කොරෝනා ආසාදනය වූ දරුවන් අතර අලුත් රෝගයක්

කොරෝනා ආසාදනය වූ දරුවන් අතර අලුත් රෝගයක්

*********************************************

කොරෝනා ආසාදනය වූ දරුවන් අතර අලුත් රෝගයක්

(27.09.2021 – 20:29 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වීමෙන් පසු දරුවන් අතර දක්නට ලැබෙන විවිධ අවයවවලට බලපෑම් ඇති කරන එම්.අයි.එස්.සී. රෝගයට ගොදුරු වූ දරුවන් මේ දිනවල බහුලව වාර්තාවන බව ළමා රෝග වෛද්‍යවරුන් පවසනවා.

මේ අතර එන්නත්කරණයේදී ළමයින් හඳුනාගැනීම පහසුවීම සඳහා අනන්‍යතා පත්‍රයක් හෝ අංකයක් නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබෙනවා.

මේ වනවිට දීර්ඝකාලීන රෝගාබාධවලින් පෙළෙන සහ විශේෂ අවශ්‍යතා සහිත වයස අවුරුදු 12 ට වැඩි දරුවන් එන්නත්කරණය මේ වනවිට ආරම්භ කර ඇති අතර, එහිදී දරුන් හඳුනාගැනීම සඳහා අනන්‍යතා පත්‍රයක් තිබීමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමුවූ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ.

ළමා රෝග විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත පෙන්වා දෙන්නේ කොරෝනා ආසාදනය වීමෙන් පසු දරුවන් අතර දක්නට ලැබෙන විවිධ අවයවවලට බලපෑම් ඇති කරන එම්.අයි.එස්.සී. රෝගයට ගොදුරු වූ දරුවන් මේ දිනවල බහුලව වාර්තාවන බවයි.

මේ අතර දරුවන් එන්නත්කරණය ආරම්භ කළ රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ දක්වා දරුවන් 400 කට වැඩි පිරිසක් එන්නත්කරණයට ලක් කර ඇති බව එම රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළා.

ඉන් කිසිවෙකුට සංකූලතා ඇතිවූ බවට මේ දක්වා වාර්තාවී නොමැති බවයි ඔහු කියා සිටියේ.

කෙසේ වෙතත් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදෙන දරුවන් ‘මයොකාඩයිටිස්’ නම් රෝග තත්වයට ගොදුරුවන බවට සමාජ මාධ්‍යයේ විවිධ වාර්තා පළවී තිබුණා.

කෙසේ වෙතත්, මේ දක්වා එම රෝගයෙන් කිසිදු දරුවෙකු මිය ගොස් නොමැති බව අනුරාධපුරය – විලච්චිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා කියා සිටියා.

මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (27) පැවති මාධ්‍ය හමුවකදී කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය මංජු වීරසිංහ මහතා කියා සිටියේ වානිජ අරමුණු සහිතව එන්නත්කරණය හේතුවෙන් ලිංගික බෙලහීනතාව සහ මදසරුභාවය ඇතිවන බවට ඇතමුන් සිදුකරන ප්‍රකාශවලට කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බවයි.

+++++++++++++++++

තවත් කොරෝනා ආසාදිතයින් 268 ක්

(27.09.2021 – 20:57 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 268 ක් මෙරටින් හමුවී තිබෙනවා.

ඒ අනුව මෙරටින් හමු වූ මුළු කොරෝනා ආසාදිතයින් ගණන 5,14,592 ක් වනවා ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

කිරිපිටි, ගෑස් ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගැන කතාකරන අමාත්‍ය මණ්ඩල හමුව ඇරඹේ – අදත් (27) කිරිපිටි පෝලිම්

(27.09.2021 – 20:03 +0530 – hirunews.lk/sinhala)

කිරිපිටි, තිරිඟුපිටි, ගෑස් සහ සිමෙන්ති යන අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ගණන් සංශෝධනය කිරීම ඇතුළු තවත් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල හමුව මේ වන විට ආරම්භ වී තිබෙනවා.

කොරෝනා වසංගතය හේතුවෙන් මෙවරත් එය සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන අතර එහිදී අදාළ භාණ්ඩවල මිල ගණන් සංශෝධනය පිළිබදව තීරණයක් ගනු ඇති.

අත්‍යාවශ්‍ය ආහාරවල මිල ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුව පසුගිය දා ගත් තීරණය අද (27) අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කෙරෙනවා.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමේදී කිරිපිටි කිලෝවක් රුපියල් 200 කින්, ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 550 කින්, තිරිඟුපිටි කිලෝවක් රුපියල් 10 කින් සහ සිමෙන්ති කොට්ටයක් රුපියල් 50 කින් මිල ඉහළ දැමීමට යෝජනා කෙරුණා.

කෙසේ වෙතත්, දින කිහිපයක සිට වෙළදපළේ කිරිපිටි, සහල්, ගෑස් සහ සිමෙන්ති ඇතුළු භාණ්ඩ කිහිපයක හිඟයක් පවතිනවා.

අද (27) දිනයේදීත් කිරිපිටි මිලදී ගැනීම සඳහා ඇතැම් වෙළදසැල් ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබුණා.

රජය විසින් සහල් සහ සීනි සඳහා පාලන මිලක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ එම භාණ්ඩවලද හිඟයක් පවතිනවා.

අනුරාධපුර නගරය අවට වෙළඳුන් පෙන්වා දෙන්නේ පාලන මිල ප්‍රකාශයට පත් කිරීමෙන් පසු වී මෝල් හිමියන් සහල් නිකුත් කිරීම නවතා දමා ඇති බවයි.

ගෑස් මිල ඉහළ යන බවට වාර්තාවීමත් සමඟ වෙළඳපලේ ගෑස් හිඟයක්ද මතුව තිබෙනවා.

******************************************

රාජ්‍ය ඇමති ඩී.බී. හේරත්, මාධ්‍යවේදීන් නිළ නිවසට කැදවයි

(27.09.2021 – 20:06 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සමඟ ඇති කර ගත් ගිවිසුමකට අනුව තම නිළ නිවස සඳහා රුපියල් 2,36,520 ක මුදලකට ඇදන් 3 ක් පමණක් මිලදී ගත් බව රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් ප්‍රකාශ කළා.

ඒ, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික නාමල් කරුණාරත්න කළ චෝදනාවට ප්‍රතිචාර දක්වමින්.

ඊයේ (26) කුරුණෑගලදී මාධ්‍ය හමුවක් කැදවමින් නාමල් කරුණාරත්න චෝදනා කළේ කොරෝනා වසංගතයෙන් ජනතාව පීඩාවට පත්ව ඇති මොහොතක රාජ්‍ය අමාත්‍යවරයා සිය නිළ නිවස සඳහා රුපියල් ලක්ෂ 20 කට වැඩි මුදලක් වැය කර ඇදන් 6 ක් මිලදී ගෙන ඇති බවයි.

අද (27) ‘ආර්ටිකල් 14’ තුළින් ද මේ පිළිබදව සංවාදයට ලක් කෙරෙන අතර, රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් සමගින් ඊට එක්වුණේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික නාමල් කරුණාරත්න යි.

මේ අතර, රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් අද (27) පස්වරුවේ කොළඹ – විජේරාම මාවතේ පිහිටි සිය නිළ නිවස වෙත මාධ්‍යවේදීන් කැදවා මිලදී ගත් ඇඳන් පරීක්ෂා කිරීමට ද අවස්ථාව සලසා දී තිබුණා.

******************************************

එල්.එන්.ජී. බලාගාර ගිවිසුම ගැන මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් දැනුවත් කරයි

(27.09.2021 – 20:09 +0530 – hirunews.lk/sinhala)

කෙරවලපිටිය එල්.එන්.ජී. හෙවත් ද්‍රව ස්වභාවික වායු බලාගාරයේ සියයට 40 ක කොටස් ඇමරිකාවේ ‘නිව් ෆෝට්‍රස් එනර්ජි’ සමාගමට ලබාදීම සම්බන්ධයෙන් සංඝ සභා සමග සාකච්ඡා කර ඉදිරියේදී ඒ පිළිබදව රජයට දැනුම් දෙන බව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන නාහිමියන් ප්‍රකාශ කළා.

ඒ, සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අද (27) උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදියි.

අදාළ බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට ලබාදීමට විරෝධය පළ කරමින් එම මන්ත්‍රීවරුන් පිරිස අස්ගිරි පාර්ශවයේ මහනායක හිමියන් සහ මල්වතු පාර්ශවයේ අනුනායක හිමියන් වෙත කරුණු පැහැදිලි කළා.

අනතුරුව මන්ත්‍රීවරුන් පිරිස මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමියන් ද බැහැදැක අදාළ ගිවිසුම සම්බන්ධයෙන් දැනුවත් කළා.

******************************************

මහාචාර්ය චන්න ජයසුමන ගිය තැනක් කියන රාජිත සේනාරත්න

(27.09.2021 – 21:50 +0530 – hirunews.lk/sinhala)

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ වත්මන් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අතර පවතින වාග් ප්‍රහාර මේ දිනවල බොහෝ විට දක්නට ලැබෙනවා.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සතු බව කියන සුඛෝපභෝගී වාහනයක් සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදු වූ සංවාදයට අදාළව රාජිත සේනාරත්න අද (27) පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා.

******************************************

සහල් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කෙරේ

(27.09.2021 – 22:02 +0530 – hirunews.lk/sinhala)

සහල් තොග වෙළෙඳාමට සහ සිල්ලර වෙළෙඳාමට පනවා තිබූ මිල පාලනය ඉවත්කර තිබෙනවා.

එම තීරණය අද (27) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව, සහල් සඳහා වූ උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුළත් ගැසට් පත්‍රය අවලංගු වනවා.

මේ අතර අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය කොළඹ වරායෙන් මුදා හැරීම සදහා අවශ්‍ය මුදල් මහ බැංකුව ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා ෴

******************************************

විදේශීය නිශ්පාදිත මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්, හෙරොයින් සහ අයිස් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

(27.09.2021 – 23:30 +0530 – hirunews.lk/sinhala)

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් යටදොලවත්ත පොලිස් වසමේ අළුතින් ඉදිකරමින් පවතින නිවසක දෙවන (2) මහලේ සඟවා තිබිය දී හෙරොයින් කිලෝ 01 යි, ග්‍රෑම් 55, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 ක්, මයික්‍රෝ වර්ගයේ රිවෝල්වර 01 ක්, ඉලෙක්ට්‍රොනික් මිණුම් තරාදියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩි දුර විමර්ශන සඳහා යටදොල පොලිසිය වෙත භාරදී තිබෙනවා ෴

******************************************

හෙරොයින් සමඟ සැකකාරියක් අත්අඩංගුවට

(28.09.2021 – 06:47 +0530 – hirunews.lk/sinhala)

මට්ටක්කුලිය පොලිස් වසමේ සමිත්පුර ප්‍රදේශයේ දී කොළඹ උතුර අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් සිදු කළ වැටලීමක දී හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට පත් වී තිබෙනවා.

අත්අඩංගුවට ගන්නාවිට සැකකාරිය සතු ව හෙරොයින් ග්‍රෑම් 25 යි මිලිග්‍රෑම් 280 ක් තිබී ඇති අතර, ඇය වයස අවුරුදු 32 ක් වූ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

සැකකාරිය අත්අඩංගුවට ගෙන මෝදර පොලිස් ස්ථානයට භාර දී තිබෙන අතර, අද (28) දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධ ව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන්නේ මෝදර පොලිසිය යි.

මීට අමතර ව ග්‍රෑන්පාස් සහ බොරැල්ල යන ප්‍රදේශවලින් ද හෙරොයින් ජවාරමේ නිරත වූ සැකකරුවන් හතර දෙනෙකු (4) අත්අඩංගුවට ගත් බවයි, පොලිස් මාධ්‍ය ඒකකය වාර්තා කළේ ෴

******************************************

පුරාවිද්‍යා වටිනාකමකින් යුත් චෛත්‍යයකට හානි කිරීමක්

(28.09.2021 – 07:10 +0530 – hirunews.lk/sinhala)

දැදිගම පොලිස් වසමේ ඈගල්ල ප්‍රදේශයේ පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් විහාරස්ථානයක ගරා වැටුණු චෛත්‍යයකට හානි කළ සිදුවීමක් පිළිබඳ ව දැදිගම පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

විමර්ශන සිදු කර එම ස්ථානයේ තිබී පැරණි තඹ තහඩුවක්, අඟල් 1.5 ක් උස ලෝහමය බුද්ධ ප්‍රතිමාවක් සහ විවිධ වර්ගයේ කාසි 26 ක් ද සොයා ගත් බවයි වාර්තා වෙන්නේ.

සැකකරුවන් පිළිබඳ ව මේ වෙනතුරුත් තොරතුරු අනාවරණය වී නො මැති අතර, සිදුවීම සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ දැදිගම පොලිසිය විසින් සිදු කරනු ඇති ෴

******************************************

ලෝක ජලභීතිකා දිනය අදයි (28)

(28.09.2021 – 07:35 +0530 – hirunews.lk/sinhala)

ලෝක ජල භීතිකා දිනය අදට (28) යෙදී තිබෙනවා.

‘දැනුම බෙදමු – බිය දුරලමු’ යන්න මෙවර එහි තේමාව යි.

පසුගිය වසරවලට සාපේක්ෂ ව කාන්තාවන් වැඩි වශයෙන් ජලභීතිකා රෝගයෙන් මරණයට පත්වීම ඉහළ ගොස් ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ජලභීතිකා හා එන්නත් තත්ත්ව පාලන අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය කාන්ති නානායක්කාර මහත්මිය ප්‍රකාශ කළා.

පුරුෂයන් 5 කට කාන්තා මරණ එකක් (1) ව පැවති ජලභීතිකා මරණ අනුපාතය මේ වනවිට සම මට්ටමට පැමිණ තිබෙනවා.

එමෙන්ම මේ වසරේ මේ දක්වා ජලභීතිකා රෝගයෙන් සිදු වූ මරණවල අඩුවීමක් ද දක්නට ලැබෙන බවයි විශේෂඥ වෛද්‍ය කාන්ති නානායක්කාර මහත්මිය ප්‍රකාශ කළේ.

2018 වසරේ මරණ 25 ක්, 2019 වසරේ මරණ 26 ක් සහ 2020 වසරේ මරණ 31 ක් සිදු ව තිබෙනවා.

කෙසේ වෙතත් මේ වසරේ ඊයේ (27) දිනය දක්වා සිදු ව ඇත්තේ ජලභීතිකා මරණ 17 ක් පමණයි.

අදට (28) යෙදී ඇති ලෝක ජලභීතිකා දිනය පිළිබද ව ජනතාව දැනුවත් කිරීම සදහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවක දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය, පංශු වෛද්‍ය සේවාවේ අධ්‍යක්ෂ එල්.ඩී. කිත්සිරි මහතා දරුවන් ජලභීතිකා රෝගයට ගොදුරුවීම සම්බන්ධයෙන් අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ සුනඛ පැටවුන් මඟින් කුඩා දරුවන්ට ජලභීතිකා රෝගය වැළඳෙන අවස්ථා වාර්තා වී ඇති බවයි.

සුනඛ පැටවුන් නිවෙස් වෙත රැගෙන යාමට පෙර එන්නත්කරණයට ලක් කර රැගෙන යාමෙන් දරුවන් ජලභීතිකා රෝගයෙන් ආරක්ෂා කරගත හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය, පංශු වෛද්‍ය සේවාවේ අධ්‍යක්ෂ එල්.ඩී. කිත්සිරි මහතා එහි දී වැඩිදුරටත් පෙන්වා දුන්නේ ෴

******************************************

රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍රය කඩා මිලියන 10 ක් සොරා ගැනෙයි

(28.09.2021 – 07:40 +0530 – hirunews.lk/sinhala)

මින්නේරිය – මිනිහිරිගම ප්‍රදේශයේ වෙළද සංකීර්ණයක ගොඩනැගිල්ලක පිහිටා තිබූ රාජ්‍ය බැංකුවකට අයත් ඒ.ටී.එම්. යන්ත්‍රයක් කඩා එහි තිබූ රුපියල් මිලියන 10 කට අධික මුදලක් සොරාගෙන තිබෙනවා.

අදාළ ඒ.ටී.එම්. යන්ත්‍රය ක්‍රියා විරහිත වීම හේතුවෙන් බැංකුවෙහි නිලධාරීන් එය පරීක්ෂා කිරීමේදි යි මෙම සොරකම සම්බන්ධයෙන් ඊයේ (27) තොරතුරු අනාවරණ වී ඇත්තේ.

මින්නේරිය පොලිසිය මේ සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ, බැංකු නිලධාරියෙකු බව පවසමින් එම යන්ත්‍රය අලුත්වැඩියා කිරීම සඳහා පෙරේදා උදෑසන කිසියම් පුද්ගලයෙකු එම ස්ථානයට පැමිණ ඇති බවයි.

ඔහු බැංකු නිලධාරියෙකු නොවන බවත් ඒ.ටී.එම්. යන්ත්‍රය උණුකර කපා මුදල් රැගෙන ගොස් ඇති බවටත් විමර්ශනවල දී අනාවරණ වී තිබෙනවා.

සැකකරු පැමිණි බවට පැවසෙන කුඩා ලොරි රථයක් පිළිබද ව පොලිසියේ අවධානය යොමු ව ඇති බවයි වාර්තා වෙන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *