ඇමති බන්දුලගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගනී

ඇමති බන්දුලගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගනී

*********************************************

ඇමති බන්දුලගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගනී

(26.09.2021 – 16:10 +0530 – hirunews.lk/sinhala)

සතොස ආයතනයේ සිදුවූ සුදු ලූණු බහාලුම් දෙකක් (2) වෙනත් පාර්ශවයකට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 04 කට අධික කාලයක් ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂවරයෙකු විසින් පසුගියදා සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ සුදු ලූණු සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යවරයා පොලිස්පතිවරයාට සිදුකළ ඉල්ලීමට අනුව මෙම ප්‍රකාශය ලබාගෙන ඇති බවයි.

ඒ අනුව පසුගිය 24 වැනිදා වෙළඳ අමාත්‍යවරයාගෙන් අදාළ ප්‍රකාශය ලබාගෙන තිබෙනවා.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන එහිදී අදාළ නිලධාරීයා විසින් මාධ්‍ය වෙත ලබාදී ඇති සෑම ප්‍රකාශයක් පිළිබඳවම තොරතුරු හා උධෘතයන්ද ඇතුළත් සම්පූර්ණ සාක්ෂි ගොනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා ෴

******************************************

නාවලපිටිය අක්කර සියයක මිරිස් වගාවේ අස්වැන්න නෙලීම ඇරඹේ

(26.09.2021 – 15:17 +0530 – hirunews.lk/sinhala)

නාවලපිටිය – ගලබොඩ වතුයායේ අක්කර සියයක (100) වගා කළ මිරිස් අස්වැන්න නෙලීම අද (26) ආරම්භ වුණා.

ඒ, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා ගේ ප්‍රධානත්වයෙන්.

මෙරට වාර්ෂික මිරිස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 5,000 ක් වනවා.

ඒ අනුව හෙක්ටයාර 3,000 ක මිරිස් වගා කිරීමටයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබුණේ.

නාවලපිටිය ප්‍රදේශයේ මිරිස් වගාව එහි පළමු අදියරයි.

වාර්ෂිකව විදේශ විනිමය විශාල ප්‍රමාණයක් පිටරටට ඇදී යාම වළක්වාලමින් මෙරට මිරිස් අවශ්‍යතාවය ඉදිරි වසර 03 තුළදී සපුරා ගැනීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අරමුණයි ෴

******************************************

අඹේපුස්ස අතුරු මාර්ගයේ වැඩ කඩිනමින් අවසන් කරන්නැයි මහා මාර්ග ඇමතිගෙන් උපදෙස්

(26.09.2021 – 17:13 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ හා අඹේපුස්ස නගර අතර පවතින දැඩි රථ වාහන තද බදය අවම කිරීම සඳහා ඉදි කිරීම් ආරම්භ කල වරකාපොළ අතුරු මාර්ගයේ වැඩ කඩිනමින් අවසන් කරන ලෙස මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

අමාත්‍යංශ ලේකම්වරයාට සහ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා වෙත මෙම උපදෙස් ලබා දී ඇති බවයි මහා මාර්ග අමාත්‍යංශය පැවසුවේ.

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයට සමාන්තරව ඊට දකුණුපසින් ඉදි කරන මෙම වරකාපොළ අතුරු මාර්ගය වෙනුවෙන් ඉඩම් අත්කර ගැනීම මේ වන විට අවසන් බවත් අමාත්‍යංශය සඳහන් කළා.

මෙම අතුරු මාර්ගයේ දිග මීටර 2,350 ක් වන අතර එය මීටර 22.8 ක පළලකින් යුක්තයි.

මෙම මාර්ගයේ ඇති විශේෂත්වය වන්නේ මීටර 550 ක දිගින් යුත් ගුවන් පාලමක් එම මාර්ගය හරහා ඉදි කිරීමයි ෴

******************************************

රාජගිරිය කාන්තා ඝාතනයට ‘ජින්ටි රන්ජි’ අත්අඩංගුවට

(26.09.2021 – 19:53 +0530 – hirunews.lk/sinhala)

වැලිකඩ – රාජගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු පැය 24 ක් යාමටත් පෙර අත්අඩංගුවට ගැනීමට නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් අද (26) සමත් වුණා.

මූලික විමර්ශනවලදී හෙළිවී ඇත්තේ, ඔහු තවත් කාන්තාවක ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද සැකකරුවෙකු වන බවයි.

වැලිකඩ – රාජගිරිය පාරේ නිවසක තනිව ජීවත් වූ 71 හැවිරිදි අවිවාහක කාන්තාවක් ඝාතනයට ලක්ව තිබුණේ ඊයේ (25) අලු‍යම් කාලයේදී.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය හා වැලිකඩ පොලිස් ස්ථානය මෙම ඝාතනය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළා.

ඔවුන් ඝාතනයට ලක්වූ කාන්තාවගේ නිවස පරීක්ෂා කිරීමේදී අනාවරණ වී තිබුණේ මෙම කාන්තාවට ඇයගේ සහෝදරිය ඊට පෙර දින ලබාදී තිබූ රුපියල් 25,000 ක මුදලක්ද මෙම සිද්ධියෙන් පසු අතුරුදන්ව ඇති බවයි.

ඒ අනුව කිසියම් පුද්ගලයෙකු විසින් මුදල් මංකොල්ල කෑම සඳහා මෙම ඝාතනය සිදුකළේද යන්න සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුව තිබුණා.

කාන්තාව ඝාතනයට ලක්වූ නිවස ආශ්‍රිත ප්‍රදේශයේ අද (26) දිනයේත් පොලිස් විමර්ශන ක්‍රියාත්මක වූයේ ඒ අනුවයි.

මේ අතරතුර මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු පිළිබඳ නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට තොරතුරක් ලැබී තිබුණා.

පසුව එම තොරතුරු තහවුරු කර ගනු ලැබූවේ කාන්තාව ඝාතනයට ලක්වූ නිවස අවට ප්‍රදේශයේ සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව සැකකාර පුද්ගලයා රාජගිරිය ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකිවුණා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණේ කඩුවෙල කොරතොට තුන්අඳහේන ප්‍රදේශයේ පදිංචි හේවාවත්තගේ ‘විජිත කුමාර’ හෙවත් ‘ජින්ටි රංජි’ නමැති 53 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබුණේ ඝාතනයට පෙරදින අලු‍යම් කාලයේ කාන්තාවගේ නිවසේ වහළෙයේ උළු ඉවත් කර නිවසට ඇතුළුවී කාන්තාව ඝාතනය කර මුදල් සොරාගෙන පලාගොස් ඇති බවයි.

අත්අඩංගුවට ගැනුණු සැකකරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු වන අතර, අතුරුගිරිය පොලිස් වසමේ 51 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන්ද ඔහුට එරෙහිව හෝමාගම මහාධිකරණයේ නඩුවක් විභාග වන බව විමර්ශන නිලධාරීන් සඳහන් කළා.

******************************************

මිල වැඩි නොකලොත් නිෂ්පාදනයෙන් ඉවත් වන බව සහල් නිෂ්පාදකයින් කියයි

(26.09.2021 – 19:55 +0530 – hirunews.lk/sinhala)

සහල් මිල ඉහළ නොදමන්නේ නම් ඉදිරියේදී නිෂ්පාදනයෙන් ඉවත්වීමට සිදුවන බව ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සුරාජ් ජයවික්‍රම මහතා සමඟින් ලේකම් මුදිත් පෙරේරා මහතා කියා සිටියා.

කෙසේ වෙතත්, සතොස අලෙවිසැල් ජාලය හරහා අඛණ්ඩව සහල් සැපයීමේ ක්‍රියාවලිය සිදුකරන බව එහි සභාපති, රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා ප්‍රකාශ කළා. ඒ, අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර සතොස ආයතනයේ සිදුවූ සුදු ලූණු බහාළුම් දෙකක් (2) වෙනත් පාර්ශවයකට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 04 කට අධික කාලයක් ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂවරයෙකු විසින් පසුගියදා සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ සුදු ලූණු සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යවරයා පොලිස්පතිවරයාට සිදුකළ ඉල්ලීමට අනුව මෙම ප්‍රකාශය ලබාගෙන ඇති බවයි.

ගාල්ල, රත්නපුර, කෑගල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා ෴

***************************************

ප්‍රමාණවත් බලයක් ආණ්ඩුව ඇතුලේ අපට නැහැ වාසු කියයි

(26.09.2021 – 20:33 +0530 – hirunews.lk/sinhala)

අද (26) ‘හාඩ් ටෝක්’ විශේෂාංගය තුළින් සෘජුවම ප්‍රශ්න කෙරෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ගෙන්.

******************************************

බලපත්‍ර නොමැතිව ඩ්‍රෝන කැමරාවක් ගුවන්ගත කළ දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(27.09.2021 – 06:50 +0530 – hirunews.lk/sinhala)

බලපත්‍ර නොමැතිව ඩ්‍රෝන කැමරාවක් ගුවන්ගත කළ පුද්ගලයින් දෙදෙනෙකු (2) ඊයේ (26) මිරිහාන පොලිසිය විසින් කැමරාව ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිරිහාන පොලිස් වසමේ නුගේගොඩ වැලි පාක් උද්‍යානයේදීයි මොවුන් දෙදෙනා (2) අදාළ ඩ්‍රෝන කැමරාව ගුවන්ගත කර ඇත්තේ.

අත්අඩංගුවට ගත් දෙදෙනා (2) මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු (2) වන අතර ඔවුන් 32 සහ 33 යන වයස්වල පසුවන්නන්.

ඔවුන් අද (27) දිනයේ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

තවත් කොරෝනා ආසාදිතයින් 747 ක්

(26.09.2021 – 17:43 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 747 ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,13,278 ක් ලෙසටයි ෴

++++++++++++++++++++

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිත මරණ 71 ක්

(26.09.2021 – 18:03 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිත මරණ 71 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 12,680 ක් ලෙසටයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (25) තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 39 ක් සහ පිරිමින් 32 ක් වනවා.

වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ එක් (1) කාන්තා මරණයක් සිදුව තිබෙනවා.

අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයේ මරණ 14 ක් වාර්තාවී ඇති අතර ඒ කාන්තාවන් 8 ක් සහ පිරිමින් 6 ක් වශයෙන්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ කාන්තාවන් 30 ක් සහ පිරිමින් 26 ක් මෙම මරණ 79 අතර වනවා ෴

++++++++++++++++++++

ශ්‍රී ලංකාවට ආවේණික ඩෙල්ටා අනු ප්‍රභේදය ඇමරිකාව, රුසියාව ඇතුලු රටවල් කිහිපයකටත් පැතිරෙයි

(26.09.2021 – 19:34 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව තුලදී නිර්මාණය වී මෙහිම පරිණාමය වූ ඩෙල්ටා කොරෝනා අනු ප්‍රභේදයක් දැන් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

ඒ එම අනු ප්‍රභේදය නිල වශයෙන් වර්ගීකරණය කිරීමෙන් අනතුරුවයි.

ශ්‍රී ලංකාවේ පැතිර යන 701-S කාණ්ඩයේ මෙම ඩෙල්ටා කොරෝනා අනු ප්‍රභේදය හඳුන්වා ඇත්තේ AY28 ලෙසින්.

එහි සම්පූර්ණ විද්‍යාත්මක හැඳින්වීම වන්නේ B.1.617.2.28 යන්නයි. සාම්පල පරීක්ෂණ මගින් අනාවරණ වී ඇත්තේ විශේෂයෙන් ශ්‍රී ලංකාව තුළ දැන් 95% කට වැඩි ප්‍රතිශතයක් පැතිර ඇත්තේ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය බවයි.

ප්‍රෝටීන විකෘතිතා 3 ක් සහිත මෙම ඩෙල්ටා කොරෝනා අනු ප්‍රභේදය හඳුනාගෙන වාර්තා කරන ලද්දේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය මගින්.

එහි ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, B.1.617.2.28 සුවිශේෂී ඩෙල්ටා කොරෝනා අනු ප්‍රභේදයක් ලෙස දැන් වර්ගීකරණය කර ඇති බවයි.

එය ශ්‍රී ලංකා ඩෙල්ටා කොරෝනා අනු ප්‍රභේදය ලෙසද හැඳින්විය හැකි යැයි ඇය වැඩිදුරටත් සඳහන් කළා.

මෙම ශ්‍රී ලංකාවට ආවේණික ඩෙල්ටා කොරෝනා අනු ප්‍රභේදය තවත් රටවල් කිහිපයකටද පැතිරී තිබෙනවා.

එහි වැඩිම ප්‍රතිශතයක් එනම් සියයට 69 ක් ශ්‍රී ලංකාවේ පවතින අතර, තුර්කියේ සියයට 8 ක් ඉන්දියාවේ සියයට 4 ක් සහ රුසියාවේ සියයට 3 ක් පවතින බවයි කොරෝනා අනු ප්‍රභේද ව්‍යාප්තිය පිළිබඳ විද්‍යාත්මක දත්ත උපුටා දක්වමින් මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කළේ.

ඇමරිකා එක්සත් ජනපදයේද ශ්‍රී ලංකා ඩෙල්ටා කොරෝනා අනු ප්‍රභේදය සියයට 3 ක් දක්නට ලැබෙනවා.

එන්නත්කරණය අනිවාර්ය වෙන ලකුණු

(26.09.2021 – 19:37 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මර්දන එන්නත් ලබා ගැනීම අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් නීති ගෙන ඒමේ අවශ්‍යතාවක් පැන නැගුනහොත් ඒ පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡාකරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

මහනුවර ජාතික රෝහලේ ස්ථාපනය කෙරුණු නව කොරෝනා අධි ප්‍රතිකාර ඒකකය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) විවෘත කෙරුණා.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ කොරෝනා එන්නත් ලබාගත් බවට වන විද්‍යුත් කාඩ්පත නිකුත් කිරීම කෙරෙහිද ඉදිරියේදී සලකා බලන බවයි.

අද (26) දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 747 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඒ සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,13,278 ක් දක්වා ඉහළ ගියා.

මේ අතර, හෙට (27) දිනයේ පෙරවරු හතේ (7) සිට පැය 05 ක් සේවයෙන් ඉවත් වන බව සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුව පවසනවා.

කෙසේ වෙතත්, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කියා සිටියේ තම සංගමයේ සාමාජිකයින් ඊට සහයෝගය පළ නොකරන බවයි.

ඊයේ (25) සිදුවූ කොරෝනා මරණ 71 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළා.

වාර්තා වූ මරණ අතරින් 56 ක්ම අවුරුදු 60 ඉක්මවූවන්.

ඊට අමතර අවුරුදු 30 ත් – 59 ත් අතර පුද්ගලයින් 14 දෙනෙකු සහ අවුරුදු 30 ට අඩු එක් අයෙකුද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නව කොරෝනා මරණ 71 ත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 12,680 ක් ලෙසයි ෴

++++++++++++++++++

තවත් කොරෝනා ආසාදිතයින් 327 ක්

(26.09.2021 – 22:11 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 327 ක් මෙරටින් හමුවී තිබෙනවා.

අද (26) දිනයේ හමු වූ මුළු කොරෝන ආසාදිතයින් ගණන 1074 ක්.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,13,605 ක් ලෙසටයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *