සේරුවිල මංගල රාජමහා විහාරස්ථානය සම්බන්ධයෙන් පැවති වාරණය ඉවතට – විහාරාධිපතී පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමි

සේරුවිල මංගල රාජමහා විහාරස්ථානය සම්බන්ධයෙන් පැවති වාරණය ඉවතට – විහාරාධිපතී පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමි

*********************************************

සේරුවිල මංගල රාජමහා විහාරස්ථානය සම්බන්ධයෙන් පැවති වාරණය ඉවතට – විහාරාධිපතී පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමි

(27.09.2021 – 08:30 +0530 – lankaleadnews.com)

සේරුවිල මංගල රාජමහා විහාරස්ථානයේ පරිපාලන කටයුතු වලට මැදිහත් නොවන ලෙස ඉල්ලමින් කොළඹ දිසා අධිකරණයේ නඩු අංක 145/2021 DSP දරණ නඩුව මගින් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි සමිඳ්‍රයාණන් වහන්සේ ප්‍රධාන කොට ඇති තවත් විත්තිකරුවන් පිරිසකට පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කර ඇත. විහාරස්ථානයේ බලහත්කාරයෙන් රැඳී සිටින අලුදෙණියේ සුබෝධ භික්ෂුව සහ තවත් පිරිසක් විසින් මෙම නඩුව කොළඹ දිසා අධිකරණයේ ගොනු කර තිබිණි.

අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහා නාහිමිපාණන් වහන්සේට පණවා තිබූ වාරණ නියෝගය ඉවත් කර ඇති බව 2021.09.25 දින කළපළුවාව ගෝතම තපෝවනය දී පැවති අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ විධායක සභාවේ දී කරුණු ඉදිරිපත් කෙරිණි. මේ පිළිබඳව මහජනතාව දැනුවත් කළ යුතු යැයි අප සංඝ සභාවේ අදහස වූයෙන්, එදින විද්‍යුත් නාලිකාවලට මාධ්‍ය නිවේදනය ප්‍රකාශයට පත් කළ අතර අද (27) දින ඒ සම්බන්ධයෙන් පුවත්පත් නිවේදනය මෙසේ ප්‍රකාශයට පත් කරමි.

ඓතිහාසික සේරුවිල මංගල රජමහා විහාරස්ථානය සම්බන්ධයෙන් මෙතෙක් කලක් යමක් ප්‍රකාශ කිරීමට නොහැකි වූයේ මා හට වාරණ නියෝගයක් පනවා තිබූ නිසයි. මේ වන විට එය ඉවත් කර තිබෙනවා. ඓතිහාසික සේරුවිල මංගල රජමහා විහාරය අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායට අයත් ප්‍රධානතම පූජනීය ස්ථානයක්. මෙම ස්ථානය කිසිලෙසකින්වත් අසපුවාසීන්ට ලබාදීමට අප නිකාය සූදානම් නෑ. ගිහියන් පිරිසකට එකතු වී මෙවන් ඓතිහාසික සිද්ධස්ථානයක විහාරාධිපතිවරු පත් කරන්න කිසිදු බලයක් නෑ. මේ රටේ ත්‍රෛනිකායික මහනායක ස්වාමීන් වහන්සේලාට පමණයි විහාරස්ථානයකට විහාරාධිපති ධුරය පත් කිරීමේ බලය තිබෙන්නේ.

පසුගිය කාලයේදී මෙම විහාරස්ථානය සම්බන්ධයෙන් විවිධ වාර්තා මාධ්‍ය තුළින් පළ වුණා. මේ වන විට සේරුවිල මංගල රජමහා විහාරස්ථානය බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින අසපුවාසී භික්ෂු පිරිස ප්‍රචාරයක් ගෙනියනවා සේරුවිල අසපුවේ ප්‍රවේණිගත උරුමයට විරුද්ධව උසාවි ගොස් ඇත්තේ අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකාය සහ පිච්ච මල් පූජාවේ හාමුදුරුවෝ කියලා. මේක අමූලික බොරුවක්. කොළඹ දිසා අධිකරණයේ අංක දරන 145/2021 DSP නඩුව පැවරුවේ අළුදෙනිලුදෙනියේ සුබෝධි භික්ෂුව ඇතුළු පිරිසක්. ඒ නිසා පොදු මහජනතාව දැනගත යුතුයි මේ අසපුවාසීන් කරන ප්‍රෝඩාව.

මේ වනවිට අලුදෙණියේ සුබෝධ භික්ෂුව ඇතුළු කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ අසපුවාසී සේරුවිල මංගල රජමහා විහාරස්ථානය අල්ලාගෙනයි සිටින්නේ. මෙහි මහ මොළකරු කිරිබත්ගොඩ හිමියන්. තිරය පිටුපස සිට මේ සියල්ල මෙහෙය වන්නේ උන්වහන්සේ. මේ රටේ දේශපාලන අධිකාරියේ සිට අහිංසක දායකයා දක්වා සේරුවිල සම්බන්ධයෙන් ප්‍රචාරය කර හරින්නේ ව්‍යාජ තොරතුරු. ඒ නිසා මහජනතාව තේරුම් ගත යුතුයි සේරුවිල පුද බිමේ වර්තමාන විහාරාධිපතීන් වහන්සේ පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමියන් බව. තවදුරටත් අත්තනෝමතික ලෙස නිකාය සම්ප්‍රදායන් උල්ලංඝනය කරමින් හැසිරෙන්න අසපු වාසීන්ට අපි ඉඩ දෙන්නෙ නෑ.

******************************************

සෞඛ්‍ය සේවකයින් පැය පහකට (5) අද (27) සේවයෙන් ඉවත්වෙයි

(27.09.2021 – 07:36 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය සේවක දීමනා කප්පාදුවට එරෙහිව අද (27) පෙරවරු 07:00 සිට පැය 05 ක් සේවයෙන් ඉවත් වන බව සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුව සඳහන් කළා.

එසේම ඉන් අනතුරුව විරෝධතා ව්‍යාපාරයක් ද සිදුකිරීමට නියමිත බවයි එම එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේ.

******************************************

සැමියාගේ වෙඩි පහරින් බිරිඳ අවසන් ගමන් යයි

(27.09.2021 – 07:20 +0530 – hirunews.lk/sinhala)

සැමියා විසින් වෙඩි තබා සිය 35 හැවිරිදි බිරිඳ ඝාතනය කළ පුවතක් ඇඹිලිපිටිය, කරදමණ්ඩිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඊයේ (26) උදෑසන කාලයේ මෙම අපරාධය සිදුව ඇති අතර දෙදෙනා (2) අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් සැමියා විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ අදාල කාන්තාව ඇඹිලිපිටිය රෝහල වෙත ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතනය සිදුකළ සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනය සඳහා යොදාගත් මෙරට නිෂ්පාදිත ගිනි අවිය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු අද (27) දිනයේ දී ඇඹිලිපිටිය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ ෴

******************************************

කිරිපිටි, තිරිඟුපිටි, ගෑස් සහ සිමෙන්ති මිල වැඩි කිරීම ගැන තීරණය අද (27)

(27.09.2021 – 07:53 +0530 – hirunews.lk/sinhala)

කිරිපිටි, තිරිඟුපිටි, ගෑස් සහ සිමෙන්ති මිල ගැන අද (27) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී බොහෝ දුරට අවසන් තීරණයකට එළඹීමට නියමිතයි.

මීට අදාළව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මිල කමිටුව විසින් සිය යෝජනා පසුගියදා රැස්වූ ජීවන වියදම් කමිටුව වෙත ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 200 කින්, තිරිඟු පිටි කිලෝවක් රුපියල් 10 කින්, සිමෙන්ති කොට්ටයක් රුපියල් 50 කින් ඉහළ දැමීමටයි ඔවුන් යෝජනා කර තිබුණේ.

ගෑස් මිල රුපියල් 550 කින් වැඩි කළ යුතු බවට ද ජිවන වියදම් කමිටුවේදී නිර්දේශ වී තිබුණා.

කෙසේ වෙතත්, මෙම මිල වැඩි වීම සිදුකරන්නේ ද නැද්ද යන්න පිළිබඳව තීරණය කරනු ලබන්නේ අමාත්‍ය මණ්ඩලය විසිනුයි.

ඒ අනුව අද (27) පස්වරු 05 ට අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

අදාළ භාණ්ඩ වල මිල වැඩි කරන්නේ ද නැතිනම් බදු ඉවත් කරන්නේ ද එසේත් නැතිනම් යම් සහන ලබා දෙන්නේ ද යන්න පිළිබඳව මෙම සාකච්ඡාවේදී තීරණය කරනු ඇතැයි සඳහන්.

ජීවන වියදම් කමිටුව යෝජනා කළ මිල ගණන් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුවහොත් කිරිපිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 1145 ක් ලෙසත් කිලෝ ග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1050 ක් ලෙසටත් ඉහළ යනු ඇති ෴

******************************************

ජී.එස්.පී ගැන යුරෝපා සංගම් අධ්‍යයනය හෙට (28) ඇරඹේ

(27.09.2021 – 07:56 +0530 – hirunews.lk/sinhala)

‘ජී.එස්.පී. ප්ලස්’ බදු සහනය යළි ශ්‍රී ලංකාවට ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට යුරෝපා සංගමයේ විශේෂ නියෝජිත පිරිසක් අද (27) දිවයිනට පැමිණීමට නියමිතයි.

විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ, ඔවුන් හෙට (28) සිට ඊට අදාළ කටයුතු ආරම්භ කරනු ඇති බවයි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අදාළ යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායම විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සමඟ ද සාකච්ඡා පවත්වනවා.

අදාළ සාකච්ඡාව ලබන මස පළමු වැනි දා (01) පැවැත්වීමට යි සැලසුම් කර ඇත්තේ.

මේ අතර විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා සහ බ්‍රිතාන්‍යයේ දකුණු ආසියා, එක්සත් ජාතින්ගේ සංවිධානය සහ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය අමාත්‍ය විම්බල්ඩන්හි අහමඩ් සාමිවරයා සමඟ පසුගිය දා නිව්යෝක්හි සාකච්ඡා පවත්වා තිබෙනවා.

විදේශ අමාත්‍යංශය නිවේදනය කළේ එහි දී වෙළදාම, අයෝජනය සහ දේශිය ක්‍රියාවලිය පිළිබඳ ව සාකච්ඡා කර ඇති බවයි ෴

******************************************

විසඳුම් ලැබෙනතුරු සේවයට වාර්තා නො කරන බව ගුරු සංගම් කියයි

(27.09.2021 – 08:01 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසරේ පැවති සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවල ප්‍රායෝගික පරීක්ෂණ ප්‍රතිඵල අන්තර්ගත නො වීම හරහා දරුවන් අසරණ වී ඇති බව රජයේ ගුරුවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම් ශෙහාන් දිසානායක මහතා මහනුවර ඊයේ (26) පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ ගුරු – විදුහල්පති වැටුප් ගැටලුවට විසඳුම් ලබා දෙනතුරු යළි සේවයට වාර්තා නො කරන බවයි.

මේ අතර ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව ගැන මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ අමාත්‍ය අනුකමිටුවේ සාමාජිකයෙකු වූ මහින්ද අමරවීර මහතා, වීරකැටිය ප්‍රදේශයේ දී අදහස් පළ කළා.

ඔහු ප්‍රකාශ කළේ, වැටුප් ගැටලුවට අදාළ විසඳුම් ඉදිරි අයවැයෙන් ලබාදීමට මේ වනවිටත් කටයුතු සූදානම් කර ඇති බවයි.

ඒ හේතුවෙන් පාසල් ඉදිරියේ දී විවෘත කිරීමත් සමඟ ගුරුවරුන් සේවයට වාර්තා කරනු ඇති බවට තමා විශ්වාස කරන බවයි වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ෴

******************************************

‘ඉන්ටර්ස්කූල්’ නම් Whatsapp සමූහය ගැන පැහැදිළි කිරීමක්

(27.09.2021 – 08:22 +0530 – hirunews.lk/sinhala)

බුද්ධි අංශ විසින් රහසිගත තොරතුරු වාර්තා කරන ලේඛන හෝ වාර්තා මෙන්ම තොරතුරු හෙළිදරව් කිරීම රාජ්‍ය රහස් පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් එවැනි තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ හෝ වෙනත් ආකාරයකට පතුරුවාලීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානය මහජනතාව වෙත දැනුම් දෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මේ බව නිවේදනය කළේ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය මඟින් නිකුත් කර ඇති ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය මඟින් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබුණේ ‘අයි.එස්.අයි.එස්.’ සංවිධානයට අයත් ‘ඉන්ටර්ස්කූල්’ නම් අදාළ ‘වට්ස්ඇප්’ සමූහයෙන් ආරාධනයක් ලැබුනහොත් ඊට සම්බන්ධවීමෙන් වළකින ලෙසයි.

එම සමූහයට එක් වුවහොත් ඉන් ඉවත්වීමට නොහැකි බවද අදාළ ලිපියේ සඳහන්ව තිබුණා.

මෙම ලිපිය බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා විසින් ඉදිරිපත් කරන ලද ලිපියක් වූවද, ‘වට්ස්ඇප්’ කණ්ඩායම සම්බන්ධයෙන් සඳහන් කර ඇත්තේ සත්‍යතාවය තහවුරු කරන ලද තොරතුරක් නොවන බව එම නිවේදනයේ දැක්වෙනවා ෴

******************************************

පොලිසියේ දෙදෙනෙකුගේ (2) අත සපා කෑ පුද්ගලයා රිමාන්ඩ්

(27.09.2021 – 09:22 +0530 – hirunews.lk/sinhala)

ගන්දර ප්‍රදේශයේ දී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ (2) අත සපා කා පලා යාමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ලබන මස 05 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව යි.

එසේම තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා (2) තලල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

ඝාතන සිද්ධියක සාක්ෂිකරුවෙකුට මරණ තර්ජන එල්ලවන බවට පසුගිය 25 වැනි දා ලද පැමිණිල්ලකට අනුව අදාළ සාක්ෂිකරුගේ නිවසට පොලිස් ආරක්ෂාව යොදවා තිබුණා.

එලෙස පොලිස් ආරක්ෂාව යොදා තිබිය දී කඩුවක් අතැති ව සැකකරු ගමන් කර ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේ දී පොලිස් නිලධාරීන්ගේ අත සපා කා පලායාමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ ෴

******************************************

දියවන්නා ඔයේ පා වෙමින් තිබූ තෙල් තට්ටුවට හේතුව හෙළිවෙයි

(27.09.2021 – 10:16 +0530 – hirunews.lk/sinhala)

දියවන්නා ඔයේ පසුගිය සතියේ පා වෙමින් තිබූ තෙල් තට්ටුව සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය සිදු කළ විමර්ශනයේ වාර්තාව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත භාර දී තිබෙනවා.

රාජගිරිය – බුත්ගමුව පාලම අසල ප්‍රදේශයේ දියවන්නා ඔයේ පාවෙමින් තිබූ අදාළ තෙල් සහිත ජල සාම්පල ලබාගැනීමෙන් අනතුරුව මධ්‍යම පරිසර අධිකාරිය ඒ පිළිබඳ විමර්ශන සිදුකර ඇති බවයි පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ.

මධ්‍යම පරිසර අධිකාරිය පරිසර අමාත්‍යවරයාට භාරදුන් වාර්තාව මඟින් අනාවරණ කර ඇත්තේ, කාලාන්තරයක් තිස්සේ දියවන්නා ඔයට සම්බන්ධ බුත්ගමුව ප්‍රදේශයේ ඇළ මාර්ගයකට අපද්‍රව්‍ය බැහැර කිරීම සහ එම ඇළෙහි ජලය ගලා නො යෑම හේතුවෙන් ඇල්ගී සහ බැක්ටීරියා වර්ධනය වීමෙන් මෙම තත්වය හටගෙන ඇති බවයි ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

බස්නාහිර සියලු ප්‍රධාන රෝහල්වල දී විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට එන්නත් දීම පෙරවරුවේ සිට

(27.09.2021 – 07:41 +0530 – hirunews.lk/sinhala)

නිදන්ගත රෝගවලින් පෙළන සහ විශේෂ අවශ්‍යතා සහිත අවුරුදු 12 ට වැඩි දරුවන්ට එන්නත් කිරීමේ කටයුතු බස්නාහිර පළාතේ සියලු ප්‍රධාන රෝහල්වල අද (27) ආරම්භ කිරිමට නියමිතයි.

මේ යටතේ බස්නාහිර පළාතේ සියලු‍ම ශික්ෂණ රෝහල්, මහ රෝහල්, දිස්ත්‍රික් රෝහල් සහ මූලික රෝහල් තුළදී අදාළ දරුවන්ට ෆයිසර් එන්නත් ලබා දීම සිදුකරන බව ළමා රෝග විශේෂඥයින්ගේ විද්වත් සංගමය සඳහන් කළා.

මේ අතර, කුඩා ළමයින් අතර කොරෝනා රෝගය ව්‍යාප්තිය පහත වැටී ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

ඔහු කියා සිටියේ මෙලෙස කොරෝනා රෝග ව්‍යාප්තිය පහත වැටුණ ද එහි අතුරු ආබාධ වලින් දරුවන් ආරක්ෂා කර ගැනීම දෙමව්පියන්ගේ වගකීමක් බවයි.

දෛනික ආසාදිතයින් දහසේ (1000) සීමාවට අඩු වේ

(27.09.2021 – 08:06 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා ආසාදිතයින් 1078 දෙනෙකු ඊයේ (26) හමුවීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 5,13,609 ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයින්ගෙන් 04 දෙනෙකු විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින්.

පෙරේදා (25) සිදු වූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ (26) තහවුරු කළ තවත් කොරෝනා මරණ 71 ක් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 12,680 ක් දක්වා ඉහළ ගියා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය අන්වර් හම්දානි මහතා කියා සිටියේ මේ වනවිට සිදු වන කොරෝනා මරණ සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබෙන බවයි.

මේ අතර, ඉදිරි අයවැයේ දි වැඩි ම මුදලක් වෙන් වෙන්නේ සෞඛ්‍ය කේෂ්ත්‍රය වෙනුවෙන් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ මහනුවර ඊයේ (26) පැවැති උත්සවයකදි යි ෴

+++++++++++++++++++

පාසල් සහ පෙර පාසල් වසා දැමීමෙන් කුඩා දරුවන් මුහුණ දෙන ගැටලු

(27.09.2021 – 07:49 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා අවදානම හේතුවෙන් පාසල් හා පෙරපාසල් වසා දැමීම නිසා කුඩා දරුවන් පෞරුෂ වර්ධන ගැටලුවලට මුහුණ දෙන බව වෛද්‍යවරුන් පවසනවා.

මෙම තත්ත්වය අවම කර ගැනීම සඳහා හැකිතාක් දරුවන් ක්‍රියාකාරකම් සඳහා යොමු කර ගත යුතු බවයි මනෝ වෛද්‍ය ඩබ්ලිව්.ඒ.එල්. වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ.

එසේම දෙමාපියන්ගේ රාජකාරි කටයුතු නිවසේ සිදු නො කිරීමටත්, දරුවන් සමඟ හැකිතාක් කාලය ගත කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා ෴

++++++++++++++++++

තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

(27.09.2021 – 08:56 +0530 – hirunews.lk/sinhala)

ෆයිසර් එන්නත් මාත්‍රා 31,590 ක් අද (27) අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

කටාර් ගුවන් සේවයට අයත් යානයකින් අදාළ එන්නත් තොගය මෙරටට රැගෙනවිත් ඇති අතර, ඒවා කොළඹ පිහිටි මධ්‍යම එන්නත් ගබඩාව වෙත රැගෙන ගොස් ඇති බව සඳහන්.

මේ අතර මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළ ව ඊයේ (26) පුද්ගලයින් 34,188 දෙනෙකුට එන්නත් ලබා දී තිබෙනවා.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයින් 15,958 දෙනෙකුට සහ දෙවන (2) මාත්‍රාව 6,700 කට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

එමෙන්ම ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව 619 දෙනෙකුටත්, දෙවන (2) මාත්‍රාව 63 දෙනෙකුටත් ලබා දී තිබෙනවා.

මොඩර්නා එන්නතේ පළමු (1) මාත්‍රාව 2,767 දෙනෙකුටත්, දෙවන (2) මාත්‍රාව 8 දෙනෙකුටත් ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු (1) මාත්‍රාව 27 දෙනෙකුට ලබා දී ඇති අතර, දෙවන (2) මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 4132 ක්.

ස්පුට්නික්-වී එන්නතේ දෙවන (2) මාත්‍රාව පුද්ගලයින් 3,914 දෙනෙකුට ද ලබා දී තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *