වරායේ සිරවුණු කිරිපිටි තොග ලබන අඟහරුවාදා (05) නිදහස්

වරායේ සිරවුණු කිරිපිටි තොග ලබන අඟහරුවාදා (05) නිදහස්

*********************************************

වරායේ සිරවුණු කිරිපිටි තොග ලබන අඟහරුවාදා (05) නිදහස්

(02.10.2021 – 12:48 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ සිර වී ඇති කිරිපිටි තොග ලබන අඟහරුවාදා (05) වන විට නිදහස් කර ගැනීමට හැකි වනු ඇති බව කිරිපිටි ආනයනකරුවන් ප්‍රකාශ කළා.

එම එකමුතුවේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා සඳහන් කළේ, ඩොලර් හිඟය හේතුවෙන් කිරිපිටි බහලුම් මුදා ගැනීමට මතු ව තිබූ බාධා මේ වන විට මහබැංකුවේ මැදිහත්වීමෙන් ඉවත් වෙමින් පවතින බවයි.

පසුගිය දිනවල මතු වූ ඩොලර් අර්බුදයත් සමඟ කොළඹ වරායේ කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහලුම් රැසක් සිර වී තිබූ අතර අග්‍රමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබුණේ එම බහලුම් මුදා හැරීමට කඩිනම් පියවර ගන්නා ලෙසයි.

ඒ අනුව මහබැංකු අධිපතිවරයා පසුගිය දා රාජ්‍ය බැංකු දෙකකට (2) ඩොලර් මුදා හැරීමට පියවර ගත්තා.

කෙසේ වෙතත් ආනයනකරුවන් ඉල්ලා සිටියේ පෞද්ගලික බැංකු වෙතින් ද ඩොලර් ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙසට යි.

ඒ අනුව ලබන සඳුදා (04) වන විට ඩොලර් ශ්‍රී ලංකා මහබැංකුව විසින් වානිජ බැංකු වෙත යොමු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තත්ත්වය හමුවේ කොළඹ වරායේ සිර වී තිබූ කිරිපිටි මෙට්‍රික් ටොන් 360 ක් නිදහස් කර ගැනීමට අවස්ථාව සැලසෙනු ඇති.

තවමත් ප්‍රදේශ රැසක කිරිපිටි මිල දී ගැනීම සඳහා ජනතාව දිගු පෝලිම්වල රැදී සිටින ආකාරයක් දක්නට ලැබෙනවා.

******************************************

ශ්‍රී ලාංකික කාන්තාවක් ඉතාලියේ නගර සභා ඡන්දයට

(02.10.2021 – 10:22 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලාංකික කාන්තාවක් ඉතාලියේ මිලානෝහි නගර සභා ඡන්දයට ඉදිරිපත් ව තිබෙනවා.

ධම්මිකා චන්ද්‍රසේකර නම් ශ්‍රී ලාංකික කාන්තාවක් මෙලෙස මිලානෝහි අංක 8 ප්‍රදේශයේ නගර සභාවට මෙවර තරග කරන බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

වසර 30 ක පමණ කාලයක් මිලානෝ නගරයේ ජීවත් වෙමින් සමාජ සේවා කටයුතුවල නිරත ඇය බොහෝ සමිති සමාගම්වල කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඇය අනිද්දා (04) පැවැත්වෙන නගර සභා මැතිවරණයේ දී මිලානෝහි ඡන්දය හිමි ශ්‍රී ලාංකිකයින් බහුතරයකගේ ඡන්දය හිමි වනු ඇති බවට විශ්වාසය පළ කෙරෙනවා ෴

******************************************

බීමත් රියදුරන් 188 ක් අත්අඩංගුවට

(02.10.2021 – 11:01 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ ඊයේ (01) සිදු කළ විශේෂ මෙහෙයුමක දී බීමත් රියදුරන් 188 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත ඊයේ (01) රාත්‍රී 10 සිට 12 දක්වා පැය දෙකක (2) කාලය තුළ මෙම මෙහෙයුම සිදු කර ඇති බව සඳහන් ෴

******************************************

2022 අය වැය ලබන 12 වැනි දා පාර්ලිමේන්තුවට

(02.10.2021 – 11:44 +0530 – hirunews.lk/sinhala)

ලබන වසර සඳහා ඉදිරිපත් කෙරෙන අයවැය යෝජනාව නොවැම්බර් මස 12 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඊට අදාළ විසර්ජන පනත් කෙටුම්පත අනිද්දා (04) ආරම්භ කෙරෙන පාර්ලිමේන්තු සතියේ අග දිනයක දී මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති.

අයවැය විවාදය දින 07 ක් පවත්වා අනතුරුව දින 16 ක කාලයක් කාරක සභා විවාදය පැවැත්වීමටයි දැනට සැලසුම් සකස් කර ඇත්තේ.

මීට අමතරව අයවැය 03 වන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 10 වන දා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මේ අතර, ලබන සඳුදා (04) සිට දින පහේම (5) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

අනිද්දා (04) විශේෂ පාර්ලිමේන්තු දිනයක් වන අතර, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය කාලයේ පාර්ලිමේන්තු නියමිත ලෙස රැස්වීමට නොහැකි වුණා.

ඒ හේතුවෙන් ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දීමට නොහැකි වූ ප්‍රශ්න සඳහා අනිද්දා (04) අවස්ථාව ලබාදීමටයි පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කර ඇත්තේ ෴

******************************************

සූර්ය බල සුළං රාජ්‍ය ඇමතිට චෝදනාවක්

(02.10.2021 – 13:11 +0530 – hirunews.lk/sinhala)

මෙරට විදුලිය ඉල්ලුමෙන් 70% ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීම 2030 වසර වන විට රජයේ ඉලක්කය වී තිබුණ ද ඊට අදාළ ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් කැදවීම වසරක කාලයක් තිස්සේ ප්‍රමාද කර ඇති බවට ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය චෝදනා කරනවා.

එහි සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා සඳහන් කළේ, සූර්ය හා සුළං ප්‍රභවයන්ගෙන් මෙගාවොට් 190 ක විදුලිය නිපදවීමට අදාළ ව්‍යාපෘති සඳහා වන ටෙන්ඩර් කැදවීම මෙලෙස ප්‍රමාද කර ඇති බවයි.

පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී මෙගාවොට් 150 ක සූර්ය බලාගාර සහ මෙගාවොට් 40 ක සුළං බලාගාර ඉදිකිරීම් සඳහා ටෙන්ඩර් කැදවීමට අනුමැතිය ඉල්ලා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළ ද රාජ්‍ය අමාත්‍යාංශය අදාළ අනුමැතිය ලබා ගැනීම ප්‍රමාද කරමින් සිටින බවටයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා චෝදනා කරන්නේ.

අප මේ සම්බන්ධයෙන් සූර්යබල සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති රාජ්‍ය අමාත්‍යාංශයෙන් කළ විමසීමක දී එහි මාධ්‍ය අංශය සඳහන් කළේ, මීට අදාළ ටෙන්ඩර් කැඳවීමට අවශ්‍ය පියවර දැනටමත් ගෙන ඇති බවයි.

ඒ සඳහා දේශීය හා විදේශීය ආයෝජකන්ගෙන් නොවැම්බර් 01 වන දිනට පෙර යෝජනා කැඳවමින් පසුගිය 24 වන දා අතිවිශේෂ ගැසට් පත්‍රයක් ද නිකුත් කළ බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ ෴

******************************************

ගුරු සංගම් නියෝජිතයින් කොටුව පොලීසියට

(02.10.2021 – 13:13 +0530 – hirunews.lk/sinhala)

ඔන්ලයින් වර්ජනයේ නිරත ගුරු වෘත්තිය සමිති නියෝජිතයින් පස්දෙනෙකුට (5) අද (02) කොටුව පොලීසියට පැමිණෙන ලෙස දැනුම්දීමක් කර තිබුණා.

වැටුප් ගැළුවක් මුල් කරගනිමින් වර්ජනයේ නිරත ගුරු විදුහල්පති වෘත්තීය සමිති පසුගිය අගෝස්තු 04 වනදා රථ පෙළපාලියකින් ජනාධිපති කාර්යාලය වෙත පැමිණියා.

සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කිරීම හේතුවෙන් මෙම අවස්ථාවට එක්වූ වෘත්තිය සමිති නියෝජිතයින් 44 දෙනෙකු අත්අඩංගුවට ගෙන පසුව මුදාහරිනු ලැබුවා.

කෙසේ වෙතත්, අද (02) ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් කොටුව පොලීසියට පැමිණි අවස්ථාවේදී එහි නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ඊට අදාළ පරීක්ෂණ අවසන් බැවින් ප්‍රකාශයක් ලබාදීම අවශ්‍ය නොවන බවයි.

******************************************

රසායනික හා පොහොර හිඟයෙන් ගොවීන් තවදුරටත් දුෂ්කරතාවයේ

(02.10.2021 – 13:17 +0530 – hirunews.lk/sinhala)

රසායනික පොහොර සහ වල්නාශක නොමැති වීම හේතුවෙන් ගොවීන් රැසක් තවදුරටත් අර්බුදයකට ලක් ව සිටිනවා.

ඒ හේතුවෙන් අස්වැන්න අඩු වී ඇති අතර කෘමීන්ගෙන් ද දැඩි හානි සිදු ව ඇති බවයි ගොවීන් කියා සිටියේ.

මේ අතර, දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගොවීන් සාර්ථක ලෙස කාබනික පොහොර නිෂ්පාදනය කරන ආකාරයක් ද දක්නට ලැබුණා.

බදුල්ල දිස්ත්‍රික්කයේ මල්වගාකරුවන් කිහිපදෙනෙකු කියා සිටියේ, මැසි උවදුරක් හේතුවෙන් තම මල් වගාව විනාශ වී යාමේ තර්ජනයකට මුහුණ දී ඇති බවයි.

ඒ සඳහා භාවිත කිරීමට සුදුසු කෘමිනාශක වෙළඳපොළේ නො මැති වීම හේතුවෙන් තමන් දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බව ද ඔවුන් කියා සිටියා.

එසේම පොහොර වර්ග හතරක් (4) වී වගාව වෙනුවෙන් සූදානම් කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගන්නෝරුව ප්‍රදේශයේ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ.

මේ අතර මඩකලපුව ප්‍රදේශයේ දී ඊයේ (01) මාධ්‍ය වෙත අදහස් දැක් වූ ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කළේ, උතුර – නැගෙනහිර හැර සෙසු පළාත්වල ජනතාව කාබනික පොහොර නිෂ්පාදනය සහ භාවිතයට මෙතෙක් හුරු වී නො මැති බවයි ෴

******************************************

ආනමඩුවේ රක්ෂිතයක කොටසක් ඩෝසර් කෙරේ

(02.10.2021 – 13:37 +0530 – hirunews.lk/sinhala)

ආනමඩුව – කොට්ටුකච්චිය – කච්චිමඩුව ජලාශයේ රක්ෂිත කොටසේ ඩෝසරයක් යොදා ගනිමින් කුඹුරු සහ ඉස්සන් කොටු සකස් කරන බවට ගම්වාසීන් චෝදනා කරනවා.

ඔවුන් පවසන්නේ ඉතා සූක්ෂම ආකාරයෙන් මෙලෙස අදාළ ප්‍රදේශයට හානි සිදුකරන බවයි.

වාරිමාර්ග නිලධාරීන් විසින් රක්ෂිතය නම් කරමින් සකස් කර ඇති මායිම් සලකුණු ගල් ද නොතකමින් අදාළ පිරිස මෙලෙස බිම් සකස් කිරීම සිදුකරන බවයි ගම්වාසීන් ප්‍රකාශ කළේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පුත්තලම ප්‍රාදේශීය වාරි ඉංජිනේරු විදුර ක්‍රිෂාන්ත ප්‍රකාශ කළේ වාරිමාර්ග නිර්දේශවලට පටහැනිව මෙම කටයුතු සිදුවන බවයි.

ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගන්නා බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

30 ට වැඩි සියලු ම පුද්ගලයින් එන්නත් කර අවසන්

(02.10.2021 – 12:41 +0530 – hirunews.lk/sinhala)

රට විවෘත කිරීමෙන් පසු ජනයාගේ හැසිරීම සම්බන්ධයෙන් සතුටු විය හැකි තත්ත්වයක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

එසේම මෙරට සිටින වයස අවුරුදු 30 ට වැඩි සියළු පුද්ගලයින් පූර්ණ එන්නත්කරණයට ලක් කර අවසන් බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ.

කොරෝනා එන්නත්කරණ වැඩසටහන යටතේ මෙරටට ඊයේ (01) ලැබුණු ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 04 ලබා ගැනීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයට ගිය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මෙරට සිටින වයස අවුරුදු 30 ට වැඩි සියළු පුද්ගලයින් පූර්ණ එන්නත්කරණයට ලක් කර අවසන් බවයි.

එම අවස්ථාවට මෙරට ඇමරිකානු තානාපතිනී ඇලයිනා බී.ටෙප්ලිස්ට් ද සහභාගි වුණා.

එසේම වයස අවුරුදු 12 ත්, 19 ත් අතර විශේෂ අවශ්‍යතා සහිත දරුවන් එන්නත්කරණයට ලක් කිරීමේ වැඩසටහන අද (02) දිනයේ දිවයින පුරා ක්‍රියාත්මකයි.

දෙවන (2) දිනයේ පුද්ගලයින් 72,405 ක් සඳහා පළමු (1) සහ දෙවන (2) මාත්‍රා ලබාදී ඇති බව ද වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළා.

එමෙන්ම, ඊයේ (01) රට යළි විවෘත කිරිමෙන් පසු මහජනතාවගේ හැසිරීම සම්බන්ධයෙන් සතුටු විය හැකි තත්ත්වයක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියා.

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රකාශ කළේ නිරෝධායන ඇදිරි නීතිය අවසන්ව තිබුණ ද මගී දුම්රිය ධාවනය ආරම්භ කිරීම සම්බන්ධයෙන්, මගීන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් කිසිදු පැහැදිලි සැලැස්මක් සකස් කර නොමැති බවයි.

කෙසේ වෙතත්, මහනුවර දී ඊයේ (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියා සිටියේ දුම්රිය සේවය මෙන්ම අන්තර් පළාත් බස් ධාවනය ද ආරම්භ කිරීම සති දෙකක් (2) යන තුරු කල් දැමුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත බවයි.

+++++++++++++++++

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවාවන් ලබන සඳුදා (04) සිට යළිත්

(02.10.2021 – 13:24 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවනු ලැබූ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සේවාවන් ලබන සඳුදා (04) දින සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය සවින්ද්‍ර ගමගේ මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් දැනට රජය විසින් නිකුත් කර ඇති සංචරණ සීමාවන්වලට යටත්ව සිය ආයතනයේ සේවාවන් ලබාදීමට සූදානමින් සිටින බවයි.

සේවාවන් ලබාගැනීම සඳහා ඕනෑම ජංගම දුරකථන ජාලයකින් අංක 225 ඇමතීම, ස්ථාවර දුරකථන මඟින් අංක 1225 ඇමතීම, www.ntmi.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ ඊ-චැනලින් යෙදුම මඟින් දිනයක් හා වේලාවන් වෙන්කරගෙන පැමිණිය යුතුයි.

ඊ-චැනලින් සේවාව මගින් දිනයක් හා වේලාවක් වෙන්කර ගෙන මේ දක්වා සේවා ලබාගැනීමට නොහැකි වූ සේවාලාභීන් හට නැවත සේවා ලබාගැනීමට පැමිණිය යුතු දිනය හා වේලාව ඉදිරියේදී දැනුම්දෙන බවයි ජාතික ප්‍රවාහන වෛද්‍යායතනය නිවේදනය කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *