‘පැන්ඩෝරා පත්‍රිකා’ සම්බන්ධ ව වහා ම පරීක්ෂණයක් කරන්නැ යි ජනපතිගෙන් නියෝගයක්

‘පැන්ඩෝරා පත්‍රිකා’ සම්බන්ධ ව වහා ම පරීක්ෂණයක් කරන්නැ යි ජනපතිගෙන් නියෝගයක්

*********************************************

‘පැන්ඩෝරා පත්‍රිකා’ සම්බන්ධ ව වහා ම පරීක්ෂණයක් කරන්නැ යි ජනපතිගෙන් නියෝගයක්

(06.10.2021 – 10:35 +0530 – hirunews.lk/sinhala)

මහත් ආන්දෝලනයක් ඇති කළ ලොව පුරා කෝටිපතියන්ගේ සැඟ වූ වත්කම් හෙළි කළ ‘පැන්ඩෝරා පේපර්ස්’ හෙවත් ‘පැන්ඩෝරා පත්‍රිකා’වල නම් සඳහන් සියලු ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් මසක් ඇතුළත විධිමත් පරීක්ෂණයක් පවත්වා වහා ම තමන්ට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබෙනවා.

ජනාධිපතිවරයා අද (06) උදැසන අදාළ නියෝගය සිදු කර ඇත්තේ, අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසමේ සභාපතිවරයාට යි.

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක සඳහන් කළේ මසක් ඇතුළත අදාළ පරීක්ෂණ වාර්තාව තමන් වෙත ලබාදෙන ලෙස ජනාධිපතිවරයා, එම කොමිසමේ සභාපතිවරයා වෙත නියෝග කර ඇති බවයි.

ගෙවී ගිය සති අන්තයේ හෙළි දැක්වුණු මෙම සැඟවුණු වත්කම් හෙළි කෙරුණු ‘පැන්ඩෝරා පත්‍රිකා’ ලිපි ගොනු තුළ මෙරට හිටපු දේශපාලඥයින්ගේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින්ගේ අක් වෙරළ වත්කම් සම්බන්ධයෙන් හෙළිදරව් කිරීම් සිදු ව ඇති බව වාර්තා වුණා.

මෙම අක් වෙරළ වත්කම් සබන්ධයෙන් සිය කැබිනට් මණඩලයේ අමාත්‍යවරුන්ට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අසල්වැසි පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ඉම්‍රාන් ඛාන් ද වහා ම පරීක්ෂණයක් සිදු කරන ලෙස මීට පෙර එරට දූෂණ වංචා විමර්ශන අංශවලට නියෝග කර තිබුණා.

******************************************

ලොව විශාලතම බහාලුම් නෞකාව දැන් කොළඹ වරායේ

(06.10.2021 – 06:21 +0530 – hirunews.lk/sinhala)

ලොව විශාලතම බහාලුම් නෞකාව ලෙස සැලකෙන එවර්ග්‍රීන් සමාගමට අයත් ‘එවර් ඒස්’ දැන් කොළඹ වරායට පැමිණ තිබෙනවා.

එය ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (05) රාත්‍රි 11:04 ට කොළඹ වරායට සේන්දු වූ බවයි නෞකා ගමනාගමනය පිළිබඳ වෙබ් අඩවිවල දැක්වෙන්නේ.

මීටර් 400 ක් දිගැති, මීටර් 62 ක් පළල මෙම නෞකාවේ බහාලුම් 23,992 ක් රැගෙන යා හැකියි.

එවර්ග්‍රීන් නෞකා සමාගමට අයත් මෙම නෞකාව පසුගිය ජූලි මාසයේ දියත් කෙරුණු අතර, පැනමා රජය යටතේ මෙහෙයුම් සිදු කරනු ලබනවා.

කොළඹ වරාය වෙත එය ළඟා වූයේ, නෙදර්ලන්තයේ රොටර්ඩෑම් වරායෙන් පසුගිය මාසයෙන් නික්මීමෙන් අනතුරුව යි.

මෙතරම් විශාල බහාලුම් නෞකාවක් හැසිරවිය හැකි වරාය 24 ක් පමණක් ලොව පවතින අතර, දකුණු ආසියාවේ එය නැංගුරම් ලෑ හැකි එකම වරාය වන්නේ ද කොළඹ වරායයි.

******************************************

ගුරු දිනය අදයි

(06.10.2021 – 06:59 +0530 – hirunews.lk/sinhala)

ලංකාවේ ගුරු දිනය අදට (06) යෙදී තිබෙනවා.

යුනිසෙෆ් ආයතනයෙන් නම් කළ ගුරු දිනය ඔක්තෝබර් පස් වැනිදාට (05) යෙදී තිබුණත් ශ්‍රී ලංකාවේ එය සමරන්නේ ඔක්තෝබර් හය වැනිදාට (06) යි.

ගුරු – විදුහල්පති වර්ජනයට මේ වෙනවිට දීර්ඝ කාලයක් ගෙවී ඇති නමුත් ඊට විසඳුම් නො ලැබුණු තත්ත්වයක් තුළ, සැබෑ ගුරු දිනයේ අර්ථය දරුවන්ට ලබා දෙන්නේ කෙසේ ද යන්න ප්‍රශ්නයක් ෴

******************************************

ලංගමය අද (06) කෝප් කමිටුව හමුවට

(06.10.2021 – 07:39 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල නිලධාරින් අද (06) පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා.

එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ, නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව මෙම කටයුතු සිදු කරන බවයි.

අවශ්‍ය නිලධාරින් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ සම්බන්ධ කර ගැනිමට ද බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කළා.

මේ අතර, නව ඛනිජ තෙල් සම්පත් පනත අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සතු තෙල් සහ ගෑස් නිධි භාවිත කරමින් ඛනිජ තෙල් සහ ගෑස් නිෂ්පාදනය මෙරට තුළ ආරම්භ කිරීම සඳහා අවශ්‍ය නෛතික පසුබිම සහ නියාමන යාන්ත්‍රණය සැකසීම එහි මූලික අරමුණක්.

එමෙන්ම ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ දැවැන්ත ආයෝජකයන් මෙරට තෙල් ගවේෂණ කටයුතු සඳහා ආකර්ශනය කර ගැනීමට මෙමඟින් අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍ය කාර්යාලය සඳහන් කළා.

උපාය මාර්ගික සැලසුමකට අනුව ඛනිජ තෙල් සම්පත් සංවර්ධනය කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම සඳහා ප්‍රතිපත්ති උපදේශක කමිටුවක් ස්ථාපනය කිරීමටද කටයුතු කෙරෙනවා.

ලක් රජයේ සහභාගිත්ව අයිතිය නියෝජනය කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් මෙහෙයුම්කරු ලෙස ‘ශ්‍රී ලංකා නැෂනල් ඔයිල් ඇන්ඩ් ගෑස් ලිමිටඩ්’ යන නමින් සමාගමක් ස්ථාපනය කිරීමද නව පනත මඟින් සිදු වනු ඇති.

බලශක්ති අමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය, සංවර්ධනය, නිෂ්පාදනය හා කළමනාකරණය සහ විධිවිධාන සලසා දීම ද මෙම නව පනත මඟින් සිදු වන බවයි.

පනත සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් දැනුවත් කිරීමේ කමිටු රැස්වීමක් ද පසුගිය දා පාර්ලිමේන්තුවේ දී පවත්වනු ලැබුවා ෴

******************************************

ආණ්ඩුවේ පක්ෂ කිහිපයක් අද (06) ඇමති ගම්මන්පිල මහතාගේ නිවසේ රැස් වේ

(06.10.2021 – 07:44 +0530 – hirunews.lk/sinhala)

මතභේදයට තුඩු දී ඇති කෙරවලපිටිය යුගදනවි බලාගාර ගිවිසුම සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් අද (06) යළිත් වරක් රැස්වීමට නියමිතයි.

ඒ, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ නිවසේදී යි.

මීට පෙර විමල් වීරවංශ අමාත්‍යවරයාගේ නිවසේ පැවති සාකච්ඡාවේ දී අවධානයට ගැනුණු කරුණු සහ අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී පැමිණි එකඟතාවන් පිළිබඳව මෙහිදී යළි සාකච්ඡා කිරීමට නියමිත වනවා.

කෙරවලපිටිය ‘යුගදනවි’ බලාගාරයේ ස්වභාවික ගෑස් නල පද්ධතිය සහ ගබඩා සංකීර්ණය ඉදිකිරීම ටෙන්ඩර් කැඳවීමකින් තොරව අමෙරිකාවේ ‘නිව් ෆෝට්‍රස් එනර්ජි’ සමාගමට ලබා දීම සම්බන්ධයෙන් පවතින්නේ දැඩි කතාබහක්.

අදාළ ගනුදෙනුව පිළිබඳ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නියෝජිතයන් මීට පෙර ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී රැස් වී සාකච්ඡාවක නිරත වුණා.

පසුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද හමුවී සාකච්ඡා කළ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද මුණ ගැසුණා.

කෙරවලපිටිය ‘එල්.එන්.ජී’ හෙවත් ද්‍රව ස්වභාවික වායු බලාගාර සංකීර්ණයේ ආයෝජනය සම්බන්ධයෙන් ලක් රජය සමඟ අවසන් ගිවිසුමකට එළැඹුණු බව අමෙරිකා එක්සත් ජනපදයේ ‘නිව් ෆෝට්‍රස් එනර්ජි’ සමාගම පසුගිය දා නිවේදනය කළා.

එහි නිල වෙබ් අඩවියට නිකුත් කර ඇති නිවේදනයක දැක්වුණේ කෙරවලපිටිය ‘එල්.එන්.ජී’ අංගනය, ‘යුගදනවි’ බලාගාරයේ ආයෝජනය සහ මෙරට බලාගාරවලට ගෑස් සැපයීම අදාළ ගිවිසුමට ඇතුළත් බවයි ෴

******************************************

ගාලු දිස්ත්‍රික් පාසල් 200 ක් සඳහා සුහුරු පන්ති කාමර සහ පරිගණක විද්‍යාගාර

(06.10.2021 – 10:19 +0530 – hirunews.lk/sinhala)

කාලීන ව සංවර්ධනය වෙන අධ්‍යාපනික නව ප්‍රවනතා හමුවේ මෙරට අධ්‍යාපන පද්ධතිය නවීකරණය කිරීම සඳහා ගාලු දිස්ත්‍රික් පාසල් 200 ක් සඳහා සුහුරු පන්ති කාමර හා පරිගණක විද්‍යාගාර ඉදිකිරීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

මේ සඳහා ‘ඉහළ බලපෑමක් සහිත ප්‍රජා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම’ මැයෙන් ඉන්දියාව සමඟ අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුම යටතේ මූල්‍ය ප්‍රතිපාදන ලැබීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රුපියල් මිලියන 300 ක් ලබා දීමට ඉන්දීය ජනරජය එකඟතාව පළ කර බවයි වාර්තා වෙන්නේ.

ඒ සඳහා ඉන්දීය ජනරජය සමඟ අත්සන් කළ යුතු අවබෝධතා ගිවිසුම සම්බන්ධ ව අධ්‍යාපන අමාත්‍යාවරයා ගෙන ආ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළා ෴

******************************************

ශ්‍රී ලංකා තේ කියුබාවේ ප්‍රචලිත කිරීමට පියවර

(06.10.2021 – 10:25 +0530 – hirunews.lk/sinhala)

කියුබානු තානාපති අන්ඩෘස් මාර්සෙලෝ ගොන්සාලේස් වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා හමු වී තිබෙනවා.

එම අමාත්‍යාංශයේ ඊයේ (05) පැවති මෙම හමුවේදී දෙරට අතර සබඳතා වැඩි දියුණු කර ගනිමින් ගෝලීය ව්‍යසනයත් සමඟ බිඳ වැටුණු ආර්ථිකය සංවර්ධනය කරා ගෙන යාම පිළිබඳ සාකච්ඡා සිදුකර තිබෙනවා.

එමෙන්ම, ‘සිලෝන් ටී’ සන්නාමය යටතේ අපනයනය කෙරෙන තේ වෙළඳපොළ තවදුරටත් වර්ධනය කරලීම සඳහා ගත හැකි පියවර ද සාකච්ඡා වූ බව සඳහන්.

කොකෝවා සහ කෝපි වගාව පිළිබඳ තාක්ෂණ දැනුම දෙරට අතර, හුවමාරු කර ගැනීම කෙරෙහි මෙම සාකච්ඡාවේ දී වැඩි අවධානයක් යොමු වූ බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ෴

******************************************

තෙල් සංස්ථාවට අනුබද්ධ එල්.පී.ගෑස් සමාගමක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය

(06.10.2021 – 10:51 +0530 – hirunews.lk/sinhala)

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අනුබද්ධව එල්.පී.ගෑස් සමාගමක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ඊයේ (05) රැස් වූ අමාත්‍ය මණ්ඩලයට විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට තුන්වන (3) තරගකරුවෙකු ලෙස ගෑස් වෙළඳපොළට පිවිසීම සඳහා මඟ සලසමින් එල්.පී. ගෑස් සමාගමක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා.

මේ අතර, ඇතැම් භාණ්ඩ වෙළඳපොළට සැපයීම සම්බන්ධයෙන් පවතින අර්බුදය විසඳීම සඳහා රජය කඩිනමින් මැදිහත් වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (06) සඳහන් කළා.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ මිල ගණන් පිළිබඳ මතුව ඇති ගැටලු හේතුවෙන් මෙලෙස ඇතැම් භාණ්ඩවල හිඟයක් උද්ගතව ඇති බවයි ෴

******************************************

රජයේ ගිනුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට

(06.10.2021 – 11:09 +0530 – hirunews.lk/sinhala)

රජයේ ගිනුම් පිලිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දෙවැනි (2) වාර්තාවේ සංක්ෂිප්තය අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ රජයේ ගිනුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතායි.

මෙහිදී කථානායකවරයාගේ ද අනුමැතිය ඇතිව මෙම වාර්තාව සම්බන්ධයෙන් ඔහුගේ පෞද්ගලික අදහස් දැක්වීමක් සිදු කරමින් සභාපතිවරයා කියා සිටියේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මහජන මුදල් අයථා ලෙස භාවිත කර ඇති ආකාරය සම්බන්ධයෙන් තමන් කම්පනයට පත්ව ඇති බවයි.

ආදායම් බදු අය කර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ක්‍රමවේදයන් දෙකක් (2) භාවිත කරන බවත් ඒ යටතේ 2020 ජූනි 30 වැනිදා වන විට සාම්ප්‍රදායික ආදායම් බදු එකතු කිරීමේ ක්‍රමවේදයන් හරහා රුපියල් බිලියන 107 ක මුදලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයකර ගත යුතුව ඇති අතර මෑතකදී ආදායම් බදු එක්රැස් කිරීම සඳහා හඳුන්වා දුන් ‘රැමිස්’ (ramis) ක්‍රමවේදය හරහා රුපියල් බිලියන 183 ක මුදලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයකර ගත යුතුව ඇත.

මෙම තත්ත්වය නිවැරදි කර ගැනීමට ඉතාම ඉක්මනින් යම් ක්‍රියා ක්‍රියාමාර්ගයක් ගත යුතු බවටත් ඔහු පාර්ලිමේන්තුවට යෝජනා කළා.

ඊට අමතරව ශ්‍රී ලංකා රේගුව සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අතර සිදුවන අත යට ගනුදෙනු හේතුවෙන් වාහන ආනයනයේ දී අතිශය බරපතළ වංචාවන් සිදු ව ඇති බව ඔහු පාර්ලිමේන්තුවට පෙන්වා දුන්නේ උදාහරණ ද සහිතවයි.

ඒ අනුව ශ්‍රී ලංකා රේගුවට ගිලන්රථ ආනයනය කරන අයුරින් අදාළ ලිපි ලේඛන ඉදිරිපත් කරමින් ගෙන් වූ මෝටර් රථ පරීක්ෂා කිරීමේදී හෙළි වී ඇත්තේ ඒවා මර්සිඩීස් බෙන්ස් වර්ගයේ සෞඛෝපභෝගී මෝටර් රථ බවයි.

මේ හරහා රජයට අහිමි කර ඇති බදු ආදායම් ප්‍රමාණයය අති විශාල බවත් මේ සම්බන්ධයෙන් ද බරපතළ ක්‍රියාමාර්ග ගත යුතු බවටත් රජයේ ගිනුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පාර්ලිමේන්තුවට යෝජනා කළා ෴

******************************************

එල්ලවෙන චෝදනා සම්බන්ධයෙන් වහාම ස්වාධීන පරීක්ෂණයක් කරන්නැ යි තිරු නඩේෂන් ජනපතිගෙන් ඉල්ලයි

(06.10.2021 – 11:43 +0530 – hirunews.lk/sinhala)

ලොව පුරා සිටින කෝටි ප්‍රකෝටි පතියන්ගේ සැඟ වූ වත්කම් පිළිබඳ තොරතුරු හෙළිදරව් කළ ‘පැන්ඩෝරා පේපර්ස්’ හෙවත් ‘පැන්ඩෝරා පත්‍රිකා’ නම් විමර්ශනාත්මක තොරතුරු ඇතුලත් ලිපි ගොනුවේ නම සඳහන් වූ මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ‘තිරු නඩේෂන්’ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එම ලිපියේ සඳහන් වන්නේ තමන් සහ තමන්ගේ බිරිඳ වන නිරුපමා රාජපක්ෂ ගේ සැඟවූ මුදල්, ගිණුම් සහ වත්කම් විදේශයන්හි ඇති බවට අදාළ පත්‍රිකා ගොනුවෙහි සටහන් ව ඇති බවයි.

එමෙන්ම එම ලිපි ගොනු තුල නම් සඳහන්ව ඇති සියලු පුද්ගලයන් වැරදිකරුවන් ලෙස මේ වන විට සමාජයේ පොදු මතයක් ගොඩනැගී ඇති බවත් එමෙන්ම පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ඇතුළු ලෝක නායකයින් බොහොමයක් මේ වන විටත් එම පත්‍රිකාවන්හි නම් සඳහන් පුද්ගලයින් පිළිබඳව පරීක්ෂණ සිදු කරන ලෙස නියෝග කර ඇති බවත් ජනාධිපතිවරයාට යොමු කළ එම ලිපියේ දැක්වෙනවා.

එල්ල කෙරෙන චෝදනා සම්බන්ධයෙන් තමන් සහ තම බිරිඳ සම්පූර්ණයෙන් නිර්දෝෂී බවත් ඔවුන් කිසිදු වැරදි ක්‍රියාවක් සිදු කර නැති බවත් මෙම ලිපිය හරහා තිරු නඩේෂන් ජනාධිපතිවරයාට අවධාරණය කරනවා.

උද්ගතව ඇති තත්ත්වය යටතේ ඔහු ජනාධිපතිවරයාගේගෙන් ඉල්ලා සිටින්නේ විශ්‍රාමලත් විනිසුරුවරයෙකුගෙන් සමන්විත කමිටුවක් හරහා මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකර තමන් සහ තම බිරිඳගේ කීර්ති නාමයන් පිරිසිදු කර කරගැනීමට අවශ්‍ය පසුබිම සකසා දෙන ලෙසයි.

එල්ල කෙරෙන චෝදනා හේතුවෙන් සිය බිරිඳ සහ තමා බරපතල කම්පනයකට ලක්ව ඇති බවත් දැඩි මානසික ව්‍යාකූල තත්වයකින් සිටින බවත් මෙම ලිපියේ සඳහන්.

ඔහු කියා සිටින්නේ අප දැනටමත් වැරදිකරුවන් ලෙස තීන්දු කර ඇති බවයි.

මේ හරහා නීතිය හමුවේ වරදකරුවකු වන තුරු නිර්දෝෂි භාවයේ අයිතිය කණපිට පෙරළී ඇති බවත් ඔහු සඳහන් කරනවා.

මේ හේතුවෙන් තමන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට කටයුතු කරන ලෙස ඔහු එම ලිපියෙන් ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

ඊයේ (05) තවත් 57,429 දෙනෙකුට කොරෝනා එන්නත්

(06.10.2021 – 09:14 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ (05) දිනයේ දී පුද්ගලයින් 57,429 දෙනෙකුට එන්නත් ලබා දී තිබෙනවා.

ඒ අනුව, සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව 13,975 දෙනෙකුට ලබා දී ඇති අතර, එහි දෙවන (2) මාත්‍රාව ලබාදුන් සංඛ්‍යාව 24,291 ක්.

කොවිෂීල්ඩ් එන්නතේ පළමු (1) මාත්‍රාව 1,062 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාව 5,473 දෙනෙකුට ඊයේ (05) ලබා දී තිබෙනවා.

එමෙන්ම, ඊයේ (05) දිනයේ දී ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව 1,113 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාව 11,459 දෙනෙකුට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Pandora gaena pareekshanya horu allannada, nathnam mae gaena lokayata kiwwe kavuda hoyannada, owunwa hireta damannada?
    (පැන්ඩෝරා ගැන පරීක්ෂණය හොරු අල්ලන්නද? නැත්නම් මේ ගැන ලෝකෙට කිව්වෙ කවුදැයි හොයලා ඔවුන්ට දඬුවම් කරන්නද?)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *