පාසල් 3000 ක් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ සූදානමක්

පාසල් 3000 ක් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ සූදානමක්

*********************************************

පාසල් 3000 ක් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ සූදානමක්

(03.10.2021 – 16:10 +0530 – hirunews.lk/sinhala)

පළමු (1) අදියර යටතේ පාසල් 3,000 ක් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, පළාත් ආණ්ඩුකාරවරුන් සමඟ ඊයේ (02) සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා.

කොරෝනා වසංගතය හේතුවෙන් පාසල් දීර්ඝ කාලයක සිට වසා දමා ඇති අතර, සිසුන් 200 ට අඩු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි, සිසුන් 100 ට අඩු පාසල්වල සියළුම ශ්‍රේණි හා තවත් තෝරා ගත් නිර්ණායක කිහිපයක් යටතේ පාසල් පළමු (1) අදියර යටතේ විවෘත කිරීමටයි තීරණය වී ඇත්තේ.

මේ වනවිට කාලයක් භාවිතයට නොගැනීම හේතුවෙන් පාසල් පරිශ්‍ර, පන්ති කාමර, ඩෙස් පුටු උපකරණ අපවිත්‍ර වී තිබෙනවා.

ඒවා පිරිසිදුකිරීම් සහ ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙලක් පළාත් ආණ්ඩුකාරවරුන් මැදිහත්වී ක්‍රියාත්මක බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.

මේ අතර, හෙට (04) සිට ආසන ධාරිතාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කරන බස් රථ අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළා.

එවැනි බස්රථවල බලපත්‍ර අහෝසි කිරීමට සහ නැවත දැනුම් දෙන තුරු ඒවා පොලිස් භාරයේ තබා ගන්නා බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති රුක්ෂාන් බෙල්ලන මහතා අද (03) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ පෞද්ගලික රෝහල්වලින් කොරෝනා ආසාදිතයින් සුවය ලබා පිටව යාමේදී අය කෙරෙන වැට් බද්ද වහා අහෝසි කළ යුතු බවයි.

අවුරුදු 15-19 අතර පිරිසට කොරෝනා මර්දන එන්නත් ලබාදීම ගැන ජනපතිගෙන් උපදෙස්

(03.10.2021 – 20:35 +0530 – hirunews.lk/sinhala)

අවුරුදු 15-19 අතර පිරිසට කොරෝනා මර්දන එන්නත් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා බොහෝදුරට මෙම සතියේ උපදෙස් ලබා දෙනු ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා ෴

+++++++++++++++++

තවත් කොරෝනා මරණ 40 ක්

(03.10.2021 – 17:17 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 40 ක් වාර්තා වී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (02) තහවුරු කළ මෙම මරණ 40 ත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 13,059 ක් ලෙසටයි.

මෙම මරණ අතර කාන්තාවන් 18 ක් සහ පිරිමින් 22 ක් වනවා.

+++++++++++++++++++

තවත් කොරෝනා ආසාදිතයින් 542 ක්

(03.10.2021 – 18:03 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 542 ක් අද (03) දිනයේ මෙරටින් වාර්තා වනවා.

ඒ සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 5,20,172 ක් දක්වා ඉහළ ගියා.

මේ අතර තවත් කොවිඩ් ආසාදිත මරණ 40 ක් අද (03) දිනයේ දී වාර්තා වුණා ෴

++++++++++++++++++

තවත් කොරෝනා ආසාදිතයින් 258 ක්

(03.10.2021 – 21:02 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 258 ක් අද (03) දිනයේ දී මෙරටින් හඳුනාගෙන තිබෙනවා.

එත් සමඟ අද (03) දිනයේ දී මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 800 ක්.

ඒ අනුව මෙම ආසාදිතයින් 800 ත් සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,20,430 ක් දක්වා ඉහළ යනවා ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

ලෝක ගුරු දිනයදා තවත් උද්ඝෝෂණ මාලාවක්

(03.10.2021 – 17:47 +0530 – hirunews.lk/sinhala)

ලබන 6 වනදාට යෙදෙන ලෝක ගුරු දිනය වෙනුවෙන් දිවයිනපුරා කොට්ඨාශ අධ්‍යාපන කාර්යාල 312 ඉදිරිපිට උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට ගුරු සහ විදුහල්පති වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

ඒ වැටුප් විෂමතා ගැටලුවට කඩිනම් විසදුම් ලබා දෙන ලෙසත් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කරන ලෙසත් ඉල්ලමින්.

ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද (03) කැදවා තිබූ මාධ්‍ය හමුවකදී මේ පිළීබද වැඩිදුරටත් කරුණු පැහැදැලි කළ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලින් :

******************************************

විදේශගතව සිට පැමිණි සැමියා කළ පහරදීමෙන් බිරිඳ මරුට

(03.10.2021 – 19:21 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුව – කලවංචිකුඩි – මහිලූර් ප්‍රදේශයේදී සැමියා විසින් පහරදී 31 හැවිරිදි බිරිඳ ඝාතනය කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ වසර හතක් (7) පුරා විදෙස් ගතව සිටි සැමියා පසුගිය මස 14 වනදා මෙරටට පැමිණීමෙන් පසු ඊයේ (02) දිනයේදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

සැකකරු විදේශගතව සිටියදී හඬපටයක් ද බිරිඳට එවා තිබී ඇති අතර, ඇයව ඝාතනය කරන බවට එමඟින් ඔහු සඳහන් කර තිබූ බව මියගිය කාන්තාවගේ සහෝදරියක් පොලිසිය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

ඊයේ (02) අදාළ පුද්ගලයා එම කාන්තාවට පහරදී ඇති අතර, පසුව ප්‍රදේශවාසීන් ඇයව රෝහල් ගතකර තිබෙනවා.

ඒ වනවිටත් මෙම කාන්තාව ජීවිතක්ෂයට පත්ව සිටි බවයි මඩකලපුව රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

පහරදීම සිදුකළ පුද්ගලයාව පොලිසිය විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

******************************************

පළාත් සභා මැතිවරණය දැන්ම බැහැ – ඇමති ජනකගෙන් ප්‍රකාශයක්

(03.10.2021 – 19:24 +0530 – hirunews.lk/sinhala)

පවතින තත්වය හමුවේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය නොහැකි බව පළාත් සභා හා පළාත්පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළා.

මැතිවරණය කඩිනමින් පවත්වන ලෙසට පසුගියදා විපක්ෂ නායකවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දඹුල්ලේදී අද (03) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියේ අවශ්‍ය නම් විපක්ෂ නායකවරයාට මැතිවරණයක් පවත්වා ගන්නා ලෙසයි ෴

******************************************

බිලියන 12 ක කොරෝනා ගෙවීම් පැහැර හැර ඇතැයි වෘත්තිය සමිතිවලින් චෝදනා

(03.10.2021 – 19:28 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අමාත්‍යාංශය සැපයුම්කරුවන් සඳහා ගෙවීමට නියමිතව ඇති රුපියල් බිලියන 12 ක් ගෙවීම පැහැර හැර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කොළඹ අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ මේ හේතුවෙන් ඉදිරියේදී සෞඛ්‍ය සේවාවන් රැසක් අඩාල වීමේ අවදානමක් මතුවී ඇති බවයි ෴

******************************************

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දීය විදේශ ලේකම්ගේ නිරීක්ෂණයට

(03.10.2021 – 19:37 +0530 – hirunews.lk/sinhala)

සිව් (4) දින නිළ සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්දන් සිංග්ලා අද (03) පස්වරුවේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.

මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ එහිදී මෙරට බලශක්ති සුරක්ෂිතතාවය ඉහළ නැංවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ‘ලංකා අයි.ඕ.සී. සමාගම’ විදේශ ලේකම්වරයා දැනුවත් කළ බවයි.

විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ගේ ආරාධනයකට අනුවයි ඉන්දීය විදේශ ලේකම්වරයා නිළ සංචාරයක් සඳහා ඊයේ (02) පස්වරුවේ මෙරටට පැමිණියේ.

ඔහු මෙහි රැඳී සිටින කාලය තුළ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා හමුවී සාකච්ඡා සිදුකිරීමට ද නියමිතව තිබෙනවා.

ඉන්දීය විදේශ ලේකම්වරයා සිය සංචාරය ආරම්භ කරමින් අද (03) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා වහන්සේ වැද පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා.

මෙම අවස්ථාවට මෙරට ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.

ඉන් අනතුරුවයි ඉන්දීය විදේශ ලේකම්වරයා ත්‍රිකුණාමලය වෙත පැමිණ ‘ලංකා අයි.ඕ.සී. සමාගම’ට අයත් තෙල් ටැංකි සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවට එක්වුණේ.

මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ එම තෙල් ටැංකි සංකීර්ණයේ සංවර්ධන කටයුතු සහ මෙරට බලශක්ති සුරක්ෂිතතාවය ඉහළ නැංවීම සඳහා ඉන්දු – ශ්‍රී ලංකා බලශක්ති සහයෝගීතාවය ශක්තිමත් කිරීමේ හැකියාවන් පිළිබදව ‘ලංකා අයි.ඕ.සී.’ ආයතනයේ නිලධාරීන් විදේශ ලේකම්වරයා දැනුවත් කළ බවයි.

එමෙන්ම ඉන්දීය විදේශ ලේකම්වරයා අද (03) පස්වරුවේ යාපනයේ සංචාරයක නිරත වීමට ද නියමිතව තිබුණා.

මේ අතර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට යළි ලබාදීමට සූදානම් බවට වෘත්තීය සමිති සිදුකරන ප්‍රකාශ අසත්‍ය බව විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

තෙල් වෘත්තීය සමිති දිගින් දිගටම කියා සිටියේ 2003 වසරේ අත්සන් කරන ලද ගිවිසුම 2023 වසරේදී අවසන් වීමට නියමිත බවයි.

කෙසේ වෙතත් අදාළ ගිවිසුම අවසන් වීමට නියමිතව ඇත්තේ 2038 වසරේදී බව ඊට ප්‍රතිචාර දැක්වූ අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළා.

ඉන්දීය විදේශ ලේකම්වරයා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අදාළ තෙල් ටැංකි යළිත් ඉන්දියාවට ලබාදීමට දරණ උත්සාහය මැනවින් පිළිබිඹුවන බව තෙල් වෘත්තිය සමිති පෙන්වා දෙනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කියා සිටියේ 2038 වසර දක්වා ඉන්දියාවේ අයිතිය යටතේ පවතින ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමට ඉන්දීය විදේශ ලේකම්වරයාට අයිතියක් ඇති බවයි.

වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ වසර 35 කට ඉන්දියාවට ලබාදී ඇති තෙල් ටැංකි සංකීර්ණයට අදාළ ගිවිසුම ද බල රහිත එකක් බවයි.

එසේම තෙල් ටැංකි සංකීර්ණය 2038 වන තුරු බදු පදනම යටතේ ඉන්දියාව ලබාගෙන තිබුණ ද ඉන්ධන බෙදා හැරීම ඇතුළු කටයුතු 2023 වසරෙන් අවසන් කළ යුතුයි.

ඒ, තෙල් බෙදා හැරීම ඇතුළු කටයුතු වෙනුවෙන් 2003 වසරේ ඉන්දියාවට නිකුත් කර ඇති බලපත්‍රයේ වලංගු කාලය වසර 20 ක් වන බැවින්.

වෘත්තීය සමිති පවසන්නේ ඒ හේතුවෙන් ඉන්ධන බෙදා හැරීම ඇතුළු කටයුතු තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ඉන්දියාව නව ගිවිසුමකට යාමට මේ වන විටත් කටයුතු කරමින් සිටින බවයි.

ඊට අදාළ සාකච්ඡා පැවැත්වීම ඉන්දීය විදේශ ලේකම්වරයාගේ මෙරට සංචාරයේ අරමුණ වී ඇති බව තෙල් වෘත්තීය සමිති ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ඛනිජ තෙල් පනතට අනුව තෙල් බෙදා හැරීම ඇතුළු කටයුතු සිදුකිරිම වෙනත් පාර්ශවයකට පැවරීමට අමාත්‍යවරයා සතුව බලතල නොමැති අතර ඒ හේතුවෙන් ඛනිජ තෙල් පනත ද වෙනස් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.

ඒ අනුව ලබන 06 වන දා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වෘත්තීය සමිති සඳහන් කළා.

කෙසේ වෙතත් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ඉන්දියාව සමග නව ගිවිසුමකට ඇතුලත්වීම පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙන්නේ වෘත්තිය සමිති ඇතුලු සියලු පාර්ශව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බවයි.

******************************************

ගොවි ජනතාවට අධිකරණයට යාමට විපක්ෂ නායකගේ සහය

(03.10.2021 – 19:40 +0530 – hirunews.lk/sinhala)

නිසි වේලාවට පොහොර සහනාධාරය නොලැබීම නිසා අස්වැන්න අඩුවී ආදායම් අහිමිවීම සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීම වෙනුවෙන් ගොවි ජනතාවට සහයෝගය ලබාදෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ හම්බන්තොට ලුණුගම්වෙහෙර – අග්බෝපුර කලාපයේ ගොවි ජනතාව හමුවීමේ අවස්ථාවට අද එක්වෙමින්.

******************************************

‘හිරු සී.අයි.ඒ.’ අනාවරණයෙන් පසු ඇස් ඇරුණු බලධාරීන්

(03.10.2021 – 20:41 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවත්තේ පිහිටා ඇති ශ්‍රී ලංකාව සතු එකම ගිනි නිවීමේ හා ජීවිත බේරාගැනීමේ පුහුණු පාසල් ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු මෙම වසර අවසන්වීමට පෙර ආරම්භ කරන බව කොළඹ නාගරික කොමසාරිස් නීතීඥ රෝෂිණී දිසානායක මහත්මිය පවසනවා.

‘හිරු සී.අයි.ඒ.’ අනාවරණයෙන් පසු එම පුහුණු පාසල් ගොඩනැගිල්ල නිරීක්ෂණය කිරීමට අද (03) පැමිණි අවස්ථාවේ නාගරික කොමසාරිස්වරිය මේ බව ප්‍රකාශ කළා.

ත්‍රිවිද හමුදාව, පොලිසිය ඇතුළු සියළු රාජ්‍ය ආයතනවල ගිනි නිවීමේ භටයන් පුහුණු කිරීම සඳහා මෙරට තුළ පවතින එකම ගිනි නිවීමේ හා ජීවිත බේරාගැනීමේ පුහුණු පාසල පිහිටා ඇත්තේ වැල්ලවත්ත – රොක්සිවත්ත ප්‍රදේශය ආශ්‍රිතවයි.

2010 වසරේ ඉදිකර ඇති මෙම ගොඩනැගිල්ල නිසි ප්‍රමිතියකට ඉදිකර නොමැතිවීම හේතුවෙන් 2015 වසරේ සිට අභාවයට යමින් පැවති අතර එතැන් සිට අද දක්වාම මෙහි නේවාසික පුහුණුවීම් සිදුකෙරුණේ නැහැ.

ඊට හේතුවුයේ ගිනි නිවීමේ භටයින් පුහුණු කිරීමේදී දේශන පවත්වන රැස්වීම් ශාලාවේ වහලය කොටස් වශයෙන් ගැල වී ගොස් මෙම ගොඩනැගිල්ල ජලයෙන් යටවීම හේතුවෙන්.

මෙම අවිධිමත් ඉදිකිරීම් හරහා රුපියල් ලක්ෂ ගණනක් වටිනා වායු සමීකරණ යන්ත්‍ර, විදුලි පංකා ඇතුළු බොහෝ දෑ අමු අමුවේ විනාශ මුඛයට පත්ව ඇති අයුරු අප ඊයේ (02) රාත්‍රී 7 හිරු ප්‍රධාන පුවත් ප්‍රකාශයෙන් ‘හිරු සී.අයි.ඒ.’ හරහා හෙළි කළා මෙහි තහඩු යකඩ කැබලි අවට නිවාසවලට විසිවීම හරහා පසුගිය කාලයේ අපදා තත්ත්වයන් ද නිරන්තරයෙන් මතු වුණා.

අපගේ එම අනාවරණයත් සමග 2015 වසරේ සිට බලධාරීන්ගේ කඹ ඇඳිලි මත විසදුමක් නොලැබී තිබු මෙම ගොඩනැගිල්ල නිරීක්ෂණය කිරීම සදහා කොළඹ නාගරික කොමසාරිස්වරිය නිලධාරීන් හා ඉංජිනේරුවන් පිරිසක් සමග පුහුණු පාසල නිරීක්ෂණය සඳහා පැමිණියා.

******************************************

ත්‍රිකුණාමල තෙල් ටැංකි ගැන ජී.එල්. පීරිස් ගෙන් ප්‍රකාශයක්

(03.10.2021 – 21:32 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාව සමඟ නව ගිවිසුමකට ඇතුළත් වීම සම්බන්ධව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ ඒ සම්බන්ධව අවසන් තීරණයකට එළඹෙන්නේ වෘත්තිය සමිති ඇතුළු සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *