සතොසේ සුදුලූනු වංචාවට අත්අඩංගුවට ගත් තවත් දෙදෙනෙක් (2) රිමාන්ඩ්

සතොසේ සුදුලූනු වංචාවට අත්අඩංගුවට ගත් තවත් දෙදෙනෙක් (2) රිමාන්ඩ්

*********************************************

සතොසේ සුදුලූනු වංචාවට අත්අඩංගුවට ගත් තවත් දෙදෙනෙක් (2) රිමාන්ඩ්

(28.09.2021 – 07:59 +0530 – hirunews.lk/sinhala)

සතොස ආයතනයේ සුදුලූනු වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් දෙදෙනෙකු (2) රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟිනුයි මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ.

පසු ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව අද (28) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මොවුන් දෙදෙනා (2) සුදුලූනු මිල දී ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයාගේ ගෝලයන් බවට ද අනාවරණ වී ඇති බවයි වාර්තා වෙන්නේ.

මොවුන් මීට පෙර ද විවිධ ජාවාරම් සම්බන්ධයෙන් මැදිහත් වී ඇති අතර, ඊට අදාළ ව ද තොරතුරු අනාවරණ වී ඇති බවට යි පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය අධිකරණයට දැනුම් දී ඇත්තේ.

මේ වෙනවිට සිද්ධිය සම්බන්ධයෙන් ලංකා සතොස ආයතනයේ මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුසිරි පෙරේරා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, සුදුලූනු මිල දී ගත් ආයතනයේ හිමිකරු ද දැනට පොලිස් භාරයේ පසුවෙනවා.

සුදුලූනු කිලෝ 56,000 ක් අන්තර්ගත බහලුම් දෙකක් (2) අවසරයකින් තොර ව තෙවන (3) පාර්ශවයක් වෙත අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලංකා සතොස ආයතනයේ සිව් දෙනෙකු (4) ද පසුගිය දා අත්අඩංගුවට ගැනුණු අතර, ඔවුන්ගේ වැඩ තහනම් කෙරුණේ පසුගිය 13 වැනි දා යි ෴

******************************************

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනයට අවසර

(28.09.2021 – 08:07 +0530 – hirunews.lk/sinhala)

සහල් සඳහා පනවා තිබූ පාලන මිල ඇතුළත් ගැසට් නිවේදනය වහා ම අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ (27) තීරණය කළා.

මේ අතර වෙළඳපොළේ සහල් මිල ඉහළ යෑම වැළැක්වීම සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් වහා ම ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි ව තිබෙනවා.

සුදු කැකුළු සහ රතු කැකුළු කිලෝවක් රුපියල් 95 කට ද නාඩු කිලෝවක් රුපියල් 98 ක් ද සම්බා කිලෝවක් රුපියල් 103 කට ද කීරි සම්බා කිලෝවක් රුපියල් 125 කට ද උපරිම සිල්ලර මිලක් නියම කරමින් රජය පසුගිය දා ගැසට් නිවේදනයක් නිකුත් කළා.

ඊයේ (27) පස්වරුවේ අමාත්‍ය මණ්ඩල රැස්වීම පවත්වනු ලැබුවේ, සූම් තාක්ෂණය ඔස්සේ යි.

මේ අතර කිරිපිටි කිලෝවක් රුපියල් 200 කින් ද ගෑස් සිලින්ඩරයක් රුපියල් 550 කින් ද සිමෙන්ති කොට්ටයක් රුපියල් 50 කින් සහ තිරිඟු පිටි කිලෝවක් රුපියල් 10 කින් වැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය යෝජනා කර තිබූ නමුත් ඊයේ (27) රැස් වූ කැබිනට් මණ්ඩලයේ දී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නැහැ.

එමෙන්ම, ඊයේ (27) පැවති අමාත්‍ය මණ්ඩල හමුවේ දී ලබන වසර සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය විසර්ජන පනත් කෙටුම්පතට ද අනුමැතිය හිමි ව තිබෙනවා.

මේ අතර ඩොලර් හිඟය හේතුවෙන් කොළඹ වරායේ සිර වී තිබෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු බහලුම් නිදහස් කරගැනීමට අවශ්‍ය ඩොලර් සපයන්නැ යි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී ඇති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඒ අනුව මෙම ඩොලර් ප්‍රමාණය අද (28) දින නිකුත් කිරීමට කටයුතු කරන බව මහ බැංකු අධිපතිවරයා විසින් මුදල් අමාත්‍යවරයාට දැනුම් දී ඇති බවයි ඔහු කියා සිටියේ.

ඩොලර් හිඟය හේතුවෙන් කොළඹ වරායේ සිර වී තිබෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු බහලුම් 800 කට අධික ප්‍රමාණය නිදහස් කරගැනීම සඳහා ඩොලර් එක්කෝටි පනස් ලක්ෂයකට (1,50,00,000) අධික මුදලක් අවශ්‍ය බව ආහාර ආනයනකරුවන්ගේ සංගමය මීට පෙර ප්‍රකාශ කළා ෴

******************************************

ඓතිහාසික මරගල රක්ෂිතයට හානිකරමින් මාර්ගයක් ඉදිකෙරෙන බවට චෝදනා

(28.09.2021 – 08:10 +0530 – hirunews.lk/sinhala)

ඓතිහාසික මොණරාගල – මරගල රක්ෂිතයට හානි සිදු කරමින් මාර්ගයක් ඉදිකරන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

ගැසට් පත්‍රයක් මඟින් මරගල කඳුවැටිය පාරිසරික ආරක්ෂක ප්‍රදේශයක් ලෙස බලාත්මක කර ඇති අතර,

ඒ ආශ්‍රිත ව යම් කටයුත්තක් සිදු කරන්නේ නම් ඒ සඳහා මරගල සංරක්ෂණ කමිටුවේ අවසරය ද ලබා ගත යුතුව ඇති බවට යි එහි දක්වා ඇත්තේ.

කෙසේ වෙතත්, මරගල සංරක්ෂණ කමිටුව පවා දැනුවත් කිරීමකින් තොර ව විශාල පාරිසරික හානියක් සිදු කරමින් අදාළ මාර්ගය ඉදිකරමින් පවතින බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා ෴

******************************************

නීති විරෝධී රත්‍රං තොගයක් රේගුවේ දී අල්ලයි

(28.09.2021 – 08:18 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 220 කට ආසන්න වටිනාකමකින් යුත් රත්‍රං කිලෝ 16 ක් රේගුවට ප්‍රකාශ නො කර නීති විරෝධී ලෙස ආනයනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (2) ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන බව රේගු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි සිට මෝටර් රථ අමතර කොටස් සහ කෝපි සාදන යන්ත්‍රවල කොටස් ලෙස සදහන් කර අදාළ රත්‍රං තොගය මෙරටට ආනයනය කරන ලද පාර්සල් කිහිපයක සූක්ෂ්ම ලෙස සඟවා තිබියදි යි ඊයේ (27) රේගු භාරයට ගැනුණේ.

මෙහි විශේෂත්වය වන්නේ අදාළ භාණ්ඩවල අභ්‍යන්තරයේ අඩංගු තාක්ෂණික කොටස් රත්‍රංවලින් නිමවා එහි සවි කොට රේගුව නොමඟ යැවීමට උත්සාහ කර තිබීම යි.

ව්‍යාජ ව්‍යාපාර නාම භාවිත කරමින් ගුවන් බඩු අංශයේ කුරියර් ආයතන හරහා සිදු කරන ලද මෙම මහා පරිමාණ රත්‍රං ජාවාරම පිළිබඳ ව වැඩිදුර විමර්ශන අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (2) රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ රදවා තබා ගනිමින් සිදු කරන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා කියා සිටියේ ෴

******************************************

රජයේ ඉඩම් කොල්ලයක් නැවැත්වීමට නිවාස සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක වෙයි

(28.09.2021 – 08:31 +0530 – hirunews.lk/sinhala)

දේශපාලන හිතවත්කම් මත පෞද්ගලික සමාගමකට කුණු කොල්ලයට සංවර්ධනය කිරීම සඳහා පවරා දී තිබූ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා කොළඹ 10 ඩාර්ලි පාරේ පිහිටි ඉඩමක් යළි නිවාස සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන තිබෙනවා.

අදාළ පෞද්ගලික සමාගම විසින් ගිවිසුම්ගත කරුණු උල්ලංඝණය කරමින් කටයුතු කර තිබීම හේතුවෙන් නීතිපතිවරයාගෙන් ලද උපදෙස් අනුවයි අදාළ පවරා ගැනීම සිදු කර ඇත්තේ.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් කොළඹ 10 ඩාර්ලි පාරේ පිහිටි පර්චස් 214 ක මෙම භුමියේ සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරිම සඳහා ‘එල්.ඇන්ඩ්.ටී. යටිතල පහසුකම් සංවර්ධන පෞද්ගලික සමාගම’ට පවරා තිබෙන්නේ කැබිනට් අනුමැතියක් ද සහිතව යි.

කෙසේ වෙතත්, අදාළ පෞද්ගලික සමාගම වසර 5 ක් තුළ කිසිදු සංවර්ධන කටයුත්තක් එම භූමියේ සිදු කර නැහැ.

මේ අතරතුර, ‘එල් ඇන්ඩ් ටී යටිතල පහසුකම් සංවර්ධන පෞද්ගලික සමාගම’ විසින් අදාළ ඉඩමේ වෙනත් ව්‍යාපෘති සිදු කරගෙන යාමට කුප්‍රකට ලෙස ‘ලංකා රියල්ටි ඉන්වෙස්ට්මන්ට්’ නම් පෞද්ගලික සමාගමකට නිතිවිරෝධී ලෙස පවරා තිබෙනවා.

සංවර්ධනය කිරීමට නො හැකි නම් ඉඩම නැවත රජයට භාර දීම සිදු කළ යුතු ව තිබුණත් ඒ පිළිබඳ සාකච්ඡාව වැලි අතරේ සඟවමින් අනියම් ලාභ ලැබීමට මෙමඟින් අවස්ථාව හිමිකර දී තිබුණේ, ඇතැම් දේශපාලනඥයින්ගේ ආශිර්වාදය ද සහිතව යි.

මේ අතර, මෙම අගනා භූමිය පිලිබඳ සාකච්ඡාව යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව 2016 වසරේ දී නැවත කරලියට පැමිණෙනවා.

එහිදී 2006 දී තක්සේරු කළ වටිනාකමටම, තවත් වසර 5 ක් සඳහා නැවතත් නීතිවිරෝධී ආකාරයට ලබාගත් සමාගමටම මෙම භූමිය සංවර්ධනය සඳහා යළි පැවරෙන්නේ නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පවා මවිතයට පත් කරමින්.

ඒ සඳහා ද කිසිදු කැබිනට් අනුමැතියක් ලබාගෙන නැහැ.

වසරින් වසර නිකරුනේ ගතවී ගියත් කිසිදු වටිනාකමක් එක් කිරීමට නො හැකි වූ මෙම ඉඩම නැවත රජයට පවරා ගැනීම සම්බන්ධයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අවධානය යොමු වන්නේ ඉන් අනතුරුවයි.

ඒ අනුව නිවාස අධිකාරිය විසින් මේ සම්බන්ධයෙන් ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ ව නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ඉල්ලා තිබුණා.

ඉඩම පිළිබඳ ඇති සියලු‍ ගිවිසුම් පරීක්ෂා කළ නීතිපති දෙපාර්තමේන්තුව නිවාස අධිකාරියට උපදෙස් ලබා දී ඇත්තේ, අදාළ ගිවිසුම් අවලංගු කර ඉඩම නැවතත් අධිකාරියට පවරා ගන්නා ලෙසට යි.

ඒ අනුව නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් අදාළ ඉඩම පවරා ගැනීමට කටයුතු කළා.

කෙසේ වෙතත්, මෙම අත්පත් කරගැනීමට ඒ වනවිට එම භූමියේ රැඳී සිටින ‘ලංකා රියල්ටි ඉන්වෙස්ට්මන්ට් පෞද්ගලික සමාගම’ චෝදනා කර තිබුණේ කිසිදු පෙර දැනුම් දීමක් සිදු නො කොට කළ මේ අත්පත් කරගැනීම නීතිවිරෝධී බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් නිවාස සංවර්ධන අධිකාරිය පැවසූවේ මෙම අත්පත් කරගැනීම පිළිබඳව අධිකාරිය නීතිමය වශයෙන් ගිවිසුම්ගත මුල් සමාගම වූ ‘එල් ඇන්ඩ් ටී යටිතල පහසුකම් සංවර්ධන පෞද්ගලික සමාගම’ දැනුවත් කර ඇති බවයි.

ඉඩම දැනට භුක්ති විඳින ‘ලංකා රියල්ටි ඉන්වෙස්ට්මන්ට් පෞද්ගලික සමාගම’ සමඟ නිවාස අධිකාරියට කිසිදු ගනුදෙනුවක් නො මැති බව නිවාස සංවර්ධන අධිකාරිය දැනුම් දී තිබෙනවා.

මෙම ඉඩම සහ දේශපාලනඥයෙකුගේ පුත්‍රයෙකු අතර ඇති සමීප සම්බන්ධතාවක් පිළිබඳව ද ආන්දෝලනාත්මක පුවත් එකල පැතිර ගියා.

එම පුත්‍රයා සිය දේශපාලන සබඳකම් යොදාගෙන මෙම ඉඩම ඇපයට තබා බැංකු දෙකකින් (2) විශාල ණය මුදල් ලබාගෙන ඇති බවත් අනාවරණය වූ අතර මේ සම්බන්ධ නඩුවක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ මේ වනවිටත් විභාග වෙමින් පවතිනවා.

කොළඹ මධ්‍යයේ පිහිටි අධික වටිනාකමකින් යුතු මෙවැනි භූමි කොටස් කිසිදු සංවර්ධන කටයුත්තක් වෙනුවෙන් භාවිතා නො කර විනාශ වීමට හැරීම කෙතරම් අපරාධයක් ද?

මෙවැනි වටිනාකමින් ඉහළ රජයේ ඉඩම්, සංවර්ධනය කිරීමේ මූවාවෙන් දේශපාලන හිතවත්කම් මත සිය මිතුරු ව්‍යාපාරිකයින්ට පවරා දීමේ කූඨ ව්‍යාපාරවලට තිත තැබීම බලධාරීන් සතු මඟහැරිය නො හැකි වගකීමක් ෴

******************************************

අලි මිනිස් ගැටුම් හේතුවෙන් ලොව වැඩි ම අලින් මියයන රට බවට ලංකාව පත්වෙයි

(28.09.2021 – 09:12 +0530 – hirunews.lk/sinhala)

අලි මිනිස් ගැටුම් හේතුවෙන් ලොව වැඩි ම අලින් මියයන රට ලෙස ශ්‍රී ලංකාව වාර්තා වන බව ‘ශ්‍රී ලංකා ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ’ සුපුන් ළහිරු ප්‍රකාශ් මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් පවසන්නේ, අලි මිනිස් ගැටුම් හේතුවෙන් ලොව දෙවැනියට (2) වැඩි ම මිනිස් ජීවිත ප්‍රමාණයක් විනාශ වන්නේ ද මෙරට තුළ බවයි.

මේ වන විට මෙරට සමාජයට බරපතළ ගැටලුවක් ඇති කර ඇති අලි මිනිස් ගැටුම් හේතුවෙන් දිනකට දල වශයෙන් එක් (1) අලියෙකු බැගින් මියයන බව ඔවුන් විසින් සිදු කළ සමීක්ෂණයක දී හෙළි වී තිබෙනවා.

එමෙන්ම මෙම ගැටුම් හේතුවෙන් අවම තරමින් සතියකට මිනිස් ජීවිත ද දෙකක් (2) පමණ අහිමි වන බවයි ඔහු පවසන්නේ.

නිසි විද්‍යාත්මක ක්‍රමවේදයකින් තොර ව මෙම ගැටුම් නිරාකරණය කිරීමට දරණ උත්සාහයන් මේ තත්ත්වය තවත් බරපතළ කර ඇති බවට යි ඔහු අවධාරණය කරන්නේ.

වනජීවි බලධාරීන් මෙම ගැටුම් නිරාකරණයට වහා ම විද්‍යාත්මක ක්‍රමවේදයන් හරහා පිළිතුරු සෙවිය යුතු කාලය එළඹ ඇති බව පවසන සුපුන් මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ, මෙම අවස්ථාව බලධාරීන් විසින් මඟ හරින්නේ නම් ඉදිරියේ දී ඇතිවන අනිසි ඵල විපාකවලට ඔවුන් හට වගකීමට සිදු වන බවයි.

නිසි සොයා බැලීමකින් තොර ව හොරෝව්පතාන ප්‍රදේශයේ පිහිටුවා ඇති වන අලින් රඳවා තැබීමේ මධ්‍යස්ථානය ද විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව ක්‍රියාත්මක නො වන්නක් බවයි ඔහු අවධාරණය කරන්නේ.

ගැටුම්කාරී වන අලින් කුඩා බිම් කොටසකට කොටුකර ඒ වටා විදුලි වැටක් එලීම හරහා මෙම ගැටලුව නිරාකරණය කරගත නො හැකි බව පවසන ඔහු කියා සිටින්නේ වන අලින්ගේ එදිනෙදා දිවිපෙවෙතට බාධා එල්ල වෙන ක්‍රියාකාරකම් වහා අඩුකළ යුතු බවයි.

එමෙන්ම සංවර්ධනයේ නාමයෙන් වන අලින් ගැවසෙන වනාන්තර කොටස් දිනෙන් දින හීන වීමත් මෙම ගැටලුව තවත් බරපතළ කිරීමට හේතුවක් වී ඇති බව ඔහු පෙන්වා දෙනවා ෴

******************************************

කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඉහළට

(28.09.2021 – 09:16 +0530 – hirunews.lk/sinhala)

කොළඹ කොටස් වෙළඳපොළ මිල දර්ශක ඊයේ (27) ඉහළ යෑමක් දක්නට ලැබුණා.

සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 3.69 කින් ඉහළ ගිය අතර, ‘එස්. ඇන්ඩ් පී. ශ්‍රී ලංකා ටුවෙන්ටි’ මිල දර්ශකය ඉහළ ගියේ ඒකක 2.04 කින්.

දිනයේ සමස්ත වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 6.7 ක්.

මේ වනවිට වෙළඳපොළ තුළ පවතින ධනාත්මක පසුබිම මෙලෙස කොටස් වෙළඳපොළ ඉහළ යෑමට හේතු වී ඇති බවයි පෙන්වා දෙන්නේ ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

දින 83 කට පසු මෙරට දෛනික ආසාදිතයින් දහසට (1000) අඩුවෙන් ඊයේ (27) වාර්තා වුණා.

(28.09.2021 – 07:47 +0530 – hirunews.lk/sinhala)

දින 83 කට පසු ආසාදිතයින් ගණන 1000 ට අඩු වෙයි. ඒ, ඊයේ ආසාදිතයින් 983 ක් හඳුනා ගැනීමත් සමඟයි.

ආසාදිතයින් දහසට (1000) අඩුවෙන් මීට පෙර අවසන් වරට වාර්තා වී තිබුණේ, පසුගිය ජුලි මස 06 වැනි දා යි. ඒ, ආසාදිතයින් 869 ක් ලෙසයි.

මේ අතර ඊයේ (27) වාර්තා වූ නව කොරෝනා ආසාදිතයින් 983 දෙනා සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 5,14,592 ක් දක්වා ඉහළ ගියා.

ඒ අනුව මෙරට සක්‍රිය ආසාදිතයන් සංඛ්‍යාව 46,517 ක් ලෙස දැක්වෙන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 4,55,344 ක්.

එමෙන්ම පෙරේදා සිදු වූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (27) තහවුරු කළ තවත් කොරෝනා මරණ 51 ක් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 12,731 ක් දක්වා ඉහළ ගියා.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන් ලබන පළමු වැනි දා (01) සිට සේවයට කැදවීම සම්බන්ධයෙන් ඊයේ (27) මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ප්‍රවාහන ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි යන මහත්ම-මහත්මීන් මෙන්ම එම අමාත්‍යාංශ ලේකම්වරු හා පොලිස්පතිවරයාගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවති බවයි වාර්තා වෙන්නේ.

ලබන පළමු වැනි දා (01) සිට රාජ්‍ය සේවකයින් පෙරවරු 9 ටත්, පෞද්ගලික අංශයේ සේවකයින් පෙරවරු 10 ටත් සේවයට කැඳවීමට යි මෙහි දී යෝජනා වී ඇත්තේ.

කෙසේ වෙතත් ඊට අදාළ තීරණ කඩිනමින් දැනුම් දීමට පියවර ගන්නා බවයි රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා කියා සිටියේ ෴

++++++++++++++++++

ළමා එන්නත්කරණ වැඩසටහන තවදුරටත් පුළුල් කෙරෙයි

(28.09.2021 – 08:38 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 12-19 අතර ළමයින් සඳහා වන එන්නත්කරණ වැඩසටහන ඔක්තෝබර පළමු වැනි දා (01) සිට තවදුරටත් පුළුල් කිරීමට යෝජනා වී තිබෙනවා.

ඒ අනුව ලෝක ළමා දින වැඩසටහනට සමගාවමී ව පළමු වැනි දා (01) සිට ළමා එන්නත්කරණ වැඩසටහන දිවයිනේ සෙසු දිස්ත්‍රික්වලටත් ව්‍යාප්ත කෙරෙන බව, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය දැනුම් දෙනවා.

එහි සාමාජික වෛද්‍ය සූරන්ත පෙරේරා මහතා යි මේ බව සඳහන් කළේ.

+++++++++++++++++

කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ඊයේ (27) පුද්ගලයින් 93,346 කට

(28.09.2021 – 09:36 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළ ව ඊයේ (27) පුද්ගලයින් 93,346 එන්නත් ලබා දී තිබෙනවා.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 32,525 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාව 26,220 කට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

එමෙන්ම ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව 1,553 දෙනෙකුටත්, දෙවන (2) මාත්‍රාව 31 දෙනෙකුටත් ලබා දී තිබෙනවා.

මොඩර්නා එන්නතේ පළමු (1) මාත්‍රාව 4,625 දෙනෙකුටත්, දෙවන (2) මාත්‍රාව 24 දෙනෙකුටත් ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු (1) මාත්‍රාව 2,981 දෙනෙකුට ලබා දී ඇති අතර, දෙවන (2) මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 23,679 ක්.

ස්පුට්නික්-වී එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 1,708 දෙනෙකුට ද ලබා දී තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *