ඩවල පසුවන සිසු දරු දැරියන්ට ඔවුන්ගේ පාසල් වල සංවිධානය කෙරෙන එන්නත් කඳවුරු හරහා මෙන්ම ඔවුන්ගේ පදිංචියට ආසන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලින්ද අදාළ එන්නත ලබාගත හැකියි.

මේ අතර වයස අවුරුදු 15 ත් 20 ත් අතර ඛාණ්ඩයේ සිසු දරු දැරියන්ට ෆයිසර් එන්නත ලබාදීම සඳහා වෛද්‍ය විශේෂඥ කමිටුවේ අනුමැතිය ගිය සතියේ හිමිවුණා.

මෙම වයස් කාණ්ඩයේ දරු දැරියන්ගේ එන්නත් කරන ක්‍රියාවලිය අවසන් කිරීමෙන් අනතුරුව වයස අවුරුදු 12 ත් 15 ත් අතර ඛාණ්ඩයේ පාසල් දරු දැරියන්ට ෆයිසර් එන්නත ලබාදීමට නියමිතයි.

මේ සඳහා අවශ්‍ය කරන සියලු ෆයිසර් එන්නත් මාත්‍රා මේ වනවිටත් ඇනවුම් කර අවසන් බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ.

දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ඔක්තෝම්බර් මස 21 දක්වා පැවතිය යුතු බව කොවිඩ් මර්ධන විශේෂ කමිටුව තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

අද (08) පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *