වරායේ ඇති අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහාම නිදහස් කරන්නැයි අගමැතිගෙන් නියෝගයක්

වරායේ ඇති අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහාම නිදහස් කරන්නැයි අගමැතිගෙන් නියෝගයක්

*********************************************

වරායේ ඇති අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහාම නිදහස් කරන්නැයි අගමැතිගෙන් නියෝගයක්

(24.09.2021 – 15:20 +0530 – hirunews.lk/sinhala)

වරාය තුල රඳවා ඇති අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහාම නිදහස් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආනයන අපනයන පාලක ජෙනරාල්වරියට සහ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර තිබෙනවා.

සූම් තාක්ෂණය ඔස්සේ ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව අද (24) රැස්වූ අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා අරලියගහ මන්දිරයේ සිට මෙම නියෝගය ලබා දුන් බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

එසේ නිදහස් වන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කඩිනමින් සතොස හා අත්‍යාවශ්‍ය ආහාර ආනයනකරුවන් හරහා ජනතාවට බෙදා හැරීමට කටයුතු කරන ලෙස මෙහිදී අදහස් පළ කළ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, වෙළඳ අමාත්‍යවරයාට දැනුම් දී තිබෙනවා.

සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව වෙළඳපොලට නිකුත් කිරීමේ වගකීම වෙළඳ අමාත්‍යාංශය සහ කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරින් විසින් දැරිය යුතු බවට ද මෙහිදී අවධාරණය කර තිබෙනවා ෴

******************************************

පොහොර නොමැති වීමෙන් වැලිමඩ අර්තාපල් ගොවීන් අසිරුතාවක

(24.09.2021 – 14:26 +0530 – hirunews.lk/sinhala)

තම වගාවන්ට අවශ්‍ය පොහොර නොමැති වීම හේතුවෙන් වැලිමඩ ප්‍රදේශයේ අර්තාපල් ගොවීන් දැඩි අසිරුතාවකට පත්ව තිබෙනවා.

ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර කඩිනමින් විසඳුමක් ලබා දෙන ලෙසයි.

වැලිමඩ, ඌව පරණගම, කැප්පෙටිපොළ, බොරලන්ද ආදී ප්‍රදේශවල යල කන්නයේ දී අවශ්‍ය බීජ ලබා ගැනීම සඳහා හෙක්ටයාර් 1200 ක පමණ අර්තාපල් වගා කිරීමට නියමිත ව තිබෙනවා.

මහ කන්නයේ දේශීය අර්තාපල් සිටුවීම ආරම්භව ඇතත් ගොවීන් පවසන්නේ, වගාවට අවශ්‍ය රසායනික පොහොර නොමැතිව බිම් සකසා බලා සිටීමට තමන්ට සිදු ව ඇති බවයි.

******************************************

අවිධිමත් මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් පිළිබඳ බුත්තල ප්‍රදේශවාසින්ගෙන් චෝදනා

(24.09.2021 – 14:32 +0530 – hirunews.lk/sinhala)

මහජන මුදල් කාබාසිනියා කරමින් අවිදිමත් ව සිදු කරන මහාමාර්ග ව්‍යාපෘති මෙන්ම ගම්බද ජනතාවගේ ප්‍රවාහන ගැටලු පිළිබඳවත් හිරු ප්‍රවෘත්ති අප වාර්තා කර ඇත්තේ වරක් දෙවරක් නො වේ.

මේ, බලධාරීන්ගේ අවධානය යොමුකරවීම සදහා අප හෙළිදරව් කරන තවත් එවැනි අනාවරණයන් කිහිපයක්.

බුත්තල ප්‍රාදේශීය කොට්ටාශයට අයත් යුදගනාව බුත්තල ප්‍රධාන මාර්ගය ඓතිහාසික යුදගනාව රජමහා විහාරස්ථානයට පිවිසීමට ඇති එක ම මාර්ගය යි.

මේ දිනවල දී එම මාර්ගයේ සිදු කෙරෙන අවිදිමත් සංවර්ධන ව්‍යාපෘතියක් හේතුවෙන් මාර්ගය විනාශ වී යන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

******************************************

වික්ටෝරියා ජලාශයේ වේල්ල අසල හුණුගල්කොරි ඉවත් කරයි

(24.09.2021 – 14:35 +0530 – hirunews.lk/sinhala)

වික්ටෝරියා වේල්ල අසල පවත්වාගෙන ගිය හුණුගල්කොරි ඉවත් කර තිබෙනවා.

පසුගිය කාලය තුල වික්ටෝරියා ජලාශය අවට සිදුවූ සුළු භූ කම්පන තත්ත්වයන් පිළිබඳව අධ්‍යයනයක් කිරීමෙන් අනතුරුව එහි වාර්තාවක් පසුගියදා පරිසර අමාත්‍යාංශය වෙත භාර දුන්නා.

එමගින් දක්වා තිබුණේ වික්ටෝරියා ජලාශයේ වේල්ල අසල සිදුකරන හුණුගල් කැණීම් හේතුවෙන් මෙම භූ කම්පන තත්ත්වයන් සිදුව ඇති බවයි.

ඒ අනුව, වික්ටෝරියා වේල්ලෙහි පිටාර මට්ටමේ සිට මීටර් 100 ක වපසරිය තුල දැනට ලබාදී ඇති හුණුගල් කැණීම් බලපත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය තීරණය කර තිබෙනවා.

එමෙන්ම, එම ප්‍රදේශයට අදාළව නව බලපත්‍ර නිකුත් කිරීම ද මින් ඉදිරියට සිදුනොවන බවයි පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ.

******************************************

ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් තවත් දැවැන්ත ණයක් ඉල්ලයි

(24.09.2021 – 14:46 +0530 – hirunews.lk/sinhala)

මෙරට භාවිතයට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දීය රජයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක මූල්‍ය ආධාරයක් ලබාගැනීමට සාකච්ඡා සිදුකරමින් පවතින බව වාර්තා වනවා.

ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ ලබාගැනීමට නියමිත මෙම ණය මුදල සඳහා වන කොන්දේසි මොනවාදැයි මෙතෙක් අනාවරණ වී නැහැ.

මෙරට ඩොලර් සංචිත හිඟය හේතුවෙන් මේ වනවිට දැඩි ආනයන සීමා පනවා ඇති අතර ආනයනයන් සඳහා වැඩිම ඩොලර් ප්‍රමාණයක් වෙන් කෙරෙන්නේ ඛනිජ තෙල් ආනයනයේදීයි.

මෙරටට ඛනිජ තෙල් ආනයනය කිරීමේදී දීර්ඝකාලීන ණය පහසුකම් ලබාගැනීමට ඛනිජ තෙල් ලබාගන්නා රටවල් සමඟ මීට පෙර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබෙනවා.

ඒ මේ වනවිටත් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති බරපතළ ඇමෙරිකානු ඩොලර් සංචිත අර්බුදය මගහරවා ගැනීමේ අරමුණෙන් ෴

******************************************

පරණ යකඩ අත යට විකිණීමට දුම්රිය ලොක්කන් ගත් උත්සාහය වරදී

(24.09.2021 – 15:36 +0530 – hirunews.lk/sinhala)

රජයට රුපියල් කෝටි හයකට (6) අධික අලාභයක් සිදු කරමින් විකිණීමට සූදානම් වන බවට චෝදනා එල්ල වූ දුම්රිය දෙපාර්තමේන්තුව භාවිතයෙන් ඉවත් කල යකඩ මෙට්‍රික් ටොන් තුන් දහසක් (3000) සඳහා වන ටෙන්ඩරය නැවත කැඳවීමට තීරණය කර තිබෙනවා.

ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් මොන්ටි රණතුංග මහතා සඳහන් කළේ මෙම ගනුදෙනුව රජයට වාසිදායක වන ආකාරයට සිදු කළ යුතු බැවින් අදාල ටෙන්ඩරය නැවත ප්‍රසිද්ධ දැන්වීම් පළ කර කැඳවන ලෙසට දැනුම් දුන් බවයි.

අදාල යකඩ තොගය, ටෙන්ඩරයේදී අඩු ලංසුවක් තැබූ මෙරට ප්‍රධාන පෙළේ යකඩ සමාගමකට විකිණීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරීන් පිරිසක් අත යට ගණුදෙනුවකට සූදානම් වන බවට දුම්රිය වෘත්තිය සමිති සංවිධානයේ කැඳවුම්කරු ඉන්දික දොඩංගොඩ මහතා ඇතුළු දුම්රිය වෘත්තීය සමිති චෝදනා කළා.

මෙලෙස එල්ල වූ චෝදනා හේතුවෙන් එවකට ප්‍රවාහන අමාත්‍යවරයා ව සිටි ගාමිණී ලොකුගේ අදාල ටෙන්ඩරය අත්හිටුවීමට නියෝග කලා.

කෙසේ වෙතත් කැබිනට් සංශෝධනයෙන් අනතුරුව සිදු වූ ඇමති මාරු වීම් හේතුවෙන් එම තීරණය යට ගැසී නැවතත් අදාල වංචනික ගණුදෙනුව සිදු කිරීමටයි දුම්රිය දෙපාර්තමේන්තු බලධාරීන් පියවර ගත්තේ.

කෙසේ වෙතත් මෙම වංචනික ක්‍රියාවට දිගින් දිගටම දුම්රිය වෘත්තීය සමිති එරෙහි වීම හේතුවෙන් මේ වන විට අදාළ ගණුදෙනුව නැවතී තිබෙනවා.

මේ වනවිට අබලි යකඩ කිලෝවක වෙළෙඳපොළ සාමාන්‍ය වටිනාකම දැක්වෙන්නේ කිලෝවක් රුපියල් සියයකට (100) ආසන්නවයි.

මීට මාස හයකට (6) පමණ පෙර මෙම ටෙන්ඩරය කැඳවූ අවස්ථාවේදී එක් සමාගමක් විසින් අදාල අබලි යකඩ මෙට්‍රික් ටොන් 3000 ක් සඳහා කිලෝවකට රුපියල් 65 ක් වනසේ ලංසු තබා තිබුණා.

එම සමාගමට අදාළ අබලි යකඩ තොගය අලෙවි කළේ නම් දුම්රිය දෙපාර්තමේන්තුවට එම අවස්ථාවේ ලබාගත හැකිව තිබූ ආදායම රුපියල් කෝටි 19 ක්.

නමුත් දුම්රිය දෙපාර්තමේන්තු බලධාරීන් කිහිප පළක ගේ ආශිර්වාදය ලත් අදාල ප්‍රධාන පෙළේ යකඩ සමාගම මෙම අබලි යකඩ තොගයට ලංසු තබා තිබුණේ කිලෝවකට රුපියල් 45 ක් වන ලෙසටයි.

ඒ අනුව අදාළ ගනුදෙනුව සිදුවුයේ නම් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවන අලාභය රුපියල් කෝටි 6 කට අධික බවයි දුම්රිය වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

තවත් කොරෝනා ආසාදිතයන් 950 දෙනෙකු සුවය ලබයි

(24.09.2021 – 14:53 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 950 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 4,52,692 දක්වා ඉහළ යනවා.

තවදුරටත් පුද්ගලයින් 44,900 දෙනෙකු රෝහල්ගතව හෝ නිවෙස්වල ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

++++++++++++++++++

අදියර 04 ක් යටතේ ඉදිරියේදී පාසල් යළි විවෘත කිරීමට පියවර

(24.09.2021 – 15:51 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේදී අදියර 04 ක් යටතේ පාසල් යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා.

පාසල් යළි විවෘත කළ යුතු ක්‍රමවේදය නිර්දේශ කිරීම වෙනුවෙන් කොවිඩ්-19 නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව තාක්ෂණික කමිටුවක් ස්ථාපනය කර ඇති අතර එම කමිටුව ගන්නා තීරණ අනුව පාසල් යළි විවෘත කරන බවයි ඔහු සඳහන් කළේ.

පාසල් යළි විවෘත කිරීම සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (24) සංවිධාන කර තිබූ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ලේකම්වරයා මෙම අදහස් පළකලා.

වයස අවුරුදු 12 ට අඩු ළමුන්ට එන්නත්දීම අවශ්‍ය නොමැති බැවින් කොවිඩ් උවදුර සමනය වීමත් සමග පාසල් යළි විවෘත කිරීමේදී 1 සිට 5 ශ්‍රේණිවල පාසල් 3884 ක් මුල් අදියර යටතේ ආරම්භ කෙරෙනු ඇති.

තාක්ෂණික කමිටුවේ තීරණ ලැබුණු විගස අවුරුදු 12-15 සහ 16-19 අතර වයස් කාණ්ඩවල ළමුන් ළමාරෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ පූර්ණ අනුමැතිය සහිතව එන්නත් කරන බවයි මහාචාර්ය කපිල පෙරේරා මහතා කියාසිටියේ.

ඉදිරි සතිය ඇතුළත අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ පළාත්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන්ගෙන් මෙන්ම පළාත්වල සහ දිස්ත්‍රික්කවල නැවත පාසල් ආරම්භ කිරීමේ සූදානම ගැන විමසීමක් කිරීමට නියමිතයි.

එම අදහස් සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් හා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්දේශ අනුව සංචරණ සීමා අවසන් වීමෙන් පසු පාසල් නැවත විවෘත කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ද මාධ්‍ය සාකච්ඡාවේදී ලේකම්වරයා අදහස් පළකලා.

සෞන්දර්ය විෂයය හැර අනෙකුත් විෂයයන්ගේ ප්‍රතිඵල ඊයේ (23) නිකුත් කෙරුණු අතර කොවිඩ් උවදුර සමනය වී පාසල් නැවත විවෘත කළ පසු ප්‍රායෝගික පරීක්ෂණ පවත්වන බව ඔහු කියසිටියා.

සෞන්දර්ය විෂයය යටතේ නැටුම්, සංගීතය සහ නාට්‍ය හා රංගකලාව හදාළ සිසු සිසුවියන්ට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හැදෑරීමට අවශ්‍ය අවම සුදුසුකම් ඇතුළත් චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කරන බවයි කපිල පෙරේරා මහතා සඳහන් කළේ.

2020 වර්ෂයේදී සෞන්දර්ය විෂයයට සිසු සිසුවියන් 1,70,000 ක් පෙනී සිටියා.

ඔවුන්ගෙන් විෂයයන් 05 ක් සමග සම්මාන 02 සහිත සාමාර්ථය සහ පාසල් පාදක තක්සේරුව යටතේ නිපුණතා මට්ටම 1, 2 සහ 3 (විශිෂ්ඨ, සමාන්‍ය, ආසන්න) ලබාගෙන ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන තුරු උසස්පෙළ ඉගෙනීමට අවසර හිමි වනවා.

2020 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් සෞන්දර්ය විෂයයේ ප්‍රතිඵල හැර සෙසු විෂයයන්හි ප්‍රතිඵල අනුව සියයට 75.12 ක් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලබා ඇති බවයි මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා ප්‍රකාශ කළේ.

විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට විභාග අංකය අමතක නම් ජාතික හැඳුනුම්පත් අංකය යොදාගෙන හෝ 1911 ඇමතීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බව සනත් පූජිත කියා සිටියා.

විදුහල්පතිවරුන්ට, පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රතිඵල දැන ගැනීමේ ක්‍රමයක් සකස්කර ඇති අතර විභාග සහතික අවශ්‍ය අයට සඳුදා (27) සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ ඒවා ලබාගැනීමට හැකි බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළා.

++++++++++++++++++

ඔක්තෝම්බර් අවසන් වන විට ළමුන් එන්නත්කරණය අවසන් කිරීමට සැලසුම්

(24.09.2021 – 16:46 +0530 – hirunews.lk/sinhala)

ළමුන් සඳහා වන එන්නත්කරණ වැඩපිළවෙල ඔක්තෝම්බර් අවසානය වන විට සිදු කර අවසන් කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

මෙරට ළමුන් සඳහා වන එන්නත්කරණ වැඩපිළිවෙල අද (24) නිල වශයෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේදී ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ වයස අවුරුදු 12–19 අතර සංකුලතා සහිත දරුවන් මෙම වැඩපිළිවෙල යටතේ මුලිකව එන්නත්කරණයට ලක් කෙරෙන බවයි.

ඒ අනුව කායික හා මානසික සංකූලතා සහිත දරුවන්ට මෙම එන්නත මුලිකව ලබාදීම සිදුවනවා.

තැලසීමියා රෝගයට ලක්ව ඇට මිදුළු බද්ධ සැත්කමක් සිදු කර ඇති 14 හැවිරිදි හුණුපොළ, පහලගම ප්‍රදේශයේ පදිංචි දැරියකට පළමුව එන්නත ලබා දීමෙන් ළමුන් එන්නත්කරණය නිල වශයෙන් ආරම්භ කෙරුණා.

මීට සමගාමීව අනුරාධපුර හා කුරුණෑගල රෝහල්වලදී ද දරුවන් සඳහා වන එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ වුණා.

විශේෂඥ වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ මුලික රෝහලකින් ඉහළ රෝහලක් තුළදී මෙම එන්නත්කරණය සිදු කෙරෙනවා.

සෞඛ්‍ය අංශ මේ වන විට හඳුනා ගෙන ඇති ආකාරයට ශ්‍රී ලංකාව තුල වයස අවුරුදු 12–19 ත් අතර විවිධ සංකූලතා සහිත දරුවන් 35,000 ක් පමණ සිටිනවා.

ඒ අනුව ඔවුනට ෆයිසර් එන්නත ලබා දීමටයි තීරණය කර ඇත්තේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍ය අංශය ඇතුළු සියලු ක්ෂේත්‍ර හා අධ්‍යාපන ක්ෂේත්‍රය සමඟ මෙම වැඩපිළිවෙල පිළිබද දීර්ඝව සාකච්ඡා කල අතර එහිදී ගනු ලැබු තීන්දු තීරණ ඔස්සේ ළමුන් සඳහා එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කල බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත මේ පිළිබදව දැඩි අවධානය යොමු කර ගත යුතු ක්‍රියාමාර්ග හා නිර්ණායක පිළිබදව දැඩිව සාකච්ඡාවට ලක් කෙරුණු බව ද අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙහිදී සඳහන් කළා.

වෛද්‍ය අංශයේ නිර්දේශ මත විවිධ සංකූලතා සහිත දරුවන් සුපරික්ෂාවට ලක් කරමින් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමේ අරමුණින් එම දරුවන් සඳහා මුලිකව එන්නත්කරණය සිදු කරන බවයි ඔහු පෙන්වා දුන්නේ.

මෙම වැඩපිළිවෙල අනුව මුලිකව සුදුසුකම් ලත් දරුවන්ට වෛද්‍ය උපදෙස් අනුව ගන්නා වු තීරණ ඔස්සේ එන්නත්කරණය සිදු කරන අතර එහි විද්‍යාත්මක පදනම තුළ සිට වෛද්‍ය හා සෞඛ්‍ය අංශය විශ්ලේෂණාත්මක කටයුතු තරන බව ද සෞඛ්‍ය අමාත්‍ය වරයා මෙහිදී කියාසිටියා.

ලබන සඳුදා (27) සිට කොළඹ දිස්ත්‍රික්කයේ අනෙකුත් රෝහල්වලදී ද මෙරට ළමුන් සඳහා වන එන්නත්කරණ වැඩපිළිවෙ ක්‍රියාවට නැංවීමට සැලසුම් කර තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *