දින 41 ක් පුරා මුළු දිවයිනටම පනවා තිබූ නිරෝධායන ඇඳිරිනීතිය ඉවතට

දින 41 ක් පුරා මුළු දිවයිනටම පනවා තිබූ නිරෝධායන ඇඳිරිනීතිය ඉවතට

*********************************************

දින 41 ක් පුරා මුළු දිවයිනටම පනවා තිබූ නිරෝධායන ඇඳිරිනීතිය ඉවතට

(01.10.2021 – 06:51 +0530 – hirunews.lk/sinhala)

දින 41 ක් පුරා මුළු දිවයිනටම පනවා තිබූ නිරෝධායන ඇඳිරිනීතිය අද (01) අලුයම 4 ට ඉවත් කෙරුණා.

ඊට අනුව ඇඳිරිනීතිය ඉවත් කළද පළාත් සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක අතර රාත්‍රී කාලයේ අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සඳහා අවසර හිමිවන්නේ නැහැ.

රට විවෘත කිරීමත් සමඟ කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සෞඛය මාර්ගෝපදේශ මාලාවක් ඊයේ (30) නිකුත් කළා.

ඒ අනුව අත්‍යවශ්‍ය රාජකාරී හැර අනෙකුත් අවශ්‍යතා සඳහා පළාත් අතර සංචරණ සීමාවන් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

දිනපතා රාත්‍රී 10 සිට පසුදින අලුයම 4 දක්වා අත්‍යවශ්‍ය නොවන සියලු ගමන් සඳහා අවසර හිමිවන්නේ නැහැ.

පොදු ප්‍රවාහනයේදී මගීන් ගෙන යා හැක්කේ ආසන ධාරිතාවට පමණක් වන අතර වායු සමනය කළ වාහන භාවිත නොකළ යුතු අතර ජනේල විවෘතව තැබිය යුතුයි.

නිවෙස්වලින් බැහැරව යා හැක්කේ රැකියා, සෞඛ්‍ය අවශ්‍යතා, අත්‍යවශ්‍ය සේවා සහ භාණ්ඩ මිලදී ගැනීම සඳහා පමණයි.

රැස්වීම්, වැඩමුළු සහ සම්මන්ත්‍රණ හෙට සිට 15 වැනිදා දක්වා උපරිම පුද්ගලයින් ගණන 25 කට සීමාවන ලෙස උපරිම ධාරිතාවයෙන් 25% කට පමණක් අවසර හිමිවන අතර ඔක්තෝබර් 16 සිට 31 වැනිදා දක්වා උපරිම පුද්ගයින් ගණන 50 ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

උත්සව, සාද සහ එක්රැස්වීම් සඳහා ඔක්තෝබර් මාසය පුරාම අවසර හිමිවන්නේ නැහැ.

ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා පමණක් අවසර ලබා දී තිබෙනවා.

විවෘත වෙළඳපොල සහ සතිපොල සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කළ හැකියි.

අවන්හල් සඳහා 15 වැනිදා දක්වා අවසර හිමි නොවන අතර ඔක්තෝබර් 16 සිට 31 දක්වා ආසන ධාරිතාවයෙන් 30% කට පමණක් උපරිම ගනුදෙනුකරුවන් 50 දෙනෙකුට යටත්ව අවසර හිමිවනවා.

කෙසේ වෙතත් අවන්හල් තුළ මත්පැන් භාවිතය තහනම්වන අතර එළිමහනේ ආසන සකසා ඇත්නම් ගනුදෙනුකරුවන් 60 දෙනෙකුට එකවර රැඳී සිටිය හැකියි.

සාප්පු, සිල්ලර කඩ, ෆාමසි, සුපිරි වෙළඳසැල්, ගෘහභාණ්ඩ වෙළඳසැල් ආදිය සඳහා 15 වැනිදා දක්වා ධාරිතාවයෙන් 10% ක් පමණක් ඇතුළත් කර ගත හැකි අතර ඔක්තෝබර් 16 සිට 31 වැනිදා දක්වා 20% කට අවසර හිමිවනවා.

එමෙන්ම එම ආයතන තුළට ඇතුළත් කරගතහැකි පුද්ගලයින් ගණන පිටත ප්‍රදර්ශනය කළ යුතුයි.

ඔක්තෝබර් 15 වැනිදා දක්වා පුද්ගලයින් 10 දෙනෙකුගේ සහභාගීත්වයෙන් විවාහ ලියාපදිංචිය පමණක් සිදු කළ හැකි අතර ඔක්තෝබර් 16 සිට 31 වැනිදා දක්වා උපරිමය පුද්ගලයින් 50 දෙනෙකුට සීමා වන පරිදි ධාරිතාවය 25% නොඉක්මවන ලෙස විවාහ මංගල උත්සව පැවැත්විය හැකියි.

කෙසේ වෙතත් එළිමහන් උත්සව සඳහා දිරිමත් කළ යුතු අතර මත්පැන් භාවිතය තහනම් කර තිබෙනවා.

අවමංගල උත්සව පැය 24 ක් ඇතුළත සිදු කළ යුතු අතර ඔක්තෝබර් 15 දක්වා ඊට සහභාගි විය හැක්කේ ඔනෑම වේලාවක පුද්ගලයින් 10 දෙනෙකුට පමණයි.

ඔක්තෝබර් 16 සිට 31 වැනිදා දක්වා ඒ සඳහා පුද්ගලයින් 15 දෙනෙකුට අවසර හිමිවනවා.

පන්සල් ඇතුළු පූජනීය ස්ථානවල සාමූහික ක්‍රියාකාරකම් හෝ රැස්වීම් සඳහා අවසර හිමිවන්නේ නැහැ.

මූල්‍ය ආයත තුළ ඕනෑම අවස්ථාවක රඳවා ගත හැක්කේ ගනුදෙනුකරුවන් 5 දෙනෙකු පමණයි.

ඉදිකිරීම් ස්ථාන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ක්‍රියාත්මක කල හැකියි.

කෘෂිකර්මාන්තය සඳහා අවසර ලබා දී තිබෙනවා.

බාබර් සාප්පු සහ රූපලාවණ්‍යාගාර සඳහා වේලාවක් වෙන්කර පැමිණිය හැකියි.

පාසල් විවෘත කිරීමට පියවර ගනිමින් සිටින අතර සිසුන් 200 ට අඩු පාසල් ප්‍රථමවෙයන් විවෘත කළ හැකියි.

උපකාරක පන්ති සඳහා අවසර නැහැ.

දිවා සුරැකුම් මධ්‍යස්ථාන විවෘත කිරීමට අවසර හිමිවනවා.

පෙරපාසල් සිසුන් ධාරිතාවයෙන් 50% ක් සඳහා විවෘත කළ හැකියි.

විශ්වවිද්‍යාල ඇතුලු උසස් අධ්‍යාපන ආයතන ලබා දී ඇති මාර්ගෝපදේශයන්ට අනුව ආරම්භ කළ හැකියි.

වෘත්තීය පුහුණු ආයතන ඕනෑම වේලාවක 50% ක ධාරිතාවයෙන් ආරම්භ කළ හැකියි.

සිනමා ශාලා විවෘත කිරීමට අවසර හිමිවන්නේ නැහැ.

ව්‍යායාම මධ්‍යස්ථානවල ඕනෑම වේලාවක සිටිය හැක්කේ ගනුදෙනුකරුවන් 5 දෙනෙකු පමණයි.

ක්‍රීඩා කටයුතු සඳහා ඔක්තෝබර් 15 වැනිදා දක්වා අවසර හිමි නොවන අතර ඔක්තෝබර් 16 සිට 31 වැනිදා දක්වා අවසර ඇතත් නරඹන්නන් ඇතුලත් කර ගැනීමට අවසර හිමිවන්නේ නැහැ.

කෙසේ වෙතත් ඇවිදින මංතීරු විවෘතව තැබෙනවා ෴

අද (01) අලුයම 4 ට මෙතෙක් පනවා තිබූ නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කිරීමෙන් පසුව ජනතාව කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් අප සොයා බැලීමක් කළා.

අප වාර්තාකරුවන් සදහන් කළේ නිරෝධායන ඇදිරි නීතිය අද (01) අලුයම 4 ට ඉවත් කිරීමත් සමඟ ජනතාව නව සාමාන්‍යකරණය යටතේ රාජකාරී සදහා යාමට නගර වෙත ප්‍රවේශ වන ආකාරයක් දක්නට ලැබෙන බවයි.

ඔවුන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සදහා ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යොදවා ඇති ආකාරයක් ද දක්නට ලැබුණු බව අප ප්‍රාදේශීය වාර්තාකරුවන් සදහන් කළා ෴

+++++++++++++++++

ඊයේ (30) ආසාදිතයින් 912 ක්

(01.10.2021 – 07:49 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා ආසාදිතයින් 912 දෙනෙකු ඊයේ (30)හදුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,17,377 ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයින් සියලු දෙනා ‘අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ’ ආසාදිතයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ඒ අනුව තවදුරටත් මෙරට සක්‍රිය ආසාදිතයින් සංඛ්‍යාව 46,983 ක් වන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 4,57,488 ක්.

මේ අතර, ලොව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 23,45,22,550 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 47,96,240 ක් ලෙසයි.

ගත වූ පැය 24 ට ලොව පුරා කොරෝනා මරණ 7644 ක් සහ ආසාදිතයින් 4,82,431 ක් වාර්තා වී තිබෙනවා.

ඇමරිකාවේ ආසාදිතයින් සහ මරණ වාර්තා වීම යළි ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

ගත වූ පැය 24 ට එරටින් නව මරණ 1735 ක් සහ ආසාදිතයින් 1,11,651 ක් වාර්තා වුණා ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

සතියක් ඇතුළත නාඩු සහල් කිලෝවක් රුපියල් 100 ට – ඇමති වාසුදේව නානායක්කාර

(30.09.2021 – 21:34 +0530 – hirunews.lk/sinhala)

සතියක් ඇතුළත නාඩු සහල් කිලෝවක් රුපියල් 100 ට අඩුවෙන් ලබාදීමට කටයුතු කරන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර සහල් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම සම්බන්ධයෙන් පාර්ශව රැසක් අදහස් පළ කළා.

******************************************

දරුවන්ට අහිමි ව ගිය සියලු අපේක්ෂා වඩාත් සුරක්ෂිතව ළඟා කරදීම රජයේ ප්‍රමුඛ කාර්යයක්

(01.10.2021 – 06:21 +0530 – hirunews.lk/sinhala)

වර්තමානයේ ලෝකය මුහුණ දී ඇති වසංගතය හමුවේ සමස්ත දරු පරපුරේ සිතුම් පැතුම්වලට ළමා ලෝකයට බොහෝ සීමා ඇති වී තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝක ළමා දින පණිවුඩය නිකුත් කරමින් පවසනවා.

පාසල් පන්ති කාමර ක්‍රීඩා පිටිය තවදුරටත් දරුවන්ට දුරස්ථ වී ඇති බවත් එලෙස අහිමිව ගිය සියළු අපේක්ෂා වඩාත් සුරෂිතව ළඟා කර දීම රජයේ ප්‍රමුඛ කාර්යයක් බවත් ජනාධිපතිවරයා නිකුත් කළ පණිවුඩයේ දැක්වෙනවා.

පවතින වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර ලෝක ළමා දිනය සැමරීමට අවස්ථාව හිමිව නැතත් සියළු දරුවන්ට තමන්ගේ නිවසේ සිට හෝ සතුටින් එය සැමරීමට ආශිර්වාද කරන බවත් සෞභාග්‍යමත් අනාගතයක් ප්‍රාර්ථනා කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

හැම විටම ළමා අයිතිවාසිකම් තහවුරු කිරීමට කැපවනවා – අගමැති

ගෝලීය වසංගතයක් පවතින කාලයක දරුවන් නිවසේදී මානසික පීඩාවට ලක් නොවන අයුරින් රැක බලා ගැනීමට උනන්දු වන ලෙසට දෙමව්පිය වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලෝක ළමා දින පණිවුඩය නිකුත් කරමින් සදහන් කළා.

ලෝකයේ අනාගතය රැදී ඇති ළමා පරපුර මත, ඒ මිහිර බාධාවකින් තොරව හිමි කර දීම වැඩිහිටියන් සතු වගකීමක් බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.

පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීම හා ළමා මෙහෙකාර සේවය සමාජයෙන් ඈත් කිරීම සදහා වූ අණ පනත් කිහිපයක් සංශෝධනයට කිරීමට ලැබීම ද ලැබූ ජයග්‍රහණයක් බවයි අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ පණිවුඩයේ දැක්වෙන්නේ.

++++++

******************************************

මාදු ගඟේ තවත් පරිසර විනාශයක්

(01.10.2021 – 07:41 +0530 – hirunews.lk/sinhala)

බලපිටිය – මාදු ගඟ රක්ෂිතයට අයත් පාතේගම ප්‍රදේශයේ කඩොලාන පද්ධතිය මහා පරිමාණයෙන් විනාශ කරන බව බලපිටිය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී අනාවරණ වී තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය මොහාන් පී. ද සිල්වා මහතා සහ බලපිටිය හිටපු පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (30) එම රැස්වීම පවත්වා තිබුණා.

එහි දී අදහස් දැක්වූ බලපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනුරුද්ධ මහවැලි ප්‍රකාශ කළේ රැම්සා තෙත් බිමක් වන මාදු ගඟේ අක්කර 18 ක පමණ භූමි භාගයක කඩොලාන පද්ධතිය කපා දමා විනාශ කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය මොහාන් පී. ද සිල්වා මහතා ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් කැදවා ඒ සම්බන්ධයෙන් වහා ක්‍රියාමාර්ග ගන්නා බවයි ෴

******************************************

කෘෂිකාර්මික වගාවන්ට ප්‍රවේශ වන මාර්ග සංවර්ධනයට රු.මි. 225 ක්

(01.10.2021 – 07:56 +0530 – hirunews.lk/sinhala)

හඳුනාගත් දුෂ්කර ගම්මානවල ගොවිජනතාවගේ කෘෂිකාර්මික කටයුතු පහසු කර ගැනීම සඳහා රුපියල් මිලියන 225 ක මුදලක් වැය කර කෘෂිකාර්මික වගාවන්ට ප්‍රවේශ වන මාර්ග සංවර්ධනය කිරීමට පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව වගා කටයුතු සඳහා අවශ්‍ය යන්ත්‍ර උපකරණ රැගෙන යාමට සහ නෙලා ගනු ලබන අස්වැන්න යළි රැගෙන යාමට මාර්ග නො මැති වීම හේතුවෙන් ගොවීන්ට මතු ව තිබූ ගැටලු නිරාකරණය වනු ඇති.

එම වැඩසටහන යටතේ මාර්ග 227 ක් සංවර්ධනය කිරීමටයි පියවර ගෙන ඇත්තේ ෴

ග්‍රාමීය මාර්ග පද්ධතිය සහ ඒ ආශ්‍රිත කෘෂිකාර්මික සේවා සංවර්ධනය සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 500ක ණයක් ලැබී තිබෙනවා. ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කළා. ගොවියාගේ සැපයුම් ඉතා පහසුවෙන් නගරය වෙත රැගෙන යාමට අවශ්‍ය පහසුකම් සැපයීම මෙම ණය ලබාදීමේ ප්‍රධාන අරමුණක් ෴

******************************************

ළමයින් උසාවියට කැඳවීම වළක්වමින් තොරතුරු ලබා ගැනීමට විශේෂ මැදිරියක්

(01.10.2021 – 08:06 +0530 – hirunews.lk/sinhala)

අපරාධ නඩු යනාදී නීතිමය ක්‍රියාමාර්ගවලදී ළමයින් සාක්ෂිකරුවන් ලෙස උසාවියට කැඳවීම වැළැක්වීමේ නීතිය සමග වීඩියෝ තාක්ෂණයෙන් ළමයින්ගෙන් තොරතුරු ලබා ගන්නා විශේෂ මැදිරියක් අද (01) රාගම දී විවෘත කෙරෙනවා.

ළමා අයිතීන් තහවුරු කිරීම වෙනුවෙන් ඉදිරියේදී ළමයින් සම්බන්ධ අපරාධ නඩු වලදී පුද්ගල සාක්ෂිවලට වඩා විද්‍යාත්මක හා තාක්ෂණික සාක්ෂි උපයෝගී කර ගැනීමට බලාපොරොත්තු වන බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේ.

මේ අතර, පරිවාස භාරයේ සිටින දරුවන් නිවැරදි වෘත්තීය දිශානතියකට යොමු කිරීම සඳහා නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය, කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා එක්ව විශේෂ වැඩපිළිවෙලක් ද ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව නිවැරදි වෘත්තීය අධ්‍යාපනයක් ලබාදීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කර ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව පාසල් දරුවන්ට ඉදිරියේදී කිරි වීදුරුවක් ලබාදීමේ අරමුණෙන් කිරි සැකසුම් මධ්‍යස්ථාන 6 ක් පිහිටුවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

යුරෝ මිලියන 13.9 ක ප්‍රංශ ආධාර යටතේ මෙම මධ්‍යස්ථාන ඉදිකෙරෙන අතර දුෂ්කර පාසල්වල සිසු දරුවන්ට දියර කිරි වීදුරුව බැගින් ලබාදීම මෙහි අරමුණයි ෴

******************************************

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ම තද වැසි

(01.10.2021 – 08:07 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි බලාපොරොත්තු විය හැකි අතර, සෙසු ප්‍රදේශ වල සමහර ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි බලාපොරොත්තු විය හැකියි.

ගිගුරුම් සහිත වැසි ඇති වනවිට තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානි අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ෴

******************************************

දේශපාලන පක්ෂ ලියාපදිංචියට නව වැඩපිළිවෙළක්

(01.10.2021 – 09:22 +0530 – hirunews.lk/sinhala)

දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා නව වැඩපිළිවෙළක් සැකසිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඊයේ (30) රැස් වූ අවස්ථාවේදි යි.

පක්ෂ ලියාපදිංචි කිරීමේ නිර්ණායකවල ගැටලු ද මේ වනවිට මතු ව ඇති බවත් ඇතැම් දේශපාලන පක්ෂ දිස්ත්‍රික්කයකට පමණක් සීමා වී ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා එහි දී වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

එසේම ස්වාධීන කණ්ඩායම්වලට පමණක් සීමා වී ඇති ඇප මුදල් තැන්පත් කිරීම පිළිගත් දේශපාලන පක්ෂ සඳහා ද සිදුකළ යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාවේ මතය වී ඇත්තේ ෴

******************************************

ලෝකයේ රටවල් 42 ක් චීනයට ණය වී ඇති බව පර්යේෂණයකින් හෙළිවෙයි

(01.10.2021 – 09:25 +0530 – hirunews.lk/sinhala)

ලෝකයේ රටවල් 42 ක් සිය දළ දේශීය නිෂ්පාදිතයෙන් 10% ක් ඉක්මවා චීනයට ණය වී ඇති බව නවතම පර්යේෂණයක් හෙළි කර තිබෙනවා.

ඇමරිකාවේ විලියම් ඇන්ඩ් මේරි විශ්ව විද්‍යාලයේ ඒඩ්ඩේටා නම් සංවර්ධන පර්යේෂණ ආයතනය මගින් මේ බව අනාවරණ කර ඇති බවයි ද හින්දු පුවත්පත වාර්තා කළේ.

චීනයේ එක් මාවතක් එක් තීරයක් වැඩසටහන යටතේ අදාළ රටවල් ලබාගෙන ඇති ඇමරිකානු ඩොලර් බිලියන 385 ක් වන මෙම ණය ප්‍රමාණය නිසි ලෙස වාර්තා වී නො මැති සැගවුණූ ණය ලෙස හඳුනාගෙන තිබෙනවා.

රජයන් අතර කෙරෙන ණය ගනුදෙනුවලට අමතර ව විවිධ ආයතන සම්බන්ධ වී විශාල වශයෙන් ණය ගනුදෙනු සිදු කිරීමත් ඒවා ලෝක බැංකුවේ ණය වාර්තා කරන ක්‍රමවේදයෙන් බැහැර ව කර තිබීමත් නිසා මෙම ණය නිසිලෙස වාර්තා වී නො මැති බවයි ඇමරිකාවේ විලියම් ඇන්ඩ් මේරි විශ්ව විද්‍යාලයේ ඒඩ් ඩේටා නම් සංවර්ධන පර්යේෂණ ආයතනය සඳහන් කර ඇත්තේ.

රටවල් 165 ක 2000 වසරේ සිට 2017 වසර දක්වා කාලය තුළ ක්‍රියාත්මක වූ ඇමරිකානු ඩොලර් බිලියන 843 ක් වටිනා චීන ව්‍යාපෘති 14,427 ක් ඇසුරින් මෙම පර්යේෂණය සිදුකර තිබෙනවා.

එම කාලය තුළ චීනයෙන් ණය ලබා ගත් ලොව ප්‍රමුඛතම රට වන්නේ රුසියාවයි.

එම ණයෙහි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 151.8 ක්.

සැඟවුණූ ණය ගණුදෙනු සහිත රටවල් අතර ඉරාකය, උතුරු කොරියාව හා ඉතියෝපියාව කැපී පෙනෙන බවයි වාර්තා වන්නේ.

චීනයෙන් ණය ගත් රටවල් අතර ඉන්දියාව 23 වන ස්ථානයේ පසුවන අතර දකුණු ආසියාවේ ශ්‍රී ලංකාව හා නේපාලය වැනි රටවල් යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉහළ පොලී අනුපාත වලට ණය ලබාගෙන ඇති බව ඇමරිකාවේ විලියම් ඇන්ඩ් මේරි විශ්ව විද්‍යාලයේ පර්යේෂණය හෙළි කර තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *