කිරිපිටි ආනයනකරුවන් තවමත් බලාපොරොත්තුවෙන්

කිරිපිටි ආනයනකරුවන් තවමත් බලාපොරොත්තුවෙන්

*********************************************

කිරිපිටි ආනයනකරුවන් තවමත් බලාපොරොත්තුවෙන්

(05.10.2021 – 07:39 +0530 – hirunews.lk/sinhala)

අද (05) දිනය තුළ දී සිය ගනුදෙනු සිදු කරන බැංකුවලට මහ බැංකුවෙන් ඩොලර් විනිමය ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එහි සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා සඳහන් කළේ, ඒ අනුව කොළඹ වරායේ සිර වී ඇති කිරිපිටි තොග නිදහස් කර ගැනීමට හැකි වනු ඇති බව යි.

ඊයේ (04) දිනයේ දී අදාළ බැංකුව වෙත ඩොලර් විනිමය ලබා දෙන බවට ප්‍රකාශ කර තිබුණ ද ඊයේ (04) එම බැංකු වෙත මුදල් ලැබී තිබුණේ නැහැ.

අද (05) දිනය තුළ තමන් ගනුදෙනු කරන බැංකු 3 ට මෙම මුදල් ලැබුණහොත් ඉදිරි දින දෙක (2) තුළ දී කිරිපිටි තොග නිදහස් කර ගැනීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

පසුගිය දිනවල මතු වූ ඩොලර් අර්බුදයත් සමඟ කොළඹ වරායේ කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහලුම් රැසක් සිර වී තිබූ අතර අග්‍රමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබුණේ එම බහලුම් මුදා හැරීමට කඩිනම් පියවර ගන්නා ලෙසයි.

ඒ අනුව මහබැංකු අධිපතිවරයා විසින් පසුගිය දා රාජ්‍ය බැංකු දෙකකට (2) ඩොලර් මුදා හැරීමට පියවර ගත්තා.

කෙසේ වෙතත්, ආනයනකරුවන් ඉල්ලා සිටියේ, පෞද්ගලික බැංකු වෙතින් ද ඩොලර් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙසට යි.

ඒ අනුව අද (05) දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඩොලර් විනිමය වානිජ බැංකු වෙත යොමු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තත්ත්වය හමුවේ කොළඹ වරායේ සිර වී තිබූ කිරිපිටි මෙට්‍රික් ටොන් 360 ක් නිදහස් කර ගැනීමට අවස්ථාව සැලසෙනු ඇති ෴

******************************************

කොත්මලා ඔයේ ගිලී අතුරුදන් වූ තරුණයා සොයා තවදුරටත් මෙහෙයුම්

(05.10.2021 – 07:20 +0530 – hirunews.lk/sinhala)

මහවැලි ගඟේ අතු ගංගාවක් වූ කොත්මලා ඔයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ තරුණයා සොයා සිදු කෙරෙන මෙහෙයුම සඳහා මේ වනවිට හමුදා සහය ලබා ගෙන තිබෙනවා.

ඒ අනුව පොලීසිය, යුද හමුදාව, නාවික හමුදාව, පොලිස් ජීවිතාරක්ෂක බලකාය මෙන්ම ප්‍රදේශවාසීන් ද එක් ව අඛණ්ඩව මෙහෙයුම් සිදුකරන බවයි පොලීසිය සඳහන් කළේ.

කෙසේ වෙතත්, අතුරුදන් වූ තරුණයා සම්බන්ධ කිසිදු හෝඩුවාවක් මෙතෙක් සොයා ගැනීමට හැකි වී නැහැ.

මිතුරන් පස් දෙනෙකු (5) සමඟ කොත්මලා ඔයේ දිය නෑමට ගිය අවස්ථාවේ දී වැවහේන පාළම ආසන්නයෙන් ඔයට බැස එහි ගල් මතින් ගමන් කිරීමේ දී ඔහු පය පැටලී ජලාශයට වැටී ඇත්තේ පසුගිය 02 වනදා යි.

එලෙස අතුරුදන් වූයේ පූඬළුඔය, කුඹල් ඔළුවේ පදිංචි 34 හැවිරිදි තරුණයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අදාළ තරුණයාගේ මිතුරන්ගෙන් ප්‍රකාශ ලබා ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, සිද්ධිය සිදුවන අවස්ථාවේ තරුණයන් පිරිස බීමතින් සිට ඇති බව මූලික පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇති බවයි ෴

******************************************

ලොව විශාලතම බහාලුම් නෞකාව අද කොළඹ වරායට

(05.10.2021 – 07:31 +0530 – hirunews.lk/sinhala)

ලොව විශාලතම බහාලුම් නෞකාව ලෙස සැලකෙන ‘එවර් එස්’ අද (05) කොළඹ වරායට පැමිණෙනවා.

මීටර් 400 ක් දිගැති, මීටර් 62 ක් පළල මෙම නෞකාවේ බහාලුම් 23,992 ක් රැගෙන යා හැකියි.

එවර්ග්‍රීන් නෞකා සමාගමට අයත් මෙම නෞකාව පසුගිය ජූලි මාසයේ දියත් කෙරුණු අතර පැනමා රජය යටතේ මෙහෙයුම් සිදු කරනු ලබනවා.

නෙදර්ලන්තයේ රොටර්ඩෑම් වරායෙන් පසුගිය මාසයෙන් නික්මුණු නෞකාව ඒ අනුව අද (05) දිනයේ කොළඹ වරායට ළඟා වනු ඇති.

මෙතරම් විශාල බහාලුම් නෞකාවක් හැසිරවිය හැකි වරාය 24 ක් පමණක් ලොව පවතින අතර, දකුණු ආසියාවේ එය නැංගුරම්ලා හැකි එකම වරාය වන්නේ ද කොළඹ වරායයි.

******************************************

අයවැයෙන් සෞඛ්‍යට බිලියන 580 ක්

(05.10.2021 – 07:42 +0530 – hirunews.lk/sinhala)

ලබන වසරේ අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා රුපියල් බිලියන 580 ක මුදලක් වෙන් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

එය සෞඛ්‍යය වෙනුවෙන් වෙන් කල විශාලතම මුදල බවයි කුණ්ඩසාලේ ප්‍රදේශයේ ඊයේ (04) පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු කියා සිටියේ ෴

******************************************

මිලියන 65,700 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට (06)

(05.10.2021 – 07:50 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 65,700 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට (06) සිදුකෙරෙනවා

මහ බැංකුව ප්‍රකාශ කළේ, එහි දී දින 91 කින් කල් පිරෙන මිලියන 14,500 ක බිල්පත් සහ දින 182 කින් කල් පිරෙන මිලියන 20,000 ක මෙන්ම, දින 364 කින් කල් පිරෙන මිලියන 31,200 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කෙරෙන බවයි ෴

******************************************

නීතිවිරෝධී කහ කිලෝ දහසක් (1000) සමඟ සැකකරුවෙකු නාවික හමුදා භාරයට

(05.10.2021 – 09:14 +0530 – hirunews.lk/sinhala)

නොරොච්චෝලේ වෙරළ තීරයේ ධීවර වාඩියක සඟවා තිබූ නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ වියළි කහ කිලෝග්‍රෑම් 1,064 ක් නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.

ඊයේ (04) සිදු කළ විශේෂ විශේෂ සෝදිසි මෙහෙයුමක දී මෙම කහ තොගය සොයාගෙන ඇති අතර, එහි දී සැකකරුවෙකු (1) ද නාවික හමුදා භාරයට ගෙන ඇති බව සඳහන්.

22 හැවිරිදි නොරොච්චෝලේ නාරක්කල්ලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකුයි මෙලෙස නාවික හමුදා භාරයට පත් ව ඇත්තේ.

මලු 32 ක අසුරා සඟවා තිබූ මෙම කහ තොගය සමඟ සැකකරු ඉදිරි විමර්ශන කටයුතු සඳහා නොරොච්චෝලේ පොලිසියට භාරදීමට නියමිතයි ෴

******************************************

ෆේස්බුක් බිඳ වැටීමට හේතුව හෙළි වෙයි

(05.10.2021 – 09:18 +0530 – hirunews.lk/sinhala)

ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් යන සමාජ මාධ්‍ය ඊයේ (04) හදිසි බිඳ වැටීමකට ලක්වූයේ එහි රවුටර් පද්ධතියේ වැරදි සහගත ආකෘති වෙනසක් නිසා බව අනාවරණ වී තිබෙනවා.

මේ නිසා ෆේස්බුක් සමාගම සතු එම සමාජ මාධ්‍යවල කෝටි 350 ඉක්ම වූ පරිශීලකයින්ට මෙම ජනප්‍රිය මාධ්‍ය වෙබ් අඩවි වෙත පිවිසිය නො හැකි වුණා.

කෙසේ නමුත්, එම සමාජ මාධ්‍ය අද (05) අලුයම් කාලයේ යළි සක්‍රිය වූ බවයි ෆේස්බුක් ආයතනය ප්‍රකාශ කළේ.

එහි නිර්මාතෘ මාර්ක් සකබර්ග් පැය 06 කට ආසන්න කාලයක් පැවති මෙම බිඳ වැටීම සම්බන්ධයෙන් පරිශීලකයින් වෙතින් සමාව අයැද සිටියා.

මේ අතර, ෆේස්බුක් සමාජ මාධ්‍ය බිඳ වැටීමකට ලක්වද්දී තවත් ජනප්‍රිය සමාජ මාධ්‍යයක් වන ට්වීටර් සමාජ මාධ්‍ය වෙත පරිශීලකයින් විශාල වශයෙන් යොමුවීමක් දක්නට ලැබුණා.

මෙලෙස ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ග්‍රාහකයින් ට්වීටර් වෙත යොමුවීමෙන් ට්වීටර් සමාජ මාධ්‍යයේ මන්දගාමී වීමක් දක්නට ලැබුණු බවට එහි පරිශීලකයින් පැමිණිලි කර තිබෙනවා.

ට්වීටර් වෙත මෙලෙස සමාජ මාධ්‍ය පණිවුඩ ප්‍රවාහයක් යොමු වූ බව එහි ප්‍රධානී ජැක් ඩෝර්සි සඳහන් කළේ ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් ෴

******************************************

ආචාර්ය ශිරාන් උපේන්ද්‍ර දැරණියගල අභාවප්‍රාප්ත වෙයි

(05.10.2021 – 09:44 +0530 – hirunews.lk/sinhala)

මෙරට හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂවරයෙකු, විශිෂ්ටගණයේ පුරාවිද්‍යාඥයෙකු, ඉතිහාසඥයෙකු හා මෙරට ප්‍රාග් ඉතිහාසය පිළිබඳ ව මහා ප්‍රාඥයකු වූ ආචාර්ය ශිරාන් උපේන්ද්‍ර දැරණියගල මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

එතුමා විසින් රචිත The prehistory of Sri Lanka: An ecological perspective වෙළුම් 1,2,3 (1992) යන විශිෂ්ට පර්යේෂණ කෘතිය මෙරට ප්‍රාග් ඉතිහාසය පිළිබඳ ව එතෙක් මෙතෙක් රචනා වූ විශිෂ්ටතම පර්යේෂණ කෘතිය සේ සැලකිය හැකියි.

මෙරට පුරාවිද්‍යාවට හා ඉතිහාසයට දැවැන්ත මෙහෙයක් සිදු කළ එතුමාට අජරාමර නිවන් සුව පතමු !

******************************************

නිරූපමා උත්තර නොදුන් ප‍්‍රශ්නාවලිය ICIJ හෙලි කරයි…

(05.10.2021 – 10:00 +0530 – lankacnews.com)

ලෝකයේ ධනය සඟවන ලද පුද්ගලයන් සම්බන්ධයෙන් හෙලිදරව් කිරීමක් සිදු කර ඇති විමර්ශනාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර ජාලය (ICIJ) විසින් මෙරට හිටපු ඇමතිනි නිරූපමා රාජපක්ෂ සම්බන්ධයෙන් ද හෙලිදරව් කිරීමක් කර තිබිණි.

අදාල හෙලිදරව් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් ඇයගෙන් විමසුවත් ඒ සදහා ප‍්‍රතිචාර නොදැක්වූ බවද ඔවුන් සදහන් කරයි.

එම සංවිධානය විසින් හිටපු ඇමතිනියට සහ ඇගේ සැමියාට යොමු කර ඇති ප්‍රශ්න මෙසේය :

******************************************

Exclusive: Sri Lankan sensation Yohani speaks to WION, discusses viral song Manike Mage Hithe (03.10.2021)

Yohani – Manike Mage Hithe ….The story of her rise to stardom I Based on True Stories (29.09.2021)

CORRECTION :
After receiving feedback from viewers, we’d like to make the following amendments to some key details included in the video.
• The University Yohani attended was General Sir John Kotelawala Defence University
• The song Yohani dedicated to her father was ‘Rawwath Dasin’

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

ඊයේ (04) තවත් කොරෝනා ආසාදිතයින් 786 ක්

(05.10.2021 – 07:35 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා ආසාදිතයින් 786 දෙනෙකු ඊයේ (04) හමුවීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 5,21,218 දක්වා ඉහළ ගියා.

පසුගිය 03 වැනි දා සිදු වූ තවත් කොරෝනා ආසාදිත මරණ 43 ක් ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (04) තහවුරු කළා.

ඊට පිරිමින් 24 ක් සහ කාන්තාවන් 19 ක් ඇතුළත්.

මියගිය පිරිස අතර, 31 දෙනෙක් අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් වන අතර ඊට පිරිමින් 14 ක් ඇතුළත්.

අවුරුදු 30 ත් 59 ත් අතර පුද්ගලයන් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත් ව ඇති අතර එහි කාන්තාවන් 02 දෙනෙක් සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 13,102 ක් ලෙසින්.

මේ අතර, මේ මස අවසානය වනවිට 70% කට වැඩි පිරිසකට එන්නත් මාත්‍රා දෙක (2) ම ලබාදීම රජයේ අරමුණ බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඊයේ (04) කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී කියා සිටියේ ෴

++++++++++++++++++++

ගෝලීය කොරෝනා මරණ වසරකින් අවම අගයට

(05.10.2021 – 07:48 +0530 – hirunews.lk/sinhala)

වසරකට පමණ පසු සතියක් තුළ සටහන් වූ අවම කොරෝනා මරණ සංඛ්‍යාව ගත වූ සතියේ දී වාර්තා වී තිබෙනවා.

රටවල් මඟින් නිකුත් කරන ජාතික නිල දත්ත විශ්ලේෂණය කරමින් ප්‍රංශ පුවත් සේවය සඳහන් කළේ සැප්තැම්බර් 27 වැනි දා සිට ඔක්තෝම්බර් 03 වැනි දා දක්වා ලොව පුරා කොරෝනා මරණ 53,245 ක් වාර්තා වී ඇති බවයි.

එය දිනකට මරණ 7,606 ක සාමාන්‍යයක් ලෙස සැලකිය හැකියි.

ඒ අනුව ගෝලීය කොරෝනා වසංගතය අගෝස්තු මාසය අවසානයේ සිට අඩුවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බවයි එමඟින් සඳහන් කළේ.

වසංගතය උත්සන්න ව පැවති සමයේ, ලොව පුරා දෛනික කොරෝනා මරණවල සාමාන්‍යය දස දහස ඉක්ම වූවා.

සතියක කොරෝනා මරණ සංඛ්‍යාව ගත වූ සතියට වඩා අඩු අගයක් මීට පෙර වාර්තා කළේ, පසුගිය 2020 වසරේ ඔක්තෝම්බර් 31 වැනි දා සිට නොවැම්බර් 06 වැනි දා දක්වා වූ සතිය තුළයි.

පසුගිය මාසය තුළ කොරෝනා මරණ සංඛ්‍යාව හතරෙන් එකකින් (1/4) පමණ පහත වැටී තිබෙනවා.

ලොව පුරා එන්නත්කරණ වැඩසටහන් ප්‍රගතියක් ලැබීම ඊට හේතුව ලෙස සැලකිය හැකියි.

ඉහළ ආසාදන හැකියාවක් සහිත ඩෙල්ටා ප්‍රභේදය ඇතුළු අනෙකුත් ප්‍රභේද හේතුවෙන් වසරක් පුරා පැවති කොරෝනා වෛරස් රැල්ල පහළට යොමු කරමින් ආසාදිත සංඛ්‍යාව ද පහත වැටීමක් පෙන්නුම් කරනවා.

අගෝස්තු මාසය අවසානයට සාපේක්ෂ ව මේ වනවිට නව ආසාදිතයින් සංඛ්‍යාව ද තුනෙන් එකකින් (1/3) පමණ අඩු වී ඇති බවයි ප්‍රංශ පුවත් සේවය සඳහන් කළේ ෴

++++++++++++++++++++

ඊයේ (04) තවත් 82,721 දෙනෙකුට කොරෝනා එන්නත්

(05.10.2021 – 10:03 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළ ව ඊයේ (04) දිනයේ දී පුද්ගලයින් 82,721 දෙනෙකුට එන්නත් ලබා දී තිබෙනවා.

ඒ අනුව, සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව 14,231 දෙනෙකුට ලබා දී ඇති අතර, එහි දෙවන (2) මාත්‍රාව ලබාදුන් සංඛ්‍යාව 31,347 ක්.

කොවිෂීල්ඩ් එන්නතේ පළමු (1) මාත්‍රාව 2,287 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාව 6,906 දෙනෙකුට ඊයේ (04) ලබා දී තිබෙනවා.

එමෙන්ම, ඊයේ (04) දිනයේ දී ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව 1,729 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාව 26,053 දෙනෙකුට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මොඩර්නා එන්නතේ දෙවන (2) මාත්‍රාව ඊයේ (04) දිනයේ ලබාදුන් සංඛ්‍යාව 168 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *