පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඔක්තෝබර් මස 04 වනදා විවෘත වේ

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඔක්තෝබර් මස 04 වනදා විවෘත වේ

*********************************************

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඔක්තෝබර් මස 04 වනදා විවෘත වේ

(30.09.2021 – 15:37 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යල හා සියලුම පළාත් කාර්යාලවල සේවාවන් නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔක්තෝබර් මස 04 වනදා සඳුදා දින සිට එම කාර්යාලවල සේවාවන් ආරම්භ කෙරැණු ඇති.

එසේ වුවද ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක් දින සේවාව තවදුරටත් ක්‍රියාත්මක නොවන බව සඳහන්.

නිවේදනයක් නිකුත් කරමින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා මේ බව දැනුම් දී තිබෙනවා.

ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා වන ඉල්ලුම්පත්, ග්‍රාම නිලධාරීන් මඟින් සහතික කළ පසු අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටුවා ඇති පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලය වෙත භාර දිය යුතු වනවා.

එම අයදුම්පත් සඳහා ජාතික හැඳුනුම්පත් සකස් කර, අයදුම්කරුවන්ගේ පෞද්ගලික ලිපිනයට ලියාපදිංචි තැපෑල මඟින් කඩිනමින් යොමුකිරීමට නියමිතයි ෴

++++++++++++++++++

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල හෙට (01) සිට විවෘත වේ

(30.09.2021 – 15:46 +0530 – hirunews.lk/sinhala)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර සහ නාරාහේන්පිට කාර්යාලවල අත්හිටුවන ලද සේවා හෙට (01) සිට යළි ආරම්භ කෙරෙනවා.

කෙසේවෙතත් අත්‍යවශ්‍යය සේවා ඉටු කර ගැනීමට 011 267 7877 දුරකථන අංකය ඔස්සේ දිනයක් සහ වේලාවක් වෙන්කර ගත යුතු බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා සදහන් කළේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාල කටයුතු අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්ගේ අධීක්ෂණය යටතේ මත සිදුකරන බව සදහන්.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් පිළිබද විමසීම සඳහා පෙරවරු 09 සිට පස්වරු 04 දක්වා කාලයේදී වාහන ලියාපදිංචියට අදාළව 070 767 7877 අංකයටත් , රියදුරු බලපත්‍ර සදහා 070 767 7977 යන දුරකථන අංකයටත් අමතන ලෙසයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දන්වා සිටියේ ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

ගමක් වනසා ජයටම කරගෙන යන ආනමඩුවේ ගල් කොරිය

(30.09.2021 – 14:04 +0530 – hirunews.lk/sinhala)

බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් පවත්වාගෙන යන ගල් කොරියක් හේතුවෙන් ආනමඩුව කරඹෑව ප්‍රදේශයේ ජනතාව දැඩි පීඩාවට පත්ව තිබෙනවා.

මේ හේතුවෙන් නුවර යුගයට අයත් ටැම්පිට විහාරයකටද දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.

ආනමඩුව කරඹෑව ප්‍රදේශයේ ව්‍යාපාරියකයෙකු විසින් මෙම ගල් කොරිය පවත්වාගෙන යන්නේ වසර ගණනාවක සිටයි.

කෙසේ වෙතත්, ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් මෙහි ගල් බෝර දැමීම නිසා ඒ අවට පවල් 200 ක් පමණ දැඩි පීඩාවට පත්ව ඇති බවටයි.

කරඹෑව, ආලංකුලම කිවුල්ඇල, යද්දිගම, ආදී ප්‍රදේශවල ජනතාවගේ නිවාස 50 කට වැඩි සංඛ්‍යාවකට හානි සිදුව තිබෙනවා.

බෝර දැමීමේදී විසිවන ගල් කැබලි පතිත වීම හේතුවෙන් නිවැසියන්ගේ ජීවිතද පවතින්නේ දැඩි අවදානමකයි.

බෝර දැමීම හේතුවෙන් නුවර යුගයට අයත් කරබෑව රජමහා විහාරස්ථානයේ පිහිටි වසර 400 කට වැඩි ටැම්පිට විහාරයද මේ වන විට අනතුරට ලක්ව තිබෙනවා.

විහාරස්ථානයේ ඉපැරණි බිතු සිතුවම් වලටද ඉන් හානි සිදුව තිබෙනවා.

ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ සඳහා මැදිහත් වී කඩිනම් විසඳුමක් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

******************************************

එල්ලේ ක්‍රීඩකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් යුධ හමුදා ලුතිනන් කර්නල්වරයා රිමාන්ඩ්

(30.09.2021 – 16:09 +0530 – hirunews.lk/sinhala)

තොටළග අරුණ එල්ලේ කණ්ඩායමේ නායක අකිල සම්පත් ඝාතනය සම්බන්ධයෙන් මට්ටක්කුලිය යුධ හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරි ලුතිනන් කර්නල්වරයෙකු කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් ලුතිනන් කර්නල්වරයා හෙට (01) දක්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් රිමාන්ඩ් කරනු ලැබුවා.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට මට්ටක්කුලිය බුද්ධි කඳවුරේ සෙබලුන් 13 දෙනෙක් සහ මියගිය එල්ලේ ක්‍රීඩකයාගේ බිරිඳ වන ග්‍රාම නිලධාරිනියද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

පසුගිය අගෝස්තු මස 16 වනදා යුධ හමුදා රථයකින් මෙලෙස පැහැර ගැනුණු මිය ගිය ක්‍රිඩකයාගේ සිරුර කළු ගල් පිරවු බැගයක ගැට ගසා මෙම හමුදා සමාජිකයන් පෑලියගොඩ කළු පාලමෙන් කැළණි ගගට දමා ඇති බවයි අනාවරණය වී තිබෙන්නේ.

******************************************

විශේෂඥ වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු ප්‍රමාදය

(30.09.2021 – 16:14 +0530 – hirunews.lk/sinhala)

මෙම වසරේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු අවසන් ලැයිස්තුව 2020 නොවැම්බර් 01 වන දින වන විට නිකුත් කළ යුතුව තිබුණා.

එහෙත් සෞඛ්‍ය අමාත්‍යංශයේ දැඩි ආකාර්යක්ෂමතාවය නිසා මේ වසරේ වාර්ෂික ස්ථාන මාරු නියෝග නිකුත් කරන ලද්දේ 2021.07.30 දිනය එම නිසා 2021 ජනවාරි 01 වන දින ස්ථාන මාරුවීම් ලැබිය යුතුව තිබු විශේෂඥ වෛද්‍යවරුන් එසේ ස්ථාන මාරු වීම් මාස 09 ක් ප්‍රමාද වී තිබෙනවා.

2021 වාර්ෂික ස්ථාන මාරු නියෝගය අනුව විශේෂඥ වෛද්‍යවරුන් 726 ක් රෝහල් සඳහා ස්ථාන මාරු වී යා යුතු අතර වැඩ බලන විශේෂඥ වෛද්‍යවරුන් 748 ක් මෙම මාරුවීම් පටිපාටිය සුමට කිරීම සඳහා අනුයුක්ත කළ යුතුව ඇත.

එහෙත් සෞඛ්‍ය ලේකම්වරයාගේ නියෝග රටේ රෝහල් වල ප්‍රධානීන් නොපිළිගන්නා තත්ත්වයක් ඇති වී ඇති අතර මෙම ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රායෝගික ක්‍රමවේදයක් සෞඛ්‍ය අමාත්‍යංශය සතුව නැත.

ඊට අමතරව එසේ ස්ථාන මාරු ලැබුණු විශේෂඥ වෛද්‍යවරුන් අදාළ රෝහල් වෙත වාර්තා කර ඇත්දැයි දැන ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය කිසිදු වැඩ පිළිවෙලක් මේ වනතුරු සකස් කර නොමැති බව සඳහන්.

ඒ හේතුවෙන් මේ වන විට දුෂ්කර ප්‍රදේශ වල පවතින රෝහල් වල සේවා සැපයීම අඩාල වී තිබෙනවා ෴

******************************************

යොහානි නවදිල්ලියේ දී ගීත ගායනයට එක්වෙයි

(30.09.2021 – 19:42 +0530 – hirunews.lk/sinhala)

‘මැණිකේ මගේ හිතේ’ ගීතය ගායනා කරමින් ඉමහත් ජනප්‍රියතාවට පත්ව සිටින යොහානි ද සිල්වා අද (30) පස්වරුවේ පළමු වරට ඉන්දියානු වේදිකාවක ගීත ගායනයට එක්වුණා.

නවදිල්ලි නුවර දී මෙම සංගීත ප්‍රසංගය පැවැත්වෙන අතර, යොහානි ද සිල්වා ඉන්දීය ප්‍රේක්ෂකයින් ඉදිරියේ සංගීත සංදර්ශනයක් පවත්වන පළමු අවස්ථාව මෙය වනවා.

යොහානි ලබන ඉරිදා (03) හයිද්‍රාබාද් හිදී සංවිධානය කර ඇති තවත් සංගීත ප්‍රසංගයකට ද සහභාගිවීමට නියමිතයි.

‘මැණිකේ මගේ හිතේ’ ගීතය දෙමළ, මලයාල, හින්දි සහ බෙංගාලි භාෂාවලින් ද ගායනා කරන අතර මෙම ගීතය සම්බන්ධයෙන් සුපිරි නළු අමිතාබ් භච්චන්, ප්‍රියංකා චොප්රා ඇතුළු බොලිවුඩ් සුපිරි තරු ට්විටර් පණිවුඩ නිකුත් කරමින් ඇයට සුබ පැතුම් එක් කර තිබුණා.

යොහානි ද සිල්වා යළි දිවයිනට පැමිණීමට පෙර මුම්බායි නුවර පැවැත්වෙන මාධ්‍ය හමුවකට ද එක්වීමට නියමිතව තිබෙනවා.

+++++

++++++

06-06-2021
15-06-2021

******************************************

2022 අය – වැය සඳහා වන ජාතික නිදහස් පෙරමුණේ යෝජනාවලිය

(30.09.2021 – 16:28 +0530 – hirunews.lk/sinhala)

2022 අය-වැය සඳහා වන ජාතික නිදහස් පෙරමුණේ යෝජනාවලිය එම පක්ෂය විසින් ඉදිරිපත් කර තිබෙනවා එය පහතින්.

1) දීර්ඝකාලීනව රටේ ආහාර සුරක්ෂිතතාව රැකගැනීම සහ දේශීය කෘෂි නිෂ්පාදන පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ආනයන විකල්ප ලෙස සැලකෙන ප්‍රධාන ආහාර නිෂ්පාදනය දිරි ගැන්වීම.

1.1 නාඩු වී කිලෝ ග්‍රෑම් 1 ක සහතික මිල රුපියල් 60.00 ක් ලෙසත්, නාඩු සහල් කිලෝ ග්‍රෑම් 1 ක මිල රුපියල් 110.00 ක් ලෙසත් නියම කිරීම.

1.2 දේශීය නිෂ්පාදන පිරිවැය අනුව කිරිපිටි සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීම, ඒ අනුව ආනයනික කිරිපිටි මිල දේශීයව නිෂ්පාදනය කරන කිරිපිටි මිලට වඩා 5% කින් ඉහළ මට්ටමක පවතින ලෙස ආනයනික කිරිපිටි සඳහා විශේෂ පරිභෝජන බදු පැනවීම.

1.3 කිරි ලීටරයක් සඳහා ගොවියාට ගෙවන සහතික මිල රුපියල් 100.00 දක්වා ඉහළ දැමීම.

1.4 දේශීය පොල් තෙල් නිෂ්පාදන පිරිවැය අනුව ආනයනික, ආහාරයට ගන්නා තෙල් වර්ග සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීම සහ සියලුම ආහාරයට ගන්නා ආනයනික තෙල් වර්ගවල මිල දේශීයව නිපදවන පොල්තෙල්වල මිලට වඩා 5% කින් ඉහළ මට්ටමක පවතින ලෙස විශේෂ පරිභෝජන බදු පැනවීම.

1.5 පිරිපහදු නොකළ ආහාරයට ගන්නා තෙල් වර්ග සහ බාහිරින් තෙල් වර්ග එකතු කළ හෝ සංයුතිය වෙනස් කළ කිරිපිටි, බටර් වැනි ආහාර රට තුළට ආනයනය කිරීම, ‘ආනයන – අපනයන පනත’ යටතේ තහනම් කිරීම සහ පොල් තෙල්වලට වෙනත් තෙල් වර්ග මිශ්‍ර කර ආනයනය කිරීම සහ විකිණීම ‘පාරිභෝගික අධිකාරිය පනත’ යටතේ තහනම් කිරීම.

1.6 තිරිඟු පිටි සහ තිරිඟු ඇට සඳහා පසුගිය වසර 10 ක කාලය තුළ ලබා දී ඇති බදු සහන 50% කින් අහෝසි කිරීම හෙවත් නැවත පැනවීම.

1.7 ආහාර සඳහා පනවනු ලබන ආනයනික බදු විශේෂ ජාතික අරමුදලකට බැර කිරීම සහ එම අරමුදල් අඩු ආදායම්ලාභීන්ට ආහාර සහනාධාරයක් ලෙස ලබා දීම සහ දේශීය නිෂ්පාදනය ඉහළ දැමීම පිණිස ගොවියාට සහනාධාර ලබා දීම සඳහා පමණක් යෙදවීම.

2) දේශීය කර්මාන්තකරුවන්ට වෙළෙඳපොළ පුළුල් කිරීම සඳහා සියලුම රාජ්‍ය මිල දී ගැනීම්වලදී (පරිභෝජනය සහ විකිණීම) දේශීය නිෂ්පාදන සහ සේවා සඳහා ප්‍රමුඛතාව අනිවාර්ය කිරීම සහ ඒ බව ටෙන්ඩර් පත්‍රිකාවල සඳහන් කිරීම.

3) ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලින් සුළු නිෂ්පාදකයා සහ ගොවියා, විශේෂයෙන්ම කාන්තාවන් ගලවා ගැනීම සඳහා පූර්ණ ජාතික සමීක්ෂණයක් සිදු කිරීම. රුපියල් 50,000.00 දක්වා එකතු වී ඇති පොලිය කපා හැරීම, සියලුම ණය උපරිම පොලී සීමාව 18% ක් වන ලෙස නැවත ප්‍රතිව්‍යුහගත කිරීම, සමෘද්ධි බැංකු පද්ධතිය සහ ගොවිජන බැංකුවට යළි පණ දීම මගින් සහන පොලී ක්ෂුද්‍ර මූල්‍ය බැංකු ජාලයක් පිහිටුවීම සහ පෞද්ගලික අංශය මගින් අය කළ හැකි උපරිම පොලිය 18% ක් ලෙස නියම කිරීම.

4) කර්මාන්තකරුවන් ආයෝජන සඳහා ලබාගෙන ඇති සියලුම ණයවල ඉතිරි වී ඇති ණය ප්‍රාග්ධනය වර්තමාන අවම පොලී අනුපාතය යටතේ නැවත ප්‍රතිව්‍යුහගත කිරීම, ණය ගෙවීමේ කාලය ඉදිරි වසර 10 ක් සඳහා දීර්ඝ කිරීම.

5) සමස්ත රටේ තරුණ පරම්පරාව ‘සුහුරු සමාජයක්’ බවට පත් කිරීම, නව රැකියා අවස්ථා සහ ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය කිරීම සහ විදේශ රැකියා අවස්ථා වර්ධනය කිරීම මෙන්ම ගෘහ සේවය සඳහා කාන්තාවන් විදේශගත වීම අවම කිරීම සඳහා

5.1 පවතින වෘත්තීය අධ්‍යාපන ආයතන ජාලයට අමතරව, ආරක්ෂක හමුදා සතු පිරිස් බලය සහ සම්පත් යොදා ගනිමින් දිස්ත්‍රික් මට්ටමින් නව වෘත්තීය අධ්‍යාපන ආයතන 100 ක් රට පුරා ආරම්භ කිරීම.

5.2 තාක්ෂණික විශ්වවිද්‍යාල 9 ක් පළාත් මට්ටමින් ආරම්භ කර, වෘත්තීය අධ්‍යාපනය විශ්වවිද්‍යාල මට්ටම දක්වා වැඩි දියුණු කිරීම.

5.3 ප්‍රායෝගික වෘත්තීය පුහුණුව සහිත එහෙත් විධිමත් සහතික නොමැති පිරිස් සහ ත්‍රිරෝද රථ රියැදුරන් විධිමත් වෘත්තීය අධ්‍යාපන සහතිකයක් ලබාගැනීමට දිරිමත් කිරීම සඳහා ඔවුන්ට අධ්‍යාපන කාලය තුළ මාසිකව රුපියල් 10,000.00 ක දීමනාවක් ගෙවීම.

5.4 රට තුළ පවතින ප්‍රධාන කර්මාන්ත ක්ෂේත්‍ර 20 ට අදාළව පුහුණු අවශ්‍යතා හඳුනා ගැනීම සඳහා ජාතික සමීක්ෂණයක් සිදු කිරීම සහ ඊට අනුව නව පාඨමාලා හඳුන්වාදීම.

6) ශ්‍රී ලංකාවේ පවතින 35,000 කට ආසන්න සියලුම කුඩා වැව් සහ අමුණු ප්‍රතිසංස්කරණය සඳහා ආරක්ෂක හමුදා සතු පිරිස් බලය යොදා ගනිමින් ජාතික ව්‍යාපෘතියක් ආරම්භ කිරීම. එම ව්‍යාපෘතියට අවශ්‍ය උපකරණ සෙසු රාජ්‍ය ආයතනවලින් ලබාදීම, අබලන් වාහන ප්‍රතිසංස්කරණය කිරීම මෙන්ම නව උපකරණ මිල දී ගැනීම මගින් ජාතික උපකරණ සංචිතයක් ගොඩනැගීම. ඒ සඳහා අරමුදල් අයවැය මගින් වෙන් කිරීම.

7) ඉහත වාරි පද්ධති ආශ්‍රිතව පරිසර පද්ධති සංවර්ධනය කිරීම මෙන්ම රට පුරා ඌන භාවිත රාජ්‍ය සහ පෞද්ගලික ඉඩම්වල ආහාරයට ගත හැකි බහුවාර්ගික ශාක රෝපණය කිරීමේ ජාතික ව්‍යාපෘතියක් ස්වේච්ඡා සංවිධාන, පාසල් සිසුන් සහ ආරක්ෂක හමුදා යොදාගනිමින් දියත් කිරීම, එම සංවිධාන දිරිමත් කිරීම සහ පැළ තවාන් පිහිටුවීම දිරිමත් කිරීම සඳහා මූල්‍ය දිරිගැන්වීමක් ලබාදීම. ඊට අදාළව වගවීම සහ විනිවිදභාවය සහතික කිරීම සඳහා මහජන සහභාගීත්වය සහිතව විශේෂ යාන්ත්‍රණයක් සකස් කිරීම.

8) රට තුළ ස්වේච්ඡා දැනුම සහ ශ්‍රමය ලබා දීම සහ ලබා ගැනීම සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ජාතික ආයතනයක් පිහිටුවීම සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීම සහ යෙදවීම සඳහා පරිගණක මෘදුකාංගයක් හඳුන්වා දීම මෙන්ම ලියාපදිංචි වන පුද්ගලයින්ට කෙටිකාලීන ප්‍රජා නායකත්ව පුහුණුවක් ආරක්ෂක හමුදා මගින් ලබාදීම. ඒ සඳහා අයවැය මගින් අරමුදල් වෙන් කිරීම ෴

******************************************

දරුවාට කොසු මිටෙන් පහර දී ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් පියා රිමාන්ඩ්

(30.09.2021 – 17:37 +0530 – hirunews.lk/sinhala)

කොසු මිටෙන් පහරදීම හේතුවෙන් සිහිසුන්ව කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු පාසල් සිසුවෙකු මිය යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ඔහුගේ පියා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, සැකකරු ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හමුවට අද (30) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ගාල්ල – මහමෝදර – සියඹලාගහවත්ත ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි මෙම සිසුවා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටියා.

පොලීසිය ප්‍රකාශ කළේ පාඩම් කරන ලෙස පවසා පියා විසින් ඊයේ (29) පස්වරුවේ දරුවාට පහර දී ඇති බවත් එහිදී සිහිසුන් වූ සිසුවා කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *