මෘදුකාංග ඉංජිනේරුවරයා ඖෂධ නියාමන අධිකාරියේ, දත්ත මකා ඇත්තේ ජංගම දුරකථනයෙන් – අලුයම, දත්ත ගබඩාවට ඇතුළු වී ඇති බවටත් හෙළිවේ

මෘදුකාංග ඉංජිනේරුවරයා ඖෂධ නියාමන අධිකාරියේ, දත්ත මකා ඇත්තේ ජංගම දුරකථනයෙන් – අලුයම, දත්ත ගබඩාවට ඇතුළු වී ඇති බවටත් හෙළිවේ

*********************************************

මෘදුකාංග ඉංජිනේරුවරයා ඖෂධ නියාමන අධිකාරියේ, දත්ත මකා ඇත්තේ ජංගම දුරකථනයෙන් – අලුයම, දත්ත ගබඩාවට ඇතුළු වී ඇති බවටත් හෙළිවේ

(29.09.2021 – 19:38 +0530 – hirunews.lk/sinhala)

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත ගබඩාව මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම දත්ත ගබඩාව පවත්වාගෙන ගිය පෞද්ගලික ආයතනයේ (Epic Technology Group) පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයා ලබන මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු අද (29) දහවල් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි මෙලෙස රිමාන්ඩ් කෙරුණේ.

ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මෙම අපරාධය සිදු කර ඇති අකාරයෙහි පවතින සූක්ෂමභාවය සහ විමර්ශණවල සංකීර්ණභාවය සලකාබැලීමේදී වැඩිදුර විමර්ශණ කිරීම සඳහා සාධාරණ කාලයක් අවශ්‍ය බවට හැඟී යන බවයි.

ඒ අනුව සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන පවද මහේස්ත්‍රාත්වරිය කියා සිටියා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් චෝදනා කළේ පරිගණක දත්ත ගබඩාව මකා දැමීමේ සිද්ධිය ‘ඖෂධ ජාවාරම්කරුවන්ගේ අවශ්‍යතාව’ මත සැකකරු විසින් සංවිධානාත්මක ආකාරයෙන් සිදුකළ ‘ඩිජිටල් ත්‍රස්තවාදී ක්‍රියාවක්’ බවටයි.

එපික් ටෙක්නොලජි සමාගම විසින් ඖෂධ නියාමන අධිකාරිය සතු දත්ත ගබඩාව පවත්වාගෙන යාමේ කටයුතු ඉටුකර තිබෙනවා.

ඉකුත් ජූලි මස 09 වනදා අදාළ දත්ත ගබඩාව මකා දමා තිබෙන බව අනාවරණ වුණා.

එම දත්ත ගබඩාව ආරක්ෂා කර පවත්වාගෙන යෑම සඳහා රජය විසින් මාසිකව මෙම සමාගමට රුපියල් ලක්ෂ 5 ක මුදලක් වැය කර තිබෙනවා.

මැකී ගිය දත්ත ගබඩාවේ අන්තර්ගත වූයේ වෛද්‍ය උපකරණ ගෙන්වීමට අදාළ ලේඛන සහ ඖෂධවල සංයුතිය අඩංගු ලේඛනයි.

මෙම දත්ත මැකී යාම නිසා සමාගම් වලින් ආනයනය කරනු ලබන ඖෂධ හා වෛද්‍ය උපකරණවල ප්‍රමිතිය මෙන්ම මිල ගණන් සංශෝධනය කිරීමට නොහැකි ආකාරයේ බරපතල සංකීර්ණ තත්වයක් නිර්මාණය වී තිබෙනවා.

මේක ඩිජිටල් ත්‍රස්තවාදයක්.

සාමාන්‍යයෙන් ත්‍රස්තවාදයකදී සිදුවන්නේ මිනිස් ජීවිත සහ දේපළ විනාශ කිරීමයි.

එහෙත් ඩිජිටල් ත්‍රස්තවාදයේදී මෙලෙස පරිගණක දත්තවලට ප්‍රවේශවී ඒවා විනාශ කිරීම සිදු කෙරෙනවා යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර තිබෙනවා.

මේ අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය මඟින් නිවේදනයක් ද නිකුත් කර තිබුණා.

******************************************

ගුරුවරු උත්තර පත්‍ර ඇගයීම් ගාස්තු ඉල්ලයි

(30.09.2021 – 07:13 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසරේ පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇතත් මේ දක්වා එම උත්තරපත්‍ර ඇගයීම් ගාස්තු ගෙවා අවසන් කර නො මැති බවට ලංකා ගුරු සංගමය චෝදනා කරනවා.

කොරෝනා වසංගත අවදානම නො තකා පසුගිය වසරේ අප්‍රේල් මස 26 වන දින සිට උත්තර පත්‍ර ඇගයීම් සඳහා සහභාගි වූ ගුරුවරුන්ට ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් පවා නො මැති පසුබිමක් තුළ ගුරුවරුන් එම ඇගයීම් සිදුකළ බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් සඳහන් කළේ ෴

******************************************

පෞද්ගලික බැංකුවලින් ඩොලර් නොලැබෙන බවට ආනයනකරුවන්ගෙන් පැමිණිලි

(30.09.2021 – 07:36 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ සිර වී ඇති අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු බහාලුම් මුදා හැරීමට අවශ්‍ය ඩොලර් රාජ්‍ය බැංකු දෙකක් (2) වෙත මුදා හැර තිබුණ ද පෞද්ගලික බැංකුවලින් තමන්ට අවශ්‍ය ඩොලර් නො ලැබෙන බවට ආනයනකරුවන් චෝදනා කරනවා.

වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සමඟ ඊයේ (29) පැවති සාකච්ඡාවකදි යි ඔවුන් මේ බව කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් වන ගැටලුව වරාය අමාත්‍යවරයා එම අවස්ථාවේදී ම මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් වෙත යොමු කළේ දුරකතන ඇමතුමක් ලබාදෙමින්.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (29) පස්වරුවේ මහබැංකු අධිපතිවරයාට උපදෙස් දුන්නේ ආනයන සීමා අවම කරමින් ආනයනකරුවන්ට, ව්‍යාපාරිකයින්ට සහ ජනතාවට සහන ලබාදෙන ලෙසයි.

එමෙන්ම ඩොලර් හිඟය හේතුවෙන් වරායේ සිර වී තිබෙන කිරිපිටි ටොන් 360 ක ප්‍රමාණයක් ලබන සඳුදා (04) වනවිට නිදහස් කරගැනීමට හැකිවේ යැයි විශ්වාස කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.

මේ අතර සහල් සඳහා පාලන මිලක් නියම කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදන අවලංගු කරමින් නව ගැසට් නිවේදනයක් ඊයේ (29) නිකුත් කර තිබෙනවා ෴

******************************************

සුදු ලූනු පමණක් නොව උඳු, සීනි, පිටි ආදියෙනුත් සතොස ආයාතනයේ වංචාවන් සිදු වෙනවා – පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන

(30.09.2021 – 05:00 +0530 – lankaleadnews.com)

‘ටෘත් විත් චමුදිත’ නම් අන්තර්ජාල රූපවාහිනී නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා පවසා සිටින්නේ තමන්ට මරණිය තර්ජන නිතරම එල්ල වෙමින් තිබෙන බවයි.

ඒ හේතුව නිසාම තම බිරිඳ හා දරුවා රටින් පිටව ගිය බවද ඔහු පවසා සිටී.

මාධ්‍යයවේදී චමුදිත මහතාගේ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු වැඩිදුරටත් පවසා සිටියේ සතොස ආයතනයේ දූෂණ වංචා සියල්ල තමන් හෙළි කරන බවත් එම වංචා දූෂණ හේතුවෙන් ඇතැම් විට ජනාධිපතිතුමන් විසින් සතොස ආයතනය වසා දමනු ඇති බවයි.

එහිදී ඔහු පවසා සිටින්නේ සුදු ලූනු පමණක් නොව උඳු, සීනි, පිටි වැනි භාන්ඩ මිලදි ගැනීමේදී හා විකිණීමේදී පවා වංචාවන් සිදුවන බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් :

******************************************

රට ජාතිය ගැන කියනවට විරුද්ධ උන් නැවිල බලපල්ල තොපි පිරිමිද කියල – පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමි චමුදිත සමරවික්‍රම සමග (26.09.2021)

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

වැඩිහිටියන්ට තුන්වන (3) මාත්‍රාවක් දීමට අනුමැතිය

(29.09.2021 – 19:51 +0530 – hirunews.lk/sinhala)

කාණ්ඩ හතරක් (4) යටතේ කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතේ තුන්වන (3) මාත්‍රාවක් ලෙස ෆයිසර් එන්නත ලබාදීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

කොළඹ අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට, ලෙඩ රෝග, ආබාධවලින් පෙළෙන වයස අවුරුදු 60 ත් 30 ත් අතර අයට සහ පිළිකා, වකුගඩු රෝගවලින් පෙළෙන සියලුදෙනාට මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇතුලු ප්‍රමුඛපෙළ සේවකයන්ට තුන්වන (3) මාත්‍රාවක් ලබාදෙන බවයි.

මේ අතර, අනුරාධපුර ශික්ෂණ රෝහල යටතේ පාලනය වන අනුරාධපුර මෙත්සිරි සෙවණ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඔක්සිජන් හිඟවීම හේතුවෙන් අර්බුදකාරී තත්වයක් හට ගැනුණා.

ගෙවීම් ප්‍රමාදයක් හේතුවෙන් ඔක්සිජන් සපයන සමාගම රෝහල් බලධාරීන්ට අද (29) අලුයම දැනුම්දී ඇත්තේ අද (29) සිට ඔක්සිජන් සැපයුම අත්හිටුවන බවයි.

එම අවස්ථාව වනවිටත් ඔක්සිජන් මත යැපෙන රෝගීන් 23 දෙනෙකු රෝහලේ සිට ඇති අතර, පස්වරු දෙකෙන් (2) පසුව ඔවුන්ට අවශ්‍ය ඔක්සිජන් අවසන්වීමේ අවදානම්කාරී තත්වයක් උද්ගතව තිබූ බව මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය භාර වෛද්‍ය නිලධාරී වෛද්‍ය චින්තක රත්නසූරිය මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, පස්වරු දෙකට විනාඩි කිහිපයක් තිබියදී අදාළ සමාගම ඔක්සිජන් ටැංකි 100 ක් රැගෙනවිත් තිබුණා.

කෙසේ වෙතත් රෝහලේ දෛනික ඔක්සිජන් අවශ්‍යතාව ටැංකි 300 ක් පමණ වන බවයි අනුරාධපුර රෝහලේ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ දුලාන් සමරවීර මහතා කියා සිටියේ.

මේ අතර සිසුන් 200 ට අඩු දකුණු පළාතේ පාසල් එළඹෙන ඔක්තෝම්බර් මස 15 වන දා සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් රංජිත් යාපා මහතා ප්‍රකාශ කළා.

මේ අතර අද (29) දිනයේ මේ දක්වා කාලය තුළ කොරෝනා ආසාදිතයන් 685 දෙනෙකු අලුතින් වාර්තාවී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ ගියේ 5,16,209 ක් ලෙසයි.

ඊයේ (28) දිනයට අදාළව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (29) දිනයේ මරණ 61 ක් තහවුරු කළා.

ඒ සමස්ත මරණ සංඛ්‍යාව දැක්වුණේ 12,847 ක් ලෙසයි.

මේ දක්වා මිය ගිය පුද්ගලයින්ගෙන් 150 දෙනෙකු වයස අවුරුදු 30 ට අඩු තරුණ තරුණයින් බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ප්‍රකාශ කළා.

ඉන් 96 දෙනෙකු අවුරුදු 20 ත්, 30ත් අතර වයස්වල පසුවන්නන් වන අතර මේ නිසා එම කාණ්ඩයට අයත් සියළු දෙනා කොවිඩ් මර්දන එන්නත් ලබා ගැනීම වැදගත් බවයි කොළඹ අද (29) පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ.

තවත් කොරෝනා ආසාදිතයින් 256 ක් මෙරටින් හමු වීමත් සමඟ අද (29) දිනයේ හමු වූ මුළු කොරෝනා ආසාදිතයින් ගණන 941 ක් දක්වා ඉහළ යනු ලබනවා. ඒ අනුව මෙරට මුළු ආසාදිතයින් ගණන 5,16,465 ක් වනවා ෴

අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන්ට ප්‍රමුඛතාව ලබා දෙමින්, ඔක්තෝබර් 01 සිට යළි රාජ්‍ය සේවය සක්‍රීය කරන බව, රාජ්‍ය සේවා අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. ඊට අදාළ චක්‍රලේඛය හෙට (30) නිකුත් වන බව ද සඳහන් ෴

ඔක්තෝබර් 01 වනදා යලි රට විවෘත කළත්, සති දෙකක් (2) යනතුරු දුම්රිය ධාවනය සිදු නොවන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා ෴

+++++++++++++++++++

ක්‍රිකට්වලට එන්නත අනිවාර්ය වෙයි – එන්නත නැත්නම් ක්‍රිකට් බලන්න බෑ

(29.09.2021 – 22:59 +0530 – hirunews.lk/sinhala)

ලබන දෙසැම්බර් මස 04 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ලංකා ප්‍රීමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදිරයේ තරග ප්‍රේක්ෂකයින්ට ක්‍රීඩාංගණයේ සිට නැරඹීම සඳහා අවස්ථාව ලබාදීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමු වී තිබෙනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය ඒකකයේ ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කළේ කොවිඩ් එන්නත් දෙකම ලබාගත් ප්‍රේක්ෂකයින් සඳහා පමණක් මෙම අවස්ථාව ලබාදීමට කටයුතු කරන බවයි.

මේ අතර ශ්‍රී ලංකා එක්දින සහ පන්දුවාර 20 නායක දසුන් ශානක සිය නිල Twitter ගිණුමෙහි සටහනක් තබමින් කොවිඩ් එන්නත ලබාගන්නා ලෙස තරුණ ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලීමක් ද සිදුකර තිබුණා.

+++++++++++++++++

කල් ඉකුත් වන රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්

(30.09.2021 – 06:28 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ අප්‍රේල් මස 01 වැනි දායින් ආරම්භ වී සැප්තැම්බර් 30 වැනි දායින් කල් ඉකුත්වීමට නියමිත ව තිබූ සෑම රියදුරු බලපත්‍රයක ම වලංගු කාලසීමාව කල් ඉකුත්වීමේ දිනයේ සිට වසරකින් (1) දීර්ඝ කර තිබෙනවා.

ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේ, මේ වසරේ ඔක්තෝම්බර් 01 වන දායින් ආරම්භ වී ලබන වසරේ මාර්තු 31 වන දායින් කල් ඉකුත්වීමට නියමිත සෑම රියදුරු බලපත්‍රයක ම වලංගු කාලය කල් ඉකුත්වීමේ දිනයේ සිට මාස හයකින් (6) දීර්ඝ කර ඇති බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *