බස්නාහිර ළමයින් එන්නත්කරණය හෙට (27) සිට පුළුල් වෙයි

බස්නාහිර ළමයින් එන්නත්කරණය හෙට සිට පුළුල් වෙයි

*********************************************

බස්නාහිර ළමයින් එන්නත්කරණය හෙට සිට පුළුල් වෙයි

(26.09.2021 – 12:52 +0530 – hirunews.lk/sinhala)

අවුරුදු 12 ට වැඩි දරුවන් එන්නත් කිරීම බස්නාහිර පළාතේ සියලු‍ම ශික්ෂණ රෝහල්, මහ රෝහල්, දිස්ත්‍රික් රෝහල් සහ මූලික රෝහල් තුළදී හෙට (27) සිට සිදුකෙරෙන බව ළමා රෝග විශේෂඥයින්ගේ විද්වත් සංගමය සඳහන් කළා.

ඒ යටතේ එන්නත් ලබා දීම සිදු කරන්නේ නිදන්ගත රෝගවලන් පෙළන සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ටයි.

නිදන්ගත රෝගවලන් පෙළන සහ විශේෂ අවශ්‍යතා සහිත වයස අවුරුදු 12 ට වැඩි දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම අදත් (26) කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී සහ කුරුණෑගල ශික්ෂණ රෝහලේදී සිදුවනවා.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී ළමුන් 150 දෙනෙකුට සහ කුරුණෑගල ශික්ෂණ රෝහලේදී ළමුන් 126 කට මේ යටතේ ෆයිසර් එන්නත් ලබා දී තිබුණා.

කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ගෙවුණු දිනයේදී පළමු (1) සහ දෙවැනි (2) මාත්‍රා වශයෙන් ලබා දුන් එන්නත් මාත්‍රා ගණන 1,48,306 ක්.

ඒ අනුව පුද්ගලයින් 65,431 ක් පළමු (1) මාත්‍රාවත්, පුද්ගලයින් 82,875 ක් දෙවැනි (2) මාත්‍රාවත් ලබා ගෙන තිබෙනවා.

විදෙස් ගතවන්නන් සඳහා ෆයිසර් එන්නත ලබාදීම නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී අද සිදුවනවා.

ශ්‍රී ලංකාවේ පැතිර යන ඩෙල්ටා කොරෝනා අනු ප්‍රභේදය නිල වශයෙන් නම් කර තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය මගින් හඳුනා ගැනුණු 701-S කාණ්ඩයේ මෙම අනු ප්‍රභේදය හඳුන්වා ඇත්තේ AY28 ලෙසින්.

ඩෙල්ටා කොරෝනා ප්‍රභේදයේ විද්‍යාත්මක හැඳින්වීම සමඟ ශ්‍රී ලංකාවේ පැතිර යන ඩෙල්ටා අනු ප්‍රභේදය COVID B.1.617.2.28 Delta Variant ලෙසින් දැන් හැඳින්වෙනවා.

සාම්පල පරීක්ෂණ මගින් අනාවරණ වී ඇත්තේ විශේෂයෙන් ශ්‍රී ලංකාව තුළ දැන් 95% කට වැඩි ප්‍රතිශතයක් පැතිර ඇත්තේ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය බවයි.

කලින් පැවති කොරෝනා ප්‍රභේදවලට වඩා ඉහළ සම්ප්‍රේෂණ හැකියාවක් සහිතව පරිනාමය වූ ඩෙල්ටා ප්‍රභේදය කොරෝනා වයිරස් ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය සහ ප්‍රවණතාවන් කෙටි කාලයක් තුළ වෙනස් කිරීමට සමත් වුණා.

චීනයේ වූහාන් නුවරින් හඳුනා ගැනුණු මුල් කොරෝනා ප්‍රභේදයට සාපේක්ෂව 50% කට වැඩි සම්ප්‍රේෂණ හැකියාවක් සහිත ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ඇල්ෆා ප්‍රභේදයට වඩා 60% කට වැඩි සම්ප්‍රේෂණ හැකියාවක් පෙන්නුම් කරනවා. ඇතැම් විද්‍යාඥයින් එය නව වයිරසයක් ලෙස හැඳින්වීමටද පෙළඹුණා.

මේ අතර, ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය මගින් දකුණු අප්‍රිකාවේ පසුගිය කාලය තුළ ව්‍යාප්තව පැවති බීටා කොරෝනා ප්‍රභේදය මුළුමනින්ම පාහේ තුරන් කර ඇති බව නව අධ්‍යනයකින් අනාවරණ වී තිබෙනවා.

ඉන්දියාවෙන් මුල්වරට හඳුනා ගැනුණු ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය දකුණු අප්‍රිකාවේ 03 වන කොරෝනා රැල්ලටද හේතු වුණා.

ඊයේ (25) දිනයේ කොවිඩ් ආසාදිතයින් 1,159 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,12,531 ක් ලෙසින්.

එසේම ඊයේ (25) දිනයේදී මෙරටින් කොරෝනා මරණ 79 ක් වාර්තා වුණා.

ඒ අනුව මෙරට කොරෝනා මරණ 12,609 ක් දක්වා ඉහළ ගියා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙනවා.

ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (25) කරාපිටිය ශික්ෂණ රෝහලේදී සිදුකළ කොවිඩ් පරීක්ෂාවකදීයි මේ බව තහවුරු වී ඇත්තේ.

මන්ත්‍රීවරයාව වැඩිදුර ප්‍රතිකාර සඳහා හික්කඩුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකර තිබෙනවා.

මේ අතර, කොවිඩ් රෝගීන් නිවෙස්වල රඳවමින් ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදයේදී ජනතාවට සිදුවන අපහසුතා මග හැරවීම සඳහා ඉදිරියේදී වෙබ් අඩවියක් දියත් කරන බව නිවෙස්ගත රෝගී සත්කාරක සේවාවේ වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය ප්‍රකාශ කළා.

මේ අතර සෞඛ්‍ය සේවක දීමනා කප්පාදුවට එරෙහිව හෙට (27) දිනයේ පෙරවරු 07:00 සිට පැය 5 ක් සේවයෙන් ඉවත් වන බව සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුව සඳහන් කළා.

++++++++++++++++

ගැබිනි මව්වරුන්ගේ එන්නත්කරණය ගැන නවතම අධ්‍යයන වාර්තාවක් එළියට

(26.09.2021 – 14:04 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් එන්නත් ලබාගත් ගැබිනි මව්වරුන්ගෙන් දරුවන්ට කොවිඩ් මර්දන ප්‍රතිදේහ සම්ප්‍රේෂණය වීම 100% ක් බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම්.ආර්.එන්.ඒ. (MRNA) ගණයට අයත් කොවිඩ් මර්දන එන්නත් ඊට ඉහළ ඵලදායිතාවක් පෙන්වන බවයි.

ප්‍රසව හා නාරිවේදය සම්බන්ධයෙන් වන අමෙරිකානු සඟරාවක් සිදුකළ නවතම අධ්‍යයනයකින් අනාවරණ වී ඇත්තේ අලුත උපන් බිළිඳුන් කොවිඩ් වයිරසයෙන් ආරක්ෂා කර ගැනීමටනම් ගැබිනි මව්වරුන් කොවිඩ් එන්නත් ලබාගත යුතු බවයි.

MRNA ගණයට අයත් කොවිඩ් මර්දන එන්නත් ලබාගත් කාන්තාවන් 36 දෙනෙක් යොදාගෙන ඔවුන් මෙම අධ්‍යයනය සිදුකර තිබුණා.

එහිදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ අධ්‍යයනයට භාජනය වූ එම කාන්තාවන් සියල්ලන්ගේම බිළිඳන් පූර්ණ වශයෙන් කොවිඩ් වයිරසයට එරෙහි ප්‍රතිදේහ සහිතව උපත ලබාඇති බවයි.

අදාළ ගැබිනි මව්වරුන් සියලුදෙනා සති 8 ත් 12 ත් අතර කාලසීමාවේදී මොඩර්නා හෝ ෆයිසර් මාත්‍රා ද්විත්වයම (2) ලබාගෙන තිබුණා.

එන්නත් මඟින් ශරීරයේ ප්‍රතිදේහ මට්ටම ඉහළ නංවාලීමට වඩා උපතේදීම ඉහළ ප්‍රතිදේහ මට්ටමක් හිමි වීම වයිරසයෙන් ආරක්ෂා වීම තවත් ශක්තිමත් කරන බවයි අධ්‍යයන වාර්තාව පෙන්වා දෙන්නේ.

මේ අතර, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව ඇමතූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉල්ලා සිටියේ කොවිඩ් මර්දන එන්නත් නිෂ්පාදනයේ ප්‍රමුඛ සමාගම් සියල්ලන්ම ඉන්දියාවේ නිෂ්පාදන කටයුතු සිදුකරන ලෙසයි.

මේ අතර, යාවත්කාලීන කළ නව කොවිඩ් මාර්ගෝපදේශ වලට විරෝධය පා නෙදර්ලන්ත ජනතාව වීථි බැස තිබෙනවා.

ඔවුන් මෙලෙස විරෝධතාවන්ගේ නිරතවන්නේ පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයින් පමණක් එරට හෝටල්ල සමාජ ශාලාල අවන්හල් මෙන්ම සිනමා ශාලාවලට ඇතුල්වීම අනිවාර්ය කිරීමත් සමඟයි.

මේ අතර, අලුතින් බිහිවන කොවිඩ්-19 විකෘති ප්‍රභේද මුල් ප්‍රභේදයන්ට වඩා වැඩි වේලාවක් වාතයේ රැඳී පවතින බව අමෙරිකාවේ මේරිලෑන්ඩ් ප්‍රාන්තයේ බොල්ටිමෝර් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පෙන්වා දෙනවා ෴

+++++++++++++++++

තවත් කොරෝනා ආසාදිතයන් 843 ක් සුවය ලබයි

(26.09.2021 – 15:05 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා වයිරස් ආසාදිතයන් 843 ක් සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 4,54,532 ක් ලෙසටයි.

ශ්‍රී ලංකාවේ මේ දක්වා කොරෝනා වෛරස් ආසාදිතයන් 5,12,531 ක් හමුවී ඇති අතර ඉන් 45,390 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

මෙරටින් කොරෝනා මරණ 12,609 ක් ද වාර්තා වුණා ෴

+++++++++++++++++

ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ ඩිජිටල් ගමන් බලපත්‍රය ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා අත්හදා බැලේ

(26.09.2021 – 15:08 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ ‘ට්‍රැවල් පාස්’ යෙදුම අත්හදා බැලීම ලබන 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා දකුණු ආසියානු කලාපයේ ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකන් ගුවන් සේවයද එක්වනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ සිය ගුවන් සේවය ආසියාවේ පාරිභෝගික කේන්ද්‍රීය ගුවන් සේවාවක් බවට පත්වීමේ මූලාරම්භයක් මෙමඟින් සනිටුහන් වන බවයි.

‘අයටා’ සංචාර ගමන් බලපත්‍රයේ වැඩිදියුණු කළ ඩිජිටල් සේවාව මගින් පාරිභෝගිකයින්ට පහසුවක් සැලසෙන අතර, ගුවන් මගීන්ට ඔවුන්ගේ ඡායාරූපය සහ තොරතුරු ඇතුළත් කර ඩිජිටල් හැඳුනුම්පතක්ද සාදාගත හැකියි.

එමඟින් ගුවන් මගීන්ට අදාළ රටවල කොරෝනා පරීක්ෂණ තොරතුරු හා රසායනාගාර සේවා හඳුනාගත හැකි අතර, ඩිජිටල් හැඳුනුම්පත හරහා ඒ සඳහා ලියාපදිංචි වීමටද හැකි වනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා සඳහන් කළේ මෙවැනි කාලෝචිත නවෝත්පාදන මගින් ගුවන් මගීන්ට බාධාවකින් තොර සංචාරක අත්දැකීමක් හිමිකර දෙන බවයි ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය මගින් නිකුත් කර ඇති ලිපියක දක්වා ඇති ‘වට්ස්ඇප්’ සමූහය ව්‍යාජ එකක් බවට අනාවරණය වේ

(26.09.2021 – 13:07 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය මගින් නිකුත් කර ඇති ලිපියක දක්වා ඇති ‘වට්ස්ඇප්’ සමූහය ව්‍යාජ එකක් බවට අනාවරණය කරගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ජාත්‍යන්තර බුද්ධි අංශ සමඟ එක්ව සිදුකළ සොයා බැලීමකදී මෙම තොරතුරු හෙලි වූ බවයි.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය මගින් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබුණේ අයි.එස්.අයි.එස්. සංවිධානයට අයත් ‘ඉන්ටර්ස්කූල්’ නම් අදාළ ‘වට්ස්ඇප්’ සමූහයෙන් ආරාධනයක් ලැබුනහොත් ඊට සම්බන්ධවීමෙන් වළකින ලෙසයි.

එම සමූහයට එක් වුවහොත් ඉන් ඉවත්වීමට නොහැකි බවද අදාළ ලිපියේ සඳහන්ව තිබුණා.

කෙසේ වෙතත්, පොලිස් දෙපාර්තමේන්තුවේ අංශ කිහිපයක් අතර හුවමාරු වූ මෙම ලිපිය අභ්‍යන්තර ලිපියක් වූවද, එය කිසියම් පාර්ශවයක් විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ අදාළ ලිපිය සත්‍ය පිටපතක් වන අතර, එහි සඳහන් ‘වට්ස්ඇප්’ සමූහය මේ වනවිට අක්‍රීය තත්ත්වයේ පවතින බවයි.

******************************************

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා යෝජනා කැඳවේ

(26.09.2021 – 13:10 +0530 – hirunews.lk/sinhala)

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් විදුලිබලය උත්පාදනය කිරීම හා සැපයීම සඳහා සූර්ය බල සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින් යෝජනා කැඳවා තිබෙනවා.

අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් එලෙස යෝජනා කැඳවා ඇත්තේ ඉදිකිරීම් හිමිකාරීත්වය සහ ක්‍රියාත්මක කිරීම යන පදනම මත අදාළ ව්‍යාපෘති සැකසීමටයි.

මෙරට බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය වෙත පරිවර්තනය කිරීම සහ ඒ සඳහා පෞද්ගලික අංශයේ ආයෝජකයින් දිරිමත් කිරීම සඳහා මෙම යෝජනා කැඳවනු ලැබූ බව අදාළ ගැසට් පත්‍රයේ සඳහන්.

සූර්ය, සුළං සහ ජෛව ස්කන්ධ වැනි පුනර්ජනනීය බලශක්ති සම්පත් මගින් විදුලිබල උත්පාදනය හා සංවර්ධනය මෙමඟින් අරමුණු කෙරෙනවා.

දේශීය හා විදේශීය වශයෙන් ආයෝජකයින් වෙතින් යෝජනා කැඳවා ඇති මෙම ව්‍යාපෘතියක අවම විදුලි උත්පාදන ධාරිතාව මෙගාවොට් 50 ට නොඅඩු විය යුතු අතර, නිපදවන විදුලිය ලංකා විදුලිබල මණ්ඩලය වෙත සැපයිය යුතු වනවා ෴

******************************************

පාස්කු ප්‍රහාරය ගැන සාවද්‍ය ප්‍රචාර සමාජගත කිරීමට උත්සාහ කරන බවට චෝදනා

(26.09.2021 – 14:51 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇතැමුන් සාවද්‍ය ප්‍රචාරයන් සමාජගත කිරීමට උත්සාහ කරන බවට පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් පවසනවා.

ඊයේ (25) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළ අතර, අපේ ජනබල පක්ෂයේ මාධ්‍ය ලේකම් ඩෑන් ප්‍රියසාද් මහතා ද තවත් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කළා.

******************************************

මෘදුකාංග ඉංජිනේරුවරියක් වෙන්න සිහින දකින දිරිය දියණිය

(26.09.2021 – 14:57 +0530 – hirunews.lk/sinhala)

ජීවිතයට පැමිණෙන බාධක ද අභියෝගයට ලක් කරමින් අධිෂ්ඨානය සහ කැපවීමෙන් සිය ජීවිතය දිනන්ට වෙහෙසෙන දිරිය තරුණියක් පිළිබඳ තොරතුරු අපට වාර්තා වුණේ කුරුණෑගල වදාකඩ ප්‍රදේශයෙන්.

චන්ද්‍රකාන්ති සහ සිරිල් රාජපක්ෂ මව්පිය යුවළට දාව මෙලොව එළිය දුටු සඳුනි කාවින්ද්‍යා මෙනවිය උපතින්ම ‘අස්ථි වර්ධනය නොවීමේ රෝගයකින්’ පෙළෙන තරුණියක්.

වසර ගණනාවක් තිස්සේ බටහිර සහ ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොමු වූවද එය සුව කළ නොහැකි රෝගයක් බවට වෛද්‍යවරුන් පවසා තිබෙනවා.

එතැන් පටන් සඳුනි මේ දක්වා තම සියළුම දෛනික කටයුතු සිදුකරගන්නේ සිය මව්පියන්ගේ නොමද උපකාර සහ උපස්ථාන මධ්‍යයේයි.

කෙතරම් බාධක පැමිණියත් මෙම තරුණිය සිය අධ්‍යාපනයට එය බාධාවක් කරගත්තේ නැහැ.

වගාකඩ විමලසුරේන්ද්‍ර විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ සඳුනි කාවින්ද්‍යා මෙනවිය පසුගිය වසරේ පැවති අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඒ සාමාර්ථ 1 ක්, බී සාමාර්ථ 4 ක් සහ සී සාමාර්ථ 3 ක් සමඟ ඉහළින්ම සමත් වෙමින්.

කලක් යුද හමුදා සේවයේ නිරත වූ සඳුනිගේ පියා ඉන් ඉවත්ව දෛනිකව අතට මුදලක් ලැබෙන කුලී රැකියාවක නිරත වන්නේ තම දියණියගේ අනාගතය වෙනුවෙන්.

දෑතේ දෙපයේ වීරිය නැතත් හදවතින් ශක්තිමත් සඳුනි කාවින්ද්‍යා මෙනවිය අනාගතයේදී මෘදුකාංග ඉංජිනේරුවරියක් වීමට සිහින දකින්නේ, බාධක යනු ජීවිත ගමනට ඇති තවත් ශක්තිමත් අත්වැලක් බවට මොනවට පසක් කරමින්.

******************************************

වත්මන් රජය වී ගොවියා දුර්වල කර මෝල් හිමියන් ශක්තිමත් කරන ආණ්ඩුවක් නොවේ – රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ

(26.09.2021 – 15:01 +0530 – hirunews.lk/sinhala)

වත්මන් ආණ්ඩුව වී ගොවියා දුර්වල කර මෝල් හිමියන් ශක්තිමත් කරන ආණ්ඩුවක් නොවන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

මේ අතර පාරිභෝගික සේවා අධිකාරිය භාරයට ගත් වී තොගයක් රාජ්‍ය ආයතන හරහා බෙදාහැරීමට පියවර ගෙන තිබෙනවා.

වවුනියාව වෙප්පන්කුලම ප්‍රදේශයේ හා වවුනියාව නගරයේ අනවසරයෙන් ගබඩාකර තිබියදී පාරිභෝගික සේවා අධිකාරිය භාරයට ගත් වී මෙට්‍රික් ටොන් 50 ක් මුලතිව් විවිධ සේවා සමුපකාර සමිතිය වෙත හා වවුනියා වී අලෙවි මණ්ඩලය වෙත පවරාදීම ඊයේ (25) සිදු කෙරුණා.

සෞභාග්‍යා වැඩසටහන් මාලාවේ තෙවන අධියර යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල ඇරඹීම වම්බටුවැව ග්‍රාමයේ මිටි මුරුංගා ආශ්‍රිත නිෂ්පාදන ගම්මානයක් ඇරඹීම රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

මෙයට සමගාමීව තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා කරපිංචා සහ නයි මිරිස් වගා ආශ්‍රිත නිෂ්පාදන ගම්මානයක්ද රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *