භාණ්ඩ සැපයීම සම්බන්ධ වෙළඳපොළ ගැටලුවලට කඩිනම් විසඳුම්

භාණ්ඩ සැපයීම සම්බන්ධ වෙළඳපොළ ගැටලුවලට කඩිනම් විසඳුම්

*********************************************

භාණ්ඩ සැපයීම සම්බන්ධ වෙළඳපොළ ගැටලුවලට කඩිනම් විසඳුම්

(06.10.2021 – 14:47 +0530 – hirunews.lk/sinhala)

ඇතැම් භාණ්ඩ වෙළෙඳපොළට සැපයීම සම්බන්ධයෙන් පවතින අර්බුදය විසඳීමට රජය කඩිනමින් මැදිහත් වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

******************************************

පිරිවෙන් සහ සීලමාතා අධ්‍යාපන ආයතන විවෘත කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

(06.10.2021 – 16:08 +0530 – hirunews.lk/sinhala)

පිරිවෙන් සහ සීලමාතා අධ්‍යාපන ආයතන විධිමත් ලෙස සෞඛ්‍ය උපදෙස් වලට අනුව ආරම්භ කිරීම සඳහා වන චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ ලබන 14 වනදා සිට මෙම ආයතන විවෘත කිරීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව, 200 ට අඩු සීලමාතා අධ්‍යාපන ආයතන සහ පිරිවෙන් මෙලෙස ආරම්භ කිරීමට නියමිතයි.

චක්‍රලේඛය : [පිටුව 1][පිටුව 2]

******************************************

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩ සටහනේ කලාපීය සමුළු සභාපති ධුරය විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහට

(06.10.2021 – 16:10 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ ආසියා ශාන්තිකර කලාපීය සාමාජික රටවල පරිසර බලධාරින්ගේ 4 වන සැසිවාරයේ සභාපති ධුරය සඳහා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කරගෙන තිබෙනවා.

දකුණු කොරියානු ජනරජයේ සුවොන්සිටි හි අද (06) පැවති සැසිවාරයේදී ඔහු මෙලෙස එම ධුරයට පත් කරගනු ලැබූ බවයි පරිසර අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

ඒ අනුව, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ලබන වසරේ පෙබරවාරි මාසයේ පැවැත්වෙන එක්සත් ජාතන්ගේ පාරිසරික වැඩසටහනේ පස්වන මහා සභා රැස්වීමේදී ආසියා පැසිෆික් කලාපයේ පරිසර බලධාරින්ගේ නියෝජිත සභාපතිවරයා ලෙස එම සැසිවාරය නියෝජනය කරනු ඇති.

ආසියා පැසිෆික් කලාපයේ පරිසර අමාත්‍යවරුන්ගේ 4 වන සැසිවාරයට සමගාමීව පරිසර බලධාරින්ගේ නියෝජිත සමුළුව මේ දිනවල දකුණු කොරියාවේ සුවොන් නගරයේ පැවැත්වෙන අතර ඊට කලාපීය රටවල් 47 ක පරිසර අමාත්‍යවරුන් සහ බලධාරින් එක්ව සිටිනවා ෴

******************************************

පැන්ඩෝරා ලේඛණවල නම් අඩංගු ශ්‍රී ලාංකිකයින් ගැන පරීක්ෂණ වෙන්නේ මෙහමයි

(06.10.2021 – 16:41 +0530 – hirunews.lk/sinhala)

මහා පරිමාණ මූල්‍ය වංචා පිළිබද පැන්ඩෝරා ලේඛණවල නම් අඩංගු ශ්‍රී ලාංකිකයන්ගේ විමර්ශණ සම්බන්ධ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් අවසන් තීරණය කැබිනට් මණ්ඩලය විසින් ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

අද (06) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මේ බව කියා සිටියා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රජයට කිසිදු සම්බන්ධයක් නැතිවුවද රටේ කීර්තිනාමය වෙනුවෙන් මේ පිළිබද විශේෂ විමර්ශණයක් මගින් සමබර පරීක්ෂණයක් පවත්වන බවයි ජී.එල්. පීරිස් මහතා එහිදී අවධාරණය කලේ.

කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැන්ඩෝරා පත්‍රිකාවල නම් සඳහන් සියලු ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් මසක් ඇතුළත විධිමත් පරීක්ෂණයක් පවත්වා වහාම තමන්ට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසමේ සභාපතිවරයාට නියෝග කර තිබෙනවා ෴

******************************************

නව ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත, සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි

(06.10.2021 – 16:49 +0530 – hirunews.lk/sinhala)

නව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද (06) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

එම පනත් කෙටුම්පත අද (06) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින්.

මෙරට ඛනිජ තෙල් සම්පත් ගවේෂණ කටයුතු නියාමනය සහ කළමනාකරණය ඉලක්ක කර ගනිමින් අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරුණා.

මේ අතර, ලංකා සතොස ආයතනයේ සිදුවූ සුදුලූණු වංචාව සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන්නැයි පොලිස්පතිවරයාට නියෝග කරන ලෙස වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අද (06) පාර්ලිමේන්තුවේදී කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළා.

එසේම, ඉදිරියේදී ගෑස් මිල වැඩි කිරීමට සිදුවනු ඇති බවයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න කියා සිටියේ ෴

******************************************

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කාර්යාලවල සේවා යළි ඇරඹේ

(06.10.2021 – 17:16 +0530 – hirunews.lk/sinhala)

විදේශ අමාත්‍යාංශ, කොන්සියුලර් අංශයේ, කොළඹ කාර්යාලය සතියේ වැඩ කරන දිනවල පෙරවරු 07:30 සිට පස්වරු 03:00 දක්වා සේවා සැපයීම යළි ආරම්භ කර ඇති බව විදේශ අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ ඔන්ලයින් ක්‍රමය ඔස්සේ වේලාවන් වෙන්කර ගැනීමට සේවා අපේක්ෂා කරන්නන් කටයුතු කළ යුතු බවයි.

එමෙන්ම, මාතර, යාපනය, මහනුවර, කුරුණෑගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල පිහිටි කොන්සියුලර් කාර්යාලද සතියේ දිනවල සේවා සපයන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

ගුරු විදුහල්පතිවරුන්ට නිල හැඳුනුම්පතක්

(06.10.2021 – 17:23 +0530 – hirunews.lk/sinhala)

ගුරු විදුහල්පතිවරුන්ට ප්‍රථම වරට නිල හැඳුනුම්පතක් ලබාදීම අද අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා. ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේදීයි.

මෙතෙක් කල් ගුරු විදුහල්පතිවරුන්ට සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිල හැඳුනුම්පතක් නිකුත් කර තිබුණේ නැහැ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මෙම උත්සවයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද සුබ පැතුම් පණිවුඩ එක් කර තබූ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ෴

******************************************

සුදු ලූණු වංචාවට අදාලව එම තොගය මිලදී ගත් බවට සැක කෙරෙන පුද්ගලයා අත්අඩංගුවට

(06.10.2021 – 17:27 +0530 – hirunews.lk/sinhala)

පසුගියදා ආන්දෝලනයට තුඩුදුන් සතොස සුදුලූනු වංචාව සම්බන්ධයෙන් එක් (1) අයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

ඒ අනුව, අදාළ සුදුලූනු තොගය මිලදී ගත් බවට සැකකෙරෙන බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරුව හෙට (07) වැලිසර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

******************************************

යුරෝපා සංගමය ශ්‍රී ලංකාව තුළ සිදුකළ GSP+ නිරීක්ෂණ චාරිකාව අවසන් වේ

(06.10.2021 – 18:17 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට GSP+ පහසුකම් තවදුරටත් ලබාදීම සම්බන්ධයෙන් මෙරට තුළ මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පරිසර, දේශගුණය මෙන්ම දේශපාලන මූලිකාංග පිළිබඳ ව සොයා බැලීමට පැමිණි යුරෝපා සංගමයේ විශේෂ දූත කණ්ඩායමේ සංචාරය අවසන් කෙරුණා.

අදාල විශේෂ දූත කණ්ඩායම මෙම සංචාරය ආරම්භ කළේ පසුගිය සැප්තැම්බර් 27 වැනිදායි.

ඔවුන් මෙහි රැඳී සිටි කාල සීමාව තුළදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්, අධිකරණ අමාත්‍ය අලි ෂබ්‍රි සභා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන අමාත්‍යවරුන් මෙන්ම විවිධ සංගම් නියෝජිතයන් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් ද මුණ ගැසුණා.

මීට අමතරව මෙම දූත පිරිස් මෙරට තුළ සිටින යුරෝපා සංගම් රාජ්‍යයන්හි තානාපතිවරු සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතනවල නියෝජිතයින් සමග ද සාකච්ඡා පවත්වනු ලැබුවා.

2017 වර්ෂයේ දී ශ්‍රී ලංකාව නැවතත් යුරෝපා සංගමයේ GSP+ වැඩසටහනට සම්බන්ධ වූ අතර එම අවස්ථාව ලබා දීමේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට කටයුතු කළ යුතු බවට මෙරටට කොන්දේසියක් ද පනවා තිබුණා.

මෙරට මැති ඇමතිවරුන් සමග පැවැති සාකච්ඡාවලදී එම කාරණා පිළිබඳවත් අවධානය යොමු වූ බවයි යුරෝපා සංගම් මෙරට කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මෙරට ඇඟලුම් ඇතුළු අපනයන ක්ෂේත්‍රයට යුරෝපා වෙළඳපොළට පිවිසීමට ඇති ප්‍රධානතම ප්‍රවේශය වන්නේ ජාත්‍යන්තර සම්මුතීන් සාර්ථකව ක්‍රියාවට නැංවීම බවත් එහිදී අවධානයට ලක් වූ ගැටලු විසඳාගැනීමට යුරෝපා සංගමය 2015 වසරේ සිට ශ්‍රී ලංකා රජය සමඟ සමීපව කටයුතු කළ බවත් යුරෝපා සංගම් මෙරට කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

GSP+ යනු ලොව පහළ හා මැදි ආදායම් සහිත රටවල තිරසර සංවර්ධනය ඉලක්ක කර ගනිමින් එම රටවල නිෂ්පාදන යුරෝපා රටවලට අපනයනය කිරීමේ දී බදු ඉවත් කිරීමට යුරෝපා සංගමය විසින් ක්‍රියාත්මක කරන ඒක පාර්ශවීය වෙළද ගිවිසුමක් ෴

******************************************

සමගි ජනබලවේගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

(06.10.2021 – 19:11 +0530 – hirunews.lk/sinhala)

රජය විසින් මෙරට ජාතික සම්පත් විදෙස් සමාගම් වලට ලබා දෙනවා යැයි කියන සිද්ධියට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික මෙහෙයුම් කමිටුවක් පත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල්, වරාය සහ විදුලි ඒකාබද්ධ සන්ධානයේ වෘත්තීය සමිති නියෝජිතයින් සමග අද (06) විපක්ෂනායක කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයී.

විපක්ෂනායක කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාව සඳහා වරාය, ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය නියෝජනය කරන වෘත්තීය සමිතිවල නායකයින් එක්ව සිටියා.

මේ අතර, රසායනික පොහොර අලෙවි කිරීම සහ භාවිත කිරීම තහනම් කරමින් පසුගිය අප්‍රේල් 27 වනදා අමාත්‍ය මණ්ඩලය අනුමත කරන ලද යෝජනාව බල රහිත කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය අද (06) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළා.

******************************************

‘මැණිකේ මගේ හිතේ’ බී.බී.සී.යට

(06.10.2021 – 19:15 +0530 – hirunews.lk/sinhala)

‘මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් ලොවක් වසඟයට ගත් ශ්‍රී ලාංකික යොවුන් ගායිකා යොහානි, බී.බී.සී. ලෝක ප්‍රවෘත්ති සේවාවේ මුල් පිටුවට ද පිවිසී තිබෙනවා.

ඒ, ඇය සමග බී.බී.සී. ඉන්දියානු සේවාවක මාධ්‍යවේදිනියක් පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක් ද සමගින්.

එහි තේමාව ලෙස සටහන් කර තිබුණේ ඉන්දිය හදවත් දිනූ ශ්‍රී ලාංකික ගායිකාව ලෙසයි. අන්තර්ජාලය කැලඹූ ඇගේ ගායනයට බොලිවුඩ් සුපිරි තරු නර්තනයේ යෙදෙන බවත් එහි සඳහන් කර තිබුණා.

එහිදී ඇය සඳහන් කළේ මැණිකේ මගේ හිතේ ගීතය මෙතරම් පෙරළියක් ඇති කරන බවක් තමන් කිසිවිටෙකත් අපේක්ෂා නොකළ බවයි.

මේ අතර, බොලිවුඩ් පුරයට පිවිසි ශ්‍රී ලාංකික සිනමා තාරකාවක් වන ජැකලීන් ෆර්නෑන්ඩස් සහ යොහානි අතර හමුවට ද සමාජ මාධ්‍ය වල අද විශේෂ ස්ථානයක් හිමිවුණා.

යොහානි, සදීෂාන් සමග ගැයූ ‘මැණිකේ මගේ හිතේ ගීතය’ මේ වනවිට යූ ටියුබ් නාලිකාවේ නැරඹුම්වාර දාහතර කෝටි විසිලක්ෂය (14,20,00,000) ඉක්මවා තිබෙනවා ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

තවත් කොරෝනා ආසාදිතයින් 475 ක් සුව අතට

(06.10.2021 – 14:57 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ආසාදනය වී රෝහල්වල ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයින් 475 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට ව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ මුළු කොවිඩ් රෝගින් ගණන 4,78,326 ක් දක්වා ඉහළ යනු ඇති ෴

තවත් කොරෝනා ආසාදිතයින් 582 ක් මෙරටින් හමු වී තිබෙනවා. ඒ අනුව මෙරට මුළු කොරෝන ආසාදිතයින් ගණන 5,22,584 ක් ෴

තවත් කොරෝනා මරණ 43 ක් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා මරණ ගණන 13,185ක්.

+++++++++++++++++

මුව ආවරණ ගැන විමසූ මීගොඩ පිරවුම්හලක සේවකයන් දෙදෙනෙකුට (2) අමානුෂික ප්‍රහාරයක්

(06.10.2021 – 19:23 +0530 – hirunews.lk/sinhala)

මීගොඩ ඉන්ධන පිරවුම්හලේ පොම්පකරුවන් දෙදෙනෙකුට (2) පහරදුන් පුද්ගලයින් දෙදෙනෙකු (2) සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අද (06) අලුයම මීගොඩ ඉන්ධන පිරවුම්හල වෙත යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි.

මුහුණු ආවරණ නොමැතිව පැමිණීම හේතුවෙන් එම පුද්ගලයන්ගේ යතුරුපැදිය සඳහා ඉන්ධන සැපයීමට පොම්පකරුවන් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ පොම්පකරු සහ ඔවුන් අතර, බහින් බස්වීමක් හට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ කෙසේ වෙතත්, පොම්පකරුවෙකු විසින් අදාළ යතුරුපැදියට ඉන්ධන සපයා ඇති බවයි.

පසුව අදාළ පුද්ගලයා තවත් සහයකයෙකු සමග පැමිණ පොම්පකරුවෙකු ඔසවා පොලොවේ ගසා ඇති බව ද පොලීසිය සඳහන් කළා. පහරදීමෙන් තුවාල ලැබූ පොම්පකරුවෙකු මේ වනවිට කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.

සැකකරුවන් හඳුනා ගැනීම සඳහා සිද්ධියට අදාළ සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ විමර්ශන සිදුකරන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *