ඩිජිටල් අත්සන් භාවිතය නිල වශයෙන් ඇරඹේ

ඩිජිටල් අත්සන් භාවිතය නිල වශයෙන් ඇරඹේ

*********************************************

ඩිජිටල් අත්සන් භාවිතය නිල වශයෙන් ඇරඹේ

(04.10.2021 – 16:52 +0530 – hirunews.lk/sinhala)

අධිකරණ අමාත්‍යාංශයේ ඩිජිටල්කරණ වැඩසටහන යටතේ ඩිජිටල් අත්සන් භාවිතය නිල වශයෙන් අද (04) දින ආරම්භ කරනු ලැබුවා.

අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි විසින් අද (04) දින පෙරවරුවේ ඩිජිටල්කරණ නීති ප්‍රතිසංස්කරණ උපදේශක කමිටුවක් පත් කිරීමට අදාළව පත්වීම් ලිපි සඳහා ඩිජිටල් අත්සන නිල වශයෙන් භාවිත කළා.

කොවිඩ්-19 වැනි වසංගත අවස්ථාවන්වලදී දුරස්ථව සිට රාජකාරී කටයුතු සිදු කිරීමේදී ඩිජිටල් තාක්ෂණය භාවිත කරමින් වඩාත් කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් මහජනතාව වෙත ලබාදීම මෙහි ප්‍රධානතම අරමුණ වනවා.

ඩිජිටල් අත්සන යනු ISO 27001:2013 වැනි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන ආරක්‍ෂිත, පහසු හා ලාභදායී විසදුමක් වන අතර 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත යටතේ නීතිමය පිළිගැනීමක් සහිත විසඳුමක් බව අධිකරණ අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

ඉදිරියේදී අධිකරණ අමාත්‍යාංශය හා අධිකරණ තුළ ඩිජිටල් අත්සන යොදා ගනිමින් සාමාන්‍ය ජනතාවට වඩාත් වේගවත්ව මෙන්ම කාර්යක්ෂමව ලිපි, ලේඛන හා වාර්තා යනාදිය මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ ලබාදීමට අධිකරණ අමාත්‍යාංශය අපේක්ෂා කෙරෙනවා ෴

******************************************

පොහොර හිඟයෙන් ගොවියෝ අපහසුතාවක

(04.10.2021 – 14:06 +0530 – hirunews.lk/sinhala)

වගාවන් සඳහා අවශ්‍ය රසායනික පොහොර නොමැතිව ප්‍රදේශ රැසක ගොවීන් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකට යි.

වගාවන් සඳහා අවශ්‍ය පොහොර කඩිනමින් ලබා දෙන ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

******************************************

අතර මඟ නැවතුණු සංවර්ධනය නිසා මින්නේරිය වැවේ වැව් බැම්ම අවදානමක

(04.10.2021 – 14:11 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව – ගිරිතලේ – මින්නේරිය ජලාශයේ සංවර්ධන කටයුතු අතරමඟ නවතා දැමීම හේතුවෙන් වැව් බැම්ම අවදානම් තත්ත්වයකට පත් ව ඇති බවට ගොවීන් පෙන්වා දෙනවා.

******************************************

සමගි ජන බලවේගය විරෝධතාවක

(04.10.2021 – 14:17 +0530 – hirunews.lk/sinhala)

දේශිය සම්පත් විදේස් රටවලට පවරා දීමට එරෙහි ව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් අද (04) විරෝධතාවක නිරත වුණා. ඒ ඛනිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථානය ඉදිරිපිට දී.

******************************************

රාජිතට එරෙහි මෝදර ධීවර වරාය නඩුව නොවැම්බර් 10 වනදා යළි කැඳවීමට නියෝග

(04.10.2021 – 17:14 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ඇතුලු 3 දෙනෙකුට එරෙහිව මෝදර ධීවර වරාය සම්බන්ධයෙන් පවරා ඇති නඩුව ලබන නොවැම්බර් 10 වනදා යළි කැඳවීමට අධිකරණය නියෝග කළා.

ඒ එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්සදීන් හමුවේ අද (04) කැඳවූ අවස්ථාවේදීයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මෙන්ම වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ එහි හිටපු කළමනාකරණ අධ්‍යක්ෂ නීල් මුණසිංහට එරෙහිව අල්ලස් සහ දූෂණ විමර්ෂණ කොමිසම මගින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.

ඒ මන්ත්‍රීවරයා ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කල කාලයේ මෝදර ධීවර වරාය ඉතා අඩු මුදලකට පෞද්ගලික සමාගමකට ලබා දීමෙන් රජයට විශාල පාඩුවක් සිදුකල බවට චෝදනා කරමින් ෴

******************************************

සංචාරක ඇමති ප්‍රංශයට

(04.10.2021 – 17:20 +0530 – hirunews.lk/sinhala)

අන්තර්ජාතික ප්‍රංශ සංචාරක වෙළඳ ප්‍රදර්ශනයකට සහභාගි වීම සදහා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු නියෝජිත පිරිසක් දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ලබන 08 වනදා දක්වා මෙම ප්‍රදර්ශනය ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙනු ඇති.

ලබන මස පළමුවනදා (01) සිට ශ්‍රී ලංකාවට නව ගුවන් ගමන් ආරම්භ කරන ‘එයාර් ෆ්‍රාන්ස්’ ගුවන් සමාගමේ නියෝජිතයන් සමඟ ද අමාත්‍යවරයා සාකච්ඡා කිරීමට නියමිත බවයි සංචාරක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

පාස්කු ප්‍රහාර නඩුවේ නවුෆර් මවුලවි ඇතුළු 10 කට නීතිඥවරු නැහැ

(04.10.2021 – 19:17 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ‘ඊබ්‍රහිම් මොහොමදු නවුෆර්’ හෙවත් ‘නවුෆර් මවුලවි’ ඇතුලු‍ විත්තිකරුවන් 24 දෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ අද (04) චෝදනා පත්‍ර භාර දුන්නා.

ඒ අදාල නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුව දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (04) කැඳවනු ලැබුවා.

කොරෝනා ආසාදිතව සිටින නඩුවේ 15 වන විත්තිකරු වන ‘මොහොමදු හනීෆා සෙයිනූල් ආබ්දීන්’ නමැත්තා අද (04) අධිකරණයට ඉදිරිපත් කෙරුණේ නැහැ.

අධිකරණයට ඉදිරිපත් කර සිටි විත්තිකරුවන් 24 දෙනාට නීතිපතිවරයා විසින් ගොනු කරන ලද චෝදනා පත්‍ර එහිදී භාර දෙනු ලැබුවා.

මෙම නඩුවේ ප්‍රධාන විත්තිකරු වන ‘නවුෆර් මවුලවි’ ඇතුළු දස (10) දෙනෙකු සඳහා නීතීඥවරුන් අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.

එම විත්තිකරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ තමන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා රජයේ වියදමින් දෙමළ භාෂාව දන්නා නීතිඥවරයෙකු පත් කරන ලෙසයි.

ඒ අනුව, විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා දෙමළ භාෂාව දන්නා නීතිඥවරුන්ගේ නාමලේඛනයක් ඉදිරිපත් කරන ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයාට නියම කළා.

සිංහල භාෂාවෙන් ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රවල දෙමළ පරිවර්තනයක් ලබාදෙන ලෙස නඩුවේ ප්‍රධාන විත්තිකරු වන ‘නවුෆර් මවුලවි’ ඇතුළු විත්තිකරුවන් 17 දෙනෙකු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

‘මොහොමඩ් අක්‍රම් අහක්කම්’ නමැති විත්තිකරු ඉල්ලා සිටියේ තමන්ට චෝදනා පත්‍රයේ ඉංග්‍රීසි භාෂා පරිවර්තනයක් ලබා දෙන ලෙසයි.

අදාළ පරිවර්තන ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පැමිණිල්ලට නියම කළා.

අනතුරුව, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මෙම නඩුවට පාදක වන සිද්ධීන් හා කරුණු ඉතා සංවේදී ආකාරයෙන් අධිකරණයට ඉදිරිපත් කළා.

ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරන පාස්කු ඉරුදින කිතුනු දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් එක්තරා ආගමික අන්තවාදී කණ්ඩායමක් එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 275 කට ආසන්න පිරිසක් මියගොස් තවත් 586 ක පිරිසක් තුවාල ලැබූ බව අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පැවසුවා.

එදින අලු‍ත් ඇදුම් ඇඳගෙන තම මව්පියන්ගේ අත්වල එල්ලී දේවස්ථාන කරා ගිය දරුවන් තමන් මේ යන්නේ අවසන් ගමන් බව නොදැන සිටින්නට ඇතැයි ඇය සංවේදීව අධිකරණය හමුවේ සඳහන් කළා.

අතිරේක සොලිස්ටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර වැඩිදුරටත් පැවසුවේ මෙම අවාසනාවන්ත ප්‍රහාරය නිසා මිනිස් ජීවිත පමණක් නොව සාමය, සංහිඳියාව සහ සහෝදරත්වය ද අපගෙන් ගිලිහී ගිය බවයි.

ක්‍රිස්තුන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ පාස්කු ඉරිදා මෙම ප්‍රහාරය එල්ල කිරීම සඳහා අන්තවාදීන් තෝරාගෙන ඇත්තේ තම මතවාදය ලොව පුරා ප්‍රචලිත කිරීමේ අරමුණෙන් බව සඳහන් කළ ඇය ඉතා සුළු පිරිසක් මෙවැනි අන්තවාදී කටයුතුවලට ඇබ්බැහි වී ඇති බව ද කියා සිටියා.

ඔවුන් විසින් ආගමික මතවාද විකෘති කරමින් සිදු කරනු ලබන ත්‍රස්තවාදී ක්‍රියා පිටුදැකිය යුතු බවයි අතිරේක සොලිස්ටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර අවධාරණය කළේ.

මෙම නඩුවට පාදක වන චෝදනා පත්‍රය ලංකා ඉතිහාසයේ මෙතෙක් අසා නොතිබුණු ආකාරයේ චෝදනා පත්‍රයක් යැයි සඳහන් කළ අතිරේක සොලිස්ටර් ජනරාල්වරිය එහි චෝදනා 23,270 ක් අන්තර්ගත වන බව සඳහන් කළා.

මෙම සිද්ධියේ ඇතැම් විමර්ශන සඳහා ඇමරිකානු හා ඕස්ට්‍රේලියානු පරීක්ෂණ ආයතනවල සහාය ලබාගත් බවද ඇය පැවසුවා.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු දමිත් තොටවත්ත මෙහිදී සඳහන් කළේ මෙම නඩුවේ 23,000 කට අධික චෝදනා විවෘත අධිකරණයේ එක් එක් විත්තිකරුවෙකු වෙනුවෙන් කියවා දීමට ගිය හොත් අවම වශයෙන් මාස 6 කට වැඩි කාලයක් ගතවනු ඇති බවයි.

ඒ අනුව එක් එක් විත්තිකරුට අදාළ වන චෝදනා වෙන් වෙන්ව තෝරාගෙන ඒවා විවෘත අධිකරණයේ කියවීම තුලින් කාලය ඉතිරි කර ගැනීමට හැකි වනු ඇතැයි යෝජනා කළ සභාපති විනිසුරුවරයා, ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසද අතිරේක සොලිසිටර් ජනරාල්වරියට දැනුම් දුන්නා.

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින විත්තිකරුවන් 24 දෙනාම නඩු විභාගය පවතින සෑම දිනකම අධිකරණයට ඉදිරිපත් කිරීමට වග බලා ගන්නා ලෙසත්, එසේ ඉදිරිපත් කිරීමට අපහසු නම් විද්‍යුත් තාක්ෂණ ක්‍රමවේදය ඔස්සේ හෝ ඔවුන්ගේ පෙනී සිටීම අධිකරණය හමුවේ තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළා.

නඩුව නොවැම්බර් මස 23 වන දා යළි කැඳවීමට නියමිතයි.

******************************************

අඹන්පොල දකුණ ග්‍රාම නිලධාරිවරයා තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කෙරේ

(04.10.2021 – 19:29 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල – අඹන්පොල දකුණ ග්‍රාම නිලධාරිවරයා තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබෙනවා.

දෙදරු පියෙකු වන 50 හැවිරිදි ඔහු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකට සහභාගි වීම සඳහා නිවසේ සිට යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී අද (04) උදෑසන වෑන් රථයකින් පැමිණි පිරිසක් ඔහු මෙලෙස ඝාතනය කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

සැකකරුවන් හඳුනාගෙන ඇති අතර සිද්ධියට සම්බන්ධ වෑන් රථය ද මේ වනවිට සොයා ගෙන ඇති බව විමර්ශන මෙහෙයවන උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා ෴

මේ අතර, රුවන්වැල්ල ප්‍රදේශයෙන් ද තවත් මනුෂ්‍ය ඝාතනයක් වාර්තා වෙනවා.

රුවන්වැල්ල – මැරහේන ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකු (2) අතර සිදු වූ ආරවුලක් මත එක් (1) පුද්ගලයෙක් අනෙක් පුද්ගලයාට තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා.

තුවාලකරු රෝහල්ගත කරනවිට මිය ගිය බවටයි වාර්තා වෙන්නේ.

මරණකරු වයස අවුරුදු 22 ක වහරක ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴

******************************************

ඉන්දු – ශ්‍රී ලංකා දෙරටෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්

(04.10.2021 – 19:37 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්වූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීම සඳහා ඉන්දියාව සහය වීමට සූදානම් බව මෙරට සංචාරයක නිරත වන ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්දන් සිංග්ලා ප්‍රකාශ කළා.

අරලියගහ මන්දිරයේ අද (04) පැවති උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරවලින් දෙරට අතර සබඳතාවල නව ආරම්භයක් සිදුවූ බවයි.

එහිදී කඳුකරයේ ජනතාව වෙනුවෙන් ඉන්දීය සහයෙන් ඉදිකල නිවාස ව්‍යාපෘතියක් ද මාර්ගගත ක්‍රමයට විවෘත කෙරුණු අතර, එම අවස්ථාවට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ද එක්ව සිටියා.

“වත්මන් තනතුර දරමින් ශ්‍රී ලංකාවේ සිදුකරන මගේ ප්‍රථම සංචාරය මෙයයි.

වෙනත් තනතුරු දරමින් මා මීට පෙර ද ශ්‍රී ලංකාවේ සංචාරය කර තිබෙනවා.

ඒ හැම අවස්ථාවකදීම මට අත්දකින්නට ලැබුණේ දෙරට අතර, සබඳතාවල සුබවාදී වර්ධනයන්.

ඊයේ (03) දිනයේ ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදා ගත් මම ත්‍රිකුණාමලයේ සහ යාපනයේ සංචාරයක නිරත වුණා. එහිදී මට ඉන්දීය සහයෙන් ඉදිවන යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයක් දැක ගත හැකිවුණා.

මෙම ස්ථානවලින් පිළිඹුබු වන දෙයක් තමයි දෙරට අතර, ආවේණික සංස්කෘතික උරුමයන්.

ජනතාව කේන්ද්‍ර කර ගත් එවැනි ව්‍යාපෘති රැසක් පසුගිය කාලය තුල අපට දක්නට ලැබුණා.

අපේ ද්වීපාර්ශවීය සබඳතාවල ප්‍රගතිය ගැන අපට සතුටු විය හැකියි.

විශේෂයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය සංචාරවලදී සබඳතාවලින් එය බෙහෙවින් ශක්තිමත් වූ බවත්, සබඳතාවලට නව ආරම්භයක් ඇති කළ බවත් කිව යුතුයි.

එමෙන්ම, අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර පසුගිය වසරේ පැවති මාර්ග ගත සමුළුවේදී ආරක්ෂක සෞඛ්‍ය සංචාරක වෙළඳ හා වානිජ ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක දෙරට සහයෝගිතාව වර්ධනය කරලීමේ වැදගත් සන්ධිස්ථානය්ක ලෙස සැලකිය හැකියි.

පසුගිය වසරක කාලය තුල ඉන්දීය සාගර කලාපයේ ආපදා ප්‍රතිචාර දැක්වීමේ පුරෝගාමියා වූ ඉන්දියාව, ශ්‍රී ලංකා මුහුදේ නෞකා ගිනිගැනීම් සහ සාගර දූෂණය වැළැක්වීමට එක්වූයේ සතුටින්.

කොරෝනා පාලනය සඳහා ශ්‍රී ලංකාවට වෛද්‍යමය ඔක්සිජන් කඩිනමින් සැපයීමට ඉන්දියාව කටයුතු කළ අතර, වසංගත සමයේ දෙරට අතර, ප්‍රවාහන සබඳතා අඛන්ඩව පවත්වා ගැනීමට කටයුතු කළා.

2009 වසරෙන් පසුව ඉන්දියාව ශ්‍රී ලංකාව තුල නව ව්‍යාපෘති ආරම්භ කළ අතර, එහි අදියර ලෙස නව නිවාස 1235 ක් කඳුකරයේ ඉදිකර ජනතාවට පවරනු ලැබුවා.

රාමායනයේ සඳහන් පුරාතන ඉතිහාසයට අයත් දෙරටේ සංස්කෘතික මධ්‍යස්ථාන හරහා සංචාරක ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපෘතිය වර්ධනයටත් ඉන්දියාව සහය දීමට සූදානම්.

අපේ ජනතාව අතර, සබඳතාව පවත්වා ගැනීමේ වැදගත් මගක් වන්නේ සංචාරක ව්‍යාපාරයයි.

කොරෝනා වසංගතයේ මතුවූ සිමාවන් ලිහිල් වූ පසු එහි පුළුල් වර්ධනයට ඉන්දියාව සහය වීමට කටයුතු කරනවා. කොරෝනා වසංගතයෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලියට ද ඉන්දියාව ශ්‍රී ලංකාවට සහය දක්වන බව කිව යුතුයි.”

එහිදී අදහස් දැක්වූ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කියා සිටියේ ඉන්දීය විදේශ ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය කිසියම් ගණුදෙනුවක් හෝ ගණුදෙනු පෙලක් ඉලක්ක කරගත් එකක් නොවන බවයි.

එම සබඳතාවල ප්‍රමුඛත්වය හිමිවන්නේ ජනතාව අතර සබඳතාවලටයි.

නෞකා, ගුවන් සහ ඩිජිටල් සබඳතා හරහා ඊට පදනම සකස් කර ඇති බව විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික ව්‍යාපෘතියක් ලෙස මෙරට භික්ෂූණ් වහන්සේලා සියක් (100) නමක් ලබන 20 වැනිදා ඉන්දියාවේ කුෂ් නගර් හි සංචාරයක නිරත වන බවත් අමාත්‍යවරයා මෙහිදී හෙලිදරව් කළා.

ඒ සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් විශේෂ අරමුදලක්ද ස්ථාපිත කර තිබෙනවා.

අද (04) පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූ ඉන්දීය විදේශ ලේකම්වරයා දෙරට අතර ද්වීපාර්ශවීය සබඳතා ශක්තිමත් කර ගැනීම උදෙසා දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති හා සංචාරක ව්‍යාපාරය මෙන්ම ක්ෂේත්‍ර ගණනාවක සහයෝගිතාව වර්ධනය වන කරුණු පිළිබඳව සාකච්ඡාවට ලක් කර තිබෙනවා.

කුෂ්නගර් ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන්තොටුපලක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එහි පියාසර කරනු ලබන පළමු ගුවන් යානය වන්දනාකරුවන් සමඟ ශ්‍රී ලංකාවෙන් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව විදේශ ලේකම්වරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවේදී සඳහන් කර තිබෙනවා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද ඉන්දීය විදේශ ලේකම්වරයා හමුවූ අතර එහිදී කොරෝනා වසංගතය හමුවේ යළි මෙරට ආර්ථික ක්ෂේත්‍රය නගා සිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා සිදුවී තිබෙනවා.

එම සාකච්ඡාවෙන් අනතුරුව දෙමළ ප්‍රගතිශීලි සන්ධානය සහ දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ඡාවක් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේදී අද (04) පස්වරුවේ පැවැත්වුණා.

මේ, අතර, ඊයේ (03) රාත්‍රී දෙමළ ජාතික පක්ෂයේ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් සහ යාපනයේ ආණ්ඩුකාරවරයා ඇතුළු පිරිසක් ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්දන් සිංග්ලා හමුවුණා.

මෙම හමුවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ඉන්දීය විදේශ ලේකම්වරයාට සංදේශයක් ලබාදී තිබෙනවා.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 43 ක්

(04.10.2021 – 17:33 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 43 ක් වාර්තාවී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (03) තහවුරු කළ මෙම මරණ 43 ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 13,102 ක් ලෙසටයි.

මෙම මරණ අතර කාන්තාවන් 19 ක් සහ පිරිමින් 24 ක් වනවා.

ඊයේ (03) තහවුරු කළ මරණ අතර වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් වාර්තා වන්නේ නැහැ.

අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයේ මරණ 12 ක් තහවුරු වී ඇති අතර ඒ පිරිමි 10 ක් සහ කාන්තාවන් 02 ක් වශයෙන්.

අවුරුදු 60 සහ ඊට වැඩි කාන්තාවන් 17 ක් සහ පිරිමි 14 ක් මියගිය පිරිස අතර වනවා ෴

තවත් කොරෝනා ආසාදිතයින් 572 ක් මෙරටින් හමු වී තිබෙනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 5,21,002 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *