තිරිඟු පිටි, කිරි පිටි, ගෑස් සහ සිමෙන්ති සඳහා පැවති පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කරයි

තිරිඟු පිටි, කිරි පිටි, ගෑස් සහ සිමෙන්ති සඳහා පැවති පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කරයි

*********************************************

තිරිඟු පිටි, කිරි පිටි, ගෑස් සහ සිමෙන්ති සඳහා පැවති පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කරයි

(07.10.2021 – 22:10 +0530 – hirunews.lk/sinhala)

තිරිඟු පිටි, කිරි පිටි, ගෑස් සහ සිමෙන්ති සඳහා පැවති පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

රජය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ අද (07) සවස ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය අතර පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි.

කෙසේ වෙතත් පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න කියා සිටියේ පාලන මිල ඉවත් කළ ද පාරිභෝගික ජනතාව පීඩාවට පත්වන අයුරින් මිල වැඩි කිරීම් සිදු කළහොත් ඒ පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි ෴

******************************************

සෞඛ්‍ය සංවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 110 ක්

(07.10.2021 – 17:18 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය පද්ධති වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ අතිරේක මූල්‍යකරණය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 110 ක මූල්‍යාධාරයක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා ගැනීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එම අරමුදල් කොරෝනා කළමනාකරණය කිරීමේ හදිසි මූල්‍ය අවශ්‍යතා සඳහා ප්‍රතිපාදන සපයා ගැනීමට මෙන්ම සැලසුම් කළ කටයුතු සම්පූර්ණ කිරීම ඇතුළු සෞඛ්‍ය පද්ධතියේ වැඩි දියුණු කිරීම වෙනුවෙන් යොදා ගැනීමට නියමිතයි.

මීට අදාළ ගිවිසුමට මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගල මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂවරයා අද (07) අත්සන් තැබුවා ෴

******************************************

සුදු ලූණු වංචාවට අදාලව, අත්අඩංගුවට ගත් පුද්ගලයා 14 වනදා දක්වා රිමාන්ඩ්

(07.10.2021 – 17:46 +0530 – hirunews.lk/sinhala)

‘ලංකා සතොස’ ආයතනයේ සිදුවූ බව කියන සුදුලූණු වංචාවට අදාළ යැයි පැවසෙන දත්ත විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලා අස්වූ එහි හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ හිරු ප්‍රවෘත්ති වෙත විශේෂ හෙළිදරව්වක් සිදුකරමින්.

සුදුලූණු වංචාවට අදාල ලිපිගොනු දිනෙන් දින අතුරුදන් වෙමින් පවතින බව සතොස අභ්‍යන්තර ආරංචි මාර්ග තමාට දැනුම්දී ඇති බවයි හිටපු විධායක අධ්‍යක්ෂවරයා පවසන්නේ.

එමෙන්ම, වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් සතොස ආයතනයේ විනය විරෝධී චෝදනා මත වැඩ තහනමට ලක් වූ සේවකයන් පිරිසක් යළි බඳවාගෙන ඇති බවට ද ඔහු චෝදනා කළා.

පසුගියදා ‘ලංකා සතොස’ ආයතනය සතු සුදුලූණු තොගයක් අමාත්‍ය මණ්ඩල තීරණයට පටහැනිව යමින් තුන්වන (3) පාර්ශවයකට අලෙවි කළ බවට චෝදනා වුණා.

මේ පිලිබඳව මතභේදාත්මක තත්ත්වයක් ඇතිවීමත් සමඟ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පරීක්ෂණයක් ඉල්ලා සිටියා.

මෙම ක්‍රියාවලිය සිදුවන අතරතුර පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂවරයා ලෙස සේවය කළ තුෂාන් ගුණවර්ධන මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වෙමින් වෙළඳ අමාත්‍යවරයා, පාරිභෝගික කටයුතු පිලිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පාර්ශව ගණනාවක සුදුලූණු වංචාව සම්බන්ධයෙන් චෝදනා කළා.

මේ අතර, මෙම සුදුලූණු වංචාව සම්බන්ධයෙන් සුදුලූණු මිලදී ගත් බවට චෝදනා එල්ල වූ පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (06) අත්අඩංගුවට ගත්තා.

බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බව ඔහු අද (07) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී නියෝග කරනු ලැබුවේ සැකකරු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

******************************************

විදුලිබල මණ්ඩල ඉංජිනේරු වෘත්තීය සමිති ‘නිව් ෆෝට්‍රස්’ බලශක්ති ගනුදෙනුව ගැන අස්ගිරි පාර්ශවය දැනුවත් කිරීමට සැරසේ

(07.10.2021 – 18:25 +0530 – hirunews.lk/sinhala)

‘නිව් ෆෝට්‍රස්’ බලශක්ති ගනුදෙනුව නිසා රටට සිදුවන විශාල පාඩුව පිළිබඳව දැනුවත් කිරීම සඳහා හෙට (08) පෙරවරු 09:30 ට අස්ගිරි පාර්ශවයේ මහනාහිමියන් සහ ගැටඹේ විහාරාධිපති හිමියන් හමුවීමට විදුලිබල මණ්ඩල ඉංජිනේරු වෘත්තීය සමිතිය කටයුතු කරනු ලබනවා.

මතභේදයට තුඩු දී ඇති කෙරවලපිටිය යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවේ පක්ෂ නායකයින් පසු ගිය දා කිහිපවරක් රැස් වුණා.

ඒ, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ නිවසේදී යි.

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ ස්වභාවික ගෑස් නල පද්ධතිය සහ ගබඩා සංකීර්ණය ඉදිකිරීම ටෙන්ඩර් කැඳවීමකින් තොරව අමෙරිකාවේ ‘නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම’ට ලබා දීම සම්බන්ධයෙන් මේ වනවිටත් පවතින්නේ දැඩි කතාබහක්.

අදාළ ගනුදෙනුව පිළිබඳ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නියෝජිතයන් පසුගියදා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී රැස්වී සාකච්ඡාවක ද නිරත වුණා.

පසුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද හමුවී සාකච්ඡා කළ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසුණා.

කෙරවලපිටිය එල්.එන්.ජී. හෙවත් ද්‍රව ස්වභාවික වායු බලාගාර සංකීර්ණයේ ආයෝජනය සම්බන්ධයෙන් ලක් රජය සමඟ අවසන් ගිවිසුමකට එළැඹුණු බව අමෙරිකා එක්සත් ජනපදයේ ‘නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම’ පසුගියදා නිවේදනය කළා.

එහි නිල වෙබ් අඩවියට නිකුත් කර ඇති නිවේදනයක දැක්වුණේ, කෙරවලපිටිය එල්.එන්.ජී. අංගනය, යුගදනවි බලාගාරයේ ආයෝජනය සහ මෙරට බලාගාරවලට ගෑස් සැපයීම අදාළ ගිවිසුමට ඇතුළත් වන බවයි ෴

******************************************

‘මැණිකේ මගේ හිතේ’ මැතිසබයට

(07.10.2021 – 19:14 +0530 – hirunews.lk/sinhala)

ලොව දිනූ ශ්‍රී ලාංකික යොවුන් ගායිකා යොහානි ද සිල්වා ගායනා කළ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය අද (07) පාර්ලිමේන්තු සැසිවාරයේදී වාදනය කෙරුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් එම ගීතය එලෙස වාදනය කළේ බුද්ධිමය දේපල පනත යටතේ ඇති කලා කෘති ආරක්ෂා කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ඉදිරිපත් කළ සභාව කල් තැබීමේ යෝජනාව අතරතුරයි.

******************************************

කිරිපිටි සඳුදා (11) සිට වෙළඳපොලට එන ලකුණු

(07.10.2021 – 19:16 +0530 – hirunews.lk/sinhala)

තමන් ගණුදෙනු සිදුකරන වානිජ බැංකු වෙත අද (07) දිනයේදී මහබැංකුවෙන් ඩොලර් විනිමය ලැබුණු බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා සඳහන් කළේ ඩොලර් මිලියන 1.1 ක් මහබැංකුවෙන් එක් වාණිජ බැංකුවක් වෙත ලැබී ඇති බවයි.

ඒ අනුව සඳුදා (11) වනවිට වරාය තුල මේ වනවිට සිර වී ඇති කිරිපිටි තොග නිදහස් කර ගැනීමට කටයුතු කරන බවයි ඔහු සඳහන් කළේ.

කොළඹ වරායේ සිරවී තිබෙන කිරිපිටි මෙට්‍රික් ටොන් 360 ක් නිදහස් කර ගැනීමටයි ආනයනකරුවන් මෙම ඩොලර් විනිමය අපේක්ෂා කළේ ෴

******************************************

ඩයනා ගමගේ සජබෙන් නෙරපයි

(07.10.2021 – 20:46 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ සමගි ජනබලවේගයේ සාමාජිකත්වයෙන් ඉවත්කිරීමට තීරණය කළ බව පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.

සමගි ජන බලවේගයේ විනය කමිටු තීරණය අනුව පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙම තීරණයට එළඹි බව රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කළා.

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ඩයනා ගමගේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගන්නා අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයට පක්ෂව තම ඡන්දයද ලබා දෙණු ලැබුවා ෴

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පාර්ලිමේන්තු මන්ත්‍රිනි ඩයනා ගමගේගෙන් විමසීමක් කළා. ඇය කියා සිටියේ, තමන්ට හිමි පක්ෂයෙන් තමන් නෙරපා හැරීමට කිසිවෙකුටත් නො හැකි බවයි ෴

******************************************

උතුරු පළාත් නව ආණ්ඩුකාර ජීවන් තියාගරාජන්

(07.10.2021 – 21:57 +0530 – hirunews.lk/sinhala)

උතුරු පළාත් නව ආණ්ඩුකාර ලෙස ජීවන් තියාගරාජන් මහතා පත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදු කරනු ඇති බවයි වාර්තා වන්නේ ෴

******************************************

බස්නාහිර පළාතේ ආදායම් බලපත්‍රවල කල් ඉකුත්වන වාහන සඳහා සහන කාලයක්

(07.10.2021 – 22:56 +0530 – hirunews.lk/sinhala)

2021-08-12 සිට 2021-10-31 දක්වා ආදායම් බලපත්‍ර කල් ඉකුත්වන වාහන සඳහා 2021-11-19 දක්වා දඩ අය නොකර බලපත්‍ර නිකුත් කිරීමේ සහන කාලයක් ලබා දෙන බව ‘බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව’ පවසනවා ෴

******************************************

යුද හමුදා පෙරපෙළ රග්බි ක්‍රීඩකයෙක් පිටියේ ඇදවැටී මියයයි

(07.10.2021 – 22:22 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා යුද හමුදා රග්බි කණ්ඩායම නියෝජනය කළ ඉදිරිපෙළ ක්‍රීඩකයකු වන ගයාන් ශානක පුහුණුවීම් අතරතුර හටගත් හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා යුධ හමුදා ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු ලෙස වසර හතරකට (4) අධික කාලයක් ක්‍රීඩා කළ ගයාන් මෙරට ප්‍රමුඛ පෙළේ ලීග් රග්බි තරගාවලි සියල්ලට එක්වූ ක්‍රීඩකයෙක්.

අද (07) උදෑසන පුහුණුවීම් කටයුතු කරමින් සිටියදී ඔහුගේ පපුවේ හටගත් වේදනාවක් පිළිබඳව පැමිණිලි කර තිබෙනවා.

ඉන් අනතුරුව ඇද වැටුණු ඔහු රෝහල් ගත කිරීමෙන් පසු මියගිය බවයි ශ්‍රී ලංකා යුද හමුදා රග්බි කණ්ඩායමට සම්බන්ධ නිලධාරීයෙකු තහවුරු කළේ.

කෙසේ වෙතත් මෙම මරණය කොවිඩ්-19 රෝගය හා සම්බන්ධ නොමැති බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.

කොළඹ වේළුවන විද්‍යාලයෙන් රග්බි ක්‍රීඩාවට පිවිසි 33 හැවිරිදි ගයාන් ශ්‍රී ලංකා යුධ හමුදා ගජබා රෙජිමේන්තුව නියෝජනය කරමින් යුද හමුදා රග්බි කණ්ඩායමට එක්ව සිටියා ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

වයස අවුරුදු 15–19 ත් අතර නිරෝගී දරුවන් සඳහා කොවිඩ් එන්නත

(07.10.2021 – 17:33 +0530 – hirunews.lk/sinhala)

දරුවන් එන්නත්කරණය හා සම්බන්ධව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ මූලිකත්වයෙන් දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මඟින් සිදු කරන්නා වූ යාන්ත්‍රණයම යොදාගනිමින් වයස අවුරුදු 15–19 ත් අතර වයස් කාණ්ඩයේ නිරෝගී දරුවන් හට ෆයිසර් එන්නත ලබා දීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යෝජනා කර තිබෙනවා.

තවද, ආසාත්මිකතා සහ අනිකුත් රෝග වලින් පෙලෙන දරුවන් සඳහා විශේෂඥ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් තුළදී එන්නත ලබා දීම යෝග්‍ය බව එම සංගමය පෙන්වා දෙනවා ෴

+++++++++++++++

තවත් කොරෝනා ආසාදිතයින් 638 ක්

(07.10.2021 – 18:23 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 638 ක් මෙරටින් හමු වී තිබෙනවා. ඒ අනුව මෙරට මුළු ආසාදිතයින් ගණන 5,23,416 ක් ෴

තවත් කොරෝනා මරණ 44 ක් මෙරටින් වාර්තා වනවා. එම මරණ අතර වයස අවුරුදු 30 ට අඩු එක් කාන්තා මරණයක් වාර්තා වනවා.

එම මරණ 44 ත් සමඟ මෙරට මුළු කොරෝනා මරණ ගණන 13,229 ක්.

+++++++++++++++

වයස අවුරුදු 18 ත්, 19 ත් අතර ළමයින්ට ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව එළැඹෙන සඳුඳා (11) සිට

(07.10.2021 – 19:09 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 18 ත්, 19 ත් අතර ළමයින්ට ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ රජයේ රෝහල් පද්ධතිය තුළින් එළැඹෙන සඳුඳා (11) සිට ලබාදීමට එන්නත්කරණ තාක්ෂණික කමිටුව තීරණය කර තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් අද (07) රැස් වී මෙම තීරණය ගත් බවයි.

අද (07) දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 638 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඒ සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 5,23,416 ක්.

කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 435 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4,78,761 ක්.

මේ අතර, සෞඛ්‍ය අංශ වලින් ලබාදෙන මාර්ගෝපදේශ මත ප්‍රවාහන අමාත්‍යාංශයේ උපදෙස් අනුව ලබන 15 වනදා සිට දුම්රිය ධාවනයට සූදානම් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය සහ උඩවලව ඇත්අතුරු සෙවණ ද මේ වනවිට ජනතාව සඳහා විවෘත කර තිබෙනවා.

මේ අතර, ලබන වසරට අදාළ ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ ස්ථාන මරු ලැයිස්තුව සැකසීම ස්ථාන මාරු මණ්ඩලයේ අනුමැතියකින් තොරව සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් අත්තනෝමතිකව සිදුකිරීමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලබන 13 වැනිදා සංකේත වැඩවර්ජනයක නිරත වීමට සූදානම් වනවා.

එසේම, කොරෝනා වසංගතය හේතුවෙන් සෞඛ්‍ය සේවකයින්ට ලබාදුන් රුපියල් 7500 ක මාසික දීමනාව කප්පාදු කිරීම ඇතුළු ඉල්ලීම් 08 ක් මුල්කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව හෙට (08) උදෑසන හතේ (7) සිට දහවල් දොලහ (12) දක්වා සේවයෙන් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.

මේ අතර, කොරෝනා වසංගතයත් සමඟ වසර දෙකක් (2) තුල සියලු අංශයන්හි සිදුවූ පසුබෑම ජය ගැනීමට නව සාමාන්‍යකරණය යටතේ නව ජවයකින් වැඩ කිරීමට සූදානම් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී තිබෙනවා.

ඒ වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද (07) පැවති සාකච්ඡාවකදීයි.

රජයේ සැලසුම් ප්‍රකාරව අපේක්ෂා කළ ඉලක්ක වෙත එළඹීමට නොහැකිවුවත්, සියලු පාර්ශවයන්ගේ කැප කිරීම් මත කොරෝනා මර්දනයට සාර්ථකව මුහුණදීමට හැකිවූ බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

එන්නත්කරණය සමග නව සාමාන්‍යකරණයට කඩිනමින් එළඹීමට උදාවූ අවස්ථාව මග නොහැර ඉලක්ක ජය ගැනීම සියලුදෙනාගේ වගකීම බව ද ජනාධිපතිවරයා එහිදි සඳහන් කර තිබෙනවා ෴

++++++++++++++++

තවත් කොරෝනා ආසාදිතයින් 134 ක්

(07.10.2021 – 20:25 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 134 දෙනෙකු අද (07) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

අද (07) දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 772 ක්.

ඒ අනුව, කොරෝනා ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 5,23,550 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

එමෙන්ම අද (07) දිනය තුළ ආසාදිතව සිටි 435 ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 4,78,761 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *