ශ්‍රී ලංකාවේ බල ශක්ති සම්පත් අත්පත් කර ගැනීමට ඉන්දු-අමෙරිකානු මෙහෙයුමක් දියත් වෙනවා – ආණ්ඩුව ඊට ගොදුරු වන බවත් පෙනෙනවා – ජාතික සංවිධාන කියයි

ශ්‍රී ලංකාවේ බල ශක්ති සම්පත් අත්පත් කර ගැනීමට ඉන්දු-අමෙරිකානු මෙහෙයුමක් දියත් වෙනවා – ආණ්ඩුව ඊට ගොදුරු වන බවත් පෙනෙනවා – ජාතික සංවිධාන කියයි

*********************************************

ශ්‍රී ලංකාවේ බල ශක්ති සම්පත් අත්පත් කර ගැනීමට ඉන්දු-අමෙරිකානු මෙහෙයුමක් දියත් වෙනවා – ආණ්ඩුව ඊට ගොදුරු වන බවත් පෙනෙනවා – ජාතික සංවිධාන කියයි

(05.10.2021 – 09:51 +0530 – lankaleadnews.com)

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට බදු දීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා 2003දී අත්සන් කළ ගිවිසුම නැවත දිගු කිරීමට වර්තමාන ආණ්ඩුව සැරසෙන බවට එල්ලවන චෝදනා පිළිබඳව ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධානවල මතය විමසන ලදී, මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන් :

“ත්‍රිකුණාමලය ඉන්දු පැසිෆික් කලාපයේ ඉන්දු අමෙරිකානු යුද න්‍යාය පත්‍රය අනුව ඔවුනට ඉතා අත්‍යාවශ්‍යය උපාය මාර්ගික මර්මස්ථානයක්. ඒ නිසා එක් පැත්තකින් ඉන්දියාව තෙල් ටැංකි සංකීර්ණය අත් පත් කර ගැනීමට මාන බලනවා. අනිත් පැත්තෙන් අමෙරිකාව ඩොලර් මිලියන 3000 ක ආයෝජනය පෙන්වලා ඛනිජ තෙල් පිරිපහදුවක් හදන්න ත්‍රිකුණාමලයට පය ගහන්න හදනවා. මේ ආණ්ඩුව ඊට ගොදුරු වීමේ ඉඩකඩ ඉතා වැඩියි.

ඒ නිසා වෘතීය සමිති වලට විශාල කාර්යභාරයක් පැවරෙනවා ආණ්ඩුවට බල පෑම් කරලා උගුල්වලට පය තබන එක වලක්වන්න. දැනට ගත හැකි හොඳම පියවර දැන් ඉන්දියාව භාවිතා කරණ ටැංකි 14 හෝ 15 පමණක් කෙටි කාලීනව බදු දීම සහ ඉතිරි ටැංකි ආපසු ලංකා ආණ්ඩුවට ලබා ගැනීමයි.

ඉන්දු ලංකා ගිවිසුම මගින් අපේ රටේ තෙල් ටැංකි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් පාලනය කිරීමට බාධාවක් නැහැ. ඒ මගින් බාධාවන් එල්ල වන්නේ එම ටැංකි වෙනත් පාර්ශවයන්ට දෙන්නේ නම් පමණි. ඒ නිසා දැන් ඉන්දියාව භාවිතා කරණ ටැංකි 14 හෝ 15 කෙටි කාලීන බදු ලෙස ලබා දෙන අතර ඉතිරි 85 ඛනිජ තෙල් සංස්ථාව තබා ගැනීමට බාධාවක් එල්ල වන්නේ නැහැ.”

******************************************

පිළිකා රෝහලට යමින් සිටි මව ව බිලිගත් මාරක අනතුර – CCTV

(05.10.2021 – 12:23 +0530 – sinhala.adaderana.lk)

කහතුඩුව රිලාවල හන්දියේ දී අද (05) අලුයම මාරක රිය අනතුරක් සිදුවී තිබුණි.

නාරහෙන්පිට පෞද්ගලික රෝහලක සෞඛ්‍ය සේවකයන් රැගත් බස් රථයකට යටවීමෙන් වයෝවෘද්ධ කාන්තාවක් එම අනතුරෙන් මියගියේය.

කහතුඩුව පොලීසිය සඳහන් කළේ මියගොස් ඇත්තේ පොල්ගස්ඕවිට රිලාවල පදිංචිව සිටි වයස අවුරුදු 62 ක එක්දරු මවක් බවය.

අනතුරින් මියගිය කාන්තාව මහරගම අපේක්ෂා රෝහලේ සායනයකට සහභාගිවීම සඳහා යමින් සිටියදී එම අනතුරට ලක්වී තිබේ.

හොරණ දෙස සිට පැමිණි පෞද්ගලික බස් රථය රිලාවල හන්දියට පැමිණි අවස්ථාවේදී කාන්තාව මාර්ගය හරහා ගමන් කර ඇති අතර ඒ සමගම ඇය බස් රථයේ ඉදිරිපස ගැටී පිටුපස රෝදයට යටවී ඇත.

එම මාරක රියඅනතුර සිදුවෙන අයුරු CCTV කැමරාවක සටහන්වී තිබුණි.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අද (05) දින කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව කහතුඩුව පොලීසිය පැවසීය.

https://www.youtube.com/watch?v=bRc3D1rVGTE

******************************************

අධිවේගි මාර්ගයේ දී මෝටර් රථයක් ගිණි ගනී

(05.10.2021 – nethnews.lk)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුම ආසන්නයේ 97 වැනි කිලෝ මිටරයේ දී කුඩා ප්‍රමාණයේ කාර් රථයක් අද (05)අළුයම ගිණිගෙන ඇති බව අධිවේගී මාර්ගයේ පින්නදුව පොලිස් ස්ථානය පවසනවා.

මෙම මොටර් රථය පදවාගෙන පැමිණි පුද්ගලයාට කිසිදු අනතුරක් වි නැත.

ඔහු අද (05) උදැසන කොළඹට යෑම සදහා පින්නදුව පිවිසුමෙන් අධිවේගි මාර්ගයට ඇතුල් වි ඇති අතර අධිවේගි මාර්ගයේ 97 වැනි කිලෝමිටරයේ දි එකවරම මෝටර් රථයෙන් දුමක් පැමිණ ඇත.

පසුව මෝටර් රථය පදවාගෙන පැමිණි පුද්ගලයා මෝටර් රථයෙන් බැස ඇත.

ඉන්පසු එකවරම දුම වැඩිවී මෝටර් රථය ගිණිගෙන ඇත.

මෝටර් රථයේ ඉදිරිපසට දැඩිලෙස හානිවි ඇති අතර පිටුපස අසුන් ද ගිණි ගැනිමෙන් හානියට පත්ව ඇත.

අධිවෙගි මාර්ගයේ පින්නදුව පොලිස් ස්ථානයේ ගිණිනිවන රථයක් පැමිණ ගින්න නිවා දැමිමට කටයුතු කළ බව අධිවේගි මාර්ගයේ පින්නදුව පොලිස් ස්ථානය පවසනවා.

https://www.youtube.com/watch?v=lsJ56GW9eFQ

******************************************

“අනේ සර් ආයෙත් කරන්නේ නැහැ සර්” සතොසෙන් බඩු හොරකම් කළ කාන්තාවක් හඬා වැටෙයි (CCTV)

(03.10.2021 – am.lk)

අද (03) දිනයේ හැටන් සතොස ශාඛාවෙන් භාණ්ඩ සොරකම් කල කාන්තාවක් අල්ලාගැනිමට එම සතොස ශාඛාවේ ආරක්ෂක අංශ නිලධාරින් සමත් වී තිබුණා.

හැටන් රොතැස් ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව සතොස ශාඛාව වෙත පැමිණ ආහාර ද්‍රව්‍ය රැසක් රැගෙන ඉන් රු. 1800 පමණ වටිනා භාණ්ඩ කිහිපයක් ඇයගේ අත්බැගය තුළ සඟවා ගන්නා අයුරු එම සතොස ශාඛාවේ ආරක්ෂක අංශ නිලධාරින් සිසිටීවි කැමරා හරහා දැක තිබුණා.

භාණ්ඩ සොරාගත් කාන්තාව විසින් ඇය සතොස ශාඛාවෙන් ලබා ගත් රු. 300 පමණ වටිනා භාණ්ඩවලට පමණක් මුදල් ගෙවා පිටතට පැමිණෙන අවස්තාවේ සතොස ශාඛාවේ ආරක්ෂක අංශ නිලධාරින් ඇයගේ අත්බැගය පරික්ෂා කිරිමේදි බැගය තුල රු. 1800 පමණ වටිනා භාණ්ඩ තිබි සොයගෙන තිබෙනවා.

ආරක්ෂක අංශ නිලධාරින් භාරයට ගත් එම කාන්තාව සොරා ගන්නා ලද භාණ්ඩ වල වටිනාකම සතොස ශාඛාවේ කලමණාකාරු විසින් අයකරගෙන එම භාණ්ඩ සතොස ශාඛාවේ භාරයට ගෙන එම කාන්තාවට දැඩි ලෙස අවවාද කර මුදා හැරිමට සතොස ශාඛාවේ කලමණාකාරිත්වය කටයුතු කරනු ලැබුවා.

සතොස ශාඛාවෙන් භාණ්ඩ සොරකම් කල කාන්තාව පිලිබදව සියළුම සතොස ශාඛා වෙත දැනුම් දෙන බවද හැටන් සතොස ශාඛාවේ කලමණාකාරවරයා පවසා සිටියා.

එහිදී ඇය විසින් නිලධාරීන් වෙත කළ ප්‍රකාශය සහිත වීඩියෝව පහතින් :

******************************************

කේරළ ගංජා ප්‍රවාහණය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(05.10.2021 – 10:17 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකාය අම්බලන්තොට කඳවුරේ නිලධාරින් විසින් සිදු කළ වැටලීමක දී ඇඹිලිපිටිය පොලිස් වසමේ නව නගරය පාර, මල්ශාලාවක් ඉදිරිපිට මාර්ගයේ දී කේරළ ගංජා ප්‍රවාහණය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කේරළ ගංජා සන්තකයේ තබාගෙන යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටිය දී ක්ෂණික මාර්ග බාධකයක් යොදා මොවුන් ව අත්අඩංගුවට ගත් බවයි වාර්තා වෙන්නේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 40 සහ 43 වයසේ පුද්ගලයින් දෙදෙනෙක් (2).

අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී මෙම කේරළ ගංජා මේ ආකාරයෙන් දීර්ඝ කාලයක් ප්‍රවාහනය කරමින් අම්බලන්තොට, හම්බන්තොට, කතරගම යන ප්‍රදේශවලට මහා පරිමාණයේ ගැනුම්කරුවන්ට අලෙවි කරන බවට කරුණු අණාවරණය කරගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් කේරළ ගංජාවල වටිනාකම රුපියල් දෙලක්ෂ හැට දහසක් (2,60,000) පමණ වෙන බවටයි ගණන් බලා ඇත්තේ.

වැඩිදුර පරීක්ෂණ ඇඹිලිපිටිය පොලිසිය විසින් සිදු කරනු ඇති ෴

******************************************

ඉන්දීය විදේශ ලේකම් ජනපති හමු වෙයි

(05.10.2021 – 11:39 +0530 – hirunews.lk/sinhala)

මෙරට සංචාරයක නිරත ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් සිංග්ලා, අද (05) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී යි.

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ, මෙම සාකච්ඡාව ඉතා සුහදශීලි අයුරින් පැවැත්වුණු බවයි.

මේ අතර, ඉන්දීය විදේශ ලේකම්වරයා සහ දෙමළ ජාතික සන්ධානය අතර හමුවක් ඊයේ (04) ඉන්දීය මහ කොමසාරිස් නිල නිවසේ දී පැවැත්වුණා.

දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් ඉන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ දෙමළ ජනතාවගේ ගැටලුවට නිසි විසඳුමක් ලැබෙන තුරු ඊට සහය ලබා දෙන බවට ඉන්දීය විදේශ ලේකම්වරයා තම පක්ෂයට පොරොන්දු වූ බවයි.

මේ අතර, ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්දන් සිංග්ලා ඊයේ (04) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙන්ම විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් ද හමු වී සාකච්ඡා සිදු කර තිබුණා.

මේ, අතර, දෙමළ ජාතික පක්ෂයේ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් සහ යාපනයේ ආණ්ඩුකාරවරයා ඇතුළු පිරිසක් ද ඉන්දීය විදේශ ලේකම්වරයා හමු වූ අතර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් එහි දී ඔහුට සංදේශයක් ද භාර දී තිබෙනවා.

******************************************

පියවරෙන් පියවර ව්‍යාපාර අරඹන හැටි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි

(05.10.2021 – 11:56 +0530 – hirunews.lk/sinhala)

පියවරෙන් පියවර ව්‍යාපාර ආරම්භ කර සංවර්ධනය කිරීම පිළිබඳ ව ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් මාලාවේ නව වන මුද්‍රණය දැන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් මහජනයා සඳහා නිකුත් කර තිබෙනවා.

මෙම පොත් පිංච මෙරට ව්‍යාපාරික ප්‍රජාවට සහ විදේශීය ආයෝජකයින්ට අත්‍යවශ්‍ය තොරතුරු ඇතුළත් මූලාශ්‍ර ලේඛනයක් වන අතර, එහි ඇතුළත් තොරතුරු පරිශීලනය කිරීම හරහා ව්‍යාපාරිකයින්ට සහ ආයෝජකයින්ට කාලය හා පිරිවැය ඉතුරු කර ගැනීමටත් මේ හරහා ඉඩ ප්‍රස්ථාව සැලසෙනවා.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට, ක්‍රියාත්මක කිරීමට සහ වසා දැමීමට අදාළ බල පවත්නා සියලු රෙගුලාසි සහ අනාගත ව්‍යවසායකයින්ට ප්‍රයෝජනවත් වන අනෙකුත් තොරතුරුත් මෙම පොත් පිංචට ඇතුළත්.

ව්‍යාපාරයක් ආරම්භ කිරීම, ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සහ අනෙකුත් ක්‍රියාකාරකම් වශයෙන් ප්‍රධාන කාණ්ඩ 3 ක් යටතේ මෙම පොත් පිංච සාරාංශ ගතකර තිබෙනවා.

ඒ යටතේ සවිස්තර තොරතුරු, වාර්තාමය අවශ්‍යතා, නියාමන හා නිෂ්කාශන අවශ්‍යතා, ඒ හා සම්බන්ධ පිරිවැය සහ පරිශීලකයින්ට වැඩිදුර පැහැදිලි කිරීම් ලබා ගැනීමට උපකාරී වන සම්බන්ධතා තොරතුරු ඇතුළත් දිගු ද එයට ඇතුළත්.

2021 මැද භාගය දක්වා අදාළ ආයතන විසින් තහවුරු කරන ලද සහ යාවත්කාලීන කරන ලද සංශෝධන මෙම සංස්කරණයට ඇතුළත් අතර ප්‍රකාශනයේ ඉලෙක්ට්‍රෝනික අනුවාදය මහ බැංකු වෙබ් අඩවිය ( http://www.cbsl.gov.lk ) හරහා ලබා ගත හැකියි ෴

A step by step guide to Doing Business in Sri Lanka 2021

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

වසංගතයට සාර්ථකම ප්‍රතිකාර හෙල වෙදකමේ ඇති බව ජනපතිටත් දැන්වූ බටහිර විශේෂඥ වෛද්‍යවර‍යා – වෛද්‍ය හැරිස් පතිරගේ (03.10.2021)

+++++++++++++++++++

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා වෙබ් අඩවිය ඔස්සේ දිනයක් හා වේලාවක්

(05.10.2021 – 12:12 +0530 – hirunews.lk/sinhala)

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන සියලු අයදුම්කරුවන් වෙබ් අඩවිය ඔස්සේ දිනයක් හා වේලාවක් වෙන්කරගෙන පැමිණිය යුතු බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ​

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය, මාතර, වවුනියාව, මහනුවර, කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාලවල ද සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සීමිත පිරිසකට සේවාවන් සපයන බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.

ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා අවශ්‍යතා ඇති සේවාලාභීන්ට පමණක් තමන් පදිංචි ස්ථානයට ආසන්න ම කාර්යාලයට පැමිණ තම සේවා අවශ්‍යතාවන් සපුරා ගන්නා ලෙසයි ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.

කෙසේ වෙතත් වේලාවක් සහ දිනයක් වෙන්කර ගැනීමකින් තොර ව සිය ප්‍රධාන කාර්‍යාලයට හෝ ප්‍රාදේශීය කාර්යාලයන්ට පැමිණෙන කිසිවකු කාර්යාල පරිශ්‍ර තුළට ඇතුළත් කර නො ගන්නා බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ආගමන විගමන දෙපාර්තමේන්තුව නිකුත් කළ සම්පූර්ණ ලේඛනය පහතින් :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *