ඉදිරි මාස හයේ (6) රටේ ආර්ථික ගමන සිදුවන්නේ මෙහෙමයි

ඉදිරි මාස හයේ (6) රටේ ආර්ථික ගමන සිදුවන්නේ මෙහෙමයි

*********************************************

ඉදිරි මාස හයේ (6) රටේ ආර්ථික ගමන සිදුවන්නේ මෙහෙමයි

(01.10.2021 – 13:32 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි මාස හය (6) සඳහා රටේ ආර්ථික ගමන් මග පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව සකස්කළ සැලැස්ම අද (01) එළි දැක්වුණා.

ඒ ශ්‍රී ලංකා මහ බැංකුවේ නව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ ප්‍රධානත්වයෙන්.

මෙහි දී මහ බැංකු අධිපතිවරයා ඉතා දීර්ඝ ඉදිරිපත් කිරීමක් සිදුකළ අතර එහිදී මෙරට ආර්ථිකය සම්බන්ධ ගැඹුරු විශ්ලේෂණයක් සහ ඉදිරියේදී ආර්ථිකය ප්‍රාණවත් කිරීම සඳහා ගැනීමට නියමිත ක්‍රියාමාර්ග ගණනාවක් පිළිබඳ ද අදහස් පළ වුණා.

එහිදී අදහස් දැක්වූ මහබැංකු අධිපතිවරයා කියා සිටියේ අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනය කිරීමේදී පනවා තිබූ 100% ආන්තික මුදල් තැන්පතුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි.

මහ බැංකුව විසින් ගත් මෙම තීරණය පිලිබඳ අදහස් දැක්වූ මහබැංකු අධිපතිවරයා ආනයන කරුවන්ගෙන් සහ ව්‍යාපාරිකයින් ගෙන් ඉල්ලා සිටියේ ලබාදෙන මෙම සහන අවභාවිත නොකර ඉතා වගකීමෙන් කටයුතු කරන ලෙසයි.

එමෙන්ම අත්‍යාවශ්‍ය භාණ්ඩ පමණක් ආනයනයය කිරීමට වගකීමෙන් කටයුතු කරන ලෙසත් භාණ්ඩ තොග රැස්කර තබා ගැනීමට කටයුතු නොකරන ලෙසත් ඔහු තවදුරටත් ඉල්ලා සිටියා.

මෙහිදී ශ්‍රී ලංකාව සතු ඩොලර් සංචිත පිළිබඳව අදහස් දැක් වූ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියා සිටියේ මේ වන විට රට සතුව ඇමරිකානු ඩොලර් බිලියන පහක (5) සංචිත ඇති බවයි.

ලබාගත් ආර්ථික ශක්තියත් සමග ආනයනය සඳහා අවශ්‍ය කරන විදේශ විනිමය සංචිත නිදහස් කිරීමට ඔහු සහතික වුනා.

රජය වර්ෂ 2021 දී 5% ක සැබෑ ආර්ථික වර්ධනයක් සහ 2022 පළමු කාර්තුවේදී 6.5% ක වර්ධනයක් ඇතිකර ගැනීමටත් බලාපොරොත්තු වන බව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

එමෙන්ම මෙරට තුළ පවත්වාගෙන ගිය අනේවාසික විදෙස් මුදල් ගිණුම් (එන්.ආර්.එෆ්.සී) සහ නේවාසික විදේශ මුදල් ගිණුම් (ආර්.එෆ්.සී) සම්බන්ධයෙන් කිසිදු වෙනසක් සිදු නොවන බවත් එම නීති රීති සීමා රෙගුලාසි කිසිවක් වෙනස් නොවන බවත් මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළා.

තවදුරටත් අදහස් දැක්වූ මහබැංකු අධිපතිවරයා කියා සිටියේ දේශීයව මෙන්ම විදේශීයව ද සිදු කෙරෙන සියලු මුදල් ගෙවීම් පිළිගත් බැංකු හරහා පමණක් සිදුකරන ලෙසයි.

එවැනි නිල මූල්‍යය සම්ප්‍රේෂණ හරහා මුදල් ඒකකයක ශක්තිමත් භාවය තවදුරටත් රඳවා ගත හැකි බව ඔහු අවධාරණය කළා.

කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් පීඩාවට පත් වූ ණය ගැතියන් සඳහා 2022 මාර්තු 31 වෙනිදා දක්වා කල්බදු ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම සහ කල්බදු වත්කම් වන වාහන සහ දේපල අත්පත් කර ගැනීම තවත් මාස 06 ක කාලයක් සඳහා වහාම අත්හිටුවීමටත් මහ බැංකුව තීරණය කර ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

තවදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පැවසුවේ බැංකු මගින් ලබාදී ඇති ණය සඳහා සහන ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 15,000 ක් වෙන් කර ඇති බවයි.

ආර්ථික සැලැස්ම ඉදිරිපත් කරමින් මහ බැංකු අධිපති අධිපතිවරයා පැවසුවේ, මාස 06 ක මාර්ග සිතියම සමඟ අද (01) සිට ආර්ථිකය ශක්තිමත් කිරීම සහ සාර්ව ආර්ථික ස්ථාවරභාවය ලබා දීම සඳහා මහ බැංකුව තුන් (3) වැදෑරුම් යෝජනාවලියක් සකස් කර ඇති බවයි.

******************************************

බඩු මිල ඉහළ යාම ගැන පක්ෂ විපක්ෂ අදහස්

(01.10.2021 – 14:27 +0530 – hirunews.lk/sinhala)

මේ අතර මේ දිනවල බොහෝ දෙනා අතර කතාබහට ලක් ව ඇති බඩු මිල ඉහළ යාම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින් ඊයේ (30) රාත්‍රීයේ විකාශය වූ ‘බලය’ දේශපාලන වැඩසටහනේ දී මෙලෙස අදහස් පළ කළා :

******************************************

වතු කම්කරු සේවක කාර්යාලයට හිටපු අමාත්‍යවරු පිරිසක් බලහත්කාරයෙන් ඇතුළු වෙයි

(01.10.2021 – 14:32 +0530 – hirunews.lk/sinhala)

ලංකා ජාතික වතු කම්කරු සේවක කාර්යාලයට එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරුන් වන සාගල රත්නායක, රුවන් විජේවර්ධන සහ නවීන් දිසානායක ඇතුළු පිරිසක් බලහත්කාරයෙන් ඇතුළු වී තිබෙනවා.

එම සිද්ධිය සම්බන්ධයෙන් ‘හිරු ටී.වී. බලය’ දේශපාලන වැඩසටහනේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා අදහස් පළ කළා.

එහි දී මන්ත්‍රීවරයා, එම සිද්ධියට අදාළ සී.සී.ටී.වී. දර්ශන කිහිපයක් ද ඉදිරිපත් කළා.

******************************************

බෝම්බ ප්‍රහාරයක් ගැන තහවුරු නො කළ තොරතුරු ලබා දීම ගැන විමර්ශනයක්

(01.10.2021 – 14:41 +0530 – hirunews.lk/sinhala)

ජා-ඇළ, බෝපිටිය ශාන්ත නිකොලා දෙව් මැදුරට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට තහවුරු නො කළ හා වැරදි තොරතුරක් ලබාදුන් නිලධාරීයාට නාවික හමුදාපතිවරයා විසින් අවවාද කර තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කළේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාව පුර්ණ විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවයි.

******************************************

ලෝක ළමා දිනය වෙනුවෙන් ‘Little Heart’ ව්‍යාපෘතිය වෙත රුපියල් මිලියනයක පරිත්‍යාගයක්

(01.10.2021 – 15:17 +0530 – hirunews.lk/sinhala)

ලෝක ළමා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මඟින් ‘Little Heart’ ව්‍යාපෘතිය වෙත රුපියල් මිලියනයක (10,00,000) මුදල් පරිත්‍යාගයක් කර තිබෙනවා.

ඒ අනුව අදට යෙදී ඇති ලෝක ළමා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන චාමිනී පතිරණ මහත්මිය විසින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ‘Little Heart’ ව්‍යාපෘතිය වෙත මෙම රුපියල් මිලියනයක මුදල පරිත්‍යාග කළා ෴

******************************************

මාධ්‍ය උපමාන කඩකරන ජනමාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට

(01.10.2021 – 15:44 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ කොමිෂන් සභාව විසින් සකසා ඇති මාධ්‍ය උපමාන කඩකරන ජනමාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලය එම කොමිෂන් සභාවටම ලබාදෙන ලෙස එහි සභාපති නිමල් පුංචිහේවා මහතා මැතිවරණ නීති රීති ප්‍රතිසංස්කරණ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේදී යෝජනා කර තිබෙනවා.

ඒ දෙවන (2) දිනටත් කාරක සභාව හමුවේ ප්‍රකාශ ලබාදෙමින්.

එම මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවට යොමුකර අනුමත කර ගැනීම අත්‍යාවශ්‍ය බවයි ඔහු කියා සිටියේ.

මැතිවරණ සමයේ ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය නියාමනය සඳහා ක්‍රමවත් වැඩපිළිවලක් පැවතිය යුතු බවත් නිමල් පුංචිහේවා මහතා අවධාරණය කලා.

විවිධ හේතු මත දිගින් දිගටම ප්‍රමාද වන පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා සහය දක්වන ලෙසයි සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියේ.

ආබාධිත අයට ඡන්දය භාවිත කිරීම සඳහා ජංගම ජන්ද භාවිත කිරීමේ ක්‍රමවේදයක් සැකසිය යුතු බවටද කොමිෂන් සභාව මෙහිදී යෝජනා කලා.

දෑස් නොපෙනෙන පුද්ගලයින්ට බ්‍රේල් ක්‍රමය ඔස්සේ ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා දීමට හැකි වන පරිදි නව සංශෝධන සිදුකළ යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාවේ මතය වන්නේ.

විද්‍යුත් ජන්ද ගණනය කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව කොමිෂන් සභාවේ මතය වු අතර, ඡන්ද පොළ තුලදීම ඡන්දය ගණන් කිරීම වඩාත් ප්‍රායෝගික බවයි කාරක සභාවේ සභාපතිවරයා එහිදී පෙන්වා දුන්නේ.

මේ අතර නාම යෝජනා භාර දෙන අවස්ථාවේදීම වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුතු බවත්, මැතිවරණ ආචාර ධර්ම නීතිගත කිරීමට කටයුතු කළ යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාව කාරක සභාව හමුවේ කියා සිටියා.

විද්‍යුත් ජන්ද ගණනය කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව කොමිෂන් සභාවේ මතය වු අතර, ජන්දපොළ තුලදීම ජන්දය ගණන් කිරීම වඩාත් ප්‍රායෝගික බව කාරක සභාවේ සභාපතිවරයා එහිදී පෙන්වා දුන්නා ෴

******************************************

හේමසිරිට සහ පූජිත් ජයසුන්දරට අධිචෝදනා භාරදේ

(01.10.2021 – 15:54 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේදී අධිචෝදනා භාරදී තිබෙනවා.

ඒ, මීට අදාළ නඩුව නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැදිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (01) කැඳවූ අවස්ථාවේදියි.

ඒ අනුව විත්තිකරුවෙකුට චෝදනා 855 බැගින් අධිචෝදනා ගොනුකර තිබෙනවා.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වශයෙන් පුද්ගලයින් 1,215 දෙනෙකු නම් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඒ අනුව නඩු විභාගය එළඹෙන නොවැම්බර් මස 22 වනදා ආරම්භ කරන බව විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වාගැනීමට ක්‍රියා මාර්ග නොගැනීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැර මිනී මැරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.

******************************************

ලෝක ළමා දිනය දා පොලිසියෙන් ළමයින්ට තිළිණයක්

(01.10.2021 – 17:13 +0530 – hirunews.lk/sinhala)

අදට (01) යෙදී ඇති ලෝක ළමා දිනය නිමිත්තෙන් ළමා වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ ඒකකය මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකරගේ ප්‍රධානත්වයෙන් රාගම ළමා පියසේදී අද (01) විවෘත කෙරුණා.

ළමයින් අධිකරණය වෙත කැදවීමකින් තොරව ‘සූම්’ තාක්ෂණය ඔස්සේ සාක්ෂි මෙහෙය වීම මේ හරහා සිදුකෙරෙන අතර ළමයින් ද්වියිතික වින්දිත භාවයට පත්වීම වැළැක්වීම මෙහි අරමුණයි.

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් අනෙකුත් පළාත් අටේ (8) ද මෙම පහසුකම සැලසීම සඳහා පියවර ගනිමින් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළා ෴

******************************************

වසංගතයට මහුණ දීමට ඔබට ඇති ශක්තිය මේ නිසා නැති කර ගන්න එපා (01.10.2021)

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

එන්නත ගැනීම තවමත් මන්දගාමීයි

(01.10.2021 – 13:34 +0530 – hirunews.lk/sinhala)

අවුරුදු 20 ත් 29 ත් අතර තරුණ තරුණියන් එන්නත්කරණයට යොමුවීම තවමත් ඉතා මන්දගාමී ව සිදුවන බව සෞඛ්‍ය අංශ පවසනවා.

ඒ හේතුවෙන් මේ වනවිට යම් පාලනයකට නතුකරගෙන ඇති මෙරට කොරෝනා තත්ත්වය යළිත් අවදානමකට ලක්විය හැකි බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව වයස අවුරුදු 20 ත් 29 ත් අතර වයස්වල පසුවන්නන්ගෙන් පූර්ණ එන්නත්කරණයට ලක් වී ඇත්තේ 12.1% ක් පමණයි.

එමෙන්ම 46.7% ක් කුමන හෝ එන්නත් මාත්‍රාවක් ලබාගෙන ඇති බව සඳහන්.

මේ හේතුවෙන් සෞඛ්‍ය අංශ තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටින්නේ එන්නත් තේරීම් සිදු නොකර ලැබෙන පළමු (1) එන්නත ලබාගන්නා ලෙසට යි.

++++++++++++++++++++

තවත් කොරෝනා ආසාදිතයන් 597 ක් සුවය ලබයි

(01.10.2021 – 14:51 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 597 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4,58,085 ක් බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ ෴

+++++++++++++++++

සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මකවන්නේ දැයි දැඩිව විමර්ශනය කරන්න – කොවිඩ් කමිටුව සියලු අංශවලින් ඉල්ලයි

(01.10.2021 – 15:09 +0530 – hirunews.lk/sinhala)

රට විවෘත කිරීමත් සමග සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වන්නේ දැයි ඒ ඒ අංශ දැඩිව විමර්ශනය කළ යුතු බව කොවිඩ් මර්දන විශේෂ කමිටුව පෙන්වා දෙනවා.

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ජන ඒකරාශි වීම් සිදු වන අතර ඒ සමග කොවිඩ් වසංගතය පැතිරී යාමේ අවදානම යළි මතු නොවීමට නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ කෙරෙහි සැලකිලිමත් වීම අත්‍යාවශ්‍ය බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ.

අද (01) පෙරවරුවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විඩීයෝ තාක්ෂණය ඔස්සේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී ඔවුහු මේ බව සඳහන් කළා.

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවයට කැඳවීමේ දී හා ප්‍රවාහන කටයුතු පිළිබඳ අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශල අදාළ චක්‍රලේඛයන්ට අනුව පවත්වාගෙන යා යුතුයි.

අදාළ චක්‍රලේඛ මේ වන විටත් අමාත්‍යාංශ වෙබ් අඩවි මගින් පළ කර තිබෙනවා.

තවද මගී අවශ්‍යතාව මත බස්රථ සහ දුම්රිය ප්‍රමාණවත් පරිදි ධාවනයට එක්කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.

වයස අවුරුදු 30 ට වැඩි සමස්ත ජනගහණයෙන් 95% කට ආසන්න ප්‍රතිශතයකට එන්නත් මාත්‍රා දෙකම (2) ලබාදී ඇති අතර අවුරුදු 20 – 30 අතර වයස් කාණ්ඩයේ සහ සංකූලතා සහිත අවුරුදු 12 – 19 අතර දරුවන් එන්නත්කරණය සාර්ථකව සිදුකෙරෙමින් පවතිනවා.

එන්නත් ලබාදීම පිළිබඳ පුළුල් සංගණනයක් කඩිනමින් සිදුකිරීමට කොවිඩ් මර්දන කමිටුව තීරණය කළා.

සංචාරක සහ ආර්ථික ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට ගත යුතු සෞඛ්‍යමය ක්‍රියාමාර්ග පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

වසංගත තත්ත්වය පාලනය කර, ජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යාමට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ උපදෙස්, මාධ්‍ය මගින් ජනතාව වෙත අඛණ්ඩව ලබාදීමට තීරණය වී තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *