කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්ති මිල ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුවේ අනුමැතිය

කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්ති මිල ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුවේ අනුමැතිය

*********************************************

කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්ති මිල ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුවේ අනුමැතිය

(24.09.2021 – 18:40 +0530 – hirunews.lk/sinhala)

කිරිපිටි, තිරිඟුපිටි, සිමෙන්ති සහ ගෑස් මිල ඉහළ නැංවීමට ජීවන වියදම් කමිටුව අද (24) අනුමැතිය ලබාදී ඇති බව ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, එය ක්‍රියාත්මක වන්නේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත්වයි.

එමෙන්ම, සහල් මිල සහ ළඳරු කිරිපිටි මිල ඉහළ නොදැමීමට ජිවන වියදම් කමිටුව තීරණය කර තිබෙනවා.

කමිටුව නිර්දේශ කර ඇත්තේ ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 200 කින්, තිරිඟු පිටි කිලෝවක් රුපියල් 10 කින්, සිමෙන්ති කොට්ටයක් රුපියල් 50 කින් ඉහළ දැමීමටයි.

ගෑස් මිල රුපියල් 550 කින් වැඩි කළ යුතු බවට ජිවන වියදම් කමිටුවේදී නිර්දේශ වී තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම මිල වැඩි වීම සිදුකරන්නේ ද නැද්ද යන්න පිළිබඳව තීරණය කරනු ලබන්නේ ලබන සඳුදා (27) රැස්වන අමාත්‍ය මණ්ඩලය විසින්.

බදු සහන ලබාදීමට ඇති හැකියාව පිළිබඳව අමාත්‍ය මණ්ඩලය විමසා බලනු ඇති බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළා.

ජිවන වියදම් කමිටුව අද (24) අනුමත කළ මිල ගණන් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුවහොත් කිරිපිටි කිලෝ ග්‍රෑමයක නව මිල රුපියල් 1145 ක් වනවා.

කිලෝ ග්‍රෑම් 50 ක සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1050 ක් පමණ වනු ඇති.

කෙසේ වෙතත්, රුපියල් 200 ක මිල වැඩිවීමක් යටතේ වෙළඳපොලට කිරිපිටි සාමාන්‍ය සැපයුමක් සිදුකළ නොහැකි බව ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා සඳහන් කළේ රුපියල අවප්‍රමාණය වීමේ ප්‍රතිශතය අනුව රුපියල් 350 ක වත් මිල වැඩිවීමක් අවශ්‍ය බවයි.

මේ අතර, වරාය තුල රඳවා ඇති අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහාම නිදහස් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආනයන අපනයන පාලක ජෙනරාල්වරියට සහ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අද (24) පැවති ජිවන වියදම් කමිටු රැස්වීමේදී නියෝග කර තිබෙනවා.

එසේ නිදහස් කරන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කඩිනමින් සතොස හා අත්‍යාවශ්‍ය ආහාර ආනයනකරුවන් හරහා ජනතාවට බෙදා හැරීමට කටයුතු කරන ලෙස එහිදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, වෙළඳ අමාත්‍යවරයාට දැනුම් දුන්නා.

මේ අතර ඉන්ධන මිලදී ගැනීම ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණය පහසුකමක් ලබා ගැනිමට ශ්‍රී ලංකාව ඉන්දීය රජය සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

මෙරටට බොරතෙල් ආනයන සිදු කරනු ලබන්නේ මැදපෙරදිගින් වන අතර පිරිපහදු තෙල් ආනයනය කරනු ලබන්නේ සිංගප්පුරුවෙන්.

ගෝලීය වසංගතයත් සමඟ උද්ගත වි ඇති තත්ත්වය හමුවේ ලංකා ඛනිජ තෙල් නිතීගත සංස්ථාවට ණය මුදලක් ලබා ගැනිම සඳහා රජය පැතිකඩ කිහිපයක් ඔස්සේ සාකච්ඡා කිරිමෙන් අනතුරුවයි ඉන්දිය රජය මගින් මෙම ණය මුදල ගැනිමට තිරණය කර සාකච්ඡා සිදු කරනු ලබන්නේ.

මේ වනවිට ලංකා ඛනිජ තෙල් නිතීගත සංස්ථාව රජයේ බැංකු දෙකකට ඩොලර් බිලියන 3.3 ක් ණය මුදලක් ද ගෙවීමට තිබෙනවා.

මේ අතර තෙල් මිලදී ගැනීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහය ලබා දෙන ලෙසට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් එරට ර්මාන්ත හා උසස් තාක්‍ෂණ අමාත්‍ය ආචාර්ය සුල්තාන් අල් ජාබර්ගෙන් ද ඉල්ලා සිටීයා.

ඒ, එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවැති සාකච්ඡාවකදියි.

******************************************

‘සන්ෂයින් සුද්දා’ ගේ ඝාතනයට අත්අඩංගුවට ගත් ‘මිදිගම ලසා’ රිමාන්ඩ්

(24.09.2021 – 20:50 +0530 – hirunews.lk/sinhala)

‘සන්ෂයින් සුද්දා’ ගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන පසුගියදා අත්අඩංගුවට ගත් ‘ලසන්ත වික්‍රමසේකර’ හෙවත් ‘මිදිගම ලසා’ නම් සැකකරු ලබන මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

‘අමිල හෙට්ටිහේවා’ හෙවත් ‘සන්ෂයින් සුද්දා’ ගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන “මිදිගම ලසා” නැමැත්තා පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවේ කොග්ගල ප්‍රදේශයේ දීයි.

මොහු ඩුබායි හි සැඟව සිටින පාතාල කල්ලි නායකයෙකු වන ‘රුවන් චින්තක’ හෙවත් ‘හරක් කටා’ගේ මෙරට ජාවාරම් මෙහෙයවන ප්‍රධානතම අනුගාමිකයා බවයි පොලිසිය පවසන්නේ.

‘මිදිගම ලසා’ සතුව තිබූ අධි සුඛෝපභෝගී මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර, ඔහුගේ වත්කම් පිළිබඳ ව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුදල් විශුද්ධිකරණ අංශය වෙත භාර දී ඇති බව සඳහන්.

මීට පෙර ද ‘සන්ෂයින් සුද්දා’ ගේ ඝාතනය සම්බන්ධයෙන් ‘ගනේෂ්’ නැමැත්තෙකු මාතර දී අත්අඩංගුවට ගනු ලැබුවා ෴

******************************************

ව්‍යාපාරිකයාගේ නිවසට වෙඩි තැබූ කප්පම් කල්ලි සාමාජිකයින් අල්ලයි

(24.09.2021 – 22:39 +0530 – hirunews.lk/sinhala)

ඝාතනයට ලක්වූ පාතාල කල්ලි සාමාජික ‘සමයං’ නැමැත්තාගේ සමීපතමයෙකු ලෙස සැලකෙන ‘චමියා’ නම් පුද්ගලයෙකු මෙහෙයවූ කප්පම් කල්ලියක සාමාජිකයින් පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුද්ගලයන් පිරිසක් කප්පම් ලබා ගැනීමේ අරමුණින් හංවැල්ල නවගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට වෙඩි තබා ඇති අතර සිද්ධියට අදාළව පොලිසිය සිදු කළ විමර්ශනවලින් අනතුරුවයි අදාළ කප්පම් කල්ලියේ සාමාජිකයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

යතුරුපැදියක්, අත් බෝමබයක්, තියුණු ආයුධ කිහිපයක් සහ වෙඩි තැබීමට යොදාගත් ගිනි අවියද සොයාගෙන තිබෙනවා ෴

******************************************

පළමුවෙනිදා රට විවෘත කළහොත් රජයෙන් ලබා දෙන උපදෙස් වලට අනුකූලව දුම්රිය ධාවනය කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා – දුම්රිය සාමාන්‍යධිකාරී

(24.09.2021 – sinhala.news.lk)

පළමුවෙනිදා (01) රට විවෘත කළහොත් රජයෙන් ලබා දෙන උපදෙස් වලට අනුකූලව දුම්රිය ධාවන කටයුතු කිරීමට අවශ්‍ය උපදෙස් නිළධාරීන්ට ලබා දී, පළාත තුළ හෝ පළාත් අතර දුම්රිය ධාවනයට අවශ්‍ය කටයුතු සිදු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති ‘අලුත්වෙන, ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය’ – විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.

ඒ අනුව, දුම්රිය නැවත ධාවනයේ යෙදවීමේ දී ප්‍රවාහන අංශය සහ ධාවන බල අංශයේ මැදිහත් වීම අවශ්‍ය වෙනවා සේම එම කාලයට ලැබෙන උපදෙස් වලට අනුව කටයුතු කරන බව හෙතෙම කියා සිටියේය.

දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් රජයෙන් ලබා දෙන මුදලට හැකි තාක් උපරිම සේවයක් ජනතාවට ලබා දෙන බව කියා සිටි ඒ මහතා, දෙපාර්තමේන්තුවක් ලෙස රජයෙන් බලපොරොත්තු වන අරමුණ ඉටුකිරීම දුම්රිය දෙපාර්තමේන්තුවේ වගකීම වන බවත් කියා සිටියේය.

ඒ අනුව, දුම්රිය සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් පිළිබඳව ද හඳුන්වා දුන් ඒ මහතා කඩිනමින් විදුලි දුම්රිය හඳුන්වාදීමට පියවර ගන්නා බව පැවසු අතර මේ දිනවල ඊට අදාළ කටයුතු සිදුකෙරෙමින් පවතින බවත්, ඉදිරි වසර කිහිපය තුළ මෙම කටයුත්ත ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත්, සංචාරක ක්ෂේත්‍රය උදෙසා සේවය සැපයීමට නවීන වායුසමීකරණය පහසුකම් වලින් යුත් දුම්රියක් යෙදවීමටත්, කොළඹ සිට අබේපුස්ස දක්වා ගල් අඟුරු දුම්රියක් දේශීය හා විදේශීය සංචාරකයින්ගේ ගමන්වාර සඳහා යෙදවීමටත් කටයුතු කරන බව ද හෙතෙම කියා සිටියේය.

එමෙන්ම, මේ වන විට දුම්රිය මැදිරි 160 ක් පමණ ඉන්දියාවෙන් ලබා ගැනීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර මේ වන විට ඉන් දුම්රිය මැදිරි 50 ක් පමණ ලැබී ඇති අතර ඉතිරි මැදිරි සියල්ල ලබන වසර මුල දී ලැබීමට නියමිතව තිබේ.

තවද, දුර ගමන් සේවා සඳහා යෙදවීමට ආසන 550 ක වායුසමනය කල දුම්රියක් මේ වන විට ආනයනය කිරීමට කටයුතු කර තිබෙන අතරම මෙරට ආර්ථිකයට පිටිවහලක් වීම සඳහා භාණ්ඩ ප්‍රවාහනය උදෙසා දුම්රිය අනිවාර්යෙන් එකතු කර ගත යුතු වන බවත් මේ දිනවල ඒ පිළිබඳව අදාළ අංශ සමඟ සාකච්ඡා කරමින් තිබෙන බවත් හෙතෙම කියා සිටියේය.

නගර තුළට මඟී ප්‍රවාහන සේවාසැපයීම අරමුණු කර ගනිමින් කඩිනමින් අගනුවරට දුම්රිය මාර්ග දීර්ඝ කිරීම මඟින් බත්තරමුල්ල ප්‍රදේශයේ තිබෙන රජයේ ආයතන වල සේවය කරන්නන් හට ප්‍රවාහන පහසුකම් ලබා දීමටත්, පානදුර – වේයන්ගොඩ සහ කළුතර – පොල්ගහවෙල අතර දුම්රිය මඟින් 70% කට වැඩි පිරිසක් ප්‍රවාහනය කෙරෙන අතර එම පිරිස ඉලක්ක කරගනිමින් විදුලි දුම්රිය ව්‍යාපෘතියක් ඇරඹීමටත්, එමඟින් දැනට ප්‍රවාහනය කරන මඟී ප්‍රමාණය දෙගුණයක් කිරීම අපේක්ෂාව වී ඇති බවත් ඒ මහතා මෙහි දී කියා සිටියේය.

එමෙන්ම, පොල්ගහවෙල සිට කුරුණෑගල දක්වාත්, කුරුණෑගල සිට මහව දක්වාත්, දකුණු පයාගල සිට අලුත්ගම දක්වාත් ද්විත්ව මාර්ග හඳුන්වා දීමට කටයුතු කිරීමත්, කැළණිවැලි මාර්ගය මුලික පියවර ලෙස හෝමාගම දක්වා ද්විත්ව මාර්ග කිරීමටත් අවශ්‍ය මුලික කටයුතු කෙරෙමින් පවතීන බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

හිරු අනාවරණය හෙට (25) සිට ඵල දරයි – ‘අනිවාර්ය හෝටල් නිරෝධායන ජාවාරම’ නවතී

(24.09.2021 – 19:26 +0530 – hirunews.lk/sinhala)

විදෙස්ගතව සිට පැමිණෙන පිරිසට හෝටල් නිරෝධායනයෙන් මුදල් ගසා කෑමට ලක් නොවී පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරිමෙන් අනතුරුව ගුවන් තොටුපොළින් බැහැර වීමේ අවස්ථාව හෙට (25) සිට හිමිවනවා.

ඒ, හිරු ප්‍රවෘත්ති දින ගණනාවක් තිස්සේ සිදු කළ අනාවරණයේ ප්‍රතිඵලයක් ලෙසින්.

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළ හරහා මෙරටට පැමිණෙන ගුවන් මගීන් හෝටල් නිරෝධායනයට යොමුකරමින් සිදුකළ මහා පරිමාණ මුදල් ගසාකෑම පිළිබඳ අප අවස්ථා කිහිපයකදි රට හමුවේ අනාවරණය කළා.

ඒ අනුව, නිරෝධායනයෙන් මුදල් ගසා කෑමට තිත තබමින් කටුනායක ගුවන් තොටුපලේ පී.සී.ආර්. පරීක්ෂණාගාරයක් ඊයේ (23) විවෘත කෙරුණේ හිරු අනාවරණයේ ප්‍රතිඵලයක් ලෙසින්.

නව පී.සී.ආර්. පරීක්ෂණ මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමේ සහ පුහුණු කිරීමේ කටයුතු අද (24) ආරම්භ කෙරුණා.

මෙහි පැයකට පුද්ගලයින් 500 දෙනෙකු බැගින් දිනකට පුද්ගලයින් 7000 ක් පී.සී.ආර්. පරීක්ෂාවට ලක් කළ හැකියි.

මේ යටතේ විදෙස් රටක සිට මෙරටට පැමිණෙන පුර්ණ එන්නත්කරණයට ලක්වූ දෙස් විදෙස් සංචාරකයින්ට ඩොලර් 40 ක මුදලක් ගෙවා මෙම පී.සී.ආර්. පරීක්ෂණයකට පෙනී සිටිමේ හැකියාව පවතිනවා.

මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් හෝටල් නිරෝධායනය යටතේ මුදල් ගසාකෑම ද මෙම ක්‍රමවේදය මඟින් වළක්වාගත හැකියි.

එම කටයුතු හෙට (25) සිට නිළ වශයෙන් ආරම්භ කිරිමට නියමිතයි.

+++++++++++++++++

තෝරා ගත් අවදානම් කාණ්ඩවලට වසරක් පාසා කොරෝනා එන්නත් ලබාදීමට සිදුවනු ඇතැයි විශේෂඥයන් කියයි

(24.09.2021 – 19:57 +0530 – hirunews.lk/sinhala)

තෝරාගත් අවදානම් කාණ්ඩවලට අයත් පුද්ගලයින්ට වසරක් පසා කොරෝනා මර්දන එන්නතක් ලබාදීමට සිදුවනු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසනවා.

මේ අතර නිදන්ගත රෝගවලන් පෙළන සහ විශේෂ අවශ්‍යතා සහිත වයස අවුරුදු 12 ට වැඩි දරුවන්ට එන්නත් ලබාදෙමින් දරුවන් සඳහා එන්නත් කිරීමේ වැඩසටහන අද (24) ආරම්භ වුණා.

නිදන්ගත රෝගවලන් පෙළන සහ විශේෂ අවශ්‍යතා සහිත වයස අවුරුදු 12 ට වැඩි දරුවන් එන්නත් කිරීමේ වැඩසටහන කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී අද (24) ආරම්භ වුණේ අවුරුදු 14 ක දැරියකට ෆයිසර් එන්නත ලබාදීමෙන්.

ඊට සමගාමීව නිධන්ගත රෝගවලින් පෙළෙන සහ විශේෂ අවශ්‍යතා සහිත වයස අවුරුදු 12 ට වැඩි දරුවන් එන්නත් කිරීමේ වැඩසටහන කුරුණෑගල ශික්ෂණ රෝහලේදී මෙන්ම අනුරාධපුර ශික්ෂණ රෝහලේදීද අද (24) සිදුකෙරුණා.

අවුරුදු 12 ට වැඩි දරුවන් එන්නත් කිරීම සඳහා ෆයිසර් එන්නතට ඉකුත් මැයි මාසයේදී නිෂ්පාදන සමාගම අනුමැතිය ලබාදුන්නා.

මේ අතර ළමුන් සඳහා වන එන්නත්කරණ වැඩපිළවෙල ඔක්තෝම්බර් අවසානය වන විට සිදු කර අවසන් කිරීමට හැකිවනු ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියාසිටියේ.

මෙරට ළමුන් සඳහා වන එන්නත්කරණ වැඩපිළිවෙල අද (24) නිල වශයෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේදී ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ වයස අවුරුදු 12–19 අතර සංකුලතා සහිත දරුවන් මෙම වැඩපිළිවෙල යටතේ මුලිකව එන්නත්කරණයට ලක් කෙරෙන බවයි.

ඒ අනුව කායික හා මානසික සංකූලතා සහිත දරුවන්ට මෙම එන්නත මුලිකව ලබාදීම සිදුවනවා.

විශේෂඥ වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ මුලික රෝහලකින් ඉහළ රෝහලක් තුළදී මෙම එන්නත්කරණය සිදු කෙරෙනවා.

සෞඛ්‍ය අංශ මේ වන විට හඳුනා ගෙන ඇති ආකාරයට ශ්‍රී ලංකාව තුල වයස අවුරුදු 12–19 ත් අතර විවිධ සංකූලතා සහිත දරුවන් 35,000 ක් පමණ සිටිනවා.

ඒ අනුව ඔවුනට ෆයිසර් එන්නත ලබා දීමටයි තීරණය කර ඇත්තේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍ය අංශය ඇතුළු සියලු ක්ෂේත්‍ර හා අධ්‍යාපන ක්ෂේත්‍රය සමඟ මෙම වැඩපිළිවෙල පිළිබද දීර්ඝව සාකච්ඡා කල අතර එහිදී ගනු ලැබු තීන්දු තීරණ ඔස්සේ ළමුන් සඳහා එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කල බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත මේ පිළිබදව දැඩි අවධානය යොමු කර ගත යුතු ක්‍රියාමාර්ග හා නිර්ණායක පිළිබදව දැඩිව සාකච්ඡාවට ලක් කෙරුණු බව ද අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙහිදී සඳහන් කළා.

වෛද්‍ය අංශයේ නිර්දේශ මත විවිධ සංකූලතා සහිත දරුවන් සුපරික්ෂාවට ලක් කරමින් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමේ අරමුණින් එම දරුවන් සඳහා මුලිකව එන්නත්කරණය සිදු කරන බවයි ඔහු පෙන්වා දුන්නේ.

මෙම වැඩපිළිවෙල අනුව මුලිකව සුදුසුකම් ලත් දරුවන්ට වෛද්‍ය උපදෙස් අනුව ගන්නා වු තීරණ ඔස්සේ එන්නත්කරණය සිදු කරන අතර එහි විද්‍යාත්මක පදනම තුළ සිට වෛද්‍ය හා සෞඛ්‍ය අංශය විශ්ලේෂණාත්මක කටයුතු තරන බව ද සෞඛ්‍ය අමාත්‍ය වරයා මෙහිදී කියාසිටියා.

ලබන සඳුදා (27) සිට කොළඹ දිස්ත්‍රික්කයේ අනෙකුත් රෝහල්වලදී ද මෙරට ළමුන් සඳහා වන එන්නත්කරණ වැඩපිළිවෙ ක්‍රියාවට නැංවීමට සැලසුම් කර තිබෙනවා.

මේ අතර, එන්නත්කරණය ගැන සිදුකර ඇති පර්යේෂණ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අද (24) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

එහිදී අදහස් දැක්වූ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය කියා සිටියේ වයස අවුරුදු 50 ට වැඩි පුද්ගලයින්ට කොරෝනා මර්දන එන්නතක 03 වන මාත්‍රාවක් ලබාදීම සුදුසු වනු ඇති බවයි.

අද (24) දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 923 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඒ සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,10,963 ක් දක්වා ඉහළ ගියා.

එසේම, ඊයේ (23) සිදුවූ කොරෝනා ආසාදිත පුද්ගල මරණ 82 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (24) තහවුරු කළ අතර, ඒ සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 12,530 ක් ලෙසයි.

+++++++++++++++++++

තවත් කොරෝනා ආසාදිතයන් 409 ක්

(24.09.2021 – 20:20 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 409 ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව අද (24) දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 1332 ක්.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 5,11,732 ක් හඳුනාගෙන ඇති අතර ඉන් 45,741 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 4,52,692 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *