හෙට (01) සිට කොවිඩ් පාලනයට වෙනදාටත් වඩා සහය දෙන්න – සෞඛ්‍ය ඇමති ඉල්ලයි

හෙට (01) සිට කොවිඩ් පාලනයට වෙනදාටත් වඩා සහය දෙන්න – සෞඛ්‍ය ඇමති ඉල්ලයි

*********************************************

හෙට (01) සිට කොවිඩ් පාලනයට වෙනදාටත් වඩා සහය දෙන්න – සෞඛ්‍ය ඇමති ඉල්ලයි

(30.09.2021 – 18:58 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අංශ ඇතුළු බොහෝ ක්ෂේත්‍රයන්ගේ කැපවීම මත මේ වන විට යම්තාක් දුරට කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කරගැනීමට හැකි වූ බවත් එය තවදුරටත් පාලනය කරගැනීම සඳහා රට විවෘත කෙරෙන හෙට (01) දවසේ සිට උපරිම ජනතා සහයෝගයක් සමස්ත ජනතාවගෙන්ම අපේක්ෂා කරන බවසෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

මේ වෙනුවෙන් කැපකිරීම් කළ සැවොම අගය කරන්නේ නම් එම අගය කිරීමට දිය හැකි උපරිම වටිනාකම සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස රකිමින් ජනතාව ලබා දෙන සහයෝගය බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

හෙට (01) අලුයම සිට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරමින් යම් යම් සීමාවන් සහිතව රට විවෘත කිරීම සම්බන්ධයෙන් වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් කිරීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මෙම අදහස් පළකළා.

ලොව ඇතැම් රටවල්හි වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කොවිඩ් අභියෝගයෙන් පලා යද්දී මෙරට සෞඛ්‍ය අංශ ඒ වෙනුවෙන් දැඩි කැපවීමක් කළ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඇතැම් රටවල ඇතැම් පිරිස් සේවයට වාර්තා නොකර රැකියාවෙන් පවා ඉවත්ව කොවිඩ් හමුවේ පලා ගිය බවයි ඔහු පෙන්වා දුන්නේ.

එහෙත් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය පුදුමාකාර කැපකිරීමක් කළ අතර ඊට රටේ සමස්ත ජනතාවම ප්‍රසාදය පළ කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“කොවිඩ් වසංගතය සමග සමස්ත ලෝකයම ප්‍රශ්න හා ගැටළු වල පැටලී සිටින අවස්ථාවකි මෙය. රටක් හැටියට ගත යුතු තීරණ ගණනාවක් විද්‍යාත්මක පදනම් තුල සිටිමින් අපට ගැනීමට සිදු වුණා. එම තීන්දු සියල්ල මිහිරි තත්ත්වයේ ඒවාම නොවෙයි. සමහර අවස්ථාවල අමිහිරි තත්ත්වයන්ටද අපට මුහුණ දීමට සිදුවේ. ව්‍යාපාර, සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජිවිත මෙන්ම ආදායම් මාර්ග සම්බන්ධව රටක් ලෙස කටයුතු කළ යුතුයි. ආර්ථික වේගය ඉදිරියට ගෙන යාමට මෙන්ම ඒ හා බැඳුණු ප්‍රශ්න වලට අප රටක් ලෙසින් මුහුණ දිය යුතු වේ. මේ මොහොතේද අප එයට මුහුණ දෙමින් සිටී.සෞඛ්‍ය උපදෙස් වලට උපරිම අවකාශයක් ලබා දෙමින් බොහෝ දුරට මෙය පාලනය කිරීමට පසුගිය වකවානුව තුළ විවිධ අවස්ථාවනහ්දී තීන්දු තීරණ රැසකට එළඹීමට සිදු විය.

සමහර පිරිස් හට කිව හැකියි රට මුළුමනින්ම මාස තුනකට වසා දමන්න කියා. එහෙත් රටේ ආර්ථික, සමාජ වටපිටාව සැලකිල්ලට ගත යුතුයි. විටින් විට ඇති වූ තත්ත්වයන් මත රට වසා දැමීමට සිදු විය. මේ තුළ හොඳ- නරක, නින්දා – ප්‍රශංසා ගැරහුම් ආදී සියල්ල එල්ල වීම සාමාන්‍ය දෙයකි.”

මේ අතර හෙට (01) සිට රට යළි විවෘත කිරීමෙන් පසු අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අද (30) නිකුත් කරනු ලැබුවා.

මෙම නව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව අත්‍යවශ්‍ය ක්‍රියාකාරකම් හැර අනෙක් අවශ්‍යතා සඳහා අන්තර් පළාත් සංචරණ සීමාවන් අඛණ්ඩව පවත්වා ගැනීමට ද තීරණය වී තිබෙනවා.

අත්‍යවශ්‍ය නොවන සියලු ගමන් සඳහා දිනපතා රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා අවසර ලබා නොදීමටයි තීරණය වී ඇත්තේ.

පොදු ප්‍රවාහන සේවයේදී මගීන් ගෙන යා හැක්කේ ආසන ධාරිතාවට පමණක් වන අතර වායු සමනය කළ රථ වාහන භාවිත නොකළ යුතු අතර ජනේල විවෘත කර තැබිය යුතුයි.

සෑම විටම මුහුණු ආවරණයක් නිසියාකාරව පැළඳ සිටිය යුතු වනවා.

මීට අමතරව හෙට (01) සිට 31 වනදා දක්වා නිවසින් පිටවීමට හැකියාව ලැබෙන්නේ රැකියා සඳහා සෞඛ්‍ය අවශ්‍යතා හා අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා පමණයි.

නැවත දැනුම්දෙන තෛක් කිසිදු රැස්වීමක් පැවැත්වීමට අවසර හිමි වන්නේ නැහැ .

ආයතනවලට පැමිණෙන සේවකයන් සැම විටකම සීමා කළ යුතු අතර හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීම කළ යුතුයි.

කෙසේවෙතත් මෙය අතශව්‍යශ සේවා හා කර්මාන්තවලට අදාළ නොවන අතර අනෙකුත් සේවා අවශ්‍ය අවම සේවකයන් සමග ක්‍රියාත්මක විය හැකියි.

ගෙන්වාගත හැකි සේවකයින් ගණන ආයතන ප්‍රධානියා විසින් තීරණය කළ යුතු වනවා.

ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා අවසර ලබාදී ඇති අතර ප්‍රාදේශීය කමිටුවල හා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වීමට හැකියාව පවතිනවා.

ගෘහස්ථ හෝ එළිමහන් උත්සව, සාද හෝ එක්රැස් වීම් සඳහා ලබන 31 වනදා දක්වා අවසර හිමිවන්නේ නැහැ.

කෘෂිකර්මාන්ත කටයුතුවලට අවසර හිමිවන අතර ඉදිකිරීම් ස්ථාන සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව ක්‍රියාත්මක විය හැකියි.

බාබර් සහ රූපලාවන්‍යාගාර සඳහා වේලාවක් වෙන්කර ගැනීමෙන් පසුව පැමිණිය හැකියි.

පාසල් විවෘත කිරීමට පියවර ගනිමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නව මාර්ගෝපදේශ මාලාවේ සඳහන්.

අධ්‍යාපන අමාත්‍යංශය විසින් තීරණය කරන පරිදි සිසුන් 200 ට අඩු ගණනක් ඇති පාසල් ප්‍රථමයෙන් විවෘත කළ හැකියි.

දිවා සුරැකුම් මධ්‍යස්ථාන විවෘත කිරීමට අවසර හිමිවනවා. එමෙන්ම පෙර පාසල් පැමිණෙන ළමුන් ගණනින් සියයට 50 ක ධාරිතාවකින් ක්‍රියාත්මක විය හැකියි.

විශ්ව විද්‍යාල ඇතුලු උසස් අධ්‍යාපන ආයතන ලබාදී ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලව කටයුතු ආරම්භ කිරීමට හැකියාව පවතින අතර පැමිණීමේ සංඛ්‍යාව අඩු කර මාර්ගගත ක්‍රම සමග ඒකාබද්ධව ක්‍රියාත්මක විය යුතු වනවා.

වෘත්තීය පුහුණු ආයතන ඕනෑම වේලාවක සියයට 50 ක ධාරිතාවයෙන් ක්‍රියාත්මක විය හැකියි.

හෙට (01) සිට ලබන 15 වනදා දක්වා විවාහ ලියාපදිංචි කිරීමේ කටයුතු පුද්ගලයන් 10 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදු කළ හැකියි.

16 වනදා සිට 31 වනදා දක්වා එළිමහන් මංගල උත්සව පැවැත්වීමට අවසර හිමිවන අතර මත්පැන් භාවිතයට අවසරයක් නැහැ.

එමෙන්ම 16 වනදා සිට ඇතුලත් කරගත හැකි පුද්ගලයන් ගණනින් සියයට 25ක් පිරෙන ආකාරයට උපරිමය පුද්ගලයන් 50 කට පමණක් සීමා කර මංගල උත්සව පැවැත්වීමට අවසර හිමිවනවා.

මේ අතර කොවිඩ් ආසාදනය නොවූ මෘත දේහ සඳහා මළ සිරුර මුදා හැර පැය 24 ක් ඇතුලත අවමංගල්‍ය කටයුතු සිදු කළ යුතුයි.

ලබන 15 වනදා දක්වා ඒ සඳහා සහභාගී විය හැක්කේ පුද්ගලයන් 10 දෙනෙකුට පමණයි.

16 වනදා සිට ඊට පුද්ගලයන් 15 දෙනෙකුට සහභාගී වීමේ අවස්ථාව හිමිවනවා.

පන්සල් පල්ලි කෝවිල් වැනි පූජනීය ස්ථානවල සාමූහික ක්‍රියාකාරකම් හෝ රැස්වීම් පැවැත්වීමට අවසර ලැබෙන්නේ නැහැ.

++++++++++++++++

තවත් කොරෝනා මරණ 59 ක්

(30.09.2021 – 17:52 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 59 ක් වාර්තාවී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (29) තහවුරු කළ මෙම මරණ 59 ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 12,906 ක් ලෙසටයි.

මෙම මරණ අතර කාන්තාවන් 31 ක් සහ පිරිමින් 28 ක් වනවා.

ඊයේ (29) තහවුරු කළ මරණ අතර වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ එක් (01) කාන්තාවක් වනවා.

අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයේ මරණ 11 ක් තහවුරු වී ඇති අතර ඒ පිරිමි 8 ක් සහ කාන්තාවන් 3 ක් වශයෙන්.

අවුරුදු 60 සහ ඊට වැඩි කාන්තාවන් 27 ක් සහ පිරිමි 20 ක් මියගිය පිරිස අතර වනවා.

මේ අතර ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 5,17,199 ක් හඳුනාගෙන ඇති අතර ඉන් රෝහල්ගතව හෝ නිවෙස්වල ප්‍රතිකාර ලබමින් පසුවන සංඛයාව 46,805 ක්.

4,57,488 ක් සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා ෴

තවත් කොරොනා ආසාදිතයින් 734 ක් මෙරටින් හමු වී තිබෙනවා.

ඒ අනුව මෙරටින් මෙතෙක් හමු වී ඇති මුළු කොරෝනා ආසාදිතයින් ගණන 517,199 ක් ෴

තවත් කොරෝනා ආසාදිතයින් 178 ක් මෙරටින් හමු වී තිබෙනවා. එම ආසාදිතයින් 178 ත් සමඟ මෙරටින් අද (30) දිනයේ හමු වූ ආසාදිතයින් ගණන 912 ක් වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 5,17,377 ක් ෴

+++++++++++++++++

හෙට (01) විවෘත වන රට තුළ පොදු මගී ප්‍රවාහනය සිදුවන්නේ කෙසේද?

(30.09.2021 – 19:32 +0530 – hirunews.lk/sinhala)

හෙට (01) දිනයේදී රට විවෘත කිරීමෙන් පසු පොදු මගී ප්‍රවාහනය සිදුවන ආකාරය පිළිබදව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැහැදිලි කළා.

ඔහු කියා සිටියේ දුම්රිය ධාවනය සති දෙකකට (2) සිදුනොවනු ඇති බවයි.

කෙසේ වෙතත්, පළාත තුළ පමණක් බස් රථ ධාවනය සිදුවන බවට ද ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම, හෙට (01) සිට බස්නාහිර පළාතේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් ක්‍රියාත්මක බස් රථ 808 ක් සෞඛ්‍ය ක්‍රමවේදවලට යටත්ව ධාවනයට යොදවන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කළේ හෙට (01) දිනයේදී ධාවනය කෙරෙන්නේ බස් රථවලින් සියයට 25 ක ප්‍රමාණයක් බවයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල සේවා කටයුතු සඳහා යළි හෙට (01) සිට විවෘත කෙරෙනවා.

කෙසේ වෙතත්, අවශ්‍ය සේවාවන් ඉටු කර ගැනීමට 011 267 7877 යන දුරකථන අංකය ඔස්සේ දිනයක් හා වේලාවක් වෙන් කර ගත යුතු බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලවල කටයුතු අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්ගේ මඟ පෙන්වීම මත සිදුකරනු ඇති.

එමෙන්ම, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සහ පළාත් කාර්යාලවල සේවා කටයුතු ද ලබන මස 04 වනදා සඳුදා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව තවදුරටත් ක්‍රියාත්මක නොවන බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ජාතික හැදුනුම්පත් ලබාදීම සඳහා වන ඉල්ලුම්පත් ප්‍රාදේශීය කාර්යාල වෙත භාර දිය යුතුයි.

මේ අතර, ලබන 18 වන දා සිට ඌව පළාතේ ළමයින් 200 ට අඩු පාසල් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ එම පාසල්වල පළමු (1) ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පාසල් මෙලෙස මූලික අදියර යටතේ ආරම්භ කරන බවයි.

දකුණු පළාතේ ළමයින් 200 ට අඩු පාසල් එළඹෙන 15 වන දා සිට ආරම්භ කරන බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (29) සඳහන් කළා.

+++++++++++++++++++

මාස 21 ක් එක දිගට වැඩ IDH රෝහල

(30.09.2021 – 21:29 +0530 – hirunews.lk/sinhala)

හුස්මක් නැතුව ජීවයක් පවතින්නේ නැහැ. හුස්ම ගැන මේ දිනවල බොහෝ දෙනෙක් කතා කරන්නේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන්. හුස්ම ඉල්ලා අසරණ වූ ජීවිත වෙනුවෙන් හුස්මක් ගන්නවත් ඉස්පාසුවක් නොතිබුණු තැනක් තිබෙනවා. කාලෙකට පස්සේ එතන අයට හුස්මක් ගන්න අවස්ථාවක් ඇවිත්.

මේ හුස්ම ගන්න අයි.ඩී.එච්.

කොවිඩ් වසංගතය ගත වූ මාස කිහිපය පුරාවට මුළු රටකම හද ගැස්ම වැඩි කළේ එහෙමයි.

ජීවිතවල ඊළඟ මොහොත ගැන පවා විශ්වාසයක් නැති තැනට ජනතාව පත්වෙද්දී ඔවුන් තුළ බලාපොරොත්තුවේ එළි දැල් වූ තැනයි මේ.

මේ ජාතික බෝ නොවන රෝග පිළිබඳ විද්‍යායතනය හෙවත් අයි.ඩී.එච්. රෝහල.

කොවිඩ් තුන්වන (3) රැල්ලත් සමඟ අතිශය කාර්ය බහුල වූ මේ රෝහලට අපි ගියේ අවදානම් සහගත තත්ත්වයෙන් රට ක්‍රම ක්‍රමයෙන් සුවපත් වෙමින් පවතින පසුබිමකයි.

කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් පළමු රෝගියාගේ සිට අයි.ඩී.එච්. රෝහල ගත වූ කාලය තුරා අනුන්ගේ ජීවිත වෙනුවෙන් කැප වුණා.

තම සමීපතමයන්ගේ ජීවිත අවදානම පවා නොතැකූ සුව විරුවන් රැයක් දවාලක් නොමැතිව ඒ වෙනුවෙන් වෙහෙසුණා.

ඒ, අවාසනාවන්ත කාල සීමාවේ උපරිමය වාර්තා වුණේ ගත වූ මාස එක හමාර (1½) තුළදීයි.

රෝහල් ධාරිතාව ඉක්මවා යන තරම් කොවිඩ් ආසාදිතයින් මෙහි පැමිණියා.

නමුත් මේ වන විට එම සංඛ්‍යාව සියයට 50 කින් පමණ අඩු වී තිබුණා.

රෝහල් කාර්ය මණ්ඩලයටත් ඒ නිසාම අස්වැසිල්ලක් ලැබිලා.

ඒත් ඔවුන් මත පැවරී ඇති වගකීම සුළු පටු නැහැ.

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

සීනි ආනයනයට අවසර – ඩොලර් නැතිව කිරිපිටි හරවා යැවීමට, ආනයනකරුවන් සැරසේ

(30.09.2021 – 19:24 +0530 – hirunews.lk/sinhala)

මෙතෙක් පැවති බලපත්‍ර ක්‍රමය අහෝසි කර සාමාන්‍ය පරිදි ඕනෑම අයෙකුට සීනි ආනයනයට අවසර ලබාදී තිබෙනවා.

දැනට පවතින සීනි හිඟය සළකා මුදල් අමාත්‍යාංශය විසින් සීනි ආනයනකරුවන්ට මෙම අවසරය ලබාදී ඇති බවයි වාර්තාවන්නේ.

මේ අනුව සීනි ආනයනකරුවන් දැනටමත් තොග ඇණවුම් කිරීම ආරම්භ කර ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමය සඳහන් කළා.

ඒ සඳහා ණයවර ලිපි විවෘත කිරීමට ද පහසුකම් සලසා දී තිබෙනවා.

මාස 3 ක කාලයක් සීනි ආනයනය කිරීම තහනම් කිරීමට රජය පියවරගෙන තිබූ අතර නව අවසරයත් සමඟ හෙට (01) සිට එම තහනම ඉවත්ව යනවා.

දැනට කොළඹ වරාය භාරයේ පවතින සීනි බහාලුම් ද වරායෙන් නිදහස් කර ගත යුතු බවට ආනයනකරුවන්ට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසුරිය මහතා සඳහන් කළේ කිරිපිටි බහාලුම් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් මෙතෙක් පෞද්ගලික බැංකු වෙත නිකුත් කර නොමැති බවයි.

ඩොලර් නොමැති වුවහොත් තමන් ගෙන්වන ලද බහාලුම් යළි හරවා යැවීමට පියවර ගැනීමට සිදුවනු ඇති බවට ද ඔහු ප්‍රකාශ කළා.

මේ අතර සහල් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා දිස්ත්‍රික්ක 5 ක රජයේ සහල් මෝල් 5 ක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇති බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ අද (30) පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේ.

එමෙන්ම පිටකොටුවේ සහල් වෙළඳසැල් හිමියන් ප්‍රකාශ කළේ සහල් මිල පාලනය ඉවත් කිරීමත් සමඟ සහල් තොග අවශ්‍ය තරම් ලැබී ඇති බවයි.

******************************************

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ බහුතරය ඉන්දියාවේ අදානිට

(30.09.2021 – 19:27 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා අත්සන් තැබුණු ගිවිසුමට අනුව එහි සියයට 51 ක කොටස් හිමිකාරීත්වයක් ඉන්දියාවේ අදානි සමාගමට හිමිව තිබෙනවා.

එමෙන්ම එහි දේශීය හවුල්කරු වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් වෙත සියයට 34 ක සහ වරාය අධිකාරියට සියයට 15 ක කොටස් හිමි වනු ඇති.

ඇමරිකානු ඩොලර් මිලියන 700 ක ආයෝජනයක් වන මෙහි බටහිර බහාලුම් පර්යන්තය ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා අදානි සමාගම, ජෝන් කීල්ස් සහ වරාය අධිකාරිය සමඟ ඉදිකිරීම්, මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සහ අයිතිය පැවරීමේ ගිවිසුමට අද (30) පෙරවරුවේ අත්සන් තැබුණා.

එහිදී අදානි සමාගම මෙම කටයුත්තට සම්බන්ධ වූයේ මාර්ගගත ක්‍රමයටයි. ඒ, වසර 35 ක ගිවිසුම් කාලයකටයි.

මීටර 1,400 ක් දිග නැංගුරම් ස්ථානයක් සමඟ මීටර 20 ක ගැඹුරක් පවතින බටහිර පර්යන්තය, ප්‍රතිනැව්ගත කිරීම්, භාණ්ඩ මෙහෙයුම් සඳහා සුදුසු පර්යන්තයක් වන අතර, අති විශාල බහලුම් නෞකා හැසිරවීමේ හැකියාවක් පවතිනවා.

දැනටමත් ඉන්දියාවේ බහාලුම් නෞකා වලින් සියයට 40 කට වැඩි ප්‍රමාණයක මෙහෙයුම් කටයුතු සිදු කෙරෙන්නේ බටහිර පර්යන්තයේයි.

******************************************

වගකිව යුත්තන් නිහඬයි – පාස්කු ප්‍රහාරය ගැන, ජාතික කතෝලික ජනමාධ්‍ය කොමිසමෙන් නිවේදනයක්

(30.09.2021 – 19:35 +0530 – hirunews.lk/sinhala)

ජාඇල – බෝපිටිය ශාන්ත නිකොලා දේවස්ථානයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට දැනුම්දීමක් කළ නාවික හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් මේ වනවිටත් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා ප්‍රකාශ කළේ එම විමර්ශනයෙන් අනතුරුව තොරතුරු වාර්තා කිරීමට කටයුතු කරන බවයි.

එසේම අදාළ නාවික හමුදා නිලධාරියාට නාවික හමුදාපතිවරයා විසින් අවවාද කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළා. ඒ, කොළඹ අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

කෙසේ වෙතත්, ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට දැනුම් දුන්න ද අදාළ දේවස්ථානයට මේ වන තෙක් කිසිදු අයුරකින් ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන නොමැති බවයි දේවස්ථානය භාර ජයන්ත නිමල් පියතුමා ප්‍රකාශ කළේ.

මේ අතර, ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලයේ ජාතික ජනමාධ්‍ය කොමිසමද අද (30) මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා.

එහි දැක්වුණේ පාස්කු ප්‍රහාරය එල්ලවී මාස 29 කට අධික කාලයක් ගතවී ඇතත් තවමත් ජනාධිපති කොමිසන් වාර්තාව සහ සෙසු වාර්තා විධිමත්ව ජනගත වී නොමැති බවයි.

එයද ප්‍රශ්ණාර්ථයක් වන අතර, ආණ්ඩුව එසේ කරමින් සිටින්නේ කුමන ආරක්ෂක විධිවිධානයක් යටතේදැයි කිසිවෙකුත් නොදන්නා බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ආණ්ඩු පක්ෂය, විපක්ෂය හෝ වෙනයම් පාර්ශවයක් පාස්කු ප්‍රහාරය අයුතු ලෙස දේශපාලන වාසි සඳහා යොදාගන්නේ නම් එය හෙළා දකින බවද අදාළ නිවේදනයේ සඳහන් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *