ලබන සඳුදා (04) සිට බස් රථ ගැන වැඩි අවධානයක්

ලබන සඳුදා (04) සිට බස් රථ ගැන වැඩි අවධානයක්

*********************************************

ලබන සඳුදා (04) සිට බස් රථ ගැන වැඩි අවධානයක්

(02.10.2021 – 07:43 +0530 – hirunews.lk/sinhala)

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 4 ක් ඊයේ (01) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

එසේම කොරෝනා ආසාදිතයින් 893 දෙනෙකු ඊයේ (01) වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 5,18,775 ක් ලෙසයි.

වාර්තා වූ නව ආසාදිතයින් සියලු දෙනා අලුත් අවුරුදු කොවිඩි පොකුරේ ආශ්‍රිතයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ඒ අනුව තවදුරටත් මෙරට සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 47,726 ක්. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා සිදු වූ බවට ඊයේ (01) තහවුරු කරන ලද මරණ 58 ත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 12,964 ක් දක්වා ඉහළ ගියා.

මේ අතර ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 4 ක් ඊයේ (01) පස්වරුවේ දිවයිනට රැගෙන එනු ලැබූ අතර, මෙම සතියේ මෙරටට ලද දෙවන (2) ෆයිසර් එන්නත් තොගය මෙය වනවා.

මෙම එන්නත් තොග මෙරටට ලැබී ඇත්තේ කොවැක්ස් පහසුකම යටතේ යි.

මේ අතර ඊයේ (01) දිනයේ රට යළි විවෘත කිරීමත් සමඟ බස් රථවල මඟී ප්‍රවාහන කටයුතු සිදු කිරීමේ දී සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන ආකාරයක් දක්නට ලැබුණා.

කෙසේ වෙතත් බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් ප්‍රකාශ කළේ, ප්‍රමාණවත් තරම් මඟීන් මාර්ගවල නො මැති බවයි.

කෙසේ වෙතත් සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කළ බස් රථ සම්බන්ධයෙන් ලබන සඳුදා (04) සිට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළා.

ඒ, මහනුවර දී ඊයේ (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එසේම පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ නිරෝධායන නීති කඩකරන බස් රථ සොයා සිදුකරන වැටලීම් අඛණ්ඩ ව ක්‍රියාත්මක බවයි.

දුම්රිය ධාවනය සති දෙකකට (2) අත්හිටුවා ඇති අතර, ඉන් අනතුරුව දුම්රිය ගමන්වාර 108 ක් ධාවනයට සූදානම් බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කළා.

එසේම නිරෝධායන ඇඳිරි නීතිය පැවති කාලසීමාව තුළ දුම්රිය අලුත්වැඩියා කටයුතු ද සිදු කර ඇති අතර, පළාත් තුළ මෙන්ම අන්තර් පළාත් ධාවනය සඳහා අවශ්‍ය කාලසටහන් ද මේ වනවිටත් සකස් කර අවසන් බවයි සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර දිවයින ම ආවරණය වන අයුරින් ධීවර වරායන් 23 ක් විෂබීජහරණය කිරීමේ කටයුතු අද (02) මෝදර, බේරුවල සහ තංගල්ල යන ධීවර වරායන්වලින් ආරම්භ කෙරෙනවා.

ශ්‍රී ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ මැදිහත්වීමෙන් මෙය සිදුවන අතර, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපති පෞද්ගලික ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ එය සිදු වූ බවයි.

ශ්‍රී ලංකා ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාව සිදු කරන විෂබීජහරණ වැඩසටහනකට සමගාමීව යි මෙය පැවැත්වෙන්නේ ෴

++++++++++++++++++

පෞද්ගලික බස් රථ සේවකයින් සේවය හැර යයි – බස් රථවලත් අඩුවක්

(02.10.2021 – 11:49 +0530 – hirunews.lk/sinhala)

සේවක හිඟය හේතුවෙන් මේ වන විට පෞද්ගලික බස් රථ ධාවනයට ගැටලුවක් එල්ල වී ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පවසා සිටියා.

පෞද්ගලික බස්රථ සේවකයින් බොහෝ පිරිසක් මේ වනවිට සිය රැකියාවෙන් ඉවත්ව වෙනත් රැකියාවල නිරතවන බව ද ඔහු සඳහන් කළා.

ඊයේ (01) දින සිට පෞද්ගලික බස්රථ ධාවනය සඳහා අවසර ලබාදී තිබුණ ද ප්‍රමාණවත් තරම් බස්රථ සංඛ්‍යාවක් ධාවනයට එක්කර නොතිබූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කළ බස් රථ සම්බන්ධයෙන් ලබන සඳුදා (04) සිට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

++++++++++++++++++

IDH රෝහලේ දී ඕන්ලයින් ක්‍රමය සැමරූ ලෝක ළමා දිනය

(02.10.2021 – 07:37 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (01) දිනයට යෙදී තිබූ ලෝක ළමා දිනය වෙනුවෙන් කොවිඩ් සඳහා ප්‍රතිකාර කෙරෙන ප්‍රධාන මධ්‍යස්ථානයක් වන ජාතික බෝවන රෝග විද්‍යාතනය හෙවත් IDH රෝහලේ දී ළමා දින සැමරුමක් පැවැත් වුණා.

ඒ කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබන සහ සුවය ලබා නිවෙස් වෙත ගොස් ඇති දරුවන් මාර්ගගත ක්‍රමය ඔස්සේ සම්බන්ධ කරගනිමින්.

++++++++++++++++

ආර්ථික මධ්‍යස්ථානවලට ගැණුම්කරුවන්ගේ පැමිණීම ඉහළට

(02.10.2021 – 08:02 +0530 – hirunews.lk/sinhala)

රට යළි විවෘත කිරීමත් සමග ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවළු සහ පළතුරු තොග මිල දී ගැනීම සඳහා ගැනුම්කරුවන්ගේ පැමිණීමේ වර්ධනයක් දක්නට ලැබෙනවා.

එසේම එළවළු සහ පළතුරු තොග මිල ගණන් ද සාමාන්‍ය තත්ත්වයක පවතින බවයි වාර්තා වන්නේ.

මැනිං පොදු වෙළදපොළ වෙත ගැනුම්කරුවන් පැමිණීම ලබන සඳුදා (04) වන විට සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බව පෑලියගොඩ මැනිං පොදු වෙළද සංගමයේ උප සභාපති නිමල් අත්තනායක මහතා කියා සිටියා.

නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරු ආර්.එන්. බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, ඊයේ (01) දිනයට සාපේක්ෂ ව අද ගැනුම්කරුවන් පැමිණීමේ වර්ධනයක් පෙන්නුම් කරන බවයි.

එසේම කැප්පැටිපොළ හා දඹූල්ල ආර්ථික මධ්‍යස්ථානවල කටයුතු පෙර පරිදිම සිදු වන බවයි එම ආර්ථික මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරීන් සදහන් කළේ ෴

+++++++++++++++++

ලොව කොවිඩ් මරණ ලක්ෂ 48 ඉක්මවයි – ඇමරිකාවෙන් කොරෝනා පෙත්තක්

(02.10.2021 – 08:14 +0530 – hirunews.lk/sinhala)

ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ 48 ඉක්මවා තිබෙනවා. එය දැක්වුණේ 48,05,097 ක් ලෙසයි.

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 23,50,39,655 ක් ලෙස සටහන් වනවා.

ගත වූ පැය 24 තුළ ලොව වැඩිම මරණ සහ ආසාදිතයින් සංඛ්‍යාවක් යළි ඇමරිකාවෙන් වාර්තා වුණා.

මරණ 1820 ක් සහ ආසාදිතයින් 1,20,580 ක් එරටින් වාර්තා වී තිබෙනවා.

මේ අතර, කොරෝනා මර්දන එන්නත් වෙනුවට ඇමරිකාවෙන් නව ඖෂධ පෙත්තක් හදුන්වා දී තිබෙනවා.

මෙම ඖෂධය පර්යේෂණ අවධියේ පවතින අතර මෙමගින් පුද්ගලයන් රෝහල් ගතවීම සහ මිය යාම අවම කර ගත හැකි බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

‘මොල්නුපිරවිර්’ (Molnupiravir) ලෙස නම් කර ඇති මෙම පෙත්ත එක් කොරෝනා රෝගියෙකුට දෙවරක් (2) ලබා දිය යුතු වනවා.

ඖෂධය නිෂ්පාදනය කරන ‘මර්ක්’ (Merck) සමාගම පෙන්වා දෙන්නේ මෙමගින් ධනාත්මක ප්‍රතිඵල ලැබී ඇති නිසාවෙන් පර්යේෂණ නතර කර හදිසි භාවිතයට අවසර ලබා දෙන ලෙසයි ෴

++++++++++++++++

අත්හිටුවා තිබූ ලොතරැයි දිනුම් ඇදීම යළි අද (02) සිට

(02.10.2021 – 08:19 +0530 – hirunews.lk/sinhala)

නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් අත්හිටුවා තිබූ ලොතරැයි දිනුම් ඇදීම් අද (02) සිට ආරම්භ කෙරෙන බව ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලලිත් පියුම් පෙරේරා මහතා පවසනවා.

එමෙන්ම ලොතරැයි අලෙවි කටයුතු ද අද (02) සිට ආරම්භ කෙරෙනු ඇති.

මේ අතර, ඔන්ලයින් ක්‍රමයට ලොතරැයි අලෙවි කිරීමේ ක්‍රමවේදය වඩාත් පුළුල් කිරීමට මේ වන විට ශක්‍යතා අධ්‍යයනයක් සිදුකරමින් පවතින බවයි ඔහු කියා සිටියේ.

කෙසේ වෙතත්, ලොතරැයි අලෙවියේ සිටින 25,000 කට ආසන්න යැපෙන්නන්ට ගැටලුවක් නො වන අයුරින් එය සිදුකිරීමටයි නියමිතව ඇත්තේ.

කඩදාසි ලොතරැයි ක්‍රමයට තිත තබන බවට ඇතැම් ප්‍රචාර පැවතිය ද එලෙස සිදුකිරීමට කිසිදු අපේක්ෂාවක් නො මැති බව ද සභාපතිවරයා සඳහන් කළා.

එසේම අලෙවි ජාලයට කිසිදු ආකාරයකට බලපෑමක් ඉන් සිදු නොවන බවයි පැවසෙන්නේ.

පවතින කොරෝනා වසංගත තත්ත්වය වැනි අවස්ථාවල දී අලෙවි ජාලය බිඳ වැටීම සහ ලොතරැයි අලෙවියේ සිටින සාමාජිකයන්ගේ ආදායම් තත්ත්වය පිළිබදව අවදානය යොමු කරමින් මෙලෙස ඔන්ලයින් ලොතරැයි අලෙවිය වඩාත් පුළුල් කිරීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

කිලෝ නවයකට (9) වැඩි අයිස් සමඟ දෙදෙනෙක් (2) පොලිස් දැලේ පැටලෙයි

(02.10.2021 – 06:32 +0530 – hirunews.lk/sinhala)

අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 09 යි ග්‍රෑම් 920 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (2) මන්නාරම, මුරුංකන් පොලිසිය විසින් ඊයේ (01) රාත්‍රියේ සිදුකළ විශේෂ මෙහෙයුමක දී අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

පොලිසියට ලද තොරතුරක් මත මුරුංකන් පොලිස් ස්ථානය අසල ක්ෂණික මාර්ග බාධකයක් යොදා සිදුකළ පරික්ෂා කිරීමකදී කුඩා ලොරි රථයකින් මෙම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරමින් තිබියදී සොයා ගැනීමට හැකිව ඇති බවයි පොලසිය සඳහන් කළේ.

මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කළ රථය මාර්ග බාධකයේ දී නවතන ලෙස පොලිසිය විසින් අණ කළ ද එය නොනවත්වා ධාවනය කර ඇති අතර පසුව පොලිසිය විසින් එය හඹා ගොස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මත්ද්‍රව්‍ය තොගය සමඟ අත්අඩංගුවට ගැනුණු දෙදෙනා වව්නියාව ප්‍රදේශයේ පදිංචි 30 සහ 42 වන වියේ පසුවන්නන් දෙදෙනෙක් බවයි පොලිසිය පැවසුවේ.

ඔවුන් අද (02) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

******************************************

ආරවුලක් දුරදිග ගොස් විදුලි සැර වැදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

(02.10.2021 – 07:14 +0530 – hirunews.lk/sinhala)

වත්තේගම, මීගමවත්ත ප්‍රදේශයේ දී විදුලි රැහැනක පැටලී බරපතළ තත්ත්වයේ පසුව පුද්ගලයෙක් රෝහල් ගත කිරීමෙන් පසු ඊයේ (01) මිය ගොස් තිබෙනවා.

දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු ඉඩමකට ඇතුළු වී පරුෂ වචනයෙන් බැන වැදීමින් සිටිය දී නිවෙස් හිමියා විසින් ඇද තිබූ විදුලි රැහැනක පැටලී අදාල පුද්ගලයා බරපතළ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව ඔහු රෝහල් ගත කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ යටිරාවන, වත්තේගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 ක් වන අයෙක් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

සිප්පුකුලම සත්ත්ව පාලන විද්‍යාලයේ පාඨමාලා අවසානයේ දී වෘත්තීය සුදුසුකම්

(02.10.2021 – 08:09 +0530 – hirunews.lk/sinhala)

සිප්පුකුලම සත්ත්ව පාලන විද්‍යාලයේ පාඨමාලා අවසානයේ දී වෘත්තිය සුදුසුකම් ලබාදීමට නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සහ පශු සම්පත් රාජ්‍ය අමාත්‍යාංශය එක් ව නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබෙනවා.

ඒ අනුව එහි වසර දෙකක (2) කාලයක් තුළ ක්‍රියාත්මක නොකළ පාඨමාලා නැවත ආරම්භ කරමින් ඒවා උසස් ජාතික ඩිප්ලෝමා දක්වා පුළුල් කිරීම පිළිබඳවයි සාකච්ඡා වී ඇත්තේ.

සිසුන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමට අවශ්‍ය පුස්තකාල පහසුකම් සහ දේශනශාලා අලුත්වැඩියා කිරීම, නව උපදේශකවරුන් බඳවා ගනිමින් ඔවුන් පුහුණු කිරීම ආදී කටයුතු ලබන මාසයේ සිට ආරම්භ කිරීමට ද කටයුතු සූදානම් කර තිබෙනවා.

******************************************

වී අලෙවි මණ්ඩලය හරහා නාඩු සහල් රුපියල් 98 ට

(02.10.2021 – 08:12 +0530 – hirunews.lk/sinhala)

වී අලෙවි මණ්ඩලය හරහා නාඩු සහල් කිලෝවක් රුපියල් අනූ අටට (98) අලෙවි කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ගන්නෝරුවේ දි ඊයේ (01) මාධ්‍ය හමුවක් කැදවමින්.

එමෙන්ම මහ කන්නයේ වී වගාව ඔක්තෝම්බර් 15 වන දා ආරම්භ කෙරෙන අතර, ඒ සඳහා ගොවීන්ට පොහොර වර්ග හතරක් (4) ද හඳුන්වා දී ඇති බවයි අමාත්‍යවරයා එහි දී සඳහන් කළේ ෴

******************************************

සුදුලූනු කන්ටේනර් විකිණීමේ සිද්ධියේ දෙදෙනෙක් (2) රිමාන්ඩ්

(02.10.2021 – 08:22 +0530 – hirunews.lk/sinhala)

ලංකා සතොසට අයත් රුපියල් ලක්ෂ 74 ක් වටිනා සුදුලූනු කිලෝ 54,000 කට අධික ප්‍රමාණයක් සහිත කන්ටේනර් දෙක (2) විකිණීමේ සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් තැරැව්කරුවන් දෙදෙනා (2) මේ මස 05 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, සැකකරුවන් ඊයේ (01) වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි ෴

******************************************

ඩෙංගු රෝගින්ගේ පහළ යාමක්

(02.10.2021 – 09:32 +0530 – hirunews.lk/sinhala)

වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගින් සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂ ව පහළ යාමක් පෙන්නුම් කරන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසය අවසන් වන විට ඩෙංගු රෝගීන් 28,025 ක් වාර්තා වී තිබූ අතර, මෙම වසරේ සැප්තැම්බර් මාසය අවසන් වන විට වාර්තා වී ඇත්තේ ඩෙංගු රෝගීන් 12,916 ක් පමණයි.

එය පසුගිය වසරට සාපේක්ෂ ව රෝගීන් 15,109 කින් පහළ යාමක්.

එසේම පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී ඩෙංගු රෝගීන් 1208 ක් වාර්තා වී ඇති අතර, මෙම වසරේ වාර්තා වී ඇත්තේ රෝගීන් 429 ක් පමණයි.

කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ඩෙංගු රෝගය යළි ඉහළ යා හැකි බවයි ෴

******************************************

පහන්තුඩාව ඇල්ලේ සිද්ධියට සම්බන්ධ බලු යුවළට සිර දඬුවම්

(02.10.2021 – 10:18 +0530 – hirunews.lk/sinhala)

= පහන්තුඩාව ඇල්ලේ සිද්ධියට සම්බන්ධ යුවළට සිර දඬුවම් =

බලංගොඩ – පහන්තුඩාව දියඇල්ල අසල අසභ්‍ය වීඩියෝවක් නිර්මාණය කර එය අන්තර්ජාලයට එක් කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් යුවළට මාස 03 ක සිරදඬුවම් නියම කර එය වසර 07 කට අත්හිටුවීමට අධිකරණය විසින් ඊයේ (01) නියම කර තිබෙනවා.

ඊට අමතරව එම යුවළට රුපියල් 10,800 ක දඩයක් ද පැනවීමට බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කළා.

ඒ අදාල යුවළ අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් අනතුරුවයි.

ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි කාන්තාවක් සහ මහරගම ප්‍රදේශයේ 34 හැවිරිදි ඡායාරූප ශිල්පියෙකු මෙම සිද්ධියට සම්බන්ධ බවට පොලිසිය විසින් සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වුණා.

මෙම සිද්ධියට අදාල යුවළ පසුගිය සැප්තැම්බර මස 02 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පෙර පොලිසිය අදාළ දිය ඇල්ල අයත් ප්‍රදේශයට ගොස් විමර්ශනයක්ද සිදුකරනු ලැබුවා.

මොවුන් දෙදෙනා (2) අත්අඩංගුවට ගැනීමේ අනතුරුව ඇප මත මුදාහැරුණු අතර එම අවස්ථාවේ දී අදාළ පිරිමි පුද්ගලයාට සිදුකළ කොරෝනා පරීක්ෂාවකදී ඔහු කොවිඩ් ආසාදිතයෙකු බවට ද හඳුනා ගැනුණා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *