කොරෝනා වසංගතයේ දරුණුම අවධිය අවසන් වී ඇති බවට හෙළිදරව්වක්

කොරෝනා වසංගතයේ දරුණුම අවධිය අවසන් වී ඇති බවට හෙළිදරව්වක්

*********************************************

කොරෝනා වසංගතයේ දරුණුම අවධිය අවසන් වී ඇති බවට හෙළිදරව්වක්

(29.09.2021 – 12:55 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතයේ දරුණුම අවධිය අවසන් වී ඇතැයි අනුමාන කළ හැකි බව එක්සත් ජනපද පර්යේෂකයින් උපුටා දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජීව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සදහන් කර ඇත්තේ එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන වෙත උපදෙස් ලබාදෙන පර්යේෂකයන්ගේ එකතුවක් මගින් දක්වා ඇති දත්තවලට අනුව වසංගතයේ නරකම අදියර අවසන් වී ඇති බවට උපකල්පනය කළ හැකි බවයි.

ඉදිරි මාස 6 ඇතුළත වසංගතයේ ගමන් පථය ප්‍රක්ෂේපණය කිරීම සඳහා මෙම පර්යේෂකයන් විවිධ ගණිතමය ආකෘති 9 ක් ඒකාබද්ධ කරගෙන තිබෙනවා.

ඔවුන් සිය ප්‍රතිඵල සැප්තැම්බර් 22 වන දා අන්තර්ජාලයෙන් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරනු ලැබුවා.

මේ ඒ පිළිබදව අදහස් පළ කරන අදාළ අධ්‍යයනයට එක්වූ ඇමරිකාවේ Pennsylvania State University එකේ ජීව විද්‍යා මහාචාර්ය කැත්‍රිඕනා ෂියා (Katriona Shea, professor of biology and Alumni Professor in the Biological Sciences at Penn State) සදහන් කර ඇත්තේ එන්නත ලබා ගැනීමෙන් සෑම කෙනෙකුටම වසංගතය අවසන් කිරීමේ කාර්ය භාරයක් සිදුකළ හැකි බවයි.

“පෞද්ගලික මට්ටමින් ඔබ සැම එන්නත ලබා ගතහොත් ඔබට සහ ඔබේ දරුවාට ඇති අවදානම සැලකිය යුතු ලෙස අඩුවේ” යනුවෙන් සරලව ඇය, වසංගතය පාලනය කිරීමේ ජනතා වගකීම පෙන්වා දී ඇති බව, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සිය ට්විටර් පණිවුඩයේ දක්වා තිබෙනවා.

මෙරටින් මේ දක්වා සමස්ත කොරෝනා ආසාදිතයින් 5,15,524 ක් වාර්තා වී ඇති අතර, මරණ සංඛ්‍යාව ලෙස දැක්වෙන්නේ 12,786 ක්.

තවදුරටත් පුද්ගලයින් 46,651 ක් රෝහල්ගතව සහ නිවෙස්වල ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 4,56,087 ක්.

මේ අතර ශ්‍රී ලාංකිකයින් දිවයිනට පැමිණීමේ දී විදේශ අමාත්‍යාංශය හෝ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනුමැතිය අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

මෙරටට පැමිණෙන දෙස් විදෙස් ගුවන් මගීන් වෙනුවෙන් ඊයේ නිකුත් කළ නව මාර්ගෝපදේශවල අදාළ කරුණු ඇතුළත් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ.

එසේම පූර්ණ එන්නත්කරණයට ලක් වූ දෙස් විදෙස් සංචාරකයින් මෙරටට පැමිණීමේ දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවද පුළුල් ලෙස එම මාර්ගෝපදේශවල කරුණු දක්වා තිබෙනවා.

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නීතිය ලබන මස 01 වන දා අලුයම 4 දක්වා ක්‍රියාත්මක අතර, යළි නිරෝධායන ඇදිරි නීතිය දීර්ඝ වීමක් සිදු නොවනු ඇති බවට වාර්තාවනවා.

කෙසේ වෙතත් රට විවෘත කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ඇතුළත් මාර්ගෝපදේශන මාලාවක් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් රජයට භාරදී ඇති බව එම සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය ප්‍රකාශ කළා.

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති එකමුතුවෙනුත් වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගැන රතු එළියක්

(29.09.2021 – 12:11 +0530 – hirunews.lk/sinhala)

තම ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා නො දෙන්නේ නම් යළිත් වරක් වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සිදු වනු ඇති බව ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති එකමුතුව පවසනවා.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා වෙත ඒකාබද්ධ ලිපියක් යොමුකරමින් ග්‍රාම නිලධාරී සංගම් පවසන්නේ ග්‍රාමනිලධාරීවරුන් මුහුණ දී සිටින ගැටලුවලට විසඳුම් ලබාගැනීම සඳහා සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලා ඇති නමුත් අමාත්‍යාංශය ඊට නිසි ප්‍රතිචාරයක් දක්වා නො මැති බවයි.

ග්‍රාම නිලධාරී සේවය වෙන ම සේවාවක් ලෙස ස්ථාපිත කිරීම, වසර 17 කට ආසන්න කාලයක් පවතින වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ලබාගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසඳුම් ලබාදෙන ලෙසයි ඔවුන් සිය ලිපියෙන් පෙන්වා දී ඇත්තේ ෴

******************************************

චිනයේ සිට කාබනික පොහොර ආනයනය කිරීම සඳහා තිබූ සූදානම අත්හිටවේ

(29.09.2021 – 12:04 +0530 – hirunews.lk/sinhala)

චිනයේ සිට කාබනික පොහොර ආනයනය කිරීම සඳහා තිබූ සූදානම වහා ම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

චීනයෙන් කාබනික පොහොර ආනයනය කිරිම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය මීට පෙර තීරණයක් ගෙන තිබූ අතර, ඒ හා සම්බන්ධ ව පරීක්ෂණ සිදු කිරීම සඳහා සාම්පල් කීපයක් ද මෙරටට රැගෙනවිත් තිබුණා.

නමුත් එම සාම්පල් අලලා කෘෂිකර්ම විශේෂඥයින් සිදු කළ පරීක්ෂණවල දී හෙළිවූයේ එම කාබනික පොහොර සාම්පල තුළ මෙරට පසට සහ දේශගුණයට නො ගැලපෙන ක්ෂුද්‍ර ජීවීන් ඇති බවයි.

මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමේ දී කෘෂිකර්ම අමාත්‍යවරයා සහ අමාත්‍යාංශය අවස්ථාව ගණනාවක දී විවිධ නිදහසට කරුණු ගෙන හැර පෑ අතර එක් අවස්ථාවක දී කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේ අදාල සාම්පල පර්යේෂණාගාරයට ලැබෙන විට ඒවා විවෘත තත්වයේ තිබූ බවයි.

කෙසේ වෙතත් මෙලෙස මතු වූ මතභේදකාරී තත්ත්වයන් හේතුවෙන් අදාළ කාබනික පොහොර ගෙන ඒමේ සිද්ධිය බරපතල විවාදයකට තුඩු දුන්නා ෴

******************************************

ගෑස් සැපයීමේ ඒකාධිකාරය ගැන බලශක්ති ඇමති කථා කරයි

(29.09.2021 – 12:59 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ ගෑස් සැපයීමේ ඒකාධිකාරය වසර 5 කට ඇමරිකානු සමාගමකට හිමිවීම බලශක්ති සුරක්ෂිතතාව පිළිබද ගැටලුවක් බව විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා ප්‍රකාශ කළා.

කොළඹ අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනු යි ඔහු මේ බව කියා සිටියේ.

******************************************

පොහොර නොමැතිව ගොවීන් දුෂ්කරතාවක

(29.09.2021 – 13:07 +0530 – hirunews.lk/sinhala)

පොහොර නොමැතිකමින් අනුරාධපුරය – කහටගස්දිගිලිය ප්‍රදේශයේ බඩඉරිඟු ගොවීන්ට වගා කටයුතු අතහැර දැමීමට සිදුව තිබෙනවා.

බඩඉරිඟු වගාව සඳහා මූලික බිම් සැකසීම් සිදු කළ ද අවශ්‍ය පොහොර නොමැතිකම හේතුවෙන් තම වගා කටයුතු ආරම්භ කිරීමට නොහැකි වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ අතර පොහොර හා කෘෂිරසායනික නොමැතිවීම හේතුවෙන් ගලෙන්බිඳුණුවැව – එල්ලුම්ගස්යාය, හුරුළුගම, කිවුලේකඩ ඇතුලු අවට ගම්මානවල ගොවි පවුල් දහසකට (1000) වැඩි ප්‍රමාණයක් ද පීඩාවට පත්ව සිටිනවා.

ඔවුන් සඳහන් කළේ රසායනික පොහොර තහනම් කර කාබනික පොහොරවලින් වගාවන් සිදුකරන ලෙස රජය දැනුම් දුන්න ද එය, නිසි ක්‍රමවේදයකට සිදු නොවන බවයි.

තමන් කාබනික වගාවට අකමැත්තක් නොදක්වන නමුත් ඊට හුරුවන තුරු රසායනික පොහොර යම් ප්‍රමාණයක් ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා ෴

******************************************

කොරෝනා හමුවේ මත්තල ගුවන්තොටුපොළෙහි ඉතිහාසගත ගුවන් මගී මෙහෙයුම් ප්‍රමාණයක්

(29.09.2021 – 13:13 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වුව ද මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ මේ වනවිට ඉතිහාසගත ගුවන් මගී මෙහෙයුම් ප්‍රමාණයක් සිදුකර ඇතැයි ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා ප්‍රකාශ කළා.

ඊට සමගාමීව ගුවන් භාණ්ඩ ප්‍රවාහනයේද වර්ධනයක් පෙන්නුම් කෙරෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට පැමිණි අවස්ථාවේ රාජ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

මත්තල ගුවන් තොටුපල සක්‍රිය ජාත්‍යන්තර ගුවන් තොටුපලක් බවට මේ වනවිට පත්ව ඇති බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ කොවිඩ් ආරක්ෂිත ගුවන් තොටුපලක් ලෙසද එය ජාත්‍යන්තරව ශ්‍රේණි ගතවී ඇති බවයි ෴

******************************************

ජනමාධ්‍යවේදින් ගෙන් CIDය ප්‍රශ්න කිරීම ගැන ඇමති සරත් වීරසේකරගෙන් ප්‍රකාශයක්

(29.09.2021 – 13:54 +0530 – hirunews.lk/sinhala)

පුවත්පත් කතුවරුන් ඇතුළු මාධ්‍යවේදින්ගෙන් ප්‍රශ්න නො කරන ලෙස දැනුම් දීමක් කර තිබිය දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඊට අදාළ ව ක්‍රියා නො කිරීම සම්බන්ධ ව වහා විමර්ශනයක් ආරම්භ කරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.

මේ අතර, සුදුලූනු සිද්ධිය සම්බන්ධ ව පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මඟින් සිදුකරන පරීක්ෂණ, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙත පවරා පුළුල් පරීක්ෂණයක් සිදු කරන මෙන් ද අමාත්‍යවරයා පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බව සඳහන් ෴

******************************************

නව මිල ගණන් යටතේ සහල් තොග වෙළඳපොළට

(29.09.2021 – 14:16 +0530 – hirunews.lk/sinhala)

පාලන මිල ඉවත්කිරීමෙන් පසු මහා පරිමාණ මෝල් හිමියන් ප්‍රකාශයට පත් කළ නව මිල ගණන් යටතේ සහල් තොග වෙළඳපොළට නිකුත් කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

මේ අතර ඩොලර් හිඟය හේතුවෙන් කොළඹ වරායේ සිර වී තිබූ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් බහාලුම් 400 කට ආසන්න සංඛ්‍යාවක් නිදහස් කර තිබෙනවා.

ඒ, රජය ඊට විසින් අදාළ ගෙවීම් සිදුකිරීම සඳහා ඩොලර් ලබාදීමට පියවර ගැනීමත් සමඟයි.

******************************************

දේවස්ථානවලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙන බවට පැතිර යන පුවත අසත්‍යයක් – ආරක්ෂක අමාත්‍යාංශය

(29.09.2021 – 14:29 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ දේවස්ථානවලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත අදාළ බලධාරීන් විසින් විශ්ලේෂණය හෝ තහවුරු නොකරන ලද තොරතුරක් පමණක් බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

මෙම නිවේදනය හරහා ඔහු අවධාරණය කරන්නේ අදාළ කාරණය සම්බන්ධයෙන් කලබල වීමට කිසිදු හේතුවක් නොමැති බවයි.

කෙසේ වෙතත් නාවික හමුදා නිලධාරීන් කිහිප පළක් ඊයේ (28) දහවල් බෝපිටිය කතෝලික දේවස්ථානයට පැමිණ සිදුවිය හැකි බවට හැඟවෙන ‍ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් එම අවස්ථාවේ දේවස්තානයේ සේවය කළ සේවිකාවකට පවසා ගොස් තිබුණා.

අදාළ නාවික හමුදා නිලධාරීන් දේවස්ථානයට පැමිණෙන අවස්ථාවේ දී එම දේවස්ථානයේ භාරකාර පියනම දෙවස්ථානයෙන් බැහැරව ගොස් තිබූ අතර ඔහු පසුව කළ සොයා බැලීමකදී හෙළි වූයේ එම අනතුරු ඇඟවීම අවට පිහිටි පල්ලි වලට හෝ බොරැල්ලෙ අගරදගුරු මැදුරට සිදුකර නොමැති බවයි.

කෙසේ වෙතත් එම දැනුම් දීමෙන් පැය ගණනාවකට පසු නවත බෝපිටිය කතෝලික දේවස්ථානය වෙත පැමිණි තවත් නාවික හමුදා නිලධාරියෙක් අදාල අනතුරු ඇඟවීමේ සිදුවීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කර තිබුණා ෴

******************************************

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම පිළිබඳ පක්ෂ විපක්ෂ අදහස්

(29.09.2021 – 14:22 +0530 – hirunews.lk/sinhala)

සහල් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් කිහිප දෙන්ක් ම අදහස් පළ කළා :

******************************************

වල් වැදී ගිය ගොනාගොල්ල – උඩපළාත සමුපකාරය

(29.09.2021 – 14:38 +0530 – hirunews.lk/sinhala)

සමුපකාරය මෙරට අඩු ආදායම්ලාභී ජනතාවට ප්‍රතිලාභ සැපයීමේ අරමුණු ඇතිව ස්ථාපිත කරන ලද්දක්.

නමුත් බලධාරීන්ගේ අවිධිමත් කළමණාකරණය හේතුවෙන් එහි අරමුණු මේ වනවිට කොතෙක් ඉටුකරගත හැකි වී තිබේ ද යන්න ප්‍රශ්නයක්.

******************************************

සහරාන්ගේ දුරකතනයට මොකද වුණේ – දයාසිරිට ප්‍රශ්නයක්

(29.09.2021 – 14:45 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වූ සහරාන් හෂීම් භාවිත කළ ජංගම දුරකතනයේ කොටස් කිහිපයක් විදේශීය රටකට රැගෙන යාම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කුරුණෑගල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යට අදහස් පළ කරමින්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *