පියා සහ දියණිය රෝහලට යැවූ යතුරුපැදි අනතුර

පියා සහ දියණිය රෝහලට යැවූ යතුරුපැදි අනතුර

*********************************************

පියා සහ දියණිය රෝහලට යැවූ යතුරුපැදි අනතුර

(25.09.2021 – 17:54 +0530 – hirunews.lk/sinhala)

වාද්දුව මොරොන්තුඩුව ප්‍රදේශයේදී යතුරුපැදියක ගමන් ගත් පියෙකු සහ දියණියක අද (25) පෙරවරුවේ මෝටර් රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා තිබෙනවා.

වෛද්‍යවරියකට අයත් මෝටර් රථයක ගැටීමෙන් ඔවුන් අනතුරට ලක්වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ පියා සහ දියණිය පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කරන වෛද්‍යවරියකගේ මෝටර් රථයේ මෙම පියා සහ දියණිය ගැටී ඇති අතර රථය ධාවනය කළ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

******************************************

මෙරට අපනයන ස්ථාවර වෙයි

(25.09.2021 – 15:58 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුල ශ්‍රී ලංකාවේ අපනයන ඇමෙරිකානු ඩොලර් බිලියන 7.88 දක්වා සියයට 22.3 කින් වර්ධනය වී තිබෙනවා.

ඒ අගෝස්තුවේදී අඛන්ඩ 3 වන මාසයටත් අපනයන ආදායම ඩොලර් බිලියනය ඉක්මවමින්. විශේෂයෙන් ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුල සේවා අංශයේ අපනයන ආදායම ඩොලර් බිලියන 2.18 දක්වා සියයට 33 කින් වර්ධනය වීම කැපී පෙනෙනවා.

මෙම වර්ධන ප්‍රවණතාව අනුව, වසර තුලදී ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක අපනයන ආදායම් ඉලක්කය ළගා කර ගැනීමට හැකිවනු ඇති බවයි අපනයන සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙන්නේ ෴

******************************************

මිලියන 27 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 91 ක් පොලිස් භාරයට

(25.09.2021 – 16:46 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 27 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් මන්නාරම – වලෙයිපාඩු මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාවේ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ජාවාරම්කරුවන් විසින් වලෙයිපාඩු වෙරළ තීරයේ කේරළ ගංජා කිලෝ 91 ක් අත්හැර දමා ගොස් තිබියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.

එමෙන්ම සැකකරුවන් වෙරළ තීරයට පැමිණෙමින් තිබූ යාත්‍රා දෙකක් (2) ද අතහැර දමා ගොස් තිබියදී නාවික හමුදා භාරයට ගෙන ඇති අතර එම යාත්‍රාව තුලද ගංජා පාර්සල් 2 ක් නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

******************************************

බංග්ලාදේශ මහකොමසාරිස්, මහබැංකු අධිපති හමුවෙයි

(25.09.2021 – 16:54 +0530 – hirunews.lk/sinhala)

බංග්ලාදේශ අපනයන සඳහා කොළඹ වරාය උපයෝගි කර ගැනීම සම්බන්ධයෙන් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස් අරිෆුල් ඉස්ලාම් සාකච්ඡා කර තිබෙනවා.

ඒ ඊයේ (24) මහබැංකුවේ පැවති හමුවකදීයි.

දෙරට අතර ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීම පිලිබඳව එහිදී වැඩි අවධානයක් යොමුවුණා ෴

******************************************

එල්.එන්.ජී. ගිවිසුම අත්සන් කළ බව මුදල් අමාත්‍යාංශය පිලිගනී – වසර 15 කින් හිමිකාරිත්වය විදුලිබල මණ්ඩලයට

(25.09.2021 – 19:01 +0530 – hirunews.lk/sinhala)

කෙරවලපිටිය එල්.එන්.ජී. හෙවත් ද්‍රව ස්වභාවික වායු බලාගාර සංකීර්ණය සංවර්ධනය කිරීම සඳහා ලක් රජය සහ අමෙරිකා එක්සත් ජනපදයේ ‘නිව් ෆෝට්‍රස් එනර්ජි’ සමාගම අතර ගිවිසුමට අත්සන් තැබූ බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා සනාථ කළා.

එය කොටස් හුවමාරු ගිවිසුමක් වන අතර, තාක්ෂණික සහ මූල්‍ය ගිවිසුම් මසක් ඇතුළත සකසා අවසන් කරන බවයි ඔහු සඳහන් කළේ.

කෙරවලපිටිය ‘යුගදනවි’ එල්.එන්.ජී. බලාගාරයේ 40% ක කොටස් අමෙරිකානු ‘නිව් ෆෝට්‍රස් එනර්ජි’ සමාගම ලබාගන්නේ අමෙරිකානු ඩොලර් මිලියන 250 ක මුදලකටයි.

එමෙන්ම, එහි ගෑස් සැපයුම් නල පද්ධතිය සඳහා අවම ලංසුව ඉදිරිපත් කර තිබුණේද එම සමාගම මගින් බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා තවදුරටත් කියා සිටියා.

චීන සමාගමක් මගින් එහි ගෑස් ප්‍රවාහනය සඳහා ඝණ අඩියකට ඩොලර් 03 යි ශත 10 ක මුදලක් ඉල්ලා තිබූ අතර, ‘නිව් ෆෝට්‍රස් එනර්ජි’ සමාගම ඉදිරිපත් කර තිබූ ලංසුව වූයේ ඩොලර් 01 යි ශත 40 ක්.

කෙරවලපිටිය එල්.එන්.ජී. බලාගාර සංකීර්ණයේ ගෑස් සැපයුම් සිදුකිරීමද පැවරෙන්නේ එම සමාගමටයි.

අමෙරිකානු ‘නිව් ෆෝට්‍රස් එනර්ජි’ සමාගම කෙරවලපිටිය ‘යුගදනවි’ බලාගාරයේ 40% ක කොටස් අත්පත් කර ගැනීම සහ ගෑස් නල පද්ධතිය සැකසීමට අමතරව එහි මෙගාවොට් 350 ක ධාරිතාවකින් යුත් නව එල්.එන්.ජී. බලාගාරයක්ද ඉදිකිරීමට නියමිතයි.

එහි මෙහෙයුම් කටයුතු 2023 වසර වනවිට ආරම්භ කෙරෙනු ඇති.

බලාගාර සංකීර්ණයේ ධාරිතාව මෙගාවොට් දහස (1000) දක්වා ඉහළ නැංවීමටද සැලසුම් කෙරෙනවා.

මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා සඳහන් කළේ කෙරවලපිටිය එල්.එන්.ජී. බලාගාර සංකීර්ණය වසර 15 ක් තුළ ලංකා විදුලිබල මණ්ඩලය වෙත පැවරෙන බවයි.

ආනයනකරුවන්ට ඩොලර් දෙන්න, මහා භාණ්ඩාගාරය සූදානම්

(25.09.2021 – 19:04 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට වරායේ රඳවා ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය වෙත මෙතෙක් කිසිදු ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් එම අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා කියා සිටියේ අවශ්‍ය බැංකු වෙත ඩොලර් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් ද සකස් කර ඇති බවයි.

ඒ අනුව, කිසියම් ආනයනකරුවෙකුට තම අත්‍යවශ්‍ය භාණ්ඩ වරායෙන් නිදහස් කර ගැනීමේදී ගැටලු පවතී නම් ඒ පිළිබඳ දැනුම් දිය යුතු බවයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ.

වරායේ රඳවා ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කිරීමට වහා කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ ආනයන අපනයන පාලක ජෙනරාල්වරියට නියෝග කර තිබුණා.

ඒ ඩොලර් හිඟයත් සමඟ තම අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කර ගත නොහැකි බවට ආනයනකරුවන්ගේ සංගමය මතු කල කරුණු සැලකිල්ලට ගනිමින්.

මේ අතර, ආනයනික කිරිපිටි මිල රුපියල් 200 කින් වැඩි කළද, තමන්ට කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවකින් තවදුරටත් රුපියල් 150 ක පමණ පාඩුවක් සිදුවන බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජිකයෙකු වන ලක්ෂ්මන් වීරසුරිය මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම, වාණිජ බැංකුවලින් ඩොලර් මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බව ද ඔහු සඳහන් කළා.

ආනයනික කිරිපිටි හිඟයක් මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසක පවතිනවා.

එවන් පසුබිමක් යටතේ වෙළඳපොලට නිකුත් කෙරෙන දේශීය කිරිපිටි සීමා සහිත වීම හේතුවෙන් එම අලෙවිසැල් අසල ද දක්නට ලැබෙන්නේ දිගු පෝලිම් ෴

******************************************

‘මැණිකේ මගේ හිතේ’ ගීතය ලොව පුරා

(25.09.2021 – 19:07 +0530 – hirunews.lk/sinhala)

යූ ටියුබ් සමාජ මාධ්‍ය නාලිකාවේ මිලියන 124 වාරයක් නැරඹූ ශ්‍රී ලාංකික යොවුන් ගායිකා යොහානිගේ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ලොව පුරා සංගීත රසකාමීන්ගේ මෙන්ම සංගීතවේදීන්ගේද අවධානය දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

යුක්රේන – ඇමරිකානු ‘කැරොලිනා පොටෙෂෙන්කෝ’, කැලිෆෝනියාවේ වීථියක ‘මැණිකේ මගේ හිතේ’ ගීතය වයලීන අනුවාදනයක් ඉදිරිපත් කළ පසු දැන් එය පිවිස ඇත්තේ ඉතාලියේ වීථි වලටයි.

ඉතාලියේ නේපල්ස් නුවර සුප්‍රකට සැක්සෆෝන වාදකයෙකු වන ‘ඩැනියෙල් විටාලේ’ මෙලෙස ‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ අනුවාදනයක් ඉදිරිපත් කළේ විශේෂ හැකියාවන් සහිත අයෙකුගේ රංගනයක්ද සමගින්.

‘ඩැනියෙල් විටාලේ’ ගේ මෙම සොඳුරු සැක්සෆෝන අනුවාදනය දැනටමත් එය යූ-ටියුබ් නාලිකාවේ දහස් සංඛ්‍යාත නැරඹුම්වාර සටහන්කර අවසන්.

+ https://www.youtube.com/watch?v=PgCliOxl41o

******************************************

දඟකාර පුංචි නැට්ටුවන් පිරිවරාගත් ප්‍රාසාංගික නර්තනයේ රියැලිටි ටෙලිවිෂන් සන්නාමය, ‘හිරු සුපර් ඩාන්සර්’ සීසන් 03 කිරුළ, රඹුක්කන ධනුජ ඉන්දීවරට

(25.09.2021 – 23:19 +0530 – hirunews.lk/sinhala)

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

තවත් කොරෝනා ආසාදිතයන් 782 ක් හඳුනා ගැනේ

(25.09.2021 – 18:09 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 782 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,12,154 ක් ලෙසටයි.

මෙරටින් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 45,856 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 4,53,689 ක් ෴

++++++++++++++++++++++

තවත් කොරෝනා මරණ 79 ක්

(25.09.2021 – 18:06 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිත මරණ 79 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 12,609 ක් ලෙසටයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (24) තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 38 ක් සහ පිරිමින් 41 ක් වනවා.

වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් ඊයේ (24) තහවුරු කළ මරණ අතර නැහැ.

අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයේ මරණ 22 ක් වාර්තාවී ඇති අතර ඒ කාන්තාවන් 12 ක් සහ පිරිමින් 10 ක් වශයෙන්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ කාන්තාවන් 26 ක් සහ පිරිමින් 31 ක් මෙම මරණ 79 අතර වනවා ෴

++++++++++++++++++

හෝටල් නිරෝධායන ජාවාරම අදින් (25) අවසන් – හිරු හෙලිදරව්වෙන් පසු ගුවන්තොටුපලේ කොරෝනා පරීක්ෂණ අද (25) පස්වරුවේ සිට ඇරඹේ

(25.09.2021 – 19:38 +0530 – hirunews.lk/sinhala)

හිරු ප්‍රවෘත්ති දින ගණනාවක් තිස්සේ අනාවරණය කළ, ගුවන් මගීන් හෝටල් නිරෝධායනයට යොමු කරමින් සිදු කළ මුදල් ගසාකෑමේ මහා ජාවාරමට අද (25) පස්වරුවේ තිත තැබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළින් මෙරටට පැමිණෙන ගුවන් මගීන් හෝටල් නිරෝධායනයට යොමුකරමින් සිදුකළ මහා පරිමාණ මුදල් ජාවාරම පිළිබඳ මුල් වරට අප රටට හෙළි කළේ මේ මස 12 වනදායි.

හිරු අනාවරණයේ ප්‍රතිඵලයක් ලෙස මෙම මහා පරිමාණ ජාවාරම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේද අවධානය යොමුවුණා. ඒ අනුව, හෝටල් නිරෝධායනයෙන් මුදල් ගසා කෑමට තිත තැබීමට කටුනායක ගුවන් තොටුපලේ නව පී.සී.ආර්. පරීක්ෂණාගාරයක් විවෘත කළා.

ඒ අනුව, විදෙස්ගතව සිට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසට හෝටල් නිරෝධායනයෙන් මුදල් ගසා කෑමට ලක් නොවී පී.සී.ආර්. පරීක්ෂණයෙන් පසු ගුවන් තොටුපොළින් බැහැර වීමේ අවස්ථාව හිමිවන බව සංචාරක අමාත්‍යවරයා ඊයේ (24) පැවැත්වූ කොවිඩ් මර්දන විශේෂ කමිටුවටද දැනුම් දුන්නා.

කෙසේ වෙතත්, එහි වැඩ කටයුතු සොයාබැලීමට අද (25) පෙරවරුවේ හිරු ප්‍රවෘත්ති කණ්ඩායම කටුනායක ප්‍රදේශයට ළඟා වුණත් එහි දැකගත හැකි වුණේ පාලු‍ ස්වභාවයක්.

ඒ බලධාරීන් පොරොන්දු වූ පරිදි නව පී.සී.ආර්. පරීක්ෂණාගාරයේ කටයුතු සිදු නොකිරීම නිසාවෙන්.

අද (25) දිනයේ මෙම මධ්‍යස්ථානයෙන් ගුවන් මගීන්ට පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර ගැනීමෙන් පසු පිටව යා හැකි බවට බලධාරීන් දැනුම්දුන් නිසා කුලී රථ රියදුරන්ද ඒ අසළ රැඳී සිටින ආකාරය දැකගත හැකි වුණා.

අද (25) පෙරවරුවේ සිට දිවයිනට ළඟා වූ ගුවන් යානා 6 කින් පැමිණි මගීන් 123 දෙනෙකුට පමණ සිදුවුණේ පොරොන්දු ඉටු නොවීම හේතුවෙන් කඩවුණු බලාපොරොත්තු සහිතව හෝටල් නිරෝධායනයට යොමු වීමටයි.

අප මේ සම්බන්ධයෙන් අද (25) දිනයේදි යළි යළිත් සොයා බැලිමත් සමඟ නව පී.සී.ආර්. පරීක්ෂණාගාරයේ කටයුතු අද (25) සවස සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම් කෙරුණා.

ඒ අනුව අද (25) පස්වරු 06:30 ට පමණ චීනයේ ෂැංහයි සිට පැමිණෙන එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 652 දරණ යානයෙන් එන මගීන් සඳහා පී.සී.ආර්. පරික්ෂණ පහසුකම් සිදු කිරිමට නියමිත බවයි වාර්තා වුණේ.

ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයන් ඇතුළු මෙරටට පැමිණෙන ගුවන් මගීන් හෝටල් නිරෝධායනයට යොමුකර මුදල් ගසා කෑමෙන් මුදා ගැනීමට හිරු ප්‍රවෘත්ති හරහා හැකි වීම පිළිබඳව අපට ඇත්තේ නිහතමානී සතුටක්.

මීට ඉහත ද මෙරට වසා ගෙන සිටි මහා පරිමාණ දැවැන්ත ජාවාරම් නොබියව හෙළි කරමින් ඒවාට තිත තැබීමට හිරු ආනාවරණයන්ට හැකිවුයේ ඒවා ජයග්‍රහණයන් මගින් පමණක්ම කෙළවර කරමින්.

++++++++++++++++

ඔක්තෝබර් පළමු වැනිදා (01) රට විවෘත කිරීමේ සූදානමක් ?

(25.09.2021 – 19:43 +0530 – hirunews.lk/sinhala)

සීමාවන්ට යටත්ව ඔක්තෝබර් පළමු වැනිදා (01) රට විවෘත කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළා.

මේ අතර, විශ්වවිද්‍යාල පරිපාලනයෙන් කළ දැනුම්දීමක් මත මොඩර්නා එන්නත ලබා ගැනීමට නාරාහේන්පිට යුද හමුදා රෝහලට පැමිණ සිටි විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් එන්නත් ලබා නොදීම හේතුවෙන් අපහසුතාවට පත්වුණා.

නාරාහේන්පිට යුද හමුදා රෝහලේ එන්නත් කරන මධ්‍යස්ථානයෙන් මොඩර්නා එන්නත ලබා ගැනීම සඳහා විශ්වවිද්‍යාල කිහිපයක සිසුන් විශාල පිරිසක් අද (25) පෙරවරුවේ පැමිණියා.

කෙසේ වෙතත් එම සිසුන්ට එහිදී දැනුම් දී තිබුණේ අද (25) දිනයේ මොඩර්නා එන්නත ලබා නොදෙන බවයි.

කැලණිය විශ්ව විද්‍යාලය එහි සිසුන්ට දැනුම් දී තිබුණේ අද (25) සහ හෙට (26) යන දෙදින තුළ පෙරවරු 08:00 සිට පස්වරු 04:00 දක්වා නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී මොඩර්නා එන්නත ලබා ගත හැකි බවයි.

ඊට අමතරව කෙටි පණිවුඩයක් මගින්ද විශ්ව විද්‍යාල සිසුන්ට එන්නත් ලබා ගැනීම සඳහා යොමුවන ලෙස දැනුම් දී තිබෙනවා.

මේ අතර, අද (25) දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් හත්සිය අසූ දෙදෙනෙකු (782) වාර්තා වුණා.

ඒ සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,12,154 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ (24) සිදුවූ කොරෝනා ආසාදිත පුද්ගල මරණ 79 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (25) තහවුරු කළා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 12,609 ක්.

මේ අතර සීමාවන්ට යටත්ව ඔක්තෝබර් පළමු වැනිදා (01) රට විවෘත කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නිරීක්ෂණයකට එක්වෙමින් සඳහන් කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *