කිරිපිටි හා ගෑස් හිඟය අතරතුර සහල් හිඟයකුත්

කිරිපිටි හා ගෑස් හිඟය අතරතුර සහල් හිඟයකුත්

*********************************************

කිරිපිටි හා ගෑස් හිඟය අතරතුර සහල් හිඟයකුත්

(27.09.2021 – 13:23 +0530 – hirunews.lk/sinhala)

වෙළඳපොළේ කිරිපිටි සහ ගෑස් හිඟයක් පවතින අවස්ථාවක ප්‍රදේශ කිහිපයක සහල් හිඟයක් ද පවතින බවට තොරතුරු වාර්තා වුණා.

බොහෝ වෙළදසැල් හිමියන් ප්‍රකාශ කළේ, සහල් නිෂ්පාදනය කරන මෝල්වලින් වෙළදසැල් වෙත සහල් ලබා නො දෙන බවයි.

මේ අතර, කිරිපිටි, තිරිඟුපිටි, ගෑස් සහ සිමෙන්ති මිල සම්බන්ධයෙන් අද (27) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී බොහෝ දුරට අවසන් තීරණයකට එළඹීමට නියමිත බව වාර්තා වනවා.

ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 200 කින්, තිරිඟු පිටි කිලෝවක් රුපියල් 10 කින්, සිමෙන්ති කොට්ටයක් රුපියල් 50 කින් සහ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 550 කින් වැඩි කළ යුතු බවට යි ජීවන වියදම් කමිටුව නිර්දේශ කර ඇත්තේ.

වරායේ ගොඩගැසී ඇති බහලුම් නිදහස් කිරීම ගැන රේගුව නීතිපති උපදෙස් පතයි

(27.09.2021 – 13:29 +0530 – hirunews.lk/sinhala)

වරායේ ගොඩගැසී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහලුම් නිදහස් කිරීම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගැනීමට රේගු දෙපාර්තමේන්තුව සූදානම් වනවා.

මෙලෙස ගොඩගැසී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහලුම් අතර නඩු කටයුතුවලට අදාළ බහලුම් ද පැවතීම, ඊට හේතුව බවයි රේගු අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා සඳහන් කළේ.

වරායේ රඳවා ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කිරීමට වහා කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ ආනයන අපනයන පාලක ජනරාල්වරියට නියෝග කළා.

ඒ ඩොලර් හිඟයත් සමඟ අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කර ගත නොහැකි වී ඇති බවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමය මතු කල කරුණු සැලකිල්ලට ගනිමින්.

වරායේ ගොඩගැසී ඇති බහලුම්වලින් වැඩි ප්‍රමාණයක් ඇමරිකානු ඩොලර් නොමැතිකමින් නිදහස් කර නොගත් බහලුම් බවයි රේගු අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා කියා සිටියේ.

මේ වනවිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් කන්ටේනර් 800 ක් මෙලෙස වරාය තුළ සිරවී ඇති බව සඳහන් ෴

******************************************

කාලගුණයේ අයහපත් තත්ත්වය මත ධීවර කටයුතුවලට බාධා

(27.09.2021 – 13:03 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළුවිය හැකි බැවින් නැවත දැනුම් දෙනතුරු ධීවර හා නාවික කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එම දෙපාර්තමේන්තුව අද (27) දහවල් 12 ට නිකුත් කරන ලද නවතම නිවේදනයේ දැක්වුණේ උතුරු බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින ගුලාබ් සුළි කුණාටුව ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වී උතුරු ආන්ද්‍රා ප්‍රදේශයේ ස්ථානගත ව පවතින බවයි.

මේ හේතුවෙන් මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 – 70 දක්වා ඉහළ යා හැකියි.

එමෙන්ම පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළාසන්න ප්‍රදේශවල මුහුදු රළ මීටර 2 ත් 2.5 ත් අතර ඉහළ යාමේ හැකියාවක් ද පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

******************************************

යුගදනවි ගිවිසුම ගැන කියන්න සමගි ජන බලවේගය මහ නාහිමිවරු හමුවට

(27.09.2021 – 13:17 +0530 – hirunews.lk/sinhala)

සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් කණ්ඩායමක් අද (27) අස්ගිරි – මල්වතු මහ නාහිමිවරුන් බැහැ දුටුවා.

ඒ, කෙරවලපිටිය එල්.එන්.ජී. හෙවත් ද්‍රව ස්වාභාවික වායු බලාගාර සංකීර්ණය සංවර්ධනය කිරීම සඳහා ලක් රජය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම අතර වන ගිවිසුම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහායි.

මන්ත්‍රිවරුන් පිරිස, පළමුව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරු ව මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමියන් ද බැහැ දැක ගිවිසුම පිළිබඳ ව දැනුවත් කළා.

******************************************

අයවැයෙන් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයෙකුට ලක්ෂ 1000 ක්

(27.09.2021 – 13:33 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය හේතුවෙන් අඩාල වී ඇති ග්‍රාමීය සංවර්ධනය නැවත නගා සිටුවීම සඳහා මෙවර අයවැයෙන්, පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින්ට ලක්ෂ 40 ක මුදලක් ලබාදෙන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මාතර දිස්ත්‍රික්කයේ ඊයේ (26) පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, තම කොට්ඨාසයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් අදාළ මුදල ලබාදෙන බවයි.

ඊට අමතර ව දිවයින පුරා ග්‍රාම සේවා වසම් සියල්ලට ලක්ෂ 30 බැගින් ප්‍රතිපාදන මෙවර අයවැයෙන් වෙන් කිරීමට කටයුතු කරන බව ද ඔහු කියා සිටියා.

මෙහි දී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයෙකුට තමන්ගේ මැතිවරණ බල ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් ලක්ෂ 1000 ක මුදලක් ද, ප්‍රාදේශීය සංවර්ධන කමිටු උපසභාපතිවරයෙකු හට රුපියල් ලක්ෂ 200 ක මුදලක් ද මෙවර අයවැයෙන් වෙන් කරන බවයි.

කොරෝනා වසංගතයෙන් පැන නැගී කෙටි කාලීන අභියෝග සඳහා විසඳුම් සෙවීම මෙන්ම ආර්ථික වර්ධනය සඳහා ප්‍රාදේශීය ව පවතින බාධාවන්ට විසඳුම් ලබාදීම මෙමඟින් අපේක්ෂා කරන බව ද සඳහන් කළා ෴

******************************************

කළු වලාවක රිදී ඉරි සෙවූ දිරිය දියණිය රන්සරා

(27.09.2021 – 13:42 +0530 – hirunews.lk/sinhala)

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලින් විශිෂ්ට දක්ෂතා පෙන් වූ දැරියක් පිළිබඳව දික්වැල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ඇය මේ ජයග්‍රහණය ලබාගෙන ඇත්තේ සුෂුම්නාව ආශ්‍රිත ආබාධ තත්ත්වයකින් පීඩා විදින අතරතුර වීම විශේෂත්වයක්.

******************************************

පරිසර හානියක් කරමින් යාල කැලේ මැද ඉදිවෙන හෝටල්

(27.09.2021 – 13:57 +0530 – hirunews.lk/sinhala)

යාල ජාතික වනෝද්‍යානයට ආසන්න වන සංරක්ෂණ පේරක කලාපයේ විශාල භූමි ප්‍රමාණයක් හෙළි පෙහෙළි කරමින් ව්‍යාපාරිකයෙකු විසින් හෝටලයක් ඉදිකරන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ වන සංරක්ෂණ නිලධාරීන් මෙම වන විනාශය සම්බන්ධයෙන් මුනිවත රකින බවයි.

******************************************

ලෝක උරුම ස්ථාන සංරක්ෂණයට සහ සංවර්ධනයට මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් සැලසුම්

(27.09.2021 – 14:09 +0530 – hirunews.lk/sinhala)

රට යළි විවෘත කළ පසු මෙරටට පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් ලෝක උරුම ස්ථාන සංරක්ෂණයට සහ සංවර්ධනයට සැලසුම් කර ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කළා.

එම අරමුදල කියා සිටියේ, අම්පාර දිස්ත්‍රික්කයේ මගුල් මහා විහාරය සංවර්ධනයත්, නැගෙනහිර සහ දකුණු මුහුදු තීරයන්හි දිය යට සංචාරක කිමිදුම් ව්‍යාපෘතිත්, බුදුරුවගල ඓතිහාසික පිළිරුව නැරඹීමට පැමිණෙන මාර්ගය ද්විත්ව මාර්ගයක් ලෙස සකස් කිරීමත්, එම සැලසුම් අතර වන බවයි.

එමෙන්ම රිටිගල පුරාවිද්‍යා භූමිය ලෝක උරුමයක් බවට පත් කිරීමට අදාළ කටයුතු 2022 වසර වනවිට අවසන් කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය, දඹුල්ල, මහනුවර යන ලෝක උරුම නගරයන්හි පුරාවිද්‍යා ස්මාරක නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් හා සෞඛ්‍යාරක්ෂිත සංචරණයකට අවශ්‍ය මාර්ගෝපදේශ ද දැනටමත් සකස් කර අවසන් බවයි මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කළේ ෴

******************************************

වසර තුනක (3) සිට සාදා නිම නො වෙන කුඹුක්මුල්ල පාළම

(27.09.2021 – 14:10 +0530 – hirunews.lk/sinhala)

වීරකැටිය, ගුරුගොඩැල්ල, මොරයාය මාර්ගයේ ඌරුබොකුඔය හරහා ඉදිකිරීම අරඹා ඇති කුඹුක්මුල්ල පාළමේ වැඩ කටයුතු ඇණහිටීම හේතුවෙන් ප්‍රදේශවාසීන්ට දුෂ්කරතා රැසක් මතුව තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ 2018 වසරේ වැඩ ආරම්භ කළ මෙම පාළම සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් කෝටි 10 කට අධික බවයි.

එලෙස අධික මුදලක් ඇස්තමේන්තුකර වැඩ ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය මාස දෙක තුනක් (2-3) යන්නටත් මත්තෙන් එම ඉදිකිරීම් ඇණහිටීම කණගාටුවට කරුණක්.

බලධාරීන්ගේ නිසි අධීක්ෂණය නොමැතිවීම හමුවේ සිදුවන මෙම මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් නාස්තිවීම සම්බන්ධව ප්‍රදේශවාසීන් අවස්ථා ගණනාවකදීම බලධාරීන් දැනුවත් කළ ද තවමත් ඊට අවධානය යොමුවී නැහැ.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

ආයුර්වේද කාර්ය මණ්ඩලත් 7,500 දීමනාව ඉල්ලයි

(27.09.2021 – 11:07 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම පළාතේ ආයුර්වේද රෝහල් කාර්ය මණ්ඩල වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, කොරෝනා වසංගතය හේතුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ලබාදෙන රුපියල් 7,500 විශේෂ දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින්.

එම යෝජනා ඇතුළත් ලිපියක් ද ශ්‍රී ලංකා නිදහස් ආයුර්වේද සෞඛ්‍ය සේවක සංගමය විසින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ වෙත ලබාදී තිබෙනවා.

++++++++++++++++++++

සෞඛ්‍ය වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බාධා

(27.09.2021 – 13:06 +0530 – hirunews.lk/sinhala)

වෘත්තීය සමිති 44 ක් එක්ව අද (27) උදෑසන 7 ට ආරම්භ කළ පැය 05 ක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝහල් රැසක සේවා කටයුතු අඩාල වූ බව වාර්තා වනවා.

රුපියල් 7500 ක කොරෝනා අවධානම් දීමනාව අත්හිටුවීම ඇතුළු ඉල්ලීම් 08 ක් මුල් කර ගනිමින් ආරම්භ කෙරෙනු මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දහවල් 12 ට අවසන් වුණා.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් බාහිර රෝගී අංශය සහ ඖෂධ නිකුත් කිරීම ඇතුළු අංශ රැසකට බාධා එල්ල වී ඇති බවයි රෝහල් බලධාරීන් සඳහන් කළේ.

++++++++++++++++++

රට විවෘත කිරීම ගැන නිර්දේශ ඉදිරිපත් කිරීමට සියලු අංශවලට ජනපතිගෙන් දැනුම් දීමක්

(27.09.2021 – 13:13 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන ඔක්තෝම්බර් 01 වනදා රට විවෘත කිරීමේදී නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ඔස්සේ එය සිදුකිරීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියළු අංශ වෙත දැනුම් දී තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය, ප්‍රවාහන සහ අනෙකුත් ක්ෂේත්‍ර වෙතින් මෙම නිර්දේශ ලබාදීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නීතිය ලබන මස 01 වනදා අලුයම 4 දක්වා වීමට නියමිත අතර එය තවදුරටත් දීර්ඝ නොකිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

කෙසේ වෙතත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කොළඹ අද (27) පැවති මාධ්‍ය හමුවකදී රට විවෘත කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ රට යළි විවෘත කළ ද සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව ජනතාවට දැඩි වගකීමක් පවතින බවයි.

මේ අතර, කොරෝනා වසංගතය හේතුවෙන් පාසල් වසා දැමීමත් සමඟ තමන් මුහුණ පා ඇති ආර්ථික අපහසුතා පිළිබදව දැනුවත් කිරීම සඳහා සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය අද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හමුවීමට නියමිතයි.

එම සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා කියා සිටියේ ණය වාරික ගෙවීම සඳහා සහන කාලයක් ලබාදෙන ලෙස මෙහිදී ඉල්ලා සිටීමට තමන් අපේක්ෂා කරන බවයි.

නිධන්ගත රෝගවලින් පෙළෙන සහ විශේෂ අවශ්‍යතා සහිත අවුරුදු 12 ට වැඩි දරුවන් එන්නත් කිරීමේ කටයුතු බස්නාහිර පළාතේ සියළු ප්‍රධාන රෝහල්වල අද (27) ආරම්භ කෙරුණා. ඒ අනුව රෝහල් 13 කදී ෆයිසර් එන්නත ලබාදීම සිදුකෙරෙනවා.

ළමයින් සඳහා සිදුකරන එන්නත්කරණ ක්‍රියාවලියේදී මේ දක්වා කිසිදු සංකූලතා වාර්තා වී නොමැති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර, ෆයිසර් එන්නත් මාත්‍රා 31,590 ක් අද (27) අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

කටාර් ගුවන් සේවයට අයත් යානයකින් අදාළ එන්නත් තොගය මෙරටට රැගෙනවිත් ඇති අතර, ඒවා කොළඹ පිහිටි මධ්‍යම එන්නත් ගබඩාව වෙත රැගෙන ගොස් ඇති බව සඳහන් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *