නිරිත දිග මෝසම සක්‍රීයයි – පළාත් කිහිපයකට තද වැසි

නිරිත දිග මෝසම සක්‍රීයයි – පළාත් කිහිපයකට තද වැසි

*********************************************

නිරිත දිග මෝසම සක්‍රීයයි – පළාත් කිහිපයකට තද වැසි

(25.09.2021 – 06:13 +0530 – hirunews.lk/sinhala)

නිරිත දිග මෝසම තත්ත්වය සක්‍රියවීම හේතුවෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේ දී විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ.

නැගෙනහිර සහ ඌව පළාත්වල අද (25) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් (40-50) දක්වා වැඩි විය හැකි බව දැනුම් දෙනවා.

******************************************

ත්‍රිරෝද රථයකට ගිනි ඇවිලී පුද්ගලයෙක් ජීවිතය හැර යයි

(25.09.2021 – 06:30 +0530 – hirunews.lk/sinhala)

මහව පොලිස් වසමේ ගල්ලෑව, කොන්වැව ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයකට ගිනි ඇවිලීමෙන් එහි සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙලෙස ජීවිතක්ෂයට පත් ඇත්තේ කොන්වැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 73 ක අයෙක් බවයි.

ඊයේ (24) පස්වරුවේ මෙම සිදුවීම සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා ෴

******************************************

නාරම්මල සහ කළුබෝවිල ප්‍රදේශවල මනුෂ්‍ය ඝාතන දෙකක් (2)

(25.09.2021 – 06:54 +0530 – hirunews.lk/sinhala)

නාරම්මල, දම්පැලැස්ස ප්‍රදේශයේ දී පොල්ලකින් පහර දී පුද්ගලයෙකු (1) ඝාතනය කර ඇති බව වාර්තා වනවා.

ඊයේ (24) පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති අතර දෙදෙනෙකු (2) අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා නාරම්මල රෝහලට ඇතුළත් කිරීමන් අනතුරුවයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ ඊරියගම, දම්පැලැස්ස ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි වියේ පසු වූ අයෙක් වන අතර අපරාධය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද (25) දිනයේ දී කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ දෙදෙනෙකු (2) අතර සිදුවූ ආරවුලක් අතර තුර එක් පුද්ගලයෙකු විසින් සිදුකළ තල්ලු කිරීමක දී අනෙක් පුද්ගලයා බිම ඇද වැටී හිසට බරපතල තුවාල සිදුවීම හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (24) දින මෙම සිදුවීම සිදුව ඇති අතර 45 හැවිරිදි පුද්ගලයෙකුයි මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

සිද්ධියට සම්බන්ධ අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද (25) දිනයේ දී නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා ෴

******************************************

දරුවන්ට උගන්වන්නැයි රදගුරු සම්මේලනයෙන් ගුරු විදුහල්පතිවරුන් වෙත ඉල්ලීමක්

(25.09.2021 – 08:01 +0530 – hirunews.lk/sinhala)

පාසල් දරුවන් තමන්ගේ අවධානයෙන් සහ ආශිර්වාදයෙන් ගිලිහි යාමට ඉඩ නොදෙන මෙන් ශ්‍රී ලංකා කතෝලික රඳගුරු සම්මේලනය ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඒ නිවේදනයක් නිකුත් කරමින්.

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලිම් මුල් කරගනිමින් ගුරු විදුහල්පති ඒකාබද්ධ සන්ධානය ආරම්භ කළ ඔන්ලයින් ඉගැන්වීම් කටයුතු වලින් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට දින 76 ක් ගත වනවා.

කොළඹ ඊයේ (24) පැවැති මාධය හමුවකදී අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ගෙන් මාධ්‍යවේදින් මේ පිළිබඳව විමසා සිටියා ෴

******************************************

මිනිපේ – මොරයායේ ගම්වැසියන්ට වන අලි තර්ජන

(25.09.2021 – 08:00 +0530 – hirunews.lk/sinhala)

මහියංගනය – මිනිපේ – මොරයාය ප්‍රදේශයට කඩා වැදුණු වන අලි රංචුවක් එක් රාත්‍රියක් තුළ ප්‍රදේශයේ නිවාස 8 ක් බිඳ දමා අලාභ හානි සිදු කර තිබෙනවා.

ගම්වාසීන් හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ රන්දෙණිගල රක්ෂිතයේ රැඳී සිටින වන අලි සහ මහවැලි ගංඟාව ආශ්‍රිත ව රැඳී සිටින වන අලින් එලෙස ගම් වදින බවයි.

ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය කර ගනිමින් දිවි ගෙවන මෙම ජනතාවගේ වගාවන් මෙන්ම නෙලා ගත් අස්වනු ද වන අලි විනාශ කිරීම හේතුවෙන් ඔවුන් දැඩි අසීරුතාවට පත් ව සිටිනවා.

හිරු ප්‍රවෘත්ති සමඟ අදහස් දක්වමින් ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ප්‍රදේශයට විධිමත් අලිවැටක් සකස් කර දී මෙම වන අලි ගම්වැදීමේ ගැටලුව විසඳා දීමට පියවර ගන්නා ලෙසයි ෴

******************************************

මුහුදේ සැඟවුණු ඉතිහාසය බලන්න අලුත් ව්‍යාපෘතියක්

(25.09.2021 – 08:06 +0530 – hirunews.lk/sinhala)

රිටිගල ප්‍රදේශය ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීම සඳහා සංවර්ධනය කිරීමේ මූලික කටයුතු ආරම්භ කර ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් ගාමිණි රණසිංහ මහතා ඊයේ (24) රජයේ ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ, ඊට අදාල ලේඛණ මේ වනවිට සකස් කරමින් සිටින බවයි.

එමෙන්ම සංචාරකයින්ට, මෙරට සයුරු අභ්‍යන්තරයේ සැඟ ව ගිය පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික තොරතුරු දැකබලා ගැනීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව ද ඔහු කියා සිටියා.

ඊට අමතර ව බුදුරුවගල ප්‍රදේශයට පැමිණෙන සංචාරකයන්ට බුදුරුවගල වැවේ බෝට්ටු සහ ඔරු මඟින් ගමන් කරමින් එහි පුරාවිද්‍යාත්මක හා ඵෙතිහාසික සුන්දරත්වය විඳ ගැනීමට හැකියාව පවතින බව ඔහු ප්‍රකාශ කළා ෴

******************************************

පාසල් සහ පෙර පාසල් දරුවන් ප්‍රවාහනයට වෙනම වැඩපිළිවෙලක්

(25.09.2021 – 08:14 +0530 – hirunews.lk/sinhala)

පාසල් විවෘත කිරීමෙන් පසු ප්‍රාථමික අංශයේ සිසුන් සහ පෙර පාසල් දරුවන් ප්‍රවාහනය කිරීම සඳහා විශේෂ ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

මහනුවර ප්‍රදේශයේදී ඊයේ (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ සහයකයන් ලෙස කොන්දොස්තරවරුන් වෙනුවට ගුරුවරුන් සහ පෙර පාසල් පාලිකාවන් යොදා ගනිමින් එම විශේෂ ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

එමෙන්ම, පාසල් දරුවන් ප්‍රවාහනය කරන පෞද්ගලික රථ ලියාපදිංචි කිරීමේ වැඩපිලිවලක්ද ආරම්භ කෙරෙන බව ඔහු ප්‍රකාශ කළා.

මේ අතර, බස් රථ හිමියන්ට සහන පැකේජයක් ලෙස රුපියල් 1,50,000 ක් දක්වා වන වටිනාකමකින් යුත් වවුචර පත් ලබාදීමේ වැඩපිලිවෙල ඊයේ (24) මහනුවර ප්‍රදේශයෙන් ආරම්භ කෙරුණා.

මෙම සහන පැකේජය ලබා දෙන්නේ දීර්ඝ කාලයක් බස් රථ ධාවනය නොවීම හේතුවෙන් බස් හිමියන් මුහුණ දී ඇති ගැටලුකාරී තත්වයන් සැලකිල්ලට ගනිමින්.

ඒ අනුව, බස් රථ සඳහා අවශ්‍ය අමතර කොටස්, ටයර් ආදිය ලබා ගැනීම සඳහාත් බස් රථ අලුත්වැඩියා කිරීම සඳහාත් මෙම වවුචර පත් ලබා දෙන බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ ෴

******************************************

නාරාහේන්පිට ලංකා රෝහලේ බෝම්බ සිද්ධියට තවත් තරුණයෙකු අල්ලයි

(25.09.2021 – 09:12 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 14 වනදා නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ වැසිකිළියක් තුල තිබී ජීව අත් බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධියට අදාලව තවත් සැකකරුවෙකු ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

22 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දී, කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.

මෙහි ප්‍රධාන සැකකරු විසින් සිදුකළ අනාවරණය කිරීමකින් අනතුරුවයි අදාල 22 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මොහු මෙම සිද්ධියට අදාල ප්‍රධාන සැකකරුට බෝම්බය සකස් කිරීම සඳහා උදව් උපකාර කර ඇති බවට සැකකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගැනීමට කටයුතු කර ඇති බවයි ඔහු පැවසුවේ.

******************************************

එක්සත් ජාතින්ගේ බලශක්ති පිළිබඳ රාජ්‍ය නායක සමුළුව ජනපති අමතයි

(25.09.2021 – 09:41 +0530 – hirunews.lk/sinhala)

පෘථිවියේ සෞඛ්‍යය සහතික කිරීමට තිරසර බලශක්ති විසඳුම් ප්‍රවර්ධනය කිරීම අත්‍යාවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ බලශක්තිය පිළිබඳ රාජ්‍ය නායක සංවාදය අමතමින් ජනපති සඳහන් කරනවා.

පෘථිවියේ සෞඛ්‍යය සහතික කිරීම සඳහා හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සහ තිරසර බලශක්ති විසඳුම් ප්‍රවර්ධනය කිරීම අත්‍යාවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහි දී පෙන්වා දුන්නා.

‘සෑම කෙනෙකුට ම දැරිය හැකි විශ්වාසදායක සහ තිරසර බලශක්තීන් ලබා ගැනීමට ඇති හැකියාව සහතික කිරීම’ යන තේමාව යටතේ, එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සැසිවාරයට සමගාමී ව ඊයේ (24) නිව්යෝර්ක් නුවර දී පැවති බලශක්ති සමුළුව අමතමිනු යි ජනපති මේ බව අවධාරණය කළේ.

මානව අවශ්‍යතා සපුරාලන අතරම, පෘථිවියේ සෞඛ්‍ය පවත්වා ගැනීම සඳහා ගෝලීය ප්‍රජාවගේ ඉහළ ම ප්‍රමුඛතාව ද හිමි විය යුතු බව, සංවාදය ඇමතූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වැඩිදුරටත් අවධාරණය කළා.

මිනිසාගේ විවිධ ක්‍රියා හේතුවෙන් පරිසරයට සිදු වෙන හානිය හා ඒ හරහා අනාගතයේ ඇති වෙන අහිතකර තත්ත්වයන්ට සාර්ථක ව මුහුණ දීමට නම්, විධිමත් ක්‍රමවේදයකට බලශක්තිය භාවිත කළ යුතු බව ද ජනපති සමුළුවේ දී සඳහන් කර තිබෙනවා.

වසර 2030 වෙනවිට රටේ බලශක්ති අවශ්‍යතාවෙන් 70% ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීම අරමුණ බවත් පොසිල ඉන්ධනවලින් ක්‍රමානුකූල ව ඉවත් වී කාබනීහරණය ප්‍රවර්ධනය කිරීම සහ වසර 2050 වෙනවිට ශ්‍රී ලංකාව කාබන්වලින් නිදහස් රටක් බවට පත් කිරීමත් ශ්‍රී ලංකා රජයේ අපේක්ෂාව බව ජනපති අවසාන වශයෙන් කියා සිටියා.

******************************************

විදේශ මුදල් ණය සඳහා අයදුම් කිරීමේ කාලසීමාව දිගු කෙරේ

(25.09.2021 – 10:08 +0530 – hirunews.lk/sinhala)

කාලීන විදේශ විනිමය මූල්‍ය පහසුකම් සඳහා අයදුම් කිරීමට ලබා දී තිබූ කාලසීමාව ඔක්තෝම්බර් 05 වැනි දා දක්වා දීර්ඝ කර ඇති බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඒ සඳහා සිදු කර තිබූ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් අදාළ කාලසීමාව දිගු කළ බවයි භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා සඳහන් කළේ.

මෙලෙස විදේශ විනිමය මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා අයදුම් කිරීමේ කාල විරාමය අවසන් වීමට නියමිත ව තිබුණේ පසුගිය 22 වැනි දා යි.

බැංකු, ආයෝජන ආයතන සහ පුද්ගලික ආයෝජකයන්ට අවම වශයෙන් ඩොලර් මිලියන 50 බැගින් වූ මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා මහබැංකුව විසින් මෙලෙස අයදුම් කැඳවා තිබුණා.

අදාළ මූල්‍ය පහසුකම් වසරක කාලයක් සඳහා බලපැවැත්වෙනු ඇති ෴

******************************************

කළුතර බන්ධනාගාරයට පිටතින් විසි කළ තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සලය

(25.09.2021 – 11:29 +0530 – hirunews.lk/sinhala)

කළුතර බන්ධනාගාරයේ බී අංශයට පිටතින් විසි කරන ලද මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමක දී අද (25) සොයා ගැනුණා.

එම පාර්සලයේ තිබී හෙරොයින් ග්‍රෑම් 09 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14 ක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය ඉදිරි විමර්ශන කටයුතු සදහා කළුතර උතුර පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

******************************************

මහේස්ත්‍රාත් නිල නිවස ඉදිරිපිට බීමතින් අශෝබන ව හැසිරුන කොස්තාපල් අත්අඩංගුවට

(25.09.2021 – 11:52 +0530 – hirunews.lk/sinhala)

බලපිටිය මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙක් නිල නිවස ඉදිරිපිට රාජකාරී නිල ඇඳුමෙන් බීමත්ව අශෝබන ලෙස හැසිරීම හේතුවෙන් ඊයේ (24) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අම්බලන්ගොඩ පොලිසිය විසින් අදාල පොලිස් කොස්තාපල්වයා අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අම්බලන්ගොඩ පොලිසියට අනුයුක්ත මෙම කොස්තාපලවරයා ඊයේ (24) සවස 6 සිට අද (25) අලුයම 6 දක්වා මහේස්ත්‍රාත් නිල නිවසේ ආරක්ෂාව සඳහා යොදවා සිට ඇති බවයි වාර්තා වන්නේ.

කොස්තාපල්වරයා රාජකාරී වේලාවේ බීමත්ව මෙලෙස අශෝබන ලෙස හැසිරී ඇති අතර මහේස්ත්‍රාත්වරයා විසින් මේ සම්බන්ධයෙන් පොලිසියට කළ දැනුම් දීමක දී ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු කොස්තාපල්වරයා බලපිටිය රෝහලේ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔහු බීමතින් සිට ඇති බවට තහවුරු වී තිබෙනවා.

සැකකාර කොස්තාපල්වරයා අද (25) බලපිටිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි ෴

******************************************

කොළඹ මහා නගර සභා සීමාව තුළ දේපළ හිමියන්ට දැනුම් දීමක්

(25.09.2021 – 12:19 +0530 – hirunews.lk/sinhala)

කොළඹ මහනගර සභා සීමාව තුළ පිහිටි ලියාපදිංචි නොකළ, පෞද්ගලික දේපළ ලියාපදිංචි කරන ලෙස කොළඹ මහනගර සභාව එම දේපළ හිමිකරුවන්ට දැනුම් දෙනවා.

දේපළ අයිතිය සුරක්ෂිත කරගැනීමට එම දේපළ නගර සභාවේ ලියාපදිංචිය අත්‍යවශ්‍ය බවයි කොළඹ නාගරික කොමසාරිස්, නීතිඥ රෝෂනි දිසානායක සඳහන් කළේ.

නාගරික කොට්ඨාශ වලට අදාළව මේ දක්වා ලියාපදිංචි වී නැති, දේපළ පිළිබඳ තොරතුරු කොළඹ මහනගර සභාවේ, නිල වෙබ් අඩවියට
( www.colombo.mc.gov.lk ) පිවිසීමෙන් ලබාගැනීමට හැකියාවක් තිබෙනවා ෴

******************************************

වනඅලි පලවා හැරීම සඳහා මීමැස්සන් යොදා ගැනීමේ ව්‍යාපෘතියක්

(25.09.2021 – 13:00 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල දිස්ත්‍රික්කය තුළ, වන අලි පලවා හැරීම සඳහා මී මැස්සන් යොදා ගැනීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

අලි ගැටලු සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් ගොවි සංවිධාන නියෝජිතයින් සමඟ ඊයේ (24) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

අලි වැට ඉදිකර ඇති ස්ථානවල කණු මත මීමැසි පෙට්ටි සවි කිරීමට යි මෙහි දී තීරණය කර ඇත්තේ.

මෙහි පළමු පියවර ලෙස බුද්ධං කෝට්ටේ සිට මිණිපේ ඇළ දක්වා ඉදිකර ඇති අලි වැටෙහි මී මැස්සන් යෙදවීමට කටයුතු කරනු ලබනවා.

බදුල්ල දිස්ත්‍රික්කය තුළ, වන අලි ප්‍රහාරවලින් මේ වසරේ ගෙවුණු කාලය තුල දී පුද්ගලයින් 9 දෙනෙකු ජිවිතක්ෂයට පත් ව ඇති අතර සිදු ව ඇති දේපොල හානි සංඛ්‍යාව 200 කට අධිකයි.

එහි දී වන්දි මුදල් ලෙස රුපියල් ලක්ෂ 75 කට අධික මුදලක් ද ගෙවා තිබෙනවා ෴

******************************************

පුංචි ඡන්දය මාස 06 ක් කල් යන ලකුණු – කොමිසමට ප්‍රශ්නයක්

(25.09.2021 – 13:14 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම තවත් මාස 06 කින් කල් යනු ඇති බවට වාර්තා වනවා.

පළාත් පාලන ආයතනවල නිල කාලය තවත් මාස 06 කින් දීර්ඝ කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුවීම ඊට හේතුව බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළේ.

කොරෝනා වසංගතය ඇතුළු කරුණු කිහිපයක් මත පදනම් කර ගෙන මෙලෙස පළාත් පාලන ආයතනවල නිල කාලය දීර්ඝ කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇති බව ද වාර්තා වුණා.

මීට අදාළව මේ වනවිට විවිධ සාකච්ඡා සිදුවෙමින් පවතින බවයි ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණ කළේ.

පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන වසරේ (2022) පෙබරවාරි 10 වනදා අවසන් වීමට නියමිතයි.

නියමිත පරිදි පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ නම් නොවැම්බර් මාසයේදී මැතිවරණ කොමිසම විසින් එය ප්‍රකාශයට පත් කළ යුතු වනවා.

කෙසේ වෙතත්, පළාත් පාලන ආයතනවල නිල කාලය මාස 06 කින් කල් දැමීම සඳහා විෂය භාර අමාත්‍යවරයාට බලය පවතින අතර එසේ වුවහොත් පළාත් පාලන මැතිවරණය ද මාස 06 කින් කල් යනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණ කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *