ශ්‍රී ලංකාව හා සෘජු ගුවන් සේවා ඇරඹීමට ගුවන් සමාගම් 07 ක් සූදානමින්

ශ්‍රී ලංකාව හා සෘජු ගුවන් සේවා ඇරඹීමට ගුවන් සමාගම් 07 ක් සූදානමින්

*********************************************

ශ්‍රී ලංකාව හා සෘජු ගුවන් සේවා ඇරඹීමට ගුවන් සමාගම් 07 ක් සූදානමින්

(30.09.2021 – 11:55 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව හා සෘජු ගුවන් සේවා ඇරඹීමට ගුවන් සමාගම් 07 ක් සුදානම් වෙමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

මේ අතුරින් ගුවන් සමාගම් 05 ක් දැනටමත් කටුනායක ගුවන් තොටුපළට සිය මෙහෙයුම් සිදු කිරිමට එකගත්වය පළ කර තිබෙනවා.

රුසියාවේ ගුවන් සමාගම් දෙකක් වෙන AEROFOLT ගුවන් සමාගම හා AZUR AIR ගුවන් සමාගම මෙන්ම ඉතාලි NEOS ගුවන් සමාගම, ප්‍රංශයේ AIRFRANCE ගුවන් සමාගම යන ගුවන් සමාගම් ද කටුනායක ගුවන් තොටුපළට නව ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

බංගලාදේශ US BANGLA AIRLINES සමාගම ද නොවැම්බර් 01 වන දා සිට කටුනායක ගුවන් තොටුපළට ගුවන් ගමන් ආරම්භ කිරීම සදහා සුදානමින් සිටිනවා.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ ඊශ්‍රාලයේ ARKIA ගුවන් සමාගමත්, ස්විස්ටර්ලන්තයේ SWISSAIR ගුවන් සමාගමත් ශ්‍රී ලංකාව සමග සෘජු ගුවන් ගමන් ආරම්භ කිරිම කෙරෙහි කැමැත්තෙන් පසු වන බවයි.

එළඹෙන සීත කාලයේ දි යුරෝපා සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීම මෙහි අරමුණයි.

ඒ අනුව එම රටවල් ආශ්‍රිතව සිදු කෙරෙන සංචාරක ප්‍රදර්ශන, ක්‍රියාකාරකම් මෙන්ම එම රටවල මාධ්‍ය හා සමාජ මාධ්‍ය වැඩසටහන් මගින් ශ්‍රී ලංකාව පිළිබද පුළුල් ප්‍රචාරයක් ලබා දීමට අපේක්ෂා කරන බවත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සදහන් කරනවා ෴

******************************************

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීමට අදාළ ගිවිසුමට අත්සන් තබයි

(30.09.2021 – 12:02 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීමට අදාළ ගිවිසුමට අද (30) අත්සන් තැබුණා.

ඒ ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරය, එහි දේශීය නියෝජිත සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමගයි.

කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉදිකර පවත්වාගෙන ගොස් යළි භාරදීමේ ගිවිසුම යටතේ ඉන්දියාවේ අදානි සමාගම එහි දේශීය නියෝජිතයා වන ජෝන් කීල්ස් සමාගම සමඟ අදාළ සංවර්ධන කටයුතු සිදුකිරීමට නියමිතයි.

මෙය අමෙරිකානු ඩොලර් මිලියන 700 ක ආයෝජනයක්.

ඒ අනුව කොළඹදී අදාළ ගිවිසුමට අද (30) පෙරවරුවේ අත්සන් තැබුණු අතර ඉන්දියානු අදානි සමූහ ව්‍යාපාරයේ සාමාජිකයින් පමණක් මාර්ගගත ක්‍රමයට ඊට එක්ව සිටියා.

මීට පෙර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව සහ ජපානය ඉදිරිපත්ව සිටි නමුත් වෘත්තිය සමිති සහ විවිධ පාර්ශ්ව ඊට විරෝධය පළ කිරීමත් සමඟ එම සැලසුම අත්හැර දැමුණා.

පසුව රජය ප්‍රකාශ කළේ කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරය සමඟ සංවර්ධනය කිරීමට තීරණය කළ බවයි ෴

******************************************

විල්පත්තු අභය භූමියට ඇතුළු වී කොතලහිඹුටු කැපූ පුද්ගලයෙකු අත්අඩංගුවට

(30.09.2021 – 12:12 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි ඒකකයේ නිලධාරීන් විසින් විශේෂ කාර්ය බලකායට ලබා දුන් බුද්ධි තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය විසින් තන්තිරිමලය පොලිස් වසමේ අංක 73, සඳමල්එළිය, තන්තිරිමලය ලිපිනයේ පිහිටි නිවස පිටුපස දී වැටලීමක් සිදු කළා.

එහි දී බලපත්‍ර නොමැතිව විල්පත්තු අභය භූමියට ඇතුළු වී කොතලහිඹුටු කි.ග්‍රෑ. 300 කට වැඩි ප්‍රමාණයක් කපා සන්තකයේ තබාගෙන සිටි සඳමල්එළිය, තන්තිරිමලය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු තන්තිරිමලය පොලිස් ස්ථානය විසින් සිදු කරනු ඇති.

******************************************

මාධ්‍යවේදීන් CIDයට කැඳවූ නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක්

(30.09.2021 – 13:12 +0530 – hirunews.lk/sinhala)

මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීම පිළිබද කනගාටුව පළ කරන බවත් වගකීම් විරහිතව කටයුතු කර ඇති නිලධාරීන් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

මෙම තත්ත්වය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය කාර්ය පටිපාටිය නොවන අතර එම දෙපාර්තමේන්තුව විසින් විමර්ශනය සඳහා යම් මාධ්‍යයක සහය ඉල්ලා සිටි අවස්ථාවල දී එම මාධ්‍ය ආයතනය විසින් සහය ලබාදෙන බැවින් මාධ්‍යවේදීන් එම දෙපාර්තමේන්තුව වෙත කැදවීම සාමාන්‍යයෙන් සිදුනොකරන බවයි ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

වාර්තා වී ඇති එම සිදුවීමේදී අපහසුතාවට පත්වූ මාධ්‍යවේදීන් වෙත කණගාටුව පළ කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෘත්තිමයභාවයට කැළලක් වන අන්දමින් වගකීම් විරහිතව නොසැලකිලිමත් ලෙස කටයුතු කර ඇති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් මේ වන විට විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

මාධ්‍යවේදීන් ඇතුළුව මහජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට පොලීසිය සෑම විටම ගරු කරන බව ද එම නිවේදනයේ සඳහන් ෴

******************************************

පාලන මිල ඉවත් කිරීම ගැන පාරිභෝගික අධිකාරියේ පොදු සේවක සංගමයේ අප්‍රසාදය

(30.09.2021 – 13:15 +0530 – hirunews.lk/sinhala)

සහල් මිල පාලනය කිරීම සඳහා පසුගිය 02 වන දා නිකුත් කර තිබූ ගැසට් පත්‍රය හදිසියේම අහෝසි කිරීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පොදු සේවක සංගමය, එහි සභාපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනයට අනුව දිවයින පුරා වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙන්දන් සොයා දිවා රාත්‍රියේ අධිකාරියේ සේවකයින් කටයුතු කළ බවයි එම ලිපියෙන් ඔවුන් පෙන්වා දී ඇත්තේ.

මෙලෙස සැළසුමක් නොමැතිව ගැසට් නිවේදන ක්‍ෂණිකව අවලංගු කිරීමේ තත්ත්වය අඛණ්ඩව සිදුවීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව ද ඔවුන් සිය ලිපියෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා වෙත දැනුම්දී තිබෙනවා.

කෙසේ වෙතත්, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ගාල්ලේ ඊයේ (29) පැවති උත්සවයකට එක්වෙමින් සදහන් කළේ ඉහළ ගොස් ඇති සහල් මිල සම්බන්ධයෙන් ඉදිරියේ දී පාරිභෝගිකයින්ට සහනදායී විසදුමක් ලබාදීමට පියවර ගන්නා බවයි.

******************************************

දුම්රිය මඟින් ඉන්ධන ප්‍රවාහනය 60% දක්වා ඉහලට

(30.09.2021 – 13:31 +0530 – hirunews.lk/sinhala)

බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා සහ ප්‍රවාහන අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අතර හමුවක් බලශක්ති අමාත්‍යාංශයේ දී පැවැත්වුණු අතර, බලශක්ති අමාත්‍යාංශය සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව දුම්රිය මගින් ඉන්ධන ප්‍රවාහනය 60% දක්වා වර්ධනය කිරීම සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා වුණා.

එහි දී බවුසර් මගින් ඉන්ධන බෙදාහැරීමේ දී සිදුවන පිරිවැය අධික වීම, පරිසර දූෂණය සහ වාහන තදබදය පිළිබඳ බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතාගේ අවධානයට යොමු වී තිබෙනවා.

ඒ අනුව එම තත්වයන් අවම කර ගැනීම සදහා 30% තිබුණු දුම්රිය මගින් ඉන්ධන ප්‍රවාහනය 60% දක්වා වර්ධනය කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගනු ලැබීය.

ඒ අනුව ඉන්ධන බෙදාහැරීම සඳහා දුම්රිය භාවිතා කිරීම මේ වන විට 38% දක්වා ඉහළ නැංවෙනු ඇති ෴

******************************************

මනූෂ නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

(30.09.2021 – 13:52 +0530 – hirunews.lk/sinhala)

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයක් සඳහා ප්‍රකාශයක් ලබා දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක්ද ඒම ස්ථානයට පැමිණ සිටියා.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාම සම්බන්ධයෙන් එම අධිකාරියේ සභාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අදාලව සිදු කරන පරීක්ෂණයක් සඳහා ප්‍රකාශයක් ලබා දෙන ලෙසට සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාරට කැඳවීමක් කර තිබුණා.

ඒ, ඔහු අදාල දත්ත මැකීයාම සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමසීමටයි.

ඒම අවස්ථාවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඇතුළු ඒම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද ඒක් වුණා.

******************************************

ලංකා ගුරු සේවා සංගමයෙන් අල්ලස් පැමිණිල්ලක්

(30.09.2021 – 13:54 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ට එක්සත් රාජධානියේ ශිෂ්‍යත්ව ලබාගැනීමේ ක්‍රියාවලිය හරහා දැවැන්ත දුෂණයක් සිදුවන බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා චෝදනා කරනවා.

ඒ පිළිබඳව වහා සොයා බලන ලෙස ඉල්ලමින් ලංකා ගුරු සේවා සංගමය අල්ලස් හා දුෂණ කොමිසමට පැමිණිල්ලක් ද ඉදිරිපත් කලා.

අධ්‍යාපන පරිපාලන නිලධාරීන් 54 දෙනෙකු සඳහා එක්සත් රාජධානියේ ශිෂ්‍යත්ව ලබාගැනීමේ ක්‍රියාවලියට සුදුසුකම් ලබා සිටි නිලධාරීන් පිරිස තෝරාගත් ක්‍රමවේදය නීත්‍යානූකූල නොවන බවයි ලංකා ගුරුසේවා සංගමය පවසන්නේ.

එහි ලේකම් මහින්ද ජයසිංහ මහතා අද අල්ලස් හා දූෂණ කොමිසමට පැමිණිල්ලක්ද යොමු කළා.

******************************************

අඳුරේ එළිය දුටු බ්‍රයන් කිංග්ස්ටන්

(30.09.2021 – 13:58 +0530 – hirunews.lk/sinhala)

අභියෝග මැදින් ජීවිතය ජයගන්න අය ඒ ජයග්‍රහණයට එකකරන්නේ වටිනාකමක්. එය අන් අයටත් නිරන්තර ජවයක් සහ ආදර්ශයක්.

සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී විශිෂ්ට සාමාර්ථ 9 ක් ලබා ගනිමින් එවන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගත් බ්‍රයන් කිංග්ස්ටන් එවැන්නෙක්.

මට්ටක්කුලිය කදිරානවත්ත, කොළඹ 15 පදිංචි බ්‍රයන් කිංග්ස්ටන් අධ්‍යාපනය ලබන්නේ රත්මලාන අන්ධ විද්‍යාලයෙන්.

උපතින්ම දෙනෙත් නොපෙනෙන බ්‍රයන් ඔහුගේ සාර්ථකත්වය කරාගිය මැන්නේ අප්‍රතිහත ධෛර්යය තුළින්ම බව ලෝකයට පසක් කරන්නට අද සමත් වෙලා.

ඒ 2020 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගැනීමත් සමගයි.

බ්‍රේල් මාධ්‍යයෙන් විභාගයට ඉදිරිපත් වූ ඔහුගේ ප්‍රතිඵලය A 9 ක්.

එය ඔහු සිප්සතර හදාරන රත්මලාන අන්ධ විද්‍යාලයේ මෙතෙක් ඉතිහාසයේ ලබාගෙන ඇති ඉහළම ප්‍රතිඵලයයි.

බ්‍රයන් ඉගෙනීමට මෙන්ම ක්‍රීඩාවටත් උපන් හපනෙක්.

කලා විෂය ධාරාවෙන් ඉහළටම ඉගෙන ගෙන නීතිඥවරයෙකුවීම බ්‍රයන්ගේ බලාපොරොත්තුවයි.

මේ ජයග්‍රහණය ඔහු ලබාගත්තේ ඔහුගේ මහන්සියෙන් බවට කිසිදු සැකයක් නැහැ.

බ්‍රයන් ඔහුගේ පාසල් දිවිය පුරාවටම අමතර පන්ති කිසිවක් සඳහා සහභාගී වුයේ නැහැ.

ඔහු ගැන අපිට ඇත්තෙන්ම ආඩම්බරයි.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

කර්මාන්ත අංශ 19 කට අදාළව හඳුනාගත් ගැටලුවලට කඩිනමින් විසඳුම්

(30.09.2021 – 12:02 +0530 – hirunews.lk/sinhala)

මෙරට සමස්ත කර්මාන්ත ක්ෂේත්‍රයම ආවරණය වන පරිදි කර්මාන්ත අංශ 19 කට අදාළව කොවිඩ් වසංගත තත්ත්වය සහ ආනයන සීමා පැනවීම තුළ මතුව ඇති සියලු ගැටලු හඳුනාගත් බවත් එම හඳුනාගත් ගැටලුවලට මුදල් අමාත්‍යාංශය – මහබැංකුව – රේගුව යන පාර්ශ්ව තුන (3) සමඟ සාකච්ඡා කර කඩිනමින් විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

කොල්ලුපිටිය පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී කර්මාන්ත අංශ 19 ක උපදේශක කමිටු සභාපතිවරු හා අදාළ කර්මාන්ත අංශ නියෝජනය කරමින් පැමිණි කර්මාන්තකරුවන් සමග පැවති විශේෂ සාකච්ඡාවකදි යි ඒ බව තීරණය වී ඇත්තේ ෴

+++++++++++++++++++

කොරෝනා මර්දන එන්නත ගැන බොරු කියන යූ ටියුබ් ගිණුම්වලට වැඩ වරදී

(30.09.2021 – 13:00 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් මර්දන එන්නත්කරණය සම්බන්ධයෙන් වැරදි තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම වැළැක්වීමට එම සමාගම්වල අවධානය යොමු වී තිබෙනවා.

මේ අනුවයි යූ ටියුබ් සමාගම්ද එවැනි අසත්‍ය තොරතුරු සිය ගිණුම්වලින් මකා දැමීමට පියවර ගෙන ඇත්තේ.

මේ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර ඇති එන්නත් සම්බන්ධයෙන් පළවන අසත්‍ය තොරතුරු ඇතුළත් වීඩියෝ ඉවත් කිරීමට නියමිතයි.

එන්නත් භාවිතය තුළින් විවිධ රෝගාබාධ හටගන්නා බවට සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි තොරතුරු සමාජගත වීම ඉහළ යාමත් සමඟයි මෙම තීරණය ගෙන ඇත්තේ.

එවැනි තොරතුරු බෙදා හරින්නන්ගේ ගිණුම් අත්හිටුවීමටත් පියවර ගන්නා බව යූ ටියුබ් සමාගම නිවේදනය කරනවා.

පසුගිය වසරේ සිට මේ දක්වා එවැනි වීඩියෝ 1,30,000 ක් පමණ ඉවත්කර ඇති බවත් සඳහන්.

පවතින තත්ත්වය මත සෞඛ්‍යයට සම්බන්ධ වැරදි තොරතුරු ග්‍රහණය කරගැනීමේ ප්‍රතිපත්තිය වඩාත් පුළුල් කිරීමටත් නියමිතයි.

මේ අතර කොවිඩ් ආසාදනය වී සුවය ලැබූවන් අතර දක්නට ඇති දීර්ඝ කාලීන පසු කොවිඩ් සංකූලතා තත්ත්වය වඩාත් බරපතල වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

කොවිඩ් ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් තිදෙනෙකු (3) ගෙන් එක් (1) අයෙකු මෙම තත්ත්වයට ගොදුරු වන බවයි ඔක්ස්ෆර්ඩ් සරසවියේ විද්‍යාඥයින් පිරිසක් සිදුකළ පුළුල් අධ්‍යයනයකින් සොයාගෙන ඇත්තේ.

මෙම දීර්ඝ කාලීන පසු කොවිඩ් සංකූලතා තත්ත්වය මාස තුනේ (3) සිට හය (6) දක්වා කාලයක් පවතින බවත් සඳහන්.

ආමාශ වේදනාව, පාචන තත්ත්වය, වෙහෙසකාරී බව වැනි ශාරීරික ආබාධ මෙන්ම මානසික අවපීඩනය සහ සාංකාව වැනි මානසික තත්ත්වයන් ඔවුන් අතර බහුල රෝග ලක්ෂණ ලෙස හඳුනාගෙන තිබෙනවා.

මෙය වයස් බේදයකින් තොරව දක්නට ලැබීමත් සුවිශේෂී තත්ත්වයක් බවයි ඔක්ස්ෆර්ඩ් විශේෂඥ කණ්ඩායම පවසන්නේ.

මේ අතර කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව පහළ යාමත් සමඟ ඉන්දියාවේ පාසල් ලබන සඳුදා (4) සිට විවෘත කිරීමට නියමිතයි.

ඒ යටතේ කුඩා දරුවන් සිටින ශ්‍රේණි හැර අනෙක් ඒවා විවෘත වන අතර කුඩා දරුවන්ගේ පංති විවෘත කෙරෙනනේ නොවැම්බර් මාසයේයි.

මේ අතර සැප්තැම්බර් 02 දාට පසු නවසීලන්තයෙන් වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව යළි ඉහළ ගොස් තිබෙනවා.

මේ සියලු දෙනාම වාර්තා වී ඇත්තේ ඕක්ලන්ඩ් නගරයෙන් බවයි වාර්තා වන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *