සෑම දරුවෙකුටම උපතේදී ම ජාතික හැදුනුම්පත් අංකයක්

සෑම දරුවෙකුටම උපතේදී ම ජාතික හැදුනුම්පත් අංකයක්

*********************************************

සෑම දරුවෙකුටම උපතේදී ම ජාතික හැදුනුම්පත් අංකයක්

(27.09.2021 – 16:03 +0530 – hirunews.lk/sinhala)

ළමා අයිති වාසිකම් සුරක්ෂිත කිරීම සඳහා සෑම දරුවෙකුටම උපතේදී ම ජාතික හැදුනුම්පත් අංකයක් නිකුත් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

අද (27) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමය මේ බව සඳහන් කළා.

තවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 2020 දෙසැම්බර් 30 වන දින ‘නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටුව’ වෙත යෝජනා කර සිටියේ ළමා අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා සෑම දරුවෙකුටම උපතේදී ජාතික හැඳුනුම්පත් අංකයක් නිකුත් කරන ලෙසත්, එම අංකය ඇතුලත් හැඳුනුම්පත අවුරුදු 16 දී හෝ ඉන් පෙර ඔවුන්ට ලබා දීමට කටයුතු කරන ලෙසත්ය.

මෙලෙස දරුවන් සඳහා උපතේදී ජාතික හැඳුනුම්පත් අංකයක් ලබා දීම මගින් ලැබෙන ප්‍රතිලාභ වනුයේ, මව් රටේ පුරවැසි අයිතිය පිළිබඳ හැඟීමක් දරුවන් තුල ඇති වීම, ළමා අපචාර හා ළමා මෙහෙකාර සේවය නිසා දරුවන්ට සිදුවන බලපෑමෙන් ආරක්ෂා කරගත හැකි වීම, දරුවන් සඳහා රට පුරා ඒකාකාරී සෞඛ්‍ය සේවාවක් තහවුරු කරන හඳුනාගැනීමේ ක්‍රමවේදයක් ලෙස භාවිතා කිරීම, දරුවන්ගේ අධ්‍යාපන හා සමාජයීය අවශ්‍යතා සැපිරීමේදී හඳුනාගැනීමේ රහස්‍ය අංකයක් ලෙස භාවිතා කිරීම, සීමිත සම්පත් දරුවන් වෙත ලබා දීමේදී සමානාත්මතාවය තහවුරු කරන ක්‍රමවේදයක් ලෙස භාවිතා කිරීම.

ඉහත යෝජනාවලිය තුලින් දරුවන්ගේ අයිතිවාසිකම් සහ සමාජ ආරක්ෂණය තහවුරු කර දෙන ආකාරය පෙන්වා දෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (27) දින අතිගරු ජනාධිපතිතුමන්ට ලිපියක් යොමු කරමින් එම යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා අවධානය යොමු කරන ලෙස ඉල්ලීමට කටයුතු කර තිබෙනවා ෴

******************************************

වාහන ගෙන්වීමට අවසර දීම ගැන අලුත් ආරංචියක්

(27.09.2021 – 18:08 +0530 – hirunews.lk/sinhala)

වාහන ආනයනයේ දී පැනවෙන බදු ඩොලර්වලින් ගෙවීමට එකඟ වන පුද්ගලයන් වෙත වාහන ආනයනය කිරීම සඳහා අවසර ලබාදීම පිළිබඳව මේ වනවිට සැලකිල්ල යොමුව ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා මේ වනවිටත් මහබැංකුව කටයුතු සූදානම් කරමින් පවතින බවයි මහ බැංකු අධිපතිවරයා හිරු පුවත් වෙත ප්‍රකාශ කළේ.

එලෙස ඩොලර්වලින් බදු මුදල් ගෙවීම සඳහා වූ යෝජනා මේ වනවිටත් ඉදිරිපත් ව ඇති බවද මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් වැඩිදුරටත් ප්‍රකාශ කළා.

එසේම රට ආර්ථික වශයෙන් ගොඩගැනීමට අවශ්‍ය ආර්ථික උපක්‍රම අනුගමනය කරමින් ඉදිරි පියවර රැසක් සැලසුම් කරමින් සිටින බවද මහ බැංකු අධිපතිවරයා පැවසුවා ෴

******************************************

කූඨ ව්‍යාපාරිකයෙක් කොල්ල කෑ ඩාර්ලි පාරේ ඉඩම ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් බේරා ගැනේ

(27.09.2021 – 18:38 +0530 – hirunews.lk/sinhala)

වසර 16 කටත් වැඩි කලක් පුරා රජය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නොමඟ යවමින් නීතිවිරෝධී ලෙස භුක්ති විඳි කොළඹ ඩාර්ලි පාරේ පිහිටි රජය සතු රුපියල් කෝටි ප්‍රකෝටි ගණනක් වටිනා අක්කර 1.34 ක ඉඩම් කොටසක් නැවත රජයට පවරා ගැනීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය කටයුතු කර තිබෙනවා.

කලින් කලට මාරු වන දේශපාලන බලාධිකාරය සමඟ ඇඟෑලුම් කම් පවත්වමින් මෙම ඉඩම අයථා ලෙස භාවිත කළ පුද්ගලයින් ඒ හරහා නීති විරෝධී ලෙස උපයාගෙන ඇති මුදල රුපියල් කෝටි ගණනාවක්.

කූට ගනුදෙනුවට කොළඹ හිටපු පුරපති පුත්‍රයෙකුත් හවුල්

අදාළ ගනුදෙනු සඳහා කොළඹ පුරපති වරයෙකුව සිටි ආණ්ඩුකාරවරයෙකු ගේ පුත්‍රයකු ද සම්බන්ධ වූ බවට තොරතුරු වාර්තා වන අතර අදාල ආණ්ඩුකාර පුත්‍රයාට මෙම දේපල සංවර්ධන සමාගමේ කොටස් හිමිකාරකමක් ද ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.

පසුගිය දශක 1½ කාලය පුරාම මෙම ඉඩම් කොටස සම්බන්ධයෙන් රජය හෝ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නිසි ක්‍රියා මාර්ග ගෙන තිබුනේ නැහැ.

කෙසේ වෙතත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව පාලනාධිකාරිය කොළඹ 10, ඩාර්ලි පාරේ පිහිටි අදාළ ඉඩම් කොටසේ සිය අධිකාරිය සමඟ ඇතිකර ගත් මූලික එකඟතාවයන්ට පටහැනිව නීති විරෝධී සංවර්ධන කටයුත්තක් සිදුවන බව පවසමින් ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවෙන් නීතිමය උපදෙස් ඉල්ලා තිබුණා.

එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ නීතිපති දෙපාර්තමේන්තුව අදාළ ගිවිසුම් පිරික්සීමෙන් අනතුරුව නිවාස සංවර්ධන අධිකාරියට දැනුම් දී තිබුණේ 2006 වසරේදී අත්සන් තැබුණු හුවමාරු ගිවිසුම වහාම අවලංගු කර අදාල ඉඩම් කොටස වහාම අධිකාරියේ සන්තකයට පවරා ගන්නා ලෙසයි.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් කියා සිටියේ අදාළ පෞද්ගලික සමාගම නිවාස සංවර්ධන අධිකාරිය සමග ඇතිකර ගත් මූලික එකඟතාවන් අවස්ථාවන් ගනනාවකදී උල්ලංඝනය කරමින් කටයුතු කළ බවයි.

එසේ හෙයින් රාජ්‍ය ආයතනයක් ලෙස මේ සමාගම සහ ගිවිසුම සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ඉල්ලා සිටීමට ඔවුන් කටයුතු කළ බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

එහිදී නීතිපති දෙපාර්තමේන්තුවෙන් දෙපාර්ශවය අතර පවතින ගිවිසුම් ප්‍රකාරව මේ වන විට අදාළ සමාගම කටයුතු සිදු කර නොමැති නිසාවෙන් මෙම ගිවිසුම් අවලංගු කර අදාළ ඉඩම් කොටස වහාම ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත පවරා ගන්නා ලෙස උපදෙස් සහ නියෝග ලැබුණු බව අදාළ නිලධාරියා වැඩිදුරටත් පවසා සිටියා.

පසුගිය 19 වනදා බලහත්කාරයෙන් සිය ඉඩමට ඇතුළු වී එහි සිටි සේවකයන් නෙරපා දමා එය අත්පත් කර ගත් බවට ‘ලංකා රියල්ටි ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී (එල්ආර්අයි) සමාගම’ සිදු කරන චෝදනා සහමුලින් ප්‍රතික්ශේප කරන ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මෙම ඉහළ නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේ ඉඩම පවරා ගැනීමට පෙර ඒ සම්බන්ධයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මූලිකව ගිවිසුම්ගත වූ ‘එල් ඇන්ඩ් ටී යටිතල පහසුකම් සංවර්ධන සමාගම’ දැනුවත් කළ බවයි.

මේ සම්බන්ධයෙන් ‘ලංකා රියල්ටි ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී (එල්ආර්අයි)’ ආයතනයට යම්කිසි ගැටලුවක් ඇත්නම් ඔවුන් ‘එල් ඇන්ඩ් ටී යටිතල පහසුකම් සංවර්ධන සමාගම’ සමඟ සාකච්ඡා කළ යුතු අතර ජාතික නිවාස සංවර්ධන අධිකාරියට ‘ලංකා රියල්ටි ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී (එල්ආර්අයි) ආයතනය’ සමඟ කිසිදු ගනුදෙනුවක් නැති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

අවස්ථා දෙකකදී (2) වාණිජ බැංකු දෙකකට (2) ඉඩම උකස් කරලා

එමෙන්ම අදාළ ඉඩම මේ වන විටත් මෙරට ප්‍රමුඛතම වාණිජ බැංකු දෙකකට (2) අවස්ථා දෙකකදී උකස්කර විශාල මුදල් ප්‍රමාණයක් මෙම ගිවිසුම් කරුවන් විසින් ලබාගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් වන විශේෂ විමර්ශනයක් මේවන විට අල්ලස් හා දූෂණ කොමිසමෙහි සිදුවන බවත් ඔහු පැවසුවා.

පර්චස් 214 (අක්කර 1.34) ක මෙම ඉඩම සම්බන්ධ පළමු ගනුදෙනුව සිදු කෙරෙන්නේ චන්ද්‍රිකා බන්ඩාරනායක රජය සමයේදීයි.

එවක නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය ධුරය දැරූ ෆෙරියල් අස්රොෆ් අදාල ගනුදෙනුවට මැදිහත් වී තිබුණා.

2005 වසරේ අග භාගයේ සිදු කෙරුනු අදාළ ගනුදෙනුවේදී සිය දේශපාලන හිතවතෙකුගේ පුත්‍රයකු වෙත අදාළ ඉඩම් කොටස ලබා දීමේදී එය තක්සේරු කර තිබුණේ රුපියල් මිලියන 712 කටයි.

ඒ අනුව අදාළ ගනුදෙනුවේදී කොළඹ ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය යාබදව පිහිටි මෙම ඉඩමේ පර්චස් එකක් (1) සඳහා මිල සටහන් වී තිබුනේ රුපියල් මිලියන 3.32 ආසන්න මුදලක්.

2016 දී සජිතුත් පරණ මිලටම දීලා

වඩාත් හාස්‍ය ජනක කාරණය වන්නේ 2016 වර්ෂයේ යහපාලන රජයේ නිවාස අමාත්‍යවරයාව සිටි සජිත් ප්‍රේමදාස අදාළ ගනුදෙනුව අලුත් කිරීමේදීත් එම ඉඩමට ඊට වසර 11 ට පමණ පෙර තක්සේරු කර තිබු වටිනාකමම අය කිරීමයි.

කොළඹ මරදානේ ශාන්ත ජෝශප් විදුහල ඉදිරිපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට යාබදව පිහිටි මෙම ඉඩමේ වානිජමය වටිනාකම වසර දහයකට (10) අධික කාලයකට පසුවත් සතයකින් හෝ වැඩි නොවී තිබීම පුදුමයට කරුණක් නොවේද?

යම් යම් දේශපාලන ඕනෑ එපාකම්, හිතවත්කම් වෙනුවෙන් දුරදිග නොබලා සිදුකළ මේ ගනු ගනුදෙනුව හරහා රජයට සිදුවූ අලාභයට වග කියන්නේ කවුද?

කිසිදු වග විභාගයකින් තොරව අත යට සිදු වූ මෙම ගනුදෙනුවෙන් රජයට රුපියල් කෝටි ගණනාවක අලාභයක් සිදුව ඇති බව සැඟවිය නොහැකි සත්‍යයක්.

වසර 16 ට පසුව හෝ සිදු වූ වරද නිවැරදි කර ගැනීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ බලධාරීන් කටයුතු කිරීම සතුටුට කරුණක්.

******************************************

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයෙන් විශේෂ වැටලීමක්

(27.09.2021 – 19:10 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ ව්‍යාපාර නාම භාවිතා කරමින් ගුවන් බඩු අංශයේ කුරියර් ආයතන හරහා සිදු කරන ලද මහා පරිමාණයේ රත්තරන් ජාවාරමක් සොයා ගැනීමට රේගු නිලධාරීන් සමත් වුණා.

මෙහි දී එක්සත් අරාබි එමීර් රජ්‍යයේ ඩුබායි නගරයේ සිට වාහන අමතර කොටස් හා කෝපි සාදන යන්ත්‍ර වල කොටස් ලෙස සඳහන් කර මෙරටට ආනයනය කරන ලද පාර්සල් කීපයක් තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ රත්තරන් කිලෝ දහසයක් (16) සොයා ගැනීමට හැකියාව ලැබුණා.

මෙම සොයා ගැනීමේ විශේෂත්වය වන්නේ මෙම භාණ්ඩ වල අභ්‍යන්තරයේ අඩංගු තාක්ෂණික කොටස් රත්තරන් වලින් නිර්මාණය කොට ඒහි සවි කොට රේගුව නොමග යැවීමට උත්සහ කොට තිබීය දී රේගු නිලධාරීන්ගේ සුපරීක්ෂාකාරී භාවය නිසා එම උත්සාහය වැලක් වීමට හැකි වීමයි.

මෙම රත්තරන් වල වෙළඳපළ වටිනාකම මිලියන 220 කට ආසන්න වනවා.

මේ වන විට මෙම නීති විරෝධී ආනයනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබනවා.

ශ්‍රී ලංකාව තුළට ආනයනය කරනු ලබන සැක කටයුතු භාණ්ඩ සම්බන්ධයෙන් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් නිරතුරුව අවධානයෙන් සිටින හෙයින් මෑත කාලයේ දී විශාල ප්‍රමාණයේ මත්ද්‍රව්‍ය හා අනෙකුත් තහනම් භාණ්ඩ විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා.

******************************************

වල් බිහිවෙන පිළියන්දල ශාක්‍ය ජනපදය ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානයක් හා ජාත්‍යන්තර සංචාරක කලාපයක් බවට පත් කිරීමේ සූදානමක්

(27.09.2021 – 19:40 +0530 – hirunews.lk/sinhala)

2017 වර්ෂයේ ඉදිකිරීම් ආරම්භ කළ දැනට වල් බිහිවෙමින් පවතින පිළියන්දල කහපොල ප්‍රදේශයේ පිහිටා ඇති ‘ශාක්‍ය ජනපදය’ ‘ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක්’ සහ ‘ජාත්‍යන්තර බෞද්ධ සංචාරක කලාපයක්’ බවට පත් කිරීමට ඇති හැකි හැකියාව සොයා බලමින් පවතින බව වාර්තා වනවා

2016 වසරේ මෙරට පැවති එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙලට සමගාමීව, පිළියන්දල ඩේසිවත්ත නමැති අක්කර 74 ක් පමණ විශාල ඉඩමේ අක්කර 20 ක පමණ භූමි ප්‍රදේශයක මෙම ‘ශාක්‍ය ජනපදය’ ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා.

මෙම ඉඩම බුද්ධශාසන අමාත්‍යාංශය වෙත පවරා ගෙන අවබෝධතා ගිවිසුමක් යටතේ ‘ලයිට් ඔෆ් ඒෂියා ෆවුන්ඩේෂන්’ නැමති ආයතනය වෙත පවරා ඉන්දියාවේ කපිලවස්තු ශාක්‍ය ජනපදය ප්‍රතිනිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ලබා දීමට අමත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුනේ 2016 වර්ෂයේ දීයි.

එම ව්‍යාපෘතිය 2017 වර්ෂයේ දී ආරම්භ කර 2020 මාර්තු මාසයේ දී අවසන් කිරීමට නියමිතව තිබූ නමුත් මේ වන විටත් එහි ප්‍රගතිය පවතින්නේ 5% කට වඩා අඩු මට්ටමකයි.

එබැවින් ‘ලයිට් ඔෆ් ඒෂියා ෆවුන්ඩේෂන් ආයතනය’ සමඟ ඇති කරගත් එකී අවබෝධතා ගිවිසුම අවලංගු කර එකී ඉඩම බුද්ධශාසන, අගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙත නැවත භාර ගැනීමට තීරණය කෙරුනා.

අද (27) පිලියන්දල මෙම ශාඛ්‍ය ජනපදය ඉදිකිරීමේ ව්‍යාපෘතිය නිරීක්ෂණය සඳහා එක්වූ දහම් පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා කියා සිටියේ මෙහි ‘ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානයක්’ හා ‘ජාත්‍යන්තර සංචාරක කලාපයක්’ බවට පත් කරන බවයි.

+++++++

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

තවත් ආසාදිතයින් 812 ක් සුවය ලබයි

(27.09.2021 – 14:56 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ආසදනය වී රෝහල්වල ප්‍රතිකාර ලැබූ තවත් 812 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ මුළු කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 4,55,344 දක්වා ඉහළ යනු ඇති ෴

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 514,324 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, අද (27) දිනයේ දී තවත් කොරෝනා ආසාදිතයින් 715 දෙනෙකු තහවුරු කිරීමත් සමඟයි ෴

++++++++++++++++++

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිත මරණ 51 ක්

(27.09.2021 – 17:05 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිත මරණ 51 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 12,731 ක් ලෙසටයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (26) තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 22 ක් සහ පිරිමින් 29 ක් වනවා.

වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් ඊයේ (26) තහවුරු කළ මරණ අතර නැහැ.

අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයේ මරණ 10 ක් වාර්තාවී ඇති අතර ඒ කාන්තාවන් 05 ක් සහ පිරිමි පුද්ගලයන් 05 ක් වශයෙන්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ කාන්තාවන් 17 ක් සහ පිරිමි පුද්ගලයන් 24 ක් මෙම මරණ 51 අතර වනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *