කොරෝනා ආසාදිතයින්ට දින 90 ක් 180 ත් අතර දිගුකාලීන රෝග ලක්ෂණ

කොරෝනා ආසාදිතයින්ට දින 90 ක් 180 ත් අතර දිගුකාලීන රෝග ලක්ෂණ

*********************************************

කොරෝනා ආසාදිතයින්ට දින 90 ක් 180 ත් අතර දිගුකාලීන රෝග ලක්ෂණ

(03.10.2021 – 08:33 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයන් අතර දින 90 ත්, 180 ත් අතර කාලයක් පුරා පවතින දිගුකාලීන රෝග ලක්ෂණ දක්නට ලැබෙන බව ශ්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජිවන්දර මහතා පවසනවා.

ඔහු කියා සිටියේ දිගුකාලීන රෝග ලක්ෂණ කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන බවයි.

ශ්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සිය නිල ට්විටර් ගිණුමට සටහනක් එක්කරමින් ඊයේ (02) සඳහන් කළේ එවැනි අසාමාන්‍ය ස්වසන අපහසුතා, කාන්සාව, විශාදය, පසුවේ සහ උගුරේ වේදනාව, හිසරදය, මාංශපේෂී වේදනාව වැනි රෝග ලක්ෂණ 9 ක් මෙලෙස දිගුකාලීනව පැවතිය හැකි බවයි.

ඉන් ද කාන්සාව හා විශාදය වැනි රෝග ලක්ෂණ සියයට 15 ක් තරම් ඉහළ මට්ටමින් වාර්තා වන බවද ඔහු සදහන් කළා.

මේ අතර, ඊයේ (02) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 858 ක් හදුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,19,630 ක් දක්වා ඉහළ ගියා.

වාර්තා වූ නව ආසාදිතයින්ගෙන් 855 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර, විදේශයන් හි සිට පැමිණි 3 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හදුනා ගැනුණා.

ඒ අනුව මෙරට සක්‍රිය ආසාදිතයින් සංඛ්‍යාව 47,965 ක්. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා (01) සිදුවූ බවට ඊයේ (02) තහවුරු කරන ලද මරණ 55 ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,019 ක් දක්වා ඉහළ ගියා.

සුවය ලැබූ මුළු සංඛ්‍යාව 458,646 ක් ෴

++++++++++++++++

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පුළුල් සංචාරක වැඩපිළිවෙලක්

(03.10.2021 – 10:34 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව සමග පුළුල් සංචාරක වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව නවසීලන්ත මහකොමසාරිස් මයිකල් එඩ්වඩ් ඇපල්ටන් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සමඟ ඊයේ (02) පැවති සාකච්ඡාවකදියි.

එහිදී මෙරට එන්නත්කරණය වැඩපිළිවෙල පිළිබදව නවසීලන්ත මහකොමසාරිස්වරයා සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.

එසේම නවසීලන්තය සංචාරක කටයුතු සඳහා විවෘත කිරීමෙන් පසු දෙරට අතර ඒකාබද්ධ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි නවසීලන්ත මහකොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇත්තේ ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

බස්නාහිර විශේෂ මෙහෙයුමකින් 1156 ක් අත්අඩංගුවට

(03.10.2021 – 07:09 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ අධිකරණය මග හැර සිටි වරෙන්තුකරුවන් 531 දෙනෙකු ඇතුළු අපරාධ හා විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 1156 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (02) උදෑසන 6 සිට සවස 6 දක්වා පැය 12 ක කාලය තුළ සිදුකළ විශේෂ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සදහන් කළේ.

එහිදී අපරාධ වැරදි සම්බන්ධයෙන් 54 දෙනෙකු සහ දූෂණ වැරදි සම්බන්ධයෙන් 491 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

******************************************

නිවෙස් බිඳ දේපළ සොරකම් කිරීමට සම්බන්ධ ලියාපදිංචි අපරාධකරුවෙක් අත්අඩංගුවට

(03.10.2021 – 07:33 +0530 – hirunews.lk/sinhala)

මිරිහාන සහ තලංගම ප්‍රදේශවල නිවෙස් බිඳ දේපළ සොරකම් කිරීමට සම්බන්ධ ලියාපදිංචි අපරාධකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලැබුණු තොරතුරකට අනුව නුගේගොඩ කොට්ඨාශ අපරාධ අංශයේ නිලධාරීන් විසින් මිරිහාන සිගේරා පාර ප්‍රදේශයේදී ඊයේ (02) කළ වැටලීමකදීයි සැකකරු අත්අඩංගුවට ගැනුණේ.

ඒ හෙරොයින් ග්‍රෑම් 05 ක් ද සමගින්.

සැකකරු සම්බන්ධයෙන් කළ විමර්ශණයේදී අනාවරණ වී ඇත්තේ එම පුද්ගලයා තලංගම පොලිසිය මගින් පරීක්ෂා කරනු ලබන දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙක් බවයි.

මිරිහාන සහ තලංගම පොලිස් වසම්වල නිවෙස් බිඳ දේපළ සොරකම් කිරීම් කිහිපයකට මෙම පුද්ගලයා අවශ්‍ය කරන අයෙක් බවට ද අනාවරණ වී තිබෙනවා.

සැකකරු සතුව තිබී සොරකම් කළ දේපළ වලින් වළලු 02 ක්, මාල දෙකක් (2) සහ කරාබු ජෝඩු 03 ක් සොයාගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ.

සැකකරු වැඩිදුර විමර්ශණ සඳහා මිරිහාන පොලිසිය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි සැකකරු අද (03) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

******************************************

‘මිත්‍ර ශක්ති’ අද (03) ඇරඹේ

(03.10.2021 – 07:43 +0530 – hirunews.lk/sinhala)

ඉන්දු – ලංකා යුද හමුදා අතර වාර්ෂිකව පවත්වන මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය අද (03) ආරම්භ වනවා.

ඒ සඳහා සහභාගි වන ඉන්දීය යුද හමුදා භටයින් 120 දෙනෙකු ඊයේ (02) මත්තල ගුවන් තොටුපලෙන් දිවයිනට පැමිණි බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා සඳහන් කළේ.

අම්පාර යුද හමුදා සටන් පුහුණු පාසලේදී අද (03) ආරම්භ වන යුද අභ්‍යාසය ලබන 16 වනදා තෙක් පැවැත්වෙනවා.

දෙරටේ හමුදා අතර මිත්‍රත්වය වැඩිකරගැනීම සහ අත්දැකීම් හුවමාරුව අරමුණු කරගනිමින් වාර්ෂිකව පැවැත්වෙන මෙම යුද අභ්‍යාසය පළමුවරට ආරම්භ කරනු ලැබුවේ 2012 වසරේදියි.

එමෙන්ම, ජපානයට අයත් විශාලම යුද නෞකා තුනක් (3) වන කාගා, මුරසාමේ සහ ෆුයුෂුකි නෞකා ත්‍රිත්වය ද ඊයේ (02) නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වුණා.

මේ අතර සිව්දින (4) නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්දන් සිංග්ලා දිවයිනට පැමිණියා.

‘එයාර් ඉන්දියා’ ගුවන් සේවයට අයත් සාමාන්‍ය මගී යානයකින් ඔහු ඊයේ (02) රාත්‍රී 07:40 ටයි කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත්තේ.

ඉන්දීය විදේශ ලේකම්වරයා සමඟ තවත් තුන්දෙනෙකු (3) ගෙන් සමන්විත දූත පිරිසක් පැමිණ ඇති අතර, ඔවුන් පිළිගැනීම සඳහා මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ උසස් නිලධාරීන් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

ශ්‍රී හර්ෂ් වර්දන් සිංග්ලා විදේශ ලේකම් ධුරයට පත්වීමෙන් පසු මෙරට සිදුකරන පළමු (1) නිල සංචාරය මෙයයි.

ලබන පස්වනදා (05) තෙක් ඔහු ඇතුලු දූත පිරිස මෙරට රැඳී සිටින අතර, එම කාලය තුළ ඔහු මහනුවර, ත්‍රිකුණාමලය සහ යාපනය යන ප්‍රදේශවලද සංචාරය කිරීමට නියමිතයි.

එසේම ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්දන් සිංග්ලා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා මෙන්ම විදේශ අමාත්‍යවරයාද මුණගැසී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට සැළසුම් කර ඇති බවයි විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ ෴

දිවයිනට පැමිණි ඉන්දීය විදේශ ලේකම් දළදා සමිඳුන් වැද පුදා ගනී

(03.10.2021 – 11:13 +0530 – hirunews.lk/sinhala)

මෙරට සංචාරයක් සඳහා ඊයේ (02) දිවයිනට පැමිණි ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා අද (03) උදෑසන මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැද පුදාගෙන තිබෙනවා.

එම අවස්ථාවට මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයා ඇතුළු පිරිසක් ද එක්ව සිටි බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

******************************************

පළමු වරට අයවැය යෝජනා ගම් මට්ටමින්

(03.10.2021 – 07:54 +0530 – hirunews.lk/sinhala)

මෙරට පළමු වරට අයවැය යෝජනා ග්‍රාමීය මට්ටමින් ලබාගැනීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පවසනවා.

අයවැය යෝජනා සඳහා ප්‍රාදේශීය මට්ටමින් කමිටුවලින් තොරතුරු ලබාගැනීමේ වැඩසටහනක් වත්තල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී ඊයේ (02) පැවති අතර ඊට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

******************************************

දෙවරක්ම (2) ප්‍රතික්ෂේප වූ චීන සමාගමෙන් යළිත් සාම්පලයක් ගෙන්වීමේ සූදානමක්

(03.10.2021 – 08:11 +0530 – hirunews.lk/sinhala)

මෙරට ශාඛ ආරක්ෂණ පනතේ අඩංගු නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කරමින් මෙරටට කාබනික පොහොර ආනයනය කිරීමේ සූදානමක් පවතින බවට පරිසරවේදීන් චෝදනා කරනවා.

විදේශ රටක රසායනාගාර වාර්තාවක් මත පමණක් පදනම්ව එලෙස කාබනික පොහොර ආනයනය කිරීමේ සූදානමක් ඇති බවටයි ඔවුන් අනාවරණ කරන්නේ.

චීනයෙන් මෙරටට ගෙන්වීමට සැලසුම් කර තිබූ කාබනික පොහොර තොගයේ අහිතකර බැක්ටීරියා ඇති බව දෙවන (2) වරටත් සිදුකළ සාම්පල පරීක්ෂාවේදී තහවුරු වීම හේතුවෙන් පසුගියදා අදාළ චීන සමාගමෙන් කාබනික පොහොර ගෙන්වීම අත්හිටවනු ලැබුවා.

1999 අංක 35 දරණ ශාඛ ආරක්ෂණ පනත අනුව විදේශ රටක සිට මෙරටට පිදුරු, පස්, බීජ හෝ වියලන ලද පැලෑටි හෝ අජීවී ශාඛ කොටස් වැනි දෑ ගෙන ඒමේදී පවා දැඩි නිරෝධායන නීති පවතිනවා.

කෙසේ වෙතත් රට තුළ ඇති ඩොලර් හිඟය හමුවේ මහ කන්නයේ පවතින පොහොර අවශ්‍යතාව සපුරා ගැනීමට එම නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කාබනික පොහොර ආනයනය කිරීමට ඇතැම් පාර්ශව සූදානම් වන බවටයි පරිසරවේදීන් පවසන්නේ.

මේ අතර දෙවරක්ම සාම්පල ප්‍රතික්ෂේප වූ චීන සමාගමෙන් යලිත් වරක් සාම්පල ගෙන්වා පරික්ෂා කිරීමට අවධානය යොමුව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ චීනයේ අදාළ ආනයනික සමාගම තම වරද පිළිගෙන එය නිවැරදි කර යළිත් සාම්පලයක් මෙරටට එවීමට එකගතාව පළ කර ඇති බවයි.

කෙසේ වෙතත් එලෙස විශ්වාසය කඩකල සමාගමකින් යලිත් වරක් සාම්පල ගෙන්වා පරික්ෂා කිරීම ඵල රහිත බවයි රේගු දෙපාර්තමේන්තුවේ ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ හිටපු අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර මහතා සඳහන් කළේ.

මෙරට තුළට එවැනි කාබනික පොහොර ගෙන්වීමේදී භෝග වගාවට සහ පරිසරයට හානිකර නොවන බැක්ටීරියා විශේෂ අඩංගු නොවන බවට නිරෝධායන ක්‍රම මගින් දැඩිව තහවුරු කර ගත යුතුව ඇති බව ද ඔහු කියා සිටියා.

පොහොර සහ කෘෂි රසායන හිඟය හේතුවෙන් දුෂ්කරතාවට මුහුණු දී සිටින බොහෝ ප්‍රදේශවල ගොවීන්ට තවමත් විසඳුම් ලැබී නැහැ.

මේ හේතුවෙන් ප්‍රදේශ රැසකම තේ වගාවටද එල්ලව ඇත්තේ දැඩි බලපෑමක්.

පොහොර නොමැති වීම හේතුවෙන් තමන්ට වගාවෙන් ඉවත්වීමට සිදුව ඇති බව අම්පාර දමන සහ කෙසෙල්වත්ත යන ගම්මාන කිහිපයක බඩඉරිගු ගොවීන් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ අක්කර 1500 ක පමණ වගා කටයුතු සිදු කරන තමන්ට එය අඩාල වුවහොත් ඉදිරියේදී දැඩි ආර්ථික අපහසුතා රැසකට මුහුණ දීම සිදු වනු ඇති බවයි.

කෘෂි රසායන හිඟය හේතුවෙන් සිය තේ වගාවන් හානි වී ඇති බවටයි කෑගල්ල, දැරණියගල, පොත්දෙණියකන්ද තේ කර්මාන්ත කරුවන්ද පවසන්නේ

සමගි ජනබලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් ද එම වගා කරුවන් හමුවී ඔවුන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කළා.

පොහොර සහ කෘෂි රසායන හිඟය හේතුවෙන් ​බදුල්ල දිස්ත්‍රික්කයේ මල් වගාකරුවන්ද මුහුණ දී ඇත්තේ දැඩි ගැටලුවකටයි.

ගොවීන් මැසිවිලි නගන්නේ මේ දිනවල මල්වගාවට හානි කරන සුදු මැස්සා හේතුවෙන් මල් වගාවට ගැටලු රැසක් මතු වී ඇති බවයි ෴

******************************************

උඩඟුකමින් නිල මානයෙන් පිම්බුණු ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයෙකු පොලිස් නිලධාරියෙකුට සද්දෙ දමයි

(03.10.2021 – 11:57 +0530 – hirunews.lk/sinhala)

තම රියදුරු බලපත්‍රය ලබාගෙන පරීක්ෂා කළ, පොලිස් නිලධාරීයෙකුට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයෙක් බැන වදින වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් තිබෙනවා.

මේ වනවිට අදාළ නිලධාරියා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

අදාළ ලේකම්වරයා සහ ඔහුගේ බිරිඳ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරමින් සිටිය දී, පොලිස් නිලධාරියෙකු විසින් තොරතුරු ලබා ගැනීමට උත්සහ කර තිබෙනවා.

එහි දී, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයෙකු යැයි කියාගන්නා මෙම පුද්ගලයා, පොලිස් නිලධාරීයාට බැන වදිමින් දුරකතනයෙන් අදාළ සිදුවීම සම්බන්ධයෙන් තවත් අය දැනුවත් කරන ආකාරයක් ද එම වීඩියෝවේ දැක්වෙනවා.

එම අවස්ථාවේදී ලේකම්වරයාගේ බිරිඳ ද පොලිස් නිලධාරියාට බැන වැදීමට කටයුතු කර අයුරු ද එහි දැක්වෙනවා.

******************************************

ඖෂධීය ශාඛ ආනයනය නතර කර වගා කිරීමේ වැඩපිළිවෙලක්

(03.10.2021 – 12:03 +0530 – hirunews.lk/sinhala)

ආයුර්වේද හා දේශීය වෙදකමට යොදා ගන්නා ඖෂධීය ශාඛ විශේෂයන් වන අරළු, බුළු හා නෙල්ලි ආනයනය කිරීම අත්හිටුවා ඒවා මෙරට වැඩි වශයෙන් වගා කිරීමේ වැඩපිළිවෙලක් පරිසර අමාත්‍යාංශය ආරම්භ කර තිබෙනවා.

මෙම ශාඛ මෙරට තුළ ඇතත් ඒවා ඉන්දියාවෙන් ආනයනය කිරීමට වාර්ෂික ඩොලර් මිලියන 9 ක පමණ මුදලක් වැය වන බවයි පරිසර අමාත්‍යාංශයේ පැවති දේශගුණික විපර්යාසයන්ට විසදුම් සහිත හරිත ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වීමේදී අනාවරණ වුණේ.

එහිදී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දුන්නේ මෙම ශාඛ වනාන්තර ආශ්‍රිතව මෙන්ම මාර්ග දෙපස වගා කළ හැකි බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *