හිරු අනාවරණයෙන් පසු හෝටල් නිරෝධායන ගසාකෑමට තිත තැබේ

හිරු අනාවරණයෙන් පසු හෝටල් නිරෝධායන ගසාකෑමට තිත තැබේ

*********************************************

හිරු අනාවරණයෙන් පසු හෝටල් නිරෝධායන ගසාකෑමට තිත තැබේ

(26.09.2021 – 06:48 +0530 – hirunews.lk/sinhala)

හිරු ප්‍රවෘත්ති දින ගණනාවක් තිස්සේ අනාවරණය කළ ගුවන් මගීන් හෝටල් නිරෝධායනයට යොමු කරමින් සිදු කළ මුදල් ගසාකෑමේ මහා ජාවාරමට ඊයේ (25) පස්වරුවේ තිත තැබුණා.

ඒ, ඊයේ (25) දහවල් වන තුරුත් එම කටයුතු සිදුනොවීම පිළිබඳව අප ‘11:55 හිරු මධ්‍යාහ්න ප්‍රවෘත්ති ප්‍රකාශය’ ඔස්සේ නිදා සිටි බලධාරීන්ගේ අවධානයට යළි යොමුකර වීමෙන් පසුවයි.

හිරු අනාවරණයේ ප්‍රතිඵලයක් ලෙස මෙම මහා පරිමාණ ජාවාරම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේද අවධානය යොමුවුණා.

හෝටල් නිරෝධායනයෙන් මුදල් ගසා කෑමට තිත තැබීමට කටුනායක ගුවන් තොටුපලේ නව පී.සී.ආර්. පරීක්ෂණාගාරයක් විවෘත කෙරුණේ හිරු අනාවරණයේ ප්‍රතිඵලයක් ලෙසයි.

ඒ අනුව විදෙස්ගතව සිට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසට හෝටල් නිරෝධායනයෙන් මුදල් ගසා කෑමට ලක් නොවී පීගසීගආර්ග පරීක්ෂණයෙන් පසු ගුවන් තොටුපොළින් බැහැර වීමේ අවස්ථාව හිමිවන බව සංචාරක අමාත්‍යවරයා ඊයේ (25) පැවැත්වූ කොවිඩ් මර්දන විශේෂ කමිටුවටද දැනුම් දුන්නා.

ඒ අනුව එහි වැඩ කටයුතු සොයාබැලීමට ඊයේ (25) පෙරවරුවේ අප කටුනායක ප්‍රදේශයට ළඟා වුණත් එහි දැකගත හැකි වුණේ පාලු ස්වභාවයක්.

ඒ බලධාරීන් පොරොන්දු වූ පරිදි නව පී.සී.ආර්. පරීක්ෂණාගාරයේ කටයුතු සිදු නොවීම නිසාවෙන්.

ඊයේ දිනයේ මෙම මධ්‍යස්ථානයෙන් ගුවන් මගීන්ට පී.සී.ආර් පරීක්ෂණ සිදු කර ගැනීමෙන් පසු පිටව යා හැකි බවට බලධාරීන් දැනුම්දුන් නිසා කුලී රථ රියදුරන්ද ඒ අසළ රැඳී සිටින ආකාරය දැකගත හැකි වුණා.

ඊයේ (25) පෙරවරුවේ සිට දිවයිනට ළඟා වූ ගුවන් යානා 6 කින් පැමිණි මගීන් 123 දෙනෙකුට පමණ පිරිසකට සිදුවුණේ පොරොන්දු ඉටු නොවීම හේතුවෙන් කඩවුණු බලාපොරොත්තු සහිතව හෝටල් නිරෝධායනයට යොමු වීමටයි.

වගකිවයුතු බලධාරීන් මෙරටට පැමිණෙන ගුවන් මගීන්ගේ බලාපොරොත්තු එලෙස කඩකළ ද හිරු අනාවරණය ඊයේ (25) දිනයේ ද අප නොකඩවා ක්‍රියාත්මක කළා.

මේ කඩවුණු පොරොන්දුව පිළිබඳව අප ඊයේ (25) ‘11:55 හිරු මධ්‍යාහ්න ප්‍රවෘත්ති ප්‍රකාශයේ’ දී වාර්තා කළේ නිදාසිටි බලධාරීන්ගේ දෑස් විවර කිරීම සඳහායි.

අපගේ අනාවරණයෙන් වහා අවදි වු බලධාරීන් නව පී.සී.ආර්. පරීක්ෂණාගාරයේ කටයුතු ඊයේ (25) සවස සිට ආරම්භ කළා.

ඒ ජපානයේ නරිටා සිට UL 455 දරණ ගුවන් යානයෙන් මගීන් 25 දෙනෙක් සවස 05:10 ට පමණ මෙරටට පැමිණීමත් සමඟයි.

මෙරට ලක්ෂ සංඛ්‍යාත විදෙස් ශ්‍රමිකයන් ඇතුළු මෙරටට පැමිණෙන ගුවන් මගීන් හෝටල් නිරෝධායන මුදල් ගසා කෑමෙන් බේරාගැනීමට හිරු ප්‍රවෘත්ති හරහා හැකි වීම පිළිබඳව අපට ඇත්තේ නිහතමානී සතුටක්.

මීට ඉහත ද මෙරට වසා ගෙන සිටි මහා පරිමාණ දැවැන්ත ජාවාරම් නොබියව හෙළි කරමින් ඒවාට තිත තැබීමට හිරු ආනාවරණයන්ට හැකිවුයේ ඒවා ජයග්‍රහණයන් මගින් පමණක්ම කෙළවර කරමින්.

ඒ අනුව ගුවන් මගීන් ගසා කෑමේ මගඩිය ද මෙලෙස නිමා කිරීමට අපට හැකි වුණා.

ඊයේ (25) දිනයේ සිට එම සහනය ලැබු ජනතාව ඔවුන්ගේ සතුට හිරු වෙත පළ කළා.

++++++++++++++++++

පෞද්ගලික බස් හිමියන්ගෙන් පොදු ප්‍රවාහනය ගැන වර්ණ සැලැස්මක්

(26.09.2021 – 08:03 +0530 – hirunews.lk/sinhala)

ආසාදිතයින් ගණනය අනුව පළාත් 09 රතු, කහ, කොළ ලෙස කලාපවලට වෙන්කර සිතියමක වර්ණ ගන්වා බස් ධාවනය සිදුකල යුතු ආකාරය පිළිබඳ යෝජනාවක් රජයට ඉදිරිපත් කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එහි සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ රතු වර්ණය ගන්වා ඇති ආසාදිතයින් වැඩි ප්‍රදේශවල බස් රථය තුළ මගීන් සියයට 50 ක් පමණ රැගෙන යා යුතු බවයි.

එමෙන්ම කහ වර්ණය ගැන්වූ ආසාදියින් අඩු පළාත්වල සියයට 75 ක මගී ප්‍රමාණයක්ද ධාවනය කිරීමට මෙම යෝජනාවෙන් දක්වා තිබෙනවා.

එමෙන්ම කොළ වර්ණය ගන්වා ඇති ආසාදිතයින් නොමැති ප්‍රදේශවල සියයට 100 ක මගීන් ප්‍රමාණයක් රැගෙන යා හැකි ලෙස සිය යෝජනා ඉදිරිපත් කර ඇති බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ.

+++++++++++++++++

කොරෝනාවලට හැදූ නව නිපැයුමක නිෂ්පාදනය ඇරඹේ

(26.09.2021 – 08:30 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ඇතුළු ශ්වසන රෝගීන්ගේ ප්‍රාශ්වාස වාතය විෂබීජහරණය කිරීමට හඳුන්වා දුන් පේට්න්ට් බලපත්‍රය හිමි නව නිපැයුම මෙරට රෝහල් පද්ධතිය සඳහා නිෂ්පාදනය කිරීමේ කටයුතු විද්‍යා හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ආරම්භ කර තිබෙනවා.

ඒ අදාළ නව නිපැයුම සඳහා ආයෝජනය කිරීමට පෞද්ගලික ව්‍යාපාරික සමාගම් කැමැත්ත පළ කිරීමත් සමගයි.

ඒ අනුව විදුලි උපාංග, ප්ලාස්ටික්, රබර් සහ මයික්‍රෝ තාක්ෂණය යොදා ගනිමින් මාදිලි 3 ක් යටතේ නිෂ්පාදනය කෙරෙන මෙම විෂබීජනාශක උපකරණ ඉදිරියේදී මෙරට රෝහල්වලට ලබාගත හැකිවනු ඇති.

එම නිෂ්පාදන මිල කර ඇත්තේ රුපියල් 3,000 සිට ලක්ෂය (1,00,000) දක්වා වන මුදලකටයි.

මීට අමතරව තවත් නව නිපැයුම් 03 ක් නිෂ්පාදනය කරමින් වාණිජකරණය සඳහා ආයෝජනය කිරීමට පෞද්ගලික ව්‍යාපාරික සමාගම් මේ වනවිට සිය එකඟතාවය පල කර තිබෙනවා ෴

++++++++++++++++++

මන්ත්‍රී චන්දිම වීරක්කොඩිට කොරෝනා ආසාදනය වෙයි

(26.09.2021 – 08:56 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙනවා.

ඇතිවූ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ඔහු ඊයේ (25) කරාපිටිය ශික්ෂණ රෝහලේදී සිදු කළ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණයෙනුයි මේබව තහවුරු වී ඇත්තේ.

පසුව මන්ත්‍රීවරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා හික්කඩුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකරවීමට පියවර ගෙන තිබෙනවා ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

පුපුරණ ද්‍රව්‍ය සමග නිලාවේලි ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට

(26.09.2021 – 07:16+0530 – hirunews.lk/sinhala)

නීති විරෝධීව ප්‍රවාහනය කරමින් තිබූ පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුවෙකු නිලාවේලි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාව නිලාවේලි පොලිසිය සමග එක්ව සිදුකළ මෙහෙයුමකදීයි සැකකරු අත්අඩංගුවට පත්වී ඇත්තේ.

මෙම සැකකරු ත්‍රී රෝද රථයකින් ‘වෝටර් ජෙල්’ නැමති පුපුරණ කරල් 27 ක් සහ විදුලි නොවන ඩෙටනේටර් 500 ක් ප්‍රවාහනය කරමින් සිට තිබෙනවා.

සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැක කටයුතු ත්‍රී රෝද රථය පරීක්ෂා කිරීමේදීයි මෙම පුපුරන ද්‍රව්‍ය හමුවී ඇත්තේ.

නිලාවේලි ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගත් උපකරණ සමග ඉදිරි නීතිමය කටයුතු සඳහා නිලාවේලි පොලිසියට භාරදී ඇතැයි නාවික හමුදාව සඳහන් කළා ෴

******************************************

අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් ගෙන් ජීවන වියදම් කමිටුවට ඉල්ලීමක්

(26.09.2021 – 08:33 +0530 – hirunews.lk/sinhala)

වරායේ රඳවාගෙන ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කිරීමට අවශ්‍ය ඉදිරි කටයුතු සම්පාදනය කරන ලෙසට ජීවන වියදම් කමිටුවෙන් ඉල්ලීමක් කර ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, පසුගියදා රැස්වූ එම කමිටුවට සිය නියෝජිතයින් 4 දෙනෙකු සහභාගි වූ බවයි.

එහිදී සිය ගැටලු මුදල් අමාත්‍යවරයා වෙත යොමු කළ බවද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත්, මේ වනවිට වරායේ රඳවා ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය වෙත මෙතෙක් කිසිදු ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බව ඊයේ (25) වාර්තා වුණා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් එම අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා කියා සිටියේ අවශ්‍ය බැංකු වෙත ඩොලර් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් ද සකස් කර ඇති බවයි.

ඒ අනුව, කිසියම් ආනයනකරුවෙකුට තම අත්‍යවශ්‍ය භාණ්ඩ වරායෙන් නිදහස් කර ගැනීමේ ගැටළු පවතී නම් ඒ පිළිබඳ දැනුම් දිය යුතු බවයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ.

මේ වනවිටත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් කන්ටේනර් 800 ක් වරාය තුළ සිරව තිබෙනවා.

කෙසේ වෙතත්, වරායේ රඳවා ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කිරීමට වහා කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ ආනයන අපනයන පාලක ජෙනරාල්වරියට නියෝග කර තිබුණා.

ඒ ඩොලර් හිඟයත් සමඟ තම අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කර ගත නොහැකි බවට ආනයනකරුවන්ගේ සංගමය මතු කල කරුණු සැලකිල්ලට ගනිමින්.

******************************************

පහරදීමකින් පුද්ගලයෙකු මරුට

(26.09.2021 – 08:51 +0530 – hirunews.lk/sinhala)

මහියංගණය දෙහිගොල්ල ප්‍රදේශයේදී පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඊයේ (25) රාත්‍රියේ දෙදෙනෙකු (2) අතර පෞද්ගලික ආරවුලක් හේතුවෙන් ඇතිවූ ආරවුලකින් මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී බරපතල තුවාල ලැබූ 30 හැවිරිදි අයෙක් මහියංගණය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.

මරණයට පත්වී ඇත්තේ දෙහිගොල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

ඝාතනයට අදාළ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශණ ක්‍රියාත්මක බවයි පොලිසිය කියාසිටියේ ෴

******************************************

නිවසක් කොල්ලකෑමට පැමිණි දෙදෙනෙකු (2) ගිනි අවියක් සමග අත්අඩංගුවට

(26.09.2021 – 09:38 +0530 – hirunews.lk/sinhala)

විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග කුලියාපිටිය දික්වෙල ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (25) රාත්‍රියේ දික්වෙල ප්‍රදේශයේ නිවසකට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු (2) ගිනි අවියක් පෙන්වා නිවස කොල්ලකෑමට තැත්කර ඇති අතර එහිදී නිවැසියන් විසින් සැකකරුවන්ට පහරදී පොලිසියට භාරදී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී සැකකරුවන් සතුව තිබූ ගිනි අවිය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අවුරුදු 30 සහ 43 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනා (2) දියදොර ප්‍රදේශයේ පදිංචි අය බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙම පුද්ගලයන් සම්බන්ධයෙන් අද (26) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත අතර කුරුණෑගල පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදුකරනවා ෴

******************************************

වාහන ආනයනය ගැන දෙසැම්බරයේ තීරණයක්

(26.09.2021 – 12:48 +0530 – hirunews.lk/sinhala)

නැවතත් වාහන ආනයනයට අවසර ලබාදීම සම්බන්ධයෙන් දෙසැම්බරයේදී තීරණයකට එළැඹෙන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.

යූටියුබ් නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා ඒ පිළිබඳව මෙන්ම වර්තමානයේ මෙරටට බලපා ඇති ආර්ථිකමය ගැටළු කිහිපයක් පිළිබඳව අදහස් පළ කළා.

කිරිපිටි ආනයනය සඳහා ගැටළුවක් ලෙසින් බලපා ඇති රුපියලේ අගය ස්ථාවර කිරීමට පියවර ගැනෙනවා.

එමෙන්ම, ආනයනකරුවන්ද වගකීමකින් යුතුව කටයුතු කළ යුතු බවයි මහ බැංකු අධිපතිවරයා එහිදී කියා සිටියේ.

ඉන්ධන ආනයනයේදී මතු වී ඇති ගැටළු සඳහා මහ බැංකුව ඍජුවම මැදිහත් වන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අවධාරණය කළා.

විදේශ විනිමය රැකගත යුතු මේ අවස්ථාවේ වාහන ආනයනය ගැටළුකාරී වන හෙයින් ඒ පිළිබඳව දෙසැම්බර් මාසයේ තීරණයකට එළැඹෙන බව මහ බැංකු අධිපතිවරයා කියාසිටියා.

මේ අතර, ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය සංවිධාන කළ සම්මන්ත්‍රණයකට එක්වෙමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළේ සංචාරක කර්මාන්තය ප්‍රකෘතිමත් වන තුරු වාහන ආනයනය කිරීම සඳහා ඉඩ සැලසීමට අදහසක් නොමැති බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *